Posted by: lrrp | August 16, 2007

ගැමුණු නිරිඳුන්ගේ යකඩදෝලියක ගැන කියන කොස්සෝකන්ද

රිටිගල කඳු පන්තියෙන් මෑත්ව ගැමුණු නිරිඳු රජරට බලා යන්නේ, කසාගල හෙවත් කොස්සෝකන්දේ කඳවුරු බැඳගත්තේ ය. ‘කාසපබ්බත’ නමින් මහාවංසයේ සඳහන් වන මේ පින් බිම ලංකාවේ ඉපැරැණි ම බෞද්ධ පූජ්‍යස්ථානයකි. වංශකතාගත තොරතුරු අනුව අනුරාධපුරයේ ආරම්භය දක්වා ම මෙහි ඉතිහාසය දිවෙයි. අදින් වසර 2400 කටත් වඩා ඉපැරැණි කසාගල රජ මහ වෙහෙර, කොස්සෝකන්ද රාජ මහා විහාරය නමින් හැඳින්වෙන මේ ස්ථානය හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ‘කොස්සෝගමකන්ද’ ලෙස ශිලාලේඛන සංග‍්‍රහයෙහි සඳහන් කරනු ලැබිණි.

උතුරු මැද පළාතේ් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මාමිණියා කෝරළේ මරදන්කඩවල නගරයට සැතැපුමක් පමණ නැඟෙනහිරින් හා අනුරපුර ශුද්ධ නගරයට සැතැපුම් 21 ක් දකුණින් මේ මනරම් පින් බිම පිහිටා ඇත. ප‍්‍රාග් බෞද්ධ යුගයට අයත් විහාරයක් ලෙස මෙහි පෞරාණිකත්වය හා පූජනීයත්වය දියුණු තියුණු වෙයි.

අනුරාධපුර නගරයේත්, අනුරාධපුර රාජධානියේත් ආරම්භකයා පණ්ඩුකාභය රජතුමා ය. එතුමන් තම මාමාවරුන් සමඟ අරිට්ඨ පබ්බතයේ (රිටිගල) සටන් කිරීමේ දී කසාගලින් හත්සියයක සේනාවක් කැටුව ගිය බව වංශකතාවෙහි සඳහන් ය. මේ නිසා පණ්ඩුකාභය සමයේ දී පවා මේ පෙදෙස ජනාකීර්ණ පෙදෙසක් ව තිබූ බව නොරහසකි. කි‍්‍ර.පූ. 5 වැනි සියවසට අයත් කසාගල පුරාණය ඉතා දීප්තිමත් ව තිබෙන්නට ඇත.

අනුරධපුර යුගයේ අවසාන භාගයේ ඇති වූ අභ්‍යන්තර අවුල් වියවුල් හා දකුණු ඉන්දීය ආක‍්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමඟ ම මේ ස්ථානය ද වල් බිහිවන්නට ඇතැ යි කල්පනා කළ හැකි ය. දිගු කලක් ජනශූන්‍ය ව ගන කැලෑවෙන් වැසී අලි, කොටි, වලස් ආදී වනසතුන් ගේ වාසස්ථානයක්ව පැවැති මේ ස්ථානය පසුකලෙක වනවාසී භික්ෂූන් වහන්සේලා ගේ ආරණ්‍ය සේනාසනයක් බවට පත් විය. කි‍්‍ර.ව. 19 වැනි සියවස අවසාන භාගය වන විට මේ ස්ථානය ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් සඟ පරපුරක් බිහිකිරීමට ද මූලස්ථානයක් වී ඇත.

තම මී මුත්තාට සටනේ දී මහත් රණබිමක් වූ කසාගල මගේ ද යහපත පිණිස වේ යැයි කල්පනා කළ ඒ ගැමුණු නරනිඳු කාසපබ්බතයේ කඳවුරු බැඳ එළාර ගේ විජිතපුර බලකොටුවට පිවිසෙන හැටි බලමින් සිවු මසක් රැඳී උන්නේ ය.

පොසොන් සඳ රන් තැටියක් මෙන් අහසේ නැඟිණ. පොසොන් උත්සවය සඳහා ‘පජ්ජෝත’ නම් වැවක් කැරවීමට යුහුසුලු වූ රජ වැව බඳවා එහි ජල කී‍්‍රඩා කෙළේය. ඉක්බිති එහි කරවූ නුවර පොසොන් නගර නම් විය.

මහාවංසගත ඒ ප‍්‍රවෘත්තිය සත්‍ය ඓතිහාසික සිද්ධියක් වශයෙන් ගැනීමට කසාගල අසල පිහිටා ඇති පද්දා වැව හා කදිරගාම දැක්විය හැකි ය. එකල ’පජ්ජෝත’ වැව කටවහරට අනුව දැනට පද්දාවැව වී තිබේ. එකල කඳවුරුගම හෙවත් කඳවුර අසල ගම මෙකල කදිරාගම ලෙසින් ව්‍යවහාර වනු ඇත.

අවුරුදු දහසකට අධික කාලයක් කාලයේ වැල්ලෙන් යට වී තිබුණු කසාගල ඉතිහාසය යළි හෙළි වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්ගෙනි. මෙහි ඇති දුටුගැමුණු සමයට අයත් සෙල්ලිපිය කියැවූ එතුමා, එය සිංහල බසින් ලියැවුණු පළමුවන පද්‍යය බව කීය. එමතු ද නො ව එහි දුටුගැමුණු රජු ගේ අග බිසව ගේ නම සඳහන් වන බවත් ප‍්‍රකාශ කෙළේ ය.

මේ තොරතුරු පුවත්පත්වල හා ශිලාලේඛන සංග‍්‍රහයෙහි පළකැරවීමෙන් මතු සිංහලයන් ගේ මේ අපරාජිත ශුද්ධ භූමිය පුරා විද්‍යාඥයන් ගේත්, උගතුන් ගේත් අවධානයට ලක් විය. මෙහි ගලක කොටා ඇති ගැමුණු සමයට අයත් සෙල්ලිපිය මෙසේ ය.

“මහ රක්ඬහ ගාමිණි – අබයහ දෙවනපිය
රමනි බරියෙ මිලක තිස – විහාරෙ කාරිකෙ කතිය”

“දෙවියන් ට පි‍්‍රය වූ ගාමිණි අභය රජතුමා ගේ බිසව වූ කතිය විසින් විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමියන්ට පූජා කරන ලදී” ඒ එහි සිංහල අනුවාදයයි. දුටුගැමුණු රජතුමා ගේ යුද පෙරමුණේ පන්සියයක් භික්‍ෂූන් වැඩම කළ බවත්, උන්වහන්සේලා අතර මිලක්ඛතිස්ස නම් හිමි නමක් සිටි බවත්, ථූපවංසයේ සඳහනි. ඒ අනුව මේ සෙල්ලිපිය ඒ වංශ කතා ප‍්‍රවෘත්තිය තහවුරු කරන්නකි.

මාගම සිට අනුරපුරය දක්වා පා ගමනින් වැඩි ඒ තෙරුන් වහන්සේ විෂයයෙහි කම්පික මහරජ, එළාර ගේ බලකොටුව පෙනෙන මානයේ දී මෙසේ විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමි ප‍්‍රමුඛ සංඝයාට පූජා කරන්නට ඇතැ යි අපට සිතිය හැකි ය. මේ අනුව බලන විට කසාගල විහාරය ඓතිහාසික පුරාවිද්‍යාත්මක මෙන් ම සමාජ විද්‍යාත්මක වශයෙන් ද වැදගත් තැනෙකි. මේ පළාතේ ජනවහර අනුව ‘කටියාව වැව’ නමින් ළඟ ඇති වැවක් ද ගැමුණු දේවිය කරවන්නට ඇතැ යි කියැවේ. ගැමුණු රජතුමා ගේ අග බිසව ගේ නම කිසි ම ගිරි ලිපියක හෝ වංශ කතාවක සඳහන් නො වී මෙහි මෙසේ සඳහන් වීම ගැන උගතුන් අතර විවාද පවතී.

පරණවිතාන සූරීන් ‘කතිය’ යනු ගැමුණු රජු ගේ අග බිසව ලෙස පෙන්වා දුන්නත්, පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල හිමියෝ ඒ අදහස බැහැර කරති. උන්වහන්සේ අනුදැන වදාරන්නේ ගැමුණු රජු ගේ අග බිසව ‘කතිය’ නො ව ‘රාජිතා’ බව ය. කතිය මෙහි කළ පූජාවන් සැබෑ වුව, ඇය අග බිසව නො ව, පරිවාර බිසවක් පමණකැ යි උන්වහන්සේ වදාරති. ‘කතිය’ වූ කලි රජු ගේ යකඩ දෝලි බිසවක වන අතර, රන්දෝලි බිසව ‘රාජිතා’ යැයි ඒ හිමියෝ කියති.

මේ මනරම් පින් බිමේ ඇවිද යන මට පැරැණි නටබුන් රාශියක් දක්නට ලැබිණ. ඒ අතර බ‍්‍රාහ්මී අක්‍ෂාරයෙන් ලිඛිත, නිදන් හොරුන් විසින් අඩක් කඩා දමා ඇති විශාල සෙල්ලිපියක් ද, ගුහා ලිපි කිහිපයක් ද, දෙවන පෑතිස් රජු ගේ යැයි සැලැකිය හැකි ශෛලමය ප‍්‍රතිමාවක් ද, කටාරන් කෙටූ ගල් ගුහා කිහිපයක් ද, ඇත් අස් ආදි නිදන් ලකුණු රාශියක් ද පැරැණි ගඩොල් ආදිය ද මේ අතර විය. මෙහි පුරා විද්‍යා නටබුන් රැසක් තවමත් කැලයෙන් වැසී ඇතැයි සිතමි.

දේවානම් පියතිස්ස රජු විසින් කරවන ලද්දකැ යි සැලැකෙන චෛත්‍යයක් කොස්සොව කන්දේ තිබේ. මහින්දාගමනයෙන් පසු බුදුසමය වැලැඳ ගත් දෙවන පෑතිස් රජතුමන් කළ ශාසනික කි‍්‍රයා අතර, අනුරාධපුරයට හතර පැත්තේ යොදුනක් දුරින් ස්තූප හතරක් කැරැවූ බව වංශකතාදියෙහි සඳහන් ය. එනිසා මෙය දකුණු දිසාවේ කලා වූ දාගබ විය නො හැකි ද?

පජ්ජෝත වැවේ දිය කෙළි පැවැත් වූ රජ, එළාර ගේ පවත් දැන ගැනීමේ නොතිත් ආශාවෙන් පසු වන බව දුටු මහ සෙනෙවියෙක් රජු ඉදිරියට පැමිණියේ ය.

“මහරජ, එළාර නම් සොළී බලපතියා තමන් ගේ බලකොටුවට යොදුනක් දුරින් ඔබතුමා නගර තනවා වැව් සාදවා ජල කී‍්‍රඩා කරන බව අසා බොහෝ කම්පා වී ඇත්තේ ය. අප ගේ හරස් මාර්ගය ගැන තොරතුරු දැනගත් හෙතෙම ගඟ දිගට තිබූ සියලු කඳවුරුවල සිටි සොළී හමුදාව විජිතපුරයට කැඳවා ගෙන විත් තිබේ. එමතු ද නො ව මහරජුනි, දකුණු ඉන්දියාවේ සිටින තම බෑණා කෙනෙකුන් වන භල්ලුක නම් මිනීමරු සොළී නායකයා ද උදව්වට කැඳවන්නට දූතයන් පිටත් කැර යවා ඇත්තේ ය.”

සෙනෙවියාගේ කතාවෙන් ගැමුණු නරනිඳු තරමක්වත් සසල වූ බවක් නොපෙනිණ. රජු යමක් කීමට මත්තෙන් තවත් පයිංඩකරුවෙක් දොහොත් මුදුන් දී රජු ඉදිරියේ සිට ගත්තේ ය.

මහරජුනි, මහාදේවිය ඔබ හමුවන්නට කැමැත්තෙන් සිටින්නී ය. එපවත් සැළ කරන්නට මට අණ ලැබිණ! යි ඔහු කී ය.

විහාර දේවිය – මවු බිසවුන් වහන්සේ ගේ අණට කීකරු ව රජ වහා නික්මිණ. සැණෙකින් මවු ඉදිරියේ එකත්පස් ව සිටියේ ය.

කුමරුවනි, මට රජරට යුදය ගැන බොහෝ දේ කීමට ඇත්තේ ය. රහස් උපාය මාර්ග කීපයක් ද කියමි. එය අසන්නැයි.” විහාරදේවිය කීවා ය. ඇගේ පරිවාර ස්තී‍්‍රන් ද පිටත් කැර හැර, දෙහෝරාවක් පමණ ඒ මවු බිසවුන් හා කුමරු අතර මන්ත‍්‍රණය පැවැතිණි.

(සිළුමිණ)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: