Posted by: lrrp | November 29, 2008

අනුරාධපුරයේ දී කළ කැණීම්වලින් මහාවංශයේ තොරතුරු සනාථ වෙනවා

ප‍්‍රශ්නය :- ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තු කැණීම් අංශය ආරම්භ කරලා දැනට වසර 40 ක් ගතවෙලා තියෙනවා. මෙතෙක් ගතවූ කාලයේදී ලංකාවේ ජනාවාසකරණය පිළිබඳ ඉතිහාසය කොතෙක් දුරට හෙළිවෙලා තියෙනවද?

පිළිතුර :- අපි දන්නවා අපිට මහාවංශය ඇතුළු තවත් එවැනිම විශාල වංශ කතා සාහිත්‍යයක් තියෙනවා. ශිලා ලේඛන හමුවෙලා තියෙනවා. ස්මාරක තියෙනවා. මේ සියලු සාධක සමඟම ඓතිහාසික යුගය පිළිබඳ සෑහෙන පර්යේෂණ ප‍්‍රමාණයක් 1968 පමණ වෙනකොට සිද්ධ වෙලා තිබුණා.

නමුත් ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු පිළිබද කතාබහ ඉතාමත් අඩුවෙන් තිබුණේ. විශේෂයෙන්ම අපිට ඒ වන විට කැණීම් ඒකකයක්වත් තිබුණේ නැහැ. ඒ අනුව 1968 වර්ෂයේදී ආචාර්ය සිරාන් දැරණියගල මහත්තයා යටතේ අපේ රටේ පුරා විද්‍යා පර්යේෂණ කරගන්න පටන් ගන්නවා.

මෙතැනදී පළමුවෙන්ම දැරණියගල මහත්තයා කරන්නේ ප‍්‍රාග් ඉතිහාසය අධ්‍යයනය කරන්න අවශ්‍ය න්‍යායික රාමුවක් දමන එකයි. ඒ කියන්නේ පුරා පාරිසරික විද්‍යා දෘෂ්ටි කෝණයකින් ශී‍්‍ර ලංකාවේ ආදි මිනිසා සහ පරිසරය අතර තිබුණු සම්බන්ධතා ගොඩනැගීමක් මේ සිදු කළේ. ඊළඟට අදියර කිහිපයකින් දත්ත එක්රැස් කිරීම සහ අර්ථකතනය ආරම්භ කරනවා.

මෙතෙන්දි කිව යුතු වැදගත්ම කරුණු තමයි ඒ වන විට ශී‍්‍ර ලංකාවේදී ප‍්‍රාග් ඉතිහාසයට හිමි තැන. ඒ වගේම ප‍්‍රාග් ඓතිහාසික ඉතිහාසයේ ලංකාවට හිමිවෙන තැන නිසි ලෙස හඳුනාගෙන තිබුණේ නැහැ. මේ අනුව 1972 වෙනකොට අපි අපේ පර්යේෂණ කටයුතු ආරම්භ කරලා. 1986 වෙනකොට ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසකරණය පිළිබඳ තොරතුරු රැසක් සොයා ගන්නවා.

අද දවස වන විට අපි කරලා තියෙන පර්යේෂණ අනුව ශී‍්‍ර ලංකාවේ ජනාවාසකරණය පිළිබඳ මුල්ම සාධක හමුවන්නේ ඉරණමඩු පස් සැකැස්මට අයත් ප‍්‍රදේශවලයි. ඉරණමඩු පාංශු ව්‍යාපෘතියේ කොටස් තුනක් තිබෙනවා. වයඹදිග ලංකාවේ මෝදරගම් ආරු, කලාඔය,

අතර පිහිටි වෙරළබඩ තීරු දක්ෂිණ ලංකාවේ බූන්දල පතිරාජවෙල සහ මිනිහා ගල්කන්ද ඇතුළු යාල කලාපය ලෙසටය ඒ. මේවායින් කැණීම් කෙරුණේ බූන්දල පතිරාජවෙල පමණයි. අනිත් ස්ථානවල ගවේෂණයක් පමණයි සිදු කළේ. කැණීම් අනුව ආදිම හෝමෝසේපියන්වරු පිළිබඳ අවුරුදු 1,25000 කට එහා යන සාධක තියෙනවා.

මෙතෙන්දි ගල් ආයුධ විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. අනිත් සියලුම ඒවා ඓන්ද්‍රීය ද්‍රව්‍ය.මේවා විනාශ වෙලා තියෙනවා. නමුත් මේ කාලයේ තිබුණු ශිලා මෙවලම් අනුව ආදි හෝමෝසේපියන්වරු කියලා තහවුරු කරන්න පුළුවන්.

මිනිහා ගල්කන්ද ගත්තම එතැන තියෙන සාධක අනුව අපිට අවුරුදු ලක්‍ෂ තුනකට එහා ගිය ඉතිහාසයක් ගැන කියන්න පුළුවන් වේවි. දැන් අපි ඒ පර්යේෂණ සඳහා අවශ්‍ය සැලැස්ම දාගෙන යනවා. ඒ සඳහා අපිට අවශ්‍ය තාක්ෂණය තමයි අඩුපාඩුවකට තියෙන්නේ.

පසුගිය අවුරුදු මිලියන දහයෙන් ලක්ෂ 7 ක් ම ලංකාවයි ඉන්දියාවයි එකම භූමි ස්කන්ධයක් හැටියටයි තිබුණේ. ඒ නිසා මීටත් වඩා එහාට ගිය සාධක සොයා ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.

ප‍්‍රශ්නය :- පැරණි මානවයාගේ සුවිශේෂී ලක්ෂණ මොනවාද?

පිළිතුරු :- වසර 1,25000 කට එහායින් තමයි අපිට ගල් ආයුධ හම්බ වෙලා තියෙන්නේ. මේ කාලයේ මානව සත්ත්ව ශේෂ ආදිය විනාශ වෙලා තියෙනවා. නමුත් ඔවුන්ගේ ජීවන ක‍්‍රමය අදින් අවුරුදු 40,000 කට පෙර ලංකාවේ ජීවත් වූ නවීන හෝමෝසේපියන්වරුන්ට සමානයි.

මේ අය දඩයමින්, මුහුද ආශි‍්‍රත පරිභෝජනයන් ගෙන් තමයි ජීවත්වෙලා තියෙන්නේ. හැබැයි 40,000 ක කාලයේදී පටන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසවල ඉතාමත් පැහැදිලි සාධක තියෙනවා. නවීන මානවයා එහෙම නැත්නම් බලංගොඩ මානවයාගේ ඇටසැකිලි 50 කට වැඩි ප‍්‍රමාණයක් අපේ ප‍්‍රධාන ගල්ලෙන් වලින් හම්බ වෙලා තියෙනවා.

කුරුවිට විතරක් පුද්ගලයන් 33 ක ගේ ඇටසැකිලි අවශේෂ හම්බ වෙලා තියෙනවා. මේ අයගේ ජීවන ක‍්‍රමය, පරිසරය මෙල්ල කිරීමට යොදාගත් තාක්ෂණය බලපුවාම පෙනෙන්නේ අතිශයින්ම නවීන හැසිරීම් රටාවනුයි.

මානවයා අපි‍්‍රකාවෙන් නික්මීමේ න්‍යාය (out of Africa) අනුව නැගෙනහිර අපි‍්‍රකාවේ බිහිවුණු මානවයා අවුරුදු 80,000 ක විතර කාලයේ දී සීනායි අරාබි ලංකාව හරහා ඕස්ටේ‍්‍රලේෂියාව ජනාවාසකරණය කළා කියල මතයක් තියෙනවා.

ඒ අනුව බලනකොට මේ මාර්ගවල පුරාවස්තු වල සමානකමක් තියෙනව. උදාහරණයක් විදිහට මිනීවැළලීම සම්බන්ධ අභිචාර ක‍්‍රම ගත්තම කුරුවිට බටදොඹ ලෙනේ ආදිතම පස්තට්ටුවේ අවුරුදු 40,000 කට එහා කාලයක කොඳු ඇට නාරටියක්, හිස් කබලක් හම්බ වෙලා තියෙනවා. ඒකෙ චාරිත‍්‍රයක් හැටියට ගුරුගල් තවරලා තියෙනවා.

ඒ වගේම ඕස්ටේ‍්‍රලියාවේ මන්ගෝවිල අංක 3 දරන හිස් කබලෙන් මේ විදිහටම ගුරුගල් තවරලා තියෙනවා.

ඒ එක්කම ඉතාමත් දියු තාක්ෂණයෙන් යුත් ජ්‍යාමිතික හැඩයේ ශිලා මෙවලම් හම්බ වෙලා තියෙනවා. ඒ හැම හැඩයක්ම අපි‍්‍රකාවෙත් සමානයි. ආභරණ භාවිතය ගත්තොත් බටදොඹ ලෙනෙන් හම්බවෙලා තියෙනවා.

අවුරුදු 40,000 කට එහා ගිය මුහුදු පබළු වර්ගයක්. මෝරකුගේ දතක්. පබළුව ගත්තම ඒවා ඉන්දියාවේ පන්නේවලිනුත් හම්බ වෙනවා. අපි‍්‍රකාවෙනුත් හම්බ වෙනවා. ඒක නවීන මානවයාගේ හැසිරීම් ලක්ෂණයක්. මේ අනුව දුරස්ථ හුවමාරුවක් තිබුණා කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය :- ඔබ අපි‍්‍රකාවෙන් නික්මීමේ න්‍යාය (out of Africa) පිළිබඳව කතා කළා. ආසියාවෙන් නික්මීමේ න්‍යායටත් (out of Asia) සාධක ලංකාවෙනුත් හම්බවෙලා තියෙනවා නේද?

පිළිතුර :- මේ දෙකම ලෝකයේ තිබෙන ප‍්‍රබල මත දෙකක්. මේ දෙකටම සාධක ලංකාවෙන් හම්බ වෙනවා. මොකද ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ මැදනේ. න්‍යාය දෙකෙන් කෝක හරිද කෝක වැරදිද කියලා තවමත් කියන්න බැහැ.

නමුත් බුන්දල පතිරාජවෙල අවුරුදු 1,25000 කට වැඩි සන්දර්භයකින් මොට කරන ලද ආයුධ හම්බ වෙනවා. මේ ගැන තවමත් හරියට පර්යේෂණ කරලා නැහැ. මේවා හරියට ඔප්පු වුණහොත් අපි‍්‍රකාවෙන් නික්මීමේ න්‍යාය අභියෝගයට ලක්වෙනවා.

ප‍්‍රශ්නය :- ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ හම්බවෙලා තියෙන සාධක අනුව මෙම ප‍්‍රදේශ හුදෙකලා ස්ථානද? එහෙම නැත්නම් මේවා අතර අන්තර් සම්බන්ධතා තිබිලා තියෙනවද?

පිළිතුර :- අවුරුදු 40,000 ක කාලය බලන විට ශී‍්‍ර ලංකාවේ සෑම පරිසර පද්ධතියක්ම නවීන මානවයා ජනාවාසකරණය කරලා තියෙනවා. දැනට යාපනයේ අර්ධද්වීපයේ හැරෙන්න අනිත් සෑම ස්ථානයකම මේ සාධක හමුවෙනවා.

ඒ වාගේම මානව සමාජය සහ සත්ත්ව සමාජය අතර කිට්ටු සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක අපි 2005 දී කරන ලද කැණීමකින් බොහොම හොඳින් තහවුරු වුණා. අපි 2005 බෙල්ලන්බැදි පැලැස්සේ කැණීම් කළා. ඊට ඉස්සරලා මේ ප‍්‍රදේශයේ පී.ඊ.පී. දැරණියගල මහත්තයා 1950 දශකයේදී කැණීම් කළා.

මේ ස්ථානයේ කාලනිර්ණය කරලා තිබුණේ අවුරුදු 6000 කටයි. නමුත් අපි නැවතත් මේකට දින නියම කරන්න කුඩා ප‍්‍රමාණයේ කැණීමක් කළා. ඒ අනුව අවුරුදු 12,000 ක සාධක හම්බ වුණා. මේ මානව සාධක තිබුණු තට්ටුවලින් හීලෑ බල්ලකුගේ ශේෂ, මෝරකුගේ දත් හම්බ වෙලා තියෙනවා. මේ බල්ලා ස්ථිරවම හීලැ බල්ලෙක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මේකෙන් පේන්නේ මානවයා සහ සත්ත්ව කොට්ඨාස අතර සම්බන්ධයක් තිබුණු බවයි.

ප‍්‍රශ්නය :- ලංකාවෙන් හමුවූ මෙම පුරා විද්‍යාත්මක සාධක කෙරෙහි අන්තර්ජාතිකව පවතිනුයේ කෙබඳු පිළිගැනීමක්ද?

පිළිතුර :- ජ්‍යාමිතික හැඩයේ ගල් ආයුධ වගේ ප‍්‍රාග් ඓතිහාසික සාධක ආචාර්ය සිරාන් දැරණියගල මහත්තයාගේ කාලයේ සොයා ගත්තාට, ඒවා ලෝකයා පිළිගන්න මැළිවුණා. මොකද ඒ කාලය වන විට මෙම කලාපයෙන් මෙවැනි දේ හොයාගෙන තිබුණේ නැහැ.

1979 වන විට සාමාන්‍යයෙන් කාලය නිර්ණය කෙරුණේ සාම්ප‍්‍රදායික යුරෝපීය කාල නිර්ණයන්ට අනුවයි. එතකොට අවුරුදු 10,000 කට සීමා වුණා. නමුත් දැරණියගල මහත්තයා ඒ කාලයේ ලංකාවෙන් හමුවුණු සාධක අවුරුදු 28,000 කට දින නියම කරපුවාම විදේශික උගතුන් විශ්මයට පත්වුණා.

නමුත් පස්සෙ කාලයක මේ සම්බන්ධයෙන් ලෝකයේ තිබුණු තත්ත්වය වෙනස් වුණා. මොකද ලෝකයේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණවල දියුණුවක් සිද්ධවීම නිසාම. මේ වන විට ලංකාවට සමාන ආදි ජ්‍යාමිතික ශිලා මෙවලම් අපි‍්‍රකාවේ සන්දර්භ ගණනාවකින් හම්බ වුණා.

ඊළඟට ඉන්දියාවෙන් හම්බ වුණා ඒ එක්කම අපි‍්‍රකානු න්‍යාය 2005 වන විට තවත් පුළුල් වුණා. ඒ නිසා ලංකාවේ සොයාගැනීම්වලට ලොකු පිළිගැනීමක් ඇතිවුණා.

අපේ සාධක ලෝකයට පෙන්වීමට අපි ජ්‍යාමිතික සුනු මෙවලම් අඩංගු පස් සාම්පල් කුරුවිට බටදොඹ ලෙනෙන් අරගෙන රසායනාගාර තත්ත්ව යටතේ පරීක්ෂා කළා. එතෙන්දි ජ්‍යාමිතික ශුද්‍ර මෙවලම් නිපදවීමේදී අපතේ ගිය අපද්‍රව්‍ය සහ ඒ තාක්ෂණයෙන් කැඩුණු කෑලි හම්බ වුණා.

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ශිලා විද්‍යාව පිළිබඳ මහාචාර්ය යොහාන් කමින්ග, පීටර් හිස්කොක් වගේ අය මේක තහවුරු කරලා පෙන්වූවා. මේ අනුව අද සමස්ත ලෝකයේම ලංකාව කියන්නේ නවීන මානවයාගේ ආදිතම අවස්ථාව පිළිබඳ සාධක තිබෙන රටක් ලෙසට පිළිගැනීමක් තියෙනවා.

ප‍්‍රශ්නය :- නවශිලා යුගය පිළිබඳව ලංකාවේ සාධක නොමැති බවට මතයක් තිබෙනවා. ඒ සඳහා බලපා තියෙන්නේ කවර හේතුවක්ද?

පිළිතුර :- ඔව් එතැන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. අපි කැණීම් කරපු ස්ථාන ගත්තහම ඒ ස්ථානවල තිබුණු පස් තට්ටුව ඒ වන කොට ඇදලා දාලා තියෙනවා. උදාහරණයක් විදිහට කිතුල්ගල බෙලි ලෙන ගත්තොත් එතැන නවශිලා යුගය නියෝජනය කරන පස් තට්ටු ඔක්කොම අහකට ඇදලා දාලා තියෙන්නේ.

මොකද අපි දන්නවා පස්සේ කාලෙක භික්ෂුන් වහන්සේලා ගල්ලෙන්වල වාසයට යොමු වෙනවා. ඒ වාගේම මේ ස්ථානවල වවුලෝ ඉදලා ඒ සත්තුන්ගේ මළ ද්‍රව්‍ය රැඳිලා තිබිල මේ සන්දර්භ පස්සෙ කාලයක අහකට ඇදලා දාලා තියෙනවා.

ඒ නිසා මේ යුගයේ සාධක බොහොමයක් විනාශ වෙලයි තියෙන්නේ. නමුත් මෑත කාලයේදී දොරවක ලෙන සහ හෝර්ටන් තැන්න වගේ ස්ථානවල මේ යුගයට අයත් හඳුනාගත හැකි සාධක ලැබෙනවා.

අවුරුදු 18,000 ක පමණ ඉඳන් කාලයේ බාර්ලි වෙනත් ධාන්‍ය වර්ගයක් පේ‍්‍රමතිලක මහත්තයා කරපු කැණීම් මඟින් සොයාගෙන තියෙනවා. මේවා පිළිබඳව බි‍්‍රතාන්‍යයේ විද්‍යාඥයෝ පිළිබඳ තහවුරු කරලා තියෙනවා. එහෙම බලපුවාම ඉදිරියට මේ සම්බන්ධයෙන් නිරවුල් සන්දර්භයක තොරතුරු කියන්න පුළුවන් වේවි.

ප‍්‍රශ්නය :- අපට විශාල වංශකතා සාහිත්‍යයක් තිබෙනවා. මේ වංශ කතාවල කියැවෙන තොරතුරු පුරා විද්‍යාත්මක කැණීම්වලින් තහවුරු වීමක් තියෙනවද?

පිළිතුර :- ඇත්ත වශයෙන්ම අනුරාධපුරයේ අපි කරලා තියෙන කැණීම් සලකා බලන විට මහාවංශයේ තොරතුරු ඒ මගින් සනාථ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මහාවංශයේ තියෙනවනේ ඉන්දියාව සමඟ සංස්කෘතික සම්බන්ධතා තිබුණා කියලා.

ඒ සඳහා සාධක අපිට ලැබිලා තියෙනවා. අනුරාධපුර යුගයේ කැණීම් අතරින් බුදුහාමුදුරුවන් ජීවත්වුණු කාලයේ භාවිතා වුණු උත්තර භාරතීය කාල දීප්ත මැටි බඳුන් හම්බවෙලා තියෙනවා. මේ පාත්තර විශේෂය ගංගා යමුනා තීරයේ ප‍්‍රදේශවල තිබිලා තියෙන්නේ.

කි‍්‍ර.පූ. 3 සහ 2 වන විට ඒවා සම්පූර්ණයෙන් ම නැතිවෙලා යනවා. මෙවැනි පාත්තර කැබලි ලංකාවේ තිබීමෙන් ලංකාවයි ඉන්දියාවයි අතර තිබුණු සංස්කෘතික සබඳතා තහවුරු වෙනවා.

ඒ එක්කම මෑත කාලයේදී තිස්සමහාරාමයේ කැණීම් මඟින් වී වර්ගයක් සොයාගෙන තියෙනවා. මේ වී වර්ගය කි‍්‍ර.පූ. 4-3 වැනි සියවස්වලටයි අයත් වෙන්නේ. මේ පිළිබඳව අපි දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සමඟ එකතුවෙලා පර්යේෂණ කරගෙන යනවා. මෙහිදී අපේ කෘෂිකාර්මික ඉතිහාසය තහවුරු කරගත හැකියි.

විජය කතාව ගත්තහමත් විජය කියන්නේ යකඩ තාක්ෂණය දන්න පිරිසක්. අනුරාධපුරයට කි‍්‍ර.පූ.1500 පමණ වෙනවිට යකඩ තාක්ෂණය දන්න පිරිසක් සංක‍්‍රමණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කාලය වනවිට යකඩ තාක්ෂණය, සතුන් ඇතිකිරීම, ධාන්‍ය වගාව වගේ තත්ත්වයන් තිබිලා තියෙනවා. ඒ නිසා මහාවංශයේ තොරතුරු සහ පුරා විද්‍යා තොරතුරු ගැටීමක් නැහැ.

ප‍්‍රශ්නය:- නවීන පුරාවිද්‍යාත්මක කැණීම් තාක්ෂණ සොයායාමේදී අපේ පසුබැස්මක් තියෙනවා නේද? මේ තත්ත්වයට ඔබ කරන යෝජනා මොනවාද?

පිළිතුර :- තවමත් අපේ රටේ වැඩි අවධානයක් තියෙන්නේ සම්ප‍්‍රදායික පුරා විද්‍යාවටයි. ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවෙලා නැහැ. ඇත්තෙන්ම මෙතෙන්දි අපිට විශේෂඥයන්ගේ හිඟය දැඩි ලෙස බලපාලා තියෙනවා.

මෑතකදී පශ්චාත් උපාධි ආයතනයෙන් බිහිවුණු පරාග විශ්ලේෂණය වැනි කටයුතු සඳහා පිරිස් ඉන්නවා නමුත් සමස්තයක් වශයෙන් අපේ විශේෂඥ ක්‍ෂේත‍්‍රයන්හි විශාල හිඩැසක් තියෙනවා. ඇත්තෙන්ම මෙතැන තියෙන්නේ හැකියාව තිබෙන පිරිසේ අඩුවක් නොවේ.

හැකියාව තියෙන අය ඉන්නවා. ඔවුන්ට නියම පුහුණුවක් දීලා ඉස්සරහට ගන්න ක‍්‍රමයකුයි ඕනේ. මේ සඳහා දියුණු තාක්ෂණික ක‍්‍රමෝපාය අධ්‍යයනය කිරීමට අපේ පිරිස් විදේශගත කරවන්න ඕනේ.

දැනට එවැනි ක‍්‍රම තායිලන්තය, පිලිපීනය, මැලේසියාව වගේ රටවල් අනුගමනය කරනවා. ඔවුන්ට විදේශ රටවල අත්‍යාවශ්‍ය පුහුණුව ලබාගන්න රජය මඟින් ශිෂ්‍යත්ව ආදිය ලබාදෙනවා. අපිත් ඒ දෙය සඳහා යොමු වෙනවා නම් අපිට මීට වඩා ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන්කම ලැබෙයි.

ඇත්තෙන්ම අපේ කැණීම්වලින් 40%ක් විතරයි කරලා තියෙන්නේ. ඉතිරි ඒවා අනාගතයේ ක්ෂේත‍්‍රයට එක්වෙන පිරිසට කරන්න ඉඩ තියලා තියෙනවා. එතකොට ඒ විශ්ලේෂණ සඳහා යෑමට නම් බිහිවෙන නව පරපුරට නව තාක්ෂණික ක‍්‍රම ලබාදෙන්න කටයුතු කරන්න ඕනේ.

අද චීනය වගේ රටවල් ගත්තහම ඒ රටවල හෑරීම් කරන්නේ නැහැ. ඒ රටවල තරුණයන්ට කියලා තියෙන්නේ යුරෝපයට ගිහින් තාක්ෂණය හොයාගෙන එන්න. නැතිව කැණීම් කරන්න ගියොත් විනාශයක් වෙන්නේ කියලා. මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. නියමාකාරයෙන් වාර්තා කළේ නැත්නම් කැණීමක් කියන්නේ මහා විනාශයක්.

ඉතින් අපිට නව තාක්ෂණය හඳුනාගන්න පිරිසක් බිහිකිරීම ඉතාම වැදගත්. දැන් හොඳම උදාහරණය තමා දැරණියගල මහත්තයා ඒ කාලයේ තිබුණු උසස්ම තාක්ෂණය මත පර්යේෂණ කරලා තමයි පස් තට්ටු අටක් පිළිබඳව කතා කළේ.

නමුත් අද අපිට ඒ පස් තට්ටු අට කොටස් 125කට බෙදන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවා විදේශීය විශ්වවිද්‍යාල මඟිනුත් තහවුරු කරලා තියෙනවා. මේකෙන් කියන්න තියෙන්නේ තාක්ෂණය අනුව විශ්ලේෂණයන් වෙනස් වෙන බවයි.

ඒ සඳහා අපි නවීන තාක්ෂණය අනාගත පරපුරට දෙන්න ඕනේ. ඒ තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කරන කොට අදට වඩා වෙනස් වාතාවරණයක් හෙට කතාකරන්න පුළුවන් වේවි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: