Posted by: lrrp | November 29, 2008

සීගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ උන්මාද චිත‍්‍රා?

සීගිරි සිතුවම්වලින් පිළිබිඹු වන්නේ උන්මාද චිත‍්‍රා ඇතුළු පිරිස මංගල ගමනකට සැරසෙන අයුරු බව මම මීට පෙර පුවත්පත්වලින් පළකොට ඇත්තෙමි. වරක් මහාචාර්ය සිරි ගුනසිංහ (ජුනි 01 සිළුමිණ පුන්කලස) ගේ ලිපියක ද මාගේ මතය ගැන සඳහන්ව තිබිණි.

උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගෙය බවට සීගිරිය පිළිගත නොහැක්කේ සීගිරියේ මහජනයා ගැවසෙන තැනක් බවත් එය නැඟ යෑමට ගල් පඩි තිබෙන නිසාත් යැයි අදහසක් මහාචාර්ය ගුනසිංහ දක්වා ඇත.

ඊට කෙටි පිළිතුරක් වශයෙන් මා මතක් කරන්නේ උන්මාද චිත‍්‍රා සඟවා තැබූ යුගයේ සීගිරියට නැගීමට ගල් පඩි පෙළවල් තිබුණේ නැත.

එදා කර්කට යන්ත‍්‍රයෙන් සීගිරියට නැගූ බවත් කර්කට යන්ත‍්‍රයේ ම සිට සීගිරි සිතුවම් ඇන්ද බවත් පැහැදිලි විය යුතුය. මහා වංශයේ ඒ සඳහන් වන්නේ ‘කත්කට යන්ත‍්‍රම්’ යනුවෙනි.

මෙතෙක් අපේ වංශ කථාවේ ඉතා සුළුවෙන් සඳහන් වන නමුත් කලා ලොවේ අග‍්‍ර නිකේතනයක් සේ සැලකෙන සීගිරියත් එමෙන්ම අපේ ඉතිහාසයේ මහ ඉහළින් සඳහන් වන නමුත් ඉතිහාස විචාරකයින්ට වැදගැම්මකට නැති ලංකා ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළ උන්මාද චිත‍්‍රා දීඝ ගාමිණි ඓතිහාසික පෙ‍්‍ර්ම වෘත්තාන්ත සීගිරි සිතුවමින් පිළිබිඹු වන්නේ යැයි ප‍්‍රථම වරට ‘සිළුමිණ’ පුවත්පතින් පෙන්වා දීමට ලැබීම මහත් සතුටට හේතු වෙයි.

සීගිරිය උන්මාද චිත‍්‍රා කුමරිය තැබූ එක්ටැම් ගෙයයි. මාලිගාවයි. සීගිරි චිත‍්‍ර අතරට උන්මාද චිත‍්‍රා කුමරිය ද සිටින අතර පහත කෙමියක දීඝ ගාමිණි කුමරු වෙස්වලාගෙන මල් දමක් ගෙන සිටින්නේය. හරියට මෙය පබාවති දැක ගැනීමට වෙස් වලාගෙන සැඟ වී සිටි කුස කුමරුගේ චරිතය මවා පාන්නකි.

පණ්ඩුකාභය තමාට විරුද්ධව සිටි මාමාවරුන් ඝාතනය කොට වසර 70 ක් සිය රජදහන කර ගත්තේ සීගිරියයි. සීගිරියේ පණ්ඩුකාභයට පෙර පඬුවස් දෙවුගේ රජ දහනයි. ඊටත් පෙර යක්ෂ බල කොටුවකි. මෙහි ඇති බොහෝ කර්මාන්ත පණ්ඩුකාභය රජ විසින් කරවන ලදි. මෙහි ඇති චිත‍්‍ර උන්මාද චිත‍්‍ර නමින් නම් කළ හැකිය.

පැරණි සිංහල බිතුසිතුවම් පොතේ නව වැනි පුවරුවේ නව වැනි රන්වන් රූපයෙන් පෙනී සිටින්නේ උන්මාද චිත‍්‍රා කුමරියයි. මෙහි යුගල රූපයකි. ඇය මාල හතක් පැලද ඇත. මේ යුගල රූපය සමග සිටින කළු වර්ණයෙන් යුත් තැනැත්තිය අතේ ඇත්තේ රන් බුලත් හෙප්පුවයි. තම පි‍්‍රයතම අවනත සේවිකාව මෙම හෙප්පුව ගෙන සිටින්නීය.

රන්වන කාන්තාව ගේ ආදරවන්ත කුලවත් ලීලාවත් ප්‍රෞඩත්වයත් සියලු ස්තී‍්‍ර ආභරණවලින් සැරසී වට රවුම් මුහුණකින් යුතුව තෙලි තුඩින් නිර්මිත සීගිරි සිතුවම් අතරින් සෑම රූපයක්ම පරයන අයුරින් ද එක් අතකින් සපුමලකුත් අනෙක් අතින් අරලිය මලකුත් අතැතිව තමාට ඉති සිතින්ම අවනතව මෙන්ම විශ්වාසවන්ත වූ මැණික් එබ්බ වූ බුලත් හෙප්පුව ගත් සේවිකාව සමග පෙනී සිටින මේ රූමත් කාන්තාව කැමැතිම පෙම්වතකු තමා දුටු පමණින් කාමයෙන් ඔල්මාදයට පත්කරවන අඟපසගින් හා සියලුම රන්වන් හා නිල්වන් කාන්තාවන් අතරත් දැකුම්කලු රූප සෝභාවෙන් හා නෙත් සඟලකින් යුතුව ප‍්‍රසන්න ලීලාවෙන් සීගිරි සිත්තරා සිතුවම් කොට තිබේ. ඒ උන්මාද චිත‍්‍රා කුමරියයි. ඇය මාල හතක් පැලඳ සිටී.

එහි යොදා ඇති මැණික්ගල් කුඩා ඒවා වුවත් වටිනාකමින් වැඩි විය යුතුය. මේ උදාර කාන්තාව වළලු 18 ක් හා 14 ක් පමණ එක් අතක පැලඳ සිටි. ඇයට දුටුවන් මන නුවන් පිනවන රූප සෝභා සම්පත්තියක් සිත්තරා දී තිබේ. ඇගේ සෝලිය ද අමුතුම ස්වභාවයකින් යුක්තය.

දේශීය හා භාරතීය කොණ්ඩා සැරසිල්ලක ස්වරූපයක් මෙන් දිස්වේ. ඇගේ හස්තයේ ඇති සපුමලින් කාමෝන්මත්තක බවක් හා මගේ සපුමල් කුමාරයා පිළිගැනීමට මා පුල පුලා බලා සිටින බවත් පවසන අතර අනික් අතේ ඇති අරලිය මලින් ඔහු වහා ළඟට කැඳවන බවත් පැමිණි විගස ඔහු පිළිගන්නා බවත් නිරූපණය වෙයි.

උන්මාද චිත‍්‍රාවට අතිශයින් විශ්වාසවන්ත වූ ඇය බුලත් සප්පායම් සපයන සේවිකාවට රන් හෙප්පුව ගෙන මනමාල පෙම් කුමරා එන තුරු මඟ බලා සිටී. මනාලයා නිවසට පැමිණි විට අද පවා බුලත් තට්ටුව පිළිගැන්වීම කෙරෙතත් එදා බුලත් හෙප්පුව පිළිගැන් වූ බව අවබෝධ කටයුතුය.

රජුටත් රජ කුමාරිකාවන්ටත් බුලත් හෙප්පුව පිළිගැන්වීම එදා වෙනමම රාජ සේවිකාවන් සිටි බව ඉතිහාසගත ය. කාදම්බරී මහා කාව්‍යයේ මැය ‘තාම්බූල කරන්ඩක වාහිනි’ යනුවෙන් සඳහන් වෙයි. ‘ශබ්දශ්තෝම මහා නිධියේ’ මේ බව සඳහන් වෙයි.

සීගිරියේ සිතුවම් අතර මෙම උදාර කාන්තා රූපය බලා ඇතැමුන් සීගිරි සිත්තරා අජන්තා චිත‍්‍ර කොපිකර ඇතැයි සැක කරතත් ඒ කිසිවක් මෙහි සිදුවී නැත. ඒ පමණක් නොව එල්ලෝරා, භාග්, ඉතාලි ආදී කිසිම රටක චිත‍්‍ර ස්වරූපයක් සීගිරි චිත‍්‍ර සිතුවම්කරුවා අනුගමනය කර නොමැත.

මෙහි ඇත්තේ දේශීය චිත‍්‍රය 9 වැනි චිත‍්‍රයේ රන්වන් කුමරිය භාරතීය ක්ෂති‍්‍රය කුමාරිකාවක ලෙස මුහුණ රවුම් කොට තෙලි තුඩ යොදා ඇතත් සීගිරි සිත්තරා සපුරා දේශීය ආරක් අනුගමනය කර ඇති බව සියලුම විචාරකයින්ගේ අදහසයි.

මෙම රන්වන් රූපයත් මෙබඳු රන්වන් රූප කිහිපයකුත් එකම අයුරින් සිතුවම් කොට ඇත්තේ වැදගත් අදහසක් ගෙන දීමට විය යුතුය. එනම් සීගිරි සිතුවම්වලින් පෙන්වා ඇත්තේ යක්ෂ කන්‍යා රූපයි.

මෙහිදී උම්මාද චිත‍්‍රා කුමරිය මාමාවරුන්ගෙන් බේරා ගැනීමට භාර ගත්තේ එදා මෙහි ගැවසුණු යක්ෂ සේනාධිපතියන් වූ චිත‍්‍රරාජ, කාලවේල, වලවාමුඛ් ආදී ස්වදේශික පිරිසයි.

ඔවුන් කුමරියට ආරක්ෂාව පිණිස යෙදූ කාන්තා යක්ෂ සේවක පිරිසකි. සීගිරිය මුල සිටම යක්ෂ බල කොටුවකි.

එහි මිනිස් වෙස් ගත් යක්ෂ කන්‍යා පිරිසක් කුමරිය ගේ රැකවරණයට යෙදූහ. කුමරිය සොයන මාමාවරුන්ට එහි යෑමට හේතුවක් ද නොතිබිණි. මෙහිදී යක්ෂ සේනාධිපතියෝ බියෙන් සැකෙන් තොරව එක්ටැම් ගේ විසීමට උපක‍්‍රමයක් වශයෙන් දෙයාකාරයෙන් කුමාරිකාවන් දෙපිරිසක් මැවූහ.

එක් පිරිසක් භද්දකච්ඡායන දේවිය ගේ සහ උන්මාද චිත‍්‍රා කුමරිය ගේ ශරීර වර්ණ ඇතිව ද තවත් පිරිසක් කළු පැහැයෙන් හෙවත් නිල්වන් පාටින් යක්ෂ පිරිසක් ද යොදා ඇගේ ආරක්ෂාව සැලසූහ. මෙහිදී සීගිරි සිත්තරා භාරතීය හා ස්වදේශීය චිත‍්‍ර කලා සම්ප‍්‍රදායන් අනුගමනය කොට තිබෙන බව ද පිළිගත යුත්තකි.

මෙහිදී මල්වලින් කොණ්ඩා සකසා ගැනීම දේශීය යක්ෂ ගෝති‍්‍රක සිරිතකි. මිනිසුන් රැවටීම සඳහා ඒ ඒ අවස්ථාවලදී ඔවුන් මහනෙල්, නෙළුම්, ඕලු රැගෙන සිටීම ද එක්තරා උපක‍්‍රමයකි. මෙබඳු මල් අතින් ගෙන සිටීමෙන් මිනිසුන් රැවටීම යක්ෂ කන්‍යාවන්ගේ උපක‍්‍රමයකි.

එලෙස කොණ්ඩයේ මල් ගසා ගැනීම ද ලාංකික සම්ප‍්‍රදායක් වන අතර මෙය ලංකාවෙන් භාරතයට පමණක් නොව පෙරදිගටම පැතිර ගිය බව සිතිය හැකිය.

තුන්වන පුවරුවේ එක් කතක් පෙම්වතා එන මඟට මල් වැසි වස්සන අතර අනික් කත ඔහුට මත් බඳුනක් දී පිළි ගැනීමට සැරසී සිටි හතර වන පුවරුවේ කාන්තා රූප දෙකක් පෙන්වන අතර මිනිස් වර්ග දෙකක අය ඇතැයි ආචාර්ය නන්දදේව විජේසේකර මහතාගේ අදහසයි.

මෙහි එක් රූපයක් රතුවන් වර්ණයෙන් යුක්තය. එවැනි සීගිරි චිත‍්‍ර රතුවන්, රන්වන්, නිල්වන් රූපක‍්‍රම තුනක් ඇතැයි සිතේ. මෙහි එක් කන්‍යා රූපයක මාල 05 ක් දරා සිටින බව පෙනේ. ඒ දෙවන මනාලිය මෙන් පෙනී සිටි යැයි සිතිය හැකිය. තවත් එකියක් අශෝක මලක් ගෙන සිටී. අශෝක මල ද පෙම් හටනක තොරතුරු කියා පාන්නකි. සාලිය අශෝක මාලා කතාව සිතන්න.

ශ‍්‍රමණ දුත කාව්‍ය දකුණු ඉන්දියාවේ දි මෑතකදි ලියන ලදුව අනුරාධපුර මහා විහාරයේ සිටි සීගිර කසුප් වෙත යවන ලද ස්වදේශ කාව්‍යයක ස්වරූපය ගත් කෘතියකි. මෙහි සීගිරි කතුන් හඳුන්වා ඇත්තේ යක්ෂ කාන්තාවන් පිරිසක් ලෙසිනි. සිලෝ කිහිපයකින් ඒ පිළිබඳ විස්තර වෙයි.

ඒ ඔවුන් සීගිරි සිතුවම් දැනගෙන සිටි ආකාරයයි. මෙයින් ද සීගිරි සිතුවම් යක්ෂ කන්‍යාවන්ගේ ම බව පැහැදිලි වෙයි. සීගිරි සිතුවම්වල ඇත්තේ වශීකෘත කරන දුටුවන් ඇඳ බැඳ ගන්නා මායාකාරී ස්වභාවයකි.

ලංකාවේ එක්ටැම් ගේ නමින් මන්දිර කිහිපයක් ගැන අසා ඇත්තෙමු. උම්මාද චිත‍්‍රා කුමරිය සඟවා තැබු උතුරේ පිහිටි නියම එක්ටැම් මාලිගාව සීගිරියම විය යුතු බව පෙනේ. උතුරු තැනිතලාවේ විහිදි ගිය සාමාන්‍ය කඳුගැට කිහිපයක්ම වෙයි. එයින් මිහින්තලාව ආගමික ස්වරූපයක් ගත් තැනකි.

අනුරපුර සිට සැතපුම් 40 කට පමණ ඈතින් පිහිටි උතුරු මාතලේ පිහිටි සීගිරි පර්වතය ස්වභාව ධර්මයෙන් ලක්වැසි ජනතාව ලත් මහත් වූ ජයග‍්‍රහණයක් වැන්න. ඒ නිසාම මෙම පර්වතය ජාතියේ එක්තරා වෙනසක් සිදුකළ හැකි කේන්ද්‍රස්ථානයක් මෙන් ද දිස්වෙයි.

එබැවින් පිහිටි රට අයත් උතුරු මාතලේ පිහිටි මෙම ඓතිහාසික සීගිරි පර්වතය උසින් අඩි 600 ක් පමණ වන අතර මුළු මහත් උතුරු පළාතම රැකවරණය කර ගැනීමට සීගිරි පර්වතය ශ්‍රේෂ්ඨ ආරක්ෂා ස්ථානයක් වශයෙන් ඉතා වැදගත් වෙයි. ඒ නිසාම උන්මාද චිත‍්‍රා කුමරිය සඟවා තැබු ඒකථූණ ප‍්‍රාසාදය මෙහි විය.

ගවක්ඛාණය නමින් වංශ කථාවේ සඳහන් වන්නේ සීගිරි කව්ලුවයි (ගොන් කනයි). මාමාවරුන්ගෙන් පැමිණි උවදුරුවලින් කුමරිය බේරා ගැනීමට මෙහි අධිපතියන් වූ චිත‍්‍ර රාජ, කාලවේල වලවා මුඛි ආදි රාවණ පරපුරේ යක්ෂ සේනාපතිවරු මහත් පරිශ‍්‍රමයක් ගන්නා ලදහ.

ඒ ස්වදේශිකත්වය රැකගැනීම පිණිසයි. උන්මාද චිත‍්‍රා කුමරිය දීඝගාමිණි කුමරුට පාවා දෙන ලද්දේ ස්වදේශික යක්ෂ පිරිස විසිනි. ඊට ප‍්‍රථම චිත්තරාජගෙන් කුමරිය දූෂිත වූවාදැයි මහාචාර්ය පරණවිතාන මහතා කරන සැකය ද සත්‍යයෙන් තොර නොවූවක් බව සිතීමට ද ඉඩ තිබේ.

ඒ සැකය තහවුරු වීමට තුඩු දෙන කරුණු දෙකක් අප සිත්හි මතු වේ. ඉන් එකක් නම් චිත‍්‍රා කුමරිය ගේ ආරක්ෂාව සැලැසූ යක්ෂ කන්‍යා පිරිස මහත් බියෙන් හා සැකෙන් ද උනන්දුවෙන් හා විචිත‍්‍ර ලෙස ආයිත්තමෙන් සැරසී සිටීමෙන් ද මෙම පෙම් යුවළ එකතු කර දීමට මහත් ආයාසයක් (මවාගත්) ගන්නා බව පෙනි යාමයි.

දෙවන කාරණය නම් කුමරිය ගේ නියම නාමය සඟවා චිත‍්‍රරාජගේ නමේ කොටසක් වූ චිත්ත යන කොටස කුමරියගේ නමට එකතු කොට චිත‍්‍රා නමින් ව්‍යවහාර කරන්නට වූවා ද යන සැකයයි.

අනෙක් අතට ලක්දිව ඈත අතීතයේ පටන් වාමන දර්ශන චිත‍්‍ර රූප මඟින් යම් යම් සිද්ධි පෙන්වා ඇති හෙයින් මෙම සීගිරි චිත‍්‍ර රූප රාජයකු වූ චිත්තරාජ සේනාපතියා විසින් මුලින් විමාන දර්ශන රූප වශයෙන් කොට පසුව කාශ්‍යප යුගයෙන් පසු මුගලන් යුගයේ අපේ සිංහල සිතුවම්කරුවා ලවා අලුත්වැඩියා කළා දැයි කාට කිව හැකි ද?

කෙසේ හෝ දීඝගාමිණි කුමරුට දාව චිත‍්‍රා කුමරියගේ කුසින් පණ්ඩුකාභය කුමරු බිහි වූයේ සීගිරියෙහි දී ම බව පිළිගත යුතුය. සීගිරියේ දැනටත් සිවිකාශාලා වශයෙන් සැලැකිය හැකි මෙතෙක් කවර ගවේෂණයකට හෝ ලක්නූන කුඩා කුඩා ගෙවල් පන්තියක නටඹුන් සීගිරි ප‍්‍රාන්තයේ අදටත් දැකිය හැකිය.

මින් පසු පණ්ඩුකාභය සීගිරියේ සිය මෑණියන් සිර කර තැබූ කතා පුවත ඇසීමෙන් මවට ගරු කිරීම සහ මව සිහි කිරීම වශයෙන් පණ්ඩුකාභය ම විමාන දර්ශන රූප වශයෙන් තිබූ සීගිරි ගලේ පිහිටි සිතුවම් කරවන්නට ඇතැයි සිතිය හැකිය.

මෙහි ඇති සිංහ මුඛය ගැන මහාවංශයෙන් සඳහන් නොවෙතත් අප ස්වදේශිකයන් වූ රාවණ පරපුරේ ජාතික කොඩියේ සලකුණ සිංහ රූපය වන අතර රාවණ ගේ සොහොයුරු කුබේර නොහොත් කුවේර උතුරට අධිපතිව රජ දහන කර ගත්තේ ද සීගිරියයි. දැනට කැටපත් පවුරෙන් සොයා ගෙන ඇති හත්සිය ගණනකට වැඩි කුරුටු ගීවලින් සීගිරිය නගරයක් බව සඳහන් වෙන්නේ එකම ගීයක පමණි. එය සීගිරි නගර් යනුවෙන් සඳහන් වේ.

මෙම ගී අතර සියයකට වඩා ගී වල සඳහන් වන්නේ බැලිමි අසිරි සිහිගිරි යනාදි වශයෙන් සිහිගිරි යන වචනයයි. එනම් එහි තේරුම සිහිවටන් තැබු ගිරිය සිහිගිරියයි. සිහියේ තබා ගත යුතු ගිරිය සිහිගිරියයි. සිහි කළ යුතු ගිරිය සිහිගිරියයි.

යන තේරුමයි. හරියට මෙය සමරු පුස්තකයකට සමානයි. දිවයිනේ නන් දෙසින් දේශ දේශාන්තරවලින් පැමිණි නා නා මාදිලියේ වියතුන් අටවැනි, නවවැනි, දහවැනි, එකොළොස්වැනි, දොළොස්වැනි සියවස්වල මෙහි පැමිණ මේ සිතුවම් නැරඹීමෙන් ඔවුන්ගේ හදවත්හි ඇති වූ අදහස් සීගිරි කුරුටු ගී නමින් හඳුන්වනු ලැබේ. එම ගී කියවීමෙන් කිසිවිටකත් සීගිරිය කුමක්දැයි හඳුනා ගත නොහැකිය.

සිතුවම් පන්සිය ගණනක් තිබෙතැයි ගීයකින් සඳහන් වන පරිදි අද සීගිරිය ඇත්තේ සිතුවම් විසි දෙකක් පමණය. නයි පෙන ගුහාව ඇතුළු මෙම චිත‍්‍ර රූප වලින් පමණක් සීගිරිය කවර තැනැක්දැයි හඳුනා ගැනීමට හැකි බව අපේ පිළිගැනීමයි.

මෙහි ඇති එකම පුරුෂ රූපය සීගිරි කසුප්ගේ අන්තºපුර බිසෝවරුන්ගේ අන්තºපුරයේ දොර අරින කංජුකයෙක් යැයි ඇතැමෙක් සලකති. ඔවුහු එකොළොස්වැනි කෙමියේ එකොළොස්වැනි රූපය හැටියට දක්වන රන් වන් මල් මාලාවක් අතින් ගත් උසුළු විසුළු මුහුණකින් යුත් මැදිවියෙහි වූ පුරුෂයා වෙන කවරෙක් වත් නොව දීඝගාමිණි කුමරු විය යුතුය.

පබාවතිය දැක ගැනීමට ගොස් නෙළුම් කොළයක් යට සැඟවී සිටි කුස කුමරුගේ කතා පුවත මෙහිදි සිහි ගැන්වෙයි. චිත‍්‍රා කුමරිය එක්ටැම් ගෙහි සඟවා තබා ඇගේ ආරක්ෂාව පිණිස රාජ පුරුෂයන් සියයක් යෙදවූ බව ඉතිහාස ගතයි.

එසේම උන්මාද චිත‍්‍රා රැකගැනීම සඳහා වර්ණ දෙකකින් යුත් කාන්තාවන් සිටි බවට සීගිරි චිත‍්‍ර නිදසුන් වේ. මේ සියලු දෙනාම මල් මාලා අරගෙන, බන්දේසි අරගෙන, බුලත් හෙප්පු අරගෙන මහත් බියකින් හා චකිතයකින් ඉක්මන්කමකින් මංගල ගමනකට සැරසෙනවා. එනම් උන්මාද චිත‍්‍රා දීඝගාමිණි හමුවයි.

පරණවිතාන කියන පරිදි මේ ලියෝ මේඝ ලතා, විජ්ජුලතා නොවෙති. එනම් රන්වන් ලියෝ, නිල්වන් ලියෝ නොවෙති. එදා සකු සාහිත්‍යයෙත් ඉන්දියානු මහා සාහිත්‍යයේත් මේඝ ලතා, විජ්ජුලතා නමින් තරුණියන් සිට නොමැත.

නුවර යුගයේ නම් සිරියලතා, උක්කුලතා, හේමලතා, ගුණලතා යනාදී නම්වලින් යුක්ත අය සිටියහ. අපේ පාලි පොත්පත්වල, සංස්කෘත පොත්පත් වල විජ්ජුලතා යනුවෙන් සඳහන් කොට ඇත්තේ පිරිසිදු අහසෙහි කොටන විදුලියයි.

මේඝ ලතා කීවේ වැසිබර කාලය අහසේ කොටන විදුලියයි. මේ මේඝ ලතා, විජ්ජුලතා සිතුවම් රුවන්වැලි සෑයේ ඇතුළතත් සිතුවම් කළ බව පොත්පත් වල සඳහන් වෙයි.

බුද්ධ ශරීරතෝ සතරන්සි විජ්ජුලතාවිය රන්සියෝ නික්ඛමිත්වා ටික්කත්තුන් පදක්කිනං කත්වා ධාවින්තු ඒ නිසා මේ අනුව මහාචාර්ය පරණවිතාන ශූරින්ගේ මතය වැරැදි පිළිගැනීමක් බව හැඟේ.

මීළඟට සීගිරි චිත‍්‍ර පිළිබඳ ආනන්ද කුමරස්වාමි සඳහන් කොට ඇත්තේ සීගිරි සිතුවම් ඉන්දීය සිතුවම්කරුවන් ලවා සිතුවම් කළ බවයි. එච්.සී.පී. බෙල් මහතා සඳහන් කරන්නේ විහාර වන්දනාවේ යන බිසෝවරුන් හා පරිවාර ස්තී‍්‍රන් සීගිරි සිතුවම්වලින් පෙන්වන බවයි.

ඒ තරම් හොඳට ඇඳ පැලඳගෙන මාල පවලම් පැලඳ හැකිතාක් ස්තී‍්‍ර ආභරණවලින් සැරසී විහාරයට යන සිරිතක් අපේ රටේ කාන්තාවන් අතර තිබුණේ ද නැත. ඒවා අගේ කර කර බලන්නට විහාරයේ හෝ පන්සලේ කිසිවෙක් නොමැති හෙයිනි. ඊ.වී. හැවල් මහතා කියන්නේ මේ ලියන් තවුතිසාවේ චෙත්‍යයක් වන්දනා කරන්නට යන බිසෝවරුන් යනුවෙනි. ඒත් ඔය තවුතිසා කතා මනºකල්පිත ඒවාය.

ඒවා මේ ලෝකේ නැති දේවල් ය. මහාචාර්ය අභය ආරියසිංහයන් සඳහන් කරන්නේ සීගිරියේ තිබුණා යැයි සඳහන් කෙරෙන සිතුවම් පන්සීයම කසුප් රජු ගේ දියණිවරුන් දෙදෙනා වූ බෝධි උත්පලවණ්ණා යන දෙදෙනා ගේ රූප බවයි.

මව හෝ පියා තමන් ගේ දුවට පුතාට ආදරේ බව ඇත්ත. ඒ නිසා එක තැනක හෝ දෙපළක පින්තූර දෙකක් අඳින්නට පුළුවන්. පින්තූර පන්සීයක්ම දූවරුන් දෙදෙනාගේ නමට කැප කළා නම් එය පිළිගත නොහැක්කක්.

පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන් සඳහන් කරන්නේ මල් නෙළන ලියන් සීගිරි සිතුවම්වලින් හැඟවෙන බවයි. ඒ වගේම තව වියතුක සඳහන් කරන්නේ දිය නෑමට යන බිසෝවරුන් බවයි. ඒ මතයත් කොහෙත්ම පිළිගත නොහැකිය.

නෑමට යන විට මේ ආකාරයට සැරසී යන ආකාරයත් නැත. මේ හැරුණු විට ළිං, පොකුණු ජල නල තිබෙන බැවිනි. එහෙත් සීගිරි ගල මුදුනේ මල් අත්තක් හෝ මල් ගහක් හෝ මල් කැඩීම සුදුසු කිසිම චිත‍්‍රයක් නොමැති බැවින් ඒ මතය ද පිළිගත නොහැකිය.

ඒ අනුව මහාචාර්ය සිරි ගුණසිංහයන් පවසන පරිදි සීගිරිය කාශ්‍යප විසින් ඔහුගේ විවේකාස්වාදය පිණිස කරවන ලද්දක් නොවේ. ඔහුට පියා මැරුවා යැයි චෝදනාව එකකි. ඔහුගේ සහෝදර මුගලන් ඉන්දියාවට යෑමෙන් විශාල බල සෙනඟක් රැගෙන තමා විනාශ කිරීමට ඒ දැයි යන සැකය තවත් එකකි.

කලා වැව වැනි ශ්‍රේෂ්ඨ වැඩ කළ සිය පියාණන් වූ ධාතුසේනට කරපු අතවර නිසා රටේ මහජනතාව ගේ කලකිරීම තවත් එකකි. ඉතින් මෙබඳු මහා අර්බුදකාරී තත්ත්වයක වසර දහඅටක් දිවි ගෙවූ කාශ්‍යප රජුට දිවයිනේ ඇති විශාලතම දැවැන්ත ව්‍යාපෘතිය කරනවා තබා සිතන්නවත් අවකාශයක් නොමැති බව පෙනේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: