Posted by: lrrp | December 6, 2008

රුහුණු දේශයේ මාතර සාධකය ‘මාතර වංශය’ ආශ‍්‍රිත විමසුමක්

රටක ජාතික උරුමය විභාග කිරීමේ දී ප‍්‍රාදේශීය වශයෙන් වූ දායකත්වය ද විශේෂයෙන් විමසිය යුත්තකි. ප‍්‍රාදේශීය වශයෙන් වන එකමුතුවෙහි ප‍්‍රතිඵල විසින් ජාතික උරුමය නිර්මාණය කරනු ලබන බැවිනි.

දකුණු ලක රුහුණු අන් කවර ප‍්‍රදේශයකට ද වඩා අනන්‍යතා පළ කළෙන් එහි දායකත්වය ලංකා ඉතිහාසයේ අතිශය වැදගත් විය. මුහුදට විවරව නිර්මාණය වූ මේ භූ කලාපය විවිධ ජාතීන් ගේ සම්මිශ‍්‍රණයන්ට ගොදුරු වෙමින් අතීත උරුමය ද රැක ගනිමින් කවර අභියෝගයකට වුවද නොබියව මුහුණ දෙන ඔරොත්තු දීමේ ශක්තිය ඇති අභීත ජනකායක් නිර්මාණය කළේය.

එමෙන්ම ගංගා, ඇළදොළ, සමුදුර මෙන් ම කුඹුර හේන සිය දිවි පෙවෙතට එක් කොට ගනිමින් එම පසුබිම සාහිත්‍ය කලා නිර්මාණකරණයට දායක කරගනිමින් එහිද අනන්‍යතා පළ කළේය.

දේශපාලනික වශයෙන් සලකන කල එදා මෙදා තුර රෝහණ නායකත්වය ලංකා ඉතිහාසයේ තීරණාත්මක සාධකයක් විය. ඉතිහාසය පුරා ගොඩනැඟුණු රෝහණ දේශයේ ස්ථාවර දේශපාලන පසුබිම යටතේ ආර්ථික සමෘද්ධියත් සමාජ සංස්කෘතික සංවර්ධනයත් එහි අගය මෙන්ම අනන්‍යතාව ද ඉස්මතු කළේය.

අද ද ලක්දිව රෝහණ දේශයේ නායකයකු යටතේ පාලනය වෙමින් අතීත උරුමය යළි ඉස්මතු කරමින් පවතින අතර එකී උරුමය විභාග කරමින් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එළි දැක්වූ ‘මාතර වංශය’ රුහුණු මුහුණුවර පළ කරන අගනා සාහිත්‍ය විමර්ශනයක් ලෙස පළමු කොට හඳුන්වා දීමට කැමැත්තෙමි.

කාණ්ඩ දෙකකින් එළිදැක්වූ එහි ප‍්‍රථම භාගය ශීර්ෂ දහයකට බෙදා පුළුල් විමර්ශනයකට ඉඩ සලසා ඇත.

මාතර භූගෝලීය පසුබිම සාකච්ඡාවට ලක් කෙරෙන පළමු පරිච්ඡේදයෙහි වන සම්පත, සියොතුන්, කෘෂිකර්මාන්තය, ඉඩම් පරිහරණ රටාව සහ කෘෂිකර්මාන්තයෙහි ආර්ථික ප‍්‍රවණතා සාකච්ඡාවට ලක්ව ඇත.

මහාචාර්ය උපාලි වීරක්කොඩි විසින් ව.කි.මී. 1282.5 ක් වූ මාතර දිස්ති‍්‍රක්කයට අයත් මුළු බිම් ප‍්‍රමාණය නිර්මාණය වූ ආකාරය පිළිබඳව දක්වන විග‍්‍රහය භූගෝල විද්‍යාත්මකව බෙහෙවින් වැදගත් ය.

කළපු, වගුරුබිම්, ගොහොරු බිම්, නිර්මාණය වීම හා කොරල් පර, දේශගුණය හා නියඟය පිළිබඳව දක්වන කරුණු ශාස්තී‍්‍රය වෙයි. මේ සුවිශේෂ වූ භූගෝලීය පිහිටීම හේතුවෙන් නිර්මාණය වූ වන සම්පත පිළිබඳ අනුර සතරසිංහ දක්වන විග‍්‍රහයත් එහි ම දිවි ගෙවන සියොතුන් පිළිබඳව සරත් කොටගම ඉදිරිපත් කළ විග‍්‍රහයත් පරිසරවේදීන් තුළ සතුට උපදවයි.

මේ භූ කලාපය තුළ ඒකරාශී වූ ජනගහණය පිළිබඳ ප‍්‍රජා විද්‍යාත්මක හා සමාජයීය පසුබිම සාකච්ඡාවට ලක් කෙරෙන දෙවන පරිච්ඡේදය ජාතීන් හා ආගම් අනුව ජන සංයුතිය මෙන්ම සාක්ෂරතාව පිළිබඳව ද විග‍්‍රහයක යෙදේ.

මාතර ඉතිහාසය අනාවරණය කෙරෙන ලිපි සමුච්චය අතර ‘සිංහල සංස්කෘතියේ මාතර ලකුණ’ විශේෂයෙන් අගය කළ යුතු වෙයි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විසින් රචනා කරන ලද මෙහි ‘ගම’ පිළිබඳ ගොඩනඟන අදහස අලුත් ය.

නුවර කලාවියේ පැරැණි ගම වැව කේන්ද්‍ර කොට ගොඩනැඟුණු මුත් දකුණේ ගම එසේ නොවන වග ඔහු පහදයි. ඒ අනුව ගංගා නිම්නවල ගම ගොඩනැඟුණු බව සහ එසේ ගොඩනැඟුණු රුහුණේ ගම්, වැව් පදනම් කොට ගොඩනැඟුණු නුවර කලාවියේ ගම් මෙන් හුදෙකලා නොවූ බව හා ගංගා හා මෝය ආශි‍්‍රතව පැන නැඟි ගම්වල විවෘත බව හා පහසුවෙන් ළඟා විය හැකි බව මේ වෙසනට හේතු වූ බවත් ඔහු පහදයි.

‘දකුණු මානසිකත්වය’ යනුවෙන් එතුමා ගොඩනඟන සංකල්පය මෙහිදී බෙහෙවින් වැදගත් ය. ලොව ඕනෑම රටක, උදාහරණ වශයෙන් චීනය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල දකුණු පස ජීවත්වන්නන් නිරහංකාර, කාර්යශූර, අවදානමක් ගැනීමට බිය නැති, ඉගෙන කියාගත්, ඕනෑම තත්ත්වයකට අනුහුරු වීමේ ශක්තියක් ඇති පිරිසක් ලෙස හඳුන්වන ඔහු රෝහණ දේශයේ ජනතාව ද එබඳු ලක්ෂණයන්ගෙන් සමන්විත බව පැහැදිලි කරයි.

මේ රුහුණේ අනන්‍යතාව කැටි කොට දැකීමකි. එදා මෙදාතුර රුහුණෙහි වූවන් සිය ප‍්‍රදේශය පිළිබඳව පළ කළේ ද අභිමානයකි. සීගිරි ගී වල එන රුහුණෙන් ආ දළම්, සිවම් ආදී වශයෙන් යෙදූ යෙදුම් මෙන්ම ගාල්ල, මාතර පිළිබඳ සඳහන් කරන්නට අදත් දක්වන රුචිය මතුකොට දැක්වූයේ ද මේ අනන්‍යතාව තහවුරු කරුණු සඳහා ය.

පනාකඩුව තඹ සන්නස පිළිබඳ එන දීර්ඝ තොරතුරු මෙන්ම දෙවිනුවර ටැම් ලිපිය, දෙවිනුවර පුවරු ලිපිය, නායිමන පුවරු ලිපිය, වැලිගම අග‍්‍රබෝධි විහාරයේ ශිලා ලිපිය බඳු මාතර සෙල් ලිපි පිළිබඳ එන විස්තරයත් මාතර ඉතිහාසයත් විශේෂයෙන් මාතර නාග වංශිකයන් පිළිබඳ තොරතුරුත් ඌරුමුත්ත, රොටුඹ ආදී සෙල් ලිපිත්, මීමනකන්ද ගල්ලෙන්, තුන්බැවිල ලෙන්, රුවන් කන්ද, නයිගල් කන්ද, කුඩා වැවේ කන්දේ ලෙන ආදී ලෙන් ගුහා පිළිබඳ එන තොරතුරුත් ඓතිහාසික හා සමාජ සංස්කෘතික අගයන් දරන්නේ වෙයි.

‘සාහිත පොතපත හෙළි කළ මාතර’ ලිපියෙහි අගලකඩ සිරිසුමන හිමියෝ මාතර කේන්ද්‍රකොට ගොඩ නැඟුණු සාහිත්‍යයෙහි පිළිබිඹු වන ‘මාතර’ පැහැදිලිකොට සිටිති.

නිහාල් පී.ජයතුංග විසින් සම්පාදිත ‘ශ‍්‍රී ලංකාවේ මැතිවරණය හා මාතර දේශපාලන භූමිකාව‘ නම් වූ ලිපිය මෙරට ආණ්ඩුක‍්‍රම විකාශනය හා ව්‍යූහය පිළිබඳ මෙන්ම මාතරින් බිහිවූ මාතර නියෝජනය කළ ජනනායකයන් පිළිබඳව ද අගනා විමර්ශනයකි.

1920 ඇති කළ ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණ අනුව ප‍්‍රථම වරට දකුණු පළාතේ මැතිවරණයක් පවත්වන ලද්දේ 1921 මාර්තු 31 වැනිදා වන අතර, එකල මුළු දකුණු පළාතේම ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 4123 ක් වී තිබේ.

මෙම ඡන්ද අවස්ථාවෙහි දකුණු පළාත වෙනුවෙන් ඩී.සී.තිලකරත්න නම් මහතෙකු ඉදිරිපත් වූ අතර ඔහු නිතරගයෙන් පත්විය. අනතුරුව ඩබ්.ඕ.සී.දිසානායක නම් මහතෙකු ද එතැන් පටන් සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා ද පත්ව ආ පිළිවෙළත්, එතුමන් දිගු කලක් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවත් පාර්ලිමේන්තුවත් නියෝජනය කරමින් ගාල්ල හා මතුගම ආසනවල මන්තී‍්‍රවරයා වශයෙන් කටයුතු කරමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ සුවිසල් සේවයත් විග‍්‍රහයට ලක්ව ඇත.

එතැන් පටන් ඩොනමෝර් කොමිසම යටතේ මෙන්ම සෝල්බරි කොමිසම යටතේ පැවැති මැතිවරණ හා 1952, 1956, 1960 මාර්තු, 1960 ජූලි 1965, 1970, 1977 මහමැතිවරණ යටතේ මාතර නියෝජනයත් ප‍්‍රථම ජනාධිපතිවරණයත් 1983 සිදුකළ ජනමත විචාරණය, 1988 ජනාධිපතිවරණය හා සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ 1989 පැවැත්වූ මහමැතිවරණයත් ආදී වශයෙන් වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්වීම දක්වා වූ ලංකා දේශපාලන ඉතිහාසයත් එහි මාතර නියෝජනයත් විග‍්‍රහයට ලක්කොට ඇත.

එමෙන්ම දිස්ති‍්‍රක් පරිපාලනය මෙන්ම පළාත් පාලන රටාවත් මාතර කේන්ද්‍රකොට ගොඩනැඟුණු කර්මාන්ත, විශේෂයෙන් සංචාරක කර්මාන්තයත් මෙහි විමසුමට ලක්වෙයි. ඒ හැරුණු විට භාවිතයෙන් ඈත්ව ගිය දකුණු ලක කී‍්‍රඩා සහ මාතර දුම්රිය පුරාණය ද සමාජ සංස්කෘතික අගයන් මතුකළ ලිපි හැටියට අගය කළ හැකිය.

පැරැණි අධ්‍යාපනයේ මාතරට හිමි වූයේ ද විශේෂ ස්ථානයකි. රුහුණු වැසියෝ උගතුන් හැටියට කවදත් සම්භාවනාවට පාත‍්‍ර වූහ. අනුරපුර මහා විහාරය හැරුණු කොට බෙම්තොට වනවාස විහාරය, කතරගම තිස්ස විහාරය, දෙවුන්දර තිලක පිරිවෙන පැරැණි අධ්‍යාපන ආයතන වශයෙන් ප‍්‍රකටව පැවැතිණි.

ගතාරේ ධම්මපාල හිමියන් මාතර පිරිවෙන් හා අධ්‍යාපන පුනර්ජීවය පිළිබඳව ගෙනහැර දක්වන කරුණු මේ උරුමය අපට සිහිපත් කරවයි.

මෙහි අටවන පරිච්ඡේදය මාතර වත් පිළිවෙත් හා විශ්වාස පිළිබඳ වෙන්ව ඇත. මරණය ළඟා වූ විට සිදු කෙරෙන ආසන්න බණ කීම, ජීව මතකය පූජා කිරීම, ආදී ගෘහස්ථ චාරිත‍්‍ර හා බැඳි විශේෂ අවස්ථා මෙන් ම අගහස් දානය දීම, පොල් පිටි පැවැත්වීම, මෙන්ම වර්තමානයේ සිදු කෙරෙන ‘නාමල් පූජාව’ ආදී කරුණු සංග‍්‍රහ කළ ඌරුගමුවේ වංගීස හිමියන්ගේ ‘බොදු වත්පිළිවෙත්” ලිපියත් මාතර දිස්ති‍්‍රක්කයේ පිහිටි ගල්ලෙන් හා ලෙන් විහාර පිළිබඳ සුමිත් රණසිංහ සම්පාදනය කළ ලිපියත් අශෝක මාලිමගේ පැබැඳි ‘මාතර දෙවිවරු’ ලිපියත් සංස්කෘතික වටිනාකම් දරයි.

සිංහල බෞද්ධයන් හැරුණු විට කතෝලික ආගමිකයෝය මෙන්ම හින්දු හා ඉස්ලාම් ආගමිකයෝ ද මාතර නිජබිම කොට වෙසෙති. ඔවුන් හා සබැඳි ආගමික හා සංස්කෘතික අගයන් හුවා දක්වමින් කි‍්‍රස්තියානි සංස්කෘතික ඉතිහාසය, කිතුනු ප‍්‍රබෝධය, හින්දු සංස්කෘතිය හා මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ සාහිත්‍ය කටයුතු ද මෙහි විග‍්‍රහයට ලක්ව ඇත.

ලංකා ශාසනික ඉතිහාසයෙහි ද මාතරට සුවිශේෂී තැනක් හිමිවෙයි. අතීත උරුමය හැරුණු විට අද අප අත්දකින පහත රට ශාසනික පුනර්ජීවනය ද මාතර කේන්ද්‍ර කොට ගොඩනැඟුණකි.

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ කන්ද උඩරට කේන්ද්‍ර කොට ගොඩනැඟූ ශාසනික හා සාහිත්‍යයික ප‍්‍රබෝධය පහත රටට ගෙන ගියෝ සිටිනාමළුවේ ධම්මජෝති හිමිපාණෝය. කහඳ්‍රව විහාරය මධ්‍යස්ථානය කොට ගනිමින් ගෙන ගිය එකී ව්‍යාපාරය නොවන්නට අද මෙහි මුහුණුවර බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිණ.

පල්ලත්තර සුමනජෝති හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘වැලිවිට සංඝරාජ පරම්පරාවෙන් පැවතෙන මාතර දිස්ත‍්‍රික්කයේ ශාසන ඉතිහාසයත් අසංග තිලකරත්න රචනා කළ ‘මාතරින් බිහිවූ මහනායක හිමිවරු’ ලිපියත් අපරැක්කේ සිරිරතන හිමි සහ දෙනගම සිරිවර්ධන සම්පාදනය කළ ‘මාතර නූතන සංඝපීතෘවරු” ලිපියත් ආගමික අගය වඩාලයි.

ලංකා ශාසනික නිකාය භේදයෙහි ‘මාතර’ සියම් මහා නිකායේ, ශ‍්‍රී රෝහණ පාර්ශ්වයට මුල් වූ අතර අත්තුඩාවේ සිරි රාහුල හිමියෝ ඒ පිළිබඳ කරුණු දක්වති. මේ සියල්ල එක්තැන් කොට ගත් කල ලංකා ශාසනික ඉතිහාසයෙහි මාතර දායකත්වය පිළිබඳ පුළුල් වැටහීමක් ලද හැකි වෙයි.

“මාතර වංශයෙහි” ද්විතීය භාගය එහි සාහිත්‍යය, ජනශ‍්‍රැතිය, සන්නිවේදනය හා කලා ශිල්ප පිළිබඳ විශේෂ අවධානයකින් සකස් කරන ලද්දකි. මාතර යුගයේ ආරම්භයේ සිට කි‍්‍ර.ව. 1880 දක්වා කාල පරිච්ඡේදය විෂය කොට ගනිමින් මාතර සාහිත්‍ය යුගයක ආරම්භය හා විකාශනය, එහි සාහිත්‍යකරුවන්, පිළිබඳව මහාචාර්ය කුසුමා කරුණරත්න සම්පාදනය කළ ලිපිය මෙන්ම එතැන් සිට 1948 දක්වා කාල පරිච්ඡේදය විමසුමට ලක්කරන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සපයන ලද ලිපිය සාහිත්‍යයික වශයෙන් වැදගත් ය.

වර්තමාන සාහිත්‍යයේ උදාවට හේතු පාදක වූ සව්සත්දම් වාදය මුල් කොට ගත් විවාද සාහිත්‍යය මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන විමසුමට ලක් කරයි. ඔහු පැහැදිලි කරන පරිදි නූතන සාහිත්‍ය ප‍්‍රබෝධයට මාතරින් සැපයුණු දායකත්වය සුළුපටු නොවන්නකි.

ගැහැනිය පිළිබඳව පැවති හා පවතින සමාජ ආකල්ප ද විමසුමට ලක් කරමින් නිල්වලා ගඟ අසබඩ උපන් කාන්තාවන් මාතර සාහිත්‍යයට සැපයූ දායකත්වය විග‍්‍රහ කරන කැත්ලින් ජයවර්ධන ලියූ ලිපිය ද එහි උරුමය මතු කොට සිටී. සිංහල සාහිත්‍ය වංශයේ අනුරපුර යුගයේ පළමුවන අග්බෝ රජු දවස විසූ දළබිසෝ නම් කිවිඳිය හැරුණු විට, මහනුවර යුගයේ හස්තිපාල ජාතක කාව්‍යය රචනා කළ කුරක්කන්හේනේ ගෙදර ආබාරී බවලත් කිවිඳිය හැරුණු විට, කිවිඳියන් පරපුරක් බිහිවන්නේ මාතරිනි.

ඔවුන් විශේෂ වන්නේ කවි ලිවීමට පමණක් නොව හිටිවනම කීමට ද හපනියන් වූ බැවිනි. හිටිවන කවිකාරියන් හැටියට ඔවුනට හිමිවන ගෞරවය රුහුණට ආඩම්බරයකි.

සන්ධ්‍යා කහඳගමගේ විසින් ද මාතර ජනවහර වෙනම ම ලිපියකින් සාකච්ඡාවට ලක්කොට ඇත. මාතර නාම සම්භවයේ ඉතිහාසය විමසන ආචාර්ය සුසිරිපාල මානවඩු විවිධ විචාරක මත විමසුමට ලක් කරමින් මාතර පිළිබඳ විදුහුරු නිගමනයකට එළඹේ. ගම් නම් ඇසුරු කොට මාතර ඉතිහාසය විමසන තත් ලිපිය අගය කළ හැක්කකි.

ජනශ‍්‍රැති මූලාශ‍්‍ර කෙරෙහි අවධානයකින් මාතර ඉතිහාසය විමසුමට ලක් කරන මහාචාර්ය රෝහිණී පරණවිතාන දූරාතීතරයේ මෙහි නාග ගෝති‍්‍රකයන් ගේ වාසභවන පැවති බව, නාවිමන, මහානාගකුල, නාදුගල, නායිම්බල, නාඔටුන්න, නාකුළුගමුව බඳු ග‍්‍රාම නාම මුල් කොට විභාග කරන අතර අනුරපුර රාජධානි අවධියෙහි සිටම මෙහි චූලනාග, කුඩ්ඩනාග, සිරිනාග, අභයනාග වැනි නම්වලින් හැඳින්වුණු රජුන් විසූ බව ද පහදාලයි.

එසේම දෙවුන්දර එනම් ලැබීමට හේතු වූ ජනශ‍්‍රැති මූලාශ‍්‍ර ගෙන හැර දක්වමින් ඉදිරිපත් කරන විග‍්‍රහය රසවත් ය. වැලිගම කුෂ්ඨරජාගල, හතරවන අග්බෝ ද? නොවේ නම් අවලෝතිතේශ්වර බෝසතුන් ද? මොරවක රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් කව්රුන් ද ආදී වශයෙන් විග‍්‍රහ කෙරෙන වෘත්තාන්ත මෙන්ම මොරවක් කෝරලයේ රත්මලේ කන්ද, ඓතිහාසික වටිනාකම් ලද අයුරු පාඨක කුතුහලය වඩාලන රසවත් සිද්ධි වෙයි.

දේශීය වෙද්‍ය ක‍්‍රමයට මාතරින් සැලසුණු දායකත්වය ද සුවිශාලය. සර්ප විෂ වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම ආදී විශේෂ අංශවල මෙන්ම සර්වාංග වෙදකමෙහි ද යෙදෙන පාරම්පරික වෙද්‍ය පරම්පරා රැසක් මෙහි දිවි ගෙවති.

කවියෙන් රචනා කොට මුඛ පරම්පරාගතව පැවත එන මාතර වෙදකම් සහිත වට්ටෝරු එහි අනන්‍යතාවට තවත් සාධකයකි. දේශීය නිල වෙදකම පුරාණයේ මාතර පැවත අද අභාවයට ගොස් ඇති වෙදකමකි.

මඩිහේ සහ කිරිනැලියේ කැඩුම් බිඳුම් වෙදකම, තෙලිජ්ජවිල විෂ වෙදකම ආදි වශයෙන් අමරසිරි පොන්නම්පෙරුම එහි වටිනාකම් මතු කොට සිටී. එසේම පුෂ්පා රංජනී ඒකනායක මාතර දේශීය වෙද පරම්පරා පැහැදිලි කොට සිටින්නී ඔවුන් සතු විශේෂඥතා දැනුම ද එළි පෙහෙළි කරමිනි.

මාතර ලලිත කලා සාකච්ඡාවට ලක් කෙරෙන සිවුවන පරිච්ඡේදයෙහි ආරම්භයේම මූර්ති කලාව පිළිබඳ තොරතුරු ගෙන එන ලිපියකි. එහි අගය රඳ්‍ර පවතින්නේ මෙතෙක් සාකච්ඡාවට ලක්ව නොපැවති ගොඩපිටියේ සක්මන් පිළිමය, කුරුඹුරේ සමාධි පිළිමය, වැලිගම අග‍්‍රබෝධි විහාරයේ ලෝකඩ බුද්ධ ප‍්‍රතිමාව සහ ඇත්දළ හා දැව නිර්මාණ පිළිබඳව අමුතුවෙන් ගෙන එන තොරතුරු හේතුවෙනි.

ඒ හැරුණු විට වර්තමාන මූර්ති ශිල්පයේ ප‍්‍රධාන වශයෙන් විහාර කර්මාන්තය සම්බන්ධයෙන් මාතර ප‍්‍රදේශය පෙරමුණේ සිටී. අහංගම ප‍්‍රතිමා ශිල්පීන්, චිත‍්‍ර ශිල්පීන් අද ලක්දිව බොහෝ සෙයින් ප‍්‍රකටය. ඉතා මෑත අවධියට අයත් වැවුරුකන්නල හා වෙහෙරහේන බුද්ධ ප‍්‍රතිමා සුවිසල් නිර්මාණ හැටියට දෙස් විදෙස්හි ප‍්‍රකට ය.

බජ්ජම සිරි සද්ධාතිස්ස නා හිමියන් ගේ මූලිකත්වයෙන් සිදු වූ අති නවීන මූර්ති ශිල්පය පිළිබඳ තොරතුරු රැසක් මෙහි අන්තර්ගතය. එසේම කරපුටුගල විහාරයේ ඇති මෑත කාලීන සඳකඩ පහණ පිළිබඳ තොරතුරු මෙන්ම රූප සටහන් ද ඇතුළත් කොට තිබීම අගය කළ යුතු වෙයි.

ප‍්‍රතිමා කලාව විමසුමට ලක් කරන මාලිංග අමරසිංහ කුරුඹුරේ විහාරය, විලයාය ටැම් පිට විහාරය, කළුගල, මීමනගල්කන්ද, එළමල්දෙණිය ආදී විහාරස්ථානවල වැඩ සිටින ස්වර්ණමය, දැවමය හා බදාමෙන් නිම කළ විවිධ ප‍්‍රතිමා වහන්සේලා පිළිබඳ විශේෂතා පහදයි.

යටත් විජිත යුගයේ විහාරාරාම ගොඩනැගිලි, පල්ලි හා අධ්‍යාපන ආයතන ආදී ගෘහ නිර්මාණවල වාස්තු විද්‍යාත්මක විශේෂතා මෙන් ම මහනුවර බිතු සිතුවම් සම්ප‍්‍රදායේ මාතර විශේෂතා ද මෙහි සාකච්ඡාවට ලක්ව ඇත.

මේ හැරුණු විට එස්.පී. චාල්ස්, තිලක අබේසිංහ, සුමන දිසානායක, මොටාගෙදර වනිගරත්න, එස්.එච්. සරත්, උල්ලුවිස්හේවා, පියල් උදය සමරවීර බඳු වර්තමාන මාතර චිත‍්‍රකලා කරුවන් ඇගැයීමට ලක්ව තිබීම ද අගය කළ යුතු වෙයි.

යන්ත‍්‍ර මන්ත‍්‍ර බලිතොවිල් හා හදි හූනියම් පිළිබඳව ද මාතර ප‍්‍රකට ය. මේ ශාන්ති කර්ම රටාව මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ විමසුමට ලක්කර ඇත. වත් පිළිවෙත් හා බැඳුණු විශ්වාස, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝ ඇඩියා සහ වස්දොස් මෙන් ම අත්තගහ මැතිරීමත් ගරා මඩුවත් සම්බන්ධයෙන් දක්වන අදහස් හරවත් ය. රසවත් ය.

විශේෂයෙන් පහතරට නර්තනයේ මාතර රංග ශෙලිය කෝට්ටේගොඩ විමසුමට ලක්කළ ආකාරය ඔහු සතු විමර්ශන බුද්ධිය හෙළි කරන්නකි. පහතරට නර්තනයේ බෙන්තර රංග ශෙලිය හා රයිගම් කෝරල රංග ශෙලියෙන් මාතර රංග ශෙලිය එහි භාවිත හස්ත ලක්ෂණ, පාද ලක්ෂණ, ගායන හා බෙර වාදනයේ වාදන ශෙලි අනුව ද, ඇඳුම් පැලඳුම් ආදියේ විශේෂතා අනුව ද හඳුනාගත් පිළිවෙළ විදුහුරු වූවකි.

මෙයට අමතර වශයෙන් මාතර පාරම්පරික ගුරුකුල පිළිබඳව ද ඔහු අවධානය යොමු කොට තිබීම අගය කළ යුතුය. මාතර නිජබිම කොට උපන් ගීත රචකයන් බණ්ඩාර ඇහැළියගොඩ විසින් ද මාතර සංගීත කලාව විශාරද ජයන්ත අරවින්ද විසින් ද මෙහි විමසුමට ලක්කොට ඇති අතර සිංහල නාට්‍ය කලාවට මාතරින් සැපයුණු දායකත්වය ද ඇගැයීමට ලක්ව ඇත.

සුගත් වටගෙදර විසින් යටත් විජිත යුගයේ සිට මාතර පැවැති කෝලම්, කවි නාඩගම්, නාඩගම් යන ජන නාට්‍ය මෙන්ම නූර්ති කලාව ද, ටීටර් සම්ප‍්‍රදාය ද පරීක්ෂාවට ලක් කරමින් මාතරින් ලංකා නාට්‍ය කලාවට ගුණසේන ගලප්පත්ති සහ සුගතපාල ද සිල්වා ගෙන් සැලසුණු දායකත්වය ද ඇගැයීමට ලක් කොට ඇත. ජනමාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත‍්‍රයට ද මාතරින් මනා දායකත්වයක් සැලැසුණි.

සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, කරුණාරත්න අබේසේකර එහි විශේෂිත පුද්ගලයෝ වූහ. රූපවාහිනී මෙන්ම සිනමා කලාවට ද මාතර දායකත්වය සාකච්ඡාවට ලක්වන අතර මාතරින් බිහිව ලොව ජයගත් විශිෂ්ට චරිත කිහිපයක් ද හඳුන්වා දී ඇත්තේ රුහුණු පුත‍්‍රයන් ගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට හඬගා කියා පෑමටය.

මෙහි කිසියම් ඌනතාවක් ලෙසින් දැකිය හැක්කේ රුහුණ කේන්ද්‍ර කොට ගොඩ නැඟුණු ධීවර කර්මාන්තය පිළිබඳ විමර්ශනයක් ඇතුළත් නොවීමය. රුහුණට අනන්‍යවූ රිටිපන්න ධීවර කර්මාන්තය බඳු විශේෂතා මෙන් ම ඒ හා බැඳුණු සංස්කෘතියක් මෙහි පවත්නා බව විශේෂයෙන් සිතිය යුතුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: