කලා වැවට අධිපති පණම් බණ්ඩාර දෙවියෝ

පැරැණි ලංකාවේ වැව් අතර මධ්‍ය ප්‍රමාණ විශාලත්වයකින් යුතු කලාවැව ඉතා දර්ශනීය පරිසරයක පිහිටා ඇත. කලා වැව කරවූයේ ධාතුසේන රජුය. සැබැවින්ම කලා වැව යනු කලා වැව හා බළලු වැව යන වැව් දෙකක එකතුවකි. ඒ නිසා “පූජාවලිය” ග්‍රන්ථයේ මේ වැව හඳුන්වනුයේ කලා බළලු වැව නමිනි.

වැව් දෙක අතර කුඩා බිම් තීරුවකින් ඒ දෙක වෙන්වෙන අතර දිය ඇළකින් වැව් දෙක සම්බන්ධ වේ. මේ බිම් තීරුවේ අතීතයේ බලගතු කුවේණි කෝවිලක් තිබූ බව ජනප්‍රවාදවල කියැවෙයි. බිරිය හා අමනාපව වනගත වී මුව රංචුවක් සමඟ දිගු කලක් වනයේ ජීවත් වූ මිනිසකු හෙළි කළ රහසක් අනුව කල වැලකින් හිරවී පැවැති ස්වභාවික ජලාශයක් විශාල කොට බඳවා ධාතුසේන රජු කලාවැව කරවා ඇත. මෙහි එක් කෙළවර විජිතපුර විහාරය වෙයි. විජිතපුර විහාරයේ සිට සැතපුම් දෙකක් පමණ අෑතින් අවුකන බුදුපිළිමය ඇත. කලා වැවෙන් ඇරැඹෙන යෝධ ඇළ හෙවත් ජයගඟ මඟ දිගට වැව් පෝෂණය කරමින් අනුරාධපුර දක්වා ගලා යයි.

ගලේවෙල නගරයේ සිට මඩාටුගම හරහා කලා වැවට විහිදෙන පාර සිත් වශී කරවයි. වැව පීරාගෙන එන සුළඟ ඩා බිඳු නිවා ඇඟේ ගත සනහාලයි. කලා වැවේ යෝධ පැරැණි බැම්ම දිගේ මාර්ගය විහිදී ඇත. කුඩා කඳුවලින් ගලා එන ඔයවල් තාරපාර දිගේ ගලා ගොස් වැව දෙසට එක්වෙයි. වර්ෂා වේලාවට ඔයවල් ජලයෙන් පිරුණු විට තාර පාරේ ගලන ජලකඳ අඩු වනතුරු යෑම අසීරු වෙයි. මාර්ගය දිගටම කලා වැව පිරුණු ජල කඳ තෙමා ගෙන එන සීතල සුළං මැද සිත ගත ප්‍රබෝධවත් වෙයි. කලා වැව් අඩවිය හා අවට පරිසරය පණම් බණ්ඩාර දෙවියන්ගේ අඩවියයි.

පණම් බණ්ඩාර දෙවියන්ගේ අණසක හාස්කම් කලා වැව හා අවට ගම්වල පැතිර පවතී. අස්වැන්න කපාගත් පසු පණම් බණ්ඩාර දෙවියන්ට විශේෂ පුද පූජා පවත්වයි. සඳ පහන් රාත්‍රිවල පණම් බණ්ඩාර දෙවියන් වැවේ දිය ක්‍රීඩා කරන බව ඔරු පදින බොහෝ දෙනකු දැක ඇත. වැව් සුළං කඳ දෙබෑ කරමින් සඳපායා ඇති පාළු රාත්‍රිවල සුදු අසුපිට නැඟී පණම් බණ්ඩාර දෙවියෝ කලා වැවේ මාර්ගය ඔස්සේ අසු මෙහෙයවති. ලෙඩට දුකට අපල උපද්‍රවවලට පණම් බණ්ඩාර දෙවියන්ට භාරහාර වී පුදපූජා පැවැත්වීම වැසියන්ගේ චාරිත්‍රයයි.

පණම් බණ්ඩාර දෙවියන්ට අමතරව කලාවැව ආරක්ෂාවට කඩවර දෙවි කැපවී සිටියි. ධාතුසේන රජු කරවූ කලාවැවේ ගංවතුරකදී වැව් බැම්බ කැඩී යෑම වැළැක්වීමට මැටිදිය මාපකයක් විය. එය භාරව කටයුතු කළ මුරකරුවෙක් විය. එක් අන්ධ භික්ෂුවකගේ සැරයටිය වැදී මැටිදිය මාපකය බිඳී ගියේය. එක් දිනක පටන් ගත් නා කපන වැස්ස දින දෙක තුනක් නොකඩවා පැවැතුණේය.

මුරකරු වරින්වර මැටි දිය මාපකය වෙත ගොස් වැවේ ජල ප්‍රමාණයේ වැඩිවීම වරින්වර පරීක්ෂා කිරීමට විය. එය හිමි නමගේ සැරයටි පහරින් බිඳී ගොස් තිබුණු බැවින් මැටි ජල මාපකය වැවේ ජල මට්ටමේ වැඩිවීම පෙන්නුම් කළේ නැත. රාත්‍රියේ අන්ධකාරය සමඟ කලා වැවේ යෝධ බැම්ම කඩාගෙන වැවේ වතුර දෝර ගලන්නට විය. ශෝකය ඉහවහ ගිය මුරකරු කැඩී ගිය වැව් බැම්ම මත නැඟී වැව් දිය කඳට පැන මළේය.

ඉන්පසු කඩවර දෙවි නමින් භූතාත්මයක් ලබා අදත් කඩවර දෙවි ලෙස පුද පූජා ලබමින් බාරහාර ගනිමින් කලාවැව ආරක්ෂා කරයි. බහිරව දෙවියන්ට කැප වූ දේවාල කලා වැවේ ඇත. කලාවැව නුදුරු යටිගල්පොත්ත ගමේ පණම් බණ්ඩාර දෙවියන්ට පැවැත්වූ පූජා උළෙලක් බැලීමේ වාසනාව දඹුල්ල උපගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී මට හිමිවිය. අඳුරු වැටෙන විට යක්දෙස්සන් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරමින් පුරා පැය ගණනාවක් කවි කියමින් බෙර ගසමින් – නටමින් පූජා පැවැත් විණ. ඉන්පසු රැස්ව සිටි පිරිසට දෙවියන්ට පිදූ දේව පූජාව විශාලව වැඩුණු නෙලුම් කොළවල තබා කෑමට බෙදා දීම සිදුවිය.

රැස්ව සිටි අය ඉමහත් භක්තියෙන් ගෞරවයෙන් ලැබුණු දේව පූජාව නෙලුම් කොළවල තබා කෑමට බෙදා දීම සිදුවිය. රැස්ව සිටි අය ඉමහත් භක්තියෙන් – ගෞරවයෙන් ලැබුණු දේව පූජාව නෙලුම් කොළ මත තබා ගෙන අනුභව කරන අයුරු දැක ගත හැකි විය.

කලාවැව අවට ගම්මානවල මහලු හා මැදිවිය ගොවීන් අතර පණම් බණ්ඩාර දෙවියන්ට කැපවූ ගායනා කරන කවි රසවත් තාලයට කටපාඩමින් කියනු ඇසිය හැකිය. ගිනියම් අඩවිය කලාවැවේ සීතල ජල කඳෙන් තෙත් කළ බැවින් එයට කළ ගුණ ලෙස පණම් බණ්ඩාර දෙවියන් දෙවනුව කඩවර දෙවි පිදීම ගැමියන්ගේ කළගුණ සැලකීමක් මෙන්ම අව්‍යාජ ගැමි ජීවිතය විදහාපාන කැටපතක් වෙයි.

එස්. කේ. ජයවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: