Posted by: lrrp | June 5, 2008

මඩුපල්ලියේ කතාව

මන්නාරම- වවුනියා යුද මෙහෙයුම් සමඟ පසුගිය සති කිහිපය තුලදී දැඩි ලෙස අවධානය යොමු වූ කරුණක් වුනේ මඩු පල්ලිය කොටි ග්‍රහණයෙන් මුදවා ගැනීමේ ක්‍රියා කලාපයයි. මෙම දේවස්ථානයේ වාර්ෂිකව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන දේව මංගල්‍යය ගැන හැරුණු විට ඒ පිළිබඳ වෙනත් තොරතුරු මෙරට මහජනතාව නොදනී.

මෙහි ඇති ප්‍රධාන හාස්කම් දෙකකි. එකක් නම් , පල්ලිය අවට භූමියේ ඇති පැළෑටිවල ඖෂධීය ගුණය වැඩි බැවින් ඖෂධ සඳහා එහි ඇති සුවිශේෂ සුදුසු බවයි. පැළෑටි පමණක් නොව මෙහි ඇති එක් පස් වර්ගයක් පවා සර්ප විෂ ප්‍රතිකාර සඳහා ගැනෙන බව ප්‍රදේශය ගැන දන්නා අය පවසති. දෙවැන්න නම් මීට අවුරුදු 97 ට උඩදී එනම් 1911 දී පවා පත්තිනි දේවාලයක් ලෙස වාර්තා වන මඩු භුමිය මේ වන විට අවුරුදු 500 පමණ පැරණි කතෝලික දේවස්ථානයක් වීමය.
නිවැරදී අවබෝධයක් ලබා ගැනීම සඳහා මරඳමඩු මාතාවන්ගේ දේවස්ථානය ගැන ආවේගශිලී නොවී ශාස්ත්‍රීය ලෙස කරුණු සලකා බැලීම අවශ්‍යවේ.

මුහුදුබඩ බිම්තීරු කිහිපයක් පෘතුගීසි ආධිපත්‍ය යටතේ හා ඒ හැර සෙසු ලංකාව උඩරට රජු යටතේ ද පාලනය වූ 17 සියවස තුලදී මරඳමඩු නම් ස්ථානයක් ගැන දැනගැනීමට ඇත. පත්තිනි දේවාලයකට සම්බන්ධ වැදගත්ම යාතු කර්මය වන ‍”දෙවොල් මඩු” පැවැත්වීම නිසා “මඩු” නාමය මෙම භූමියට සම්බන්ධ විය. මරඳ නෙ‍ාහොත් මරත ගස් සෙවනෙහි මෙම මඩු උත්සව පැවැත්වීම නිසා මරඳමඩු නොහොත් මරතමඩු නාමය මෙම ස්ථානයට පටබැඳුනු බව තතු දත් මහළු අය වෙතින් දැනගන්නට ඇත.

මන්නාරම හා අරිප්පු වරායන්හි සිට රට ඇතුළේ වැව්නිමා නොහොත් වවිනියා සහ අනුරාධපුර දෙසට එනවිට මාර්ගයේ අතරමග එකල පත්තිනි ‍‍ෙද්වාලය සහිත මඩු නම් ස්ථානය පිහිටියේය. උඩරට රාජ්‍ය සමයේදී ද මෙය එබැවින් රජු විසින් බදු අයකරන ලද “කඩවතත්” විය. රජුගේ බඩු ගබඩාවක් නොහොත් “මඩිගේ” ද මෙහි තිබිණි. මේ අසල පිහිටි ප්‍රධාන වැව වූයේ යුද වැව නොහොත් යෝධ වැවයි. මාතොට නොහොත් මන්නාරම වෙරළින් රටට ගොඩබටුයේ වෙළඳුන් පමණක් නොවේ. ආක්‍රමණිකයෝ ද ඒ ඔස්සේ පැමිණියහ. එබැවින් යුද වැව ආශ්‍රිත ජනාවාස වනාහි පුහුණු යුද සෙබළුන් පදිංචිව සිටි ආරක්ෂිත ජනාවාස කලාපයක් විණි.

ඉන්දියාවේ මුස්ලිම් අධිරාජ්‍යය නොහොත් දිල්ලි සුල්තානය දකුණු ඉන්දියාවට පැතිර යද්දී හින්ඳුන්ට සිදුවූ අධික ගැහැට නිසා ඇතැම් ප්‍රබූ පවුල් තම සේවක ජනයාද සමඟ තම ප්‍රදේශ වලින් පලාගොස් මුහුදින් එතෙර ලංකාවේ වයඹ දිග වෙරළබඩ ප්‍රදේශවලට පැමිණ පදිංචි වූහ. සිංහල රාජධානිය ද සතුරු බිය නිසා තැනින් තැනට අයාලේ යමින් පැවතුන නිසා කෝට්ටේ රාජධානිය වනතුරු ඊට බාධාවක් ද නොවීය.

කෝට්ටේ පැරකුම්බා බලවත් රජකු වූ විට පමණක් ඔවුහු කෝට්ටේ ට යටත් වාර්ෂිකව සුංගම් ගෙවන යටත් පාළකයෝ වූහ. “වන්නියාවරුන්” ලෙස මෙම ප්‍රභූවරුන් හැඳින්විණ. මේ අය කේරළ, තෙළඟු, දෙමළ හා කර්ණාටක මිශ්‍ර දකුණු ඉන්දියානු පිරිස් වූහ.

මෙම අයට අම්මා දේවාල (අම්මාන් කෝවිල්) වැදගත්වීම් නිසා පැළෑටි සහ පස්වල සුවිශේෂ හාස්කමක් තිබූ ස්ථානය පත්තිනිට කැපකර දේවාලයක් සෑදූහ. පසුකලෙක දෙවොල් මඩුද ඊට එකතු වී ඇත. සිංහල රජු බලවත් වන විට යටත් පාළකයන් ලෙස සුංගම් ගෙවමින් ද රජු දුර්වල වූ විට ස්වාධීන වෙමින් ද පැවති මෙම කලාපය නිදහස භුක්ති විදි ප්‍රදේශයක් විය.

මන්නාරම හා අරිප්පු ඇතුලත් මුහුදු බඩ තීරය පෘතුගීසි ග්‍රහණයට හසුවීම නිසා එහි සිටි ඇතැම් හින්දු කොටස් කතෝලික ආගමට හරවා ගැනීමට පෘතුගීසි පූජකයන් හැකිවිය. නමුත් කිතුණුවන් වූ මෙම කොටස ඉතා අවාසනාවන්ත විය. 1544 දී යාපනයේදී සංකිලි නැමති ප්‍රදේශාධිපතියා කතෝලික ආගම වැළඳගත් 600 ක් පිරිස ඝාතනය කල අතර, පණබේරාගත් පිරිස් රට තුල කැළෑවලට වැදී සැඟවුනහ. සාරිය අන්දවා දේශීයකරණයට ලක්කර තිබූ (ගෝවේහි ද එසේ විය) දේව මෑණියන් වූ “මරියමාතා” වැඩියෙන් ජනප්‍රිය වූ දේව රූපය විය. මාන්තෙයි කැළෑවේ සැඟවී සිටිමින් මරියමාතා රූපයට යාඥා කරමින් ඔවුහූ ජීවත් වූහ.පත්තිනි හා ශාන්තමරියා ඔවුන්ගේ ඇසට අම්මා දෙවියන් පමණකි. පෘතුගීසි යටත් ප්‍රදේශයන් ඕලන්දයන් අතට පත්වූ විට රෙපරමාදු භක්තික ඕලන්දයන් අතින් කතෝලිකයන් පීඩාවට ලක්වීම සිදුවිණි. 1670 දී මන්නාරම ප්‍රදේශයේ නැවතත් ස්වදේශික කතෝලිකයන්ට ඕලන්දයන් හිරිහැර කරන විට ඔවුහූ උඩරට රජු යටත තිබූ ප්‍රදේශවලට පලා අවුත් රැකවරණය පැතූහ.

උඩරට බලවත් රජෙකු වූ දෙවන රාජසිංහ මෙම පීඩාවට පත්වූ අයට පිහිට වී “කඩවත සහ මඩිගේ” පිහිටි මරඳමඩු ආශ්‍රිතව පදිංචිවීමට අවසර දුනි. රජුගේ නිළධාරීන් හා ආරක්ෂක සෙබළුන් මෙම ගම්වල සිටි නිසා කතෝලික ස්වදේශිකයන්ට ආරක්ෂාව ද සැළසුනි. පන්සල් භූමිය තුල දේවාලද පිහිටීම කෝට්ටේ යුගයේදී ‍ෙමරට සම්ප්‍රදාය වූ නිසා මරඳමඩු පත්තිනි දේවාල භූමිය තුල මරියමාතා ද පූජාවට ලක්වුනි. 1766 දී කීර්ති ශ්‍රී ර‍ාජසිංහ රජු හා ඕලන්දයන් අතර අත්සන් කෙරුණු “හඟුරන්කෙත ගිවිසුම” නිසා ඕලන්දයන් සතුටු කිරීම සඳහා මරඳමඩු හි පැවති රජුගේ කඩවත හා මඩිගේ තවත් රට ඇතුලත ස්ථානයකට ගෙන ආ බව පාරම්පරික ජනප්‍රවාද වල පැවසේ. මෙසේ රජුගේ නිළධාරීන් හා හමුදා සෙබළුන් ඉවත්වී යෑමෙන් පසු පත්තිනි රූපය හා දේවමෑනි රූපයක් වූයේ නම් එයද විනාශ කර දේවාල ගොඩගැඟිලි විනාශ කර දමන්නට ඇත.

කොළඹ බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාංක වල ආගමික උපදේශක වූ මේස් කොඩ්නර් දේවගැති තුමා විසින් 1810 දී ලියන ලද “ලංකාව පිළිබඳ විස්තරයක් 1වන වෙළුමෙහි යුරෝපීයයන් විසින් මෙරට දේවාල කඩා බිඳ දැමීම ගැන කරුණු දක්වා ඇත. මඩු භූමියෙහි පත්තිනි දේවාලයක් ද මෙවක නොතිබුණු අතර, එය ඕලන්දයන් විසින් කඩා බිඳ දමන ලද පවසයි. 1766 න් පසු එය කඩා දමන්නට ඇතැයි අනුමාන කල හැක.

ජෝශප් වාස් පියතුමා ලංකාවට පැමිණීමෙන් පසු කතෝලික ආගම ආක්‍රමණශීලී ස්වරූපයකින් ව්‍යාප්ත වීම සිදුවිණි. මුහුදු බඩ පමණක් ම නොව උඩරට රජුගේ ද අවසරය ලබාගෙන මහනුවර ඇතුළු කන්ද උඩරට ප්‍රදේශවලද බෞද්ධයන් ක්‍රිස්තියානියට හරවා ගැනීමට හා මහනුවර පල්ලියක් ඉදිකිරීමටද තරම් ඔහු දක්ෂ විය. දේවාල කඩා ඒ මත පල්ලි ඉදිකිරීම රටාවකට අනුව සිදුවිය.

කණු දහසකට වඩා සංඛ්‍යාවක් තිබූ දෙවුන්දර විෂ්ණු දේවාලය මුහුදේ සිට ගොඩබිම දෙසට අක්කර භාගයක ප්‍රදේශයක් පමණ වසා පැතිර තිබුණු බවද පෘතුගීසි වාර්තා වල සඳහන්ය.

1823 දී මන්නාරම උසාවියේ ලේඛණ භාරකරු වූ මොයිස් නැමති යුරෝපීයයා (බර්ගර්) මරඳමඩු ගමට ගොස් ඉදිරිපත් කල වාර්තාවක් ඇත. එවක එහි තිබී ඇත්තේ කටුමැටි ගසා අඩි 08 ක් උසට තැණුනු බිත්තිවලින් තුන් පැත්තක් ආවරණය වී ඒ මත අතු සෙවිලි කල දිරාගිය වහලයකින් යුතු, බිම මඩවී තිබූ ගව මඩුවක් වැනි කුඩා දේවාලයකි. ඒ තුල මරිය තුමීගේ රූපයක් නොව වෙනත් මැටියෙන් තැනූ තුඩා කාන්තා රූපයක් විය. පොල්තෙල් පහන් දැල්වීමෙන් හැමතැනම දැලිගැසී අඳුරුවී තිබිණි.

1899 දී පළකරන ලද අත්පොතෙහි උතුරු මැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තව සිටි ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මඩුහි පත්තිනි දේවාලය හා ඊට පුද පූජා පැවැත්වූ ආකාරය විස්තර කරයි. වව්නියාවට නුදුරු කොවිල් පුල්යන්කුලම නැමති ගමේ සිට උතුරුමැද පළාතට ද පැතිරුණු උත්සවයක් ලෙස ඔහු මඩු මංගල්‍යය විස්තර කරයි. එය අයියනායක දෙවියන්ට පැවැත්වූ මුට්ටි මංගල්‍යයට සමාන කළගෙඩි මංගල්‍යයකි. “කළගෙඩි මේන්දුව නොහොත් රන් පනම් කළේ” ලෙස එය හඳුන්වා ඇත.
උරච්චි කර (ගලගා) ගත් සුදු හඳුන් හා කර දියර නැවුම් කළයක පිටින් ගා වී අහුරක් හා තඹ කාසියක් එය තුලට දමනු ලැබේ. අනතුරුව සුදු උඩුවියන හා වටතිර ඇද මල් ඇතිරූ යහනක ( මල් පැළක) එය තැන්පත් කෙරේ. ඉන්පසු කපුරාල කෙනෙකු ලවා යාතිකා කරවා මුට්ටියේ ඇති වී, තඹ කාසිය හා තවත් පූජා භාණ්ඩද, කුකු‍ෙ’ළකු ද සමඟ මඩු දේවාලයේ උත්සවයට ගෙනයනු ලැබේ. සාන්ත මේරි පල්ලිය වුවද තවමත් පත්තිනි දේවාලය ලෙස සළකා (අම්මාන් කෝවිල) සිංහල හා දෙමළ දෙකොටසම මෙම පූජා පැවැත්වූ බව අයිවර්ස් පවසයි.

වෙනත් දේවාල උත්සව මෙන්ම මඩු පත්තිනි දේවාල උත්සවය ද පැවැත්වුනේ යල් කන්නයේ අස්වැන්න ලබාගෙන ජූලි(ඇසළ) මාසයේදීය. අගෝස්තු මාසයේ හේන් කෙටීම හා වැව් රාජකාරී (කට්ටි කැපීම හා ඇළවල් ශුද්ධ කිරීම ආදී) ඇරඹීමට පෙර මඩු උත්සවය පැවැත්විණි. රන් පනම් කළය හැරුණු විට පොල් පැළ, වී කරල් හා කුරහන් කරල්, මී පැණි, තල ආදිය පූජා භාණ්ඩ සේ ගැණුනි. මෙබඳු පූජාවන් ක්‍රිස්තියානි ස්වරූපයක් නොගන්නා අතර, යුරෝපීය දේවස්ථාන වල ආකෘතියේ ගොඩනැගිල්ලක් ද මරඳමඩු හි නොවීය. එබැවින් 1899 දී ද ගැමියා දුටුවේ පත්තිනි දේවාලයකි.
පල්ලියක් නොතිබුනද අයිතිකරුයකු නැති මෙම ස්ථානයට හිමිකම් පෑමට ආධාරයක් වන අයුරු පල්ලියක් සඳහා මුල්ගල් තැබීමක් 1872 දී සිදුවිණි. ඒ මන්නාරමේ සිටි ක්‍රිස්ටෝපර් බොන්ඩියන් නැමති බිෂොප්‍ ගේ මූලිකත්වයෙනි. නමුත් 1911 වනතුරුත් පල්ලියක් එහි නොවීය.

1911 දී ජන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ඊ.බී. ඩෙන්හැම් විසින් පලකරන ලද ජන ලේඛනය ගැනීමේ වාර්තාවට අනුව මඩු පත්තිනි දේවාලයක් තිබූ බව සඳහන්ය. ජූලි මාසයේදී එහි වන්දනාවට යෑම “මූකලානේ වන්දනා ගමන” ලෙසට හඳුන්වා ඇත. ඉන් අදහස් වන්නේ මෙය මහ මූකලාන මැද හුදකලාව තිබූ දේවාලයක් බවය. පල්ලියක් හෝ පූජකයෙකු හෝ මරියතුමියගේ රූපයක් හෝ තිබූ බවක් ඩෙන්හැම් වාර්තාවේ හෝ ඊට පෙර කිසිදු ලේඛනයක හෝ සඳහන්ව නැත.
1924 දී ආශ්චර්යයක් සිදුවිය. එනම් මඩු ‍දේවස්ථ‍ානයට හා මඩු මාතා ප්‍රතිමාවට අවුරුදු 100 ත් ගතවූ සේ සළකා 1924 දී ප්‍රතිමාවට ඔටුනු පැළඳවීමයි. මෙය මෞලි මංගල්‍යයකි. 1924 වර්ෂයට අවුරුදු 100 ක් පිරෙන්නේ මන්නාරම උසාවියේ මොයිස්ගේ සංචාරයෙන් පසු සැපයූ වාර්තාවටය. මෞලි මංගල්‍යයක් පැවැත්වුනු 1924 වන විට ‍ෙද්වස්ථාන ගොඩනැගිල්ලක් තිබූ බව වව්නියාව අසල මේ පිළිබඳ තොරතුරු දන්නා අය ප්‍රකාශ කරති. නමුත් වර්තමාන ශාන්ත මරියා දේව රූපය කවර කලෙක එතැන පිහිටවූයේද? එය බාහිර ස්ථානයක සිට ගෙන ආවේද? මඩුහි ප්‍රතිමා ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද්දේ ද? යන මේ ප්‍රශ්ණ ‍වලට පිළිතුරු සොයා ගත නොහැක.

1944 දී වත්මන් මඩු පල්ලිය සෑදී නිම වීම සිදුවිය. මේ වන විට තාර පාරවල් හා මෝටර් රථ ද 19 ස්යවසේ සිට පැවති දුම්රිය මාර්ග ද හේතුවෙන් නාගරිකයන්ට වන්දනාවේ ගොස් එළිමහනේ ආහාර පිසගෙන කා ගස්යට නිදාගෙන ආස්වාදයක් ලැබීමට අවස්ථාව ලැබිණි. ජූලි හා අගෝස්තු මාසයන් ලංකාවේ වැසි රහිත මාස වීම නිසා මෙම හැකියාව ලැබේ. ඇසළ මාසය පෙරහැර හා ආගමික උත්සව මාසය බවට පත්වීමට මෙය බළපෑවේය. එබැවින් මඩු මංගල්‍යය සඳහා වර්තමානයේදී කතෝලික බැතිමතුන් ඇදී එන්නේ දස දහස් ගණනින්ය.

වත්මන් ලංකාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට අනුව ඓතිහාසික තොරතුරු අරබයා තමන් කැමති ප්‍රවාදයන් පටබැඳ ප්‍රචාරය කිරීමට නිදහස ඇත. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලංකාව වෙනුවට ශ්‍රීලංකාවක් බිහි කිරීමත්, ශ්‍රී ලාංකික පුරවැසියා මෙරට අයිතිකරුවා කිරීමත් සිදුවිය. එබැවින් දැන් රාවණා රඡු ද ශ්‍රීලාංකික වී ඇත. ඒ තුල සිංහලයා යනු ජාතිය නොව ජනවර්ගයක් පමණක් බව ව්‍යවස්ථාවේ සඳහන්ය. ව්‍යවස්ථාව වනාහී අතිඋත්තර නිසා ඊට පටහැනිව අදහස් පළ කල නොහැක. අලුත් අලුත් ප්‍රවාදයන් සනාථ කිරීමට සාක්ෂි සපයාදෙන ඉතිහාස, සමාජ විද්‍යා හා මානව විද්‍යා මහාචාර්යවරුන් ද විශ්ව විද්‍යාල වලින් සොයා ගත හැක.

මඩු පල්ලිය ජාතික බැසලිකාවක් කළ යුතු බවට කරන ලද යෝජනාව වැරදි බව දක්වමින් එහි නිවැරදි ඉතිහාසය වතිකානුව වෙත දන්වා යවා ඇත්තේ දෙකෝටියක් වන මෙරට වැසියන් අතුරින් එක් අයෙක් පමණි. එනම් අධිනීතීඥ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාය. ඉතිහාසය ද වැඩි ඡන්දයෙන් තීරණය වීම අද සම්ප්‍රදාය නිසා මෙම 0.00000005% යනු 51% අඩු නිසා එය නොසලකා හැරිය හැක.

මඩු දේවස්ථානය කාගේද?

මඩු පල්ලිය නමින් වර්ථමානයේ ප්‍රකට වී ඇති, උතුරු මැද පළාතේ පිහිටි පූජා භූමිය සියවස් කිහිපයක් තිස්සේ බෞද්ධයන්ගෙන් පුදලත් උතුම් ආගමික ස්ථානයකි. මේ පුදබිමෙහි ඉතිහාසය පළමුවන ගජබාහු (112-134) රාජ්‍ය කාලයෙන් ආරම්භ වේ. වංකනාසික තිස්ස රාජ්‍ය කාලයෙහි කේරළයට අල්ලාගෙන ගොස් සිටි සිංහලයන් මෙරටට නැවත ගෙන ඒමට ගජබාහු රජතුමා නීල මහා යෝධයා සමග එහි ගියබව පූජාවලියෙහි සඳහන් වේ. ආපසු එන ගමනේදී එරට ප්‍රචලිතව පැවති පත්තිනි දේවියගේ සංකේතයක් වන පත්තිනි සලඹද ගෙන ආ බව ජනප්‍රවාදයෙහි එයි. පත්තිනි වන්දනය සිංහලයන්ට හුරු පුරුදු වූයේ එදා පටන් බව කියනු ලැබේ.

බුද්ධාගම රාජ්‍ය නිල ආගම උවත් දෙවි දේවතාවන් ඇදහීම මුළුමනින්ම ප්‍රතික්ෂේප නොවීය. පත්තිනි අම්මා බෞද්ධ සංස්කෘතියට අබ්බැහි වූයේ සීලප්පදිකාරම් නම් දෙමළ පොතෙහි එන විස්තරය නිසාය. එහි එන ප්‍රවෘත්ති පරිදි ඈ පතිවෘතා ධර්මයේ මූර්තියක් වූ නිසාය. එදා ඇගේ ස්වාමියාට මරණ දඪුවම හිමිවූ විට ඔහු බේරා ගැනීමට ඈ කල පරිත්‍යාගය ඉතා උතුම්කොට සැලකූ එරට ජනතාව ඈ දේවත්වයට නංවා අදහන්නට පටන් ගත්හ.

බුදු දහමේ පතිවෘතාව උසස් කොට දැක්වීමට අගනා ජාතක කථාවක් බුදුරජුන් විසින්ම දේශනාකර තිබේ. සඳ කිඳුරිය තමන් වසඟයට පත්කරගැනීමට තැත් කළ බ්‍රහ්ම දත්ත රජු අතින් මැරුම් කෑ තම ස්වාමියා වෙනුවෙන් මහ වනය මැද විලාප නගන විට වෙස්වලා එතැනට පැමිණි ශක්‍රයා ඈට පිහිට විය. තම ස්වාමියාට නැවත ප්‍රාණය ලබාදුන් බව ඒ ජාතකයේ සඳහන්ය. මේ පුවත කෙතරම් බෞද්ධයන් අතර පැතිර ගියේද යත් අද පවා පෙරහැරවල කිඳුරු ජෝඩුව නරඹන්නන්ගේ සිත් ගනී. කිඳුරු ජෝඩුව නැති පෙරහැර පෙරහැරක් නොවේ කීමට තරම් ඒ පාඩම ජනයා තුල කාවැදී තිබේ.

පත්තිනියගේ පුරාණය මීට වඩා වෙනස් උවත් උගන්වන පාඩම නම් එක සමානය. ඇගේ චරිතයෙන් ඉස්මතු වන්නේද පතිවෘතාවේ අගයයි. පත්තිනියගේ මුල් නම කන්නගී වේ. ඕ පාළඟ කුමරු සමග විවාහ වූවාය. පාලඟ ගුරු ගණිකාවන් සතපවමින් ද, සූදු ක්‍රීඩාවෙන්ද, කල් ගතකළ සෙල්ලක්කාරයෙකි. නොබෝ කලකින්ම හේ පත්තිනියගේ සළඹ පවා හොරාගෙන එය නිකිණීමට මදුරාපුර පාරවල් දිගේ ඇවිද්දේය. මේ දිනවල මදුරාපුර බිසවලේ සළඹ නැතිවී ගියෙන් රාජපුරුෂයන් එය සොයා නගරය පුරා ඇවිදින අවස්ථාවකි. තම බිරිඳගේ සලඹ අතැතිව සිටි පාලඟ රාජ පුරුෂයන්ට හසු විය. බිසවගේ සළඹ හොරාගත් තැනැත්තා ඔහු යයි සිතා රාජ පුරුෂයෝ උන් රජු ඉදිරියට කැඳවාගෙන ගියහ. නඩුව ඇසීමෙන් ඔහුට මරණ දඬුවම අත්විය. මේ ඇසූ පත්තිනි තම පතිවෘත්තා බලයෙන් නිවැරදිව තම හිමියාට යලි ප්‍රාණය ලබා දුන්නාය. රජුගෙන් පලිගන්නා අටියෙන් තමාගේ දකුණු පයෝධරය කඩා මදුරාපුර දෙසට වීසි කළාය. ඉන් එම පුරු දැවී අළුවී ගියේය. පතිවෘත්තා බලයේ තවත් ප්‍රතිමූර්තියක් වශයෙන් පත්තිනි දේවත්වයට පත් වූයේ මේ ආකාරයෙනි.

ඝන වනාන්තර විසින් මඩු බිම සියවස් ගණනක් තිස්සේ ගිලගෙන තිබුණු නිසා මිනිසු ඇසින් මුවා වී තිබුණෙන් වනසතුන්ගේ කෙළි බිමක් විය. යාපනේ බිෂොප්තුමා සපයා ඇති වාර්තාවකමන්නාරම් පෙදෙස 1670දී පමණ අරක්ගෙන සිටි ඕලන්ද ප්‍රොතැස්කන් ජනයා පෘතුගීසීන් විසින් පන්නා දැමූ විට රැකවරණය පතා ඔවුන් පැමිණියේ මුරුතමඩුවටය. ඒ දැන් පල්ලිය පිහිටි ගම්මානයයි. ඒ මුරුතමඩුව සිංහලේ රජුගේ මඩිගය (ගබඩාගම ) පිහිටි ස්ථානයයි. මුරුතමඩු යන නමෙහි මුරුත යනු දෙවියන්ට කියන නමකි. මඩුව යනු පූජාව කරන ස්ථානයට යෙදෙන නමකි. උදාහරණ ලෙස ගම්මඩුව යනු ගම්මඩු මංගල්‍යය කෙරෙන ස්ථානයයි. හියුං සාං හිමියන් ඉන්දියාවේ සංචාරය කළ අවධියේ බුද්ධගයා ශ්‍රී මහාබෝධි ස්ථානයටද ගොස් තිබේ. උන්වහන්සේගේ වාර්ථා වල ඒ පූජා භූමිය හඳුන්වා දී තිඛෙන්නේ බෝධීමණ්ඩ යන නමිනි. වර්තමාන මඩු යනු ඒ නයින්ම සිද්ධ වී යයි ගැනීම යුක්ති සහගතය.

1911දී පැවති ජනසංගණන වාර්ථාවේ සංගණක ඊ.බී.ඩෙන්හැම් ප්‍රකාශකර ඇත්තේ සංගණනය පැවැත්වූ 1911 මිර්තු මස 10 වැනි දින මුරුතමඩුවේ දක්නට ලැබුණේ පුද්ගලයන් 320ක් පමණ බවයි. ඉන් 230ක් පමණ පිටින් තාවකාලිකව පැමිණි සංහලයෝය.

මඩු පූජාබිමේ මුල් කතෝලික වාරෂික උත්සවය පටන්ගත්තේ 1870 දීය. එය යාපනේ බිෂොප්තුමාගේ මූලිකත්වයෙන් පැවති බව වාර්තා වී ඇත. කතොලික මඩු පල්ලියට මුල්ගල තැබුණේ 1876 දීය. වර්ථමාන ගොඩනැගිල්ල නංවන අවස්ථාවේදී එහි තිබුණු පත්තිනි දේවාලය විනාශකර තිබේ. එසේ කරද්දී වැඩට ගතහැකි සමහර ගොඩනැගිලි ද්‍රව්‍ය අළුත් ගොඩනැගිල්ලට රුවා ගන්නට ඇත. මේ ස්ථානයේ තවමත් ක්‍රමවත් කැණීමක් කර නොමැත. එසේ කරන්නේනම් පැරණි පුරාවස්තු නටබුන් මතුවිය හැකිය. ත්‍රීකුණාමලයේ රාජරාජ පෙරුම් පල්ලිය කැණීමේදී එහි යටවී තිබුණු සෙල්ලිපියෙන් කියැවුණේ එය වේල්ගම් වෙහෙර බවයි. එපරිද්දෙන්ම අන්‍ය ආගමිකයන් විසින් අල්ලාගෙන සිටින බොහෝ තැන් පැරණි බෞද්ධ විහාර පිහිටි තැන්ය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ 1804දී සංචාරය කළ ජේම්ස් කෝඩ්නර් නම් දේවගැති තුමා තම වාර්තාවේ සඳහන්කර තිඛෙන්නේ එම දිස්ත්‍රික්කයේ බොහෝ පල්ලි හා කෝවිල් පැරණි විහාර භූමි මත නංවා ඇති බවය. හලාවත සිට මුහුදු වෙරළට සමාන්තරව ත්‍රිකුණාමලය තෙක් ඇති අබෞද්ධ සිද්ධස්ථාන රාශියක් ගොඩනංවා ඇත්තේ බෞද්ධ විහාර භූමි මතය. පෘතුගීසීන් අතින් විනාශ වූ කැළණි විහාර භූමියේ පල්ලියක් ඉදි නොවුනේ කිසියම් හාස්කමකින් විය යුතුය.

මඩු පත්තිනි දේවාලයේ සිදුවී තිඛෙන්නේ කුරුසයට ඉඩදී පත්තිනි අම්මා කැලෑ වැදීමය. පත්තිනි අම්මා යලි මුරුත මඩුවට කැඳවා ගැනීමට කටයුතු කිරීම සියළු බෞද්ධයන්ගේ යුතුකමකි.

(2003 පෙබරවාරි මස 23වැනි ඉරිදා දිවයින ඉරිදා සංග්‍රහයට මහාචාර්ය අභය ආර්යසිංහ විද්වතාණන් විසින් ලියන ලද ලිපියකින් උපුටාගැනීමකි. )

මඩු පල්ලියේ පුරාණය

මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන් ම බෞද්ධයනට හා හින්දූනට ද වැදගත් වූ ස්ථානයකි. එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතට යයි. එහෙත් ඒ කතෝලික පූජනීය ස්ථානයක්, පල්ලියක් ලෙස නොව පත්තිනි දේවාලයක් පිහිටි ස්ථානයක් ලෙස ය. අපේ ඉතිහාසයේ කියැවෙන ආකාරයට පත්තිනි අම්මා සංකල්පය ගජබා රජු දවස ලංකාවට හඳුන්වා දී ඇත. එකල, එනම් කිතුවසින් දෙවැනි සියවසේ භාරතයේ ද හින්දු ආගමක් නො වීය. හින්දු ආගම යනු කිතුවසින් හයවැනි සියවසින් පසු ශංකරාචාර්යයන් විසින් බුදුදහම හා වෛදික ආගම් එකතුකිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. ගණනාථ ඔබේසේකරලාගේ ඊනියා පත්තිනි කල්ලි ගැන කතාකිරීම් හැර තවමත් පත්තිනි දෙවියන් ගැන විධිමත් අධ්‍යයනයක් කෙරී නැති බව පැහැදිලි ය. දෙවැනි සියවසේ හින්දු ආගමක් ලෝකයේ කොහේවත් නොතිබූ බැවින් පත්තිනි දෙවියන් හින්දු වීමට නො හැකි ය. සර්වපල්කලි රාධාක්‍රිෂ්ණවුන් වැන්නන් සිදුහත් කුමරු හින්දුවරයකු ලෙස ඉපිද හින්දුවරයකු ලෙස ජීවත් වී හින්දුවරයකු ලෙස මියගිය බව පවසන්නේ උගත්කමක් තිබුණ ද නිරවුල් ව කල්පනාකිරීමට නොහැකි බව හෙළි කරමිනි.
ලංකාවේ කතෝලික ඉතිහාසය කිතුවසින් 1506 න් ඈතට නොයයි. යුරෝපීයයන් ආසියාවේ හා අප්‍රිකාවේ සාමාන්‍යයෙන් ක්‍රියා කළ අන්දමට පෘතුගීසීහු ලංකාවේ දී ක්‍රියාත්මක වූහ. ඔවුන්ගේ නැව්වල යුද්ධ භටයෝ ද කතෝලික පූජකවරු ද වූහ. දෙපාර්ශ්වය ම එකම අරමුණක් ඇතිව වැඩකළහ. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ය. කතෝලික මිෂනාරිවරුනට පැවරුණු කාර්යයක් විය. එය කැත්තෙන් හෝ පොල්ලෙන් හෝ කිරීම ඔවුන්ගේ රාජකාරිය විය. එහි දී මිනිසුන් මැරීමට සිදුවිණි නම් මිෂනාරිවරුන් එය ද කළ බවට සාක්‍ෂි වෙයි. මිෂනාරි යන්න බිඳෙන්නේ ඉංගිරිසි මිෂන් යන්නෙනි. මිෂන් යනු එක් අතකින් ගත්කල කෙසේ නමුත් ඉටුකළ කළයුතු දේව කැමැත්තකි. ඇතැම්හු මිහිඳු මහරහතන් වහන්සේ ද මිෂනාරිවරයකු ලෙස හැඳින්වීමට උත්සාහ කරති. මිහිඳු මහරහතන් වහන්සේ ද මෙරටට නව දහමක් නිල වශයෙන් හඳුන්වා දී ඇති බව සැබෑ ය. එහෙත් උන්වහන්සේ බුදුදහම පැතිරවීමට මිනිසුන්ට හිංසා නොකළහ. උන්වහන්සේ මෙරට එකල තිබූ සංස්කෘතියට අනුගත ව ක්‍රියාකළහ. එකල මෙරට තිබූ දේවාගම්වලට පහර ගැසීමක් උන්වහන්සේගෙන් සිදු නො වී ය. අද ද ඊනියා බුද්ධිවාදී බෞද්ධයන් කෙතරම් උත්සාහ කළ ද පැරණි දෙවි දේවාතාවුන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් (සිංහල බුද්ධාගමෙන්) පිටමං කෙරී නැත. මේ ඇතැම් දෙවි දේවතාවුන් සිංහල බුද්ධාගමෙහි බෞද්ධ වී තිබීම හැරෙන්නට වෙනත් වෙනසක් වී ඇති බවක් නො පෙනෙයි.
සිංහල බුද්ධාගම යනු මෙරට තිබූ සිංහල සංස්කෘතියට බුදුසසුන අවශෝෂණය කරගැනීමෙන් නිර්මාණය වූවකි. මා සිංහල බුද්ධාගම යන්න යොදාගන්නේ බටහිර ගැති සමාජයීය මානවවිද්‍යාඥයන් ඒ නම යොදාගන්නා අරුතින් නො වේ. සිංහල බුද්ධාගමෙහි ඇතැම් දෙවියෝ බුදුසසුනට ද වඩා පැරණි වෙති. එහෙත් බොහෝ බුද්ධිවාදී උගතුන් තැත්කරන්නේ සිංහලයන්ගේ බුදුදහමට දෙවියන් පසුව ඇතුල්වූ බව කියාපෑමට ය. නායක්කාර් රජවරුන්ගේ හින්දු බිරියන් හේතුවෙන් දෙවියන් බුදුදහමට එකතු වී ඇතැයි පෙන්වීමට ද බොළඳ උත්සාහයක් ගනු පෙනෙයි. එවැනි දෙවියන් එක් කෙනකු දෙදෙනකු නැතැයි අපි නො කියමු. එහෙත් සිංහල බුද්ධාගමෙහි අතිමහත් දේව බහුතරය මෙරටට ම ආවේණික වූ දෙවිවරු වෙති.
මිහිදු මහරහතන් වහන්සේ හෝ වෙනත් රහතන් වහන්සේ නමක හෝ කිසි දිනෙක කිසිවකු හිංසාවෙන් නොව බලයෙන්වත් බෞද්ධයකු නොකළහ. බුදුන්වහන්සේ තමන්වහන්සේ කෙරෙහි පැහැදුණු උපාලි ගෘහපතියාට නිඝන්ඨනාථගෙන් වෙන්වීමට උපදෙස් නුදුන්හ. බුදුන්වහන්සේගේ හා රහතන්වහන්සේලාගේ අවවාදය වූයේ එව බලව යන්න මිස පිළිපදිවු නැත්නම් මරණය යන්න නො වේ. අද අප අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී එව බලව යන්න අනුගමනය කිරීමට සූදානම් වුවත් නිල විද්‍යාවෙන් කියැවෙන්නේ පිළිගනිවු නැත්නම් (විද්‍යාවෙන්) පිටවෙවු යන්න ය. විද්‍යාවෙන් පිටවෙවු යන්න බොහෝ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට විද්‍යා ක්‍ෂෙත්‍රයෙහි මරණය ගෙන දෙන්නකි. එය සිහිගන්වන්නේ එකල කතෝලික වෙවු නැතහොත් ජීවිතයෙන් පිටවෙවු යන පෘතුගීසි ආඥාව ය.
බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසුව ඇතැම් බෞද්ධ සිද්ධස්ථානයක් එකල පැවති වෙනත් ආගමික ස්ථානයක ඉදි නොවිණි යැයි අපි නො කියමු. උදාහරණයක් ලෙස ජනප්‍රවාදය අනුව ස්වර්ණමාලී චෛත්‍යය ගොඩනගා ඇත්තේ එනමින් වූ දෙවඟනකගේ සිද්ධස්ථානයක ය. එහෙත් එය බලහත්කාරයෙන් කරන ලද්දක් නොවන බව පෙනී යයි. චෛත්‍යය ඉදිකිරීමේ දී ඒ දෙවඟනගෙන් අවසර ලබාගෙන ඇති බවත් අවසර දීම සම්බන්ධයෙන් කළගුණ සැලකීමක් ලෙස චෛත්‍යය දෙවඟන නමින් නම් කෙරී ඇති බවත් පැහැදිලි ය. මහාවංසයේ සඳහන් කරුණු විශ්ලේෂණය කළහොත් එම ස්ථානයේ කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි බෞද්ධ සිද්ධස්ධානයක් තිබූ බවත් පසුව එතැන දෙවඟනකගේ නමින් සිද්ධස්ථානයක් තිබී ඇති බවත් උපකල්පනය කළ හැකි ය.
ඉතිහාසයේ එක් ආගමක සිද්ධස්ථානයක් තිබූ තැනක වෙනත් ආගමක සිද්ධස්ථානයක් පසුව ඉදිකිරීම සිදු නොවී නොමැත්තක් නො වේ. එබැවින් පත්තිනි දේවාලයක් තිබූ තැනක කතෝලික පල්ලියක් ඉදිවීම පුදුමයක් ද නො වේ. මන්නාරම අවට ප්‍රදේශයේ බෞද්ධ බලය ආයුධ බලයෙන් පාගා දමා පල්ලි ඉදි කෙළේ නම් අප එයින් පුදුමයට පත්විය යුතු නො වේ. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට පටහැණි නො වේ. ලංකාවේ ඇතැම් පෙදෙස්වල සිංහල බුද්ධාගමේ පත්තිනි දේවාල තිබූ තැන්වල ම කතෝලික පල්ලි ඉදිකිරීමට තවත් හේතුවක් ඇතැයි අපි සිතමු.
කතෝලික ආගම යුදා ආගමෙන් ප්‍රධාන වශයෙන් ම වෙන්කරන චරිත මරිය තුමිය හා ක්‍රිස්තුස් වහන්සේ වෙති. කතෝලික ආගමේ පිළිම නිර්මාණය කිරීමේ දී ක්‍රිස්තුස් වහන්සේගේ හා මරියතුමියගේ පිළිමවලට මුල්තැන හිමිවෙයි. යුදා ආගමේ දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම තහනම් වෙයි. කතෝලික ආගමේ ප්‍රධානම සාන්තුවරිය වූ මරියතුමිය හා සම්බන්ධ පල්ලි පත්තිනි දේවාල තිබූ තැන්වල ඉදිකිරීමෙන් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් කරුණු දෙකක් බලාපොරොත්තුවන්නට ඇත. එය බටහිර ප්‍රස්තා පිරුළකට අනුව එක් ගලකින් කුරුල්ලන් දෙදෙනකු මැරීමකි. එක් පැත්කින් පත්තිනි දේවාලය කඩා බිඳදැමීමෙන් සිංහල බෞද්ධයන්ට සිද්ධස්ථානයක් අහිමි කෙරෙයි. අනෙක් පැත්තෙන් පත්තිනි දේවාලයට ආ ගිය අය ඉන් පසු පල්ලියට යෑමට පටන් ගනියි. දෙවැන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ පත්තිනි දේවාල හා සම්බන්ධ හාස්කම් ය. දේවාලය පල්ලියක් වූ පමණින් හාස්කම් නැතිවේ යැයි ජනතාව නොසිතන බව කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් දැන සිටින්නට ඇත.
අද ද ලංකාවේ ඇතැම් පළාත්වල කතෝලික පල්ලිවලට යන සිංහල බෞද්ධයෝ භාරහාර වෙති. එහි යන සිංහල කතෝලිකයන්ගේ මුතුන් මිත්තන් ද සිංහල බෞද්ධයන් ලෙස පෙර දා එතැන තිබූ පත්තිනි දේවාලවලට යන්නට ඇති බව පැහැදිලි ය. මඩු පල්ලිය සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැත. ඒ ඉතිහාසය හා වර්තමානය අමතක කර මඩු පල්ලිය සම්බන්ධයෙන් ඇතැම් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් අසත්‍ය ප්‍රකාශකිරීම කණගාටුදායක ය. ඇතැමුන් මඩු පල්ලියට කතෝලික පල්ලියක් ලෙස අවුරුදු හයසියක ඉතිහාසයක් තිබිණි යැයි කීම දේශපාලන ආධිපත්‍යයක් සඳහා සූදානම් වීමක් මිස අනෙකක් නො වේ. එවැනි ප්‍රකාශවලින් අපට සිහිවන්නේ අඟේ ඉඳන් කණ කෑමේ කතාව ය.
මඩු පල්ලියේ ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු අමරසේන ගමගේ නම් මහතකු විසින් ලියන ලද ලිපියක අඩංගු වෙයි. අදාළ ලිපිය අන්තර්ජාලයේ ඇත. පහත සඳහන් වන්නේ ඒ ලිපියෙහි ඇතුළත් කරුණු කිහිපයකි. 1911 සංගණන වාර්තාව සංස්කරණය කළ ඩෙන්හම් මහතා යාපනයේ කතෝලික බිෂොප්වරයාගෙන් ලබාගත් තොරතුරු මත ඒ මහතා ලියා ඇති කරුණු හා ඉංගිරිසි සිවිල් සේවකයකු වූ ලීවර්ස් මහතා උතුරු මැද පළාත පිළිබඳ අත්පොතක ලියා ඇති කරුණු මත ගමගේ මහතාගේ ලිපිය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත. යාපනයේ බිෂොප්වරයා මඩු පල්ලිය පිහිටි තැන පත්තිනි දේවාලයක් තිබූ බව වසන්කිරීමට සූදානම් වී ඇති නමුත් ඩෙන්හම් මහතා ඉන් මුළා වී නැත.
මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජූලි මාසයේ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසිනි. එහෙත් එකල මඩු පල්ලියක් තිබී නැත. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දී ය. 1870 මඩු මංගල්‍යය කිනම් පදනමක් මත පටන්ගැණි දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ වන විට ඒ ප්‍රදේශයේ කතෝලිකයන් කිහිප දෙනකු සිටින්නට ඇත. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය කතෝලික කිරීම සඳහා මංගල්‍යය අරඹන්නට ඇත. අද ද එක දු ක්‍රිස්තියානි පවුලක් නැති ප්‍රදේශවල ද පල්ලි ඉදිකරන බව අපි දනිමු. ඒ කෙසේ වෙතත් 1911 සංගණන වාර්තාවට අනුව වුව ද මඩු පල්ලිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් ඉඳ නැත. එහි ඉඳ ඇත්තේ වන්දනාකරුවන් 320 දෙනකු පමණකි. ඉන් 230 දෙනකු කොළඹින් හා හලාවතින් එහි ගිය සිංහල වන්දනාකරුවන් බව සංගණන වාර්තාවෙන් හෙළි වෙයි. ඔවුන් අතර බෞද්ධයන් කී දෙනකු වී දැයි අපි නො දනිමු.
මඩු පල්ලියක් අඩු තරමෙන් 1835 ට පෙර නොතිබූ බවට පහත සඳහන් සාක්‍ෂි ද වැදගත් වෙයි. 1804 දී මන්නාරම ප්‍රදේශයේ සංචාරය කර වැදගත් විස්තරයක් ලියා තැබු කෝඩිනර් නමැති අය මඩු පල්ලිය පිහිටා ඇති ප්‍රදේශය ආසන්නයේ පිහිටි අරිප්පු හා කොන්ඩාචි ප්‍රදේශ ගැන සඳහන් කළ ද මඩු පල්ලියක් ගැන කිසිවක් නො කියයි. සිලෝන් ගැසටියර් නම් පත්‍රය සැකසූ සයිමන් කාසිචෙට්ටි මුදලිතුමා විශාල කැලෑවක් මැද මරදොද්ද නම් ප්‍රදේශයක තිබූ තානායමක් (රෙස්ට් හවුස්) ගැන සඳහන් කළ ද මඩු පල්ලියක් ගැන සඳහනක් නො කරයි. මරදොද්ද යන්නෙන් ඔහු අදහස් කළේ මරදමඩු යන්න විය හැකි ය. එසේ නම් තත්වය වඩා බරපතළ වන්නේ මඩු පල්ලිය ගැන එහි ද සඳහන් නොවීම නිසා ය.

මේ සියල්ලෙන් කියැවෙන්නේ කතෝලික පල්ලියක් ලෙස මඩු පල්ලියේ ඉතිහාසය එතරම් ඈතට නොයන බව හා එතැන කලින් තිබූ පත්තිනි දේවාලයක් කඩා දමා යාපනය කතෝලික බිෂොපතුමාගේ මැදිහත්වීමෙන් 1870න් පමණ පසුව පල්ලියක් ගොඩනගා ඇති බව ය. අද ද මඩු පල්ලියට සිංහල බෞද්ධයන් ද යන්නේ පැරණි සංස්කෘතික සම්බන්ධතා හේතුවෙනි. මඩුපල්ලිය අද වන විට මෙරට කතෝලිකයන්ගේ වැදගත් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත. කවදත් අන්‍යාගම්වලට ගරු කළ සිංහල බෞද්ධයන් එහි ඉතිහාසය කුමක් වුවත් මඩු පල්ලියට ද ගරු කරනු ඇත. එපමණක් නොව එය ආරක්‍ෂා කරනු ඇත. මඩු පල්ලිය දැනට අයත්වන මන්නාරම බිෂොප් පදවියේ රායප්පු ජොසෆ් බිෂොප්වරයාගේ කොටි හිතවාදී ක්‍රියා තිබියදීත් අපේ හමුදා මඩු පල්ලිය කොටින්ගෙන් බේරාගෙන කතෝලික බැතිමතුන්ට ද අනෙක් අයට ද එහි යෑමට හැකිවන පරිදි ඒ ආරක්‍ෂා කළහ. අපි ඉදිරියේදීත් එසේ කරමු. එහෙත් සිංහල බෞද්ධයන්ගේ අන්‍යාගම් ඉවසීම නිවටකමක් ලෙස සිතා මඩු පල්ලියට බොරු ඉතිහාස ගෙතීමෙන් කතෝලික උගතුන් වැළකිය යුතු ය.

නලින් ද සිල්වා

මඩු දේවස්ථානයේ ඉතිහාසය

16 සියවසෙන් පෘතුගීසි සමය දක්වා දිවයයි. මඩු දේවස්ථානය නමින් දැන් හැඳින්වුවද එකල එහි තැන්පත් කොට ඇති හාස්කම් පාන මරිය මව්තුමියගේ දේවමාතා පිළිරුව මුලින්ම තැන්පත් කොට තිබුණේ මන්නාරම මාන්තෙයි තොටෙහි කතෝලික දේවස්ථානයකය.

1505 දී පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් පසුව ඔවුහු ඒ ප්‍රදේශවල කතෝලික පල්ලි පිහිටුවා විශාල වශයෙන් පිරිස් කතෝලික ආගමට හරවා ගත්හ. මේ නිසා 1550 – 1560 වනවිට මන්නාරම නගරය අවට පමණක් කතෝලික දේවස්ථාන විසි ගණනක් තිබුණු බව පැවසේ.

මාන්තොට හෙවත් මාන්තෙයි පිහිටා තිබූ මරිය දේවමාතා දේවස්ථානය එකල ද හාස්කම් පෑ දේවස්ථානයක් විය. මාන්තෙයි පුරාණ නැව් තොටක් ව තිබුණ ද පෘතුගීසි සමය වනවිට එහි වෙළෙඳ නගරය තුරන්ව පෘතුගීසි බළකොටුවක් ඉදිකොට තිබිණි. 1558 වනවිට එහි සිටියේ කණ්ණඩි ස්වාමි නමින් හඳුන්වන පෙඩ්රෝ නම් පියතුමන් බව පැරණි පොතපතෙ හි සඳහන් වෙයි.

කෙසේ වෙතත් ලංකාවේ මුහුදුබඩ ලන්දේසින්ගේ ආක්‍රමණයට හසුව පෘතුගීසි පාලනයෙන් ගිලිහුණු පසු කතෝලික බැතිමතුන්ට හා දේවස්ථානවලට ලන්දේසීන්ගේ තාඩන පීඩන එල්ල විය.

එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා යන්නට පිටත්වූයේ මඩුමාතා පිළිරුව ද වඩම්මාගෙනය.

මේ පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන් ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නැවතුණේය. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් ද විය. බදු නිලධාරියාගේ උදව් ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි වූහ. එම ගම හැඳීන්වූයේ මරද මඬු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙයි.

වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් 700 දෙදෙනෙක් ද මේ මාර්ගයේ අවුදින් ඔවුන්ට එකතු වූහ.

මේ පිරිසට නායකත්වය දී ඇත්තේ හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි. ඇය පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක බව ද කියැවේ.

මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එහි බදු නිලධාරියා සමඟ විවාහවීමෙන් මේ පිරිස ද එම ගම්මානයේ නැවතුනේ වනය හෙළිකොට නව ගම්මානයක් විශාල වශයෙන් තනාගනිමිනි.

බදු නිලධාරියෙකු මෙන්ම සිංහල සෙනෙවියෙකු ද වූ පුරුෂයා සමඟ විවාහ වූ පසු හෙලේනා මඩු දේවස්ථානය හොඳින් නිමවූවාය. මේ දෙදෙනා එකතුව ස්ථිර ගොඩනැඟිල්ලක් තනවා දේවමාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකළහ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි.

ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරුවන්ට පිහිට වන්නට පටන් ගත්තාය. එකළ වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරු වලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරුවිය. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩිවිය. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්ලයට දස දෙසින් වන්දනාකරුවෝ එන්නට පටන් ගත්හ.

මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තැනවීය. ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.

මඩු මංගල්‍යය

1870 ජූලි මස 2දා මඩු මංගල්‍යය ආරම්භ වීමෙන් අනතුරුව එය වර්ෂයක් පාසා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදන ලද්දේ ද බොන්වින් පියතුමා විසිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: