රාස්සකන්දෙ හිටියෙ රාස්සයො. රාස්සයො රාස්සකන්දෙ තිබුණු ගල්ලෙන්වල ඉඳගෙන යකඩෙන් ආයුධ හැදුවා.
කැති, පොරෝ, උදලු වගේ නොයෙක් ආයුධ රාස්සයො හැදුවා. රාස්සකන්ද පහළ ගම්මානවල හිටපු ගම්මු යකඩෙන් ආයුධ හදන සාස්තරේ දැනගෙන හිටියෙ නෑ.
ඉතින් ගම්මු ගොයිතැන් බත් කරන කාලෙට හාල්, තුනපහ මලු වලට දාගෙන ගිහිං රාස්සයන්ට කන්නලව් කරනවා ආයුධ දෙන්ට කියල.
රාස්සයො ගම්මු ගියාට පස්සෙ කඳු පාමුලට ඇවිත් ආයුධ තියල හාල්, තුනපහ අරගෙන යනවා.
ගම්මු උත්සාහ කළා ආයුධ හදන සාස්තරේ දැනගන්ට. ඒත් ඒ සාස්තරේ හොයන්ට රාස්ස කන්දට ගිය කිසි කෙනෙක් ආපහු ආවෙ නැහැ.
ඒ ඇත්තො රාස්සයන්ගෙන් මැරුම් කෑවා. රාස්සකන්ද පාමුල ගමේ හිටියා ඉලන්දාරි තුන් දෙනෙක්.
ඒ අය ගජ යාළුවො. ඇඟේ පතේ හයිය හත්තිය විතරක් නොවෙයි, හිතේ හයියත් ඒ ඇත්තන්ට තිබුණා. මේ තුන්දෙනා ආයුධ හදන සාස්තරේ හොයාගන්ට උපායක් කල්පනා කළා.
ඉලන්දාරින්ගෙන් එක් කෙනෙක් රාස්සකන්ද මුදුනට නැගල මුදුනෙම තියන ගහකට නැග ගත්ත. දෙවැන්නා කඳු මැද්දෑවෙ තිබුණු උස ගහකට නැග්ග. තුන්වැනි ඉලන්දාරියා කන්ද පාමුල ගමට කිට්ටුව තිබුණු ගහකට නැගගෙන හිටිය.
කඳු මුදුනෙ ගහ මුදුනෙ ඉඳන් රාස්සයො ආයුධ හදන හැටි බලාන හිටපු ඉලන්දාරියා හයියෙන් මෙහෙම කීවා.
”යකඩෙට මඩ බොර. රිදියට පුෂ්කර”
කඳු මැද්දෑවෙ හිටපු ඉලන්දාරියත් හයියෙන් ඒකම කීවා. පහළ හිටපු තුන් වැන්නා ගමට ගිහිං විස්තරේ කීවා.
කඳු මුදුනේත්, කඳු මැදත් හිටපු ඉලන්දාරි දෙන්න ආපහු ගමට ආවෙ නැහැ. රාස්සයන්ගෙන් මැරුම් කෑවා. ගම අසල හිටපු ඉලන්දාරියා ගමට ආවත් රාස්ස මායමෙන් ලෙඩ හැදිලා මළා.
ඉලන්දාරි තුන්දෙනා මිය ගියත් සාස්තරය දැනගත් ගම්මු යකඩෙන් ආයුධ හදන්ට පටන් ගත්තා.
Leave a Reply