Posted by: lrrp | August 17, 2007

විජිතපුර සටනට මොහොත දැන් එළැඹී ඇත

කොස්සෝකන්දේ පජ්ජෝත වැවේ ජල කී‍්‍රඩාවෙන් මතු යළි රැස්වූ ඒ බලසෙන් ගැමුණු නරනිඳු පිරිවරා පැමිණියේ ගල්කුලම හරහා ඔක්කම්පිටියේ තලගුරු වෙහෙරට ය. මේ ගමනේ දී තිරප්පනේ නමින් දැන් හැඳින්වෙන ස්ථානයේ ඒ බළ සේනාවේ අලි ඇතුන් ගාල් කරන ලදී. අසරුවනට මෙන් ම අශ්වයනට ද මඳ විරාමයක් ලැබිණ.

එප්පාවල – කටියාව වැව සමීපයෙහි විහාර මහා දේවිය හා පිරිවර ස්තී‍්‍ර ජනයා නැවතුණු තැන හැටියට සැලැකේ. භික්ෂූන් ඒ වැව ඉස්මත්තේ ළඳු කැලයෙන් පෝෂිත වන ඉසව්වේ දන් පිසීමට පිරිවර ඇති ව නවත්වා, නිරිඳු බළසෙන් පිරිවරා මේ ගමන පැමිණියේ ඇයි දැයි දැන් කා හටත් කුහුලකි.

ගැමුණු නරනිඳු යුදයෙහි දක්ෂ රණ ශූරයකු මෙන් ම පවත්නා තත්ත්වයන් පිළිබඳ නිබඳ අවදියෙන් සිටින්නෙකි. මහියංගණයේ සිට කසාගල ඉවුර තෙක් තමා අටවන ලද ප‍්‍රාදේශික කඳවුරු සියල්ල පයට හසු වූ පස් පිඬක් සේ සුනු විසුනු කළ ඒ යෝධ හමුදාව කෙරෙහි එළාර ගේ භීතිය නැඟී ආයේ ය.

ඒ නිසා ම හෙතෙම ගැමුණු ගේ ගමන් මඟ ගැන වඩා සෝදිසියෙන් ඔත්තු හමුදා මෙහෙයවමින් සිටියේ ය. කසාගලින් තමා ගේ ප‍්‍රධාන බලකොටුව එල්ල කැර ඔක්කම්පිටියෙන් පැන එන හමුදා ගැන දැන ගත් සොළී රජු විජිතපුර මහා බලකොටුව රැක ගැනීමට මහත් ආරක්ෂක පියවර ගෙන තිබිණ. මහවැලි ගඟ දිගට ඇති වෙනත් කඳවුරුවල භටයන් ද එහි කැඳවා තිබිණ.

ඔහු මේ හමුදා සේනාංකයක් කොයි මොහොතක හෝ තමා ගේ බල ඇණිය නසන පරමාර්ථයෙන් එවන්නට කටයුතු යොදන බව ගැමුණු කුමරු තේරුම් ගත්තේ ය. ඒ නිසා නිරිඳු ස්ති‍්‍රන් හා සංඝයා තැන තැන නතර කරවා මේ ගමන ආයේ ය. රජු නැවතුණ මේ ස්ථානය ඓතිහාසික වශයෙන් ද අතිශය වැදගත් රමණීය තැනෙකි.

තල්පත්වල අකුරු ලියූ හිමියන් වැඩ සිටි වෙහෙර පුරාණ තලගුරු වෙහෙර වී යැයි මතයකි. මෙසේ තල්පත්වල අකුරු ලියූ ඒ හිමියන් ධම්මදින්න නම් මහ රහතන් වහන්සේ ය. මෙහි තිබෙන කිරි වවුල් ගුහාව නම් තැන ඒ හිමියන් සතිපට්ඨාන සුතුර දේශනා කරන විට එය අසා කිරි වවුලන් සත්සියයක් ඒ අත්බවින් මිදී දෙව් ලොව ඉපි ද, පසු කාලයක මනුෂ්‍යාත්මභාව ලැබ නිවනට යොමු වූ බව ජනකතා පුරාණෝක්ති අතර එයි.

මේ කතාවට සමාන කතාවක් කිරින්ද යාල හන්දියේ වන ගහණයට යට වුණු නිමලව ආරණ්‍ය සේනාසනය හෙවත් පුරාණ තලගුරු වෙහෙර නම් වෙනත් ස්ථානයක ද එයි. එය ද හැඳින් වී ඇත්තේ තලගුරු වෙහෙර නමිනි. එහි ද වැඩ සිටියේ ධම්මදින්න නම් මහරහත් නමකි.

උන්වහන්සේ එහි දී සතිපට්ඨාන සුතුර දේශනා කරන විට කහ ගැරඩියෙක් දහම් අසා සිටි ගෙම්බකු ගිල දැම්මේ ය. දහම් ඇසූ පිනෙන් ගෙම්බා තව්තිසා දෙව්ලොව ඉපැදුණ බව එහි දහම් කතා පුරාණයේ එයි. මේ ස්ථාන දෙකේ ම ධම්මදින්න නම් මහරහතන් වැඩ සිටි ගල්ගුහා කුටි ඇත්තේ ය.

නිමලව වැඩ සිටින කල කිසියම් ධර්ම සාකච්ඡාවකට ධම්මදින්න මහ තෙරුන් තිස්සමහාරාමයට වැඩියේ සෘද්ධියෙනි. අහස් තලයෙනි. මේ දුටු එතැන රැස්වී සිටි අනෙක් භික්ෂූහු මොහු තුළ රහත් බවක් නැත, මේ තරමක අභිඥාවක් පමණයි.” යනුවෙන් සිතූ හ.

භික්ෂුහු සිතූ කරුණ අවබෝධ කැර ගත් ධම්මදින්න රහත් හිමියෝ ‘මාගේ රහත් බවට මේ මහපොළොව පවා සාක්කි’ යැයි පවසා තෙවිටක් තම පා සුළැඟිල්ලෙන් මිහිකතට තට්ටු කළහ. මහ පොළොව බෙරයක් මෙන් හඬ තැළුෑ බව ජන කතාවේ එයි.

ස්ථාන දෙකකම එක ම නමින් විහාරයක් තිබීම, එකම රහත් කෙනෙකුන් සම්බන්ධයෙන් කතා පැතිරීම, වැඩ සිටි කුටි ස්ථාන දෙකෙහිම පැවතීම සම්බන්ධයෙන් මා තුළ පැවැති කුහුල අවිනිශ්චිත බව මම එල්ලාවල නායක හිමියනට පැවැසීමි. උන්වහන්සේගේ පිළිතුර වූයේ එක ම හිමියන් විහාර දෙකේ ම වැඩ සිටින්නට බැරි මන්දැ යි යන්න ය.

කලගුරු වෙහෙරේ වැඩ සිටි හිමිවරුනට පැවැති දුර්භික්ෂ කාලයක දී මහනුවර යුගයේ සිටි මේඝවර්ණාභය නම් රජු මඟªල් ඇතු පිටින් කලගුරු වෙහෙරට වැඩි බව කියැවේ.

වල්පොල රාහුල හිමියන් ගේ ‘ලංකා ශාසන ඉතිහාසය’ පොතේ ද සඳහන් එපුවත පිළිගන්නෝ අදත් එපෙදෙස සිටිති. එදා මඟªල් ඇතු බැඳ දැමූ දම්වැල දැනටත් විහාරයේ ඇත. කි‍්‍ර. පූ. 4 – 5 අතර කාලයේ සද්ධාතිස්ස මහ රජු කළ විහාර කර්මාන්තයක් ලෙස සැලැකෙන කලගුරු වෙහෙරේ එක තැනෙක නාග භවන නම් ස්ථානයක් ද වෙයි. තවමත් කිරිවවුල් ගුහාව ද පවතී.

අති දැවැන්ත නාගයකු විසින් මේ විහාරයේ ගල් පවුරු හා නටබුන් රැක සිටින්නේ යැයි ගැමියෝ කියති.

වැඩුණු මිනිසකුගේ කලවා පෙදෙසක් තරම් ශරීරයක් ඇති අඩි 12 – 13 ක් දිග මේ නාගයා තවමත් දිවමන් බව කියයි. මා මින් පෙර මෙවැනි නාගයන් අතීතයේ වැඩ සිටි බිමක් ලෙස දුටුයේ ගිරුවාපත්තුවේ නයිගල නම් විහාරයේ ය. ගැමුණු නරනිඳු මේ විහාරයේ ගිම් නිවන කල පයිංඩරුවෙක් රජු සොයා පැමිණ දොහොත් මුදුන් දී වැන්දේ ය.

“අවසර දේවයන් වහන්ස, එළාරගේ බල ඇණියක් පැමිණ නුදුරු ගල්කුලමේ අපේ භටයන් වනසා දමමින් සිටිති. සුරනිමල යෝධයා හා වේළුසුමන යෝධයා උන් හා මහත් සටනක් කරති. ඔවුන් පැමිණ ඇත්තේ ඔබවහන්සේ රැඳී සිටින කලගුරු වෙහෙරටයි.”

රජ වහා ම කි‍්‍රයාත්මක විය. බල ඇණියට සූදානම් වන සංඥාව නිකුත් කැරිණි. රජ කඩොලැතු විහාරයේ තබා අජානේය අසකු පිට නැංගේ ය. මහා සේනාව ඔල්වරසන් දෙමින් ගල්කුලම බලා පිටත් වූහ.

එහි එන විටත් එතැන එක ම හිස් ගොඩක් විය. සුරනිමල යෝධයා තලා දැමූ සොළීන් ගේ සිරුරු තැන තැන විය. ලභියවසභ, කංජදේව, පුස්සදේව, භරණ ආදි යෝධයෝ දෙපස ඇති ගස් කඳන් බිම පෙරළා සොළීනට පහර දෙමින් සිටියහ.

කුමරුන් එහි පැමිණෙන විට කඩු ගාන්නට ලැබුණේ එක ම එක සොළියකු පමණි. බොහෝ සොළීන් මෙන් ම ධීර වීර සිංහල සෙබළුන් ගේ සිරුරු ද තැන තැන වැටී තිබෙනු දුටු කුමරු තුළ ශෝකයක් උපන්නේ ය.

ඒ බල ඇණියේ සොළීන් එක්දහස් දෙසීයක් පමණ වී. ඉන් තුනෙන් එකක් එතැන ම මරා දමා තිබිණ. පහර දෙන්නට ආ වේගයටත් වඩා වේගයෙන් ඔව්හු යළි පලා ගියහ. ඉක්බිති මහ රජ සිංහලයේ මහා සටනට විජිතපුර සටනට සූදානම් වීමට දැන් මොහොත එළැඹ ඇත්තේ යැයි කියමින් ජය සක් පිම්ඹේ ය.

විජිතපුර දකුණු දොරටුවෙහි බිහිසුණු සටන

මහවැලි ගං ඉවුරේ සිදුවූ සටන්වලින් හා ගල්කුලමේ දී වූ පරාජයෙන් පසු නොමැරී බේරුණු සොළී බළසෙන් ඔවුන් ගේ මහා බලකොටුව වන විජිතපුර බලකොටුවට වැදුණ හ. සෙනෙවියන් කී බස් අසා රජතුමා සේනා සංවිධානය පිණිස සැප පහසු ඇති සමතල භූමි භාගයක කඳවුරු පිහිටුවා ගත්තේ ය.

ඒ ස්ථානය පසු කලෙක ‘කඳවුරුපිටිය’ නමින් ප‍්‍රසිද්ධ විය. මෙහි දී එළාර සමඟ කළ යුතු මහ යුදයේ දී යෝධයන් සෝදිසි කරන්නට ඉටා ගත් රජු යෝධයන් ගේත් යෝධයා ලෙස සැලැකුණු නන්දිමිත‍්‍ර හා සටනට කඩොලැතු මෙහෙයැවූයේ විස්ම උපදවන මහ හටනක් බලාපොරොත්තුවෙනි.

මහ හඬක් නැඟූ කඩොලැතු දෙපයින් අළු දූලි නඟමින් ඉදිරියට දිව ආවේ නන්දිමිත‍්‍ර අල්ලා පොළොවේ ගසන්නට ය. එහෙත් නන්දිමිත‍්‍ර හිටිවන ම නැවැතී තමා හා පොරයට එන කඩොලැතු දෙස බලා සිනහවකින් සරදම් කෙළේ ය.

මහත් අභිමානයෙන් යුතු කඩොලැතු කෝපාවිෂ්ඨ ව ගර්ජනාවක් කැර නන්දිමිත‍්‍ර වෙත පැන්නේ ය. මහා බළසේනාවෝ මේ දැවැන්තයන් ගේ සටන බැලීමට රොද බැඳී සිටිය හ. සෙනඟ වෙතින් නැගුණු කාහල නදින් ද ඇතු තවත් ආඩම්බර විය.

තමා වෙත පනින කඩොලැතා ගේ දෙදළින් අල්ලා ගත් නන්දිමිත‍්‍ර ඊළඟ ක්‍ෂණයේ ඇතු උක්කුටික ව බිම හිඳ වූයේ තමා සතු ඇතුන් දස දෙනකු ගේ ශක්තිය මොනවට විදහා පාමිනි. ඇතා ගේ බල තෙද ක්‍ෂය වී ඌ නන්දිමිත‍්‍රට කීකරු වූයේ සිය ශක්තියට වඩා නන්දිමිත‍්‍ර ගේ ශක්තිය තේරුම් ගත්තාක් මෙනි. මෙසේ ඇතු හා නන්දිමිත‍්‍ර පොර වැදුණු ඒ ස්ථානය ‘හත්ථිපොර’ නමින් ප‍්‍රසිද්ධ විය.

රජතුමා පී‍්‍රතියෙන් උදම් වී විජිතපුරය අල්ලා ගනු පිණිස මහ හටනට පිටත් විය.

එළාර රජු ගේ ඒ මහා බලකොටුව විජිතපුරය අගල් තුනකින් වට වූ ද, මහා ප‍්‍රාකාරයකින් ආවරණය වූ ද එකකි. එහි ද්වාර සියල්ල ලෝහයෙන් කරන ලද්දේ ය. සතුරකු විසින් අල්ලා ගනු තබා සිතන්නටවත් බැරි තරමට ආරක්ෂා සහිත ව පිළියෙළ කැරුණු මේ බලකොටුවෙහි එළාර රජු ගේ මහා සේනාව සන්නාහ සන්නද්ධ ව යුදයට සැරැසී සිටිය හ.

විජිත පුර දකුණු දොරටුවෙහි දී බිහිසුණු සටන් ඇති විය. ගැමුණු රජතුමා ගේ යෝධ පිරිස මෙහි දී කෙළේ අති භයානක සටනකි. මෙහි දී හැම දා සටනට ප‍්‍රසිද්ධ වේළුසුමන අසු පිට නැඟී නැඟෙනහිර දොරටුවෙහි යුද වැදී, අහස් කරණම් ගසමින්, නැවත අසු පිට වැටෙමින් බොහෝ සොළීන් මැරී ය.

එයින් භීතියට පත් ඔව්හු ඇතුළු නුවරට වැද එහි දොර වැසූ හ. ඉක්බිති ගැමුණු රජ යුද කරනු සඳහා වෙනත් දොරටු කරා යෝධයන් මෙහෙයැවී ය. කඩොලැතු හා නන්දිමිතය, සුරනිමල යන යෝධයෝ දකුණු දොරටුවෙහි යුද කළ හ.

එනුවර දිය අගල් තුනකින් හා උස් වූ ප‍්‍රාකාරයකින් වට කරන ලද්දේ වී යැයි මම ඔබට පෙරදී ද කීවෙමි. ඒ කඩොලැතු දෙදණින් හිඳ ගල්සූරා ගඩොල් ඉවත් කැර යකඩ දොරටුව වෙත පිය මැන්නේ ය.

ඇතු දැන් යකඩ ද්වාරය බිඳ දමතැ යි බිය ගත් සොළියෝ බිහිද්වාරයන්හි ඉහළින් සිට රත් කළ යවට ද, කකියවන ලද ඉටි ද ඇතු පිටට දැමූ හ. රත් කළ ඉටි පිට මත වැටුණු කඩොලැතු වේදනාවෙන් මිරිකී මිරිකී දියත්තක් සොයා හඬ නඟමින් දිව ගියේ ය.

ඈත තිබූ මඩ වළක එරුණු කඩොලැතු ගේ පීඩාව දුටු රජ ඇත් වෙදුන් ගෙන්වා ශරීරය මත ලහටු ගල්වා ප‍්‍රතිකාර කෙළේ ය. ඉනික්බිති ගැමුණු රජතුමා ඉතා ආදරයෙන් තමා දරුවකු ලෙස සලකන මේ සතාට කතා කෙළේ ය. කුමරා කඩොලැතු ගේ කුම්භස්ථලය පිරිමැද,

“පුත මේ සටන සිංහල රාජ්‍යයේ විමුක්තිය සඳහා ය. ශාසනයේ ආරක්‍ෂාව සඳහා ය. දිරි ගනුව. නැඟිට ගොස් පහර දෙව” යි කීයේ ය. ඇතු ධෛර්යය උපදවා දියෙන් නැඟුණේ විදුලි වේගයෙනි.

තවත් තැනෙක ඇතු මෙහෙයැවූයේ මෙලෙස යැයි කියා තිබේ. “සතුටු වදන් කියා, මිහිරි ආහාර දී, සළුවෙන් වෙළා, ඇතු පිට සන්නාහ ලවා, ඒ මත සත් ගුණයක් වනසේ එක පිට එක තබා සකස් කරන ලද මී හරක් සම් යොදවා, ඒ මත තෙල් සම් යොදා, ඇතු සටනට මෙහෙයැවී ය.” යනුවෙනි.

එවර ඇතු හෙණ හඬක් මෙන් ගර්ජනා කරමින්, සියලු බාධක ඉවසමින් දොරගුලු සහිත ඒ යදොර වෙත පැමිණ ඊට පයින් ඇන්නේ ය. යදොර මහ හඬ නඟමින් බිම පතිත විය. යදොර ඉහළ තොරණෙහි වූ අබලි ද්‍රව්‍ය ඇතුපිට වැටෙන බව එතැන සටනේ යෙදී සිටි නන්දිමිත‍්‍ර යෝධයා දිටී ය. ඔහු ඉහළට පැන බාහුවෙන් ගසා ඒවා වෙනත් තැනෙක වැටෙන පරිදි පෙරළා දැම්මේ ය.

පළමු අවස්ථාවක ද තමා උක්කුටිකයෙන් හිඳුවීම පිළිබඳ කඩොලැතු සිතේ පහළ වූ වෛරය මේ අවස්ථාවේ දී පහ වී ගියේ ය. ඌ කවරදා හෝ නන්දිමිත‍්‍ර මරා දමන්නට එතෙක් හක්කේ සඟවා සිටි පොර පොල් ගෙඩිය සොඬයෙන් ඇද බිම දැම්මේ කෘතගුණ දැක්වීමේ විලාස පාමිනි.

කඩොලැතු බිඳ දැමූ ද්වාරයෙන් ඇතුළුවන්නට නො කැමැති නන්දිමිත‍්‍ර, සුරනිමල, ගෝඨයිම්බර ආදී යෝධයෝ ඒ ඒ තැනින් අටළොස් රියන් ප‍්‍රාකාරය බිඳ නුවරට ඇතුළු වූහ. එහි දී කඩොලැතු රථ රෝදයක් ගෙන දුවන සොළීන් පොදි පිටින් තළා දැම්මේ ය.

නන්දිමිත‍්‍ර ගැල් තට්ටුවක් ගත්තේ ය. නන්දිමිත‍්‍රගේ ප‍්‍රහාරය තව තවත් දැඩි විය. ගෝඨයිම්බර පොල් ගසක් ගලවා ඒ කඳින් පහර දිදී සොළීන් මරන්නට විය. සුරනිමල කඩුවක් ගෙන පහර දුන්නේ ය.

මහා සෝණ තල්කඳක් ගෙන සොළීන් එළවා පහර දුන්නේ ය. ථෙරපුත්තාභය මහත් වූ යකඩ පොල්ලක් ද ගෙන වෙන් වෙන් ව වීථියට බැස ප‍්‍රතිවාදීන් සුනු විසුනු කෙළේ ය.

ගැමුණු රජුගේ ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකි ව එළාර ගේ විසි මහා යෝධයෝ හා සේනාව අන්දුන් කුන්දුන් වූහ. ඔව්හු මඟ දිගට දුවමින් අනුරාධපුරය පැත්තට පලා ගිය හ. එළාර රජු පළා යන මඟ ලුහුබැඳ යන වේළුසුමන හා සුරනිමල යෝධයනට කුමරා මෙසේ කී ය. “ඒ රජු මරා දැමිය යුත්තේ මා පමණය. එනිසා ලුහුබැඳ නොයා යුතු ය.”

දුටුගැමුණු රජු තමා ලුහුබැඳ අනුරාධපුරයට ද එන බැව් ඇසූ පලා ගිය එළාර රජ එක් තොටක් අසළ ඇමැතියන් රැස් කෙළේ ය. ගැමුණු රජ විජිතපුර බලකොටුව බිඳ ලූ පී‍්‍රතියෙන් නැවතත් කඳවුරුපිටියේ පී‍්‍රතිඝෝෂා පැවැත්වී ය.

එළාර රජ ඇමතියන් රැස් කරවා මෙසේ කී ය. “ඇමතියනි, දැන් අප කුමක් කළ යුතු ද? අප ගේ ඇමැතියෝ කුමක් සිතත් ද? ඒ දුටුගැමුණු රජ තෙමේත් යෝධයෙකි. ඔහුගේ යෝධ පිරිසත් බොහෝ වෙති.

අවුරුදු 44 ක් මෙහි රජ කළත් විජිතපුරය මේ සා පරාජයකට මුහුණදී නැත. එය අසා සිටි එළාර රජුගේ බලවත්ම දීඝජන්තු ආදී වූ යෝධයෝ “සේනාව අප වට කෙළේ අපේ අසංවිධානාත්මක භාවය නිසා යැයි ද, ගැමුණු මනා සංවිධනාත්මක සටනක් කළ බව ද, එහෙත් අපි හෙට සටන් කරම්හ” යි ද කී හ.

මේ අතර දුටුගැමුණු නරනිඳු මෑණියන් දුන් උපදෙස් අනුව බලකොටු දෙතිසක් කැරැවූයේ ය. රජුට ම සමාන රජ රූප දෙතිසක් ද කරවා ඒ ඒ තන්හි තබා රජ තෙමේ ඇතුළු කොටුවෙහි සිටියේ ය.

දැන් එළාර රජු ද ගැමුණු රජු ද සිටින්නේ එක ම ප‍්‍රදේශයක තැන් දෙකක ය. ඔහු පලා ගියේ සටනට නිසි පරිදි සූදානම් වීමට මිස බියකට නොවන වගට පණිවිඩ ගැමුණු කුමරුට ලැබුණේ ය. හෙට උදයේ සටන සිදුවෙතැ යි ද දැන ගන්නට ලැබිණ.

පසු දා එළාර රජු ද යාන වාහන හා භට සේනා සහිත වූයේ පර්වත නම් ඇතු පිට නැඟ සංග‍්‍රාම භූමියට පැමිණියේ ය. දීඝජන්තු කඩු කෙළියෙහි මනා සූරයෙකි. මහ බළයෙන් යුත් දීඝජන්තු යෝධයා කඩු පළඟ ගෙන යුද කරමින් අටළොස් රියනක් අහසට නැඟී විකුම් පාමින් ඒ රජ රූ කඩුවෙන් සිඳිමින් එන්නේ, දුටුගැමුණු රජතුමා සිටි බලකොටුව කරා ද එමින් සිටියේ ය.

(සිළුම්ණ)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: