සීතාවක රජ කළ මායාදුන්නේ මහ රජතුමාගේ බාල පුත් කුමාරයා ‘ටිකිරි බණ්ඩාර. ටිකිරි බණ්ඩාර කුමාරයා කටේ කිරි සුවඳ යන්නටත් කලින් සටනට ගියා.
සටනට ගිහින් වීදියේ බණ්ඩාර පරාජය කළා. ටිකිරි කුමාරයා ගැන රට්ටු ආඩම්බරයෙන් කතා කරන්නට පටන් ගත්තා.
ටිකිරි කුමාරයාට ‘රාජසිංහ’ කියා නම් තැබුවෙත් රටේ මහා සේනාව. මායාදුන්නේ රජතුමාට තමන්ගේ පුත් කුමාරයා ගැන ආඩම්බරයි.
ටිකිරි කුමාරයා තමන්ගේ වයසේ මල්ලයන් සමග හටන් පුහුණු වෙන පිටියක් තිබුණා.
මේ පිටියේ කුමාරයා කඩු ශිල්ප, දුනු ශිල්ප, අංගම් පොර වගේ සටන් පුහුණු වෙන හැටි බලන්ට සීතාවක මිනිස්සු පොර කෑවා.
ටිකිරි කුමාරයා අසුන් පිට යන්නට හැබෑ දක්ෂයෙක්. අසු පිට යමින් ම වේගයෙන් දුවන වෙනත් අශ්වයෙකු ට මාරු වෙන්නටත් කුමරුට පුළුවන්.
මේ දස්කම් ගැන ඇසූ මායාදුන්නේ රජතුමාටත් පුත් කුමාරය ගේ දස්කම් බලන්න හිතුණා.
පිය රජතුමා සටන් නරඹන බව දුටුවොත් කුමාරයා සැබෑ දස්කම් දක්වන එකක් නෑ.
සැඟවී සටන් පුහුණුව නරඹන්නට රජතුමා තීරණය කළා. සැඟවෙන්නට රජු තෝරා ගත්තේ සටන් පිටිය කෙළවරක තිබුණු පිදුරු ගොඩක්.
නියමිත දවසෙ මායාදුන්නේ රජතුමා වේලාසනින් ම ගිහින් හරඹ පිටියෙ පිදුරු ගොඩේ සැඟවුණා. කුමාරයා එදා අපූරුවට හරඹ කළා.
සැඟවී බලා සිටි මහ රජතුමාටත් සතුටුයි. ටිකිරි කුමාරයා ගේ සිරිතක් තිබුණා හරඹ හමාර කරන කොට දුවගෙන ඇවිත් කිසියම් අජීවී දෙයකට කඩුවෙන් පහර දීලා හරඹ හමාර කරන.
එදා ටිකිරි කුමාරයා හරඹ විලාසයෙන් ම දුවගෙන ඇවිත් පිදුරු ගොඩට ලතාවකට කඩුවෙන් පහර දුන්නා. පුත් කුමාරයගෙ හරඹ දකින්නට පිදුරු ගොඩේ සැඟවී සිටි මායාදුන්නේ රජු මේ ප්රහාරයෙන් මරණයට පත් වුණා.
සීතාවකට හතුරු පරංගි සේනාවත්, වෙනත් විරුද්ධ කාරයොත් ‘ටිකිරි කුමාරයා පිය රජු මරා දැම්මා’ කියල කටකතා පතුරුවා හැරියෙ මේ සිද්ධිය හේතුකොට ගෙනයි’
Leave a Reply