Posted by: lrrp | November 23, 2008

මහා විජයබාහු රජතුමාගේ කතාව

දෙවඥයකුගෙන් අනාවැකියක්

හිරු අහසේ ගිනිගනිමින් තිබිණ. තුරු වදුලින් සෙවණ වූ තැනෙක ගල්තලාවක් මත වැතිර එදෙස බලා සිටි කීර්ති කුමරාට මෙසේ සිතිවිල්ලක් නැඟිණ.

හිරු තමා ගිනි ගන්වාගෙන ලෝකයේ අඳුර පලවා හරියි.

මේ තුරු මුදුන් අව්වට වියළී පහළ වූ කුඩා තුරු ලතා පද්ධතියට සෙවණ සලසයි.

අනාගතයට වැඩකිරීම ස්වභාව ධර්මයේ ද අගනා බලාපොරොත්තුවකි. මුළු මහත් සිරිලක චෝල අධිරාජ්‍යයේ ගින්නෙන් දැවෙමින් තිබුණ ද අප කරන කාර්යය කුමක්ද? අපේ උරුමය රැකදෙන්නට ඔටුන්නක් නැත.

චෝලයන් ඒ ඔටුන්න අපෙන් උදුරාගෙන ඇත. නිවටකමින් හෝ බියගුලුකමින් ජීවත්වීමෙන් මේ රටට සිදුවන්නේ මහත් විපතෙකි.

පස්වැනි මිහිඳු රජු අල්ලාගෙන චෝල දේශයට ගෙනයාමත් සමඟ ම රුහුණට පැන ගිය වික‍්‍රමබාහු කුමරා අට අවුරුද්දක් තිස්සේ ම රුහුණේ සේනා සංවිධානය කළ ද, චෝලයනට එදිරි සටනට පෙර ඒ රජු මිය යාම රුහුණේ සිංහලයන්ගේ බලාපොරොත්තු කඩ වී ගිය තවත් අවස්ථාවක් විය. කීර්ති කුමරා දැන් රකින බුදල්නා වික‍්‍රමබාහු රජුගේ සෙනෙවියෙකි.

ඔහුට මිතුරු කිත්ති නම් වෙනත් සේනාපතියෙක් ද සිටියේ ය.

ඔව්හු චෝලයනට එදිරි සටන සඳහා සේනා සංවිධානයේ අනලස් වූහ.

කුමරුවා මරා දමන්නට පැමිණි සොලීන් මරා දැමීමෙන් පසු බුදල්නා හෙවත් බුද්ධරාජ නම් මහා වීරයා පනාකඩුව මොරවක් කෝරලේ මලය පර්වත පාදයේ වන ගහණයේ තව තවත් සේනා සංවිධානයේ යෙදී සිටියේ ය.

සොළීනට එරෙහිව සටන් වදින බුද්ධරාජ ගේ තෙදබල පිළිබඳව මුළු මහත් රුහුණේ ම යශෝරාව නැංවිණ. මේ අතර සොළීන් පරදවා බලයක් රඳවා සිටි ලෝකේශ්වර (ලෝක) නම් තරුණ නායකයෙක් ද සිටියේ ය.

අනුරාධපුර රාජධානියේ ලම්බකර්ණ වංශයට උරුම වුණු ඔටුන්න ගැන කිසිදු තැකීමක් නොකළ ලෝකේශ්වර තම අභිමතාර්ථ සාධනය සඳහා ම උනන්දු වූවෙකි.

තනිව රුහුණේ රජවීම ඔහුගේ එකම අරමුණ වී ය.

මෙයට තදින්ම කිපුණු බුද්ධරාජ හා ලෝකේශ්වර අතර දබරයක් පැන නැංගේ ය. බුද්ධරාජට අවශ්‍ය වූයේ නැතිවී ගිය රජ උරුමය නැවත නඟා සිටුවීමට සිංහලයන් පෙලැඹවීමට ය.

බුද්ධරාජ ලෝකේශ්වර හා කෙළින් ම සටනට නොගොස් ඒ සඳහා කල් යල් බැලීය. ඒ සොළීන් පලවා හැරීමට තරම් ලෝකේශ්වරට සටන් ශක්තියක් ද තිබූ හෙයිනි.

තැනින් තැන සේවා සංවිධානයේ යෙදුණු බුද්ධරාජ හුණ්ණසාලා (හුණුවර) නම් ජනපදයට ගොස් එහි සිටියහුන් තමන් වෙත නතුªකරගන්නේ සිංහල රටේ නියම අයිතිය එක්ව මිස වෙන් වෙන් වී ලබාගත නො හැකි බැව් පෙන්වා දෙමිනි.

මේ ධීර වීර සිංහලයාට අරාජික රටේ දේශපෙ‍්‍ර්මී ජනතාව ගේ නොමඳ සහාය ලැබිණි. මලය රට කඳු පාමුල රැඳුණු බුද්ධරාජට ප‍්‍රදේශයේ උපන් වීර සිංහලයන් නිසා මහත් බලයක් වී ය.

මේ කාලයේ බුද්ධරාජ විසූ පෙදෙසේ සංඝ නම් නායක දෙවඥයෙක් ද සිටියේ ය. ඔහු අනාගතය දක්නට ශක්ති ඇත්තෙකි. බුද්ධරාජ වෙත පැමිණි සංඝ වරක් මෙසේ ප‍්‍රකාශ කළේ ය.

”මා හිමි මුගලන් සාමි මඟින් එතුමන්ගේ වැඩි මහලු පුත් කීර්ති කුමාරයාගේ ජන්ම පත පිරික්සීමි. එතුමා මහත් පුණ්‍යවන්තය.

බලයෙන් වීර්යයෙන් පිරිපුන්ය. නුවණැත්තේය. වික‍්‍රමවත්ය. ලක්දිව තබා දඹදිව වුවද රාජ්‍ය එක්සත් කරන්නට තරම් පුණ්‍ය ශක්තිය හා චිත්ත ශක්තිය ද ඇත්තේය.

මේ වචන ඇසූ බුද්ධරාජ බෙහෙවින් තුටු පහටු වී චෝලයන් පලවා සිංහලය යළි නඟා සිටුවන සටනට තවත් වීරවරයෙක් සිටී යැයි උදාන කතාවක් කී ය.

මේ රට චෝලයන්ගෙන් බේරා මව් බිසව බලන්නට එන බවට ප‍්‍රතිඥා දෙමින් වනයෙන් පිටමංව ගිය කීර්ති කුමාරයා ද සිටියේ මුල්සල නම් ගමක ය.

කීර්ති කුමරා ඉගෙනීමෙහි සූරයකු නිසා ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙනුමට හා කාව්‍ය ශාස්ත‍්‍රයට නැඹුරු වූ සිතින් එහි රහස් තැනෙක සැඟවී ඇති බව මේ වන විට ද බුදල්නා හෙවත් බුද්ධරාජ හොඳින් දැන සිටියේ ය. රහස් පයිංඩයක් කීර්ති කුමරුවා වෙත යැවීමට හෙතෙම වහාම පියවර ගත්තේ ය.

පයිංඩයෙන් උද්දාම පත් සොළෙස් හැවිරිදි (16) කීර්ති කුමරු දුන්න පමණක් රැගෙන රහසේම සිරිවග්ග පිට්ඨි (සිරිවග පිටිය) ගමට පැමිණ බුද්ධරාජ හමු විය. මේ වනවිට බුද්ධරාජ සෙන්පතියාට එක්වූ අය අතර මිහිඳු රජ කාලයේ පටන් ම චෝල බලයට එරෙහිව කටයුතු කළ රාජ සභාවේ නියුක්තව සිටි කිත්ති නම් තවත් ප‍්‍රබලයෙක් ද විය.

සේනාව සංවිධානය කරගත් කීර්ති කුමරා පළමුවෙන්ම කළේ බුද්ධරාජගේ උදව් ඇතිව රුහුණේ එවකට නායකකම් දැරූ ආත්මාර්ථකාමී ලෝකේශ්වර සතුව තිබුණු බෝවල (බෝධිවාල) නම් ගමට හේවායින් යැවීමය. මේ බව දැනගත් ;ල¤කේශ්වර ද කීර්ති කුමරා මැරීමට සේනාවක් එවී ය.

කීර්ති කුමරා කුඩා කල පටන්ම සංග‍්‍රාම සූරයෙකි. කුමරාගේ සංග‍්‍රාම උපදේස හා සටන්කාමිත්වය හමුවේ ලෝකේශ්වරගේ සේනාව හිරු දුටු කදෝපැණියන් මෙන් අන්තර්ධාන වූහ. ඔවුන් හිස් ලූ ලූ අත දිවුවේ ජීවිත දානය ඉල්ලමිනි.

අනතුරුව ක‍්‍රමයෙන් කුමරාගේ බලය සොළෙස් කලා පිහිටා නැගෙන චන්ද්‍රයා පරිද්දෙන් නැඟුණේ සිංහල ජන ප‍්‍රධානීන් හා සිංහලයන් බුරුතු පිටින් එම සේනාවට එකතුª කරමිනි. ටික දවසකින් මුළු මහත් මලය රට මුළුල්ලම තමනට යටත් ප‍්‍රදේශ බවට පත්කර ගන්නට මේ කුමරා දක්ෂයෙක් වීය.

මේ අතර තවත් වතාවක් ලෝකේශ්වර සේනාවක් රැගෙන සටනට ආවත් එම සටනින් ද පැරද ඔහු පලාගියේ පැමිණියාටත් වඩා වැඩි වේගයකිනි. කීර්ති කුමාරයා ගේ සේනාවට බැඳෙන සිංහලයෝ දිනෙන් දින වැඩි වූහ. තමනට මේ කුමාරයා හැර වෙනත් ගැලවුම්කරුවකු නැතැයි තේරුම්ගත් ලක්වැස්සන් පුදුමාකාර උනන්දුවකින් ජවයකින් කටයුතු කරන බව පෙනිණ.

මේ අතර මකුගමු නම් ගමෙහි කීර්ති නම් ඇමැතියකුගේ පුතු දේවමල් නම් සෙන්පතියෙක් නෑදෑයන් හා තම අනුගාමිකයන්ද සමඟ කීර්ති කුමරුට එක් විය.

ඊළඟට බුද්ධරාජ හා දේවමල්ල සමඟ සේනාව ද කැටුව කීර්ති කුමරා පැමිණියේ රත්මල්කන්ද නම් ස්ථානයකටය. එහි කඳවුරක් බැඳගත් කුමරු වෙත රුහුණු වැසි ඇමැතිවරු සිය සේනාද සමඟ පැමිණ එක්වූහ.

මලය මණ්ඩලයේ සියලු තැන්හි අණසක පැතිරූ කීර්ති කුමරුගේ යසෝරාවය ලෝකේශ්වරට මහත් හිසරදයකි.

ඔහු වඩාත් දොම්නසට පත්වූයේ තමනට පක්ෂපාතව සිටි ඇතැම් පිරිස් ද කීර්ති කුමරු වටා පෙළගැසීම නිසාවෙනි.

එනිසා නැවතත් කුමරු පරදවා බලය ලබාගැනීමට ලෝකේශ්වර උනන්දු විය. හෙතෙම මහත් යුද්ධ සේනාවක් මලය රටට එව්වේ කීර්ති හම ගසා දමනවා යැයි උදම් අනමිනි.

ඒත් එම සේනාව මලය රටට ඇතුළුවත්ම කීර්ති කුමරුගෙන් එල්ල වූ ප‍්‍රහාරය හමුවේ බොහෝ දෙනකුගේ හිස් අහිමි විය.

රුධිර ගංගා මහපොළොව තෙත් කළේ ය. මේ සටනින් කුමරාගේ විස්මපත් සටන් උපක‍්‍රම තේරුම්ගත් ලෝකේශ්වර යුද්ධ කිරීමේ ආසාව අත්හැර දමා නිහඬ විය.

නිහඬතාව මහත් රණඝෝෂාවක පෙර නිමිත්තක් විය හැකියැයි සැක කළ කුමරා ඔහුගේ සයවැනි රාජ්‍ය වර්ෂයේ දී ලෝකේශ්වර පරලොවට යැව්වේ ය.

ලෝකේශ්වරගේ මරණයෙන් පසු කේශධාතු නායක කස්සප (කසුබ්) නමැත්තෙක් නැවතත් රුහුණෙහි රජවීය.

පොලොන්නරු පුරයෙහි විසූ සොළී අධිපතියා මේ බව දැනගත් වහා ම මහා සේනාවක්ද රැගෙන කස්සප හා යුදයට ගියේ ය. ඒ වනවිට බලවත් ව සිටි කස්සප රජු කිසිදු අපහසුවක් නැතිව සොළීන් පලවා හැරියේ කීර්ති කුමරු මෙන්ම වික‍්‍රමාන්විත සටන්පාමිනි.

කේෂධාතු කස්සප යන විරුදාවලිය එක්තරා රදළ පෙළපතක් සඳහා යොදාගත්තක් බව ගයිගර් මහතා පවසයි.

සොළීන් පරදා මහත් උද්දාමයට පත් කසුබ් කතරගම ද යටත් කරගත්තේ ය. හෙතෙම රුක්පහන් (රක්වාන) සීමාවෙහි තම ආරක්ෂාව සඳහා බලසෙනඟ රඳවා තෙමේ කතරගමට ගොස් විසී ය.

මේ අතර කීර්ති කුමරු පස්යොදුන් රට ආදී පෙදෙස්වල ජනතා සහාය ලබමින් කසුබ් හා සටනට එළැඹිණි. කතරගම සිදුවූ මහ සටනකින් අනතුරුව කසුබුට ද තම හිස අහිමි විය.

ඒ වනවිට කුමරු සතළොස් විය එළැඹුණා පමණි.

ලක්දිව පරසතුරන්ගෙන් මුදාගැනීමට නම් සොළීන් දිනා ඉන් හිස උදුම්මා ගත් මෙවැනි ප‍්‍රාදේශික පාලකයන් යටත් කළ යුතු බැව් ඇත්තකි.

“සියල්ලො එකම අරමුණකින් එක ධජයක් යටතේ සතුරාට එරෙහිව සටන් වැදිය යුතුය” කුමරා නිතර මන්ත‍්‍රණය කළ පාඨයකි.

කස්සප පරාජය කිරීමට කුමරාට හැකිවුව එය තරමක් අපහසු සංග‍්‍රාමයක් විය.

කස්සප ද බලවත් රජෙකි. ඔහු මුලදී කුමාරයාට විරුද්ධව සිප්පත්ථල දක්වා පැමිණියේ ය.

ප‍්‍රදේශයේ වැස්සන්ගේ සහය ලැබුණේ ඉතා මඳ වශයෙනි.

හේතුව සිංහල ජනතාව කීර්ති කුමරා සටන්වදින්නේ හුදු බලලෝභය නිසා නොව මේ මුළුමහත් සිංහලය චෝලයන්ගෙන් බේරාගැනීම සඳහා යැයි තේරුම්ගෙන සිටි නිසා ය.

කස්සප එවර කතරගම අත්හැර බදිරංගණී බලකොටුව දක්වා පසුබැස්සේ ය. එහෙත් ඔහු හඹා ආ කීර්ති කුමරු කස්සප හා කළේ ඉතා බිහිසුණු සටනෙකි.

කීර්ති කුමරා මෙහෙයවූ අසු මෙන්ම කසුබ්ගේ අසු ද පෙරළිකාරයෝ වූහ.

කඩුපත් ‘ටං ටං’ හඩින් ගැටෙද්දී අසුන්ගේ කුර ද එකට ගැටිණ.

උන් උස් හඩින් හේෂාරව නැඟුවේ පාදවලින් දූලි කැටි නංවමිනි.

කසුබ් දුන් කඩු පහරින් කුමරාගේ හිස බේරුණේ නූලෙනි. ඉතා උපායශීලීව අසු මතම පිටුපසට වන්නට නිමේෂයකින් දිගඇදුණු කීර්ති කුමරු විදුලියක් මෙන් යළි නැංගේ කසුබ් ගේ හිසට කඩුපත එල්ල කරමිනි.

උස් ගහකින් වැටෙන තල්ගෙඩියක් මෙන් සිඳුණු ඒ හිස බොල් හඬක් නඟමින් බිම වැටිණි.

කවන්ධය ද ඒ අසුටම පෑගුනේ කුමරුන්ගේ පහරින් කසුබ්ගේ අසුද කලබලවීම නිසා ය.

මුළු රෝහණය යටත් කළ කීර්ති කුමරු දේවමල්ල හා බුද්ධරාජ දෙදෙනාගේ සහායෙන් තවත් වසරක් පමණ ඇවෑමෙන් 18 වැනි වියෙහිදී විජයබාහු (කි‍්‍ර.ව. 1055-56) යන රාජකීය නාමයෙන් රෝහණයේ රජකම ලබා ගත්තේ ය.

විජයබාහු යන්නෙහි තේරුම “විජයග‍්‍රහණයේ හස්ත ඇත්තා” යන්න ය.

සටන් බිමෙන් පලායෑම උපාය මාර්ගයක් කරගනී

හා විජයබාහු නමින් රුහුණේ රජ බවට පත් කීර්ති කුමරා තෙළෙස් වියේ පටන් රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව බිම් පියසේ රැකවරණ ලැබූ බව දැනට හමුවී ඇති ශිලාලේඛනවලින් පැහැදිලිය.

1948 දී බෝගහදෙණිය නම් කුඹුරේදී ගොවි මහතකුට හමුවූ පනාකඩුව තඹ සන්නස පුංචි කාලයේ තමා රැක සිටි වීරවරයා සිත්නරු බිම් බුදල්නා හෙවත් බුද්ධරාජ හා එම පවුල වෙනුවෙන් යම් යම් ප‍්‍රදානයන් කළ රාජ ආඥාවක් සහිත එකකි. අනුරාධපුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අදත් සුරැකිව පවතින මේ තඹ සන්නසේ බර රාත්තල් 2 කුත් අවුන්ස 2 1/4 කි. පියලි 3 කි.

මෙහි බස සිංහල බසට සමාන වන අතර එහි උසස් භාෂා ලක්ෂණ ඇති බවද, එසේම එම බස් වහර 10, 12 සියවස්වලට කිට්ටු බවද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතානයෝ කියති. මෙහි ඉතා උසස් පබැඳුම් සහිතය.බුද්ධරාජ නමැති මහා වීරවරයාත් ඔහුගේ අනුශාසකයනුත් ඒ කාලයේ ජීවත්වූයේ රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව ග‍්‍රාමයෙහිය.

පසුව කුඹුරක තිබී හමුවූ බව කීව ද මුල් කාලයේ මේ බිම බුදල්නා වාසය කළ ගෘහය තිබූ තැන යැයි ඇතැම් ඉතිහාසඥයෝ සැක පහළ කරති.

’පනාකඩුව‘ යනු ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්කමක් සනිටුහන් කරන වදනකි.

සොළීන්ගේ බලය හේතුකොටගෙන 11 වැනි සියවස මුල්භාගයේ දී වනගත ව සිටි මුගලන් රජ පවුල ආරක්ෂා කොට පෝෂණය කිරීම පිළිබඳව කළගුණ සැලකීමක් වශයෙන් විජයබාහු රජතුමා බුදල්නා නමැති වීරවරයාට දෙන ලද රාජ වරප‍්‍රසාද පැහැදිලි කරන ලේඛනයයි.

මේ සන්නස් පත‍්‍රය නිකුත් කරන ලද්දේ රජුගේ රාජ වර්ෂයෙන් වසර 27 කට පසුවය. එනම් 1082 දීය.

රජතුමා තමා හා රජ පවුල අතීතයේ විඳි දුක් ගැහැට පිළිබඳව මෙහිදී කෙටියෙන් සඳහන් කැර ඇත. මානුෂික හැඟීමෙන් පණ පෙවුණු වදන් මාලාවක් එහි දැක්ක හැකිය.

බුදල්නා පරපුරේ කවුරුන් වුවද කෙතරම් දෝහයක් කළත් ඔවුන් දෙස රවා බැලීම් මාත‍්‍රයක්වත් නොකරන හා නොකරවන ලෙසත් ඔවුන්ගෙන් පෙත් පමුණු ආදී බදු කිසිවක්ම අය නොකරන ලෙසත් මේ සන්නසින් ප‍්‍රකාශයට පත්විය.

විජයබාහු රජතුමා රුහුණු මහා මණ්ඩලයේම රජු බවට පත්වී කි‍්‍ර.ව.(1055) තවත් වසර 27 කින් අනුරාධපුරයේදී මේ තඹ සන්නස් ප‍්‍රදානය කළ බැවින් එනම් කි‍්‍ර.ව. (1082 දී) ප‍්‍රදානය සිදුව ඇති නිසා මේ ගැන දැනට වැඩිදුර විග‍්‍රහයකට යාම නුසුදුසුය.

එය කළ යුත්තේ විජයබා පොලොන්නරුව ජය ගැනීමෙන් අනතුරුව කරන විග‍්‍රහයකදීය. ඒ නිසා නැවතත් කතරගම හා රුහුණු රජකළ 18 වියැති විජයබාහු තරුණ කුමරාගේ පටන් කතාවට පිවිසෙමු.

කතරගම රාජධානිය කැරගෙන විජයබාහු රජතුමා රජකම ආරම්භ කරන ලද්දේ ප‍්‍රාදේශීය රජකු වශයෙනි.

කුඩා කළ රජකුමරකු වශයෙන් ද, අනතුරුව ආදිපාදවරයකු ලෙසින් ද තෙවනුව රජකු වශයෙන් ද අත්දැකීම්වලින් පූර්ණ වූ එතුමා ශක්තියෙන් හා නුවණින් මුහුකුරා ගියේය. එය රාජ්‍යයක් උසුලන්නකුට අවශ්‍යම සුදුසුකමකි.

මුගලන් මහාසාමි වූ තම පියාට උරුමය තිබූ කිරීටය පසුපසම හඹා ආ රණශූර විජයබාට එනමුදු රාජ සභාවක් පිළිබඳව හෝ රාජ්‍ය කටයුතු පිළිබඳව හෝ දැනීමක් ද නොවීය. රජ ගෙදර හැදුණකු නොවුණු නිසාවෙන් එතුමාට ඒ කටයුතු විචාරීම එක්වරම අපහසු වන්නට ඇත.

නායකත්වය හා අභීතකම අවංකකම ප‍්‍රතිපත්තිය ආදී ගුණයන්ගෙන් පිරිපුන් මේ රජුට ස්වපාක්ෂික අධිපතීන්ගේ් හා අනුගාමිකයන්ගේ ගෞරවාදරය නිතැතින්ම ලැබිණි.

ඉදිරි කාලයේදී මුළු මහත් චෝල අධිරාජ්‍යය කඩුගෑමට තරම් බලසම්පන්න දිරියක් තිබුණෙන් ස්වදේශික දේශපෙ‍්‍ර්මි ජනතාව තව තවත් එතුමා වටා රොක්වූයේ මීමැසි ගුලක රැජින වටා මැසි සමූහයා එක්වන පරිද්දෙනි.

රුහුණේ බලයට පත්වුව ඔටුනු නොපැළැඳි විජයබාහු රජතුමා ගේ එකම අදිටන වූයේ සොළී බලය මෙරටින් නෙරපා බෞද්ධ බලයක් මේ රටේ නැවත ස්ථාපිත කිරීමයි. සිය අණින් බෙර හසුරුවා තමන් අභිමත පරිදි ඇමැති මඩුල්ලක් ද පත්කැරවා ගත් රජතුමා මංගල කතාවේදීම මෙසේ කීවේය.

”රජරට අප මුතුන්මිත්තන්ගේ් දේශයයි. ඒ දේශයේ දැන් සිටින්නේ ඉන්දියාවේ වීරරාජේන්ද්‍ර හා රාජරාජ නමැති බලවත් සොළී රජුන්ගේ සොළී ජනරාල්වරයෙක්. ථූපාරාමය, අභයගිරිය, රුවන්වැලිසෑය ආදී අපේ බෞද්ධ මහා චෛත්‍යයන් වගේම සිරිමහ බෝ සමිඳුන් දැන් සොළීන්ගේ් කිලිටි දෑතින් අපවිත‍්‍ර වෙලා.

ඔවුන් කඩු ගෑ දමන තුරු මට රජකමෙන් වැඩෙක් නැත. ඇමැතියති වහ වහා සේනා සංවිධානය කරව්. ගම් දනව් සිසාරා බෙර හඬ පතුරව්. රුහුණු දේශය රැකගන්නා ගමන් ම අප රජරටට සීරුවට කඩා වැදිය යුතුයි. සොළී ජනරාල්වරයා බොටුවෙන්ම අල්වා ගත යුතුයි.

රජුගේ වේගවත් කතාව අසා සිටි දේශපෙ‍්‍ර්මි රුහුණු වැසියෝ ඔල්වරසන් දුන්හ. ඔවුන්ගේ අත්පොළසන් හඬ බොහෝ වේලාවක් යනතුරු පැවතිණි.

විජයබාහු රජු රජරට හැර රටේ අස්සක් මුල්ලක් නෑර සේනා යවමින් කරුණු පැහැදිලි කරමින් කළ මේ සංචාරය වඩාත් ඵලදායී එකක් විය. රටවැසියන් ප‍්‍රමෝදයට පත්ව රජු වටා පවුරක් මෙන් බැඳිණි.

විජයබාහු කෙමෙන් සිරිලක එක්සත්කම ඇති කරමින් රුහුණේ් රජ වී ඇති බව දැනගත් රජරට සොළී ජනරාල්වරයා මහත් සේ කිපුණේය. ඔහු වීර රාජේන්ද්‍ර හා රාජ රාජ නම් ඔවුන්ගේ ප‍්‍රධාන චෝල අධිරාජ්‍යයේ රජවරුන්ට මේ බැව් දැන්වීය.

එදා චෝලයනට ඉන්දියාවේ හා වෙනත් දේශ දේශාන්තරවල විශාල පිරිස් බලයක් තිබිණි. ඔවුන් විශාල නැව් හමුදාවක් මෙරට පිටත් කර එවා අනුරාධපුරයේ සිටි ජනරාල්වරයාට උදව් කළේය.

විජයබා තවදුරටත් රටේ කොතැනකටවත් පැන ගත නොහෙන පරිදි අල්ලා බැඳ ගත යුතුයි. නැත්නම් දුටු වහාම මරා දැමිය යුතුයි. වීර රාජේන්ද්‍ර සේනාව බාර නායකයාට ගුගුළේ ඇසූ දුටුවන් මවිත කරවන තරමේ කම්පනයකිනි.

නැව් මඟින් ආ චෝල හමුදාව අනුරාධපුරයේ දී සොළී ජනරාල්වරයාගේ හමුදාවට එක්විය. මේ බල සේනාව විජයබා රජුගේ සේනාවට වඩා සිවු ගුණයකින් පමණ විශාල වූවකි.”රුහුණු කතරගම විනාශ කොට මිස මෙහි එන්නේ නෑ මෙරට සොළී ප‍්‍රතිරාජයා කීවේය. මහ බලසෙනඟක් රුහුණට එවීමට කටයුතු කළ තෙමේ අනුරාධපුරයේ නතර විය.

පොලොන්නරුවේ සිට රුහුණට ආ මේ සොළී හමුදාව අති විශාල වූයෙන් විජයබා එකවර තම සුළු සේනාව ඔවුන්ට එරෙහිව මෙහෙයවන්නට කල්පනා නොකළේය. රණශූර උපාය මාර්ගයේ දක්ෂතා ඇති විජයබා සංග‍්‍රාමයේ දී මෝඩ විදියට සටන් කරන්නකු නොවේ. එතුමා දෙතුන්වතාවක්ම කල්පනා කැර මෙය සටන් කිරීමට අවස්ථාව නොවන බව තේරුම් ගත්තේය.

ඇමැතියෝ ද පලායනු යෙහෙකි රජතුමනි, යැයි උපදෙස් දුන්හ.

කඳුකර වනාන්තරය විජයබාහුට හොඳින් හුරු පුරුදුය. එතුමා කඳුකර වනාන්තරය හරහා රැකවරණ පතා සේනාවද කැටුව පලාගියේය. ඒ තම පිරිස සතුරන් විසින් මරා දමනු ලැබීම නොරිසි නිසාවෙනි.

රජු කතරගමින් පිටව ගිය බව දත් සොළීහු මහත් ප‍්‍රීති ඝෝෂා නැඟූහ. පාළු නිවසක වළං බිඳින්නාක් මෙන් ඔව්හු කතරගම කොල්ල කෑහ. සිත් සේ සුරා බී නැටූහ.

කඳුකර වනගහනය හරහා පලා ගිය විජයබා රජු තඹලගම සිය වාසය කැර ගත් බව පෙනෙයි. මේ තඹලගම පිහිටා ඇත්තේ ගිංගඟ ඉහළ ප‍්‍රදේශයේ බටුවංගලට නුදුරුව ගාලු දිසාවේ හිනිදුම්පත්තුවේ බව ‘1921 ලංකා ජනගහනය’ නම් පොතෙහි සඳහන්ය.

මෙ කියන තඹලගම මහාවංසයෙහි සඳහන් වන තඹලගම ම නම්, දක්ෂිණ දේශයේ මායිමේ, රෝහණයේ බටහිර දිගින් විජයබාහු රජුගේ බලය මහත් සේ කේන්ද්‍රගතව තිබූ බව ද පෙනෙයි.

විජයබාහුගේ පැනයාම ගැන ලඝු කොට සිතීම වැරැදිය. ලංකාවේ මෙතෙක් ඉතිහාසය බිහිකැර ඇති විශිෂ්ටතම උපායමාර්ග විශේෂඥයා ලෙස සිරිලක සහමුලින්ම බලගතු විදේශීය අධිරාජ්‍යයක තර්ජනයට ලක්ව සිටි අවස්ථාවක ක‍්‍රමානුකූල සන්නද්ධ අරගලයක් කරන සැබෑ මිනිසකුගේ කතාව මින් කියැවේ. එහි පලායාමද එක් අංගයක් විය හැකිය.

රුහුණු සිංහලයෝ යුද්ධයට සූදානම් වෙති

කතරගම පුරවරයේ ගොඩනැඟිලි සුන් බුන් ගොඩක් බවට පත්වී තිබිණ. ඇතැම් විහාරාරාමවල චෛත්‍ය පවා හාරා එහි වූ වටිනා නිදන් බඩු සොරා ගත් සොළීහු පූජා භූමියේ ම සුරා බී නැටූහ.

කෙත්වතු උයන්වතු පුලුස්සා කාලයකට නැවත නගරය ගොඩ නඟා ගත නොහැකි වන පරිද්දෙන් මුළු මහත් රුහුණු පුරවරය ම දවා හළු කළ සොළී හේවායෝ අහිංසක සිංහල කාන්තාවනටද හිරිහැර කළහ.

කදිරගාමන්තෙයි කොල්ලෙයි අඩිත්තාලුම් එමග්ගු ඉංගු ඉරුක්ක මුඩියාදෙ – නාන්ගල් උඩනඩියාහ මීන්ඩුම් ජයනාථපුරම් පෝග වේන්ඩුම් යැයි සේනාංකය බාරව සිටි ප‍්‍රධාන සොළී සෙන්පතියා හඬ නැඟුවේ ය.

එහි සිංහල අරුත කතරගම කොල්ලකෑවත් අපට මෙහි ඉන්න පුළුවන්කමක් නෑ. අප නැවත ජයනාථපුරයට යා යුතුය යන්නයි.

එදා පොලොන්නරුව හැඳින්වූයේ ‘ජයනාථපුරය’ යන නමිනි.

කතරගම කොල්ල කෑ නමුත් එහි රැඳීම අනතුරුදායක බව දත් සොළී හේවායෝ නැවතත් පොලොන්නරුවට ම ගියහ. මලය රට දුර්ගය අතැර නැවත සේනා සංවිධානය කිරීමට යුහුසුලු විය යුතු යැයි සිතූ විජයබාහු රජතුමා තම සේනාවත් සමඟ හම්බන්තොට පෙදෙසෙහි සිප්තල හෙවත් සිප්පත්ථල නම් ගමට පැමිණියේ ජනතාවගේ මහත් ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ ය.

තම ආධිපත්‍ය එතෙක් පැවැති පෙදෙස සොළී පහරින් හෙම්බත් වී ගිය හැටි දුටු රජු කම්පා විය. සොළීන් රට සූරාගෙන කෑම නිසා රුහුණු රට බෙහෙවින් දුප්පත් වී තිබිණ.

මෙය රජතුමාගේ විමුක්ති සටනට ඉමහත් බාධකයක් ද වූ අතර ඒ වනවිට දකුණු ඉන්දියානු සොළී දේශය බෙහෙවින් පොහොසත් වී තිබිණ. ඔවුන්ගේ කෝවිල් ආදිය නඩත්තු වූයේද අපේ දේශයෙන් ඇද ගත් සම්පත්වලිනි.

රටේ සම්පත් ඇතිකැරගැනීම රජුගේ පළමුවැනි අභිප‍්‍රාය වීය. විමුක්ති සටනක දී වැසියන් සාගින්නෙන් බේරාගැනීම යුතුකමකි. එනිසා කෙත්වතු උයන්වතු හා වෙනත් දේශීය වැවිලි යළි නැංවීමට එතුමා උනන්දු විය.

මාතර, හම්බන්තොට හා කතරගම සියලු හිස් ඉඩම්වල වගා සංග‍්‍රමයක් ඇරැඹිණි. වැවිලිකරුවනට හා ගොවීනට රජුගෙන් බොහෝ සම්මාන සංග‍්‍රහ පිරිනැමිණි.

ඉදිරියේදී සිදුවීමට නියමිත විමුක්ති සටන ගැන ඉවෙන් මෙන් වටහා ගත් රුහුණු සිංහලයෝ එකිනෙකා පරයා නැඟෙමින් වී, කුරුඳු, තල, මෙනේරි, කුරක්කන් මතු නොව වෙනත් වන වගා ද කළහ. දේශීය කර්මාන්ත ආදියෙහි ද නව පිබිදීමක් ඇතිවිණි.

සිප්පත්ථල වාසය කරමින් මේ ආකාරයෙන් රටේ නිෂ්පාදන ධාරිතාව නංවන රජුගේ සේනාව අතිමහත් වූහ. සේනා සංවිධානය අතින් වඩාත් සතුටු විය හැකි වුව අවි ආයුධ නිෂ්පාදනය පැත්තෙන් වැසියා තුළ වූයේ තරමක් ඇල් මැරුණු ගතියකි.

එනිසා රජු අවි ගබඩාහල්, කම්හල් පිහිටුවා සටනක් ඉදිරියේ ඇති බව පෙන්වා දුන්නේ ය.

කෙතරම් දුනු හී, කඩු, හෙලි, තෝමර තිබුණත් වෙනත් දියුණු විදේශීය රටක අවි ආයුධ සොළී අධිරාජ්‍යයේ බිහිසුණු අනතුරට මුහුණ දීමට අවශ්‍ය බව එතුමාට වැටහිණි.

මේ අතර සිප්පත්ථල කඳවුරු ගමේ සිටි රජතුමා වෙත පයිංඩයක් රැගෙන ආ අශ්වාරෝහකයෙකි. ඔහු අසු පිටින් බැස ඉතාම යටහත් පහත් ලෙස ආචාර කෙළේ ය.

පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස, හිනිදුම්පත්තුවේ ගිංගඟ බඩ කුඹුරක වැඩ කරමින් සිටි ගොවියන් තිස් ගණනක් සොළීන් යමින් ගමනදී මරා දමා තිබෙනවා.

එමතුද නොවේ රජතුමනි, ඇඹුල ගෙනා ගෙවිලියන් ද කුඩා දරු පැටවුන්ද විසි ගණනක් කුඹුරු ලියද්දේ කපා කොටා දමලා.

මෙබස් ඇසූ රජුගේ කෝපය දැඩි විය. සොළීන් යමින් ගමන කරන මේ නොපණත්කම් ගැන මෙන්ම පැමිණ කළ අපරාධ ද හේ ගිනියම් කෙළේ ය.

අපේ දුනු හී තෝමරවලින් පමණක් මේ සොළීන් පරදවන්න බෑ. මොවුන් බුරුතු පිටින් නසා දැමීමට අපට විදේශවල මිත‍්‍රත්වය ඇතිකරගන්නට වෙනවා. ඔවුනගේ ආධාර උපකාර ආයුධ ඇතිවයි ඔවුන්ගේ බලය සුනුවිසුනු කරන්නට වෙන්නෙ.

විජයබාහු රජු ගේ මෙබස් ඇසූ ඇමැති ගණයා ද එය අනුමත කළාක් මෙන් හිස් දෙපසට වැනූහ. එහෙත් රවිදේව හා චල යන රජු ගේ ප‍්‍රධාන සේනාපතිවරු ඊට තරමක් එකඟ නොවූහ. චල එකත්පස්ව සිට මෙසේ පැවැසීය.

මහරජතුමනි, ලෝකේශ්වරයා හා කේශධාතුක කසුබ් සමඟත් සටන් කළෝ අපමය. එහිදී අප පණ පෙවූ හී තෝමර තවමත් තියුණු ය. ඔවුන්ගේ බලවත් සේනාවන් නසා රුහුණු පුරය ගත්තාක් මෙන් අපට රජරට ද ඒ ආයුධයෙන් දිනිය හැක්කේය…

එබසින් තවත් දිරි පත් රවිදේව මෙසේ කීයේ ය.

සොළී සේනාවට මුහුණ දී ගත නොහී මධ්‍යම කඳුකරයට පලා යාමට අණ නොලදින් නම් අපි ඒ මුවහත් කඩුපතින් ගසා ඔවුන් දිනන්නෙමු.

රජ සන්සුන්ව සේනාපතියනට පිළිවදන් දුන්නේය.

ඇමැතියනි, ඔබගේ ආත්මශක්තියට මම හිස නමමි. ඒත් උපායශීලී බව අන් හැමටම වඩා අගනේය. කේශධාතුක කසුබ් හෝ ලෝකේශ්වර ප‍්‍රාදේශීය රජවරුන්ය. ඔවුන් සතු හමුදා ශක්තිය ද ආයුධ බලය ද හීන ය. එබැවින් ඔවුන් දිනීමට අපට හැකිවිය. එහෙත් චෝලයන් දිනීම එතරම් පහසුවක් නොවන බව තේරුම් ගත යුතුය. ඒ සඳහා ක‍්‍රමානුකූල සැලැස්මක් ඇතිව සටනට පිවිසිය යුතුයි.

එසේ කී රජ නැවත සේනාපතිවරුන් දෙස බැලුවේය. ඔවුන් ද නිශ්ශබ්දව සිටියේ එබස් පිළිගත් බව අඟවමිනි.

මේ රජු වෙනත් රජුනට වඩා බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. රජුගේ වචනය නීතිය වන කාලයක වුව එතුමා තීන්දු ගන්නේ බොහෝ කල්පනා කිරීමෙන් පසුවය. චල හා රවිදේව යනු විජයබා රණශූරයාගේ ප‍්‍රධානතම සෙන්පතිවරු වෙති. ඔවුන් ආත්මාභිමානය අභීතකම නිසාම උපායශීලී නොවන්නේ යැයි රජුට කල්පනා වන්නට ද ඇත.

විදේශ රටවල් කීපයක් සමඟ වාණිජ සම්බන්ධතා පැවැත්වීම අනාගතයේ චෝලයනට එදිරි සටනට විශිෂ්ට උපකාර ලබාදෙන මඟක් විය හැකි යැයි කල්පනා කළ විජයබා මුලින් ම ඒ සඳහා තෝරාගත්තේ බුරුම දේශයයි.

ඒ වනවිට විජයබා රජුගේ බල කලාපයට යටත්ව තිබූ නැඟෙනහිර හා දකුණු වෙරළ තීරයේ නාවික හා වෙළෙඳ කටයුතු ද හොඳින් කි‍්‍රයාත්මක ව තිබිණ. එවකට රාමඤ්ඤ දේශයේ (බුරුමය) රජු ලෙස ඔටුනු පැළැඳ සිටියේ අනෝරථ හෙවත් අනුරුද්ධ නම් කෙනෙකි.

චල හා තවත් විසි ගණනක කණ්ඩායමක් සකස් කළ විජයබා එම පිරිස අමතා මෙසේ කීයේ ය.

මේ විශේෂ මංජුසාවල තැන්පත් කැර ඇති වටිනා මුතු, මැණික් හා ඇත්දත් අනෝරථ රජු වෙත ඉතාම ගෞරව බහුමානයෙන් පිරිනැමිය යුතුයි. දෙරටේ ඇති වෙළෙඳ ගනුදෙනු පිරික්සා මිත‍්‍රශීලී දෑත් ඔවුනට දිගු කරන්න. මේ මගේ අවවාදයයි.

රජුගේ ප‍්‍රකාශයට පිළිවදන් ලෙස චල මෙසේ කීයේය.

මහරජුනි, බුරුමය පිරිසුදු බෞද්ධ රටක්. අප රටට වන හානිය ගැන ඔවුන් කම්පා වී ඉන්නෙ. අපේ වෙහෙර විහාර සොළීන් කඩා දමන විට අපට වඩා වේදනාවෙන් ඔවුන් සොළීන්ගෙන් පළිගැනීමට හිතනවා. එනිසා ඔබේ අරමුණු සාක්ෂාත් වනු නිසැකයි.

චල කවදත් රාජ්‍ය තන්ත‍්‍රණයේ හා මිනිස් සම්බන්ධතා ගොඩනැඟීමේ දක්ෂයෙකි. ඔහුගේ මේ ප‍්‍රකාශයෙන් රජු උද්දාම වූයේය. චල දකුණු වෙරළින් නැව් නැඟ බුරුම දේශයට යාත‍්‍රා කැර දින තුනකින් පමණ නැවත මෙහි ආවේය.

මහරජ, ඔබතුමාගේ මිත‍්‍රත්වය ගරු කළ අනෝරථ රජතුමා අපට බොහෝ සෙයින් සලකන ලද්දේය…. කී චල සේනාධිපතියා එම රජු විසින් දෙන ලද සඳුන්, කපුරු හා වෙනත් විවිධ භාණ්ඩ රැගත් නැව් කීපයක් දැන් වරායට පැමිණ ඇතැයි ද කීවේ මහත් සතුටකිනි.

මේ නැව් නැවැත් වූ වරාය පිහිටියේ හම්බන්තොට ය. පාණ්ඩ්‍යයන් විසින් හා අග්නිදිග ආසියාවේ ශ‍්‍රී විජය රාජ්‍යයේ “මලයිවරුන් විසින් සපයන ලද නැව් උපයෝගී කැර ගනිමින් වෙළෙඳ සම්බන්ධතා ඇතිකැරගත් විජයබාහු රජතුමා ඒ සමඟ පැමිණි සෙබළුන් ද නොයෙක් පඬුරු දී තමන් වෙත යොමු කරවා ගැනීමට සමත් විය.

මලයිවරුන් ලෙස හැඳින්වූවේ ශ‍්‍රී විජය අධිරාජ්‍යය පිහිටි මලයා අර්ධද්වීපයෙහි මිනිසුන් විය හැකිය. මේ අධිරාජ්‍යයේ වැසියනගේ ප‍්‍රධාන කාර්යය වූයේ වෙළෙඳ්‍රම් හා නැව් කර්මාන්තය බව ඉතිහාසඥයෝ කියති. ක‍්‍රමානුකූලව තමාට අවනත විසල් බළකායක් සකසා ගත් රජතුමා තවත් ටික කලෙකට පසුව තම්බල ගමෙහි කඳවිටි ගසා ගත්තේය. තම්බලගම යනු ගිංගඟ ඉහළ හිනිදුම් පත්තුවේ ගාලු දිස්ති‍්‍රක්කයට අයත් ගමෙකි.

මේ විජයබා රජු රුහුණෙහි රජවී දසවැනි රාජ වර්ෂය පසුකරමින් සිටි කාලයයි. එනම් 1065 වසරය. මේ කාලයේදී සොළීනට යටත්ව තිබුණු රජරට පෙදෙසේ සිංහල වැසියෝ සොළී රජුට එරෙහිව කටයුතු කරන්නට පටන් ගත්හ. ඔවුහු රජරට සොළී ප‍්‍රතිරාජයාට ගෙවිය යුතු බදු මුදල් පවා නොගෙවූහ.

විජයබා රජුගේ සූක්ෂ්ම යටි උපායමාර්ග ඊට හේතු විය. සොළී ප‍්‍රතිරාජයා වෙනුවෙන් අයබදු එකතු කළ ඇතැමුනට රජරට වැසියෝ පහර දුන්හ.

රජරට හැර වෙනත් සියලු භූමිභාගවල ලක්වැසියන් තම එකම රජතුමා වශයෙන් පිළිගෙන තිබුණේ විජයබා නරවිරුවාය. රජරට ගිනි පුපුරු මතු කරන්නට හේතුවූයේ විජයබාගේ දක්ෂ සෙන්පතිවරුන් විටින් විට එහි එවන දූතයන්ගේ පණිවුඩවලිනි.

රජරටෙහි දුර්භික්ෂයක් හෝ අගහිඟකමක් නොතිබිණ. එහෙත් එහි ජනතා පැතුම වූයේ ද සොළීන් මෙරටින් පලවා හැර අපේම රජකු යටතේ ඒකරාශී වීමයි.

විජයබාහු රජු චෝල පාලකයනට එරෙහි වූවනට විවිධ ආධාර අනුබල දෙමින් තෙමේ ද, එතෙක් කරගෙන ගිය යුද්ධෝපක‍්‍රම පවා වෙනස් කරමින් රජරට සටනට කල්යල් බලමින් සිටියේය.

අපේ රට අපට ඉතිරි කැර තොපි පලයව්. අපේ වෙහෙර විහාර රැකදියව්. රුහුණු දේශය අද කොච්චර සාමකාමී ද? මෙහෙ හැමදාම අපේ සිංහල විරුවො මරා දමනවා. අපේ කෙත්වතු උයන්වතු ගොවිබිම් පාළු කරනවා. අප සතු සම්පත් උන්ගේ රටට ඇද ගන්නවා. අපි විජයබා රජුට පක්ෂපාතව මුන්ට අයබදු පවා නොගෙවා කැරැලි කෝලාහල ඇතිකළ යුතුයි.

විජයබා නරවිරුවාට පක්ෂපාතව එසේ කියමින් ජනතාව පෙළගැස්වූ රජරට ගොවි නායකයකු ඊට සතියකට පසුව එම ගොවි බිමේම මරා එහි කිරි ගසක එල්ලා හිසට හීවලින් විද රුහිරය වැගිරෙන්නට සලස්වා තිබීම මේ රජරට වැසියන්ගේ කලබලයට ආසන්නතම හේතුවක් වන්නට ඇත. රජරට වැසියනගේ මේ හදිසි නොසන්සුන්තාව හා විරෝධතාව ගැන මහත් සේ කිපුණු දකුණු ඉන්දියාවේ සිටි රාජරාජ සොළී රජු කැරැල්ල මැඬ පැවැත්වීමේ අරමුණින් ඉතාම ප‍්‍රබල සේනාවක් නැවත මෙරට එවීය.

එහි ප‍්‍රධානයා වශයෙන් කටයුතු කළේ රාජරාජ මහ රජු ගේ ප‍්‍රධාන සෙනෙවියෙකි. මෙසේ නැව් නැඟ ආ සොළී සේනාව (මහාතිත්ථයට (මාන්තයි) තොටුපළින් ගොඩ බැස එතැන් පටන් ලක්වැසියනට හිංසා කරමින් රජරටට පැමිණ එහි ද රටවැසියන් මරන්නට වූහ.

පලටුපාන පර්වතයේ දී සොළීන් හා මහ හටනක්

රජරට වැසියන් බුරුතු පිටින් මරා දමනු ලැබූ බව ඇසීමෙන් – විජයබාහු රජු ගේ හෘද ස්පන්දනය දැඩි විය. ඒ අහිංසක මිනිස් ඝාතන ගැන කම්පාවෙනි.

වීර සිංහලයිනි, මා වෙත රොද බැඳගනිල්ලා. ජීවිතය ගියත් මෙවර නම් සොළියාට අපේ කෙත්වතු, ගොඩනැඟිලි විනාශ කරන්නට ඉඩ දෙන්නේ නෑ. අන්තිම සිංහලයා දක්වා සටනට වැදී රාජරාජගේ බල පරාක‍්‍රමය විනාශ කරමු. උන් නිසැකවම ඊළඟට හැරෙන්නේ රුහුණු බිමටයි. එකෙක් නෑර පෙති ගසන්නට කඩු මුවහත තබාපල්ලා.

රජුගේ වේගවත් කතාවෙන් දිරිගත් සිංහලයෝ එකා පරයා එකා නැඟී සොළියා එන මඟ අහුරා සිටියහ. රටේ වැසියන් මර්දනය කළ සොළී සේනාව ඊළඟට හැරුණේ රුහුණු දේශයටය.

ංචතූර්ය නාදයෙන් රුහුණු පුරය රාව ප‍්‍රතිරාව නැංවීය. එක් එක් පෙළට සංවිධානය වූ ඇත්, අස්, රිය පාබල හමුදාවෝ සීරුවට ප‍්‍රාකාරයක් මෙන් සිටියහ. විජයබාහු කොඩිය ඔසවා ගත් වීර සිංහලයෙක් එය තමා නැඟ හුන් ඇතුගේ කුම්භස්ථලය මත පළඳනාවේ ගැට ගැසුවේය.

සාමාන්‍යයෙන් රජු සිටින ස්ථානයේ කොඩිය රැඳවීම සිරිත වුව සතුරන් ගේ එක පැහැර අවධානයෙන් මිදීමට රජු ට සෙනෙවියන්ගෙන් එසේ කිරීමට උපදෙස් ලැබී තිබිණ.

සොළීන්ට විරුද්ධ මහා සටනකට දැන් සිංහලයා සූදානම් ය. එහෙත් රජු එතෙක් සටන් සංවිධානය කළ ස්ථානය බලා දූතයකු ඉගිලී ආවේ අජානේය අසකු පිටිනි.

අසු පිටින් බට දූත හේවායා අශ්වයාටත් වඩා හතිලමින් මෙසේ කීවේය.

මහරජුනි, ඉතාම අසුබ ආරංචියක් ඔබ වහන්සේට කියන්ඩ සිදුවී තිබෙනවා. ඔබතුමා රැකවල් තැබූ පෙදෙස්වල සිටි අපේ මහ සෙනෙවිවරුන් දෙදෙන රවිදේව හා චල දැන් රාජද්‍රෝහීන් වී අවසානයි. ඔවුන් දෙදෙනා අද හිමිදිරියේ වීර රාජේන්ද්‍ර හා රාජරාජ සොළී රජුන්ගේ මෙරට සොළී ප‍්‍රතිරාජයාට එකතු වුණා.

එබස් ඇසූ විජයබා රජුගේ දෙනෙත් මහත් විය. නළලෙහි දා බිඳු වටයක් මතුවිණ.

චල හා රවිදේව කළ නොමනා කි‍්‍රයාවට නිසි දඬුවම් ලැබෙනු ඇත. සිංහල හමුදාව යනු රවි හා චල පමණක් නොවේ. තවත් වීර සිංහල සෙබළුන් දස දහස් ගණනක් අප සතුව සිටිනවා. නුඹගේ ආරංචියට පැසසුම් කළ ද මා ඉන් මොහොතක් වත් සැලෙන්නේ නෑ.

එසේ කී රජු සේනාවෙන් ටිකක් ඈතට ගොස් ගස් සෙවණක තුරුලතා මඬුල්ලක සුවය විඳිමින් මොහොතක් එතැන වූ ගල්පුවරුවක ඇලවී හුන්නේය. විවේක විශ‍්‍රාමය ගැනීම මෙවැනි අවස්ථාවක රජුන් කළ කාරියකි.

දිය පිපාසාවෙන් හඬන නියං කොබෙයියෙක් රජු සිටින ඉසව්වෙන් කෑ ගසාගෙන ඉගිලිණ.

චල හා රවිදේව මගේ සේනාවේ බලවත් දෙදෙනෙක්. චල බුරුම දේශයේ අනෝරථ රජ හමුවීමටත් ගියා. මොවුන් මෙසේ සේනාවෙන් ඉවත ගියේ මගේ වරදක් නිසා වෙන්නට පුළුවන්ද? ඔවුන් කළ කතාබහවලින් මා රැවැටුණා. දැන් අප රැඳිය යුත්තේ ඈත සිට සතුරු හමුදාව එන බව දැකගත හැකි කිසියම් උස් ගිරි කුළු ඇති ස්ථානයකයි.

මෙසේ සිතූ විජයබාහු රජතුමා ඒ සඳහා වඩාත් සුදුසු කුමන තැනැක් දැයි සෙනෙවියන් විමසීය. මේ සිදුවීම වන විට එතුමන්ගේ ප‍්‍රාදේශීය රාජ්‍ය පද ප‍්‍රාප්තියෙන් 11 වසර පසුවූවා පමණි. එනම් කි‍්‍රස්තු වර්ෂ (1066-67) කාලයේ දීය. සෙනෙවිවරුන් යම් යම් ඉසව් පෙන්වා දුන්න ද ඒ එකම ස්ථානයක්වත් ඊට උචිත යැයි සංග‍්‍රාම සූර විජයබා කල්පනා නොකළේය.

මේ හටන කළ යුත්තේ සිතුල්පව්වට කිට්ටු පලුට්ඨගිරියේ බව රජු තීන්දුවක් ගත්තේය. අඩු සේනාවකින් වුව වැඩි පිරිසක් මර්දනය කළ හැකි මේ දුර්ගය වඩා වැදගත් තැනෙකි. වත්මනෙහි මඟුල් මල් විහාරය ලෙස හැඳින්වෙන්නේ මෙම ස්ථානයයි.

රජුගේ රාජප‍්‍රාප්තියෙන් 11 වසර එනම් (1066-67) කාලයට හරියටම 37ත් වසරකට පෙර වීර සිංහල සෙනෙවිවරු දෙදෙනකු චෝලයනට එරෙහිව සටන් මෙහෙයවා තිබුණේද පලුට්ඨගිරියේ ය.

අනතුරුව විජයබා පලුට්ඨගිරියෙහි කඳවුරු බැඳ සිටියේ චෝලයන් රුහුණට එන තෙක් මහ සටනකට අරඅඳීමිනි.

සිංහල සෙන්පතිවරුන් දෙදෙනකු තමන්ට පක්ෂපාතීවීම මුළු රුහුණම තමා සන්තක වූවා සේ සොළී ප‍්‍රතිරාජයා සිතුවේය. චල හා රවිදේව ඉහළින් උත්තමාචාර දක්වා පිළිගත් හෙතෙම ජයඝෝෂා නැඟුවේ මහත් ප‍්‍රීතියකිනි.

විජයබාගේ මරණ මංචකේ ඇවිත්…. ඔවුන්ගේ සෙබුල්ලු අපේ ළඟට එන්නෙ ඒකයි. යටත්වන හැම සෙන්පතියෙක්ගේ ම ජීවිතය මා බේරා ගන්නවා. උම්බලා බය නැතිව හිටපල්ලා… ඔහු මධුවිත බඳුනක් තොල ගාමින් කැඩුණු සිංහලයෙන් කීවේය.

චල හා රවිදේව යන වීර සිංහල සෙන්පතියන් මෙවැනි අඳබාල කි‍්‍රයා මාර්ගයක් ගනීවි යැයි සිංහලයා කවරදාවත් සිතුවේ නැත. උත්තමාචාර දක්වා පිළිගත්ත ද ඔවුනට සොළී සේනාවේ ලැබුණු හරසර ටිකින් ටික දියවී ගියේ කෙටි කලකිනි.

ස්වභාවික දුර්ගයන්ගෙන් හා කඳුවලින් ද දියඇලිවලින් ද වට ව තිබූ බැවින් අවටින් කිසිවකු පැමිණෙද්දී ඈතදීම දැක බලාගත හැකි අලංකෘත පලුට්ඨගිරි හෙවත් පලටුපාන පර්වතය සතුරනට පහරදීමට මහඟු ස්ථානයකි.

මෙතැන සිට සාර්ථක ලෙස සොළීනට මුහුණදීමටත් ඔවුන් හදිසි මෙන් ම බිහිසුණු ප‍්‍රහාරයකට ලක් කිරීමටත් පිළිවන් බව දත් රජතුමා සටනට සැරැසී බලසෙනඟ සමඟ සිටියේය.

විජයබා රජ පලටුපාන හෙවත් පලුට්ඨගිරියට පැමිණ කඳවිටි ගසා ගෙවී ගියේ හෝරා 72 ක් පමණි. සොළීහු පලටුපාන පර්වතය වටකළහ. විජයබාගේ සංග‍්‍රාම ශිල්ප කිසිත් නොදත් සොළී හේවායෝ බුරුතු පිටින් නවීන ආයුධ ඇතිව දිව එන්නට වූහ. ඈත සිට සොළී සේනා පර්වතය වටකරනු දුටු විජයබා එතෙක් ගස් අතර බැඳ තිබූ ආරක්ෂක අට්ටාලවලට නැඟ සිටින්නට දුනුවායනට උපදෙස් දුන්නේය. තවත් පිරිසක් පවුරක් ලෙස ගසින් වැසුණු තැන් තැන්වල රැඳවීය.

ඉදිරියට දිව එන සොළී සේනාව අතරට මුලින්ම ප‍්‍රහාරයක් එල්ල වූයේ දුනුවායන්ගෙනි. ඔවුන්ගේ තියුණු හීසර සුළඟටත් වැඩි වේගයෙන් සොළීන් සොයා එන්නට විය. හීතල වරුසාවෙන් බේරීමට වදුලට පිනූ සොළියෝ වදුලේ රැක සිටි සිංහල හේවායන්ගේ කඩුපතින් වෙන්විණ.

ඊතල පපුව මත රුවා ගත් සොළියෝ පලටුපාන පර්වත පාමුල කෙසෙල් කඳන් මෙන් ඇද වැටුණාහ. හෙලි, තෝමර අතැති වීර සිංහලයෝ සොළීන් අතරට පැන ඔවුනට පහර දුන්නේ යක්ෂාවේශයෙනි. රණශූර විජයබා සොළී නායකයන් පසුපස හඹා ගියේ විදුලි වේගයෙනි.

අට ඉස්බක් ඉහළට පිනීමට සමත්කම් පෑ රජු සොළී සේනාවේ බලවත් නායකයන් කීපදෙනකුගේම හිස් සින්දේ අහස් කරණම් ගසමිනි. මරහඬ දුන් සොළියෝ සිංහල සේනාවේ ධීර වීර සටන් අබිමුව අසරණ වූහ. ගල්තලාව මුදුනතින් ඇද වැටෙන විශාල ගල්කුට්ටි සොළී සේනා අන්දමන්ද කළේය.

රජුගේ අශ්ව සේනාවේ – සෙන්පතියෝ දුවන සොළීන් පසුපස ම හඹා විත් ඔවුන් දෙපලු කළහ. සොළී රුහිරු ගංගාවෙන් පලටුපාන ගිරිය තෙත්විය. සොළී සේනාපතියා නැඟ සිටියේ ප‍්‍රබල සෙන්ධවයකු පිටය.

සොලී ප‍්‍රතිරාජයා පසුපස සිංහල සේනා හඹා ආවත් පණ බයේ හැල්මේ දිවෙන හෙතෙම තම සේනාව ද අමතක කොට නැවත ජනනාථපුරය පෙදෙසට දුවන්නට විය. ඔහුගේ උගුරත් කටත් වියළී ගොස් අසු පන්නාගත නොහී ගොරබිරම් ලෙස වියළි හඬක් නැඟීය.

සොළී භටයන්ගේ සිරුරු තැන් තැන්වල වැටී තිබිණ. කඩුපත්වලින් කැපී ගිය ඇතැම් සොළියෝ විලාප නඟමින් සිටියහ. වියළි හිරු රැස් වැටුණු ගල්තලාව සොළී රුහිරයේ පිලී ගඳින් නැහැවිණ. නොබෝ වේලාවකින් ම සටන අවසන් වී නමුත් රජුගේ කෝපගින්න නිම නොවීය.

මාගේ වීර සෙන්පතියනි, තෙපි කෙසේ හෝ පැන යන සොළී ප‍්‍රතිරාජයා අල්ලා හිස ගසා ගත යුතුයි. ඒ හිස මා වෙත ගෙනා යුතුයි. නායකයාගේ හිස ගැනීමෙන් මිස රාජේන්ද්‍ර හෝ රාජරාජට රිදවිය නොහැකියි. එසේ කී රජ මොහොතක් කල්පනා කැර මෙසේ අණ කළේය.

මේ ජරපත් සිරුරු කාකයන්ට හෝ කැනහිලුන්ටවත් නොවටිනු ඇත. එනිසා මේ පලටුපාන පර්වතය අවට සොළී සිරුරු මිහිදන් කරන්න.

පලටුපාන පර්වතය සේදිණ. සොළී සේනාවේ සිරුරු දහස් ගණනක් මිහිදන් කැරිණ. මහා වික‍්‍රමාන්විත විජයබා මේ සටන කළේ ද සොළී සේනාව මෙන් තුනෙන් එක් කොටසක සේනාවක් ඇතිවය. එහෙත් එතුමාගේ මර උගුල් හා ආරක්ෂක උපක‍්‍රම සිංහල සේනාවට විශිෂ්ට ජයක් අත්කැර දුන්නේය.

තෙපි, දැන් ජය පැන් බීවාට මගේ වරදෙක් නැතැයි කී විජයබා චල හා රවිදේව එතැන නොසිටියේ මන්දැයි සමීපයේම සිටි සෙන්පතියකුගෙන් විමසීය.

මහරජ, චල හා රවිදේව සොළී හමුදාවට එක් වූ නමුත් පලුට්ඨගිරිය වට කිරීමේ දී ඔවුන් පැන ගියා. දැන් ඔවුන් දෙදෙනාට සොළී ප‍්‍රතිරාජයාත් නෑ. සිංහල සේනාවත් නෑ. හෙතෙම කීවේ රජුගේ මුවට මන්දස්මිතයක් ද මතු කරවමිනි.

විජයබාහු කොඩිය ඔසවා ගත් සිංහලයෝ පලටුපාන පර්වතය වටා දිව පනිමින් ප‍්‍රීතිසාද පැවැත්වූහ. හොරණෑ හේවිසි නාද ද තැනින් තැන නැඟිණ. සාර්ථක යුද්ධයෙන් ප‍්‍රමුදිත ජනතාව දෙස බැලූ විජයබා රජ සොළී ප‍්‍රතිරාජයා අල්ලාගත නොහී කම්පාවෙන් සිටියේය.

පැරැදුණු චෝල පිරිසේ සේනාපතියා පලා යද්දී රාජභටයෝ හෙතෙම තඹවිටිගමදී අල්ලා ගත්හ. ඔහු සතුව තිබුණු අශ්වයා හා වෙනත් යාන වාහන හා වෙනත් වස්තූන් ද රාජභාරයට ගැනිණ.

සිංහල සෙන්පතියකු වූ අතුල සොළී ප‍්‍රතිරාජයා බොටුවෙන් අල්ලාගෙන දෙතුන් විටක් පොළොවෙහි ගැසුවේය. ඔහුගේ සෙන්ධවයා ද රාජභටයෝ අල්ලාගත්හ.

සොළී ප‍්‍රතිරාජයා අතුල සෙනෙවියා හා සටනට මෙන් සැරසුණේය. ඔහු සමඟ ජනනාථපුරයට පැන යන ඉතිරි සොළී ටික දෙනා ද අපේ හේවායන් අතින් මැරුම් කෑහ. සොළී ප‍්‍රතිරාජයා අල්ලා පොළොවේ ගැසූ තරුණ අතුල සෙනෙවියා ඔහුගේ හිස සින්දේ විදුලි වේගයෙනි.

ඔහු ගේ හිස ද එල්ලා ගත් අතුල ප‍්‍රමුඛ රාජභටයෝ ඔහුගේ වස්තූන් ද රැගෙන රජතුමා වෙත ගියහ.

තුටු පත් රජු සිය සෙනෙවියන් ද කැටුව සොළීන් ගේ පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවැති පොලොන්නරුවට ගොස් තාවකාලිකව වුණත් එය තමන් යටතට ගත්තේය.

විජයබාහු අල්ලා ගැනීමේ මහ මෙහෙයුම ඇරැඹේ

ජයබාහු රණශූරයා ගේ යසෝරාවය පොලොන්නරුව රුහුණ, රජරට හා මුළුමහත් ලක්වැසියා අතර ද පැතිර ගියේ නිමේෂයකිනි. ඒ යසෝරාවය ගැන ඇසූ චෝල දේශය මහත් සේ කම්පා විය. වෙව්ලුම් කෑවේය.

එතෙක් පොලොන්නරුව ජනනාථපුරය නමින් නම් කැර මහත් තේජසින් වැජැඹුණු සොළී ප‍්‍රතිරාජයා ගේ කැපුණු හිස රජු ගේ මණ්ඩපය ඉදිරියේ රිටක අමුණා තිබිණ.

යුද්ධයෙන් මළ සොහොන් පිටියක ලකුණු පෑ පලටුපාන පෙදෙසේ සිට රජු පොලොන්නරුවට ආවේ එහි වැසියාට වූ කරදර හිරිහැරවලට සහනයක් ලබාදෙන්නට ය.

සොළීන් පන්න පන්නා පහරදීමෙන් ලත් සතුට සැමරීම් වස් අපේ සේනාවේ ධීර වීර සිංහලයෝ එදින රාති‍්‍රයේ මහත් සේ සුරා බී සතුටු වූහ. ඇතුනට හා අසුනට ද යම්බඳු විශ‍්‍රාමයක් ලැබිණ.

විජයබාහු පොලොන්නරුව සිය අණසක යටතට ගත් බව ඇසූ දකුණු ඉන්දියානු සොලී නායකයා දණ්ඩෙන් පහර ලත් නායගයකු ලෙස කිපුණේ ය. වීර රාජේන්ද්‍ර නමින් කීර්තියක් ලබා සිටි හෙතෙම මේ සිද්ධියෙන් දැඩි ලෙස අවමානයට ලක්විය.

විජයබාහු අල්ලා ගෙන හෝ ඔහු මරා දමා හිස නොගෙනාවොත් තොපේ මරණය ළඟා වනු ඇතැයි හේ තම සේනාවේ භටයනට ගුගුළේ ය. නැවතත් විජයබාහු රජුගෙන් ලක්දිව පැහැර ගැනීමේ වෑයම ඔහු තුළ ගිනියම් වීය.

වෙනදා එව්වාටත් වැඩියෙන් විසල් බල ඇණියක් මෙහි එවීමට රාජේන්ද්‍ර කටයුතු කෙළේ ය. මෙවර ඒ මහා බල ඇණිය නැව්ගත කළේ ද වීර රාජේන්ද්‍ර රජුමය.

මෙසේ පැමිණෙන සොළී හමුදාව මහාතිත්ථයෙන් මෙරටට ගොඩ බැස අනුරපුර දෙසට ගමන් ආරම්භ කළහ. මහාතිත්ථ යනු මාන්තායි නමින් හැඳින් වූ අතීත වරායකි. දැනට මන්නාරමට එහා ත‍්‍රස්ත සටන් පවතින ප‍්‍රදේශයක මේ මහාතිත්ථය තිබෙන්නට ඇතැයි ඉතිහාසඥයෝ සැක පහළ කරති.

අලුත් සොළී සේනාවක් යළිත් මෙරටට ගොඩ බැස ඉදිරියට එන බව විජයබාහු රජුට සැළවිණි. මහා සේනාවක් සමඟ අතුල සෙනෙවියා පිටත් කළ රජු පිරිස අමතා මෙසේ කීවේය.

දකුණු ඉන්දියාවේ වීර රාජේන්ද්‍ර මා ජීවග‍්‍රහයෙන් අල්ලා හෝ මරා දමා පොලොන්නරුවේ බලය අතට ගන්නට යළිත් හමුදා එවනවා. ඔවුන් නැව් මඟින් මහාතිත්ථ තොටුපළින් මෙරටට පැමිණි බව මට චරපුරුෂයන් දැනුම් දී ඇත්තේය.

ඔවුන් එන මඟ අපේ ගෙවල් දොරවල්, කෙත්වතු, උයන්වතු, ගොවිබිම් විනාශ කරනවා. රටවැස්සන් මරනවා. මෙහි ළඟාවන තුරු සිටියහොත් හානිය විශාලයි. අප ඔවුන් පෙරමුණට යා යුතුයි. අනුරාධපුර පුරාණ රාජධානිය සමීපයේ දී අපට මේ හමුදා කොටුකැර ගත හැකියි.

ඔවුන් සතු නැව් බලය, ආයුධ බලය හා පිරිස් බලය විශාල බැවින් උපක‍්‍රමිකව සටන් කිරීමටයි අපට සිදුවී ඇත්තේ. මා සමඟ එම සටනට සූදානම් වන්නට දැන් වේලාවයි.

විජයබාහු නරේන්ද්‍රයා ගේ එම කතාව අසා සිටි සිංහලයෝ මහත් ඔල්වරසන් නැඟූහ. ඔවුන් අතරැඳි කඩුපත් ඉහළට ඔසවා ලෙළවමින් කළ මේ ආචාරය සොළීන් මෙරටින් අතුගා දමන්නට තරම් ශක්තිමත් අදිටනින් කළ එකකි.

රණශූර අතුල සෙනෙවියා ඉදිරියට පැමිණි රජු අමතා මෙසේ කීවේය.

මහරජ මේ පැමිණෙන්නේ වීර රාජේන්ද්‍ර හෝ වෙනත් එවැනි පාලකයෙක් නොවේ. ඔබතුමා සටනට පිවිසිය යුත්තේ එවැන්නකු පෙරමුණේ සිටින වේලාවකයි. සෙනෙවියකු ලෙස පිරිසක් සමඟ මට මේ හමුදාවට මුහුණදිය හැකියි. ඔබතුමා ගේ අවසරය ලැබේ නම් එම අවසරයෙන් මම සොළීන් නැවත පන්නා හරිමි.

තම සෙනෙවියා ගේ කතාව අසා තුටු පත් රජු ඊට අවසර ලබා දුන්නේ ය. තූර්ය නාද හේවිසි මඟුල් බෙර හඬ නැඟිණි. යුද්ධය සඳහා කරන සංඥා හැඬවිණි. ඔව්හු රණ ඝෝෂා නඟමින් අනුරාධපුරය දෙසට ගමන් කළහ.

වීර සිංහල සේනාවන් සොළී හමුදාවත් එකට මුණගැසුණේ අනුරාධපුර පැරැණි රාජධානිය අසලදී ය. අපේ බල සෙනඟ මෙන් තුන්හතර ගුණයක විශාලත්වයකින් යුතු හමුදාවක් සොළීන් සතු විය. ඔවුන් අත නවීන පන්නයේ අවිආයුධ තිබුණේය.

ගිනි ගෙන දැවෙන මහ සටනක් ඇතිවිණි. අතුල ප‍්‍රමුඛ අපේ සෙනෙවිවරුන් දක්ෂ ලෙස සටන් කළ ද මේ මහා සේනාව මර්දනය කිරීම පහසු නොවීය. අපේ එක් හේවායකු වටකර ගැනීමට ඔවුහු පස්හය දෙනෙක් සිටියහ. මෙහි කළ සටන අමාරු විය.

බොහෝ සිංහල හේවායෝ සොළීන් අතින් මැරුම් කෑහ. බොහෝ දෙනෙක් දෙමළුන්ගේ බලයට අසුවූහ. කොටින්ම කියතොත් මුළු මහත් රජරට වැසියෝ සොළීනට යටත්වූහ. අපේ භටයනට කිසිදා නොවූවිරූ පරාජයක් අත්විණි.

ප‍්‍රධාන සෙනෙවියා සටන අත්හැර පලායාමට සිංහල භටයනට අණ කළේ පරාජය හමුවේ තවත් කළ හැකි දෙයක් නොමැති නිසාවෙනි. තෙමේ ද සුළු පිරිසක් සමඟ පැනගත්තේය. අපේ රථ ආයුධ සියල්ල සොළීන් සතු විය.

සොළීන් තව තවත් ඉදිරියට විත් පොලොන්නරුව සමීපයට එන බව දැනගත් වියජබාහු රජතුමා මේ මහා බලඇණියට මුහුණදීමට වඩා උපක‍්‍රමශීලීව ඉවත් වී ඔවුන් යටත් කැර ගැනීම මැනැවැයි සිතීය.

රජු පොලොන්නරුව අත්හැර විල්ලිකාඛාණ නම් පෙදෙසට ගොස් දින කීපයක් තුළ වහ වහා තම සේනාව සංවිධානය කැර ගත්තේය. විල්ලිකාඛාණ යන්න සමහර තැනෙක පැහැදිලි කැර ඇත්තේ වෑ උඩ විල්ලි හත්පත්තුව නමිනි.

චෝල සේනාපතියා විජයබාහු අල්ලා ගැනීමේ සටන තව තවත් වේගවත් කරමින් සිටියේය. විජයබාහු මරා හෝ අල්ලා නොගෙන නැවත දකුණු ඉන්දියාවට යාමට සොළී සෙන්පතියාට හැකියාවක් ද නැත. ඒ වීර රාජේන්ද්‍ර ගේ රාජ උදහසට ලක්වී මරණය හිමිවිය හැකි නිසාවෙනි.

එබැවින් සොළී ප‍්‍රතිරාජයා තව තවත් තම මහා බල ඇණි විසුරුවමින් විජයබා අල්ලා ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කෙළේ ය.

රජු ළඟම ඇති විසල් පර්වතයක් තම වාසභවනය කරගැනීමට තීන්දු කළේ චෝලයනට පලුට්ඨගිරියේ දී කියා දුන් පාඩම යළි කියාදීමට සිතමිනි. වාතගිරි නම් පර්වතයට ගිය රජතුමා එහි බළකොටු බැන්දේය. වරින්වර මෙතැනට කඩා වදින චෝල හමුදා ටිකින් ටික මරා දැමීමේ සැලසුම තුන් මසක් පුරා කි‍්‍රයාත්මක විය.

උපායශීලීව සටන් කිරීමෙහි දක්ෂයකු වූ විජයබා වාතගිරි පර්වතය වටා මර උගුල් බැන්දේය. ආරක්ෂක පවුරුවල දුනුවායන් රැඳවීය. ගල් පෙරැළීය.

දෙමළුන් එතැනට කඩා වදින විට ඊතල වැසි ළඳු පඳුරු තුරු වදුලු යටින් ගලා ආයේ ය. ගස් බෙනවල රඳවා සිටි හේවායෝ ඉදිරියෙන්ම එන සොළීනට නොවරදවාම විදින්නට සමත් වූහ.

මහ ගස් කඳන් හිටි හැටියේ සොළී සේනා පොඩිපට්ටම් කරගෙන ඇද වැටිණි. උපක‍්‍රමශීලී සටන් ව්‍යාපාරයේ අතිදක්ෂ විජයබා සිටි මේ පර්වතයට සොළීනට කිට්ටුවීමට බැරිවුණේ මෙවැනි රහස් සටන් ක‍්‍රම නිසාමය.

වාතගිරි යනු කෑගලු දිස්ති‍්‍රක්කයේ ගල්බොඩ කෝරලේ වාකිරිගල නම් ස්ථානය බැව් සැලකේ. විජයබාහු කෙසේවත් අල්ලා ගත නුහුණු චෝලයෝ තුන් මසකට පසු පසුබැස්සාහ.

වීර රාජේන්ද්‍ර රජු 1067 වැන්නේ දී කරවා ඇති හිරුමුත්තුවල් ශිලා ලිපියේ මේ අවස්ථාවේදී සිදුවූ සංග‍්‍රාමය මහත් අභිරුචියෙන් වර්ණනා කරයි. එහි තමන්ට අභිමත ව්‍යාජ වීර්යත්වයක් මවා දෙන වදන් බොහෝ වෙයි. එහි මේ සංග‍්‍රාමය පිළිබඳව එන සඳහන මෙසේය;

හෙතෙම (චෝල රජු) සැමකල්හි රළ නඟින්නා වූත් බෙහෙවින් රැකවල් කරනු ලබන්නා වූත් මුහුදෙහි ඉමහත් බලසෙනඟින් යුත් නැව් ගණනක් දියත් කරවා ගොඩ බසින්නට වෑයම් නොකොට ඊළම් හි(ලංකාවෙහි) යුද කිරීමට පටන් ගත්තේය.

මෙයින් සිංහල සේනාවේ ධෙර්යය හීන විය. ස්වර්ණමය නූපුරයක් පැළැඳ සිටි කුරු තුලක්තරයියන් තෙමේද, අහස් ගිගිරුම වැනි කෝපයක් ඇති තවත් සාමාන්තයෙක් ද ඇද වැටී මරා දමනු ලැබූහ.

ඉක්බිති මහත් කෝලාහලයක් ඇතිවී (චෝලයන්ගේ ප‍්‍රහාරය) දරා ගත නොහැකිව පැවැති රට මුළුල්ලේ පැතිර ගියේය. මේ නිසා විජයබාහු රජ තෙම දිසාවන් පවා නොදැන පලා ගියේය. ඉක්බිති (චෝල රජතෙම) ඔහුගේ බිසව සිරබාරයට ගෙන…”

එහෙත් මේ කතාව සත්‍ය ලෙස පිළිගත නොහැක්කේ රජුට මේ වනවිට බිසවක් ද නොසිටි බැවිනි.

බාහිර සතුරු උවදුර මෙතරම් තිබෙද්දීත් නැවතත් විජයබාහු රජතුමාට අභ්‍යන්තර උවදුරකට මුහුණ පාන්නට සිදු විය. මේ අප රටේ හැටිය.

විජයබා මරන්නට පැමිණි කසුබ් ගේ සොයුරා පොලොන්නරුවට පලා යයි

වකිරිගල දුර්ගය මුදුනත සිට බලන විට මුළු මහත් කෑගලු පුරවරය ම ඉතා ම දර්ශනීය ව පෙනෙයි. දුර්ගය වටකැර විජයබාහු රජු අල්ලා ගැනීමට හෝ මරා දැමීමට උත්සාහ කරන සොළී හමුදාව මහත් අසරණ බවට පත්විය.

කිසියම් රහස් සටන් ක‍්‍රමවේදයක් ප‍්‍රගුණ කළ රජු සැඟැවී පහරදීම ද තැනින් තැන කුඩා කණ්ඩායම් ලුහුබැඳ පහර දීමේ ක‍්‍රමයක් ද කි‍්‍රයාත්මක කළේය. දුර්ගය අවට වියළි තණ පතක් පවා පෑගීමට ඔව්හු බිය වූහ.

සමහර තැනෙක මහත් වූ අගල් කපා ඒ මත වැතිරූ කෙළින් සිටුවා ගත් විස පෙවූ ඊතල තබා ඒ මතුයෙහි පස් කුට්ටි පිරැවිණි. ඒ පස් කුට්ටි මත සාරවත් ගස් ද ඇති බව පෙනෙන දසුන් මැවිණි.

වාකිරිගලට පහර දීමට දිව එන සොළීන්ගේ අශ්වයන් සමඟම ඔව්හු මේ අගල්වල වැටී මියැදුණහ. ඇතැමෙක් පලා ගියහ. එහෙත් වරින් වර ඔවුනගේ පැමිණීම ද සිදු විය.

සොළීන් සමඟ මහත් යුද්ධයක පැටැලී සිටි මහරජු ගේ මානසික ශක්තිය තරමක් පිරිහී ගියෙන් ඒ අවස්ථාව බලා රජු මරා දැමීමට සමහරෙක් කල්පනා කළහ. ඒ මේ රටේ ධීර වීර සිංහල ජනතාව අතරින් ඉතා ම අතළොස්සකි.

කලින් යුද්ධයක දී මරනු ලැබූ කේසධාතු කස්සපගේ සොහොයුරා මේ අතර ප‍්‍රධාන වී ය. තම පක්ෂයට පිරිසක් බඳවාගෙන බුත්තසාල (බුත්තල) පෙදෙසෙහි සේනාවක් සංවිධානය කැර ගත් හෙතෙම විජයබාහු රජු ගෙන් පළි ගන්නට සිතී ය.

බුත්තල යනු අතිශය රමණීය සටන් ඉතිහාසයක් ඇති නගරයකි. මාගම සිට විජිතපුරයට ගිය ජයමඟේ දී දුටුගැමුණු මහරජුට හා සේනාවට මහත් බත්හල් නිමවා දුන්නේ බුත්තල වැසියන් ය. බත්ගල පසුව බුත්තල වී ය.

දැන් කේසධාතු කස්සපගේ සොහොයුරා සේනාව සකස් කරන්නේ මෙහිදී ය. විජයබාහු රජු හුදෙකලාව ම සොළීන් සමඟ කරන මහ හටන ගැන උදම්ව සිටි සිංහලයෝ ඔහුගේ බසට එකවර නැඹුරු නොවූහ. ඉතා ම සුළු පිරිසක් තම ලාභ අපේක්ෂාවෙන් කැරැල්ලට එකතු වූහ.

විජයබාහු ගේ සටන් ව්‍යාපාරයේ ඇති දක්ෂතාව තේරුම් ගත් සොළී හමුදා නායකයා මෙසේ කීවේ ය. (මෙහි පළවන්නේ සිංහල පරිවර්තනයයි.)

අප නැවත ජනනාථ පුරයට යා යුතුයි. සාර මසක් තිස්සේ කෙතරම් පිරිස් ගෙන ආවත් අපට විජයබාහු අල්ලාගන්නට බැරිවුණා. මේ සටනේදී අපට අහිමි වූ භටයන් අතිවිශාලයි. තුවාළ වූ පිරිස් විශාලයි.

එක් මිනිහෙක් අල්ලාගන්නට මෙතරම් පිරිස් නැති කරගන්නේ ඇයි කියා දකුණු ඉන්දියාවේ මහරජු අප ගැන උදහස් වී ඇත්තේ ය. ජනනාථපුරේ ද පරිපාලන ව්‍යූහය බිඳ වැටී ඇත. විජයබාහුට වැද්ද ගත නොහෙන ලෙස ජනනාථපුරය රැකැගැනීමට පියවර ගන්නට උපදෙස් ලැබුණා. මේ දුර්ගය අතැර නගරයට එන විට අල්ලා ගනිමු.

එම ප‍්‍රකාශය සොළී භටයන් ගේ කන්වලට යගුල්වලින් අනින්නාක් බඳුවිය. ඔවුන් වාකිරිගලට ආවේ කේසර සිංහ විලාසයෙන් විජයබාහු අල්ලාගන්නා බවට හා ඔහුට ලබා දෙන දඬුවම් ගැන ද නන්දොඩවමිනි.

එහෙත් දැන් ඔවුන් පලායන්නේ කැලෑබළලකු ගැවැසෙන වනයේ මීයන් කැළක් නිශ්ශබ්දව යන ආකාරයෙනි.

සොලීන් දුර්ගය අතැර ගිය බව නිසැකව ම තේරුම් ගත් විජයබාහු රජු බුත්තල නැඟී එන කැරැල්ල මැඬ පැවැත්වීමට ඉටා ගත්තේය. ඒ අනුව මච්චුත්තල නම් දෙසට පැමිණි රජ එම ස්ථානයේ තම සේනාව සමඟ කඳවුරු බැඳ ගත්තේ ය.

මච්චුත්තල නම් ස්ථානය කොතැනදැයි හරි හැටි තවමත් පැහැදිලි නැත. කථා ව්‍යවහාරයේ දී ගම් නම් ස්ථාන වෙනස් වී යාම ස්වභාවයකි.

එදා මෙලෙස හැඳින්වූ ස්ථානය අද කිනම් නමකින් වහරන්නේ දැයි සෙවීම ඉතිහාසඥයනට බාරය. එහෙත් මච්චුත්තල මහ පිටියක් තිබුණු වන ගහණයෙන් නොතොර සුන්දර පෙදෙසක් බව නම් සැබෑ ය.

විජයබා මෙහි කඳවුරු බැඳ ගත් බව දත් කසුබ් ගේ සොයුරා තම සේනාව ද කැටුව එහි ආවේ රජු නොමරා මිස මාගේ යළි ගමනක් නැතැයි පාරම් බාමිනි.

මච්චුත්තල දී සටනක් ඇරැඹිණි. විජයබා මෙහිදී කෙතරම් සුරු විරුකම් පෙන්වා ඇත්දැයි විමසීමෙන් සොයා බලන්නකුට පෙනී යන්නේ රජු නැඟ සිටි අශ්වයා පිටිය මැද ඒ මේ අත බඹරයක් මෙන් කරකැවීමේදී අශ්ව වළල්ලක් මැවී නොපෙනී ගිය බව ය.

ඊට සමගාමී ව කසුබ් ගේ ප‍්‍රධාන සෙනෙවියන් ගේ හිස් ද කැපී ගිය බව ය.

කසුබ් හා ද්වන්දව සටනකට සූදානම් වුවත් විජයබාට මුහුණ දී ගත නොහී හෙතෙමේ තම කකුල ද සටනේ දී බිඳගත් අශ්වයා සමඟ පලා යන්නට සූදානම් විය.

සතුරා දුර්මුඛ කළ හැකි නම් නොනවත්වා ම යුදයේ යෙදෙන විජයබා පලා යා නොදී වටලන්නැයි තම සේනාවට අණ කළේ ය. අතුල ප‍්‍රමුඛ මහා සෙනෙවියෝ මෙන්ම විජයබාගේ භටයෝ ද අහස් කරණම් පනිමින් අසුන් මෙහෙයවමින් ඉතා ම දක්ෂ ලෙස සටන් කළහ. එහෙත් කසුබ්ගේ සොහොයුරා මෙතැනදී දක්ෂ විය.

ඔහු කුරුබිලියෙන් ගෙට ඇතුළු වන සොරකු සේ රහසේ ම තම භටයන් ද අතැර දමා කකුල බිඳුණු අසු ද අතැර තම සේනාංකයේ අසකුª මතට පැන පලා යන්නට විය.

අන්ත අසරණ වූ ඔහුගේ සේනාව හිස් ලූ ලූ අත පලා ගියහ. විජයබාගේ සේනාව උන් පසුපස හඹා ගොස් පෙති ගසන්නට උත්සුක වන කල්හි විජයබා රජ ඊට එකඟ නොවීය.

තේරුමක් නැතිව අපේම සේනාවන් මරා දැමීම වරදක්. සතුරා ගේ ප‍්‍රධාන සෙනෙවියන් මරා දමන්නට සිදුවුණේ ඒ අය රාජද්‍රෝහීන් අතර ප‍්‍රධානම කාර්යභාරය කළ අය නිසයි.

සොළීන් සමඟ යුද්ධයට අපට අපේ සේනාවන් අවශ්‍යයි. එහෙත් කසුබ් ගේ සොයුරාගේ හිස නොගත්තොත් හෝ හෙතෙම තවදුරටත් අප අතර සිටීම වැළැක්විය යුතුයි.

එසේ කී විජයබා මහරජ ඒ සේනා පසු පස හඹා ගොස් පන්නා හැරීමට පමණක් අණ කළේ ය. රජුට අවශ්‍ය වූයේ කසුබ් ගේ සොයුරා අල්ලා ගැනීම හා ඔහුගේ කැරැල්ල මර්දනය කිරීමේ අරමුණ සාක්ෂාත් කරගන්නටය.

ඒ අනුව රජු ගේ මහ සේනාව එම සතුරු හමුදා මච්චුත්තලයෙන් ඛදිරංගනයටත් එතැනින් තබුලගල්ලටත් ලුහුබැන්දාහ.

මහත් තේජස් විකුම් ඇති විජයබා ගේ දක්ෂකම් හොඳින්ම තේරුම් ගත් කසුබ් ගේ සොයුරා තම බිරිය හා දරුවා ද වස්තුව ද අනාථ කොට චෝලයන් ගේ රැකවරණය පතා ඔවුන් සිටි පොලොන්නරු ඉසව්වට පලා ගියේය.

දකුණෙන් සොළීන් පලවා හැරි විජයබා ගේ කීර්ති නාමය යළිත් බබළන්නට වීය. කේසධාතුක කසුබ්ගේ සොයුරාට එක්ව සිටි ඇතැම් සිංහලයෝ ද මහරජු වෙත පැමිණ සමාව අයැද සේනාවට එක්වූහ.

කසුබ් ගේ සොයුරා ගේ තනි වූ බිරිය හා දරුවෝ මර බියෙන් වැළැපුණි. එහෙත් විජයබා රජු ධාර්මිකයෙකි. ඇතැම් සේනාධිපතියන් එම දරු පවුල මරා දැමීමට සැලසුම් කැර තිබුණ ද රජු ඊට බලවත් ලෙස විරුද්ධ වීය.

මාගේ සටන සොළීන් සමඟය. රාජද්‍රෝහීන් සිරභාරයට ගැනීම හෝ රාජ්‍ය කුමන්ත‍්‍රණකාරීන් මරා දැමීමේ වරදක් නැත. එහෙත් ඔවුන්ගෙන් යැපෙන අහිංසකයන් මැරීම පවෙකි. කිසිවකු මේ සඳහා උනන්දු වුවහොත් ඔහුගේ හිස මගේම කඩුපතින් කපා දැමීමට මම කිසිවිටෙකත් මැළිි නොවෙමි. මේ මාගේ ස්ථිර රාජ ආඥාවයි.

රජුගේ අණ ඇසූ සෙනෙවියෝ වෙවුලා ගියහ. සොළීන් ගැනම මිස තමන්ගේ ම සේනාවට මෙතරම් ප‍්‍රබලව ප‍්‍රකාශයක් කළ වෙනත් අවස්ථාවක් විජයබා රජු ගේ ඉතිහාසයේ තවත් ඇද්දැයි සැක සහිතය.

කසුබ් ගේ සොයුරා ගේ බිරිය හා දරුවන් මරා දැමීමේ රහසිගත කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙතැයි ඇසූ රජු දණ්ඩෙන් පහර ලත් නාගයකු සේ කිපුණේය. එවැනි ප‍්‍රකාශයක් සිදුවූයේ එනිසාම ය.

රටෙහි සාමය පතා යන ගමන කිසිම ආකාරයකින් කිළිටි වීම රජු නොඉවසූ කාරියකි. විජයබා ගේ මේ උසස් ප‍්‍රතිපත්ති අගය කළ ශීලාචාර සිංහල ජනතාව එතුමා වටා පෙළ ගැසුණේ මී මැසි ගුලක රැජන වටා මැස්සන් රොද බඳිනා අයුරිනි.

එතෙරින් මෙන්ම මෙතරින් ද වරින් වර එල්ල වන සතුරු බල මුළු ගැන තුට්ටුවකටවත් මායිම් නොකළ රජු තිර අදිටනින් නොසැලී කටයුතුª කළේය.

එහෙත් අපේම මිනිසුන් කළ පහත් කි‍්‍රයාවන් නිසා රජතුමාට හැමවිටම මුල පටන්ම සටන් සංවිධානය කිරීමට සිදුවිය.

පොලොන්නරුවේ සිටින සොලී හමුදා ගැන සොයා බැලූ රජු තම්බලගම අලුත් සවිමත් බළකොටුවක් තැනැවීමට අණ කළේය.

රම්බා වෙහෙරෙන් ඇරැඹෙන මහා සටන

කේසධාතුක කසුබ් ගේ සොයුරා පරාජය කිරීමෙන් අනතුරු ව ඔහු සතුව තිබූ මහත් ධනස්කන්ධය ද රැගත් විජයබා මහ රජු තම්බල නම් ග‍්‍රාමයේ මහත් බළකොටුවක් තැනැවීය.

පුරා විද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් ගේ ’මහා සිංහලේ රාජවංශෙ’ පොතෙ හි ඒ බව සඳහන් වන්නේ තම්පලා ග‍්‍රාමයෙහි අලුත් දුර්ගයක් තැනැවූ බව යි.

මේ තැන් දෙකම එක ය. එනම් දොළොස් දහස් රටේ තරමක් කිට්ටුව ඇති දුර්ගයකි. එකල දොළොස් දහස් රට නමින් හැඳින් වී ඇත්තේ ගම් 12,000 ක් එක්ව සැදුණු මහා රාජධානියකි.

මේ මහා රාජධානියේ ප‍්‍රාදේශීය අගනුවර මහානාග කුල යනුවෙන් හැඳීන්විණි. අම්බලන්තොට සිට සැතැපුම් 9 ක් පමණ දුරින් වලවේ ගඟ අසල ‘රම්බා වෙහෙර’ ලෙස පසුකලෙක හඳුන්වන ස්ථානය ද මෙය ම බව නිශ්චිත ය.

විජයබා මහ රජු සොළීන් ජනනාථපුරයෙන් පලවා හැරීමට හොඳම සටන් උපාය මාර්ගය කි‍්‍රයාත්මක කළේ මෙහිදී ය. මෙතැන සිට තමා ගේ ප‍්‍රධාන ඇමැතිවරු දෙදෙනා බැගින් එක් මාර්ගයක ප‍්‍රධානව සිටින සේ සැලසුම් කොට ප‍්‍රධාන මාර්ග තුනකින් පොලොන්නරුවට ඇතුළුවීමට රජු කටයුතු කෙළේ ය.

විජයබා සටන් මාර්ග ගැන කීමට පෙර එම ඓතිහාසික රම්බා වෙහෙර හෙවත් මානාවුළුපුරය (මහානාගකුල) ගැන සවිස්තරාත්මකව කීම වැදගත් ය.

මේ ‘රම්බා’ වෙහෙර ගැන අප ඇසූ ජනකතාවක් තිබේ. වළගම්බා රජ සමයේ සුප‍්‍රසිද්ධ ‘බැමිණිටියා සාය’ නම් දුර්භික්ෂයේ දී තිස්සමහාරාමයේ සිට 12,000 ක් භික්ෂූන් හා සිතුල්පව්වෙන් 12,000 ක් භික්ෂූන් රහත් බවින් අහසින් වැඩි වේලාවෙදි දෙපිරිස එකට මුණගැසුණු සම්මුඛ වූ තැන සම්මුඛා, සම්බා, රම්බා ආදී වශයෙන් බිඳී රම්බා වෙහෙර වූ බව ඇතැමෙක් කියති.

රම්බා වෙහෙර යනු දොළොස් දහස් රටේ අගනුවරයි. මානාවුළුපුරය වන්නේ ද එයයි. කි‍්‍රස්තු වර්ෂාරම්භ කාලයේ පටන්ම ජනාවාසයකි. කි‍්‍රස්තු වර්ෂයෙන් 8-9 පොලොන්නරු අවදියේ වැදගත් පාලන මධ්‍යස්ථානයකි.

මහා විජයබාහු රජු කි‍්‍ර.ව. (1056 – 1114) මහත් සේනා සංවිධානය කළ පුරයයි. කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල රජ (කි‍්‍ර.ව. 1187 – 1196) මෙහි සිටි බව ඔහුගේ සෙල් ලිපියකින් පෙනේ. මහා පරාක‍්‍රමබාහු රජු (කි‍්‍ර.ව.1153 – 1158) කුමාර කාලයේ මෙහි සිටියේ ය.

13 වැනි සියවසින් පසු මහා පිරිවෙණක් බවට පත් වූ රම්බා වෙහෙර දී මුල්ම පාලි සංදේශ කාව්‍ය වූ ‘මානාවුළු සංදේශය’ රචනා වීය.

රම්බා වෙහෙර

දැනට එහි විහාරවාසී ධීයගහ සාරානන්ද හිමියෝ එකල අක්කර 200 කින් සමන්විත භූමිභාගයක විසුරුණු දාගැබ්, ප‍්‍රතිමා ගෘහ, බෝධිඝර, ආරාම හා වෙනත් පෞරාණික නටබුන් අදත් මේ විහාරස්ථානය සතුව ඇතැයි පවසති. එමතුදු නොව එදා මෙහි ආරාම සංකීර්ණයක් තිබූ බව ද වදාරති.

රම්බා වෙහෙර ගැන අප කළ සමීක්ෂණයේ දී එහි පුරා විද්‍යා ස්ථාන භාර නිලධාරි රසික බණ්ඩාර මහතා මහත් මෙහෙයක් කෙළේය. ඉකුත් මසදි පවා රම්බා විහාරයේ දී 4 වැනි මහින්ද ගේ අත්තාහි අභිලේඛනයක් හමුවූ බව පැවැසූ ඒ මහතා ඒ පිළිබඳ මෙතෙක් කාටවත් නොලැබුණු මාහැඟි තොරතුරු වැලක් අපට දුන්නේ ය.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ගිරුවා පත්තුවට අයත් භූමිභාගයක් වූ රම්බා විහාරයට බටහිර දෙසින් පිහිටියේ මාමඬල ඇළ ය. එය 1889 දී ඉංගිරිසි ජාතිකයන් විසින් පිළිසකර කරනු ලැබූවකි. එනමුත් එය පැරැණි රජ දරුවන් කළ ඇළ මාර්ගයක් බව පැහැදිලි ය. වලවේ ගඟ පිහිටා ඇත්තේ ඓතිහාසික රම්බා විහාරයට උතුරු දෙසිනි. ඉන් බටහිරට ගොඩවාය (ගොඨපබ්බත) මෝය පිහිටියේ ය. මෙකී සීමාවේ අභ්‍යන්තරයේ අතොරක් නැතිව ස්මාරක තැන්පත්ව තිබීම විශේෂයකි.

විල්හෙයිම් ගයිගර් පඩිතුමා මානාවුළුපුරය නැතහොත් මහානාග රාජධානිය හඳුනාගෙන ඇත්තේ “රෝහණයේ වළවේ ගං මෝය පිහිටි (රුහුණේ) දෙවන අගනුවර වූ මහානාග හුල පිහිටා තිබුණු අම්බලන්තොට ස්ථානය යනුවෙනි. විදේශීය චෝල ආක‍්‍රමණිකයනට විරුද්ධව රෝහණය මෙහෙයැ වූ දෙවැනි හෝ තෙවැනි මහා විමුක්ති ව්‍යාපාරයේ ජය බිම වූයේ ද මේ මහානාග පුරයයි.

පැරකුම්බා සිරිතේ මෙවැනි සඳහන් එයි.

පැරැණි නටඹුන්

සපිරි මානාවුළු පුරෙයි ඉඳ
පරපුරෙන් ආ පරසිඳූ
සොළින් වසඟව තුබූ රටගෙන
එසානූවක් අවුරුදූ

මුනි සසුන් රට වටා අමුතුම
මනුරජෙව් පිළිවෙළ සැදූ
එසිරි සඟබෝ විජයබා රජ
විසි පස් පනස වුරුදු

මානාවුළු පුර ඉඳු පරපුර හා මහා විජයබා රජුගේ බැඳියාව දෙඅයුරකින් මෙහි කියැවේ. පළමුවැන්නෙන් ඉඳු පරපුරෙන් – (චන්ද්‍ර වංශයෙන්) පැවත ආ විජයබා රජු මානාවුළු පුර විසීමය.

මෙහි එන දෙවැන්න නම් විජයබාහු රජතුමා පමණක් නොව බොහෝ රජවරු මෙහි විසූ බවයි. මහා විජයබාහු රජුගෙන් පසුව ඔහු පුත් වික‍්‍රමබාහු, ඔහු සොහොයුරු ජයබාහු, සොයුරිය මිත්තා, මහපැරකුම් රජු කුඩා කල හා ඔහුගේ මව රත්නාවලී බිසව මෙහි සිටි බව (පොල්වත්තේ බුද්ධදත්ත හිමි මහාවංස සංස්කරණය) පෙන්වා දෙයි.

මානාවුළු පුරය දොළොස්දහස් රටේ අගනුවර බවට පත්වූයේ – විජයබා රජු ගේ පුත් වික‍්‍රමබාහු යුව රජු ගෙන් පසුවය. 4 වැනි කාශ්‍යප කාලයට අයත් විය හැකි අභිලේඛනයක් ‘රම්බර චෙති’ නම් සඳහන අනුව රන් ආලේපිත ස්තූපයක් තිබූ හෙයින් ‘රම්බා’ යනුවෙන් භාවිතා වන්නට ඇතැයි ‘රුහුණු රට රාජධානි කෘතියේ කියයි.

මේ විහාරයට වෙනත් පරියාය වචන රැසක් ම යෙදුණු බැව් ද ඇත්තකි. රන්ඛා විහාරය, සම්බාහාර විහාරය, කදලි විහාරය යන්න ඉන් කිහිපයකි.

පාලි මුගලන් වියරණය නම් කෘතියට මුගලන් මාහිමියන් ගේම ශිෂ්‍ය වූ පියදස්සි හිමියන් විසින් ලියන ලද පද සාධනය මේ විහාරයේ බිහිවූ දෙවැනි කෘතිය ලෙස හඳුනාගත හැකිය.

රම්බා විහාරය පොලොන්නරු යුගයේ සිටම දේශීය විදේශීය අධ්‍යාපන ආයතනයක් ලෙස පැවැති බවට සාක්‍ෂ්‍ය තිබේ. 4 වැනි කාශප්‍ය ගේ අභිලේඛනයට අනුව ’දාධාරත්නි ඉසා’ දළදාව රක්‍ෂා කළ යුතුය යන යෙදුම සමග මෙහි දළදා වහන්සේ වැඩසිටි බවට ද තොරතුරු ඇත.

මානාභරණ, සිරි වල්ලභ, සුගලා මෙහි දළදාව පාත‍්‍රා ධාතුව මානවුළු පෙදෙසට රැගෙන ආ බවට තොරතුරු පැහැදිලිව අනාවරණය කැරගත හැකිය. වික‍්‍රම වීරසූරිය ඩී.ඊ. රුහුණු රට පුරාණ රාජධානිය පි. 69, 79 – 1928)

එසේම මේ විහාරයෙන් කි‍්‍ර.පූ. 3 වැනි සියවසේ සිට පැවැති වාස්තු විද්‍යාව, බෞද්ධ කලා ශිල්ප, ටෙරා කොටා ආදී අවශේෂ අංග පිළිබඳ ප‍්‍රත්‍යක්‍ෂ සාධක ස්පර්ෂ කිරීමේ දි පුරා විද්‍යාත්මක සාධක රැසක් අනාවරණය කැර ගත හැකිව තිබේ.

අලුතින් හමුවු අභිලේඛනය ගැන සවිස්තරව විග‍්‍රහ කිරීම වටින්නේ රම්බා විහාර ගැන ලියැවුණු කිසිම තැනෙක මේ ගැන නො ලියවුණු නිසා ය.

2008 ඔක්තෝබර 08 වැනිදා උදේ 10.45 ට පමණ රම්බා විහාර ස්මාරක භූමියේ දෙනික රාජකාරි කළ නඩත්තු නිලධාරි ලෙස්ලි කරුණාරත්න මහතාට පොළොව මතුපිට ස්මාරකයක් තුළ වැසී ගිය ශිලාමය ස්ථම්භයක් අහඹු ලෙස දක්නට ලැබිණ.

දර්ශනය වූයේ ස්වල්පයකි. අන් සියල්ල පසින් වැසී ගොසිනි. ඔහු තවදුරටත් විමසිලිමත් විය. රම්බා විහාරයේ අභිනව අන්තානි අභිලේඛනය හමු වූයේ එලෙස ය. මේ අභි ලේඛනයේ අග213 ජථ ය. පළල 17 ඛ්ර් ය. පාෂාණය ග‍්‍රැනයිඩ් වර්ගයට අයත්ය.

සිරිවත් අපරිය – ත් ගුණ මුළින් උතුරු – ත් අන් තුස් කුල පා යනුවෙන් අරඹා පැති තුනකින් කරුණු දක්වන මේ අන්තානි අභිලේඛනයේ සිංහලානුවාදය සපුරාම මෙසේ ය.

පුරා විද්‍යා ස්ථාන භාර නිලධාරි රසික බණ්ඩාර

ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එය මෙසේ පරිවර්තනය කරයි.

පළමුපැත්ත

ශි‍්‍රමත් අප‍්‍රමාණ ගුණයෙන් අනුන, ක්‍ෂති‍්‍රය වංශයට කොතක් බඳුවු ඔකාවස් රාජ පරම්පරාවෙන් පැවැත එන, එබඳු රාජ වංශයකට උරුමකම් කියන රදපුරු නම්, අගමෙහෙසිය වු රාජ්‍යය කරන, යොනක පරපුරෙන් සග්ගොන් බිසවගේ, කුස උපන් අබාසලමෙවන් රාජ්‍යයෙහි සදුවා ක්‍ෂති‍්‍රය වංශයට අයත් ස්වකීය ධෙර්යයෙන් ලංකාදීපය බබු ළුවමින් සිටි ඈපා මහින්ද රජතුමා ෂසින් මාගම කිරින්ද ඔයේ වම් කෙළවරෙහි පිහිටි අභයගරි නිකායට අයත් මඟුල් පිරිවෙනෙහි මංගල සූත‍්‍ර දේශනය, පවත්වනු පිණිස ගම් බිම් වලින් ලබා ගන්නා ලද බදු (ආදායම්) ගම්බදු බිඳිය.

දෙවැනි පැත්ත

මී ගවයන් එළ ගවයන් නොවද්දා ගත යුතුය. මෙහි වැඩ සිටිමි මාහිමියන්ගෙන් අවසර නොගෙන ඇතුළු නොවිය යුතුය. රාජ්‍ය නිලධාරින් මැදිහත්ව අවුල් නිරාකරණය කළ යුතුය. කුඹුරු කරන් විසින් අවුල් ඇති නොකළ යුතුය.

තෙවැනි පැත්ත

රාජ්‍ය නිලධාරින් විසින් සම්මතයන් නොබිඳ ආරක්‍ෂා කළ යුතුය. මෙම ආඥාව (සන්නස ටැම් ලේඛනය) රාජ්‍ය සභාවෙන් ආ නාවිනි තැනැත්තා විසින් ලේඛනය කොට දෙවීය.

මේ අභිලේඛනය හා එහි ඇති වෙනත් ස්මාරක ආදියෙන් හෙළිවන්නේ පැරැණි රජවරුන් ගේ මහත් අභිවින්දනයට පාත‍්‍රවූ භූමියක් වු රම්බා වෙහෙර තවත් බොහෝ අතීතයන් සඟවාගත් පින්බිමක් බවයි.

මහා විජයබාහු රජු රම්බා වෙහෙර භූමියේ සිට තම විශිෂ්ට සංග‍්‍රාම ගුරත්වය මතුකොට පොලොන්නරුව දක්වා සේනා යවන ගමන් මඟ තොරතුරු සමග යළි හමුවෙමු.

“සොළී බළකොටු වනසමින් නොනවතින ගමනක් අරඹව්”

ජරග‍්‍රාමයේ දී (කතරගම) ප‍්‍රාදේශීය රජකුව සිටියදී පවා විදේශ මිත‍්‍ර සබඳතාවල වටිනාකම තේරුම් ගත් මහා විජයබාහු රජ රාමඤ්ඤ දේශයේ (බුරුමයේ) රජු වෙත නොයෙක් තිළිණ යැවූ බව මම මුලදී ද කීවෙමි.

ඊට ප‍්‍රතිචාර වශයෙන් රාමඤ්ඤ රජු අනෝරථ විසිතුරු වස්තු සඳුන් කපුරු ආදියෙන් යුක්ත නැව් කීපයක් මෙරටට එවීය.

රම්බා වෙහෙර සේනා සංවිධානය කළ කාලයේ දී පවා මාගම පැරැණි වරායෙන් නොයෙක් විදෙස් ආධාර විජයබාහු රජු වෙත ලැබෙමින් පැවැතියේ කලින් සිටම එතුමා ගෙනගිය විදේශ ප‍්‍රතිපත්තිය නිසා ය.

අයෝධ්‍යාව, පාණ්ඩ්‍ය දේශය, කර්ණාටකය, මැලේසියාව, ශ‍්‍රී විජය අධිරාජ්‍යය වැනි රටවල් අතර රජතුමා ගේ මිත‍්‍ර සම්බන්ධතා දැඩි විය. බුරුමය සමඟ තිබුණේ වෙළෙඳ සබඳතා පමණි.

යට කී රටවල් ද නොයෙක් ආකාරයෙන් චෝල අධිරාජ්‍යයේ දරුණු ඇඟිලි තුඩුවෙන් මිරිකී සිටි පීඩිත රටවල් ය. එහෙත් ඔවුහු අප මෙන්ම විටින් විට ස්වාධීනව නැඟී සිටියහ.

රජු වාකිරිගල හෙවත් වාතගිරියේ සැඟැවී සොළීන් හා සාර මසක් සැඟැවී සටන් කරන කල්හි පවා මාගම වරායෙන් යම් යම් දේ රජුට ලැබුණු බව නොරහසකි.

වාකිරිගල දුර්ගය හා පැරැණි මාගම වරාය වන (ගොඩවාය) ගැන වෙනම ලිපියකින් හඳුන්වාදීම වැදගත් ය. එය එතරම් මැ විජයබාහු විමුක්ති සටනේ ප‍්‍රදීපස්ථම්භය.

සොළී සේනා මැඩලීමට රම්බා වෙහෙර හෙවත් මහානාගකුල සිට සේනා මෙහෙය වූ ආකාරය විස්තර කිරීමෙන් පසුව එම ලිපි දෙක ලියමි.

සොළී සතුරනට නොවරදින ප‍්‍රහාරයක් එල්ල කැර පොලොන්නරුව යටතට ගැනීමට සේනා සංවිධානය කරන රජුට මෙහිදී ඉතා සතුටු පුවතක් දැනගන්නට ලැබිණ. එවකට සොළී අධිරාජයාව සිටි ඉන්දියාවේ වීර රාජේන්ද්‍ර රජුට එරෙහිව එම රටේ බටහිර වාලුක්‍යයන් අරඹා තිබුණු සටන නැඟී ආවේ මේ කාලයේ දී ය.

පිට දේශයකට තම සේනා යවනවා තබා තමන්ගේ දේශය රැක ගැනීමට මුළුමහත් සොළී සේනාවම යෙදවීමට ඔහුට සිදුවිය. තැනින් තැන බලය අල්ලා සිටින ලංකාවේ සොළී නායකයන් පලවා හැර රට ස්වාධීන කැර ගැනීමට මේ කාලය බව විජයබාහු රජුට දැනිණ.

එතුමා බළසේනා විහිදුවා හැරිය යුතු ආකාරය ගැන බොහෝ සේ කල්පනා කළේ ය. මේ සැලසුමේ දී සොළී හමුදා පැලපදියම් ව ඇති ස්ථාන හරහා ගමන් මඟ සලසා ගත යුතු බව එතුමා ට කල්පනා විය.

සේනාංක තුනක් සංවිධානය වීය. එක් සේනාංකයකට ඇමැතිවරුන් දෙදෙනකු බැගින් පත් කරන්නට යෙදිණි. රජු ප‍්‍රමුඛ එක් සේනාංකයක් රට මැදින් පොලොන්නරුවට පිවිසීමට සැකැසිණි. අවශ්‍ය සියලු විධි විධාන යෙදීමෙන් පසු තවත් මාර්ග දෙකකින් පොලොන්නරුවට පිවිසීමට ඊළඟ සේනාංකවලට අණ ලැබිණි.

එක් සේනාංකයක ගමන් මඟ මෙසේ විය. දක්ඛිණ දේශයේ හරහා මහා තිත්ථය දක්වා එක්ව ගමන් ගත් එම සේනාංකය එතැන දී දෙකොටසක් ව බෙදිණි.

එක් කොටසක් කුරුණෑගල ප‍්‍රදේශයට අභිමුඛ වූ අතර අනෙක් කොටස නිකවැරටිය හරහා අනුරාධපුරය බලා ගමන් ගත්හ. කුරුණෑගල ප‍්‍රදේශයට අභිමුඛ වූ සේනාංකයේ අරමුණ වූයේ ඒ කාලයේදී දක්ෂිණ දේශයට අයත් ව තිබූ බොහෝ ස්ථානවල සිටි සොළීන් පලවා හැරීම ය. එහි ප‍්‍රධාන සොළී බළකොටු කිහිපයක් ද වීය.

රජු තෝරාගත් මාර්ගය ද අතිශයින්ම බිහිසුණු ය. මහා සොළී පවුරෙන් සැදුම් ගත් ස්ථාන ද වෙයි. සංග‍්‍රාම ශූර විජයබාහු සියලු සේනා විහිදුවන්නට පෙර අසකු පිට නැඟී මෙසේ සීහනාද කළේය.

මාගේ ධීර වීර සෙන්පතිවරුනි, වීරෝදාර සිංහල භටයිනි, සොළීයා දුර්ජනය. මහා සංග‍්‍රාමිකය. කෙතරම් නැසුවත් නැවත නැවත පූදින වල් තණ මෙන් සොළී බලය තවමත් සිරිලක පිහිටියේය. මෙවර පොලොන්නරුව, අනුරාධපුරය අප අතට ගන්නා තුරු සටන් වදිව්.

පැරැණි රජ දරුවන් පවා සිපගත් මේ රම්බා වෙහෙර භූමියේ සිට සිහල බලය පතුරුවා සැලසුම් සහගතව සකස් කළ සොළී බළකොටු විනාශ කරමින් පොලොන්නරුව බලා නොනවතින ගමනක් අරඹව්.

මෙසේ කී රජුට මාගම සිට මහාතිත්ථය දක්වා ගොස් එතැනින් බෙදී අනුරාධපුරයට ළඟාවන සේනාංකයේ එක් ප‍්‍රධාන ඇමැතියෙක් ඉදිරියට විත් දොහොත් මුදුන් ලා වැන්දේ ය.

මහරජතුමනි, සිංහල රටේ විමුක්තිය උදෙසා ඔබතුමා ගෙන යන මේ උදාර සටනට දැන් දැන් නොයෙක් පළාත්වලින් විශාල වශයෙන් ජනතාව පෙළ ගැහෙනවා. ඔවුන් දිරිමත් කරනු පිණිස ඔබතුමන් තවත් කාලයක් රම්බා වෙහෙර මහානාග කුලයේ රැඳිය යුතුයි.

ඇමැතිගේ මේ වචන ඇසූ සිංහල රණ සේනාවේ ඔල්වරසන් වැඩි විය. ඔවුන ගේ කාහල නාදය බොහෝ ඈත රාව ප‍්‍රතිරාව නැංවීය. සියල්ලෝ අවි ඔසවා ඔල්වරසන් දෙමින් කීවේ රජු මඳක් පමාවිය යුතු ය යන්න ය.

සේනාංකය බාර අනෙක් ඇමැතියා රණ ඝෝෂාව මඳක් නිහඬ කැර ප‍්‍රතිඥාවක් දුන්නේ ය.

මහරජුනි, අනුරාධපුරයෙන් මෙහා සොළී බළකොටු ලේනතැරි මෙන් අපි පොඩි කරන්නෙමු. අනුරාධපුරය අල්ලා ගත් වහාම අපි ඔබතුමාට දැනුම් දෙන්නෙමු. එතෙක් රැඳෙනු මැනැවි. ඔහුගේ ප‍්‍රකාශයෙන් ද කියැවුණේ රජු තව දුරටත් මෙහි රැඳිය යුතු බව යි.

රජු ඇඳි සැලසුම අනුව මේ සේනාංක තුනම එක් ස්ථානයක දී සම්මුඛ වෙයි. ඒ පොලොන්නරු මුව විටේදී ය. එනිසා මතු හමුවීමේ බලාපොරොත්තු වෙන් රජු ඇමැතියන ගේ බස් පිළිගත්තේ ය.

සමහර තැනෙක මේ සටන් මාර්ගය පස් වැදෑරුම් කොට දක්වයි.

1. රුහුණින් බටහිර මාර්ගය ඔස්සේ අනුරාධපුරයට යැවූ සේනාව
2. සොළීනට යුද්ධාධාර එවනු වැලැක්වීම සඳහා එම හමුදාවෙන් අනුරපුර සිට මාන්තෙයි දක්වා යැවූ සේනාව

3. නැ‍ෙඟනහිරින් යැවූ හමුදාවෙන් අනුරපුර සිට පොලොන්නරුව දක්වා ගමන් කළ සේනාව
4. රුහුණින් නැඟෙනහිර වෙරළබඩ ආසන්න මාර්ගයක් ඔස්සේ – පොලොන්නරුව කරා ගමන් කළ හමුදාව.
5. රුහුණින් පාරම්පරික මාර්ගය ඔස්සේ විජයබා මහ රජු මෙහෙය වූ බලඇණිය

රම්බා වෙහෙර පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි හා පර්යේෂණ නිලධාරි ජයතිලක යන මහත්වරුන් පරිශ‍්‍රමයකින් සොයා සකසා ගන්නා ලද පැරැණි ගම් නම් සහිත සටන් මාර්ග සිතියම මා අත පත්විය. එම සිතියම පිරික්සා බලන්න.

ප‍්‍රධාන ඇමැතිවරුන් දෙදෙනකු ගිය පළමුවැනි ගමන් මාර්ගය

(1) කාජරගම (2) කප්පුකගාම (3) මහාගාම (4) මහානාගකුල (5) මාලවරත්ථලි (06) තම්බලගාම (7) ප‍්‍රගදණ්ඩාකවට (8) මහානිගම (9) දෙනවක (10) කදිලිගාම (11) දෙවනගල (12) පුංඛගාම (13) ජම්බුද්ද්‍රෝණි (14) සංඛක්කලි (15) පණ්ඩවාපි (16) මහාගල්ලන (17) සුභපබ්බත (18) සාමගල්ල (19) නිල්ලකගාම (20) කටියාගම (21) කුලත්ථවාපි (22) විහාරට්ජන (23) අනුරාධපුර (24) රට්ඨමාලා පබ්බත (25) කාසපබ්බත (26) මහෙලනගර (27) මණිපුරිය (28) පොලොන්නරුව

විජයබා මහ රජු ප‍්‍රමුඛ බල ඇණිය ගමන් කළ මඟ (දෙවැනි සටන් විහිදුම)

(1) කාජරගම (2) කාලාගවිහාර (3) නාගපබ්බත (4) සේලගුත්තගාම (5) මනිනාගපබ්බත (06) ක්වාචකණ්තික (7) ජගාම (8) දීඝමණ්ඩල (9) මාලාවත්තුක (10) ගිරිකම්භීල (11) භිහෝඩු (12) උද්ධගාමක (13) ගිමලකගම (14) එරාවුළු රට (15) කල්කුඩාව (16) පොලොන්නරුව

ඇමැති ගණයා ප‍්‍රමුඛ තෙවැනි බලඇණිය ගමන් කළ සටන් මඟ

1) කතරගම 2) ගුත්තහාලක 3) චිරගාම 4) ජවමාලතිත්ථ 5) මජ්මගාම 6) කණ්ටකද්වාර 7) ලෝකගල්ල 8) සවන 9) මහියංගන 10) නාලීකේරවත්තු 11) මාලාගාම 12) යක්ඛසුකර 13) පොලොන්නරුව

සිංහල මහා රාජවංශයේ දී පවා වෙනත් කිසිම රජකු මෙවැනි සූක්ෂ්ම සංග‍්‍රාමෝපාය ක‍්‍රමවේදයක් අනුගමනය කැර නැත. පොලොන්නරුව ජනනාථපුරය නමින් හඳුන්වා ගත් චෝල මණ්ඩලයේ ඔටුන්න මේ සංග‍්‍රාම මාර්ගවලින් විජයබා බළකා පැමිණෙන බව අසා වෙව්ලුම් කා ගියේ ය.

ජය භූමියක් වූ බළකොටුවක්

මහා විජයබාහු රජුගේ සටන් මඟ අති බිහිසුණු ය. සොළී පවුරෙන් සුසැඳි ඒ කටුක මඟේ සංග‍්‍රාම විත්ති කීමට පෙර මට ඔබට හඳුන්වා දෙන්නට තවත් වැදගත් ම ස්ථාන දෙකක් තිබේ. ඒ රම්බා වෙහෙර සේනා සංවිධානය කිරීමට පෙර සොළීනට නොනැවතී දුවන්නට පහර දුන් වාකිරිගල ඓතිහාසික පර්වතය පිහිටි පුරාණ විහාර බිම පිළිබඳව ය. අනෙක ගොඩවාස පැරැණි වරාය තොරතුරු ය. රජු තම සටන් මඟේ සාර මසක් ජීවිතය බේරා ගත්තේ මේ අසිරිමත් ගිරිකුල නිසා ය.

මහත් වෑයමකින් ඡායාරූප ශිල්පි විමලුත් මාත් මේ පර්වතය තරණය කළේ එහි ඇති වත්මන් තොරතුරු ද ඔබට කීමට ය. මුළුමහත් කෑගලු පුරවරය ම සිත් සේ දැකගත හැකි මේ පර්වත මස්තකයේ මහා රූස්ස ගස් වැඩී තිබිණි. යෝධ පුස්වැල් හා නොයෙක් තුරු ලතාවන් ගහණ මේ පර්වත මුදුන ගිනියම් හිරු රැස් වැටෙන මධ්‍යාහ්නයෙන් මඳ සිහිලසින් නැහැ වී යයි.

සොළීන් වටලා සිටිය දී විජයබා රජු නැවතී සිටි මාලිගා බිමේ නටබුන් අපට පෙනේ. එක් පසෙකින් කෙනෙකු එක්වර මහා අගාධයකට පෙළෙන සුළං කපොල්ලකි. පර්වත මුදුනේ තැනිතලා භූමිය ගැමියන් වහරන්නේ ‘මාලිගාතැන්න’ යන නමිනි. එහි විශාල ගොඩනැඟිල්ලක් තිබූ බවට දැනට ශේෂ වී ඇති කැටයමින් යුත් ගල්කණු අපට පැහැදිලි කරයි.

මෙහි වෙනස් තැනෙක ඉරහඳ කෙටූ ගලකි. විජයබා මහා රජු සූර්ය වංශයෙන් පැවැතෙන්නෙකු බව මහා වංසයේ සඳහන් වන බැවින් මෙසේ පර්වත මුදුනත ඉර හඳ කෙටූ බවත් ඉරහඳ පවත්නා තුරු වාකිරිගල නාමය හා එහි වැදගත්කම පැවැතිය යුතු බවත් සිතා එසේ කටයුතු සිදුවූ බවත් ගැමියෝ කියති.

සතර කෝරලයට අයත් ගල්බොඩ කෝරලයේ එගොඩපත්තුවේ පිහිටි වාතගිරිය හෙවත් වර්තමාන වාකිරිගල කි‍්‍ර.ව. 11 වැනි සියවසට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ ස්ථානයකි.

1 වැනි විජයබා රජුගේ කාලයේ දී වාතගිරිය බළකොටුවක් විය. අනතුරුව එය ක‍්‍රමයෙන් සිංහල රජවරු කීපදෙනෙකු යටතේ විහාරස්ථානයක් දක්වා වර්ධනය වූවකි. එච්.සී.පී. බෙල්ගේ කෑගලු වාර්තාවට අනුව මෙහි විහාරයක ඉදිකිරීම් ආරම්භ වූයේ 3 වැනි පරාක‍්‍රමබාහු (කි‍්‍ර.ව. 1267 – 1301) කාලයේ දී බව කියැවේ. මහාවංසයේ සඳහන් වන අන්දමට. 1 වැනි විජයබා රජු සඟසතු කරන ලද භූමිය 4 වැනි විජයබාහු රජ සංඝාරාමයක් කරවා මහ නෙත‍්‍ර ප‍්‍රසාද මූලයෙහි අධිපති ස්වාමීන් හට පූජා කළ එකකි.

සකල බෞද්ධ ජනතාවගේ අති ගෞරවයට පාත‍්‍ර වී ඇති ‘පූජා වැල’ හෙවත් ‘පූජාවලිය’ නම් ග‍්‍රන්ථය ඇතැම් වෙද පොත් හා වෙනත් සාහිත්‍ය කෘති ගණනාවක් රචනා වී ඇති වාකිරිගල – පොලොන්නරු යුගයේ විසූ රජ දරුවනට රැකවරණ සලසා දුන් ආරක්ෂිත ස්ථානයකි.

තුංතොට ධම්මරක්ඛිත නාහිමි

‘මහාවංසය’, ‘චූලවංසය’ ශිලා ලිපි ලේඛන මෙන් ම ජනප‍්‍රවාද ගත කරුණුවලින් මේ ගැන සවිස්තරව හෙළිවේ. මූලාශ‍්‍රවල සඳහන් වන ආකාරයට ‘වාතගිරිය’ අතීතයේ පටන් විවිධ නම්වලින් හඳුන්වා ඇත. වාතගිරි පබ්බත, නියම්ගම්පාය, අස්මඩලා වෙහෙර, අභයසුන්දරාරාමය, මයුරපාද පාය, වාකිරිගල, අභයසුන්දරාරාම මහාදේවී පිරිවෙණ මින් කිහිපයකි.

මහාවංසයේ වාතගිරිය නමින් හැඳින්වෙන වාකිරිගලට මුලින් ම රැකවරණය පතා පැමිණියේ පොලොන්නරුවේ රජ කළ පළමු වැනි විජයබා රජු ය. මේ වනවිට සොළී ආධිපත්‍යය සිංහල රටේ විශාල ලෙස ව්‍යාප්ත වෙමින් තිබුණ අතර යුදකාමී සිංහල කුමාරවරුන් සහ ඉන්දියාවේ ඇතැම් පඩි කුමාරවරුන් ලක්බිම තැන් තැන්වල රාජ්‍යය පිහිටුවා ගෙන තිබිණ.

වාකිරිගල සෞන්දර්යාත්මක අගයෙන් පිරිපුන් ඉතා දුෂ්කර වූ ගමන් මඟකින් කඳු මස්තකයට පිවිසිය හැකි දුර්ගයකි.

එහි වූ තද සුළං කපොල්ල ඉතා අවදානම් සහිත ස්ථානයක් බව කිව යුතුම ය.

සොළීහු රජු ලුහු බැඳ එන විට තමන්ගේ සුළු සේනාව නිසා විජයබාහු මහ රජු මේ පරිවර්තයට නැංගේ මේ සුළං කපොල්ල යාබද ස්ථානයකිනි. ඒ කි‍්‍ර.ව. 1070 දී පමණ ය. මේ පර්වත මස්තකයෙහි පිහිටි බළකොටුවට හාත්පසින් පැමිණෙන සතුරු බල මුළු එක පැහැර පෙනේ.

විජයබා මහ රජු මෙහිදී නොයෙක් යුද උපක‍්‍රම යෙදූ බව ජනප‍්‍රවාදයේ එයි. චෝල භූපාල තෙමේ මහා සේනාවක් ද රැගෙන වරක් වාකිරිගල වට කළේ ය. තුන් මසක් පමණ රජු අල්ලා ගැනීමේ වෑයමක යෙදී සිටි සොළී නායකයා මෙවර තම සෙනෙවියන්ට අණ කළේ කෙසේ හෝ ජීවග‍්‍රහයෙන් කුමරු අල්ලා ගත යුතු බව ය.

ප‍්‍රමාණවත් යුද සේනාවක් නැතිව විජයබා රජු කල්පනා කරමින් සිටින විට එතුමාට ගණ දෙවි නුවණක් පහළ විය. පර්වත මුදුනත සිටි සේනාව කෑම කා අවසානයේ දී ඉඳුල් තැවැරී කෙසෙල් කොළ වීසි කරන්නේ බිමට ය. මේ කෙසෙල් කොළ දහ දාහක් ඉඳුල් තවරා පහළට හෙළන ලෙස රජතුමා ඇමැතියනට අණ කළේ ය.

පර්වත පාමුල ඉඳුල් තැවරුණු කෙසෙල් කොළ ප‍්‍රමාණය ගණනය කිරීමෙන් පසුව පර්වතය මුදුනේ වූ සිංහල සේනාව කෙතරම් දැයි දැනගත හැකි බව සිතූ සොළී සෙනෙවියා ගලින් පහළට වැටුණු කෙසෙල් කොළ ගණන් කරන ලෙස ඔහුගේ සේනාවට උපදෙස් දුන්නේ ය.

මෙසේ දින කීපයක් ම කෙසෙල් කොළ ගණනය කැර බැලීමේ දී පර්වතය මුදුනෙහි සිංහල සේනාව දහ දාහක් සිටින බව සිතා ගත් සොළී සෙනෙවියා පන්දාහක් පමණ වූ තමන්ගේ සේනාවට එම දහදාහේ සේනාවට මුහුණ දීමට නොහැකි බැව් සිතා පසු බසින්නට විය. ඒ දුටු පළමු වැනි විජයබා රජු ඔවුන් ලුහු බැඳ තැනින් තැන දී කණ්ඩායම් වශයෙන් ගරිල්ලා ක‍්‍රමයට පහරදී ඔවුන් ජයගත් බව කියැවේ.

මාලිගාතැන්නේ නටබුන්

රජු මෙසේ කලක් ගත කැර නැවතත් වාකිරිගලින් බැස පොලොන්නරු සටනට යාමට කල් බැලුවේ ය.

ඒ අවදියේ දී විජයබාහු රජුගේ සේනාවට විශාල පිරිසක් දකුණු ඉන්දියාවෙන් එකතුකර ගැනීමට එතුමා සමත් විය. රජුගේ සේවයට යම් යම් ලාභ ප‍්‍රයෝජන තකා එක් වුවද තමන්ගේ මවු රටින් විටින් විට පැමිණෙන සේනාවනට එරෙහිව සටන් වැදීමේදී ජාති මමත්වය හේතුකොටගෙන වේලක්කාරයෝ ඇතුළත කැරැලි ගැසූහ. එම කැරැල්ල ද මැඬ පැවැත්වීමට රජු ගත් උත්සාහය නිෂ්ඵල වීමෙන් සිංහල සේනාවත් සමඟ ආරක්ෂාව පතා නැවතත් රජු වාතගිරියට පලා ගිය බව ඉතිහාසගත කරුණු හෙළි කරයි. මහාවංසයේ ද ඒ බව සඳහන් ය.

මේ අවස්ථාවේදී රජුගේ ප‍්‍රධාන සෙන්පතියා වූයේ සිංහ වික‍්‍රම ඇති වීරබාහු යුවරජු ය. ඔහු සමඟ සේනා සංවිධානය කළ රජු වේලක්කාර කැරැල්ල මැඩ පැවැත්වීය. මුල් අවස්ථාවේදී සිය ආරක්ෂාව ප‍්‍රතිසංවිධානය කොට සොළී සේනා පරාජය කිරීමට හැකිවූවා සේම ඒ වතාවේ වේලක්කාර කැරැල්ල මැඩ පැවැත්වීමට ද 1 වැනි විජයබා රජුට වාකිරිගල ආරක්ෂක බළකොටුවක් ම වීය.

මායා රටේ දඹදෙණිය අගනුවර කරගෙන සතර අවුරුද්දක් රජ කළ 3 වැනි විජයබා මහරජුගේ වැඩිමල් පුත‍්‍රයා වූ 2 වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු තිස්පන් වසක් දඹදෙණියෙහි රජ කළේ ය. මෙතුමා ගේ රාජ්‍ය කාලයේ දී එනම් (කි‍්‍ර.ව. 1236 සිට 1271) වාකිරිගල හා කුරුණෑගල කඳවුරු පිහිටුවා පොලොන්නරුවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹි බව සඳහන් ය.

විජයබාහු මහරජුගේ බාල පුත‍්‍රයා වූ බුවනකබාහු පිළිබඳව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ විසින් වාකිරිගල විහාරයට දෙන ලද සන්නසෙහි මෙසේ සඳහන් වේ. ”පළමු හස්තිසේල පුරාධිවාස වූ වත්හිමි බුවනෙකබාහු නරේන්ද්‍රෝත්තමයාණන් වහන්සේ විසින් මායාදුන්න බඳ අස්මඬලාවේ කරවා වදාළ වෙහෙරට හා අස්වා වදාළ පිරිවෙනට” යනුවෙන් හැඳින්වීමෙන් හැෙඟන්නේ මෙතුමා විසින් විහාරය කැරැවුණු බවයි.

එහෙත්, 1 වැනි විජයබාහු රජුගෙන් පසුව වාකිරිගලට පැමිණියේ දඹදෙණියේ රජ කළ 2 වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජුගේ පුත් වන බෝසත් විජයබාහු රජු බව මහාවංසයේ සඳහන් ය. මෙතුමා 4 වැනි විජයබා නමින් හැඳින්වෙන අතර තම පිය රජුගෙන් ලැබුණු මහා ධනය ගෙන වාකිරිගල කඳු මස්තකයෙහි සුරැකිව තිබූ බවත්, මාලිගාවක් කළ බවත් මහාවංසයේ සඳහන් වේ. එහි නෂ්ටාවශේෂ දැකිය හැකි ස්ථානය මාලිගාතැන්න ලෙස අද ව්‍යවහාර ය.

මයුරපාද හිමියන් රචනා කළ පූජාවලියේ මෙවැනි සඳහනක් එයි.

”එකල බෝසත් විජයබාහු රජ සිය ගණන් තබා නිකුත් මහසෙන් දැක, උපන් මහත් වූ ප‍්‍රීතියෙන්, සමහරු අවවාදයෙන් රඳවා කැමැති පමණ පිරිස් ගෙන, පෙර මහලු විජයබාහු රජු හා ද්‍රවිඩ සංග‍්‍රාමයෙහි ධන ධාන්‍ය එහි පිහිටුවා එගල් මුදුනෙහි මහනෙත් පාමුල මහා ස්ථවිරයන්ට සංඝාරාමයක් කරවා පිළිගන්වා, දාන වෘත්ති ව්‍යවස්ථා කරවා, එයිදු පියරජහට දන්වා යවා” යනුවෙන් (පූජාවලිය 34 පරිච්ඡේදයෙහි පිටු 801) සඳහන් වේ.

පර්වත මස්තකයේ රූස්ස ගස් හා පුස්වැල්

චූලවංසයේ වාකිරිගල පිළිබඳව සඳහන් ව ඇත්තේ මහනුවර අගනුවර ලෙස ගෙන රාජ්‍ය කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ විසින් (කි‍්‍ර.ව.1747 – 1780) කරන ලද ආගමික සේවා විස්තර කරන තැන්වලදී ය. ‘චූල වංස’යේ සඳහන් වන කරුණු අනුවත් එච්.සී.පී.බෙල් මහතාගේ කෑගලු දිස්ති‍්‍රක්කය පිළිබඳ වාර්තාවෙන් ද 4 වැනි විජයබාහු රජ විසින් කරවන ලද එම සංඝාරාමය නියම්ගම්පාය අභයසුන්දරපාය, මයුරපාද පිරිවෙන යන නම්වලින් කලින් හඳුන්වා දී ඇති බව පැහැදිලි ය.

වාකිරිගල ඉතිහාසයටම නෑකම් කියන ගම් වළල්ලක් මේ පර්වතය වටා තිබීමෙන් එහි ඉතිහාසය තවදුරටත් ස්ඵුට කරයි. අස්මඩල, උඩුවේවේලා ගල් අතර, දීවෙල, තෙල්කුඹුර, පාතගමුව, අත්තනගොඩ එවැනි ගම් කීපයකි. අස්මඩලගම අතීත සටන් පැවැති කාලයේ යුද කටයුතු සඳහා අශ්වයන් පුහුණු කළ ස්ථානයක් බව ගැමියෝ කියති.

පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව මේ ස්ථානයේ කුඩා වළං හා පාත‍්‍රා හැඩය ඇති භාජන හමුවූ බවත් බඳුන් ඇතුළත ඇටකැබලි, වළලු කෑලි, දිරාගිය ආයුධ කොටස්, තිබූ බවත් කියයි. සොළීනගේ සොහොන් කොත් යැයි හඳුන්වන සොහොන් කොත් ගණනාවක් ද මෙහිදී හමුවී ඇත.

වාකිරිගල ගල්අතර අභයසුන්දරාරාම රජ මහා විහාරාධිපති තුංතොට ධම්මරක්ඛිත නාහිමියෝ අප කළ මේ ගවේෂණයේ දී බොහෝ ඓතිහාසික කරුණු අප හමුවේ පෙළගැස්වූහ. එහෙත් ඒ හිමියන් සංවේගයෙන් පැවැසූ කරුණක් ද මෙහි නොලියාම බැරිය.

”පොලොන්නරුවේ හා අනුරාධපුරයේ පැරැණි රජදරුවන් සොළීන් හා හටන් කිරීමේදී වාකිරිගල ආරක්ෂක ස්ථානයක් වූ බව ඔබතුමා දැන් දන්නවා. මයුරපාද නායක හාමුදුරුවෝ ඒ මහා බෞද්ධ ග‍්‍රන්ථය ලියුවේ වාකිරිගල පාමුල ගල්ලෙනක ඉඳලයි.

අද අපට සිද්ධ වෙලා තියෙන්නෙ ඒක බෝඩ් ලෑල්ලකින් පෙන්වන්න විතරයි. එතැන වල්බිහිවෙලා සුද්ධ කරන්නවත් බෑ. ඒ ලෙන අයිති ඉඩම අද අයත් කරගෙන ඉන්නෙ දෙමළ මහත්මයෙක්. ඒත් රාජ්‍ය ලේඛනාගාරයේ පවා අපේ උරුමය සඳහන් ලේඛන තිබෙනවා. උන්වහන්සේට සාධාරණය ඉටුකිරීමට වගකිවයුත්තන් අවදි විය යුතුය.

වසර දෙදහක් පැරැණි නැවක නටඹුන් හමුවෙය

සිංහල රාජාවලියේ තරළමිණ ලෙස සැලැකෙන මහා විජයබාහු නරේන්ද්‍රයාණන් භාවිතා කළ දකුණේ වරාය ගැන අපි නොයෙක් කරුණු අසා ඇත්තෙමු. මහරජු මෙරට ව්‍යාප්ත ව තිබුණු සොළී බලයට එරෙහිව විදේශ සම්බන්ධතා පැවැත්වීම සඳහා යොදාගෙන තිබුණේ මේ මාගම වරායයි. මන්නාරමට කිට්ටුව ‘මාන්තායි’ නම් වරායෙන් සොළීන් රටට ඇතුළු වෙද්දී අපේ සේනාධිපතියෝ වෙළෙඳ සම්බන්ධතා පවත්වා බුරුමය, මලයාසියාව වැනි රටවලට යාමට මෙම වරාය යොදා ගත්හ. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ මතයට අනුව එම මාගම් පුරයේ වරාය ගොඩවායයි.

මේ ගොඩවාය මුහුදු ප‍්‍රදේශය පිළිබඳ කරුණු ගවේෂණය එනිසා ම වැදගත් ය. අම්බලන්තොටට නුදුරු කොඩවාය මුහුදු ප‍්‍රදේශය අතිශයින් ම සොඳුරු ය. පුරාණ වරායක ශේෂ වු ඇතැම් නටඹුන් මේ පෙදෙස පුරාම පැතිර ඇත්තේ ය.

ගොඩවාය ධීවර සමූපකාර සමිතියේ සභාපති හේරත් මුදියන්සේලාගේ රංජිත් මහතා දැන් මා අභිමුඛ ව සිටී.

”මේ පෙදෙස පළමුවැනි සියවසේ පටන් තිබුණු වරායක්. මෙහි නැව් දෙකක් ගිලී තිබෙන සලකුණු අපේ කිමිදුම්කරුවනට පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් පොකිරිස්සන් අල්ලන්නට මුහුදේ කිමිදෙන අයට හමුවු බොහෝ දේ තිබෙනවා. පුරා විද්‍යා සමුද්‍ර අංශයේ නිලධාරින් මෙහිදි කළ කැණීම් කටයුතුවලින් මෙගතිලික යුගයට අයත් ගල්වංගෙඩි, වළං පමණක් නොවෙයි ගලින් කරන ලද විවිධ උපකරණ බොහොමයක් හමුවුණා. මෙතැනට මුහුදු මට්ටමට උඩින් පිහිටි ගෝඨපබ්බන රජ මහා විහාරයේ සෙල්ලිපිවලින් පවා මෙහි තිබුණු වරාය ගැන හැඟවෙනවා. අනෙක මෙහි ‘සිලිකන්’ නමැති වටිනා වැලි වර්ගය හමුවෙලා අපි සුරක්‍ෂිතව තබා ගත්තා. එපමණක් නොවෙයි වටිනාම තනි පිත්තල පෙට්ටි ගණනාවක් හමුවුණා. මේක ස්වභාවික පිහිටි වරායක්.

ඔහුගේ මේ කතාවට සවන් දී සිටි මට අපේ නාවික ගමනාගමන පද්ධතිය කෙතරම් ඉතිහාසයකට උරුමකම් කියන්නේ ද යන්න නැවතත් සිහිපත් විය.


ගොඩවාය ධීවර සමිති සභාපති රංජිත්

එදා සඟමිත් තෙරණිය ශි‍්‍ර මහා බෝධි අංකුරය රැගෙන මෙරට වැඩම කරවන ලද්දේ උඳුවප් පොහෝ දිනක ය. එතුමිය නැවකින් ලක්දිවට වැඩමවන ලද බව මහාවංසයේ දහ නව වැනි පරිච්ඡේදයේ 04 – 22 ගාථාවලින් තවදුරටත් ස්ඵුට කරයි. එවැනි වංසකතා මූලාශ‍්‍ර අනුව පැරැණි ලංකාව සම්බන්ධ දියුණු නාවික ගමනාගමන පද්ධතියක් තිබුණු බවට ඓතිහාසික සාධක කොතෙකුත් සොයා ගත හැකිය. එහෙත් ඊට අදාළ පුරාවිද්‍යාත්මක සාක්කි තිබුණේ ම නැත.

එනමුත් මෑතකදි ගොඩවායේ කරන ලද සමුද්‍ර කැණීම්වලදි අඩුම වශයෙන් වසර 2000 ක් වත් පැරැණි නෞකාවක සුන්බුන් ගැඹුරු මුහුදේ අඩි 130 ක පමණ ස්ථරයකදි හමුවී ඇත. හක්බෙල්ලන් සොයා කිමිදෙන කිමිදුම්කරුවනගෙන් ලද හෝඩුවාවකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා නාවික හමුදාව යන ආයතනවල නිලධාරින්ගේ සැලකිල්ල මේ පිළිබඳ යොමු විණි. එම ගවේෂණවල විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලෙස මුහුදු පත්ලට මතුව තිබු එම නැවේ කොටස් සහ ඒ අවට ප‍්‍රදේශයේ විසිර පැතිර තිබූ කාලරක්ත වර්ණ මැටි බඳුන් හා වර්ණාලිප්ත තැටි විශාල ප‍්‍රමාණයක් හමු විය. එම වර්ණාලිප්ත තැටි අනුරාධපුර යුගයේ විහාරාරාමවල පොළොව වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා ලද ඒවා බවත් අනුරාධපුර ජේතවනාරාමයෙන් ලත් වර්ණාලිප්ත ඇතුරුම් ගල් කැබැලිවලින් ඒ බව පැහැදිලි කැරෙන බවත් පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකකියයි.


අසිරිමත් ගොඩවාය මුහුදු තීරය

ඔහු ගේ ගවේෂණය. වඩාත් පුළුල් ලෙස මෙහි ඉතිහාසය පිළිබඳව අපේ මතකය අවදි කරන්නකි. සෙනරත් දිසානායකයන්ගේ මතයට අනුව මේ සමඟ සොයා ගන්නා ලද කාලරත්න මැටි බඳුන් කි‍්‍ර.පූ. 4 පමණ වන පූර්ව ඓතිහාසික හෙවත් මෙගලිතික යුගයට අයත් ඒවා බව නිසැක ලෙස ම හඳුනාගත හැකිය. දැනට මේ රටෙන් කි‍්‍රස්තු පූර්ව හාරසිය පනහ තරම් වන පූර්ව ඓතිහාසික යුගවලට අයත් ඉබ්බන්කටුව වැනි සුසාන භූමිවලින් මෙබඳු කාලරත්න වර්ණ මැටි බඳුන් හමුවී තිබේ. මුහුදු පතුලට මතුවී ඇති මෙම නැවෙහි පෘෂ්ඨයෙහි කොටස් හමුවී ඇත්තේ ගොඩවායේ සිට කිලෝමීටර 4- 5 ක් අතර ඇති මුහුදු ප‍්‍රදේශයේදී ය. ගොඩවායට ඉහළින් ඇති අප රටේ පැරැණිතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ගොඩවාය ගෝඨපබ්බත රජ මහා විහාරය ද මෙහි අතීතයට හිමිකම් පෙන්වන්නකි. මේ නැව් තොටේ ඉතිහාසය කි‍්‍රස්තු වර්ෂ 114-136 දක්වා වන පළමුවන ගජබා යුගය තෙක් දිවෙන්නකි. එසේ වුවත් මෙය ඊටත් එහා ඉතිහාසයකට හිමිකම් කියන බව පැරැන්නෝ පවසති.

ගජබා යුගයට අයත් පශ්චාත් බ‍්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ගිරි ලිපි කිහිපයක් ගෝඨපබ්බත විහාරයේ දැනටත් තිබේ. මේ එක ගිරි ලිපියක සඳහන් වන්නේ මේ නැව් තොටින් ලබා ගන්නා බදු විහාරස්ථානයේ සුබ සිද්ධියට යොදවන ලෙසයි. මේ ගජබා රජු ගේ රාජඥාවකි. දැනට ධීවර වරායක් ලෙස පැවතුණත් ගොඩවාය කි‍්‍රස්තු පූර්ව පළමුවැනි සියවසේ අන්තර්ජාතික වෙළෙඳ තොටක් බව මින් නිසැකව ම ඔප්පු වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ එහි මුහුදු පුරා විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය මොහාන් අබේරත්න මහතාප‍්‍රකාශ කර ඇති ආකාරයට මේ පුරා විද්‍යා සාධකවල අතීතය වසර දෙදහස ඉක්ම වන්නකි. දැනට මේ නැවේ මුහුදු පත්ලෙන් උඩට මතු වී තිබෙන කොටස හිරිගල් තට්ටුවකින් වැසී ගොස් ඇතැයි පැවැසේ. නැවේ දැව පෘෂ්ඨය යන්තමින් හෝ හඳුනාගත හැක්කේ එම හිරිගල් තට්ටුව අතරින් බව කියැවේ. ඉදිරියේදී නවීන විද්‍යාව ඇසුරු කොට මේ පෘෂ්ඨය හොඳීන් පාදා ගතහොත් නිසැක ලෙසට නැවේ සැකිල්ල මතු කැර ගත හැකි බව මේ විද්වත්හු පෙන්වා දෙති.


ගෝඨපබ්බත විහාර සෙල් ලිපියක කොටසක්

එවැනි විස්කමක් සිදුවුවහොත් එය ආසියානු මහාද්වීපයේ හමුවන පැරැණිම නෞකාව බවට පත්වනු ඇත. කි‍්‍ර.පූ. 400-300 ත් අතර කාලයේ ගොඩවාය නැව් තොටට පැමිණෙමින් තිබියදි හෝ ඉන් පිටත්ව යමින් තිබියදී අනතුරට ලක්ව මුහුදුබත් වු නැවක් වන්නට ඇතැයි ඔව්හු කියති.

ගොඩවාය මුහුදු ප‍්‍රදේශයට තරමක් ඉහළින් යෝජිත හම්බන්තොට වරායේ ඉදිකිරීම්වලදි මුහුද ගැඹුරු කිරීම හා (ර්‍ණභබ ඩ්චඡධභප)නැව් නැවැත්වීමේ වරාය ගොඩවායට කිට්ටුව සැකසෙන බව සමහරු කියති. මේ නිසා මේ පුරා වස්තූන්වලට හානි සිදුවිය හැකිය.

පළමුවන සියවසේ පොලොන්නරුවේ රජ කළ මහා විජයබා, ගජබා ආදී රජුන්ගේ ප‍්‍රධානම නැව් තොට වු ගොඩවාය එදා ඉතාම සශි‍්‍රක වරායක් බව ඉන් ලබන ආදායමෙන් විහාරස්ථානයක් නඩත්තු කිරීමෙන් ම පෙනී යයි.

ගෝඨපබ්බත විහාරය ඉතාම නිස්කලංක පරිසරයකින් හෙබි පින් බිමකි. එහි ගල් කණු 17 ක් පමණ තිබු අතර ඇතැම් සෙල් ලිපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසා දමා ඇත්තේය. ඒ කිනම් අරුතකින්දැයි අපි නොදන්නෙමු.


හමු වී ඇති ඇතැම් කොටස්

වළං හා මැටි පිත්තල කර්මාන්තය කරගත් ජනතාවක් වෙසුණු මෙබිම කාලයේ විරාමයෙන් ධීවර ගමකට පෙරැළී ඇත්තේයැයි සිතමි. ඉතාම පැරැණි යුගයට අයත් මිනිස් ඇටසැකිල්ලක් පවා මෙපෙදෙසින් මතුව තිබීමෙන් දුරාතීතයේ පවා මෙහි ජනාවාසයක් පිහිටි බවට සාක්ෂ්‍ය මතු කරයි. ගොඩවාය ධීවර සමූපකාර සමිතියේ සභාපති රංජිත් මේ ගවේෂණය අවසානයේ අප සමුගැනීමේදි මෙසේ කීවේය.

”මේ ගොඩවාය අද සම්පූර්ණයෙන්ම ධීවර ගමක්. මෙහි ඇති ගොඩනැගිලි, සියල්ල ඉදිකරගත්තේ ධීවරයන්ගේ ආධාරයෙන්. මේ පෞරාණික පිහිටි ස්වභාවික නැව් තොට අපට අපේ අභිමානය හා උරුමය පෙන්වා සිටින තැනක්. මේකේ සමුද්‍ර කැණීම් කටයුතු ඉක්මනින් ඉවර කරලා ආසියාවේ අපේ අතීත නාවික ගමනාගමනය ගැන ලෝකෙට කියන්න කවුරුත් පෙළ ගැහෙන්න ඕනැ. විජයබා රජ්ජුරුවො එදා මේ නැව් තොට විදේශ රටවල සම්බන්ධතා ගොඩනගන්න පාවිච්චි කළා. ගජබා රජ්ජුරුවො මේ නැව්තොට පිළිබඳ රාජඥා නිකුත් කළා. දැඩි ඕනෑකමකින් කියන මේ දේ ඇත්තකි.

මුහුදු පත්ලේ දැනට හමුවී ඇති නෞකාව ගොඩ ගෙන ආසියාතික ලෝකයේ අපේ නාවික ඉතිහාසය හෙළි කර ගන්නට මේ සුදුසු ම කාලයයි.

ඉකුත් සතියේ විජයබා රජුගේ සටන් ව්‍යාපාරය සිතියමේ දෙවැනි මඟ තෙවැනි මඟ ලෙසත්, තෙවැනි මඟ දෙවැනි මඟ ලෙසත් නිවැරැදි විය යුතුය.

චෝල කොඩියට යටත් නොවන සැමට දඬුවම මරණයයි

මහා විජයබාහු රජු සොළින් මැඬලීමට සේනා මෙහෙයැ වූ රෝහණයේ සිට අනුරපුර පොලොන්නරු මාර්ගය විශ්ලේෂණය කිරීමේදී හමුවන ග‍්‍රාම නාම අද වන විට බොහෝ සේ වෙනස් වී ගොසිනි.

එබැවින් ඒ නම් එසේ ම භාවිතා කරන්නට යෙදුණි. ඇතැම් ගමක් අද නමින් හඳුනාගත්තත් ඉතිහාස විද්වතුන් අතර ද ඒ පිළිබඳ මත ගැටුම් පවතින නිසා පුරාණ ග‍්‍රාම නාම භාවිතා කිරීම නිවැරැදි යැයි සිතමි.

මෙකලදී සොළි, අධිරාජයාව සිටි වීර රාජේන්ද්‍ර රජුට තම රටේ බටහිර වාලුකසයන් සමග මහ සටනක් ඇති විය. තම සොළී භටයින් විශාල වශයෙන් එම සටනට යෙදවීමෙන් තම රටින් බාහිර අප රට වැනි තැන්වල සිටි භටයන් ද කැඳවා ගැනීමට තරම් එම සටන බලවත් එකක් වීය.

වීර රාජේන්ද්‍ර සොළී අධධිරාජයා තම රටේ විසිර සිටි භටයින්ගෙන් එම අභියෝගයට මුහුණ දී සිටියා මිස ලංකාවේ එවකට පැලපදියම් කැර සිටි සොළී සේනා එහි නොකැඳවූයේ විජයබාහුගේ බල පරාක‍්‍රමය දන්නා නිසාය.

එහෙත් සූක්ෂ්ම ඉවක් ඇති විජයබාහු රජතුමා වහා කි‍්‍රයාත්මක වීය. ඉන්දියාවෙන් ආධාර අනුබල ලබා දීම අඩපණ වී ඇති මේ මොහොතේ රට පුරා ඇති සොළී කඳවුරු විනාශ කළහොත් එය පොලොන්නරු සටනට වැදගත් වනු ඇතැයි ඔහු කල්පනා කළේය.

ඒ අනුව හොඳින් සිතා මතා සැලසුම කි‍්‍රයාත්මක කළේය. බළසේනා විහිදුවා යැවිය යුතු ආකාරය තේරුම් ගත් රජු සොළී කඳවුරු පිහිටි ස්ථාන බොහෝ සෙයින් අධ්‍යයනය කැර බැලුවේය. ඉකුත් දිනෙක අප පළ කළේ ඒ ගමන් මාර්ග සිතියමයි. එක් සේනාංකයක් දක්ඛිණ දේශය හරහා මහාතිත්ථය දක්වා ගමන් ගත්තේය.

මේ සේනාංකයද එක් තැනකදී දෙකොටසකට බෙදී යයි. ඉනුදු එක් කොටසක් කුරුණෑගල ප‍්‍රදේශයට අභිමුඛ වූ අතර අනෙක් කොටස නිකවැරටිය හරහා අනුරාධපුරයට ගමන් ගත් බව පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල හිමියෝ තම ‘මහා සිංහල රාජ වංශෙ’ ග‍්‍රන්ථයෙහි විජයබාහු හැඳින්වීමේදී සඳහන් කරති.

කුරුණැගල ප‍්‍රදේශයට පැමිණි සේනාංකයේ අරමුණ වූයේ මේ වන විට දක්ඛිණ දේශයට අයත් බොහෝ ස්ථානවල නැවතී සිටි සොළී බළමුළු පලවා හැරීමය. ඔවුනගේ බළකොටු මෙසේ පිහිටියේය. මේ ස්ථාන අතර මුහුන්නරුව, බදලත්ථල, වාජිනගර, බුද්ධගාමය, තිලගුල්ල, මණ්ඩගල්ල ප‍්‍රධාන වීය.

මුහුන්නරුව බළකොටුව ඔවුනගේ පළමුවැනි ඉලක්කය වීය. මේ සටහන මෙහෙයවූ ඇමැති ගණයා අප‍්‍රකටය. ඉතිහාසයේ කොතැනකදීවත් විජයබාහු රජුගේ බළසේනාවට පණ දුන් ඇමැතීන්ගේ නම් සඳහන් නොවීම කනගාටුවකි. මුහුන්නරුව යන බතලගොඩට කිට්ටු ගමක් විය හැකිය.

මා එසේ කියන්නේ බදලත්ථල යනුවෙන් හඳුනාගත් තැන බතලගොඩ නිසාය. මෙහි එන සොළී බළකොටු පිහිටි තැන් හා ගමන් මඟෙහි සඳහන් ගම් පටලවා නොගත යුතුය. එකම ගම නම් කිහිපයකින් හඳුන්වා ඇති බව පෙනෙන අතර බළකොටු පිහිටියේ ඒ ප‍්‍රධාන නගරයෙන් යාබද ගමක විය හැකිය.

එකම තැන විවිධ නමින් හඳුන්වා ඇති බවට උදාහරණයක් ලෙස රම්බා වෙහෙර දැක්විය හැකිය. එය මහානාගකුල, මහානාගපුර, මානාවුළුපුර දොළොස් දහස් රට යනුවෙන් හඳුන්වා තිබිණ.

සිංහල මහ ඇමැතිගේ අණින් සේනාව සීරුවට මුහුන්නරුව බළකොටුව වෙත ගමන් කළේ ගල්පර, විල්ලු, තැනිතලා හා වනපෙත් ඔස්සේය.

මුහුන්නරුව සොළී බලයෙන් පිරිපුන් කඳවුරකි. බළ කඳවුරකටත් වඩා එය වෙළෙඳ හුවමාරු තොටක් ලෙස ද භාවිතා විය. මේ රටේ ජනතාවට අයත් දේ කොල්ල කා ගත් රථ පෙළක් මෙහි සිට හැම ඉරු දිනෙකම මාන්තායි තොටුපළට ගමන් ගනී.

කුරුඳු, එනසාල්, කරාබු නැටි, ගජමුතු, හා ඇත්දළ හා වෙනත් මේ රටට අයත් වටිනා දේ මේ බළකොටුව මඟින් රැස් කැර මාන්තායි තොටුපළට යවනු ලැබිණි.

කුරුණෑගල අවට ගම්පෙදෙස පීරා සිහල කුලඟනන් දූෂණය කරමින් සල්ලාල ජීවිත ගත කළ සොළියන් මේ බළකොටුව පවත්වාගෙන ගියේ හෙළ ජනයා දැඩි ලෙස පෙළමිනි. මේ දැඩි අසාධාරණයට එරෙහිව නැගුණු සිංහල වීරයන් මරා දමන්නට ද වීය.

තොපි, අපේ ගම් රටවල් සුරා ගන්නවා විතරක් නොවෙයි. අපේ ගැටිස්සියකටවත් ගෙයි අහුමුල්ලෙවත් ඉන්ඩ දෙන්නෙ නෑ. සල්ලාල පර බල්ලෝ උඹලා සියල්ලන්ගේ අවසන් දවස ළඟයි. රුහුණෙන් නැගුණු කීර්ති කුමාරයා අපේ විජයබාහු මහ රජ්ජුරුවො ළඟ ළඟම එනවා. තොපි එදාට කැති ගාන්නෙ එක පොදියට තියලා…

එසේ කී සිංහල වීරයකු සොළීන් මරා දැම්මේ කසයෙන් තළමින් වීදි දිගේ අසරුවකුගේ ආධාරයෙන් ඇදගෙන යමිනි. අවසානයේදී එම සිංහල වීරයා මහ ගස් දෙබලක ගැට ගසා හීවලින් විද මරණයට පත් කළ එම ම්ලේච්ඡ සොළියෝ ඒ මළකඳ ළඟ ජය පැන් බීවෝය.

ඉන්දියාවේ එදා පැවැති චෝල මණ්ඩලම් අධිරාජ්‍යයේ කොඩියට යටත් නොවන සැමට දඬුවම මරණය යැයි එතැන නිවේදන ගැසූහ.

මේ සියල්ල අතර විජයබාහු මහ රජු තම සේනා සමඟ රම්බා වෙහෙර මහානාගකුල සමීපයේ කඳවුරක සිට සටන මෙහෙයැවීය. පුරෝහිතයන් හා ඇමැතින් රජු එකවර පැමිණීම නුසුදුසු යැයි කී නිසාත් රටේ විවිධ පළාත්වලින් රැස්වන ජනයා පොදි බැඳ ගැනීමට රජු එතැන සිටිය යුතු බවත් කීමෙන් එතුමාට එම කඳවුරේ සිට සියල්ල සැලැසුම් කරන්නට සිදු විය.

සිංහලයේ අභීත ඇමැතියකු මෙහෙයැවූ එම ධීර වීර හමුදා මුහුන්නරුව සමීපයට ළඟා වූයේ කුරුබිලියෙන් ගෙට ඇතුළුවන සොර කැළක් පරිද්දෙනි.

වන විල්ලු, මිටියාවත්, කඳුවලින් වටවූ මේ බළකොටුව සතර වටින්ම අගල් කපා වටකැර තිබිණි. ඒ හැම තැනක ම සන්නද්ධ හේවායින් රඳවා මනා ආරක්ෂාවක් සලසා තිබුණු අතර වෙනම අශ්වාරෝහක හමුදාවක් හා රථ හමුදාවක් මේ කඳවුරේ බලපතියා සතු විය.

විශාල ගැඹුරැති මේ අගල්වල තැනින් තැන චණ්ඩ සතුන් ද රඳවා තිබිණි. සවි ශක්තිමත් දැව ආධාරයෙන් පිරිපුන් වාහල්කඩකි. ඇමැතිගේ උකුසු ඇස යොමුවූයේ එතැනින් මුහුන්තරුව බළකොටුවට පැනීමටය.

දැඩි සීතලේ කිටි කිටියේ ගැහෙමින් ගහකොළ අතර සැඟව සිටි සිංහල හමුදාවෝ එකවර මේ බළකොටුවට කඩා පැන්නහ. ඒ උදෑසන හතරේ කණිසමටය. බළකොටුවේ බටහිර පෙදෙසෙ එක් කණ්ඩායමක් කඩා පිනූ අතර අනෙක් කොටසක් නැඟෙනහිර දිසාව වටකරගෙන තිබිණ.

සිංහල ධීර වීර ජනතාවගේ කාහල නාදය රණ පිටිය සිසාරා ගියේය. සොළී සේනාව අන්දමන්දව සටනට පිවිසියේ අන් කළ හැකි යමක් නොතිබු නිසාය.

නැඟෙනහිර දිසාව වටකර සිටි සිංහල හමුදා වෙතට ඔවුන්ගේ රථ හමුදා ප‍්‍රහාර එල්ල විය. විජයබාහු රජුගේ සේනාපතියෝ එම රටවලට පැන ඔවුන් පිටිතල හයා බැඳ රථ චක‍්‍ර පොළොවේ ගසා බින්දහ. රථ වල විසුරුණු කැබලිති පාර පුරා විසිරිණි.

මුහුන්නරුව සොළී බලපතියා සුරා ධුර්තයෙකි. පෙරදා රාති‍්‍රයේ බිව් සුරාවේ ගඳ ඔහුගේ සයනයේ ඇඳ අඇතිරිලිවලින් පවා වහනය වීය. සලෙළකු වූ හෙතෙම සමඟ රාති‍්‍රයේ යහන්ගතව සිටි කෙල්ලක කලබලය අතරින් එහෙ මෙහෙ දිවයනු දක්නට ලැබිණ. සුරා ධුර්තයා ඇතුළු දොරකින් පැන ද්වාරයක් දිගේ දිවයන්නට විය.

නායක අභීත සෙනෙවි ඔහු පසුපස ලුහුබැඳ ද්වාරයෙන් හෙතෙම බිමට හෙළුවේ කෙසෙල් කඳක් කපා හෙළුෑ පරිද්දෙනි. සැඟව සිටි සොළියෝ ඊතල වරුසා පතුරුවන්නට වූහ. ඉතාම බිහිසුණු සටනක් නිර්මාණය වීය. අපේ ධීර වීර හෙළයන් ඔවුන් සොය සොයා පෙති ගැසුවේ කලින් කතිකා කැර ගත් පරිදි සෙබළ බළ මුළු වටකැර ගැනීමෙනි.

“එකෙක් නෑර මරා දමපල්ලා. මුන් සුරා ධුර්තයෝ, සල්ලාලයෝ. අපේ රටේ සාරය උරා ගෙන උන්ගේ රටට ගෙන යන්න ආපු පරයො. මේ වටිනා ඇත් දත්, කුරුඳු කරත්ත ගෙනියපල්ලා.

ඔවුනගේ බළකොටුවේ දැව ද්වාරයක් ‘දඩාස්’ අනුකරණයෙන් බිම ඇද වැටෙද්දී ඒ අසල සිටි අපේ සෙනෙවියෙක් භටයනට එසේ කීවේය. සතර වටින් ගිනි දළු නැඟිණ. ගිනි දළු අතරින් පැන ආ සිංහලයෙක් සෙනෙවිගේ වචන අවසන් වීමටත් ප‍්‍රථම එම කරත්තයට පැන බළකොටුවෙන් එපිටට ඇදගෙන දිව ගියේය.

මුහුන්නරුව ප‍්‍රධාන සොළියා ඇමැති හා සටනින් පැරැද පලා යනු රිසිව අසකු පිට නැංගේය. එහෙත් ඔහුට ගිනිදළු අතරින් දිව යා හැකි වූයේ කෙටි දුරකි. ඈත සිට එවන ලද හීයකින් ඔහුගේ හදවත පසාරු විය. මේ හීය එවන ලද්දේ රම්බා වෙහෙරදී සටනට එකතු වී සාමාන්‍ය පුහුණුවක් ලද සෙබළකු වීම සුවිශේෂය.

මේ සටනේදී මේ ධීර වීර හේවායෝ බොහෝ සෙයින් උන්ගේ පස්කඳු යට අගල්වලට වැටී මියැදුණහ. එතැන සිටි සොළි හමුදා බලය මුළුමනින්ම විනාශ කිරීමට අපේ හමුදාවනට හැකිවිය.

මේ මුහුන්නරුව බළකොටුව තවත් නොබෝ වේලාවකින් අමු සොහොනක් බඳු විය. තැන තැන විහිරුණු සොළී මළ සිරුරු පොදු මිනී වළ කීපයක් කපා වළ දැමීමට අණ ලැබිණි. මේ සටනේදී අත පය බිඳ ගත් සිංහල භටයනට රම්බා වෙහෙර සමීපයට යන්නට සිදු විය. ඒ වෙනුවට අලුත් භට කණ්ඩායම් මේ යෝධ සේනාවට එකතු විය.

එදින රාති‍්‍රය ඉතාම විසිතුරු එකක් විය. මඟුල් බෙර හේවිසි නදින් නිනාද වූ මේ භූමිය පුරා නැට්ටුවෝ නර්තන පෑහ. ඔවුනගේ හිටි පිනුම්, උඩ පිනුම් නරඹා පී‍්‍රතිවූ හමුදාව සිත් සේ එදින රාති‍්‍රයේ ඇමැතිවරුන්ගේ අවසරයෙන් සුරාවද මඳක් තොළ ගෑවේය.

වන්දිභට්ටයෝ විජයබාහු මහ රජු ගැන ප‍්‍රශස්ති ගී ගායනා කළහ. විජයග‍්‍රහණයේ හස්ත ඇත්තා විජයබාහු යන්න එහි නිතර කියැවිණ. ඇමැතිවරුන්ගේ වරුණ ද ඊටම එක්තැන් විය. අපේ සාමාන්‍ය භටයා අසුන් බලන්නා, ආයුධ මුවහත තබන්නා, හමුදාවට ආහාර පිළියෙල කරන්නා පවා එදින බොහෝ තුටු පහටු රාති‍්‍රයක සුව වින්දහ.

රාති‍්‍රය ගෙවී ගියේ දහසක් පී‍්‍රති ඝෝෂා මධ්‍යයේය. මහානාග කුලයේ සිටි මහරජුට මුහන්නරුව බළකොටුව අල්ලාගැනීම පිළිබඳ සතුටු පුවත සැළ කැරිණි.

පසුදා උදෑසන බ‍්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ මහ ඇමැති හක්ගෙඩියක් පිඹ අද ගමන සඳහා සූදානම් වන්නැයි සේනාවට දන්වා සිටියේය.

අපේ ඊළඟ ඉලක්කය බදලත්ථලයි. මුහන්නරුව පොඩි පට්ටම් කළ අපට බදලත්ථල බරපතළ කාරියක් නොවෙයි. අපට පෙර ගමන් කළ අපේ ජ්‍යෙෂ්ඨ ඇමැති ගිය මාර්ගයේ දැන් සේනාව නැවතී ඇත්තේ දෙණවකයි. එතැන සිදුවූ සටනකින් ඒ බළකොටුවත් පැහැර ගැනීමට අපේ සේනාව සමත් වී තිබෙනවා. ඒ බව ඊයේ රාති‍්‍ර පැමිණි දූතයෙක් මට දන්වා සිටියා.

එක පෙළට සිටගෙන මහත් ඕනැකමින් ඇමැතිගේ කතාව අසා සිටි සියල්ලෝ ඔල්වරසන් නඟා නැවත පී‍්‍රති වූහ.

ඊළඟ ඉලක්කය වාපි නුවරයි

බදලත්ථල යනුවෙන් වැවහර වන්නේ බතලගොඩ පෙදෙසට ය. දැනට වර්ග කැර ඇති පළාත් බෙදීම් අතර වයඹ පළාතට අයත් වන මෙපෙදෙස එදා එනම් කි‍්‍රස්තු වර්ෂ 1055 – 70 වැනි කාලයේ දී හඳුන්වා ඇත්තේ බදලත්ථල නමිනි.

බදලත්ථල පිහිටි සොළී කඳවුරේ එක්තරා වධකාගාරයක් ද වීය. සොළී බලයට එරෙහි ව සටන් වැදුණු අපේ ධීර වීර සිංහලයන් හිර කැර තැබුණු ඌරු කොටුවක් වැනි මේ වද බිම මිනිස් වසුරින් හා බොහෝ කැත කුණින් ද පිරුණු තැනෙකි. කළල් දියේ ගිල්වා අත් දෙකට ගාංචු දමා විශාල දැව දඬුවලට දෙපා තදකැර සිරකරුවන් රඳවා තිබූ මේ බිම් පෙදෙස මිනිස්කමටත් නිගා දෙන්නකි. මේ ගොහොරු මඩේ මැසි මදුරු පනු ආදීන්ගෙන් පිරී තිබුණු දර ඉපල් යට අපේ මිනිස්සු අනන්තවත් වේදනා වින්දහ. ඔවුනට පිපාසයට දිය බිඳක් හෝ ලැබුණේ අහම්බෙනි. ඉතා ස්වල්ප එක් ආහාර වේලක් පමණක් දිනකට ලබාදීම සොළී ප‍්‍රතිපත්තිය වීය. මේ බරපතළ වදයන්ට බොහෝ විට පැමිණවී තිබුණේ අහිංසක සිංහල ගැමියන් ය. ඔවුන’ගේ බවභෝග කෙත්වත් විනාශ කළ සොළීනට එරෙහිව සටන් කිරීම ඔවුන් කළ එකම වරද බවට පත්ව තිබිණි.

අරුණාලෝකය පලවා හැර හිරු ගිනියම්ව අහසේ බැබළෙන මොහොත එළැඹිණි. සිංහලේ අභීත සෙනෙවි නැඟිට තම සේනාංකය නැවත ඇමැතී ය.

අප තරමක විශ‍්‍රාමයක් ගත්තා. දැන් විජයබාහු මහරජුගේ අණ බදලත්ථල සොළී කඳවුර විනාශ කැර එහි ඇති වධකාගාරයේ අහිංසක ගැමියන් බේරා ගැනීමයි. යුහුසුලු ව සටනට පිවිසෙමු.

එම වචනවලින් පසු මුළු පෙදෙසම නින්නාද වූයේ මහත් වූ හේවිසි හොරණෑ හා මඟුල් බෙර හ¾ඩිනි. විජයබා රජුගේ කොඩිය රැගත් හේවායෙක් ඉදිරියෙන් ම සිටියේ ය. පෙළින් පෙළ සැදුණු හේවා භට කණ්ඩායම් සීරුවට ගමන් ඇරැඹූහ.

බදලත්ථල සොළී කඳවුරට ගව්වක් පමණ ඈතක සිට ඊට කිට්ටුවීම බරපතළ කාරියක් වී ය. විශාල වළ ගොඩැලි කපා කඩු තුඩු පොළොව යට සිටුවා ඒ මත ව්‍යාජ ලෙස සකසන ලද ගස්වැල් අතුරා තිබීම අතිශය භයානක මර උගුල් ක‍්‍රමයක් වී ය. සේනාංකය ඉදිරියට මෙහෙයවත්ම ඇතැම් හේවා කණ්ඩායමක් මේ මර උගුලක වැටිණි. එසේ වැටුණු සැණින් ඊතල වැසි ගස් මුදුන්වල සිට පාවී ආයේ ය. සොළියෝ මර උගුල් කපා ඒ මත වැටෙන සිංහල සේනාවනට තියුණු හී විද්ද හ.

අපේ අශ්වාරෝහක හමුදාව අතර පිටුපසින් හිඳගත් දුනුවායන් ගස් අතු පතර කපා යන ලෙස විදි හී පහරින් ඇතැම් සොළියෙක් විලාප නඟමින් බිම වැටිණි. අපේ අශ්වාරෝහක හමුදාව මෙතැනදී කළ සේවය අති විශිෂ්ට ය. ඔව්හු අසුන් කරකවමින් ළඳු කැලෑ අතර සැඟවෙමින් තමා පිටුපස හිඳි දුනුවායනට හී මෑනීමට මහත් උපකාර කළහ. ඒ ප‍්‍රස්ථාවෙන් නිසි ඵලගත් දුනුවායෝ එක හී පහරින්ම ගස් අතු අතර සැඟැවුණු සොළියෝ එකිනෙකා මරා දැම්මහ.

මර උගුල් පන්නමින් සිංහල සේනාවේ අසු කුර හඬ නැඟිණි. දූවිල්ලෙන් කරව ගිය වාලුකා තලයක් ඊළඟට පිහිටියේ ය. ඒ හතර වට ආරක්ෂක කුටි කීපයක් ද විය. මේ වාලුකා තලය ද කිසියම් මර උගුලක් වේ යැයි බියගත් හේවායෝ ඊට පිවිසීමට ප‍්‍රථම හොඳින් පිරික්සා බැලූහ.

ප‍්‍රධාන මුරකපොලු හතර සුළු කණ්ඩායම් වශයෙන් වටකැර ගැනීමට අවස්ථාව එළැඹියේ මේ අතර ය. දකුණු පසින් වූ මුර කණ්ඩායම් සිටි සොළියෝ තමන් සතු හෙලි, තෝමර ඔසවා සටනට පිවිසියහ. සේනාංකයේ සිටි දක්ෂ මල්ලව පොර සූරයන් හා සොළී හේවායන් අතර සටන වඩාත් බිහිසුණු එකක් වී ය. දූවිලි අහස සිසාරා නඟිණි. කඩු පත් ‘ටං’ ‘ටං’ හ¾ඩින් ගැටී පරිසරය දෙවනත් කෙළේ ය. මුර කුටි හතර ලිහිණි කූඩු මෙන් පොඩි පට්ටම් කැරිණි. ළය පසාරු වී ගිය සොළියන් මරහඬ දෙමින් මුර කුටි අසලම බිම වැටුණේ ’මුණ්ණඩි චෝල මණ්ඩලම්’ සිහිනය මේ දීපය ඇතුළත බොඳ කරමිනි.

මහත් වූ තෙද බල ඇති බදලත්ථල මහා සොළී සෙනෙවියා හා ඇමැති ගණයාට ප‍්‍රධාන මුර කුටි හතර වැටෙන හඬ ඇසිණි. පළමුව මර උගුලක් යැයි සැක සිතුණු වාලුකා තලය මේ ප‍්‍රධාන සොළී බලපතියාගේ අසුන් පුහුණු කරවන ස්ථානයක් ලෙස තිබී ඇති බව පසුව හෙළිවිණි. ඒ වන විටත් මර හඬ නඟන හා විලාප තබන සොළී ලෙයින් ඒ සුදු වැල්ල රතු වැල්ලක් බවට පත්වී තිබිණි.

ප‍්‍රධාන සොළියා අජානේය අසකු පිටින් පිටුපස වාහල්කඩින් පැන යන්නට ද සැරසිණි. එහෙත් සිංහලේ අභීත නායක සෙනෙවියන්ගේ සේනාංකයක් පිටුපස දිවා රෑ රැකවල් ලා සිටීමෙන් ඒ තැත ද ව්‍යර්ථ වී ය. ඔහු තම පිරිස සමඟ සටනට පිළිපන්නේ බැරිම තැන ය. එහෙත් තවත් ක්ෂණයකින් හෙතෙම අතුරුදන් වී ය.

චෝල මණ්ඩලයේ තවත් කඳවුරක බිත්ති පුපුරා ගියේ ය. තැන තැන මහ සටන් ඇවිළිණි. කඩු පත්, හෙලි, තෝමර රැගත් සිංහල හේවායෝ කඳවුර මැද සටන් කළේ මහත් විස්ම පාමිනි. පිරිසක් දොහොත් මුදුනේ තබමින් සටන් මෙහෙයැවූ මහා සේනාධිනායකයා ළඟට පැමිණ යටත් වූ හ. ඔවුනට අභය දෙන්නැයි ඉල්ලමින් ඔව්හු අවි බිම තබා සිංහල සේනාපතියාගේ දෙපතුල් සිම්බ හ.

අභය ඉල්ලා සිටින සියල්ලන් අවි බිම තබා පැමිණිය යුතුයි. ඒ මහරජුගේ ආඥාවයි. ප‍්‍රධාන සෙනෙවියා එසේ කීවේ සියල්ලනට ඇසෙන පරිද්දෙනි. එහෙත් වීර රාජේන්ද්‍ර රජුගේ ආඥාවට මිස අප කිසිවිටකත් විජයබාහු රජුට යටත් වන්නේ නැතැයි කී සොළියෝ ද සිටියහ.

ඔව්හු තම සිහින දේශය වෙනුවෙන් එදා බදලත්ථල කඳවුරේ දී සිහල අසිපතට ගෙල දුන්හ. කඳවුර බිමට සමතලා කළ හේවායන් ඉනික්බිතිව දිව ගියේ වධක කඳවුර දෙසට ය. මේ වන විටත් වීර සිංහල සේනාවේ වික‍්‍රමයන්ගෙන් හෙම්බත්ව සිටි බදලත්ථල සොළී නායකයා විස කටු සහිත පඳුරු හා වැල් ගාලකින් වටවුණු වධකාගාරයේ මිනිස් කැළ පවුරක් මෙන් යොදාගෙන තිබිණි.

කළල් දියේ සිරුරින් අඩක් පමණ ගිල්වා රැහැන් පටින් බැඳ අනේකවිධ දුක් දුන් මේ මිනිසුන් සියලු දෙනා එකට ලී රෝදයක ආධාරයෙන් එක්ව බැඳ තිබුණේ ය. මේ රෝදයට සවි කරන ලද ලීවරයක් කරකැවීමෙන් මේ සියලු දෙනා ක්ෂණයකින් ගොහොරු මඩේ ගිල්වා දැමිය හැකි වීම සුවිශේෂ ය. මෙසේ වදයට පත්කරන ගැටයන් සියලු දෙනාගේ ඇතැමෙක් කේඩෑරි සිරුරින් යුතු වූහ. වැලි පිරැවූ කොට්ට කිහිපයක් මේ හැම සිරකරුවෙකුගේ ම හිස ඉහළින් පිහිටියේ ය. එයද දැව ලීවරයක් ආධාරයෙන් කි‍්‍රයා කරන්නකි. සොළී නායකයාට අවශ්‍ය නම් අත් පා බැඳ දියේ බාගයක් ගිල්වා ඇති සිරකරුවාගේ හිසට මේ වැලි කොට්ට සැණෙකින් එවා මරා දැමිය හැකි ය. පනුවන් ගහණ මේ කළල් දිය දුර්ගන්ධයෙන් ද යුතු වූවකි.

දැන් බදලත්ථල සොළී නායකයා පැනගොස් සිටින්නේ මේ වධකාගාරයට ය. සිංහල සේනාව මෙහි ආවොත් නිසැකව ම සිරකරුවන් එක පොදියට මරා දමන බවට හෙතෙම වහසි බස් කීවේ ය.

එහෙත් ධීර වීර සේනාපතියෝ උපක‍්‍රමශීලීව සටන් කළහ. සොළී නායකයාගේ උදව්වට සිටි හේවායින් එකින් එකා සීරුවට විද මැරීමට කල්පනා කළ සිංහල හමුදාව එකවර වධක පිටියට කඩා නොවැදීමට තීරණය කළේ ය. ඒ වෙනුවෙන් මහත් කැපවීමක් කළ හේවායින් කීපදෙනකු විස කටු පඳුරු හා ඊතණයෙන් හෙබි බඩවැටි යටින් රිංගා ගියේ එයින් වද කඳවුරු බිමට ඇතුළුවන මෝය සොයමිනි.

ඇත්තෙන්ම එහි කිසියම් තැනෙක කළල් දියෙන් පිරුණු වධක භූමියේ මුව විට තිබිණ. එසේ රිංගා ගිය සෙබළුන් පනුවන් ගහණ අපිරිසුදු දියේ පිහිනා ගියේ දිය යටිනි. ඒ සිංහල සිරකරුවන් මරණයෙන් ගලවා ගැනීමට ය.

දුනුවායන්ගේ හී පහරින් එකිනෙකා මැරී වැටෙද්දී සොළී නායකයා මහත් සේ කම්පනයට පත්විය. හෙතෙම ලීවරය දෙසට දිවගියේ එය කි‍්‍රයාත්මක කැර සියලු හිරකරුවන් දියේ ගිල්වා ඔවුන්ගේ හිසට වැලිකොට්ට පෙරළා මරා දැමීමට ය.

එහෙත් ඊළඟ නිමේෂය අතිශය භයංකර එකක් විය. දිය යටින් මතුවුණු සෙබළුන් නායකයා අල්ලා ගත්තේ ඔහුට කිසිවක් ම කරකියා ගත නොහැකි වන පරිද්දෙනි. නායකයා අල්ලා ගත් සැණින් ඉතිරි සොළී භටයෝ වෙව්ලුම් කෑහ.

නායකයා පිටිතල හයා බැඳගත් ධීර වීර සේනාපතියෙක් සියලු ම හිරකරුවන් නිදහස් කැර ගන්නැයි සේනාවට අණ කළේ ය.

බොහෝ කාලයක් දුක් විඳි මේ අසරණයනට නැඟිට යා ගත හැකි නොවී ය. ඔවුනගේ දෙපා වණ වී මහා වණ කැළැල් තිබිණි. ඔවුන් දඬුයෙන් සාදන ලද වැල් ඇඳන්වල තබාගත් පිරිස් වහ වහා ජීවකයන් වෙත ගෙන යනු දක්නට ලැබිණි.

මේ කඳවුර ඇතුළත අමු සොහොනක් මෙන් විය. තැන් තැන්වල මැරී වැටුණු සොළී සිරුරු වළලන්නැයි අණ ලැබිණ. පිටිතල හයා බැඳ ගත්තත් සොළී නායකයා තම පාදයෙන් ලීවරයට පහර දුන්නේ ය. ඒ වනවිට සිරකරුවන් මුදාගෙන සිටි බැවින් අනතුර අඩු විය. ඒත් වැලි කොට්ට පැරැළී දෙපැත්තේ දැව දඬුහිරවිණි. නායක සේනාපතියකුගේ හිසට ද වැලි කොට්ටයක් පෙරැළිණි.

මේ දුටු කුපිත සිංහලයෙක් තම අතවූ හෙල්ලෙන් සොළී නායකයාට ඇන්නේ ය.

සිංහල සේනාවේ මුහන්නරුව, බදලත්ථල බළකොටු බිඳ ලබා ගත් ප‍්‍රීතිය දෙගුණ තෙගුණ වූයේ පොලොන්නරුව ජය ගන්නට විහිදී ගමන් කරන පළමුවැනි සේනාංකයේ ප‍්‍රවෘත්ති රැගෙන පැමිණි දූතයන්ගෙන් ලැබෙන සතුටුදායක ආරංචි ඇසීමෙනි.

යුද්ධයේ ප‍්‍රවෘත්ති දූතයන් කියන අන්දමට ඒ මඟෙහි තිබූ සොළී බළකොටු කීපයක් ද බිඳ වැටිණ. මහරජු ද මහත් ප‍්‍රමෝදයෙන් යුක්තව සිටී. ඊළඟට අපේ ඉලක්කය විය යුත්තේ වාපි නුවරයි. මෙය මීටත් වඩා බිහිසුණු යුද්ධයකින් ජයගන්නට අදිටන් කරගනිමු.

යුද්ධයේ ජයග‍්‍රහණයෙන් ඔකඳව ගිය සේනාංකයට මහ ඇමැති කීවේ ය. වාපි නුවර තත්ත්වය ගැන ඔත්තුකරුවන්ගෙන් ලැබුණු ආරංචි එතරම් හොඳ නැත. වැව් කීපයකින් වටවී තිබුණු හෙයින් එනුවර වාපි නුවර වී ය. මාරක ජල කපොලු හා ජලයේ කළයුතු සටන් ගැන ද අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් වනු ඇතැයි රජතුමාගේ උපදේශය වී ය.

විජයබා හමුදාවෝ වැව් නුවරත් අල්ලති

‘මුහුන්නරුව බළකොටුව ජයගත් අපට බදලන්ඵල අභියෝගය පහසු වුණා. ඒත් වාපිනගරය එහෙම එකක් නොවෙයි. එය සම්පූර්ණයෙන් ම ජල දුර්ගයෙන් වට කළ බල සම්පන්න කපොල්ලක්.

අපේ ධීර වීර හමුදාවේ චිත්ත ධෛර්යය හා සංග‍්‍රාම ශක්තිය හමුවේ ඒ බළකොටුවත් ජය ගැනීමට අපට පුළුවනි. මහා විජයබාහු නරේන්ද්‍රයාණන් වහන්සේ මේ සේනාංකය ගැන අතිශය ප‍්‍රමෝධයට පත්වී තිබෙනවා.

ලබන පෝය උදාවට පෙර එතුමන් අප බැහැ දකින්නට ඒවි. අපට පෙර පිටත් වූ පළමු වැනි සේනාංකය සොළී බළකොටු සුන්නද්දූලි කරමින් දැන් දෙවනගලටත් කිට්ටු කරලා. හෙට අරුණැල්ලේ ම පිබිද වාපිනගර ජල දුර්ගය වටකරමු.”

සිංහලේ අභීත සෙනෙවිගේ ඒ කතාව අසා සිටි සියල්ලෝ ප‍්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ. මෙතෙක් ගෙන ආ ඇත් අස් සේනා මෙහි පිටියක නතර කැර දක්ෂ පිහිනුම්කරුවන්ගේ මඟ පෙන්වීම මත මෙහි යාමට ප‍්‍රධාන සෙනෙවියා අණ දුන්නේ ය.

රණ බෙර හඬ හා ජයසක් නාදය නැවත ඇවිළිණ. නැටුම් ගැයුම් මැද තවත් රාති‍්‍රයක් ගත කළ සිහල සේනාව පසුදා උදයේ ම තම අසිපත්, හෙලි, සේමර, පළිහ හා වෙනත් බූමරංග වැනි බරපතළ ආයුධ ද රැගෙන පෙළින් පෙළ සිට ගත්තේ ය.

ගහකොළ අතරින් පෙරුණ අරුණෝදයේ රන්වන් හිරු රැසින් සොබාමත් වූ පරිසරය රණකාමිත්වයේ හා දේශපෙ‍්‍ර්මයේ කාහලයෙන් නැහැ වී ගියේ ය.

වාපි නගරය යනු වැව් නුවර ය. හතර වටින් ම වැව් කීපයකින් වට වුණු තැනක පිහිටි මේ අභිනව බළකොටුව වැව් තාවුල්ලක සාදවා තිබුණකි. එහි සමහර තැන් වතුරේ පාවෙන තොටුපළක් ලෙස ද පෙනිණි.

මේ කාලයේ ශ‍්‍රී ලංකාවේ දියුණු නාවික ගමනා ගමන පද්ධතියක් තිබූ බව ඉහත කියැවිණ. ගොඩවාය නමැති මාගම වරායෙන් විදේසවලට පවා නැව් ගමන් සිදු වූ බව මම පෙරදී ද කීවෙමි. මේ කාලයේ අපේ ගංගා හා වැව් තලය මත යාත‍්‍රා කළ මහ නැව් වැනි ඔරු යාත‍්‍රා තිබිණැයි කියැවේ. මීට වසර කිහිපයකට පෙර කැලණි ගඟ පත්ලෙහි තිබී මෙවන් ඔරුවක් හමු විය.

මේ ඔරුව සුවිශේෂ එකකි. මෙහි ශක්තිමත් කඳ මත කෙනෙකුට පහසුවෙන් වාඩි වී සිටිය හැකි වුව එහි ඇතුළත ඉතා පටු ය. ගමන් යන්නා ගේ දෙපතුල පමණක් එම පටු තීරයේ ඔබාගෙන එහි කඳ මත උක්කුටිකව වාඩි විය යුතු ය. මේ ආකාරයෙන් හතර පස් දෙනෙකුට කෙළින් සරල රේඛීයව අසුන් ගත හැකි අතර ඔරු කඳට සවි කැර ඇති සවි බල රබර් සිදුරකින් හබල වතුර මතට වැටෙයි.

දෙපැත්තටම ඒ ආකාරයෙන් මේ සිදුරු සවි වී ඇති අතර අඩි 40 ක් පමණ දිගැති මේ එක් යාත‍්‍රාවක හබල් 8 ක් පමණ වෙයි. සවි ශක්තිමත් මිනිසුන් හතර දෙනෙකු විසින් මෙවැනි යාත‍්‍රාවක් පදවනු ලැබෙන අතර වේගය ද වැඩි ය. මෙවැනි යාත‍්‍රා සිය ගණනකින් මේ තොටුපළ වට වී ඇත. සතුරු හමුදාවක් පැමිණි වහාම මේ ඔරුවලට පනින සොලීහු වැව් දිය මතදී සතුරාට පහර දීමට සැරැසෙති.

ශ‍්‍රී ලංකාද්වීපයේ නොයෙක් පෙදෙස්වලින් පැහැර ගන්නා ලද කුළු බඩු, ඇත්දත්, හා මැණික් ආදිය යාත‍්‍රාවල පා කරමින් මාන්තායි වරායට ගෙන යන ඔව්හු ඒවා එහිදී චෝල මණ්ඩලයේ ප‍්‍රධාන ද්වීපය වූ දඹදිවට ගෙන යති.

සීරුවට වාපි නගර හෙවත් වැව් නුවර සමීපයට ආ සිහළ හමුදාවෝ – තුන් පැත්තකින් මේ බළකොටුව වටකළහ. එහෙත් තම බළකොටුව මයිල හත අටක දුර දී පහර දෙන යාත‍්‍රාවලින් පාවී ආ ඊතල වැස්සෙන් අපේ ඔරු පාරුවල සිටි සෙබළුන් පිරිසකගේ ද ළය පසාරු කැරිණ.

ත් වතුරට පිනූ කල කිඹුලන්ටත් වැඩි වේගයෙන් පිහිනා යා හැකි ගොඩබිම දී වෙඩි කෑ ඌරකුට ගෝනකුට වැඩි වේගයෙන් දිව යා හැකි පිහිනුම් ශූරයෝ වතුරේ කිමිදී ඒ ඔරු පෙළ කරා ළඟා වූහ. මේ අතිශයින් ම බිය ජනක කාර්යයකි. යම්තමට හෝ වතුරෙන් එසැවෙන හිසක් දුටහොත් ඔවුන් තම අසිපත් වලින් පෙති ගසන්නේ ‘පෙතියන් මාළු’ කපන ආකාරයෙනි.

ඒත් අපේ ධීර වීර පිහිනුම් භටයන් සොළී ඔරු මතට පැන්නේ බලා සිටියවුන් විස්මපත් වන ආකාරයෙනි. මේ යාත‍්‍රාවල සිටි ශක්තිමත් සොළියන් වතුරෙන් මතුවූ ඒ යඳඩු වත් සිංහල දෑත්වලින් හිරවිය. අසිපත්වලින් පෙති ගැසිණ. වැව් නුවර රුහිර ගංගා ගලා ගියේ නිමේෂයකිනි. ඒ ඔරු මතට පිනූ සිංහල හමුදාවේ සටන අති බිහිසුණු විය. ඔරු එක දෙක දියේ ගිල්වී යද්දී සතුරන් මරා දැමූ හමුදාවෝ තොටුපළේ බිත්ති පුපුරවන්නට වූහ.

මහ වැස්සකට පසු ඉගිළි එන මෙරු කැළක් පරිද්දෙන් සොළියෝ සිංහල හමුදාවට පහර දෙන්නට ඉදිරිපත් වූහ. ඒත් තුන් පැත්තකින් වට වී පහර දෙන ධීර වීර සිංහල හමුදාවල උපක‍්‍රමශීලී සටන් ක‍්‍රම හමුවේ ඔව්හු පරාජය වූහ.

සමහර නොළීයෝ යාත‍්‍රාවල නැඟී පණ බේරාගෙන පලා යන්නට වූහ. මිය ගිය සොලී සෙබළුන් ගණන අතිශය වැඩි විය. ඔවුනගේ මළකඳන් වැව් තලය අමු සොහොනක තත්ත්වයට පෙරැළීය.

ඔවුන් ගබඩා කැර තිබූ වටිනා සම්පත් සියල්ල මේ සටනත් සමඟම වැව් පත්ලට කිඳ්‍ර බැස්සේ ය. වඩාත් ම හාස්‍ය ජනක කාරණය වූයේ, මෙහි සිටි ;සාළී බලපතියා තමන්ගේ මැණික් එබ්බවූ සිංහාසනය සිරසේ ලියා තිබූ “එවරාලුම් තෝක්කඩික්ක මුඩියාදු” යන දෙමළ පාඨය ද සමඟ එම පුටුව ද වතුරේ ගිලී යාමයි. එහි සිංහල අරුත ‘කිසිවකුටත් පැරැදවිය නොහැකි ය යන්නයි. පරාද කළ නොහැකියන් පරාද කරමින් විස්මිත වික‍්‍රම පෑ සිංහල භට හමුදාවෝ තවත් නිමේෂයකින් ඔවුනගේ බළකොටුව කුරුලු කූඩුවක් පොඩි කැර දමන්නාක් මෙන් සුනු විසුනු කළහ.

එහෙත් සිංහලේ අභීත මහා සෙනෙවියා අප සතු යාත‍්‍රාවකින් පලා යන්නකු පසු පස හඹා යනු පෙනිණි. ඒ වනවිටත් තම ප‍්‍රධාන සොළී යෝධයන් දෙදෙනකු දෙපස තබාගෙන සොළි බලපතියා බොහෝ ඈතට පලා ගොස් තිබුණේ ය.

දියඹේ කරණම් ගහන අපේ පුරුදු කිමිදුම්කරුවන් රැසක් මේ යාත‍්‍රාව පසුපස පිහිනා ගිය ද ඊට කිව්ටු වීම අසීරු කාරියන්ට වීය. ගත වූයේ තවත් නිමේෂයකි. වැව් දියමත හීයක් මෙන් ඉගිලෙන සොළී යාත‍්‍රාව තවත් යාත‍්‍රා සමූහයකින් වටකරනු ලැබිණි. ඒ වනවිටත් කි‍්‍රයාත්මක ව සිටි අනෙත් නායක සෙනෙවියා කලින් සැලසුම් කැර තිබූ පරිදි ඈත වැව් කෙළවර නවතා සිටි සිංහල භටයන් සමූහයකගේ යාත‍්‍රා සොලියාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉදිරියෙන් නවතා තිබීම ඊට හේතුව විය.

ගුරුළු තුඩක් ඇති මුහුණකින් ගෙබි මේ අලංකෘත සොළී යාත‍්‍රාව වළල්ලක් මෙන් මැදි කර ගත් අපේ හමුදාවෝ ඈත සිට ම හී වරුසා ඒ මත හෙළනු ලැබිණි. බලපතියාගේ රැකවලට සිටි සොළී යෝධයන් තම අත රැඳි පලිහ වලංගු කැර ඒවා වළකා ගත්තේ ඉතා අමාරුවෙනි.

බලපතියා ඔරු කඳ මත දිගා වී ජීවිතය ඉල්ලා හිස් අහස් කුස යැද්දේ ය. ඉක්බිති එම යාත‍්‍රාවට පිනූ කිමිදුම්කරුවෝ සොළී යෝධයන් සමඟ සටන් කළහ. එහෙත් කාය ශක්තියෙන් පිරිපුන් ඒ යෝධයෝ අපේ කිමිඳුම්කාර හමුදාවේ භටයන් සටනින් දුර්වල කළහ. ඔවුන් අත වූ යගදාවෙන් සිංහල භටයින් දෙදෙනෙකු පොලු ගසනු ලැබිණි.

සිංහලේ නායක අභීත සෙනෙවි දණ්ඩෙන් පහර ලත් නාගයකු මෙන් කිපුණේ මේ මොහොතේ ය. ඔහු මඳ විශ‍්‍රාමයකට යවා සිටි දුනු හමුදාවට අණ දුන්නේ ඔවුනගේ සිරුර හිල් කිරීම තොපට අයිති කාරිය බව හඟවමිනි.

සතර වටින්ම පියාඹා ආ දුනු ඊතල වරුසාවට ඔවුනගේ ඒ යගදාවත් පලිහත් ප‍්‍රමාණවත් නොවිණි. ප‍්‍රධාන සොලී යෝධයින් දෙදෙනා තවත් මොහොතකින් ඊතල රැසකින් ශරීරය පුරවාගෙන ඔරු කඳ මත වැටුණේ වැව් දිය ද ලෝ හිත ගන්වමිනි.

තමාගේ රැකවලට හිටි සොලී යෝධයින් දෙදෙනා ද ඔරුව යාත‍්‍රා කරවමින් සිටි එක් සොළී භටයෙක් ද මිය ගිය සැණින් ප‍්‍රධාන බලපතියා වැව් දියට පැන පිහිනන්නට විය.

ඒත් ඔහුට පිහිනා යා හැකි වූයේ කෙටි දුරකි. ඒ වනවිටත් වතුරේ පිහිනමින් ඔහු ලුහුබඳිමින් සිටි කිමිදුම්කරුවෝ වහා කි‍්‍රයාත්මක වූහ. දිය කඳ යට ද මහ සටනක් විය. පොර බැඳීම් හා වහසි බස් කීම් ආදියෙන් මේ සටන තියුණු වී ය. සිංහලයේ මහා අභීත සෙනෙවි එතැනට ළඟා වන විටත් වාපි නගර සොළී බලපතියාගේ හිස බෙල්ලෙන් වෙන්කැර කපා ගත් සිංහල භටයෙක් එය වතුරෙන් උඩට ඔසවා පෙන්වී ය.

මහ සටනක නියැළුණු සියල්ලෝ ප‍්‍රීති වූහ. පාවී යන කවන්ධය ද හී පහරින් හෙම්බත් වී තිබිණ.

මේ රුහුණු රටේ කීර්ති කුමාර හෙවත් පළමු වැනි විජයබා රජුන්ගේ මහා සේනාවයි. එය වළකන්නට කිසිවකුටත් බැරි ය. අපේ රට අපට ම දී තොපි තොපේ රටට යා යුතුයි. එසේ රණ ඝෝෂා නැගූ බළ සේනාවෝ වාපි නගරයේ එදින සවස්වරුව ගත කළහ. සොලියන් විසින් එතෙක් කොල්ල කන ලද අපේ ඔරු පාරු සමූහය හා කුරුඳු, ගම්මිරිස්, එනසාල් ආදී ගබඩා විවෘත කැර එගම දුප්පතුනට බෙදා දීමට සැලසුම් කැරිණි.

වවා ගත් බත බුලත බෙදා හදාගෙන කෑ මේ ජනතාව තම සතුරාගේ මළ කඳ පවා බලු, කපුටු, කැනහිලුන් කෑම නොඉවසීම වැදගත් ම කරුණකි.

වැව් දිය මත පාවී පහළට ගලා යන සොළී සිරුරු එක්තැන් කළ ඔවුහු පොදු මිනී වළ කපා ඒවා වළලා දැමූහ. ඒත් තමන් සුරා කෑ කෙත් වතු බත් බුලත් හා කුඹුරු සොළී ලෙය මුහුවුණු වතුරින් සාර වීම වැළැක්විය නොහෙණි.

වන්දිභට්ටයෝ ඇමැතින්ගේ ප‍්‍රශස්ති ගායනා මෙන් ම මහරජුගේ යසෝරාවය නැවත ගයන්නට වූහ. නැට්ටුවෝ නොයෙක් නැටුම් පෑහ. එදින සවස් යාමය මහ වැසි වළාවකින් අහස සැරැසී ගියේ ය. අහස බුර බුරා හෙණ හඬ නැංගේ ය. තුෂර පිනි බිඳු එක දෙක වැටී මහ වැස්සක් පතිත විය. සොළී පහසින් කිළිටි වූ පෙදෙස අනෝරා වැස්සකින් පසු සම්පූර්ණයෙන් ම පිරිසුදු වී ය.

පසුවදා පහන් වන තුරු සිංහල සේනාව සිටියේ බලවත් සතුටකිනි. සොළියන් දෙපලු කළ කතා අතරින් ඔවුනගේ නොපණත්කම් සියල්ල අවසන් බව ඒ කතාවලින් හැඟිණි.

මෙහි සිටි දූතයන් ආරංචි රැගෙන වාසල වෙත නික්මී ගොසිනි. පසුවදා උදේ තවත් දූතයෙක් වාසල සිට වාපි නගරයට පැමිණ සිටියේ ය.

මහරජු, කාජරගාමයෙන් නික්ම තුන්වන සටන් මාර්ගයේ ගමන් අරඹා තිබෙන බව ප‍්‍රීතියෙන් ප‍්‍රකාශ කරනවා. වාපිනගර ජල දුර්ගය ජය ගත් ඔබට මහරජුගෙන් නොයෙක් ත්‍යාග පිරිනැමෙන බව මහ අමාත්‍යවරුන් පවසා තිබේ.

ඊළඟ බළකොටුව ජය ගැනීමට පෙර තරමක විශ‍්‍රාමයක් ගැනීමට රජුගේ ආඥාවයි. ඒ කාලය තුළ ආහාර ජල අවශ්‍යතා මතු නොව බෙහෙත් හේත් හා තුවාල කරුවන් රම්බා වෙහෙරට එවීමටත් රජු අණ කැර තිබෙනවා.

දූතයා තමා අත වූ සංදේශය කියැවූයේ මහත් වූ ඕනෑකමිනි. හිරු අලුත් දවසක් උදා කළේ භටයින්ගේ දුක් දෝමනස්සයන් සියල්ල පිස දමමිනි. එය එතරම් මැ ප‍්‍රබෝධමත් දවසක් වීය.

ජනනාථපුරය වටලයි කඳවුරු රැසක් සුන්

විජයබාහු මහ රජු ගේ ආඥාව අනුව සොළින්ගෙන් මුදා ගන්නා ලද සියලු නුවර නැවත පිළිසකර කිරීමේ අවශ්‍යතාව හැමවිට ම අවධාරණය කැරිණි. දිගු කලක් තිස්සේ පරදේශක්කාරයන් ගේ ග‍්‍රහණයට නතුව තිබූ මේ පෙදෙස්වල කිසිදු ආකාරයක සංවර්ධනයක් සිදු නොවී ය.

ඒ වෙනුවට ගැමියන් සතු ව තිබූ කෙත්වතු ගෙවතු හා උයන් සියල්ල උදුරා ගනු ලැබුණු අතර අයිතිකරුවනට එහි වහලුන් මෙන් වැඩකරන්නට ද සිදුවිය. වැඩ කරන ප‍්‍රමාණයට තමන් ගේ වතුවල ආදායමින් කොටසක් ගෙන එතෙක් ජීවත් වූ මේ ජනතාවට රජු ගේ සෙබළ හමුදාව මේ බළකොටු ජයගැනීම මහත් අස්වැසිල්ලකි.

ඔවුනට නැවතත් තම උපන් ගම් බිම් හිමි විය. කෙත් වතු ලැබිණි. වැව් අමුණු යළි සැකසිණි. වගාබෝග යළි නංවාලීමට අවස්ථාව එළැඹිණි. තමන්ගේ ම කෙත් වතු සොළියනට පවරා ගැනීමේදි සටන් කළ සිංහල විරුවනට එරෙහිව තිබුණු ප‍්‍රධාන චෝදනාව වූයේ චෝල මණ්ඩලම් අධිරාජ්‍යයේ වීර රාජේන්ද්‍ර රජු ගේ අණසක පැතිර පැවැති දේශයක අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම ය.

එහි වගා කිරීම ය. චෝල බලයට එරෙහි වු ඇතැමෙක් ඔවුන ගේ සිරගෙවල්හි කටුක බත් කෑහ. වැව් නුවර තිබූ වධකාගාරයක මේ අය රැඳවිණි.

කීර්ති කුමාර හෙවත් මහා විජයබාහු ගේ යසෝරාව වයඹ දිග ලංකාවේ විසිර පැතිර ගියේ මෙවන් පසුබිමක් තුළදී ය. සිහළ සේනාව මුහුන්නරුව ජයගත් විට බදලත්ථල හා වාපිනගර වැසියෝ බෙහෙවින් පී‍්‍රති වූහ. ඒ ඊළඟට තමන් ගේ ගම් බිම්වල සොළී කඳවුරු ද නිසැකව ම වැටෙන බව ඉවෙන් මෙන් දැන ගැනීමෙනි.

අඳුරේ ගිලී තිබූ මේ නගරවලට අලුත් අරුණෝදයක් උදා විය. එහි වූවෝ ඉතා පී‍්‍රතියෙන් යළිත් සිහළදීපයේ නිදහස පතා වගා සංග‍්‍රාමයක නිරත වූහ. ඇතැමෙක් රට බේරා ගැනීමේ සටනට එම ජයග‍්‍රාහී සේනාවට ම එකතු වූහ. සිංහලේ අභීත සෙනෙවියකු මෙහෙයවන මේ මඟ ඊළඟට ඇත්තේ බුද්ධගාමය ජය ගැනීමයි.

මෙහි සිටි බලපතියා පරිසර ලෝලියෙකි. සිංහලයන් සතු ඉඩකඩම් උදුරාගෙන එහි සාරය උරා බීවත් ඔහු ජීවත් වූ, අක්කර 47 ක වපසරියක භූමි භාගය සම්පූර්ණයෙන් ම මහ ගසින් වැසී තිබුණේ එනිසාය. තැනින් තැන සෙවෙණ වූ මේ මහා වනාන්තරය සියොළඟ සිහිලස තවරන මහ අසපුවක් මෙනි. එහි යට සැකැසි කූඩාරම්වල සොළීහු තම අණසක පතුරා ගත්හ.

’මැණික් දෙභ’ නමින් අද හැඳින්වෙන එදා බුද්ධගාමය ලෙස හැඳින්වූ මේ පෙදෙස අදත් හරිත වනයක්ව පැවැතීම සතුටුදායකය. මුහුන්නරුව හා බදලත්ඵල සටනටත් වඩා මෙහි වූ සොළියන් බිය ගැනී සිටියේ වාපි නුවර මහ සටන් ගැන ඇසීමෙනි. සිහළ සේනාපතියන් වතුර යටින් කිමිද බෝට්ටුවලට පැන තම සගයන් මරා දැමීම ගැන ඔවුනට මර උණ දැනී තිබුණා විය හැකිය.

තූර්ය නාද නඟමින් ඉදිරියට එන සිහළ සේනාවට මුහුණ දී ගත නොහී බියගුලු සොළීහු මේ මනරම් ස්ථානය අතැර පලා යන්නට වූහ. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සිංහලේ අභීත සේනාධිපතාධිවරු පැන යන සොළියන් මරන්නට හතර වටින් ම බුද්ධගාමය වටකළහ.

බුද්ධගාමය කඳවුර පිහිටි බිම…

පැන යන සොළීන්ගේ අශ්වයනට තිබහට වතුර බීමටවත් ප‍්‍රස්තාවක් නොවිණි. ඔව්හු තිලගුල්ල මණ්ඩගල්ල සොළී ජනපද සොයා හැල්මේ දිව ගියහ.

වට කළ සිහළ සේනාවේ හී සරයෙන් බොහෝ දෙනකුගේ ළය පසාරුවිය. මහ සටනක් කරන්නට බලාපොරොත්තුව පැමිණි ධීර වීර හමුදාවෝ මරන්නට කිසිවෙක් නොසිටි තැන එහි වූ කූඩාරම් හා වෙනත් වාසස්ථාන පොඩිපට්ටම් කළහ.

මහ ගසින් සෙවෙණ වූ මේ බිම විඩාපත් හමුදාවට මහා විවේකාශ‍්‍රමයක් ම වී ය. ඔව්හු තිලගුල්ල මණ්ඩලගල්ල සොළී බළකොටු බිඳින්නට සැලසුම් අඳිමින් සිටියහ.

සිංහලයේ අභීත වික‍්‍රමාන්විත සෙනෙවි සොළී බළකොටුවේ තරමක ඉසුබුවක් ලද භටයනට ඇසෙන සේ මෙසේ කීවේ ය.

”සොළීන් සිටින තැන් හැමකක් ම අපවිත‍්‍රයි. අපිරිසුදුයි. එහෙත් මේ බුද්ධගාමය හැම අතින් ම දර්ශනීයයි. මහ ගසින් සෙවණ වූ මේ නවාතැන අපූරු ය. මට මෙහිදී මතකයට එන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කියමනක්. වනාන්තරය තමන් ගේ පැවැත්ම සඳහා කිසිම පුද්ගලයකුගෙන් කිසිවක් ම නො ඉල්ලයි. එහෙත් තමන් ගේ නිෂ්පාදනයන් ඉතාම පරිත්‍යාගශීලිව අනුනට ප‍්‍රදානය කරයි.

වනාන්තරය යනු අසීමිත දයානුකම්පාවකින් හා පරිත්‍යාගශිලි බවකින් යුක්ත ජීවියෙක්. එසේ ම හෙතෙම සියලු සත්ත්වයනට රැකවරණය සලසයි. රුදුරු පොරොව පහරින් තමන් ගේ විනාශය සලසන්නාට පවා සෙවණ දෙයි. මේ අපූරු කියමන මා ඔබේ මතකයට නැඟුවේ අන් කවරක්වත් නිසා නොව මේ වන අසපුව එසේ ම රැක ගන්නට ඔබේ අවධානය යොමු කිරීමටයි.

මෙහි සිටි සොළී බලපතියා ඉන්දියාවේ වීර රාජේන්ද්‍ර රජු ගේ මෙරට සිටින නියෝජිතයෙක් වුණත් ඔහු තරමක සෞන්දර්යවාදී පරිසර හිතවාදියෙක් බව පෙනෙනවා. ඔහු අප මෙහි එන විට පැන ගියේ ජීවිතය බේරා ගන්ඩ.

මෙහි සිටි අනෙකුත් සොළී පිරිස් පවා දැන් ඉන්නේ තිලගුල්ල හා මණ්ඩගල්ලෙ. මේවා එතරම් ප‍්‍රබල සොළී කඳවුරු නොවෙයි. සතර දිග් භාගයෙන් මෙහි රැස්වී ඇති අඅපේ ධීර වීර හමුදාවට මේවා බිඳ දමන එකත් කජු කන කාරියක්.

දැන් අපේ ප‍්‍රධාන සෙනෙවිවරුන් පිල් දෙකකට බෙදී තිලගුල්ල හා මණ්ඩගල්ලේ කඳවුරු බිඳ දැමිය යුතුයි.”

මේ කතාව අසා සිටි සියල්ලෝ නැවතත් පී‍්‍රති ඝෝෂා නැගූහ. ප‍්‍රධාන සේනාව දෙකට බෙදී එක් කණ්ඩායමක් තිලගුල්ල බලාත් අනෙක් කණ්ඩායම මණ්ඩගල්ල දක්වාත් ගමන් ඇරැඹූහ.

ගතවූයේ තවත් දෙදිනක් පමණයි. තිලගුල්ලේ මෙන් ම මණ්ඩගල්ලේ ද සොළී කඳවුරු වැටිණි. සොළී භටයෝ බොහෝ දෙනෙක් දිවි පිදූහ. තමන් ට අසුවූ වටිනා දේ රැගෙන සමහර සොළීයෝ පැන ගියහ.

මේ කඳවුරු බිම් සියල්ල අමුසොහොන් බවට පත්වීමට ද ගතවී තිබුණේ පැය හතළිස් අටක් පමණ සුළු කාලයකි. බලා සිටියදීම සොළී කඳවුරු ඇද වැටෙනු දුටු සිංහල ජනතාවෝ වීදි පුරා කාහලනාදය නැඟූහ. රණ හඩින් පරිසරය ගිගුම් දුන්නේ ය.

අහිංසක ගම්වැසිඩන් තමා සතු බත බුලත පිළිගන්වා මේ ධීර වීර සේනාවට සංග‍්‍රහ කළේ අතිශය ඕනෑකමිනි. සොළියන් බලයෙන් අල්ලා ගෙන තිබුණු කෙත්වතු ගම්බිම් නැවතත් ගැමියන්ට ම ලැබිණි.

තමා සතු සොළී කඳවුරු එකිනෙක බිම වැටෙන බව සොළී දූතයන් මඟින් දැන ගත්තත් ඉන්දියාවේ වීර රාජේන්ද්‍ර චෝල මණ්ඩලයේ එවක සිටි මහා රජතුමාට කළ හැකි කිසිවක් ම නොවී ය. කි‍්‍ර.ව. 1070 දී. 1 වැනි කුලෝන්තුංග නමැති වාලුකප කුමරා චෝල අධිරාජ්‍යයේ රජ වු අතර ඒ සමඟම වික‍්‍රමාදිත්‍ය නමැති බටහිර වාලුක්‍ය කුමරාගෙන් තම අධිරාජ්‍යය බේරා ගැනීමට ඔහුට සිදුවිය.

මේ වන විට සිංහලේ මහා වික‍්‍රමාන්විත මහා විජයබාහු නරේන්ද්‍ර මහවැලි ගඟ ඔස්සේ පැවැති සියලු සොළී කඳවුරු සුන් කරමින් මහියංගණයට පැමිණ සිටියේ ය.

මැණික්දෙන නටඹුන්..

සිංහලේ අභීත නායක සෙනෙවි තමන්ගේ සේනාංකය ඉතා මනා කොට මෙහෙයවමින් පැවැති සියලු සොළී කඳවුරු බිඳලමින් අනුරාධපුරයට පිවිසියේ ය. නිකවැරටිය හරහා ගිය සේනාව ද එහි මඟ පැවැති බළකොටු බිඳිමින් ඉදිරියට ම ගියහ. ඔව්හු කුරුණෑගල හරහා ගිය අභීත සෙනෙවියා ගේ නායකත්වයේ පැවැති බලමුළුවට ම අනුරාධපුරයේදි එක් වූහ.

එහිදී දෙපිරිසම එක් වී එහි පැවැති සොළි බලය ද මුලිනුපුටා දමනු ලැබූහ. අනතුරුව මෙයින් එක් කොටසක් ඇමැති ගේ අණින් මහාතිත්ථ වරාය දක්වා ගමන් කළ අතර එම ගමනේදි රජ රටේ උතුර දක්වා පැවැති සොළී බලය ද විනාශ වී ය.

මේ සේනාංක මහාතිත්ථය දක්වා ගමන් කළේ කුමක් අරබයාදැයි සිතා බැලීම වටී. චෝල අධිරාජ්‍යය හැමදාම කළ ආකාරයෙන් චෝල බල ඇණියක් මෙරට යළි ආවොත් ඊට මුහුණ දීම සඳහා මෙම සේනාව එවන ලද්දේ මහියංගණයේ සිටි මහ රජු විජයබා ගේ සැලසුම පරිදියි. එහෙත් එවන් තත්ත්වයක් උදා නොවුණේ. වාලුක්‍යයන් ගෙන් චෝල රජුට තිබූ අපමණ කරදර හේතුවෙනි.

එය ජාතියේ වාසනාව වී ය. ඒ වනවිට දක්ඛිණ දේශයේ හා රජ රට උතුරු භාගයේ සිංහල බලය බොහෝ කාලයකට පසු යළිත් ලෙළ දුන්නේ ය. අනුරාධපුරයේදි බෙදුණු දෙවැනි කොටස පොලොන්නරුව බලා පිටත් ව නැඟෙනහිර දෙසින් පැමිණි හමුදාවට පොලොන්නරුවේදි මුණ ගැසීමට කතිකා කැර ගති.

මුලින් ම යුද්ධාරම්භ කළ සේනාව නැඟෙනහිර වෙරළට සමාන්තරව ගමන් ආරම්භ කැර තිබිණි. ඔවුන් පළමු ව කඳවුරු බඳනා ලද්දේ ජග්ගාම නම් පෙදෙසේ ය. එය වර්තමාන තිරුක්කෝවිල් නමින් හැඳින්වෙන නගරයට සමිප ව පිහිටි සකාමම් පෙදෙස බව පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල හිමියෝ වදාරති.

පුරාණ රෝහණ යේ උතුරට හා නැඟෙනහිරට ප‍්‍රදේශ හැමතැන ම සොළී බලමුළු පිහිටි බව මේ ගමන් රටාව නිරීක්‍ෂණය කරන විට පැහැදිලිය. ජග්ගාමයෙන් ඉදිරියට ගිය සේනාව දීඝවාපිය හරහා ගොස් මහවැලි ගඟ තරණය කැර පොලොන්නරුවට පිවිසියේ ය. මෙහි සිටි ඇමැතියෙක් දැන් පොලොන්නරුවට පැමිණීමට සුදුසු කාලය යැයි රජුට දන්වා යැවී ය.

සිහල සේනාවන් පැමිණ සොළී බළකොටු සුන්නද්දූලි කළ බැවින් ඉතිරි වු සොළී පිරිස් තමන් ගේ ජනනාථපුරය වූ පොලොන්නරුවේ එක් තැනකට කොටු වූහ. මෙයත් නිසැකව ම දුටු ගැමුණු මහරජුගේ සේනාව එළාරගේ බළකොටු බිඳිමින් පෙරට එන විට ඉතිරි භටයන් විජිතපුරට එක්වීම සිහිගන්වන තවත් එබඳු අවස්ථාවකි.

දැන් සොළීන්ගේ ජනනාථපුරය සිංහල සේනාවෙන් වට වී ඇත්තේ ය. මහරජු ගේ සේනාව බුත්තල හරහා මහියංගණයට පිවිස එහි සිටි සොළියන් දෙපලු කරමින් පොලොන්නරුව සමීපයේ සාම්ප‍්‍රදායික මාර්ගයේ සිටී.

කරවටක් අඳුරේ ගිලුණු සොළී බලපතියෝ – තමන්ගේ ‘මාන්තායි’ වරායෙන් ඉන්දියාවට පනින්නට යුහුසුලු වූහ. ඒත් ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වී ය. විජය බාහු අනිවාර්යයෙන්ම තමන් හා සොළී සේනාව මරා දමන බව දැනගත් පොලොන්නරුවේ සොළී බලපතියා තමන් ගේ රහස් ඔත්තුකාරයන් භාවිත කරමින් ඉන්දියාවට පණිවුඩ පිට පණිවුඩ යැව්වේ ය. එහෙත් වාලුක්‍යයන් බලවත් වී සිටි බැවින් වීර රාජේන්ද්‍ර අසරණව සිටියේ ය.

මුල් සටන්වලදි තමන් හා විරසක වූ චල හා රජදේව යන ප‍්‍රධාන ඇමැතියන් හා ඔවුන්ගේ පිරිස් පොලොන්නරුව ජය ගන්නා සටනේදී තමන් රජු හා එක්වන බවට රජු වෙත පයිංඩ එවී ය.

සියල්ලන් දිනා ගැනීම ප‍්‍රතිපත්තිය කැරගත් රජු චල හා රවි දේවගේ පැමිණීම ඉවසුවේ ය. ජයග‍්‍රහණයේ හස්ත ඇත්තා වූ විජයබාහු නම ගැන වන්දිභට්ටයෝ ප‍්‍රශස්ති ගැයූ හ. මහත් පී‍්‍රති ඝෝෂා ද නැඟිණි.

සොළීන්ගේ අවසාන කඳවුර විජයබා අතේ

ඉන්දියාවේ මුණ්ණඩි චෝල මණ්ඩලයට අයත් ශ‍්‍රී ලංකාද්වීපයේ ප‍්‍රධානතම බළකොටුව බලවත් මහා කළුගල් පවුරකින් වටවී ඇත්තේය. දිය අගළ හා පරිවාර අගළ සමූහයකින් ආරක්ෂා කැර ඇති මේ පවුරට මඳක් ඔබ්බෙන් තවත් ආරක්ෂක වැට කපොලු කීපයකි.

එහි සතර අත සරුවට වැවී ඇති වනස්පතියන්හි අට්ටාල බැඳගත් දුනුවායන් රැසකි. ඔවුන්ගේ දුනු දිය ඇදුණු ක්ෂණයකින් ඒ විස කැවුණු හී වැදුණකු එසැණින් ම මියෙන්නේය.

ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී මහා සේනා සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්නේ මහරජකු වුව මෙහි සිටින සොළී නායකයාට එවැනි මහත් සේනා සම්පත් ද ඇත්තේය.

සිහළ සේනාංක කීපයක්ම මේ මහා සොළී කඳවුර වටලා සිටින අතරම විජයබාහු මහ රජතුමා ද බුත්තල හරහා මහියංගණයට පිවිස සාම්ප‍්‍රදායික ගමන් මාර්ගයෙන් පොලොන්නරුව සමීපයේ සිටියේය.

මුල් කාලයේ කීර්ති කුමරුට (විජයබාහු කුඩා දවස) සහාය දුන් චල හා රවිදේව යන ප‍්‍රධාන ඇමැතියන් දෙදෙනා (පසුකාලයක සොළීනට එක්වී සිට) මේ අවස්ථාවේදී රජු වෙත පයිංඩ කීපයක්ම එවූහ.

මහරජතුමනි, ඔබගේ විජයග‍්‍රාහී සටන් ක‍්‍රමවේදය සොළී බලය අතුරුදන් කරනු ඇති. වරදක් සිදුවී තිබිණ. දැන් එම වරද නිවැරැදි කැර අප මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් වැද හෝ මියෙන්නට අපට අවස්ථාව දුන මැනව.

සොළී බළකොටුව විනාශ කරන සටනට අපේ දහදිය ද මුසුකරන්නට අවසර.

මහරජු ඇමතින්ගේ එම ඉල්ලීමට කන් දුන්නේය.

විජයබාහු කොඩිය ඔසවා ගත් රණසේනා මුලින්ම කඩා වැදුණේ කඳවුරේ පසුපස වූ වාහල්කඩ දෙසටය. තවත් සේනාවක් බටහිරට වන්නට කඳවුරට කඩා වදිමින් සිටියේය.

විස කැවුණු හී වැස්සක් අහසින් ගලා ආවේ මේ මොහොතේය. සොළීහු මහත් වැර වෑයමින් තම කඳවුර රැකගන්නට වලිකමින් සිටියහ. රහස් ඔත්තුකරුවන් මඟින් මේ විස කැවුණු හී විදින දුනුවායන් ගැන දැන සිටි මහරජු ඉන් වැළැකීමට පෙරදීම සේනාංකය දැනුම්වත් කැරැ තිබිණ.

මේ කඳවුර අවට සේනාංක කිහිපයක් එක්ව සටන් කළත් මාස එකහමාරක කාලයක් යනතුරු කඳවුර බිඳගැනීමට රජුට අපහසු වීය. ඊට හේතුව මර උගුල් හා වෙනත් පස්බැමි අගළ ක‍්‍රමවලින් අපේ සේනාවට ඊට කිට්ටු වීමට ඇති බරපතළ බාධක සමූහයයි. එම බාධක ඉවත් කිරීමට වෙනත් සේනා යෙදවීමට රජුට සිදුවිය.

මාස එකහමාරක නොනවතින සටනකින් පසු විජයබාහු මහ රජු බටහිර දෙසින් කඳවුර බිඳ ඇතුළු විය. විස කැවුණු හී එවන දුනුවායන් පොදි පිටින් මරා දැමුණේ කළුගල් විදින කැටපෝලයක් වැනි අපූරු යන්ත‍්‍රයක් මඟිනි.

මහා කළුගල් විද වනස්පතියන් හි පැවැති අට්ටාල බිඳින මේ අපූරු තාක්ෂණය නිමවා තිබුණේ අපේ රජරට වැසියන්ය. සොළී කඳවුරේ ආරක්ෂක අට්ටාල සියල්ල මේ අයුරු ගල් ගෙඩි විදිනයෙන් පොඩි පට්ටම් වූ අතර තැන තැන මහ සටන් ඇවිළිණ.

චල හා රවිදේව තම සේනා ඛණ්ඩ ද රැගෙන රජු කඳවුර බිඳි තැනින් ඇතුළු නොවී වෙනත් තැන්වලින් කඳවුර බිඳ සොළීන් බුරුතු පිටින් මැරූහ. සොලීනගේ රථ හමුදාව මෙන්ම අශ්ව හමුදාව ද කි‍්‍රයාත්මක වීය.

එහෙත් ධීරවීර සිහළ භටයෝ මහත් වික‍්‍රමපාමින් ඒ රථ චක‍්‍ර පොළොවේ ගැසූහ. ඇතුන් අසුන් වියරුවෙන් මෙන් පිටිය මැද දිව යන්නේ අරමුණක් නැතිවය.

ඇතුන් පලවා හරින පනික්කියෝ ඔවුන් වනයටම පලවා හැරියහ. සොළී හේවායන්ගේ අශ්වයන් ද බොහෝ සේ පීඩනයට පත්විණ.

කඩුපත් ගැටෙන හඩින් පරිසරය නිනාද වීය. පොර පිටියට වන් සිංහයන් මෙන් සටන් කරන අභීත සිංහල නායක්වය හමුවේ දුර්මුඛව ගිය සොළීහු අවසානයේ හිස් ලූ ලූ අත පලා යන්නට ද වූහ.

තැන තැන මිනී කඳු ගොඩගැසිණ. විලාප නඟන තුවාල ලැබූ භටයන්ගේ අෙඳ¤නා අමු සොහොනක අපුල පරිසරයට මුදාහැරිණි. චල හා රවිදේව ඇමැතියෝ මෙන්ම සිංහලේ අභීත නායක සෙනෙවියෝ ද මහත් වික‍්‍රම පාමින් සටන් කළහ. බදලත්ථල වාපි නගරයෙන් පැන ගිය සොළියෝ ද ඔවුනගේ කඩු මුවහත බැලූහ.

මහා විජයබා නරේන්ද්‍රයාණන් අට ඉස්බක් ඉහළට පැන ඉහළ මහලෙහිවූ සඳළුතලයේ සැඟවී සිටි මහ සොළියා අල්ලා ගන්නට වෙහෙසිණි. සලෙලකු වන මේ සොළියා කඳවුරට පහර දෙන විටත් සිටියේ යහන්ගතවය.

මෙතරම් බිහිසුණු සටනක් සිදුවෙද්දීත් හෙතෙම රණපිටියට නොපැමිණ සඳළුතලයෙහි ඇතුළු රහස් කුටියක සැඟැවිණි. විජයබා මහරජු විලංගු දමා තිබුණු එම රහස් කුටිය බිඳලීමට සේවකයකුට අණ කළේය. විලංගු බිඳ හෙළිණ.

කරකියාගත කිසිවක්ම නොහුණු මහ සොළියා යගදාවක් රැගෙන සටනට පිවිසියේ මාරාවේශයෙනි. අපේ මහ සෙනෙවිවරුන් දෙතුන් දෙනෙකුම රජු මුවහකැර සටනට පිවිසෙන්නට වැර දැරුවද එතුමා ඊට එකඟ නොවීය.

මහ සොළියා රජුට එල්ල කළ මාරාන්තික යගදා පහරින් එතුමා බේරුණේ අහස් කරණමක් ගසමිනි. සටන වේගවත් විය. මල්ලව පොර ශූරයකු ලෙසින් ද බුදල්නා යටතේ පුහුණුව ලත් කිත්ති කුමරා හෙවත් විජයබාහු මහ රජු එල්ල කළ පා පහරකින් සොළීයා බිම ඇද වැටිණ. යගදාව ඔහුගේ අතින් ගිලිහී ගියේය. ඊළඟ මොහොත අතිශය භයංකාර වීය.

’බිම වැටුණකුට පහරදීම සිංහල රාජාවලියේ කිසිම රජකු නොකළ නිහීනකමකි. එනිසා මේ කඩුපත ගෙන සටනට පිවිසෙව‘යි කී විජයබාහු මහරජු වැටී තිබූ කඩුවක් සොළියා වෙතට වීසි කළේය.

එම කඩුවද රැගත් සොළියා තවත් මොහොතක්වත් පමා නොවී නැගිට විදුලියක් මෙන් කඩුපත වේගයෙන් හසුරුවන්නට වීය. කඩු ශිල්පයෙහි මහත් වික‍්‍රමපත් රජු ඒ පහර සියල්ල වළකාගත්තේ මහත් පහසුවකිනි. හෙණ හඬ නඟමින් ලෙළෙන මේ කග පහර දුටුවන් විස්ම පත් කෙළේ රජුගේ දිවිය මහත් අන්තරාවක වැටිණැයි සංඥාව නඟමිනි.

එහෙත් රජුගේ වේගය හා ජවය ඒ ආන්ත‍්‍රාව හිරු දුටු කදෝපැණියන් සේ පහකළේය. ගතවූයේ තවත් නිමේෂයකි. මහ සොළියා රජුගේ දෙපා කැපීයන්නට පහරක් එල්ල කළේය. අට ඉස්බක් උඩ පැනිය හැකි මහරජු ඒ පහර වළකා ගත්තේ අහස් කරණමක් පනිමිනි. ඒ සමඟම රජුගේ අසිපත මහසොළියාගේ හිස කඳෙන් වෙන් කළේය. සොළී කවන්ධය මොහොතක් සලිත වී නිරුද්ධ වීය.

මහ සොළී කඳවුර ද යකුන් නැටූ තිප්පළක් මෙන් සුනු විසුනු වී තිබිණ. එතෙක් උස්ව නැඟී සිටි වාහල්කඩ දොරටු බිම සිපගෙන තිබුණේ තමන්ගේ විරාජමානය ද දිය කරමිනි. තැන තැන මිනී කඳුය.

රුහිර ගංගාවල පිළීගඳ දසත පැතිරෙන්නට වීය. කොටින්ම පොලොන්නරුව විසාලා මහනුවර මෙන්ම දිස් විය. මේ බිමට සමතලා වී ඇත්තේ සොළියන්ගේ වසර 77 ක පාලනයයි.කී මහරජු ජයසක් පිම්බේය. මේ සටනේදී මෙහි සිටි කිසිදු සොළියකුට අභය නොලැබිණි. ඔවුනගේ ඇත් අස් සේනා හා රථ සමූහය රජුගේ සේනාංකයට පැවැරිණි.

වසර 77 ක් සොළීනට යටත්ව තිබූ තම මුතුන් මිත්තන්ගේ රාජධානිය වූ අනුරාධපුරය ජයගත් වීර විජයබා එහි වූ ගොඩනැඟිලි ආදිය ද පිළිසකර කිරීම ඇරැඹීය. සොළී ආක‍්‍රමණයෙන් ලංකාව මුදවාගැනීමට වෙරළ ආරක්ෂක තීරයක් ද පිහිටුවීමට එතුමා අණ කළේය.

සිය බලපරාක‍්‍රමයෙන් එතෙක් පැවැති දෙමළ ගන’ඳුර බිඳහැර ලක්දිව එක්සේසත් කල වග අඹගමු ලිපියෙහි ද රජතුමාම සඳහන් කරයි. රාජාවලියෙහි නිකාය සංග‍්‍රහයෙන් හා පූජාවලියෙන් ලංකාව සොළීනට අවුරුදු 86 ක් යටත්ව තිබුණැයි සඳහන් වුවද නිවැරැදිව ගණනය කැර බැලූ විට එය වසර 77 ක් පමණ යැයි පුරාවිද්‍යා ඇදුරෝ පවසති.

සිරිලක්හි රජකළ අනෙක් රජුන් හා විජයබාහු රජුගේ චරිතාපදාන විමසීමේදී කුඩා කළ පටන්ම එතුමාගේ මහත් වෙනස්කම් අපට දැකිය හැකිය. දුටුගැමුණු, පැරකුම්බා ආදී රජුනට කුමාර කාලයේ සිටම රජ මාළිගාවක රාජ සභාවක දර්ශනය හෝ පහස ලැබිණ. මිහිරි ආහාර පානාදියෙන් මෙන්ම කුමර කල සමානයන් හා කෙළිදෙලෙන් මෙන්ම සතුටින් විසීමේ ප‍්‍රස්ථාවද උදා විය.

වැඩිවිය පැමිණි කළ රජයක් විමසන ආකාරය පිළිබඳ මෙන්ම යුද කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද උසස් අධ්‍යාපනයක් ලැබීමට ද අවස්ථා උදා විය. එසේම එකුමරුවනට පිය උරුමයෙන් ලද ධන සම්පත් හා සේනා සම්පත් ද නොඅඩුවම තිබිණ. එහෙත් කීර්ති කුමරාට ඒ කිසිවක්ම නොතිබිණ. රජ වාසලක් හෝ රාජසභාවක් කිසිදින නොදුටුවෙකි. වාසභූමිය වූයේ මහා වනයයි.

රාජභෝජන වෙනුවට වන මුල්, අල බතල වැනි ආහාර ලැබිණ. කෙළිදෙලෙන් සුරතල් වනු වෙනුවට බියෙන් හා සැකෙන් සොළී ග‍්‍රහණයෙන් මිදී ජීවත්වීමට ද සිදුවීය. නිසි වයසේදී රජ කුමරකුට මෙන් විශිෂ්ට අධ්‍යාපනයක් ද නොලැබිණි.

පිය උරුමයෙන් ලද සේනා සම්පත්, ධන සම්පත් නොතිබුණ ද, එතුමාට උපතින් ගෙනා පුණ්‍ය ශක්තියත් අප‍්‍රමාණ චිත්ත ශක්තියත්, අවංකකමත් මනාව පිහිටියේය. අපමණ කරදර කම්කටොලු මැද වුවද සිංහලයන්ගේ සිත් දිනා ගනිමින් වසර 77 ක් තිබූ මහා සොළී බලය පුපුරුවා ලක්දිව සිහළ බලය යළි නැංවීමට එතුමාට හැකිවූයේ එනිසාවෙනි.

රජ පුරා ආරක්ෂා සංවිධාන තර කළ රජතුමා තම මුතුන් මිත්තන්ගේ රාජ්‍යය වූ අනුරාධපුරයේ තුන් මසක් වාසය කළේය. මේ කාලයේදී අභිෂේක මංගල්‍යයට සුදුසු තැනක් නොමැති බව එතුමා දුටුවේය.

සොළීනගේ කෘර කි‍්‍රයා නිසා පුරාණ රාජ මන්දිර කැඩී බිඳී ගොස් තිබුණු අතර වෙහෙර විහාර ද සොළීන් විසින් විනාශ කරනු ලැබ තිබිණ. අභිෂේක මංගල්‍යයට අලුතින් මන්දිර ගොඩනැංවීමට රජතුමා කල්පනා කළේ නැත.

කතරගම යුව රාජ තනතුරින් 17 වැනි වියේදී පුද ලද විජයබාහු ශ‍්‍රී ලංකාද්වීපයේ මහ රජු ලෙස කිරීටය ලබන දවස ගැන ලක්වැසි ජනතාවෝ මහත් බලාපොරොත්තුවකින් පසුවූහ. ඔව්හු සොළී බලය මුළුමනින්ම ලක්දිවින් අතුගා දැමීම ගැන බොහෝ සැණකෙළි පැවැත්වූහ.

විජයබා මහරජු අභ්‍යන්තර වියවුලක

සොළී පාලනයට යටත් ව ගෙවී ගිය ව සර හැත්තෑ හතක අඳුරු කාලපරිච්ඡේදය පොළොන්නරුවේ හා අනුරාධපුරයේ අපේ සිංහලකම, බෞද්ධකම අතුගා දමන තරම් ව්‍යසනයක් ඇති කළා වූ යුගයකි.

පුරාණ ගොඩනැඟිලි බොහොමයක් කැඩී බිඳී ගොස් තිබූ අතර බෞද්ධ විහාරාරාම ද සොළී ග‍්‍රහණයෙන් කිළිටිව විනාශ ව තිබිණි. රටෙහි තිබූ වටිනා ධන ධාන්‍ය සම්පත් සොළී දේශයට ඇදගෙන ගොස් තිබීම හා පුරාණ රජුන් කළ වාරිකර්මාන්ත පිළිසකර නොකිරීම හේතුවෙන් හැම’තින්ම මේ රට පැවතුණේ අතිශය දුගී තත්ත්වයක ය.

රට දුප්පත්ව තිබිය දී තමා පමණක් වැජැඹීම පෙර විශිෂ්ට වූ රජුන්ගේ සිරිතක් නොවී ය. එය වංක ගති ඇති දුදනන්ගේ ම සිරිතක් බව දත් විජයබා මහ රජු තම රාජාභිෂේකයට පවා අලුතින් මන්දිර ගොඩ නැංවීමට කල්පනා කළේ නැත. විශාල ධනස්කන්ධයක් වියදම් කිරීමට පෙලඹුණේ නැත. එනයින් බලන කල ද මහා විජයබා අප රාජාවලියේ විශිෂ්ටයෙක් වෙයි.

අලුත් ගොඩනැඟිලි තැනැවීම පසෙක තබා පැරැණි ගොඩනැඟිලි පිළිසකර කැරවීමට රජු කල්පනා කළේ ය. ඒ සඳහා වෙනම ඇමැතියකු පත්කළ එතුමා අනුරාධපුරයේ නටබුන් වූ වෙහෙර විහාර බලමින් හා වන්දනා කළ යුතු වෙහෙර වඳිමින් කල්ගත කොට නැවත පොලොන්නරුවට යන්නට ගමනාරම්භ කළේ ය.

මෙහිදී මට තවත් අපූරු කාරණාවක් ඔබට ඉදිරිපත් කරන්නට තිබේ. සිරිලක නිතර පැමිණි චෝල ආක‍්‍රමණයට එරෙහිව මේ රට අසිපත් බලයෙන් මුදවා ගත් දුටුගැමුණු පැරකුම්බා, ධාතුසේන, වලගම්බා ආදී රජවරුන් පිළිබඳ විමසුමේ දී පවා අභ්‍යන්තර වියවුල් අතර සිට පරදේශක්කාරයන් සමඟ මහත් සටන් කළ එකම රජතුමා මහාවිජයබා බව ය.

දුටුගැමුණු නරේන්ද්‍රයාණන් මේ රටේ පහළ වූ විශිෂ්ට රජකු බව අවිවාදත වුවත් එතුමා සටන් කළේ මේ රටට පැමිණි එළාර නමැති සොළී ආක‍්‍රමණිකයා සමඟ ය. එහෙත් විජයබා රජුට ’මුණ්ණඩි චෝල මත්පලම්’ නමැති චෝල අධිරාජ්‍යයකට එරෙහිව සටන් වැදීමට සිදුවිය..

අභ්‍යන්තර වියවුල් ද මේ රජුට නිතර ම හටගත් උවදුරකි. සොළීන් පන්නා හැරියාට පසුව නැවතත් රජුට එරෙහිව මසක් ඉකුත් වන්නටත් මත්තෙන් තරමක කැරැල්ලක් ආවේ ය. ආදිමලය නම් සේනාපතියෙක් විජයබා මරා සිහළ රටේ බලය අල්ලා ගැනීමට මාන බලන බව පෙනිණි. රජතුමාට එරෙහිව සටන් කිරීම සඳහා සේනාංකයක් ද රැගෙන හෙතෙම අන්දු නම් ගමට ආවේ ය.

”බලයෙන් ඉහළ තැනෙක සිටි සොළීන් පැරදවූ මට මේ ආදිමලය කවරෙක්ද? සිදුවූ සොළී සංහාරය ගැන කලකිරී සිටියත් මගේ සිත පහන් කැර මොහොතක් රැඳෙන්නට මොවුන් මට ඉඩදෙන්නේ නෑ. ඔවුන් මා කැඳවන්නේ යුද්ධයටමයි.”

තමනට එරෙහි ව අන්දු ගමේ රැස්වන සේනාව ගැන ඇසූ රජු කනගාටුවෙන් කීයේ ය. එබස් ඇසූ සිංහලේ අභීත නායක සෙනෙවි ”මා ඔවුන් එකෙකු නෑර පෙති ගසමි. මහරජුනි මට ඊට අවසර දුන මැනවි. යැයි කීවේ රජුගේ දෙපා වඳිමිනි.

ආදිමලය විනාශ කිරීම නොව කළ යුත්තේ පැරැදවීමයි. මෙසේ අපේ සේනාවම විනාශ කළහොත් නැවත සොළී ආක‍්‍රමණිකයන් පැමිණියහොත් අපට සේනාවක් නැතිවන තරම් ය. ඔවුන්ගේ දුර්ගුණය හා මානය පමණක් බිඳ ලිය යුතු ය. ඒ සඳහා මම යන්නෙමි’යි එතුමා කීවේ ජනතාවගේ මහත් ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ ය.

අන්දු ගමට රජතුමා සම්ප‍්‍රාප්ත වනවිට ගෙන ගියේ කුඩා සේනාංකයකි. ගණනින් දහසකට අඩු සේනාවක් වූ මේ කුඩා සේනාංකය ප‍්‍රමාණයෙන් ආදිමලයගේ සේනාව තරම් වන්නට ඇත.

කුඹුක්ගැටේ ආසන්නයේ රජු සිටි පර්වතය

ඉදිරියෙන්ම විජයබා කොඩිය රැගත් හේවායෙක් ගමන් කළේ ය. මැදින් හුදෙකලාවම රජු ගමන් ගත්තේ ය.

ආදිමලය නම් මහා සෙනෙවියා කඳවුරු බැඳ සිටි අන්දු ගම කෙළවරම රජුගේ දූතයෙක් ගියේ සටනක් අවශ්‍ය නම් ගම මැද පිටියට වහා පැමිණෙන ලෙස ආරාධනාව ද ඇතිව ය.

රජු රණපිටියට වන් බව ඇසීමෙන් ම ඔහුගේ සේනාව බියෙන් ත‍්‍රස්තව ගියාක් මෙන් පෙනිණි. අන්දු ගම පිටිය මැද කේසර සිංහ ලීලාවෙන් හුදෙකලාව ම සිටින රජු වෙත පැමිණි සමහරෙක් රජු වැඳ අභය ඉල්ලා දෙපසින් වූ සේනාවට එක්වූහ.

ආදිමලය ගිනිපුපුරක් මෙන් දැවෙමින් රජු වෙත ආවේ හෙල්ලක් ද අමෝරමිනි. ඒ හෙළි පහර විදුලියක් මෙන් විය. මහ වැස්සකට පෙර කළු වලාවන්ගෙන් සැරැහී අහසක එකපිට එක විදුලි කොටන්නාක් මෙන් මේ සටන අතිබිහිසුණු විය.

ආදිමලය සෙනෙවි හෙල්ලෙන් අනින වාරයක් පාසා ම රජු පහසුවෙන් ඒ පහර වළකා ලීය. දූලි නංවමින් අසුකුර ගැටිණ. ආදිමලය වැර යොදා ගැසූ පහරක් වැළැකූ රජු එසැණින් ම අහස් කරණමක් පැන ඔහුගේ ගෙල සින්දේ ය. උස් ගසක තල්ගෙඩියක් බිම හොත්තාක් මෙන් ඒ හිස පිටිය මැද වැටුණේ බලාසිටියවුන් භ‍්‍රාන්ත කරමිනි. ආදිමලයගේ ඉතිරි ;ස්නාවෝ ද රජු පාමුල වැටී අභය ඉල්ලා වැඳ වැටුණහ.

”මට ආදිමලය මරා දැමීමට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැත. එහෙත් ඔහු මට එරෙහිව සේනා සංවිධානය කළේ හා මා මරා දමන්නට තැත් කළ නිසා මා ඔහු මරා දැම්මා. මේ ආදිමලය කවරෙක්දැයි මා තවමත් දන්නේ ද නැත. නුඹලා අතරින් කිසිවකු ඔහු ගැන දනීනම් වහා කියවයි රජු අණ කෙළේ ය.

දොහොත් මුදුණේ තබාගත් ඔහුගේ ප‍්‍රධාන සෙනෙවියා රජු ඉදිරියට පැමිණ මෙසේ කීය.

මහරජතුමනි, මේ කතරගම රාජ පරම්පරාවට නෑකම් කියන ආදිමලයයි. කේශධාතුක කසුබ් ගේ සොයුරා මොහුගේ මස්සිනා කෙනෙකි. තම ඥාතියා මරාදැමීමේ පළිය ගැනීමටයි ඔහු මෙසේ සංවිධානය වූයේ.

පොලොන්නරුව ජයගත් විටත් එහෙනම්! සතුරන් මා ලුහුබඳිනව. එසේ කී රජු නැවත පොලොන්නරුව බලා ගමනාරම්භ කළේ එක් වූ අලුත් සේනාව ද තම සේනාවට සම්බන්ධ කැරගනිමිනි. අනුරාධපුරයෙහි ගොඩනැඟිලි ඉතා හොඳින් පිළිසකර කරන තෙක් රජතුමා එහි රැඳී සිටියේ ය.

කතරගම රාජ්‍යයෙන් සතළොස් වැනි වස දක්වාම එතුමා රට පාලනය කළේ යුව රජ තනතුරේ ම සිටිමිනි. රට එක්සේසත් කිරීමෙන් අනතුරුව විජයබා මහරජු ප‍්‍රධානතම කරුණු තුනක් කි‍්‍රයාත්මක කිරීමට ඉටා ගත්තේ ය. එතුමා බලපොරොත්තු වූ කරුණු තුන මෙසේ ගෙන හැර දැක්විය හැකි ය.

1. තමන්ගේ අභිෂේක මංගල්‍යය දෙවන පෑතිස් රජුගේ කාලයේ පටන් පැවැත ආ සිරිතට අනුව අංගසම්පූර්ණව කළ යුතුය.

2. මේ වනවිට පිරිහී තිබූ සසුන විදේශයකින් හෝ භික්ෂූන් ගෙන්වා නැවත පුනරුත්ථාපනය කළ යුතුය.

3. රාජාභිෂේකය සඳහා ගොඩනැඟිල්ලක් තෝරා ගන්නේ පුරාණ රාජ්‍යය වූ අනුරාධපුර නගරයෙනි. යන්නය.

දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඇරැඹුණු අභිෂේක මංගල්‍යය සිදු කළේ බෞද්ධ ප‍්‍රතිපත්තිවලට අනුකූලව බව පෙනීයයි. ලංකාවේ රාජ්‍යය විචාරන රජුන් නියම රජුන් ලෙස


කීර්ති කුමරා කුඩා කල සටන් පුහුණු වූ ස්ථානය වැවට ඉහළින් පෙනෙන අයුරු…

පිළිගැනෙන්නේ ඔවුන් බෞද්ධයන් නම් පමණි. එසේ නොවුණහොත් එම රජතුමාට වැඩි කාලයක් රජ කරන්නට සිංහල බෞද්ධයෝ ඉඩ නොදුන්නහ.

දෙවන පෑතිස් රජතුමාගෙන් ඇරඹුණු රාජකීය අභිෂේකය බෞද්ධ ක‍්‍රමයට සිදු කළේ වෙසක් පුණු පොහෝ දිනෙක වීමද සුවිශේෂ ය. එතුමා අභිෂේක කරන ලද්දේ ද සොළොස් නැළියක් සර්වඥ ධාතු ගර්භා කොට ඇති අසිරිමත් අතිපූජනීය රුවන්වැලි – මහා චෛත්‍යරාජයා ඉදිරිපිටදීය.

තුන්රුවන ආසිරි ලබා කළ මේ මහා අභිෂේකයේදී තිසා වැවෙන් දිය නා පිරිසුදුවීම ද සිදුවී ඇත්තේ ය. එසේම චාරිත‍්‍රානුකූලව මේ අභිෂේක සිදුකළ යුතුව තිබුණේ විශේෂ බ‍්‍රාහ්මණ පිරිසක් ද සම්බන්ධ කරගෙන බවද කියයි.

දෙවන පෑතිස් රජතුමා තම මිත‍්‍ර අශෝක රජු එවූ විශේෂ බ‍්‍රාහ්මණ පිරිස සම්බන්ධ කැරගෙන තම අසහාය අභිෂේකය සිදුකළෙන් එම චාරිත‍්‍රය අනුව එතුමාට පසුව පහළවූ රජවරු ද නොකඩවාම ඉදිරියට ගෙන ගියහ.

එනමුදු විජයබා මහරජුට මේ හැම චාරිත‍්‍රයක් ම එසේම කිරීමට තරම් ප‍්‍රස්තාවෙක් ද නොවී ය. එනිසා පළමුවැනි අභිෂේකය සාමාන්‍ය පරිදි සිදුකොට පසුව ඉහළින් එය කිරීමට සිතා ගත්තේ ය. මහාවංසයේ සඳහන් වන්නේ උත්සවශ‍්‍රීයෙන් මේ අවස්ථාවේදී රජතුමා අභිෂේක කළ බව පමණි.

පොලොන්නරුවේ සිට අනුරාධපුරයට ගිය මහරජු චාරිත‍්‍රානුකූලව සිය අභිෂේකය සිදු කොට ගත්තේය. මේ අනුව කි‍්‍ර.ව. 1073 – 74 පමණ සිරි ලක්දිව්හි අසහාය රජතුමා ලෙස සිංහල රාජාවලියට එක්විය. සිංහල ජාතියේ අභිමානය නැවතත් සටහන් කිරීම මේ අභිෂේකයේ නිසැක අරමුණය. මේ අභිෂේකයේදී සිරිසඟබෝ යන විරුද නාමය එතුමාට එක්විණි.

දිවයිනේ පාලනය මැනැවින් සංවිධානය කිරීම රජුගේ ඊළඟ අරමුණ වූයෙන් තමාගේ සහෝදර වීරබාහු කුමරා යුවරාජ පදවියට පත්කැර එම පදවියට එතෙක් හිමිව තිබූ දක්ඛිණ දේශය ඔහුට පවරන ලද්දේ ය.

තමන්ගේ බාලම සහෝදරයා ජයබාහු ආදිපාද පදවියට පත්කැර රුහුණු රට ඔහුට බාර කැරිණි. තමාට එතෙක් සහයට සිටි සියලු මැති ඇමැතිවරුනට නිසි පරිදි සංග‍්‍රහ කිරීමෙන් අනතුරු ව රජතුමා රටෙහි පාලන තන්ත‍්‍රය මනාව සංවිධානය කළ අතර තමා විසින් රටවැසියාට කළයුතු යුතුකම් ද ඉටු කරනු ලැබුවේ මහත් ඕනෑකමිනි.

”මේ දේශය ස්වාධීනව නඟා සිටුවන්න මට ඕනෑ”

සො‘ළීන්ගේ වසර හැත්තෑ ගණනක දුර්දාන්ත පාලනය හමුවේ සිංහල සංස්කෘතික සංවර්ධන රටාවද බෙහෙවින් ම බිඳ වැටිණ. පාලන තන්ත‍්‍රය ද අවුල් වියවුලින් ගහණ විය.

මුණ්ණඩි චෝල මණ්ඩලයට යටත් ව තිබූ වෙනත් ලෝකයේ රටවල ඔවුන් පාලනය කළ ආකාරය ම මෙහිදී ද අනුගමනය කැර තිබේ. එතෙක් මෙහි පැවැති පාලන ක‍්‍රමය මුළුමනින් ම වෙනස් කිරීමට සොළීන් උත්සාහ කැර නැත.

යම් බඳු වෙනස්කම් කැර පැවැති පාලන ක‍්‍රමය තමන්ට හිතකර අන්දමින් පවත්වා ගැනීම පහසු පිළිවෙත යැයි ඔව්හු කල්පනා කළහ. පාලන ක‍්‍රමයේ පැවැති දූෂිතකම් සම්පූර්ණයෙන් ම ඉවත් නොවිණ.

සොළී බලය ක‍්‍රමයෙන් මේ රටේ දුර්වල වන විට රජරට සිංහලයන් අයබදු ගෙවීම් ආදිය පැහැර හැර සිටි බව මම පෙරදී ද ඔබට කීවෙමි. කොහොම නමුත් රාජ්‍ය තන්ත‍්‍රය ඇතුළත දූෂිත නිලධාරීන් ද කි‍්‍රයාකාරීව සිටි බව පෙනෙයි. කලක් මුළුල්ලෙහි පැවතුණු අධිකරණ විනිශ්චය ක‍්‍රමවේදය විජයබාහු මහරජතුමා විසින් සංශෝධනය කරන ලද්දේ මේ දූෂිත ක‍්‍රම වසා ගනු පිණිසය.

මේ අන්දමට රාජ්‍ය තන්ත‍්‍රය ක‍්‍රමවත් ව සකස් කිරීමේදී එවන් දූෂිත නිලධාරීන්ගේ විරෝධතා ඇතිවූ බව පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල හිමියෝ ද වදාරති.

මේ විරෝධතා කැරැලි දක්වා වර්ධනය වී ආවේ කෙටි කලකිනි. නැවතත් කැරලිකරුවන්ට මුහුණ දෙන්නට මහවිජයබා රජුට සිදුවිය. රජුගේ සේසත් දරන්නන්ගේ නායක (ඡත්තග්ගාන නායක) විනිශ්චය සභා නායක (ධම්මග්ගාන නායක) හා වෙළෙඳ නායක (සෙට්ටි නායක) යන සොහොවුරෝ තිදෙන මෙසේ රජුට ද්‍රෝහි වී දඹදිවට පලා ගියහ.

මහරජුගේ දහනව වැනි රාජ්‍ය වර්ෂයේ නැවත මෙරට පැමිණි ඔව්හු රෝහණයෙහි හා මලය රටෙහි මෙන්ම මුළු දකුණු පෙදෙස්වල කැරැලි ගැසූහ.

මේ පුවතින් තිගැස්සුණු මහ විජයබා රජ ඇමැතියන් අමතා මෙසේ කීවේ ය.

”සොළී ග‍්‍රහණයෙන් රට මුදවා ගත් මට මේ රට නැවත සාරවත් බිමක් කරන්නට අපේ ම සතුරන් ඉඩ නොදෙයි. අධිකරණ විනිශ්චය ක‍්‍රමවේදය වෙනස් කිරීමේදී එතෙක් ඒ හරහා වැරැදි ලෙස මුදල් හරිහම්බ කළ ධම්මග්ගහ නායකයා මට විරුද්ධ වුණා.

වෙළෙඳ ලෝකය විධිමත් ගනුදෙනුවකින් වසන්නට තැත් කරනා විට සෙට්ඨි නායක මට විරුද්ධ වුණා. ඉන් ප‍්‍රතිලාභ ලැබූ ඔවුන් දෙදෙනාගේ අනෙක් සොයුරා ඡත්තග්ගහ නායකයා ද දැන් මලය රටේ කැරැලි ගහනවා.

මේ රට රකින ඇමැතිවරුනි, අපට අනුශාසනා කරන මහත් බල ඇති බුද්ධ පුත‍්‍රයිනි, මා ඉතින් කුමක් කරන්නද? සටන් කැර ඔවුන් පරදවා හෝ මරා දැමීම හැර මට විකල්පයක් නැත. එක් දවසක් සක්විති රජකම ලැබූවකුට වුණත් රාජද්‍රෝහින් නිහඬ කිරීමට සිදුවෙයි. මා යන ගමනේ ඇති සියලු කටු මුලිනුපුටා දැමීමට තොප ද සැරැසෙව්!

මේ කතාව අසා සිටි සිංහලේ අභීත සෙනෙවියා ඉදිරියට විත් රජුට නමස්කාර කළේය.

මහරජතුමනි, මලය රට හා රෝහණයේ ඒ කැරැලි මර්දනය කිරීමට මට බාර දෙනු මැනවි. ඒ ද්‍රෝහීන් ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන ඒමට මට පුළුවන.

ඒ සඳහා ඉතා ස්වල්ප වූ සේනාවක් ලැබුණත් මට ප‍්‍රමාණවත් ය.

විජයබා මහරජ ඔහු කෙරෙහි අතිශයින් පැහැදී අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කැර ජීවග‍්‍රහයෙන් ඔවුන් අල්ලාගෙන ඒමට ද අවසර දුන්නේය.

ඉක්බිති තෙමේ ම දකුණු පෙදෙසෙහි වූ මහත් සේනා සන්නද්ධ කැරැල්ල මැඬපැවැත්වීමට ඉටා ගත්තේය.එක පෙළට සිටුවා ගත් රථ හමුදාවක ඉදිරියෙන්ම ගිය සුදු අසුන් බැඳි කරත්තයේ සිටගත් සිංහලේ අභීත සෙනෙවි මලය රට යුද්ධයට විධාන කළේය. දුනුවායන් එකෙකා බැගින් පිටුපස තබාගත් අසරුවෝ පෙළ සැදී විදුලියක් මෙන් ගමන් ගත්හ. හෙලි, තෝමර, යගදා, නානාවිධ අවි රැගත් සාමාන්‍ය භට හමුදා ඊට පසුපස වූහ.

රජුගේ සේනාංකය එසැණින් පිටත්වී ගියේ දකුණු ලක කැරැල්ල මෙහෙයවමින් සිටි සෙට්ඨි නායක සොයමිනි.

ඒ දින කීපය මහරජුගේ මෙන් ම ඇමැතියන්ගේ ද මහත් විඩාබර දින කීපයක් ම වීය. ඉතා බලවත් යුද්ධ කිහිපයක් යළිත් සිදුවිය. තුවාලකරුවන් ද බොහෝ සේ ඇතිවිය. මුග්ධ රාජද්‍රෝහි ජනයා එක පොදියට මිය යන්නට වූයේ රජුගේ සිත වෙඬරු පිඩක් සේ උණුකරමිනි.

අප මේ මරා දමන්නේ කවුරුන් ද? අපේ ම රටේ ජනතාවයි. පරදේශක්කාරයන් මැරීම ගැන මට යම්බඳු කනගාටුවෙක් නැත. එහෙත් උපන් රටේ මේ මෝඩයින් යටත් නොවන තැන තවත් කළ හැකි යමක් තිබේද? රජු සටන අතරතුර ඇමැතියන් විමසීය.

මහරජුනි, මේ මෝඩ ජනතාව වැරැදි ලෙස පෙළගස්වන තෘෂ්ණාධික තුන්බෑ සොයුරනට අනෙක් අයටත් මතක හිටින විදියට බලවත් දඬුවම් පැමිණවිය යුතුය. එවිට මේ නොහොබිනා කැරැලි නවතිනු ඇත. ඔව්හු එක හඩින් ම කීහ.

දින හතරක් වැනි ඉතා සුළු කාලයකදී දකුණු ලක කැරැලි නායක සෙට්ඨි නායක ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට රජුගේ සේනාංකයට හැකි විය. දක්ඛිණ දේශය ඒ වනවිට බාර කැර සිටි වීරබාහු හා රුහුණු ආදිපාද ජයබාහු යන තමන්ගේ සොයුරන් ද මේ තුන්බෑ නායකවරුන්ගේ බලවත් හමුදාවලින් පීඩාවට පත්ව සිටියත් විජයබාහු හමුදාවෙන් ඔවුනගේ බලය හීන කළහ.

රාජද්‍රෝහීන් අල්ලා ගනු පිණිස ගිය සිංහලේ අභීත සෙනෙවියා ද මලය රට සිටි ඡත්තග්ගාහක නායකයා අල්ලා ගත්තේ ය. එදා විනිශ්චය සභා නායකව රජුගේ කාර්යභාරයේ සිටි ද්‍රෝහියා ද රුහුණු රටදී අල්ලා ගත්තේ ය.

මෙසේ අල්ලා ගනු ලැබූ රාජද්‍රෝහීන් පොලොන්නරුවට ගෙන ආ මහරජු විජයබා ඔවුනට දැඩි දඬුවම් දීමට තීන්දු කළේය.

මා මේ අධිකරණ සංශෝධනය කළේ මෙරට අහිංසක ජනතාවට සෙතක් වෙන්නයි. සොළීන්ගෙන් පිරිහුණු මේ දේශය ස්වාධීනව නඟා සිටුවන්නට මට අවශ්‍යයි. ඒ සඳහා මා වෙළෙඳ කටයුතු විධිමත් කරන්නට පෙලැඹුණා.

නුඹලා තමන් අතට පත්වන ලාභය නැතිවන බැවින් මෙසේ කැරැලි ගැහුවා. තොප තොපගේ ආත්මාර්ථය පිණිස මේ රටේ අහිංසක ජනතාව මරු වසඟයට පත්කළා. අභය ඉල්ලා සිටියවුන්ගේ ජීවිත බේරුණත් බොහොමයක් අසිපත් පහරින් මිය ගියා. ඔවුන්ගේ ජීවිතවලට තොප වගකිව යුතුයි.

වදමල් මාලා ගෙලවට පැළැඳ මුඩු කරන ලද හිස් ඇතිව සිටි තුන්බෑ රාජද්‍රෝහීයෝ හිර කොට බඳනා ලද රැහැන් පට වෙවුලුවමින් යමක් කීමට තැත් දැරුවෝය.

එහෙත් රජුගේ අනුකම්පා විරහිත දෑස දුටු ඔව්හු ඉනික්බිති කරබා ගත්හ.

මොවුන් තිදෙනා හෙට අරුණැල්ලේම කලහගල ගල් කන්දේදී උල තබා මරා දමවයි රජු විධාන කළේය.

පසුවදාට පහන් විය. වද බෙර ගසමින් වීථි පුරා ඔවුන් කළ වරද හා රජුගේ විධානය කියවමින් ගිය වාහල අණබෙරකරු හා වධකයෝ විසින් කලහගල ගල්කන්දේදී ඔවුන් උල තබා මරා දමනු ලැබූහ.

මේ සටන අවසන්වීමත් සමඟ ම රජු කන වැකුණේ සතුටු ආරංචියකි. ඒ රුහුණේ සුළු කලක් පාලනය ගෙන ගිය ජගත්පාල රජුගේ බිසව හා දියණිය ලීලාවතී සොළී දේශය වූ ඉන්දියාවෙන් මිදී මෙරට පැමිණ ඇති බවය.

මහරජතුමනි, ජගත්පාල රජුගේ බිසවුන් වහන්සේ හා කුමරිය ඔබතුමා බැහැදැක්මට කැමැත්තෙන් සිටී.. දූතයෙක් පැමිණ රජුගෙන් අවසර පැතී ය.

ඔවුනට තමා හමුවන්නට අවසර ලැබිණි. සොළීනගෙන් වූ අනන්තවත් ගැහැට රජු හමුවේ විස්තර කළ බිසව රජුගේ විජයග‍්‍රහණය ගැන ද ආශිර්වාද කළා ය.

මහරජතුමනි, ඔබතුමා දැන් විවාහ වන වයසේ සිටියි. සුදුසු කුමරියක් පාවා ගැනීම සිංහලයේ රාජචාරිත‍්‍රයයි. ඉන් කිරීටයට සිංහල කුමරුකු ලබාදීම ඔබ යුතුකමයි.

මේ අභ්‍යන්තර වියවුල් අතර විවාහයක් ගැන සිතීම විජයබාහු මහරජුට අපහසු කාරියකි. එහෙත් ඇමැතියන්ගේ හා සෙනෙවියන්ගේ බලවත් ඉල්ලීම හමුවේ රජු ඒ පිළිබඳව කල්පනා කැර බැලීමට කල්ගත්තේ ය.

ජගත්පාල රජුගේ දියණිය ලීලාවතී වංශය අනුව ද රාජ පරම්පරාවකට ගැළපෙන බව පෙරෙවි බමුණෝ ද පුන පුනා කීහ.

විජයබා රජුගේ සරණ බන්ධනය

ජගත්පාල රජුගේ දූ කුමරිය ලීලාවතිය ඉතා රූමත් මෙන් ම පිරිසුදු වංශයක් ඇත්තියක ද වූවා ය. එම මෙහෙසිය හා කුමරිය සොළීන්ගෙන් පළාවිත් විජයබා මහරජ මුණගැසුණු බව කියතත් එය ඉඳුරා ම සත්‍යයක් යැයි කිව නොහැකි ය. ඇත්තෙන් ම සිදුවූයේ එය නොවේ. සිදුවී ඇත්තේ අවස්ථා ගණනාවකදී ම මහ විජයබා සමඟ සටන් කොට අත්දැකීම් ලත් සොළී අධිරාජයා තවදුරටත් ඔහු පැරැදවිය නොහෙන බව තේරුම් ගත් බැවින් එතෙක් තමා විසින් සිරකරනු ලැබූ ඒ කුමරිය හා බිසව නිදහස් කිරීම ය. ඒ විජයබාහුගෙන් තම රටට එල්ල විය හැකි අනාගත ආක‍්‍රමණ වළකාලනු පිණිස ද විය හැකි ය.

ආරෝහ පරිණාහ දේහයෙන් තුරුණු වියේ පසුවන මහරජුට විවාහයක් සඳහා ඇරැයුම් පෙරෙවි බමුණන්ගෙන් ගලා එන්නට විය. ලීලාවතී කුමරිය ද උසස් වංශයක් ඇති රූපත් කුමරියක බැවින් රජු ද ඊට අකමැති නොවී ය. විජයබාහු – ලීලාවතී සරණ බන්ධනය සිදුවූයේ එලෙස ය. අතීතයේ පැවැති රාජ්‍ය චාරිත‍්‍රානුකූල ද රකිමින් මේ සරණ බන්ධනය සිදුවී ඇත.

සොළීන් සමඟ කළ මහ හටනින් පසු රජුට අවශ්‍ය වූයේ සොළීන් විසින් විනාශ කරන ලද ආර්ථිකය, ආගම හා සාමය හොඳින් මේ රටේ ගොඩනැංවීම ය. මේ වගා සටන අතරතුරදී රජුට දරු සුරතල් බලන්නට ද අවස්ථාව එළැඹිණි. රජුට දාව ලීලාවතී කුමරිය ලැබූ දියණී යසෝදරා නම් වූවා ය.

යසෝදරා කුඩා කාලයේදී විජයබාහු මහ රජු රට සශ‍්‍රීකත්වයට ගෙන එනු ලැබිණි. අන්තර්ජාතික ඥාති සම්බන්ධයේ රාජ්‍යතාන්ති‍්‍රක ශක්තිය අවබෝධ කළ රජ සිය දියණිය වූ යසෝදරා කුමරිය වීරවර්ධ කුමරුට විවාහ කැර දුන්නේ ය. ඒ රාජ්‍ය උරුමය සඳහා මව්පසින් හෝ පුත් කුමරකු අපේක්ෂාවෙනි. එහෙත් ඔවුන්ට ද ලැබුණේ ලීලාවතී හා සුගලා යන දූ කුමරියන් දෙදෙනා පමණෙකි.

රාජ්‍යත්වයේ අනාගත උරුමය පිළිබඳ ගැටලුව එයින් ද නොවිසඳීම පිළිබඳ රජ මහත් කනස්සල්ලෙන් සිටියේ ය. අවසානයේ සංඝයාගේ, ඇමැතිවරුන්ගේ හා අගබිසවගේ බලවත් ඉල්ලීම නිසා විජයබා රජ කාලිංග රාජ පරපුරට අයත් තිලෝකසුන්දරී කුමරිය සරණ පාවා ගති.

අගබිසව හැර අන්තºපුරයේ අන් කිසිදු කාන්තාවක් හා සබඳකම් නොපැවැත් වූ මේ රජු ඒ විවාහය ඉවසුවේ හුදෙක් රාජ්‍යත්වයේ චිරස්ථිතිය ඛ්ා රටේ අනාගතය වෙනුවෙන් කරන ලද පරිත්‍යාගයක් වශයෙනි. තෛලෝකසුන්දරී හෙවත් තිලෝකසුන්දරිය අතිශය රූමත් කතක් බව මහාවංශය කියයි. ඇය සුභද්‍රා, සුමිත‍්‍රා, ලෝක නාථා, රත්නාවලී හා රූපවතී යනුවෙන් දියණිවරුන් පස්දෙනකු ද, වික‍්‍රමබාහු නම් පුත‍්‍රයෙකු ද ලැබුවා ය. මේ දියණිවරුන් අතරින් මහපිනැත්තිය ලෙස රජතුමා සලකන ලද්දේ රත්නාවලී කුමරිය ගැන ය. මිත්තා නමින් රජුට සොයුරියක් ද වූවා ය. සොළී රජු මේ කුමරිය පාවා ගන්නට නොයෙක් ඇවිටිලි කළද විජයබා රජු එය ප‍්‍රතික්ෂේප කළේය.

පාණ්ඩව දේශයෙහි උපන් කුමරකු ගෙන්වා ඇය ඔහුට පාවා දීමට රජ කටයුතු කළේ ය. මේ දෙදෙනාට මානාභරණ, කිත්සිරිමේඝ හා සිරිවල්ලභ නමින් පුත‍්‍රයෝ තිදෙනෙක් වූහ. රජු විසින් තිලෝකසුන්දරී දේවියගෙන් ලැබුණු සුභද්‍රා වීරබාහු කුමාරයාට ද, සුමිත‍්‍රා ජයබාහු කුමාරයාට ද, රත්නාවලී මානාභරණ කුමාරයාට ද, ලෝක නාථා කිත්තිසිරිමේඝ කුමාරයාට ද, රූපවතී සිරිවල්ලභ කුමරාට ද සරණ බන්ධනය කැර දුන්නේ ය. රූපවතී කුමාරිය අකාලයේ මියගිය බැවින් සුගලා කුමරිය සිරිවල්ලභ කුමරාට සරණ කැර දුන්නේ ය. මේ අතර සිංහපුරයෙන් කුමාරවරු තිදෙනෙක් ලංකාවට පැමිණියහ. මධුකාර්ණව, භීමරාජ, බලන්කාර නම් වූ මේ තිදෙනා කාලිංග රට තිලෝකසුන්දරී දේවියගේ ඥාතීන් බව කියැවේ. ඔවුන්ට සුදුසු ජීවන වෘත්ති සැලසූ රජතුමා ඔවුන්ගේ නැගණි සුනාරි නම් කුමරිය තමාගේ සහජාත පුත‍්‍ර වික‍්‍රමබාහු කුමාරයාට පාවා දුන්නේය. ඇතැම් තැනෙක මේ කුමරිය සුමනා නමින් ද හැඳින්වෙයි. එසේම, යසෝදරා කුමරියගේ දියණිය වූ ලීලාවතී කුමරිය ද වික‍්‍රමබාහු කුමාරයාට පාවා දෙන ලද බව පුරා විද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල නායක හිමියෝ වදාරති.

මෙයින් පසු විජයබාහු මහ රජතුමා ශාසනයේ දියුණුව සඳහා කි‍්‍රයා කළේ ය. මේ කාලයේදී රාමඤ්ඤ දේශයේ පාලනය ගෙන ගියේ අනුරුද්ධ නම් රජකෙනෙකි. ති‍්‍රපිටකය උගත් සිල්වත් භික්ෂූන් සොළී යුද්ධය කාලයේදී මෙරට හිඟවිය. ඇතැම් භික්ෂූහු රට හැර ගියහ. මේ බව හොඳින් දත් රජු ඒ අනුරුද්ධ රජුගේ රටට දූතයන් යවා ති‍්‍රපිටකය උගත් සිල්වත් උගත් භික්ෂූන් නැවත මෙරට ගෙන්වා උපසම්පදා කර්මය ද සිදුකරවා සඟ සසුන බැබළවීමට කටයුතු කළේ ය. මේ සඳහාම අරමණ නම් රටින් භික්ෂූන් වහන්සේලා 25 නමක් වැඩි බව නිකාය සංග‍්‍රහය සඳහන් කරයි. මීටත් අමතරව බුරුම රටින් භික්ෂූන් වහන්සේලා ගෙන්වූ බව පොලොන්නරුවේ ඇති ශිලා ලේඛනවලින් පැහැදිලි ය. පොලොන්නරුවේ බොහෝ වෙහෙර විහාර කරවා තුන් නිකායට අයත් භික්ෂූනට පිදූ බවද වංසකතාවල සඳහන් ය.

පොලොන්නරුවට දළදා මැදුරක් කැරවීම රජුගේ තවත් අරමුණක් වීය. මේ මැදුරේ ඉතා උසස් අන්දමින් දළදා පූජාව ද පැවැත්විණි. මෙපමණක් නොව රජතුමා ධම්ම සංගිණිය නම් ධර්ම ග‍්‍රන්ථය මේ කාලයේදී පරිවර්තනය කළ බවද කියයි. ශාසන වෘද්ධිය පිළිබඳ කටයුතු කරන අතරම මහරජු ආරක්ෂා සංවිධාන කෙරෙහි ද අවධානය යොමු කළේ ය. පොලොන්නරු නගරය වටා සතුරන්ට බිඳලිය නොහැකි උස් පවුරක් හා දිය අගළක් තැනීම ආරම්භ කැරිණි. ඉතා දක්ෂ හේවායෝ දොරටු රැකවලෙහි සිටියහ. උස්වූ පවුර හා අගළ අසල ඉදිකළ අලංකාර පස්මහල් ආවාස පන්තියකි. එහි වැඩ විසූ සංඝයාගේ සිවුපසය සඳහා ඇලිසර රටපුරා පූජා කැර අවශ්‍ය පහසුකම් සැලසී ය.

තමා විසින් පොලොන්නරුවේ ඉදි කරන ලද දළදා මැදුරේ දළදා වහන්සේ වටා හිඳුවනු ලැබූ රජ දෛනිකව නොයෙක් දළදා පූජෝපහාරයේ නිරත විය. රාජ්‍ය පාලනය හා ආගමික සේවාවන්ට අමතරව දඹදිව සිට නිරතුරුව මෙහි පැමිණි ප¼ඩිරුවනට අවශ්‍ය පහසුකම් ලබාදී සංග‍්‍රහ පැවැත්වීය. ධර්ම දේශකයනට විශේෂ පූජා භාණ්ඩ පවා පරිත්‍යාග කැරිණි.

මෙරජු සිංහල රාජාවලියේ කෙබඳු රජකුවත් නොකළ ඇතැම් වැඩ කළ රජකෙනකු බව ඇත්ත ය.

මේ රජ එම අවස්ථාවේදී තුන්වරක් ම තමන්ගේ බරට සමාන (තුලාහාර) රත්තරන් යාචකයන්ට බෙදා දුන්නේ ය. පොහෝ දිනවල පෙහෙවස් රකිමින් වසරක් පාසා දණ්ඩිස්සර නම් දානයක් දුන්නේ ය. තුන් පිටකය ග‍්‍රන්ථාරූඪ කැරවී ය. අගනා මිණිමුතු රුවන් යවමින් දඹදිව මහා බෝධියට පවා විජයබා මහරජ පූජෝපහාර පැවැත්වී ය.

එතෙක් පැවැති සතුරුකම් අවසන් කරමින් සොළී රාජයා මහත් පඬුරු ද රැගෙන මෙහි පැමිණ විජයබා රජ බැහැ දුටුවේ මේ අතර ය. කර්ණාට රජු විසින් එවන ලද රාජ දූතයන් ද එසේම පිළිගත් මහරජු ඔවුන් ආපසු එරට යවනු ලැබුවේ වඩාත් අනර්ඝ මිණිරුවන් හා සුහද පණිවුඩයන් ද සමඟිනි.

තමා වැනි කිරීටයට පමණක් ම උරුමකම් තිබුණු කුඩා සන්දියේ රාජ සභාවක, රාජ මන්දිරයක පහස නොලත් වනයේ ජීවත් වූවකුට පොලොන්නරුව ජයගෙන අන්තර්ජාතික සබඳතා ගොඩනඟා ගන්නට හැකිවූයේ බුදල්නා නමැති රුහුණේ දඩනායක ලබාදුන් ශිල්පය හා ආරක්ෂාව නිසා නොවේදැයි රජුට මේ අතර කල්පනා විය. මේ 1082 වසරයි. කිත්ති කුමරා කුඩා කල අවුරුදු 18 දී රුහුණු කතරගම යුවරාජ පදවියට පත්ව මේ වන විට වසර 27 ක් ගෙවීම අවසානවී තිබිණ. කිත්ති කුමරු හෙවත් විජයබාහු කතරගම යුවරාජ පදවිය ලැබූ වසර 1055 ය.

මේ වනවිට බුදල්නා මහලු වියේ සිටි බව ජනප‍්‍රවාදගත කරුණුවලින් පෙනේ. ඔහු පදිංචි වී සිටි ස්ථානය පනාකඩුව අසල බව නම් නිශ්චිත ය.

මහරජ ශාසන අභිවෘද්ධිය නඟා බුරුමයෙන්, උපසම්පදාව යළි ගෙන්වා රට වගා සංග‍්‍රාම නිමවා මේ රටේ ආර්ථික, ආගමික පුනර්ජීවනය නැංවීමෙන් පසු ”තමන් ආ මඟ” උදව් කළවුන් සොයා යම් යම් වරදාන ප‍්‍රදානයට සැරැසෙන කාලය මෙයයි.

පනාකඩුව තඹ සන්නස් ප‍්‍රදානය හා එහි අන්තර්ගත කරුණු විජයබාහු මහරජුගේ ආධ්‍යාත්මය පිළිබඳ කදිම කැඩපතකි. ඔහු තරම් කළ ගුණ දත් රජකු රාජාවලියේදී හමුවේ නම් එයද ඉතා අහඹු ලෙසිනි.

කුඩා කල තමා රැකගත් බුදල්නාට රජුගෙන් මහා වරදානයක්

පේ හෙළ යටගියාව හා රාජ පරම්පරාව පිළිබඳ ව – විමසුම් ඇසින් බලන කල පැහැදිලි ව පෙනී යන කරුණ නම් කිත්ති හෙවත් කීර්ති නමින් රුහුණේ පහළ ව පසු ව මහා විජයබාහු ලෙසින් මෙරට කිරීටය හොබවන ලද මහා රණ ශූර යුද විශේෂඥයා පළමුවැනි විජයබාහු ම මිස අන් කවරෙක් වත් නොවේ.

මානවම්ම රජ පරපුර හා දාඨෝපතිස්ස රජ පරපුරේ මුගලන් මහා සාමිටත් ලෝකිතා කුමරියටත් දාව උපන් මේ ශ්‍රේෂ්ඨ නරපතියා විසින් ම ඉතා නිහතමාන ගුණයෙන් විස්තර කැර ලියවන ලද වටිනා කරුණු රැසකින් පිරිපුන් ”ඓතිහාසික පනාකඩුව තඹ සන්නස” පිළිබඳ ව විග‍්‍රහාත්මක යමක් “මහා සිංහලේ වීර විජයබා” පුවතට නොලිවහොත් එය මහත් ම අඩුවෙකි.

පරසතුරු ආක‍්‍රමණ ගහණ ව තිබූ අවධියේ කීර්ති කුමරාගේ ආරක්ෂාව පතා මනා සුපරීක්ෂාකාරිත්වයකින් හා දයාවකින් කටයුතු කළ සිත්තරු බිම්බුදල්නාවන් හෙවත් රුහුණු දඩනායක බුද්ධරාජ සෙනෙවියා ගැන මෙහි එන විස්තර ඉතිහාසයට සපයන ආලෝකය අතිමහත් ය.

පරාක‍්‍රම පණ්ඩු නම් රුහුණු පාලකයාගෙන් පසු කතරගම අධිපතිත්වයට පත්වන ලෝක හෙවත් ලෝකේශ්වරගේ හමුදා නායකයකු ලෙස පෙරදී කටයුතුª කළ බුද්ධරාජ ඔහු සමඟ ඇතිවූ මතභේදයක් නිසා මලය කඳු පාමුල චුන්නසාල ජනපදයට පලාගොස් එහි බළකොටුවක් තනාගෙන සිටින කල්හි එවකටත් ධනු ශිල්පයේ පරතෙර පත් දහතුන් හැවිරිදි කීර්ති කුමරා බුද්ධරාජට එක්වූ බව මහාවංසයේ සඳහනි.

මෙසේ බුද්ධරාජට එක්වූ කිත්ති කුමරා එහිදී පෙන්වූ නිසග කුසලතා හේතුවෙන් 14 වියේ දී එහි සේනාංක ප‍්‍රධානියෙක් ද වීය. මොවුන් දෙදෙනා ම ලෝක නම් සෙන්පතියා පරාජය කිරීමෙහි ලා ‘දේවමල්ල’ නම් තවත් සෙන්පතියකුගේ පූර්ණ සහාය ලැබුණු බව මම පෙරදී ද විස්තර කළෙමි.

මේ කීර්ති, බුද්ධරාජ, දේවමල්ල යන තුන් කට්ටුවේ වීර වික‍්‍රම නියාම – එදා මලය රට, පස්දුන්කෝරලය හා තවත් ප‍්‍රදේශ ගණනාවකින් සේනා රැස්කැර ගැනීමෙන් කේශධාතු කස්සප යුද බිමේදී මරා දමා රුහුණේ පාලනයට තිබූ අනතුර පහ කැර ගැනීමට හැකි වූ බව සත්‍යයකි.

වික‍්‍රමපණ්ඩුට පසු ලෝක නම් හමුදා නායකයා අවුරුදු හයක් කතරගම රජකම් කළ බැව් මහාවංශය කියයි. මහාවංසයේ සඳහන අනුව ලෝක – කතරගම රජ කරන කාලයේදී බුද්ධරාජට කීර්ති කුමරා එක්වූ බව කියතත්, පුරාවිද්‍යා ගවේෂකයන් මෑතදී සොයා ගත් සෙල්ලිපි කිහිපයකට අනුව හෙළිවන කරුණු නම් මේ සුසංයෝගය සිදුව ඇත්තේ ලෝකගේ කාලයටත් පෙර සිට ය.

මේ රජුට දෙපාර්ශවයෙන් ම රජකමට උරුමය තිබුණු බවද සංස්කෘතික අමාත්‍යංශ හිටපු සහකාර කර්තෘ සිරි නිස්සංක මහතා අදහස් පළ කැර ඇත. ඒ මෙසේ ය. “1 වැනි විජයබාහු නමින් රජකමට පත්වුණු කිත්ති කුමරු කාශ්‍යප නම් කුමරුගේ පුත‍්‍ර මොග්ගල්ලානගේ පුතකු ලෙස මහාවංසයේ සඳහන් වේ. 15 වැනි සියවසට අයත් උලකුඩය දේවියගේ විවාහය ගැන සඳහන් සෙල්ලිපි වල මොග්ගල්ලාන කුමරු කාශ්‍යප රජුගේ පුතකු බවත්, කාශ්‍යප රජු සේන රජුගේ පුතකු බවත් සඳහන් වේ. මේ සේන රජු යනු 4 වැනි මිහිඳු රජුට කාලිංග කුමරියකගෙන් ලැබුණු 5 වැනි සේන රජු බව නූතන ඉතිහාසඥයන් හඳුනාගෙන ඇත.

කිත්ති කුමරුගේ මව් දාඨෝපතිස්ස රජුගෙන් පැවැත එන කෙනෙකු ලෙස මහා වංසයේ සඳහන්ව තිබීමෙන් – විජයබා රජුට දෙපැත්තෙන්ම රජකම පිළිබඳ අයිතිය තිබූ බව සැළැවේ. කිත්ති කුමරුගේ පියා මුගලන් මානවම්ම පෙළපතේ කෙනෙකු යැයි අසන්නට ලැබේ. එයින් ද විජයබාහු රජුගේ රාජ්‍ය උරුමය සනාථ වනු ඇත” යනුවෙනි.

චූලවංසයේ සඳහන අනුව ද කියැවෙන්නේ කීර්ති කුමරා බුද්ධරාජ යටතට පත් ව සිටියේ දහතුන් වියේදී පමණ බව ය. මේ කාලයේදී පවා කුමරා අවි ආයුධ හරඹයෙහි නිපුණයකු බව එම ග‍්‍රන්ථය වැඩිදුරටත් සඳහන් කරයි. එහෙත් පනාකඩු තඹ සන්නස ගැඹුරින් හදාරන කල්හි පෙනී යන්නේ බුද්ධරාජ හෙවත් බුදල්නාගේ ආරක්ෂාව යටතට පත්වන කල්හි කුමරා මීටත් වඩා ළාබාලයකු බව ය.

බුද්ධරාජ වනයේ වෙසෙමින් වන මුල් වනපලා සපයා දෙමින් මුගලන් පවුල හා කීර්ති කුමරා රැක බලා ගත් බව සන්නසේ ඉතා ම නිහතමානී ව විස්තර කරයි. සොළීනගේ බලවත් අනතුර හමුවේ කුමරා ගත කළ කටුක ජීවිතය ”සිත්තරු බිම් බුදල්නාවන් අප සහවියෙහි වඩා වනමුල් පලාභරණයෙන් පුසැ” ආදී තැන්වල වඩාත් විග‍්‍රහාත්මක ය. මෙසේ අධිෂ්ඨානශීලී ස්වරූපයෙන් හා අප‍්‍රතිහත ධෛර්යයෙන් කටයුතුª කළ එතුමා කෙරෙහි රුහුණු ජනයා වශීකෘත වන්නට ඇතැයි සිතමි. කිත්ති කුමරාගේ යුදවල මුල් කාලයේ බොහොමයක් සටන් මෙහෙයවා ඇත්තේ ද බුදල්නා නමැති රණශූරයා ය.

ලංකා ඉතිහාසය ඒකාලෝක කළා වූ ලක් මවගේ උදාරතම යුද විශේෂඥයා මේ රට සොළීන්ගෙන් මුදවාගැනීමේදී උදව් උපකාර කළ රුහුණු හමුදා නායක සිත්තරු බිම් බුදල්නාවන්ට කළගුණ සලකනු වස් පිරිනමන ලද වරදාන හා වරප‍්‍රසාද ඇතුළත් රාජ ආඥා පත‍්‍රය පනාකඩුව තඹ සන්නසයි. මෙය රාජ්‍ය ගෞරව පිරිනමන ලද විශේෂ අවස්ථාවකි.

විජයබාහු මහරජතුමා රාජසභාව රැස්කැර අමාත්‍ය මණ්ඩලයේ ද ඒකමතික අනුමැතියෙන් අධිකරණ ඇමැතිවරයාගේ අත්සන සහිතව මෙකී ප‍්‍රදානය සිදු කළ බැව් කියයි. එදා සිටම මහජනතාව තමන් භුක්ති විඳින ඉඩකඩම්වලට බද්දක් රජයට ගෙවීම තීන්දු වී තිබිණ. එහෙත් මේ සන්නස අනුව “වව පෙත් පමණු නොගන්නා කොටව යට පමණ දොගයකුදු කළ අභයදී දැකැපිය වස් මුත්” යනුවෙන් රජු ප‍්‍රදානය කළ (බුදල්නා පරපුර වෙනුවෙන්) කිසි ම ඉඩමකින් බද්දක් අය නොකළ යුතු බව තරයේ ම කියා සිටී.

මෙහි මතු කළ විශේෂ කාරණය බුදල්නා හා එම පරපුරේ අයට රජු දුන් අධිකරණමය වරප‍්‍රසාදයි. මේ අනුව පළමු වරද, දෙවන වරද ඉවසා තෙවැනි වරදී පවා නිදහස දෙන්න බැරි තරම් වරදක් කළ ද කිසියම් සමාවක් ප‍්‍රදානය කළ යුතු බව කියැවේ. එසේම බුදල්නාවන්ගේ පරම්පරාවෙන් පැවැත එන්නන්ගෙන් දඩ අය නොකිරීම, ඔවුන් සිරගත නොකිරීම හා ඔවුන් සතු කිසිම දේපළක් රාජසන්තක නොකිරීම ද මේ සන්නසේ ආඥාවට ඇතුළත් ය. රාජ්‍යයක උතුම් ම උසස් ම පුද්ගලයා හෙවත් රජතුමා රාජ්‍යත්වය දරමින් සිටියදී තම දිවියේ ඛේදනීය ආරම්භය ගැන මෙනෙහි කරමින් තමාට කළ උදව් උපකාරවලට කෘතවේදීත්වය ප‍්‍රකාශ කිරීම අපේ රාජාවලියේ අතිශය දුලබ අවස්ථාවක් මින් ස්ඵුට වේ. එසේම – පනාකඩුව තඹ සන්නස වෙනත් ඓතිහාසික ලේඛනවලටත් වඩා වැදගත්කමක් උසුලන්නේ ද එනිසා ය.

පනාකඩුව තඹ සන්නස මීට අවුරුදු හැට එකකට පමණ පෙර 1948 පෙබරවාරි මාසයේ දිනයක මාතර මොරවක් කෝරළයේ පනාකඩුව නම් ගම්මානයේ බෝගහදෙණිය නම් කුඹුරකදී ගොවියකුට හමුවූ බව කියැවේ. කි‍්‍ර.ව. 1055 – 1110 රජ කළ පළමුවැනි විජයබාහු රජතුමාගේ 27 වැනි රාජ්‍ය වර්ෂයේදී සිංහලෙන් නිකුත් කරන ලද මෙකී රාජ ආඥාව අඩංගු තීරු ලිපි ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් ලැබී ඇති පැරැණිතම තඹ සන්නසයි. මේ තඹ සන්සන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුව පත්වූ ආකාරය – එවක සිටි පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ පැහැදිලි කැර ඇත.

’වර්ෂ 1948 පෙබරවාරි මස මොරවක් කෝරලයේ පනාකඩුව ග‍්‍රාමයේ සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නමැති ගොවි මහතෙක් – බෝගහදෙණියේ තම කුඹුරු වගාව පිළියෙළ කිරීමට ගිය විට ඔහුගේ උදැල්ලේ ගැටී හමුවූ ලෝහමය පත‍්‍ර වටිනා වස්තුවක් යැයි සිතා සිය නිවසට ගෙන ගොස් ඇත. සාමාන්‍යයෙන් ගැමියන් විසින් මළ ඉවත් කරන ආකාරයට ලෝහ පත‍්‍ර පෙර තිබූ තත්ත්වයට ශුද්ධ පවිත‍්‍ර කැර එක් එක් ඉරුවක කුඩා කොටසක් කපා කළ පරීක්ෂාවේදී තඹ තහඩු තුනක් බව අවබෝධ වී ඇත. පරීක්ෂාව සඳහා කැපූ කොටසින් තඹ පත්වලට එතරම් හානියක් සිදුවී නොමැත.

තඹ තහඩු ශුද්ධ කිරීමට කලින් ඒවායේ ලියන ලද නුපුරුදු අකුරු විශේෂයක් ඔහු විසින් දක්නා ලදී. හරිහැටි ශුද්ධ කළායින් පසු ඒ අකුරු ඒවායෙහි ලියූ දෑ මෙන්ම දිලිසුණේ වී නමුදු ඒ කුමන අකුරු දැයි සෙවීමටවත් ඔහුට උවමනා නොවී ය. තඹ තහඩු තමාගේ කුඩා නිවසෙහි මුල්ලකට දමන ලදී. එහෙත් මේ සොයාගැනීම ටික කලෙකින් ගමේ ගුරුවරයා ඇතුළු බොහෝ දෙනෙක් දැනගත්හ.

පනාකඩුව ගම කුඩා පිටිසර ගමකි. නවීන ලෝකයේ බලපෑම් එහි වැසියනට නුපුරුදු ය. එමෙන් ම පෞරාණික වස්තු කෙරෙහි මහජනයා දක්වන ආකල්පය ද ඔවුනට නැත. එමෙන් ම රටේ එවැනි වස්තු සඳහා පනවා ඇති නීති රීති ද ඒ අය නොදැන සිටියහ. තඹ තහඩු නිවසෙහි තබා ගැනීමෙන් තම පවුලට වස් වැදී හිරිහැර පැමිණෙන බව විශ්වාසයට ගෙන ඒවා පිටමන් කිරීමට ඔහු ඉටා ගත්තේ ය. ඔහු වැටී තිබුණු කරදරය මඟ හරවා ගැනීමේ අභිප‍්‍රායෙන් තමාගේ නෑදෑයකු වන චේතියකන්දරාම විහාරාධිපති මොලොක්ගමුවේ සරණපාල තෙරුන්වහන්සේගේ උපදෙස් මත තඹ තහඩු පිටමන් කිරීමට කටයුතු කළේ ය. මෙපරිද්දෙන් තාවකාලික වශයෙන් බෙංගමුවේ පන්සලක තඹ තහඩු තැන්පත් කරන ලදී.

මොලොක්ගමුවේ සරණපාල හිමියන්ට මේ තඹ තහඩු මුලින් ම – සොයාගත් තැනැත්තාට වඩා ඒවායේ වටිනාකම අවබෝධ වූ නිසා – උන්වහන්සේ මේවා කෙරෙහි සැලකිල්ලක් දැක්වූ සේක. උන්වහන්සේ ද මේ සොයාගැනීම කෙරෙහි වගකිවයුත්තන්ට දැන්වීම අවශ්‍ය යැයි නොසිතූ සේක. මේ තඹ තහඩුව පිළිබඳ පුවත ජනයා අතර පැතිරෙත් ම මාතර දිස්ති‍්‍රක්කය පිළිබඳ ව පුරාවිද්‍යා ගවේෂණයක යෙදී සිටි – ඌරාපොළ රතනජෝති පිරිවෙණේ පණ්ඩිත කඹුරුපිටියේ වනරතන හිමියනට මේ ගැන සැළවී ය. උන්වහන්සේ සරණපාල හිමියන්ගෙන් තඹ පත් ඉරු කලකට ලබාගත්හ.

මේවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ඇති ඉමහත් ඓතිහාසික වටිනාකම උන්වහන්සේට අවබෝධ වීය. එකල පොළොන්නරුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරි සරත් වත්තල මහතාට මේ සොයාගැනීම සම්බන්ධව වනරතන හිමියන් විසින් දන්වන ලදී. සරත් වත්තල මහතා ප‍්‍රධාන කාර්යාලයට ලිපියක් එවා තිබිණි. එනමුත් එම ලිපිය සෙනරත් පරණවිතාන මහතාට ලැබුණේ අවුරුද්දක පමණ කාලයක් ඉක්ම ගිය පසු ය. එබැවින් එම ලිපිය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට වසරක් පමණ ගතවී ය.”

මේ විස්තරය එන්නේ ශ‍්‍රාස්ත‍්‍රාචාර්ය දේව. මයිකල් ද සිල්වා – ‘පනාකඩුව තඹ සන්නස’ නමින් ම ලියන ශාස්තී‍්‍රය පොත් පිංච ඇසුරේ ය.

දේව මයිකල් සිල්වා මහතා පරණවිතාන ශූරින් ලියූ වාර්තාවට අමතරව මෙසේ ද ලියයි.

පරණවිතාන මහතාට තඹ තහඩු පිළිබඳව සරත් වත්තල මහතා ලියූ ලිපිය ගැන දැන ගන්නට ලැබී ඇත්තේ ද අහම්බෙනි. එය පළමුවැනි විජයබා රජුගේ සන්නසක් බවත් එහි ඔහුගේ ජීවිතයේ මුල්කාලය පිළිබඳව විස්තර අඩංගු බවත් දැනගත් පරණවිතානයන් විශ්වාස කළ නොහැකි තරම් පුදුමයට පත්වී ඇත. එසේ පුදුමයට පත්වූයේ නිශ්ශංකමල්ල රජතුමා (1187 – 1196) තඹ තහඩු – ලේඛනවල සන්නස් නිකුත් කිරීම මුලින්ම ආරම්භ කළ රජු හැටියට එතෙක් සෙනරත් පරණවිතාන මහතා කෙරෙහි ද පැවැති විශ්වාසය නිසා ය.

මේ තඹ තහඩුවල සත්‍යතාව හරිහැටි දැනගැනීම් වස්, පරණවිතාන මහතා විසින් වහාම සරත් වත්තල මහතා සමඟ – සන්නස් පිටපත් කරන නිලධාරියකු පනාකඩුව ප‍්‍රදේශයට යවා ඇත. ඒ තඹ තහඩු සන්නස් ලබාගැනීම හෝ නොඑසේ නම් අඩුම – ගණයේ ඒවා පිටපත් කරවා ගැනීම පරණවිතාන මහතාගේ අභිප‍්‍රාය වීය. සරත් වත්තල මහතාගේ ද කාර්යක්ෂමතාව නිසා පනාකඩු තඹ සන්නස පරණවිතාන මහතා අතට පත්වී ඇත.

මෙනයින් බලන කල මේ ඓතිහාසික ලේඛනය අපට ලැබී ඇත්තේ අහම්බෙනි. එසේවත් හමුනොවුණා නම් මේ – අසහාය යුද විශේෂඥයා ශ්‍රේෂ්ඨ නරපතියාගේ උත්කෘෂ්ට කළගුණ දැක්වීමේ කි‍්‍රයාදාමය ජාතිය විසින් මෙතෙක් දැන හඳුනා ගන්නේ ද නැත. පනාකඩුව තඹ සන්නසේ අන්තර්ගතය ගැන ලබන සතියේ කියවමු.

පනාකඩුව තඹ සන්නසේ වරදාන හා තේරුම්

පනාකඩුව ඓතිහාසික තඹ සන්නස මෙරට ඉතිහාසය උඩු යටිකුරු කළ එකකි. ලක් ඉතිහාසය තුළ තඹ සන්නස්වලින් මුලින් ම යම් යම් අදහස් ප‍්‍රකාශ වන්නේ නිශ්ශංකමල්ල රජ සමයේදී ය. ඊටත් එහා සිටි රජවරුන් තම රාජඥාවන් තඹ පත‍්‍රවල සටහන් කළ බවක් මෙකී සන්නස සොයා ගන්නා තුරු හෙළි නොවිණි. මහැදුරු සෙනරත් පරණවිතානයන් පවා මේ සන්නස ලැබෙන තුරු සිතා සිටියේ නිශ්ශංකමල්ල කාලයෙන් එහා එවැන්නක් සිදු නොවිය හැකි බව ය.

පළමුවැනි විජයබාහු රජතුමා විසින් කරවන ලදැයි සැලැකෙන රාජකීය ප‍්‍රදානයන් ඇතුළත් පනාකඩු තඹ සන්නස ප‍්‍රමාණයෙන් දිගින් අඩි එකයි (1) අඟල් දෙකහමාරකි. (2 1/2”) පලළ අඟල් තුනක් හා සාමාන්‍ය ඝනකම අඟලින් අටෙන් එකකි. (1/8) මේ සන්නසේ බර රාත්තල් දෙකකුත් (2) අවුන්ස දෙකහමාරකි. (2 1/2) (Epigraphia Zeylanica Vol. 5 Page 1) පත්ඉරු තුනකි. එක් පත් ඉරුවක පේළි හත (7) බැගින් ලියු අකුරු පේළි විසි අටකින් (28) යුක්ත ය. පේළි අතර පරතරය සෙන්ටිමීටර බින්දුවයි. දශම බින්දුවයි දෙකකින් (0.02) යුක්ත වේ. සාමාන්‍යයෙන් අකුරක ප‍්‍රමාණය උස සෙන්ටිමීටර් එකයි දශම දෙකක් (1.2) හා පළල සෙන්ටිමීටර් බින්දුවයි දශම නවයක් (0.9) පමණ ය. අකුරු උල් රවුම් හැඩ ස්වභාවයක් ගෙන ඇත.

පනාකඩුව තඹ සන්නස පිළිබඳව පුරෝගාමී විමර්ශනයක් කරමින් එහි පෙළ හා පරිවර්තනය සකස් කළේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ය. එය “එපිග‍්‍රැෆියා සෙලනිකා” කෘතියේ පස්වැනි වෙළුමේ පළමුවැනි කාණ්ඩයේ පළ වී තිබිණි. එමතු ද නොව එතුමාගේ “පුරා විද්‍යා පර්යේෂණ” නම් කෘතියේ ද මේ සන්නස ගැන තොරතුරු හා විවරණ සපයයි. රාජකීය පණ්ඩිත කොත්මලේ අමරවංශ හිමියන් ‘ලක්දිව සෙල්ලිපි’ නමින් කළ කෘතියේ පනාකඩුව තඹ සන්නස ගැන අගනා විස්තරයක් කරයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව 1974 දී ප‍්‍රකාශයට පත් කළ නව පාඩම් පොත් පෙළහි අටවැනි ශ්‍රේණිය සිංහල පොතේ “උදැල්ලේ ගැටුණු තඹ තහඩුව“ හිසින් පුරා විද්‍යා කොමසාරිස්ව සිටි සෙනරත් පරණවිතානයන්ගේ ලිපියකින් උපුටා ගත් කොටසක් පළකොට ඇති අතර, ආචාර්ය කඹුරුපිටියේ වනරතන මාහිමි සමරුව නිමිති කොට ප‍්‍රකාශිත රුවන්දෝ ශාස්ති‍්‍රය ලිපි සංග‍්‍රහයේ රජත ජයන්ති කලාපයේ ‘පනාකඩු සන්නසෙහි පද්‍ය පාඨ’ යන්නෙන් සාරගර්භ විස්තරයක් සඳහන් කැර ඇත. ඊටත් අමතරව මෙම සන්නස පිළිබඳව තවත් මා හැඟි ග‍්‍රන්ථයක් ‘පනාකඩුව තඹ සන්නස’ නමින්ම දේව මයිකල් ද සිල්වා සූරින් ෂසින් නිමවනු ලැබ ඇත්තේ ය.

පනාකඩුව තඹ සන්නසේ ශෛලිය පිළිබඳව පරණවිතාන මෙවැනි විග‍්‍රහයක් කරයි. “මේ සිංහල භාෂා විලාසය ගාම්භීරය. එසේ ම එය ගෞරවය තකා සිංහලයට නොගැළපෙන සංස්කෘත ආදි පාරිභාෂික සම්ප‍්‍රදායන් හා වාක්‍ය විධි යොදා ඇති නිසා සම්පූර්ණයෙන් සිංහල භාෂාවෙන් වෙනස් වූ පැරැණි භාෂාවේ සංක්ෂිප්ත නිර්මල ගුණයත්, ප‍්‍රාණවත් බවත්, අර්ථ ප‍්‍රකාශ කිරීමේ ශක්තියත් පෙන්නුම් කරන ආදර්ශයක් වැන්න. මෙහි ප‍්‍රාරම්භක ඡේදය ගද්‍යයෙන් ලියැවුණ ද, එහි වාග් විලාසය කාව්‍ය ලක්ෂණයන් ගෙන් යුක්ත ය. අවසානයේ එන රාජ වර්ණනයෙහි ‘යහ ගී’ වෘත්තයෙන් බඳනා ලද ගීයක අග දෙපදයක් දක්වා ඇත්තේ සමහර විට එකල උසස් ලෙස තැකු ග‍්‍රන්ථයකින් උපුටා ගත්තක් නිසා විය හැකි ය. (ඡ්.ඛ. මධත ඵ.න. 2)

පනාකඩුව තඹ සන්නස හමු වූ දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රක්කයේ පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර පනාකඩුව ග‍්‍රාම නිලධාරි වසම ඓතිහාසික පෙදෙසකි. එම ඓතිහාසික වැදගත්කම ගැන දේව මයිකල් ද සිල්වා බොහෝ විස්තර සපයා ඇත. මේ ඉන් වැදගත් උපුටනයකි.

“මේ තඹ සන්නස හමුවූ ප‍්‍රදේශය අතීතයේ සිටම බෞද්ධ ජනයා විශාල වශශයෙන් ගැවසුණු ප‍්‍රදේශයක් බව පෙනේ. එහි ලෙන් විහාර රූපයක් ද ඇත. එළමල්දෙණිය, ඌරුබොක්ක, තුන්බැවුල, ගැටබරුව, බුදුගල, ඌරුමුත්ත, බැරගම ආදි පෙදෙස්වල මෙවැනි ලෙන් විහාර දක්නට ලැබේ. එපමණක් නොව ඒ පළාත හෙළදිව රාජ වංශාවලියේ නරනාථයන් හා සෙන්පතින්ට දුර්භාග්‍ය සම්පන්න ආපදාපන්න කාලවල රැකවරණය සැලසු ක්ෂේම භූමියක් වූ බව ද සනාථ කෙරෙන පුරාවෘත්ත බොහෝ ය. පනාකඩුවේ වෙහෙරතැන්න නම් ඉඩමක් වී ය. එහි උළු හා ගඩොළු ගැබලි මතු වී ඇති පැරැණි ගොඩනැගිලි ශේෂ දක්නා ලැබේ.

ඒ අසල විශාල පස් ගොඩක් තිබී ඇත. මෙය ගරා වැටුණු දාගැබක නටබුන් විය හැකි ය. ගම්වාසින් මීට වසර පනහකට පමණ පෙර කරන ලද කැණීමකින් කරඬුවක් හා සුමුගක් වැනි දෙයක් ඒ අසලින් මතුකර ගන්නා ලදී. මේ ස්ථානයට යාබද ව පිහිටි කන්දක බිම් ගෙයක් වූ අතර ජනප‍්‍රවාදයන්ට අනුව එය කීර්ති විජයබාහු රජතුමාට ආරක්ෂාව සැලැසු ස්ථානයක් බව පැවැසේ. මෙතැන ඔවුන් විසින් මාවුනාගල නමින් හඳුන්වයි. එය මාපා උන් තැන ලෙස ජනප‍්‍රවාදගත ය. මේ උමඟ පනාකඩුවට නුදුරින් පිහිටි එළමල්දෙණිය විහාරය දක්වා විහිදි තිබෙන්නට ඇති බව විශ්වාස කැරේ. පනාකඩුව හා සියඹලාගොඩ යන ගම් දෙක අතර පිහිටා තිබු කඳු අතරින් ගලා ගිය දොළක් ‘දියනාදොළ’ නමින් අදත් හඳුන්වනු ලැබේ.

දැනට වනාන්තරයෙන් මුළුමනින්ම පාහේ වැසී ඇති මහවත්තේ තැන්න යන ස්ථානයේ කුඩා ගල්කණු කිහිපයක් ඇත.

ඉහත සඳහන් කළ කඳු ආරක්ෂිත ප‍්‍රදේශය ආපදා අවස්ථාවල රාජකීයයන් වාස භූමිය කොට ගත් බව ජනප‍්‍රවාදයේ එයි. මීට අමතරව සටන්වලදී අල්ලා ගත් දෙමළ යුද සිරකරුවන් රඳවා තැබු බවට ද විශ්වාසයකි.”

“සෙනරත් පරණවිතානයන් කියන පරිදි සන්නස හමුවූ ප‍්‍රදේශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඓතිහාසික ප‍්‍රදේශයකි. මේ ප‍්‍රදේශය මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ ද යුද්ධ භූමියක් ලෙස ඉතිහාසගත ය.

පනාකඩුව සන්නසේ එන කිත්ති කුමාරයා හෙවත් 1 වන විජයබාහු රජු සොළින්ට එරෙහි ව සේනා සංවිධානය කිරීමේදී යොදාගෙන ඇති ඓතිහාසික සුවණ්ණමලේ වනාහි හම්බන්තොට දිස්ති‍්‍රක්කය හා මාතර දිස්ති‍්‍රක්කය මායිම් කරන වර්තමානයේ රම්මලේකන්ද නමින් හඳුනා ගත හැකි ය.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ වලස්මුල්ල ග‍්‍රාමයට හා මාතර දිස්ති‍්‍රක්කයේ මාවරල ග‍්‍රාමයට මැදිව මේ ඓතිහාසික රම්මලේකන්ද පිහිටා ඇත. මහා පරාක‍්‍රමබාහු රජ දවස එතුමාට විරුද්ධව කැරැලි ගැසු සිංහලයේ සටන් නායිකාවක් වූ සුගලා දේවිය සටනට සූදානම් වෙමින් සිටියේ ද සුවණ්ණමලේ බව අදහසක් වේ.”

පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)

(අ)

1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -

තේරුම – මංගල ශ‍්‍රියක් වේවා, ශ‍්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්‍ෂති‍්‍රය සමූහයා

2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -

තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග‍්‍ර මහේෂිකාවක (වැනි) වූ

3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් -

තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික‍්‍රමයෙන්.

4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස -

තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත‍්‍ර කොට රජ සැප විඳීමෙන්.

5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත -

තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත‍්‍රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්

6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ

තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ

7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක -

තේරුම – සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික‍්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්

(ආ ධ්)

1) හා ප‍්‍රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ -

තේරුම – ප‍්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)

2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි -

තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී

3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.

තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)

4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.

තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.

5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි

තේරුම – පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල

6) විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු -

තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා

7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද -

තේරුම – දුක් වින්ද ප‍්‍රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,

(ආ 2)

1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග -

තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)

2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො -

තේරුම – සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,

3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.

තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස -

4) නිග‍්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු -

තේරුම – නිග‍්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති‍්‍රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව

5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා

තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි

6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ -

තේරුම – තුන්දොටුන්හට ප‍්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී

7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ -

තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.

1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු -

තේරුම – පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර

2) න් වුන් ප‍්‍රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු

තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්‍ෂති‍්‍රය රාජ පරම්පරාව

3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර -

තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)

4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව

5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො -

6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග‍්‍රහ – නොකරනු කොට සත් විසි වන්නෙහි

5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.

තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.

වේලක්කාර කැරැල්ලට එක්වූවනට රාජ දඬුවම්

තමා කුඩා දවස රජපවුල හා තමන් වෙත දක්වන ලද සැලැකිල්ල හා ගෞරවයට පෙරළා රජ දැක්වූ කෘතවේදීත්වය “පනාකඩුව තඹ සන්නසේ විශේෂ වරදානයන් බව මම පෙරදී ඔබට කීවෙමි.

වසභ මහසෙන් රජ දවස පොලොන්නරුව වාරි කර්මාන්තයෙන් ද යම් යම් උසස් තත්ත්වයක දියුණුවක් ලබා තිබිණි. කෘෂිකර්මය සඳහාම මෙහි ඉඩම් බොහොමයක් යොදවා තිබූ බවද ඇත්තකි. අනුරාධපුර යුගයේ අවසාන කාලය එළැඹෙත්ම මෙහි පැවැති වාරිමාර්ග කටයුතු ආදිය විදේශ ආක‍්‍රමණ හා නොසැලකිලිමත් පාලන කටයුතු නිසා ම පිරිහිණ.

මේ පැරැණි ස්වයංපෝෂිත ආර්ථික රටාව නංවනු වස් විජයබාහු මහරජතුමා විශේෂ විධිවිධාන යොදමින් කෘෂිකාර්මික දියුණුව අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටියේ ය. සිංහල රාජාවලියේ වෙනත් කිසිදු රජකුටත් වඩා අභ්‍යන්තර ආරවුල් මෙන්ම විදේශීය කරදරද නිතරගයෙන් නැඟෙන මේ රජුට තවත් විදේශ උවදුරකට මේ කාලයේ මුහුණ දෙන්නට සිදුවිය.

ඉන්දියාවේ චෝල රාජ්‍යයේ කුලෝත්තුංග රජ එතුමා සමඟ ඇතුළතින් කිසිදු මිතුරුකමක් නොතිබුණ ද එය නොපෙන්වා පිටින් බොරු මිතුරුකමක් පෙන්වා සිටියේ ය. එය ප‍්‍රකට කැර සිටියේ රජ වාසල සමඟි දූතයන් එවීමෙනි. එසේම මිත්තා කුමරිය විවාහ කැර ගැන්මට ආරාධනා එවීමෙනි. ඔහු කි‍්‍ර.ව. 1085 දී ලක්දිව නැවත – අවුල් තත්ත්වයක් ඇතිකරන්නට මාන බැලුවේ ය.

චෝල – කර්ණාට දෙරටින් තෑගි බෝග ද රැගෙන මෙහි පැමිණි දූත පිරිසක් පිළිගත් රජතුමා ඊට ප‍්‍රතිඋත්තර වශයෙන් සිංහල දූත පිරිසක් තෑගි බෝග ආදිය දී – එරට යැවී ය. මේ පිරිස චෝල රට හරහා කර්ණාට රටට ගමන් ගනිද්දී චෝලයෝ, සිංහල දූතයන් අල්වා ගත්හ.

ඔවුන්ගේ කන් නාසා කපා දමා හිංසා කොට විරූපී කළහ. මේ සිද්ධිය විජයබාහු මහ රජ සොළීන් කෙරෙහි යටපත් කළ වෛරය යළි මතු කළ අවස්ථාවක් වීය. මේ අවනඩුව අසා කෝපයට පත් මහරජ රාජ සභාව කැඳවා දෙමළ දූතයනට මෙසේ අභියෝග කළේ ය. මේ වනවිටත් පැමිණි දෙමළ දූත පිරිසක් මෙහි සිටීම ඔවුනට වැරැදුණු කාරණයකි.

”හැකි නම් සේනාවන්ගෙන් තොර ව මුහුද මැදදී බාහුබල ද්වන්ද ව සටනකට එන ලෙස තොපගේ රජුට අභියෝග කරන බව කියව. නොඑසේ නම් සේනා වාහන සහිත ව තොපගේ හෝ අප රටේ කැමැති තැනක සටනට සූදානම් වන ලෙස දන්වව්. තොපගේ රජුට මෙයින් තමා අභිමත ක‍්‍රමයක් තෝරාගෙන දන්වන ලෙස කියව්.

මෙසේ පවසා දූතයනට වද හිංසා නොකොට ඔවුන් ගැහැනු පළඳනාවලින් පමණක් සරසා සොළී රජ වෙත යැවී ය.

ප‍්‍රතිවාදියාගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබිණි. රජ තෙම සොළී රජට පාඩමක් උගන්වනු සඳහා එහි යාමට සූදානම් වීය. දක්ෂ සෙනෙවියන් දෙදෙනකු යටතේ නැව් මාර්ග උපකරණ හා සේනා රැස්කැර මැටිවල් සහ මාතොට වරායවලින් නික්ම යාමට සූදානම් විය.

මේ සිංහල රජුට වැරැදුණු තවත් කි‍්‍රයදාමයක් මේ අවස්ථාවේ කි‍්‍රයාත්මක වීම ජාතියටම සරදමක් විය. මේ රජ විසින් ම තමන්ගේ ආරක්ෂක හා විවිධ ප‍්‍රධාන සේවාවන්හි යොදවා සිටි කුලී සොළී භටයින්ගේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වූයේ හිටිඅඩියේමය. මේ කුලී හේවායෝ මහ සෙනෙවියන් දෙදෙනා මරා රජවාසල ඔවුනගේ ග‍්‍රහණයට ගත්හ. රජු විජාතිකයන් කෙරෙහි තුබූ විශ්වාසයේ වරද තේරුම් ගන්නා විට ප‍්‍රමාද වී තිබිණි.

රජතුමාගේ සේනාවේ ප‍්‍රධාන තනතුරුවල සිටි මේ විජාතික භටයන් වේලක්කාරයන් ලෙස හැඳින්විණ. මේ වේලක්කාරයන් ලෙස හඳුන්වන්නේ එදා ගජබා රජතුමා දකුණු ඉන්දියාවෙන් ගෙන අවුත් මෙහි පදිංචි කැරවූ ද්‍රවිඩයන් ය. විජයබා මහ රජු සිංහල සේනාවකට ආහාරපාන ලබාදී ඔවුන් නැව් නැංවීමට සූදානම් වෙද්දී මේ වේලක්කාර පිරිස් දකුණු ඉන්දියානුවනට එරෙහි ව කරන්නට යන යුදයට විරුද්ධව කැරැල්ල ගැසූහ. ඔව්හු රජුගේ නැඟණියන් හා පුතුන් දෙදෙනා ද අල්වා ගත් අතර, රජ මාලිගාවට ද ගිනි තබා පොලොන්නරුව අවට පෙදෙස ද කොල්ල කෑහ.

මේ අවස්්ථාවේ විජයබා රජුට කළ හැකි තවත් යමක් නොවූයෙන් දෙවැනි වරටත් තමාගේ වස්තුව රැගෙන ගොස් වාකිරිගල බළකොටුවේ ආරක්ෂාව සොයා ගත්තේ ය.

උපක‍්‍රමශීලීව දිවි ගලවාගෙන පැනගියත් විජයබා රජ දකුණේ වාකිරිගල සිටියදී පුරුදු රණකෙළියට සූදානම් විය. සොයුරු වීරබා උප රජ සමඟ මහ සේනා රැස්කරන මහරජ එතැන් පටන් තුන් වසරක් ඉකුත් වන්නට මත්තෙන් යළි පොලොන්නරුව බලා පැමිණියේ ය.

එහිදී සිදුවූ සටන අති බිහිසුණු ය. ඉතාමත් දරුණු සටන් කිහිපයෙක් ම ඇතිවිය. එහෙත් වේලක්කාරයෝ දණින් වැටී මියෙන තුරුම විජයබා දිගටම සටන් කළේ ය. මේ සටනේදී ද කලින් ජනනාථපුරය යටත් කළ උපක‍්‍රම සියල්ල ම පාවිච්චි කළ රජු වේලක්කාරයන් සුන්නද්දූලි කළේ මහත් වික‍්‍රම පාමිනි. මෙහි ඇති විශේෂය නම් ප‍්‍රධාන වේලක්කාර ජීවග‍්‍රහයෙන් ම අල්ලා ගැනීම ය.

නැවතත් පොලොන්නරුව විජයග‍්‍රහණය කළ රජු සේනාව රැස්කරවා සිහනාදයෙන් මෙසේ හඬනැඟී ය.

”සිංහලේ විමුක්ති සටන දැන් හමාරය. මා විශ්වාස කළ කුලී වේලක්කාරයෝ මගේ අතිදක්ෂ සෙනෙවියන් මරා දැමුවා. මින් මත්තෙහි කවරකුහට කවරදාකවත් මා සිටින තුරු මේ පොලොන්නරු නගරය යටත් කිරීමට ඉඩ තබන්නේ නෑ. අපේ රාජ්‍ය සේවයට බැඳී සිටි මේ පරසතුරන් කළ විනාශය අපමණයි. එනිසා මොවුනට මා ලබා දෙන දඬුවම එවැනි සිත් අනාගතයේ පහළවිය හැකි අන් අයටත් දඬුවමක් වන ලෙස ලබාදීමට මා කටයුතුª කරනවා” මේ එම ප‍්‍රකාශයයි.

රජුගේ කතාව අසා සිටි එසේම විස්මපත් භටයෝ තැන තැන කසුකුසු ගෑහ.

මියගිය ප‍්‍රධාන සිංහල සෙනෙවියන් දෙදෙනාට ම රජු බෙහෙවින් මනාප විය. ඔව්හු රජුගේ චෝල පුරෝගාමී සටනේ මහවිරුවෝ වෙති. ඔවුන් නැසී ගියේ තමන් රණශූරයන් නොවන නිසා නොවේ. ළඟ සිටින තමන්ගේ හේවායා විශ්වාස කරනු ලැබීම හේතුවෙනි.

වේලක්කාර කැරැල්ල පැනනැංගේ අපේ ම හමුදාව අතර පාහර දෙමළ භටයන්ගෙනි. තමන්ගේ දූත පිරිසට හිරිහැර කළ චෝල රජුට එරෙහිව නැව් නඟින විට වේලක්කාරයන්ගේ ජාතිආලය නැඟිණි. ඔවුනගේ ජාත්‍යාලයේ කිසිදු වැදගැම්මක් හෝ තේරුමක් නැත. ඒ වන විට ඔවුනගේ රට වන්නේ ද දකුණු ඉන්දියාව නොව මේ රටමය. ඔවුන් මේ රටේ පදිංචි වී පරම්පරාගත ව ආවේ ගජබා රජ දවසේ සිට ය.

ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන සිටි දෙමළ ප‍්‍රධාන සෙනෙවියන් රජු ඉදිරියේ නැවතත් පෙළගස්වනු ලැබිණි. ඒ වනවිට රජුගේ මිත‍්‍රශීලී සුහද රණශූර සෙනෙවියන් දෙදෙනා මරා දැමූ ඔව්හු බිරාන්තව බලාහුන්නේ ඊළඟ මොහොත මොනතරම් බියකරු ද යන්න සිතමිනි. සෙනෙවියන් මරා දමද්දී රජු වාකිරිගලට පලා ගියත් ඔවුන් මිහිදන් කළ අපේ ජාතිමාමක සිංහලයන් ඒ ස්ථාන රජුට පෙන්වීමෙන් අනතුරුව එහි මනහර සොහොන් කොත් බඳවනු ලැබිණි.

වදමල් මාලාවන් ගෙල බැඳ හිස්වල උස්වූ කොණ්ඩා බැඳ, පාදයෙන් පාදයට දම්වැල් අදිමින් (එක පැහැර දිවීමට නොහැකි වන සේ) මොවුන් (මළ බෙර වයමින්) වීථි දිගේ ගෙන යනු ලැබිණි. ඔවුන් වීථි සංචාරයේ අඩහෝරාවක් පමණ ඇවිද්දවා ගෙන යනු ලැබුවේ මහා සෙනෙවියන්ගේ සොහොන් කොත් අසලටය.

එම සොහොන් කොත් අතර එකිනෙකා ගලවා එක් එක් සොහොන් කොතට පිටුපා තබා පිටිතල හයා බඳිනා ලද්දේ රාජ අණ පරිදි ය. ප‍්‍රධාන සෙනෙවියන් ඇතුළු සේනාවේ මහත් බල මෙහෙයන් කළ රණශූරයන් හැමගේම සොහොන් කොත්වල මේ වේලක්කාර සටන් නායකයන් පිටිතල හයා බැඳිණි.

නිශ්චිත වේලාවකදී රාජාඥාවෙන් මේ සියලු සොහොන් කොත්වල බැඳ සිටි සතුරන් ගිනි තබන ලද්දේ ය. මහත් සැඬනලින් ගස් අතු පතර සලිත වූයේ ඒ ගිනිකඳ තව තවත් අවුළුවා ලමිනි.

ජයනාථපුරය මතුනොව වේලක්කාර කැරැල්ලද මේ ආකාරයෙන් ම පිලිස්සී ගියේ ය.

පොලොන්නරුව නැවතත් විජයබා මහරජු යටතට පත්විය. රුවන්වැලි සෑ ඉදිරිපිට රාජාභිෂේකය දා රන්කාසි නිකුත් කරයි

තම සෙනෙවියන් මරා දැමීමට එරෙහි ව ඓතිහාසික පාඩමක් ඉගැන්වූ විජයබා මහ රජු සොළියාගේ නැවත පැමිණීම හෝ පිළිතුරක් අපේක්ෂාවෙන් තම නාවික හමුදාව වසර කීපයක් ම උතුරුබඩ වෙරළේ නවතා තැබිණි. දකුණු දිග හා වයඹ දිග වෙරළද එසේ ම ආරක්ෂා විණ. වේලක්කාර කැරැල්ලේ උණුසුම් පාඩමින් රාජ්‍ය පාලනයට සතුරන් වැද්දගැනීම පිළිබඳ අවදානම තේරුම් ගත් රජතුමා ඔවුන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ද වැළැකිණි.

රජුට උසස් නාවික හමුදා බලයක් තිබීම පරදේශක්කාරයන් බිය ගැන්වූ කරුණක් ද වීය. ඒ වන විට දළදාව පවා පැවැතියේ වේලක්කාර හමුදාවක (කුලී සොළී හමුදාවක) ආරක්ෂාව යටතේය. උත්තම දළදාව සොළී ග‍්‍රහණයෙන් මුදවා ගත් රජ වෙනම දළදා මැදුරක් පවත්වාගෙන ගියේ ය. සොළී රජ සටනට කැඳවා දූතයන් යැවුවද ඒ හැම වතාවක ම කුලෝත්තුංග සොළී අධිරාජයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළෙන් බාහිර හා අභ්‍යන්තර ගැටුම්වල නිමාවක් පෙනිණි. නැවතත් රට සමෘද්ධිමත් කැර ජනතාව සුඛිත මුදිත කිරීමේ ආර්ථික සංවර්ධනය කෙරෙහි රජුගේ අවධානය යොමු වූයේ එනිසා ය. සොළීන් විසින් කඩා බිඳ දමා විනාශ කරන ලද වාරි කර්මාන්ත පිළිසකර කිරීම පළමු අරමුණ වීය. එම සංවර්ධන කි‍්‍රයාදාමය දෙසට නෙත් යොමු කළ රජුට සෙනෙවිවරුන්ගෙන් නොයෙකුත් ආයාචනා එල්ලවීය. ඔව්හු රාජසභාවේදී එකත්පස්ව වැඳ වැටී මෙසේ කීහ.

”මහ රජ උත්තම රාජ කුල පරම්පරාවත් අනුරාධපුරයේදී අභිෂේක මංගල්ලයත් කළ ආකාරය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. එය උත්තම ලෙස පැවැත්වීම පිරිසුදු රාජ කුලයන්ට කරන ලද ගෞරවයකි. පෙර රජුන් රට දුර්භික්ෂයෙන් හෝ යුද ගින්නෙන් දැවී යන මොහොතක කල්දැමූ හෝ යම්තමට පැවැත්වූ තම අභිෂේකයන් රට සාමයෙන් පිරි කාලයේදී උසස් ලෙසම පවත්වා ඇත. එනිසා මහරජතුමනි ඔබතුමන්ගේ අභිෂේකයද එසේම පැවැත්වීමට අපගේ මෙන්ම මහජනතාවගේ ද කැමැත්තම වෙයි. රට සංවර්ධනයට යොමු කරන ගමනේදීම චාරිත‍්‍රයෙන් පිරි නිවැරැදි අභිෂේක මංගල්ලය පවත්වනු මැනැවි”

මින් පෙර පැවැති අභිෂේක මංගල්ලය සොළී උවදුරු අතර යම්තමට කළ එකකි. සෙනෙවියන් ද, රටවැසියා ද එක්ව කියන මේ කතාව මා ඉටු කළ යුතුද? රජු මොහොතක් කල්පනා කළේ ය. පෙර චාරිත‍්‍ර එසේම රැකීම රජකමට ද ගෞරවයකි. එනිසා දෙවන මෙන්ම අංග සම්පූර්ණ අභිෂේක මංගල්ලය ඛ්ලමට සිතූ රජතුමා ඒ සඳහා බ‍්‍රාහ්මණ පිරිසක් ගෙන ඒම සඳහා අරාබි වෙළෙඳුන් හා මිතුරු සබඳකම් ඇති කොට ගෙන ඔවුන් දඹදිව තිබූ බුදුරදුන්ගේ කාලය තෙක් පැරැණි “සාළිග‍්‍රාම” නම් ගමට යවා බ‍්‍රාහ්මණයන් ගෙන්වා ගත්තේ ය. මේ කාලය සංවර්ධන කාර්යය ද වේගවත් වූ බැවින් සම්පත් හිඟයක්ද නොවීය. පොලොන්නරුවේ මේ සඳහා අලුතින් මාළිගාවක් චාම් ලෙස හදාගත් බව ද සඳහන් ය.

පුරාණ රජ නගරය අනුරාධපුරයේදී තම අභිෂේක මංගල්ලය උත්සව ශ‍්‍රීයෙන් සිදු කරන්නට සිතූ රජු භික්ෂූන්ගේ සහායද පැතීය. ඊට අමතරව අරාබි වෙළෙඳුන් හරහා සම්බන්ධ කැර ගත් බ‍්‍රාහ්මණ පූජකයන් පෙරහරකින් අනුරාධපුරයට ගෙන්වා ගත්තේ ය.

බේරුවලින් මේ පිරිස මෙරටට ගොඩ බට බව කියැවේ. කි‍්‍රස්තුª වර්ෂයෙන් 1088 වෙසක්පුර පොහෝදා අනුරපුරයේ රුවන්වැලි මහ සෑය ඉදිරිපිට දී චාරිත‍්‍රානුකූල ලෙස මේ අභිෂේක මංගල්ලය ඉතාම ඉහළින් පැවැත්විණි.

තම පූර්ණ අභිෂේක මංගල්ලයෙන් තුටු පත් රජු රන්කාසි පවා නිකුත් කළ බව ඉතිහාසයෙන් පෙනේ. අරාබි මුදල්වල ආකෘතිය අනුගමනය කරමින් රත්තරන් යොදා ගනිමින් කාසි මුද්‍රණය කිරීම තවත් සුවිශේෂ සිද්ධියකි.

මේ ආකාරයෙන් කාසි නිකුත් කිරීම මීට පෙර කිසිදු රජ කෙනෙකුන් නොකළ දෙයක් වන අතර විජයබා මහරජුගෙන් පසු පැමිණි රජවරු එතුමා අනුගමනය කරමින් කාසි නිකුත් කළද ඒවා නිකුත් කරන ලද්දේ තඹවලිනි. සොළීනගේ ග‍්‍රහණයෙන් අසරණව හෙම්බත්ව තිබූ රට රජතුමාගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා සම්පතින් ආඪ්‍ය වූ බව පෙන්වන හොඳම කැටපත රත්රන් යොදා මුදල් නිකුත් කරන්නට පවා හැකිවීම ය. රජතුමා ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීමට මහත් පියවර ගත්තේ ය. විශාල වැව් කිහිපයක් පිළිසකර කළ අතර ඇළ මාර්ග ද යථා තත්ත්වයට පැමිණ වූ බව වංශකතාව කියයි.

ඇළහැර ඇළේ කැඩී බිඳී ගිය කොටස් පිළිසකර කොට – මින්නේරිය කවුඩුලු හා කන්තලේ ජලාශයත් සම්බන්ධ වාරි මාර්ග පණ ගැන්වූ රජතුමා නාච්චදූව, මහකනදරාව, මහගල්කඩවල, මහමඬල හා පාණ්ඩවාපි යන වැව්ද පිළිසකර කළේය. මෙසේ වාරිමාර්ග අංශයෙන් කළ ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් රජරට යළිත් වරක් ස්වයංපෝෂිත කරවීමට රජුට හැකියාව ලැබිණ. ඉක්බිති මුළු රටම කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කරනු සඳහා අවශ්‍ය හැම පෙදෙසකම අලුතින් වැව් තැනීම කඩිනම් කළේ ය.

මහකෙළි, සරහොරු, මාදැත්තා, කටුනරු, පඩාවි, කල්ලගුල්ලික, එරත්ගල්ල, දිගුවන්, මඩවාවත, කිතු අග්ගපව්ව, වලහස්ස, මදුරුගල, කිඹුල්ගොඩ, පත්පහන්, කෘත යන මහ වැව් හා සිය ගණනක් එම ග‍්‍රාමීය වැව් මහා ව්‍යාපෘතියට අයත්ව තිබුණු බව අතීත පොත පෙතහි කියැවේ.

ඒ සමඟම මහරජුගේ අවධානය යොමු වූයේ සොළීන් විනාශ කරන ලද හා කාලයක් තිස්සේ ම නොසලකා හැර තිබුණු බුදු සසුන මෙන්ම විහාරාරාම පුනර්ජීවනයට පත් කිරීම ය. විහාර නීති නොසලකා හරින ලද සිය බිසවට පවා දඬුවම් පැමිණ වූ අවස්ථාවක් අසන්නට ලැබේ. භික්ෂූන් හා භික්ෂුණීන් පරිහානියට පත්වීමෙන් පසුව හින්දු ධර්මයේ ව්‍යාප්තිය ද දකින්නට ලැබුණු රජතුමා ඉන් වඩාත් සසල විය.

රටේ උපසපන් භික්ෂූන් නොසිටි අතර ඊට ප‍්‍රතිකර්ම වශයෙන් උපසම්පදා විනයකර්ම කරවන්නට බුරුමයෙන් අනුරුද්ධ රජුගෙන් ආධාර ඉල්ලී ය. ඒ අනුව පහළ බුරුමයෙන් (රාමඤ්ඤ දේශයෙන්) පිරිසුදු උපසපන් භික්ෂූන් හා පොත්පත් ද, දූතයන් යවා ගෙන්වාගත් රජු විශේෂයෙන් මහාවිහාරික භික්ෂූන් ගේ උපසම්පදාව සිදුකරමින් නිකාය සාමාග‍්‍රිය ද ඇති කළේ ය. එහෙත් අභාවයට ගිය භික්ෂූණී ශාසනය නඟා සිටුවීමට රජතුමා උත්සාහ කළ බවක් පෙනෙන්නට නොමැත. එදා බුරුමයේ අනුරුද්ධ රජුගෙන් මෙරට යළි උපසම්පදාව පිහිටුවීම මේ රජුගෙන් සිදුවූ තවත් විශිෂ්ටතම මෙහෙවරකි.

එදා භික්ෂූන් නොසිටි මොහොතක් බව තව දුරටත් නිකාය සංග‍්‍රහයේ යටත් පිරිසෙයින් සිල්වත් සඟ ප¾ඩිගමන් පමණ නොලදින් යනුවෙන් විස්තර වේ. එසේම රාජාවලියේ – දෙමළුන් විසින් කහවන් පොරවාපු කෙනෙකුන් නැතුව වැනැසූ හෙයින් ශිලාචාර භික්ෂූන් කෙනෙකු නොදැක යනුවෙන් ද, පූජාවලියේ ගණපූරණයට පමණ සිල්වත් භික්ෂූන් නැති හෙයින් යනුවෙන් ද සඳහන් වෙයි.

ලංකා-බුරුම රජුන් දෙදෙනාගේ මිතුරු සබඳකම් නිසාත් භික්ෂූන් පැමිණ උපසම්පදාව පිහිටුවීම නිසාත් භික්ෂූන් අතර ඇතිවූ සම්බන්ධකම නිසාත් සහයෝගයෙන් කටයුතු කරන්නට මහත් රුකුලක් ලැබිණ. ඒ අනුව රජුන් දෙදෙනාගේ අදහස වූයේ ලංකාව හා බුරුමය දෙරටට පොදු ති‍්‍රපිටකයක් ඇති කිරීමයි. විජයබා රජතුමා ති‍්‍රපිටකය පිටපත් කරවා නිකායන්තර වශයෙන් තිබූ මතබේදය ඉවත් කළේය. එසේම එසේ පිටපත් කළ ග‍්‍රන්ථ භික්ෂූනට පරිත්‍යාග කළේ ය.

සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය

පළමුවැනි විජයබාහු මහරජ රුවන්මැලි සෑ අබියස කළ දෙවැනි පූර්ණ අභිෂේකය දී රන්කාසි නිකුත් කළ බව මම පෙර දී කීවෙමි. පශ්චාත් පොලොන්නරු අවධියේ සිට භාවිත කාසි විශේෂ කිහිපයක් පුරා විද්‍යාව මගින් දැන් තහවුරු කරගෙන සිටී. කි‍්‍ර.ව. 7 – 8 සියවස්වල පටන් කෝට්ටේ රාජධානි සමය දක්වා පරිහරණය කළ කාසි මේ අතරට ගැනෙයි. මේ කාසි ඒකක අනුව වර්ග කිහිපයෙකි. කහවණුව, අඩකහවණුව, දෙඅක, අක, මස්ස හා අඩමස්ස යනුවෙන් මේවා හඳුනා ගත හැකි ය. මෙහිදී නිකුත් වූ කාසි රන් කාසි වූ බැවින් කහවණුව පිළිබඳ ව විග‍්‍රහයක් කිරීම වැදගත් ය.

රන් ලෝහයෙන් හෝ රන් ආලේපිතව රවුම් හැඩගත් මේ කාසි අභිමුඛයේ දෝතිය හැඳ සිටගෙන සිටින මානව රුවකි. වමතින් කිසියම් දෙයක් ඉහළට දරා සිටින අතර එය නෙළුම් මලක්, ගෝලයක්, අඩසඳ සංඛයක් හෝ පිච්ච පොහොට්ටුවක් විය හැකි ය. දකුණතින් පහනක් වැනි යමක් පහළට එල්ලාගෙන සිටියි. පාමුල ද නෙළුම් මල සහිත දණ්ඩකි. ප‍්‍රතිමුඛයේ අභිමුඛයේ මෙන් දෝතිය හැඳි කුවේර රුව වම්පසින් නාගරී අක්ෂරයෙන් “ශී‍්‍ර ලංකා විභ” නැතහොත් “ශී‍්‍ර ලංකා විභූ” යන්න සටහන් කැර ඇත. මේ කාසියක් සාමාන්‍යයෙන් (වර්තමාන මිනුමට අනුව) ග්‍රේන්ස් 68 – 70 බරකින් සමන්විත ය.

අනතුරුව තම ශාසනික සේවය ඇරැඹු රජතුමා අසිරිමත් සිරිපා භූමිය වෙනුවෙන් මහත් ගෞරවයක් දැක්වීය. එතුමා අඹගමුවේ පිහිට වූ ශිලා ලේඛනයක් මඟින් සිරිපා වන්දනාවේ යන බැතිමතුනට බොහෝ වරප‍්‍රසාද ලබා දුන්නේ ය. මේ ශිලා ලේඛනයේ ඔවුනට කළ අතිමහත් වරප‍්‍රසාදයන් අතර ගම් කිහිපයක් ද ශී‍්‍ර පාදයට පිදු බව සඳහන් ය. ගිලීමලේ ගම එසේ පිදුණකි.

රජරට සිට ශී‍්‍රපාද වන්දනාවේ එන බැතිමතුනගේ සුවපහසුව උදෙසා එම ගමනේ අන්තිම ගව්වේ සිට ගව් පහක දුරට ගව්වට එක බැගින් දාන ශාලා ඇතිකැර වන්දනාකරුවනට බත බුලතෙන් සංග‍්‍රහ කළ යුතු බවට ද ආවතේව කළ යුතු බවට රජු නියෝග කැර ඇත්තේ ඒවා තමා වෙනුවෙන් ඉටු කරන දේ ලෙස සලකන බව කියමිනි.

මේ හැර කුලීනයනට ශී‍්‍ර පාදය වන්දනා මාන කිරීම උදෙසා මහ මළුවෙන් පහළ මළුවක් සකස් කළ බව ද සෙල් ලිපියේ ඇතැයි කියැවේ. මෙම අඹගමු, සෙල් ලිපි සහිත භූමිය කාලයක් තිස්සේ පාසල් දරුවනගේ කෙළි බිමක් වී තිබු බව ගැමියෝ කියති. එසේම ඇතැම් පුද්ගලයන් තමන්ගේ සෝදා ගත් රෙදි ටික මේ සෙල් ලිපි ආශ‍්‍රයෙන් වේලාගත් කනගාටුදායක පුවතක් ද අසන්නට ලැබිණ. 1993 දී පමණ කම්බි වැටක් ගසා මේ ලිපි ආරක්ෂා කැර ගැනීමට රජය උනන්දු විය.

අඹගමුව සෙල් ලිපිය මුල් වරට කියවා ඇත්තේ හිටපු පුරා විද්‍යා මහ ඇදුරකු වන සී.පී. බෙල් මහතා ය. අඹගමුව ඉතා කුඩා ගමකි. මේ ගම උඩ බුලත්ගම නාවලපිටිය සිට කිලෝමීටර 5.65 දුරින් නුවර හැටන් පාරේ පිහිටියේය. මුහුදු මට්ටමෙන් අඩි 3000 ක් පමණ උස පෙදෙස “අකුරුකැටිගලකන්ද” නමින් හඳුනාගත් තැනෙක ලොකු ගල් දෙකක් උඩ මේ ශිලා ලිපි පිහිටියේ ය. එකක දිග අඩි 12 අඟල් 3 කි. පළල අඩි 9 අඟල් 3 කි. අනෙකහි දිග අඩි 9 ක් හා අඟල් 4 ක් වන පළල අඟල් 9 ක් හා අඟල් 7 ක් ලෙස දැක්විය හැකි ය. වර්ග දෙකක අකුරු පෙනී යන අතර හුඟාක් පරණ අකුරට වටා තරමක් වර්ධනය වූ අකුරු තිබේ යැයි බෙල් පෙන්වා දේ. සමහර අකුරු පැහැදිලි නැත. ප, ව, ට අකුරු අපැහැදිලි ය. නිශ්ශංකමල්ලගේ 12 වැනි සියවසේ සෙල්ලිපිවලට වඩා පුරාණ ප‍්‍රධාන අකුරු මෙහි ඇත. නිසැකව ම එය 11 සියවසට සමාන කාලයේදී කෙරෙන්නට ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.

දෙවනගල පළමුවැනි පරාක‍්‍රමබාහු සෙල් ලිපිය මෙහි ශෛලියයට කිට්ටු ය. ගැටලුවකට ඇත්තේ හත්වැනි මහින්ද අබාසලමෙවන් දෙව්ගොත් රැජන ගැන මෙහි සඳහනක් තිබීම ය. එක්කෝ මෙය වැරැදීමක් විය හැකි බව කියන පුරා විද්‍යා ආචාරිහු නිසැකව ම මෙය මහ විජයබා රජුගේ ලියවිල්ලක් පමණකැයි කියති. මෙහි කුමරාගේ මුල් කාලය ගැන කියැවෙන විස්තර අනුව මුලසාලා කියන ගම ද කිත්ති කුමරා එය සටන් පුහුණු වූ හැටි ද ආදිපාදවරයා ලෙස අවුරුදු 16 දි පත්වූ හැටි ද කේශධාතුකකසුබි හා කළ සටන් ද සඳහන් ය. ඒ අඹගමු ශිලා ලේඛනය පාඨක ඔබගේ වඩාත් පහසුව තකා මෙතැන් සිට පළ කරමි.

1. සිරිවත් අපිරියත් ලෙව්

2. ඉකුත් ගුණමුළින් උතුරත් මුළු ද

3. ඔදිවුහි අන් කැත්කුල පාමිලි කළ

4 රිවුහු අන්වයැ ඔ(කාව)ස් (රජ්) පරපුරෙන් බට්

5. කැත් (උසබ අභා සලමෙවන්) මහරජ පාසා (ට එ) ට

6. කුලෙන් සමදැ (දෙවුගො)න් රැජනැ කුසි (නි) පිඳැ ඈපාට

7. ගයා සිරි වින්දැ පිළිවළපෙ රජවැ මිණිවුමුනෙන් පැහැ

8. යූ ලොව්තුරා බිසෙස්නෙන් බිසෙස් (වූ ලක්දි) වු පොළො මෙහෙසු

9. රුන් පරපුරට තටිකක් (බ) Áදුවූ තුමා ස(ර)ණ නියරසින් නන්

10 රජ මුÁදුනැ බිසෙස්වූ සා(ා) හතෙදින් හිරු පැළකෙවින් මෙහෙසු

11. රුදළදැපින් උවිÁදු රජවිරිතින් සුරිÁදු (පබÁද) දෙනෙන් දිනිසුර

12 න් සත් (සෙතින් කිති) සුරු පැනැස(රි)න් සුරගුරු සොමිගුණෙන් ඬ(ස)

13 යුරු රූසරින් ක(Áද)ජ් කුලුණු(ස) (රින් බොසත් දුනු) සහවුටුනු රජබරණ කිර

14 ණ වු(ජු) රුදුරු (තුලතල) අ(රා) තුමා තු(නු) කප්තරුමින් නොමින් නන් රුවින් දුන් (ව)

15 තුරෙන් නන් දෙසෙන් ප(තළෙ) මුළු දිළිÁදු (සි)ත්සයුරැ පුරමින් මුළු ලෙව්නු ප

16 නළෙ යස පබÁද ඇති තුමා සිරින් (ලක්දිවු පහයා) නන නන දෙසෙහි ර

17 (ජු)න් වටන අසිරි (පඬුරු) සිරින් දවහ පිරෙනැ රජ ගෙදොරහි දසනා

18 වන් පැරැකුම් සිරින් සිරිලකට (යසෙ එළ) වූ (තුනුරුවනට පුද ඇජරන)

19 (ට උවටන්) යුත්නට ගැවුරු වියන්(නම) සසිරි සියනට නුගුරා මිතුරනට වි

20 යමි සතුරනට (ද) පැ සවු(සත්නම) කුලුණුවත් සබවට නුවණ

21 තුමහට එකත්සරු කළ සිරිසඟබො විජයභා හු රජපාවහන්

22 සෙ තුමා සියවික්මෙන් දෙමෙළබළන් මුළු අÁදුරු දුරුලා මුළු ලක්දිවු එක් සෙසත්

23 කැරැ රජ වළÁදමින් සත්තිස් හවුරුද්දක් ඉකුත් සත් ලැඟු අටතිස් වනුයෙහි මැ

24 Áදින්Áදින සÁද (පුර මස්) හි (පුර සතවක්) දවසැ (මෙ කැපැ) බුදුවූ කකුසÁද කොණග

25 මන කාස්සපෙ ගොතම යැ සිවු බුදුන් සරණ තඹුරු දා මුÁදුනෙන් ඉසිලූ ස

26 මනොළකුළෙහි පිහිටි පදලස් දා පිහිටි විසිතුරු සත්රුවනින් සැදුණු නන් බර

27 ණින් පුද කරයි නොඑක් පට වැරැලි වියන් දද (කො) ඩි නඟයි සිවු දෑ ගÁදින් අ

28 ලෙවුකොට තුමා මිණි වුටුනෙන් පදලස් දා සදා වැඩැසිටැ පදලස්

29 දා පිහිටි සමනොළකුළෙහි කම්නවාම් පුද සිතියම් වැට දලවනු ව

30 වහා මෙහි දාවÁදනට සිවු දෙෙ(ස)න් වැඩි මහසඟුන්වහන්සෙ

31 ට වටනා පිඩු පසයට හා සෙසු දා වÁදනට රැස්වන ආගත

32 (දුබබා) ගතයනට දෙන දන්වට (ට හා රජ) රට මැ(ගැ) අෙ(ග) පස්

33 ගවුයෙහි අප නැමින් ගවුයෙකැ දන්හලක් බැවින් කරවා

34 දානොපකරණ ඇතිකොට දන් දෙනු කොට හා පදලස් දා පිහිටි මළු(යෙ)න් පා

35 (තැ මළු) වක් කරවා සෙසු (අධමජාතින් ඉහි)දා වÁදනුකොට හා පෙරමළු

36 යෙහි මහවුරු බÁදවා දෙමැඟැ දෙදොරොටුවක් කරවා කෙසිමුÁදු ඇති

37 කොට රක්ෂා යොදැවියැයුත්තන් ඉහි දා වÁදනුකොට හා පදලසැ දැ

38 ල ඇතිකොට (අවටැ) කෙත් කරවනු කොට හා විල්බායෙ (ඇපසක් බෙදා)

39 මෙහි බද කෙලගමුව පුවක් අරැබ් එකක් තිනියගල් කොට

40 වැලි එකක් (සො)රගොඩ කොටවැලි එකක් ලියවළ කොටවැලි

41 එකක් බදුලුවනැ කොටවැලි එකක් උඩුහො කොටවැල්ලෙ (පුවක්)

2 කළඟ වෙලැ බද මකුළුමුල අඹගමුව (වැලි)ගම්(පො)ළ උල

43 පනා ඇතුළුවැ මෙතුවාක් තැන් කුසලාන් බො(පා)

44 කොට මෙයට (තඩිනාළා) රජ්කොල් කැමියන් නොවද්නා

45 කොට දෙරුවනැ දෙකම්තැන් නොවද්නාකොට මගිව් පියගි

46 ව් කුලී මෙලාසි වි(ඩෙ)වි(ඩෙ) දුන් පඬුරු නොගන්නා කොට(ව)

47 ගැල්ගොන් (කිරිෙඟෙ) රි අදනා වැරියන් නොගන්නා කොට

48 පස්මාදොසින් ඇතුළත් වරදක් කොට ගම් වන්න (වුන්)

49 ඇත ගම්බිම් පන්වා දුන්මුත් ගම් වැදැ නොගන්නා

50 කොට අටතිස් (ව)න්න (මතු) හවුරුදු පටන්කොට එක්තැන්

51 සමුයෙන් පා වැÁදැ ආ මෙකාප්පරවැදෑරුම් කළුන්න

52 රුබිම් අ(යන්නාත)වන් වරැ හක්කගම් කිතු කොළො

53 ඔගලු දොවු මහකිලිංගම් කි(ත්)ළිදෙටු රමු

54 ක්කඩු (අ)ගා රක්කමණන් වරැ කුඩසලා කිතු ඇ

55 තුළුවැ මෙතුවාක් සම්දරුවන් විසින් මෙ අත්තාණි

56 කණු පෙරැහැර දෙනු ලදි .. .. .. .. (යෙ බද) .. .. .. ..

57 .. .. (නවාම්කැම්නාවන්) .. .. .. .. (යලු ගම් ගො)

58 .. .. .. .. .. වහන්සෙ කරවනු (ලදි)

සෙල් ලිපියෙන් හෙළිවන විජයබා පුරාවත

ලංකා පුරාවිද්‍යාව විෂයයෙහි කළ සේවය සඳහා ශ‍්‍රී ලංකාවාසීන් මහත් සේ ණයගැති කරගත් එච්.සී.පී.බෙල් මහතා මේ සෙල්ලිපිය පරික්ෂා කළේය. පසු කාලයේ දී එහි ස්පශ¡ලාංඡන සකස් කරවා සංස්කරණය සඳහා එංගලන්තයට යවනු ලැබිණ.

මේ ලිපිය ලැබුණු ස්ථානය වන අඹගමුව, ගම්වාසීන් 500 ක් පමණ වෙසෙන කුඩා ගම්මානයකි. එය මහනුවර සිට හැටන් දක්වා යන හා ගිනිගත්හේන පසුකර ගැමි කුඹුරු අතරින් කොළඹට දිවෙන ප‍්‍රධාන පාරේ ඇති නාවලපිටියෙන් හැතැප්ම 565 ක් දුරින් උඩ බුලත්ගම තේ වතු අතර පිහිටියේය.

ආචාර්ය ඩේවි 1819 දී තමා ගිය සංචාරයක විස්තරයේ මේ ගම ගැන මෙසේ කියයි:

’ඊළඟ දිනයේ ගමන අපව ඉහළ බුලත්ගමේ අඹගමුවට ගෙනාවේය. එහි උසම කඳුවැටිය හරහා අපි ගියෙමු. එය මා හිතන හැටියට මූදු මට්ටමින් අඩි 3000 ක් පමණ උසය. එහි සිට හැම පැත්තේම දර්ශනය විශේෂයෙන් සොඳුරු විය. අප ගමනේ දී එක් පැත්තක සිට වගාකළ හරිත වර්ණ කුඹුරු මැද්දේ ඉහළ ඌවේ මෙන් කොළ පාටට තිබූ මුඩු කඳු කීපයක් ඇතුළු වූ කඳු අතරේ පහතින් පිහිටි අඹගමුව දෙස බැලුවෙමු.

මුහුදු මට්ටමෙන් අඩි එක්දාස් පන්සියයක්, හයසියයක් අතරේ උස්වූව ද එය හැම පැත්තෙන් ම කඳුවලින් වටය. මහවැලි ගඟ අඹගමුවේ පැරැණි මුරපොළ අසලින් ගලයි… ගඟ මෙතැන දී එතරම් විශාල නොවූ දොළක් වෙයි. ගංවතුර ඇති කාලයේ මිස එහි දණක් උසටවත් ජලය නැති තරම්ය.

’මේ ගමේත් ගම අවටත් කඳු දහයක් පමණ ඇත. ඉන් එකක් අකුරු කෙටූගල කන්දය. එය ඇත්තේ හස්තිගල යැයි කියන කන්දට නැඟෙනහිරින්ය. මේ ලිපිය ඇත්තේ නාවලපිටියේ සැන්ට් ක්ලයිව් වත්තේය. ජයසේකර මහතාගේ විස්තරය අනුව එය කන්ද මුදුනේ ගිනිකොනටත් වයඹටත් මූණලූ බැස්මක ගුණ්ඩු ගල් දෙකක කොටන ලද සේ පෙනෙයි. ඒ ගල් එබඳු නොයෙක් ප‍්‍රමාණයේ ගුණ්ඩු ගල් විස්සකින් පමණ වටවී ඇත.’

අඟල් දෙකේ සිට අඟල් තුන දක්වා වූ අකුරු අඟල් හතරක පමණ පරතරය ඇති රූල් අතරේ අක‍්‍රමවත්ව කොටන ලදය. ඒ අකුරු එක් ගුණ්ඩුගලක රළු මූණතේ අඩි 12 අඟල් 3 ඔ අඩි 9 අඟල් 3ක් ද අනිකේ අඩි 9 අඟල් 3 ඔ අඩි 9 අඟල් 7 ක් ද ප‍්‍රමාණය ගෙන ඇත. තවද ඒවායේ පැරැණි හා වඩා සංවර්ධිත අකුරු වර්ගයන්ගේ අපූර්ව සංකලනයක් පමණක් නොව සිංහල සෙල්ලිපිවල මෙතෙක් නොලැබුණු ඇතැම් හැඩයන් දක්නට ඇත.

මෙහි දැක්ක හැකි පරිදි ‘ඉ’, ‘ත’, ‘න’, යන අක්ෂර අතරේ වෙනස සොයාගත නොහැකි තරම්ය. ‘ප’, ‘ව‘, ‘ට’, යන අකුරු ද එලෙසම ය. නිශ්ශංකමල්ලගේත්, කි‍්‍ර.ව. දොළහ දහතුන සියවස්වල අනෙක් ලිපිවලත් තිබෙන ලෙසට ‘ල’ යන්නේ දීර්ඝ ස්වර ලකුණ (ඇලපිල්ල) අකුරේ අග කෙළවරට ඈඳ්‍ර තිබීම අනික් කරුණුවලට වඩා ලේඛනයේ නියම වයස හෙළි කරයි. පුරාක්ෂර විද්‍යානුකූලව එය කි‍්‍ර.ව. එකොළොස්වන සියවසට වඩා පැරණි විය නොහැකි වන තරම් ය.

අප දන්නා වෙනත් අනෙක් ලිපියක නොලැබෙන විරාම ලකුණු ද අවධානය කරන්න.

ලිපියේ ශෛලිය තරමක් පැරැණි කාලයේය. එය පබැඳූ ඇමතියා ධ්ඍ මහින්දගේ ඇතැම් ලිපිවල. විශේෂයෙන් ජේතවන පුවරුවේ වාග් විලාසය අනුගමනය කර ඇත.

I පරාක‍්‍රමබාහුගේ දෙවනගල ලිපිය ලියූ තැනැත්තා ද එම පුරුද්දම අනුගමනය කර තම ලිපියේ ප‍්‍රවේශය කොටස සඳහා මේ ලිපියෙන් හොඳ ප‍්‍රයෝජන ගත්තේය. පාඨකයාට ප‍්‍රහේලිකාවක් වන්නේ IV මහින්දගේ දෙමාපියන් වූ අභාසලමෙවන් හා දෙව්ගොත්බිසව I විජයබාහුගේ දෙමව්පියන් සේ පෙනීහිඳීමයි. මෙය එක්කෝ අත්වරදක් විය හැක.

නැතහොත් මේවා විරුදයන් පමණක් වූ නිසා පරපුරකින් වූ කාටත් යෙදිය හැකිවුණු හෙයින් හිතාමතාම ඉතුරු කරගන්නා ලදය. අප ලිපියේ සඳහන් වන රජු I විජයබාහු වන බවට අංශු මාත‍්‍ර සැකයෙක් නැත. එහෙත් ඔහුගේ දෙමව්පියන්, මුල් අවධියේ ඔහුගේ මුල්කාල ජීවිත විස්තර, ඔහු ජීවත්වුණු නිශ්චිත කාල පරිච්ඡේදය ආදිය විමැසුමට භාජනය කළ යුතුවෙයි.

ජීවිතයේ කොලු කාලයේ දී ඔහුගේ නම කිත්ති වූ බවත් දහතුන් වන වියේ දී ධීර වීරව වෙසෙසින් ධනු ශිල්පයෙහි කෘතහස්ත වූ බවත්, මූලසාල ගමේ විසූ බවත් පහලොස්වන වියේ දී ආදිපාද විරුදය ගත් බවත් දහසය වන වියේ දී හයමසක කාලයක් රෝහණය අත්පත් කරගෙන සිටි කෙසධාතුට පහර දී ඔහු මැරූ බවත්, දහහත්වන වියේ දී රෝහණය සතුරන්ගෙන් මුදාගත් බවත් මහාවංසයෙන් අපි දැනගතිමු.

මීළඟට ඔහු විජයබාහු යන නම ගත්තේය. රාමඤ්ඤයේ රජුට පඬුරුත් සමඟ දූතයින් එම රටට යැවීය. එය සිදුවූයේ තම රෝහණය පාලනයේ පහළොස්වන වර්ෂයේදීයි. එනම් තම වයස තිස්තුනක් වූ විට ඔහු සොළීන් යටපත් කිරීම සම්පූර්ණකොට අනුරාධපුරයට ඇතුළු විය. මීට අවුරුදු දෙකකට පමණ පසුව, සිය තිස් පස් වන වියේදී සකල සිරි ලකට රජු ලෙස ඔහු කිරුළු පළඳවනු ලැබීය.

මේ ඔහුගේ මුල් කාල ජීවිතයේ කැපී පෙනෙන සිද්ධීන්ගෙන් කීපයකි. හේ පොලොන්නරුවේ හතළිස් වසරක් රජකළේය. තම පොලොන්නරු රාජ්‍ය කාලයේ හතළිස් එක් වන වර්ෂයේ දී නොහොත් තම රෝහණ හා පොලොන්නරු රාජ්‍ය කාලයේ පනස් හය වන වර්ෂයේ දී තම හැත්තෑතුන් වෙනි උපන්දින උත්සවය පැවැත්වූ පසු මිය ගියේය.

සමනොලකන්ද මුදුනේ සර්වඥයන් වහන්සේගේ යැයි සඳහන, ශ‍්‍රී පාද ලාංඡනය උවැසි ජනතාවට පරිත්‍යාග කිරීම විජයබාහුගේ අවසාන කටයුතුවලින් එකක් වූ බව මහා වංස විස්තරයෙන් පෙනේ.

මෙය, ඔහුගේ කිරුළු පැළැඳීමෙන් පසු තිස්අට වැනි වර්ෂයේ දී (එනම් ඔහු ගේ රෝහණ – පොලොන්නරුව පාලනයේ පනස් පස්වන (38 + 17) වර්ෂයේදී) හෙවත් ඔහුගේ හැත්තෑතුන් වන වියේ දී, හිතෙන හැටියට ඔහුගේ මරණයට යන්තමකට කලින්, සිදුවන්නට ඇති බව මෙම අඹගමුව ලේඛනයෙන් සනාථවෙයි.

බුද්ධ වර්ෂයෙන් හා කි‍්‍රස්තු වර්ෂයෙන් පහත දැක්වෙන සිද්ධීන් සිදුවුණු නිශ්චය දිනයන් සොයා ගැනීමට දැන් අපි එළැඹෙමු. අපට එසේ කරන්නට හැකි වන්නට නම් අප මුලින් ධ් පරාක‍්‍රමබාහුගේ දිනය නිශ්චය කරගත යුතුය.

මේ රජුගේ කිරුළු පැළඳීමේ උත්සව තුනක් මහාවංසය විස්තර කරයි. පළමුවැන්න ඔහුගේ බාප්පා වූ කිත්ති සිරිමේඝට අනුප‍්‍රාප්තිකයාව මහාදිපාද පදවියට පත්කරන ලද අවස්ථාවය. දෙවැන්න ගජබාහුගේ මරණින් පසුවය තුන්වැන්න, ඊට අවුරුදු දෙකකට පසුව මානාභරණගේ මරණින් පසු මුළු දිවයිනේ ම අසහාය පාලකයා වූ විටය. එහෙයින් විවිධ ලේඛකයන් විසින් ඔහුගේ රාජපදවිප‍්‍රාප්තිය වෙනස් වෙනස් දිනයන් දීමට හේතුව මෙසේ තුන්වරක් ඔටුනු පැළඳීම නිසා විය හැක.

වළගම් අබා (වට්ටගාමණී අභය) රජුගේ 15 වන රාජ්‍ය වර්ෂයටත් තම රාජ්‍ය කාලයේ හතරවැනි වර්ෂයටත් අතර බොදු සමයේ අවපතනය පිළිබඳව පරාක‍්‍රමබාහුට දැනගන්ට ලැබුණු බව නිකාය සංග‍්‍රහය කියයි. ඔහු සමය ශුද්ධියක් කිරීමට පටන් ගත්තේ එවිටය. එනම් ඔහුගේ හතරවැනි අවුරුද්දේ දී ය.

වළගම්බාහු සිහසුනට පත්වූයේ බුද්ධ වර්ෂයෙන් 439 අවුරුද්දකුත් මාස 9යකුත් දින 10ක් ගිය තැන දී යයි එම පොතේම සඳහන් ය. එහෙයින් ඔහුගේ රාජ්‍ය කාලයේ 15 වන වර්ෂය පැවතුණු බුද්ධ වර්ෂ 455 සමඟ සැසැඳිය යුතුය. මේ වර්ෂයත් පරාක‍්‍රමබාහුගේ රාජ්‍ය කාලයේ හතරවැනි අවුරුද්දත් අතර අවුරුදු 1254 ක අන්තරයක් විය. එහෙයින් ඔහුගේ හතර වැනි රාජ්‍ය වර්ෂය පටන්ගත්තේ දැන් භාවිතවන බුද්ධ වර්ෂය අනුව බු.ව. 1709 හෝ කි‍්‍ර.ව. 1165 දී ය. එහෙයින් ඔහුගේ රාජ්‍යය කාලය පටන් ගත්තේ බු.ව. 1705 දී නොහොත් කි‍්‍ර.ව. 1161 දී ය. මේ දිනය ගල්විහාර සෙල්ලිපියෙනුත් 9 පේගුහී ඇති ධම්ම චෙතිගේ කල්‍යාණි ලිපිවලිනුත් තහවුරු වෙයි.

තව ද වළගම් අභාගේ පහළොස්වන වර්ෂයෙන් පසු 1254 වැනි වර්ෂය පරාක‍්‍රමබාහුගේ ඔටුනු පැළැඳීමේ උත්සවයෙන් හත්වැනි අවුරුද්ද වී යැයි දළදා පූජාවලිය කියයි. මෙයින් ගතවුණු බුද්ධ වර්ෂ 1702 හෝ පවත්නා කි‍්‍ර.ව. 1159 ලැබේ.

සිංහල පාළි පොතුත් සෙල්ලිපිත් මෙසේ ධ් පරාක‍්‍රමබාහුගේ ඔටුනු පැළඳීම් තුනක් පෙන්නුම් කරයි. පළමුවැන්න කි‍්‍ර.ව. 1153 දෙවැන්න කි‍්‍ර. 1159 සහ තුන්වැන්න කි‍්‍ර.ව. 1161 යන වශයෙනි. ඉහතින් කියන ලද පරිදි ඔහුගේ පළමු මෞලි මංගල්‍යය සිදුවූයේ ඔහුගේ පියාගේ සහෝදර හා ඇති දැඩිකරගත් පියා වූ කිත්සිරි මේඝගේ මරණින් ඉක්බිතිව අප‍්‍රමාදවය.

කිත්සිරි මේඝට රජයැයි අමතන ලද හෙයින් පරාක‍්‍රමබාහු මහාදිපාදයා පමණක් වුව ද ඔහුට ද රජ යැයි අමතන ලදී. දෙවැනි ඔටුවු පැළැඳවීම පවත්වන ලද්දේ ගජබාහුගේ මරණය සිදු වූ විගසින්මය. 1153 දී පැවැත්වූ ඔටුනු පැළඳවීමේ මංගල්‍යයටත් 1159 දී පැවැත්වූ දෙවැන්නටත් අතර අවුරුදු හයක අන්තරයක් තිබුණු බව මහාවංසයෙන්ම පැහැදිලි වෙයි.

මක්නිසා ද යත් පරාක‍්‍රමබාහු විසින් රෝහණ රාජ්‍යයේ කරන ලද බොහෝ සංවර්ධන කටයුතු ද ඔහුගේ යුද සූදානම් ද ගජබාහුට එරෙහිව කළ යුද මෙහෙයුම් ද මේ කාලය තුළට ඇතුළත් කරන හෙයිනි. තව ද ඉහතින් සඳහන් කළ යොමු අනුව කි‍්‍ර.ව. 1161 දී ඔටුනු පැළඳවීමක් තිබුණු බව අපි දනිමු. අපේ ගණන් බැලීමේ හැටියට මෙය අවසාන හෝ තුන්වැනි ඔටුනු පැළඳවීම බව පෙනේ. අවුරුදු දෙකක් ඇතුළත තවත් ඔටුනු පැළඳවීමක් වූ හෙයින් දළදා පූජාවලියේ සඳහන් වන්නේ තුන්වන ඔටුනු පැළැන්දවීම විය යුතුයි.

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: