Posted by: lrrp | November 23, 2008

‘සෙල්ලම් නිරිඳු’ ගෙන් බේරුණු රූමත් මුස්ලිම් තරුණිය

ඒ කුණ්ඩසාලේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු උඩරට රජ කරන අවදියයි. ‘සෙල්ලම් නිරිඳු’ ලෙස රටේ ප‍්‍රසිද්ධ ව සිටි තරුණ රජු සංගීතය, නැටුම්, ගැයුම්, සුරාව හා ස්ත‍්‍රීන් ප‍්‍රිය කළ විනෝදකාමියෙක් විය.

කුණ්ඩසාලේ අගනුවර සිට තම හිතවත් ඇමැතීන් කීප දෙනකු සමඟ දෙගල්දොරුව ගල්තලාව – සිරිමල්වත්ත හරහා මහවැලි ගඟේ ලේවැල්ල තොටුපළට දිය නෑමට ඒම රජු බෙහෙවින් ප‍්‍රිය කළේය. ලේවැල්ල තොටුපළේ ගඟ අයිනේ පිහිටි ‘පිනුම්ගල’ ගලට නැඟී ගඟට ඉහළ සිට පනිමින්, පිහිනමින් රජු ඇමැතීන් සමඟ විනෝද වෙයි.

දිනක් මේ තොටුපළේ දිය නාමින් සිටි රජුගේ අතක ගඟේ ඉහළ සිට පාවී ආ බෙහෙවින් රැළි ගැසුණු අඩි පහක් පමණ දිග කෙස් ගසක් පැටළුණේ ය. මේ තරම් දිග කෙස් වැටියක් ඇති තරුණියක සිටිය හැකි දැයි රජු පුදුමයට පත් විය. රජු ඒ කෙස් ගස ඇමැතීන් අතට දී වැඩිදුර පරීක්ෂාවට ලක් කළේ ය.

“මේ කෙස් ගස අඩි පහක් පමණ දිගයි. රැළි ගැසුණු මනාව වැඩුණු කෙස් කළඹක් ඇති නව යොවුන් තරුණියක ගේ බව පැහැදිලියි”

කෙස් ගස පරීක්ෂා කරමින් ඇමැතිවරු කීහ.

“මේ කෙස් ගස හිමි තරුණිය මේ තොටුපළෙන් ඉහළ ගං දෑලේ සිටිය යුතුයි. ඒ දැකීමට අප ආශාවෙන් ඉන්නවා.”

එදා රජ වාසලට ගිය රජු ලේවැල්ල තොටුපළෙන් ඉහළ ගඟ අද්දර ඉතා දිග රැළි ගැසුණු කෙස් කළඹක් ඇති තරුණිය සොයා රාජ දූතයන් කීප දෙනකු ගම්මානවලට යැව්වේය.

රාජ දූතයෝ ගඟ දෑළ පිහිටි ගම්මානවලින් තොරතුරු විමසමින් දින කීපයක් ම ගඟ ඉහළට ගමන් කළහ.

අඳුර වැටෙන විට ඔවුහු ගම් ප‍්‍රධානීන් ගේ නිවෙස්වල ලැඟුම් ගත්හ. ගෙලිඔය නුදුරු පාරම්පරික මුස්ලිම් ගම්මානයක් වූ කළුගමුවට ගිය රාජ දූතයන්ට ඒ ගමේ විලුඹ දක්වා වැඩුණු කැරළි ගැසුණු කෙස් කළඹක් ඇති මුස්ලිම් තරුණියක් ඇති බව ගඟ අවට පදිංචි කරුවන්ගෙන් දැනගන්නට ලැබුණි.

ගමේ මඟ පෙන්වන්නන් ගේ සහය ඇතිව රාජ දූතයන් ගමට යන විට අඳුර වැටීමට කිට්ටු විය. කළුගමුව මුස්ලිම් ගම්මානයේ ගෙවල් හත අටක් විය. කටු මැටි ගැසූ බිත්ති හා මානා වැසූ පියසි සහිත කුඩා පැල්පත් හත අට ගමේ එක ළඟින් පිහිටා තිබුණි.

රූමත් තරුණිය සිටි නිවසේ සිටියේ දෙමාපියන් හා ඇය පමණකි. රාජ දූතයෝ ගේ ඉඳි කඩුල්ල ළඟට ගොස් කතා කළ විට මහලු මව හා පියා වෙව්ලමින් කඩුල්ල ළඟට ආහ. දියණිය දොරට මුවා වී කතා බහට ඇහුම්කන් දුන්නා ය. රාජ පණිවිඩය අසා දෙමාපියෝ තැති ගත්හ.

“දැන් බිං කරුවල වැටෙන්න කිට්ටුයි. අද රෑ අප මේ ළඟ නවාතැන් ගන්නවා. හෙට පාන්දරම අප එනවා. මේ තරුණිය රජ වාසලට කැටුව යන්න සූදානම් කර තබන්න.”

දූතයෝ රාජ අණ මහලු යුවළට කියා පෑහ. මහලු යුවළ දෑත් අහසට ඔසවා දේව පිහිට පැතූහ. ගමරාල පිළියෙළ කළ වාඩියක එදා රෑ ගත කළ රාජ පුරුෂයෝ පසුදා පාන්දරම තරුණිය කැටුව රජ වාසලට යන ආකාරය ගැන කතා බහ කළහ.

ඇගේ රූබර දේහය කළුවර වැටෙන විට ඔවුහු හොඳින් දැක ගත්හ. කෙස් මනාව රැළි ගැසී ඇත. කඩා දමා ඇති කොණ්ඩය විලුඹ තෙක් දිග ය. ඇය අතිශය රූමත් ය. තරුණිය ගෙන ගිය පසු රජුගෙන් ලැබෙන තෑගි බෝග ගම්වර ගැන ඔවුහු සිහින මැවූහ.

“හෙට පාන්දරම තරුණියත් කැටුව පිටත් වුණාම හෝරා තුන හතරකින් රජ මැඳුරට ළඟාවෙන්න පුළුවනි.

මහරජතුමා අප‍්‍රමාණ සතුටට පත්ව අපට තෑගි බෝග දෙනු නිසැකයි…

රාජ දූතයෝ මැදියම් රෑ වනතුරු කතා බහ කරමින් අල්ලාප සල්ලාප දොඩමින් සිහින මැවූහ.

මේ අතර මුස්ලිම් ගමේ ගෙවල් හත අටේ අය රෑ තරුණිය ගේ නිවසට එකතු වී රජුගේ නියෝගය ගැන රහසේ කතා බහ ඇරඹූහ. මුස්ලිම් තරුණිය රජු වෙත ගෙන යාමට ඉඩ දෙනවාද නැත්ද ඔවුහු වාද විවාද කළහ.

අන්තිමේදී ගමේ හැම දෙනාගේ ම තීරණය වූයේ සියලු දෙනාම ගම අත්හැර එදා රාති‍්‍රයේ ම පාළු ප‍්‍රදේශ මැදින් පලා ගොස් අනතුරු දුරු වන තුරු රහසිගතව සැඟවී සිටීමටයි.

තම වටිනා වස්තුව පොදි බැඳගෙන හිස මත හා දෑත් වල එල්ලා ගෙන කළුගමුව අත්හැර මහවැලි ගඟ දිගේ පාළු ප‍්‍රදේශ වනාන්තර මැදින් ඔවුහු අරමුණක් නැතිව ඉදිරියට ගමන් කරන්නට වූහ. රූමත් තරුණිය ගම්මුන්ගේ රැකවරණ මැද ඉදිරියට යයි.

පසළොස්වක කිට්ටු බැවින් ගහකොළ හෝදාගෙන සඳ එළිය බිමට පෙරෙයි. උස්ව වැඩුණු ගහ කොළ සහිත ගස් ගොම්මන් සඳ රැස් උරා බී යම්තම් බිඳක් එළිය බිමට වැටෙයි. මැදියම් රැය ළං වන විට ඔවුහු ගම්පොළ පසුකොට උලපනේට ආහ.

වෙහෙස මහන්සි නො බලා ගමන් කළ ඔවුහු නාවලපිටිය පසුකොට කොත්මලේ සීමාවේ පිහිටි තැනිතලා වනාන්තරයක් වූ හපුගස්තලාවට කුකුළා හඬලන වේලාවට පැමිණිය හ. එය මහවැලි ගඟේ මුල් අතු ගංගා දෙක වූ හැටන් ගඟ හා කොත්මලේ ඔය එකට එකතු වන ‘පොල් වතුර’ නම් ස්ථානයේ සිට හූවක දුරින් පිහිටි හපුගස් බහුල කැලෑ බිමක් විය.

කඳුකරයෙන් කැලෑවෙන් මහවැලි අතු ගංගාවලින් වටවී තිබූ බැවින් එය ආරක්ෂාකාරී විය. හිසේ අතේ බඩු පොදි බිම දමා කැලෑ ලී කපා කැලෑ කොළ වසා පැල්පත් හත අටක් අටවා ගත් ඔවුහු ආහාරයක් ලිප තබා සැනසුම් සුසුම් හෙළුෑහ. එදා උදෑසනම තරුණිය නාවා අලංකාර ලෙස සරසා ඔවුන් සමඟ පලා ආ මුස්ලිම් තරුණයකුට පාවා දෙන ලදී.

රාජ දූතයන් උදෑසන ගමට යන විට ගම්මුන් ගම අතහැර ගොස් මුළු ගම ම පාළු වී තිබුණි. අතට ආ ගොදුර වැරදී ගිය පසු රජුගෙන් ලැබෙන දඬුවම් ගැන මතක් වී ඔවුහු දෑත් හිසේ ගසා ගත්හ. රජුගෙන් බේරීමට රහසේ මහ රෑ ගම අතහැර පලා ආ මුස්ලිම් පවුල් හත අටෙන් කොත්මලේ ඔය අද්දර තැනිතලා සරු බිමක පිහිටි ‘හපුගස්තලාව‘ නමැති මුස්ලිම් ගම්මානය ආරම්භ විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: