Posted by: lrrp | November 29, 2008

හෙළ වාරි තාක්ෂණයේ මහිමය කියාපාන නටබුන් රැසක් රුහුණු මාගමින

රිදියගම ගොවිපොළ අක්කර 3000 කට වැඩිය. මේ වනවිට ඉන් හරි අඩකටත් වඩා මහ වනයක සිරිගෙන ඇත. කෙටියෙන් සඳහන් කරන්නේ නම් අලි ඇතුන් සහ වල් ඌරන් ගේ වාස භූමියක් බවට මෙය පත්වී හමාරය.

මෙම ප‍්‍රදේශය මැදින් ගලා යෑමට සලස්වා ඇත්තේ රිදියගම නව වැවට වැටෙන ජල මාර්ගයයි. වර්තමානයේ මෙම ජල මාර්ගය හැඳින්වෙනුයේ ලියන්ගස්තොට දකුණ ඉවුර ලෙසිනි.

කි‍්‍ර.ව. 1889 දී ඉංගී‍්‍රසීන් විසින් සකස් කරන ලද මෙම අමුණ වම් ඉවුර හා දකුණු ඉවුර ලෙසින් ස්ථාපිත කෙරිණි. වම් ඉවුර මාමඩල ඇළ ලෙස හැඳින්වේ. එය රම්බා විහාරය ඉදිරි පසින් ගලායයි. දකුණු ඉවුර රිදියගම වැව දක්වාත් දිවයයි.

මෙම පැරැණි ලියන්ගස්තොට අමුණ ආශි‍්‍රතව රිදියගම ඇළ අද්දරින් පසුගියදා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් වාරි තාක්ෂණ නටබුන් රැසක් හමුවිය. ඊට අමතරව වසර සිය ගණනක් තිස්සේ මහ කැලයෙන් වැසී තිබූ ඉපැරැණි ඇළක් ද එම ප‍්‍රදේශයෙන් සොයා ගැනිණි.

දකුණු ඉවුරු ඇළ මාර්ගයේ හරි අඩක් ගිය තැන හමුවූ මෙම නටබුන් පරීක්‍ෂා කිරීමේ කටයුතු සඳහා අපි දු සහභාගි වීමු. අපට මඟ පෙන්වූයේ අම්බලන්තොට ඇඹිලිපිටිය මාර්ගයේ වාටිය ගමේ පිහිටුවා ඇති අසනිය මල් සංසදය නම් වූ සංවිධානයක සාමාජික පිරිසය.

අපේ ගමනට මඟ පෙන්වූයේ ද ඔවුන්මය. මෙම කණ්ඩායමේ නායකත්වය ගත්තේ පුරාවිද්‍යාඥ රසික බණ්ඩාර මහතා ඇතුළු ඔහුගේ සහායක නිලධාරි පිරිසය.

මෙම නටබුන් පැරැණි වාරි තාක්‍ෂණයට සම්බන්ධ ගොඩනැඟිලි රැසක නටබුන් බව මේ පිළිබඳ මූලික සමීක්‍ෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ රම්බා විහාරයීය වැඩ ඒකකයේ ස්ථාන බාර නිලධාරි පුරාවිද්‍යාඥ රසික බංඩාර මහතා පවසයි.

ඒ නටබුන් අතර පැරැණි ගොඩනැගිල්ලක අත්තිවාරම සහ අනුරාධපුර යුගයට අයත් ගඩොල් හා ගොඩනැගිල්ලක වහල සඳහා යොදාගත්තේ යැයි සැලකිය හැකි ලී කණු දෙකක් සවි කිරීමට යොදාගත් ’කුඩුම්බි ගල් දෙකක් ද වෙයි.

මෙවැනි ස්ථාන තුනක් දැනට මතුකරගෙන ඇත. මේ සියල්ල සොයාගෙන ඇත්තේ වලවේ ගඟේ සිට රිදියගම අලුත් වැවට වැටී ඇති ඇළ මාර්ගය අසලිනි.


සොයාගත් නටබුන් කිහිපයක්

පුරාවිද්‍යා කණ්ඩායම නටබුන් තිබූ ප‍්‍රදේශය අවට තවදුරටත් පරීක්‍ෂා කළේය. අපි දු ඔවුනට එක්වීමු. එහි වූයේ වල් බිහිවී කැලෙයන් වැසී ගිය තවත් ඇළ මාර්ගයක ස්වභාවය ගත් මාර්ගයකි.

කටු පඳුරු කපමින් ගස් කොළන් දෙබෑ කරමින් අපි එම පෙදෙසට පිවිසුනෙමු. සැබැවින්ම එයද ඇළකි. එනමුදු එය දැන් සම්පූර්ණයෙන්ම වල්බිහිවී ගොසිනි.

අපි සියලු දෙනාම කටු පඳුරු පීරමින් ඇළ ඉහත්තාවටම ගියෙමු. ඇළෙහි දෝනා බැස ඇති තැන් එමටය. ඒ අන් කිසිවක් නිසා නොව ඇළෙහි මැණික් ගැරීම් නිසාය. මඟ දිගට වල් ඌරන් සහ අලින් ලැග ඇති බවට සලකුණු ය.

මේ සියල්ල අතරින් ඇළ ඉහත්තෑවටම අපි ගියෙමු. දැන් අප මේ පැරැණි ඇළට ජලය හරවනු ලැබූ ඇනිකට් එක ළඟය. වලවේ ගඟ නිසසලව ගලා යයි. අප නතර වූ තැන ගඟේ සාමාන්‍ය මට්ටමට වඩා උසය. මේ උස් තැනින් මෙකී ඇළට ජලය හරවා ඇති අයුරු අපූරුය. අප මේ දකින පැරැණි වැවේ ගමන් මඟ වක‍්‍ර අන්දමින් සකස් කොට ඇත. තැනක වටරවුමක් ලෙසිනි. තවත් තැනක අර්ධ කවාකාරය. මේ ඇළ අවසන් වන පියස අසල ජලය රැඳුණු තැනකි. එය ද නටබුන් වූ වැවකි.

එයට පිටුපසින් තවත් එවැනිම වූ වැවකි. මෙලෙස වැව් හතරක හැඩහුරුකම් ගත් ජලාශ හතරක් එතැන විය. සඳහන් කළ පැරැණි වැව පටන්ගෙන ඇත්තේ කටුකැපූ ආර අසලිනි. එයින් ගලාගෙන ආ දිය පාරින් පසුව සඳහන් කළ වැව් පහ පෝෂණය කර ඇත.

මේ කැලය අසල හේන් ගොවිතැනේ යෙදෙන ඩබ්ලිව් පියදාස මහතා මෙම ප‍්‍රදේශයේ වසර 40 ක පමණ සිට ජීවත්වෙයි. මෙම වැව් පහට ජලය රැගෙන ආ පැරැණි ඇළ මාර්ගය ඉංගී‍්‍රසින් විසින් කරවන ලද බව සිය වැඩිහිටියන් තමාට පවසා ඇතැයි හෙතෙම කීවේය.

”මෙතන වැව් පහක් නොවෙයි හතක් විතර තිබුණාලු. එයින් දෙකක් එක්කොට රිදියගම වැව තැනුවයි කියලයි කියන්නේ. එයට ජලය ගෙන ඇත්තේ ඔය කටුකැපූ ආරට සැතැපුම් දෙකක් විතර මෙහායින් ඇති බැදිගන් තොටින්. ඒ නිසා අර කටුකැපූ ආර සිට ගලාගෙන ආ ඇළ කි.මීටර් දෙකක් විතර අඩුවුණා. පසුව ඒවා වල් බිහිවී නැත්තටම නැති වුණාලු” හෙතෙම පැවැසීය.

මාගම රාජධානිය අනුරාධපුර යුගය දක්වාම දිවයයි. අනුරාධපුරයේ ශී‍්‍ර මහා බෝධි රෝපණය කිරීමේ උලෙළට පවා මාගම සිටි රාජකීයනට ආරාධනා කළ බව මහ වංශය කියයි. කාවන්තිස්ස යුගය ද රුහුණේ කෘෂි හා වාරි තාක්ෂණයේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ අවදියකි. ඒ යුගයේ රුහුණේ වැව් අමුණ රාශියක් තිබී ඇත.

”චූලවංශය හි එක්තැනක මෙසේ සඳහන් වෙයි. 4 වන උදය රජු (887-889) රුහුණට විත් වලවේ ගඟ හරස්කොට “තැන්කැටිය” වේල්ලක් බැඳ සැතැපුම් 14 ක් දුරට ඇළක් කැපූ බවයි. ඒ ඇළෙහි ජලය ගෙන ගොස් වැවක් ඇති කළ බවය. චූලවංශයෙහි ඒ වැව සඳහන් කරන්නේ පාඩි කුලම් වැව කියාය.

”කුලමියන්න දෙමළ බසින් වැවට කියන්නකි. මේ යුගයේ රජුන් ළඟ සිටි දමිළ හේවායන් විසින් මේ ඇළ කපා එයට පාඩි කුලම් යනුවෙන් යොදන්නට ඇතැයි යන්න පුරාවිද්‍යාඥ රසික බංඩාර මහතා පවසයි.

රුහුණේ වැව් 16 ක් හා ඇළ මාර්ග 44 ක් ප‍්‍රතිසංස්කරණය කළ බව සඳහන්ය.

මේ වාරි තාක්‍ෂණය ඉතිරී පැතිරී තිබුණේ මේ නටබුන් හමුවූ පරිසරය බද්ධ කරගෙනය. මහා වංශයේ හා චූල වංශයේ යම් යම් තැන්වල රාජ යුගයේ ගත් බදු වර්ග ගැන කියයි. ජල බද්ද සහ ධාන්‍ය බද්ද ඉන් කීපයකි. රසික බංඩාර කියන්නේ මේ හමුවී ඇති නටබුන් ගොඩනැගිලි එවන් බදු අයකර ගැනීමට යොදා තිබූ ස්ථාන විය හැකි බවය. මෙකී ස්ථානයෙන් මානවයන් පරිහරනය කළ වළං කටු වැනි දෙයක් හමුවී නැත. එයින් ඇති කරගත හැකි මතයක් වනුයේ මෙහි එවැනි මානව කි‍්‍රයාකාරකම් සිදුවී නැති බවය.

වල් බිහිවූ ඇළ මාර්ගය සහ වැව් පහක නටබුන්අපට කියා පාන්නේ ඈත අතීතයේ රුහුණු මාගම් පත්තුවේ තිබූ සශී‍්‍රකත්වය හා එදා කෘෂි ආර්ථිකයේ තිබූ දියුණු වාරි තාක්‍ෂණයක මහිමයයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: