Posted by: lrrp | December 11, 2008

පුරාවස්තුන්ට ඔබ්බෙන් ඇති ප‍්‍රාග් ඓතිහාසික මිනිසා පිළිබඳ කතාව සොයා යමු

ඉදිරි වසර පහ ඇතුළත අප රටේ මනුෂ්‍ය පැවැත්ම හා පරිණාමය පිළිබඳ ව අප මෙතෙක් දැන සිටියාට වඩා වෙනස් හා අලුත් දැනුම් සම්භාරයක්
ගොඩ නැඟෙනු ඇතැ යි ආචාර්ය රාජ් සෝමදේව පවසයි.

ආර්යයන් පැමිණීමෙන් අනතුරු ව රට ජනාවාස විණැ යි පවසන්නේ කෙසේ දැ යි ඒ මහතා ප‍්‍රශ්න කරයි. එසේ පැමිණි සුළු පිරිසක ගේ ආගමනය රටක සමස්ත ජනතාවක ගේ ජාන සමුච්චය වෙනස් කිරීමට සමත් වේ යැයි

තමා නො සිතන බව මේ සංලාපයෙන් ආචාර්ය සෝමදේවයෝ අවධාරණය කරති. ලංකාව ජනාවාස වීම පිළිබඳ ගැටලුව විසඳ්‍ර ගැනීමට අවශ්‍ය සාධක නුදුරු අනාගතයේ පරිපූර්ණත්වයට පත් කර ගත හැකි වන බව ද ඔහුගේ මතයයි.

මේ භූමිය නිජබිම කරගත් මුල්ම ජන කොටස කවුරුන්ද වැනි ජාතිකත්වය සම්බන්ධ හඳුනාගැනීම් සඳහා පුරාවිද්‍යාව භාවිත කළ නොහැකිද?

ඕනෑම පුරාවස්තුවකට ඇත්තේ ඓතිහාසික අගයක්. පුරාවිද්‍යාව මඟින් කිසිදු ආකාරයක ජාතිකත්වය පිළිබඳ හඳුනා ගැනීම් කරන්න බැහැ. ඉතා කලාතුරකින් අවස්ථාවක හැරුණුවිට මේ විෂය පදනම්වී ඇත්තේ පුරාණ කාලයට අයත් ද්‍රව්‍යමය අවශේෂ මත. පුරාවිද්‍යාවට විෂය වන පුරාණ ද්‍රව්‍යමය වස්තුවක් වුණත් පුරා විද්‍යාඥයා අතට පත්වන්නේ සුන්බුන් ලෙස. එසේත් නැතිනම් මුල් අවස්ථාවේ වූ ස්වාභාවික සන්දර්භයෙන් පරිබාහිර ව එනිසා පුරාවිද්‍යාවට කිසිදු අයුරකින් ජාතිභේදය ග‍්‍රහණය කරගැනීමේ හැකියාවක් නැහැ.

ඉතා පුරාණ මැටි භාජනයක් සොයාගත් පුරාවිද්‍යාඥයකුට කිව හැක්කේ එය මිනිසුන් භාවිත කළ බඳුනක් බවයි. එය වතුර බොන භාජනයක කොටසක් නම් එහි වතුර බීවේ සිංහල අයෙක් ද මුස්ලිම් අයෙක්ද දෙමළ මිනිසෙක්ද යන්න ප‍්‍රකාශ කිරීමට පුරාවිද්‍යාවට බැහැ. නමුත් එය භාවිත කළ කාලය, එහි තාක්ෂණය, අනන්‍යතාවය ආදිය ගැන පමණයි පුරාවිද්‍යාව අවධානය යොමු කරන්නේ.

එසේ නම් කිසියම් රටක වෙසෙන ජනතාවගේ පැවැත්ම හා ඔවුනට ඒ භූමිය හා ඇති සබඳතාව (හිමිකාරිත්වය) පිළිබඳව වන ප‍්‍රශ්නයට සැබැවින්ම පිළිතුරු සොයා දිය යුත්තේ කවුරුන්ද?

මම සිතන ආකාරයට සත්‍ය වශයෙන්ම ඊට පිළිතුරු ලබාදීමේ වගකීම පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් වෙත සැලැකිය යුතු ප‍්‍රමාණයකින් පැවැරෙනවා. එහෙත් විවිධාකාරවූ හේතුන් නිසා අපේ රටේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අතින් ප‍්‍රාමාණික ලෙස මේ වගකීම ඉටුවී නැහැ.

මා කල්පනා කරන ආකාරයට පුරාවිද්‍යාඥයන්ට මේ සඳහා කළ හැකි වැඩ කොටස විශාලයි. ඒ සඳහා ක‍්‍රමානුකූලව සකසන ලද පර්යේෂණ සැලැස්මක් අවශ්‍ය වෙනවා. මූල්‍ය ප‍්‍රතිපාදනත් සැලැකිය යුතු කාරණයක්. මේ සඳහා රජය හෝ පෞද්ගලික අංශය සපයන මූල්‍ය ප‍්‍රතිපාදන ඉතා වැදගත්.

අපේ රටේ මිනිසුන්ට ඉතිහාසය කියන්නේ් රජවරු බිහිවන හැටි, යුද කරනහැටි, රජ වන හැටි පරාජය වන හැටි ආදිවූ කි‍්‍රයාදාමයක්. ඉතිහාසය ඊට වඩා පුළුල් විෂය ක්ෂේත‍්‍රයක්.

අපේ රටේ මිනිසුන්ට පුරාවිද්‍යාවක් ඇතිවෙලා. පුරාවිද්‍යාවට අයත් වන්නේ පරණ ගල්කණු ටිකයි සඳකඩපහන් ටිකයි බුදු පිළිම ටිකයි වැව් දාගැබ් ආදියයි කියලා නිශ්චිත වන විදිහට තමයි පසුගිය කාලය පුරාම කටයුතු කෙරුණේ. සෙල්ලිපි වාරිමාර්ග හා ස්මාරක ඉතා වැදගත් සාධක. එහෙත් රටක් සංවර්ධනය වන විට ලෝකය සමඟ ගනුදෙනු කරන විට ඒ රටේ අනන්‍යතාව පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් තිබීම අවශ්‍යයි.

එනිසා ඒ මහානර්ඝ වස්තූන්ට ඔබ්බෙන් ඇති ජීවමානව සිටි මිනිසුන් පිළිබඳ වූ කතාව සොයා යෑම ඉතිහාසඥයාගේ සහ පුරාවිද්‍යාඥයාගේ වගකීමයි. ඒ කතාව සොයා රටට කිව්වොත් ජනතාව ඒ පිළිබඳ ව අවධානය යොමු කරාවි. එවිට තම මාතෘභූමිය කෙරෙහි සෑම මිනිසකුටම ඇල්මක් ඇතිවේවි. තමන් පැවැත්මේ ඉතිහාසය, තමන් කවුරුන්ද කුමන සම්ප‍්‍රදායකට අයත් ද අතීතයේ විසූ මිනිසා හා ඔවුන්ගෙන් අපට උරුම ව ඇති දේ මේ භූමියේ සත්‍ය හිමිකරුවා කවුරුන්ද යන ප‍්‍රශ්න සියල්ලටම පිළිතුරු එයින්් ලැබේවි.

විසිවන සියවස පුරා අප ඇලී ගැලී සිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක නිමිතිවලින් ඉවත් වී රටේ කාලීන සංවර්ධනය හා ජාතීන් අතර සහයෝගීතාව සඳහා අවශ්‍ය අතීත ඥාානය ජනතාව වෙත ප‍්‍රවේශ කිරීමේ අවශ්‍යතාවක් පවතිනවද?

ඔව්. ඒ අවශ්‍යතාව හඳුනා ගෙන 2005 සිට පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය පර්යේෂණ සැලැසුම් කළා. විශේෂයෙන්ම ඒ සැලැසුම් කළ පර්යේෂණ මාතෘකා අතර ප‍්‍රධාන තැනක් ලංකාව ජනාවාස වීම යන මාතෘකාව යටතේ සිදු කරන පර්යේෂණ මාලාවට හිමි වෙනවා.

ඒ පර්යේෂණයන්ගෙන් සැලකිය යුතු තරමේ ප‍්‍රගතිශීලි ප‍්‍රතිඵල දැනටමත් ලැබී තිබෙනවා. ඉදිරි වසර පහ ඇතුළත අප රටේ මනුෂ්‍ය පැවැත්ම හා පරිණාමය සම්බන්ධයෙන් අප මෙතෙක් දැන සිටියාට වඩා වෙනස් හා අලුත් දැක්මක් ගොඩනඟා ගැනීමට හැකි වේවි. ඒ දැනුම ඉදිරි පරම්පරාවට ලබා දීම මඟින් තම මාතෘ භූමිය පිළිබඳ මාමකත්වයෙන් සිතන සමාජයක් ගොඩනැගීම සඳහා එය ප‍්‍රවේශයක් කර ගත හැකි වනු ඇත.

ලංකාව ජනාවාස වූයේ ආර්යයන් ගෙන් බවට ඉතිහාසය තහවුරු කරනවා. නූතන පුරාවිද්‍යාත්මක පර්යේෂණ ඒ අදහසට ලබා දෙන දායකත්වය කෙබඳුද?

ඉතිහාසයට හා ජන ප‍්‍රවාදයන්ට අනුව නම් එහෙමයි. ලංකාවේ ඉතිහාසය ලියැවී ඇති මහාවංශය හා චූලවංශය ඉතා විශිෂ්ට කෘති. මම විශ්වාස කරන්නෙ නැහැ ඒවා ලියැවුණේ ඉතිහාසය ලිවීම අරමුණු කරගෙන කියලා. එහෙත් අපි ඒ කෘතීන් ඉතිහාසය අධ්‍යයනයට භාවිත කරනවා. රටක සමාජීය පැවැත්ම රඳ්‍ර පවතින්නේ රජවරුන් හා පූජ්‍ය පක්ෂය මත පමණක් නොවේ. ඒ සමාජයේ සාමාන්‍ය ජනයාත් සිටිනවා.

ආර්යයන්ගේ පැමිණීමෙන් අනතුරුව රට ජනාවාස වුණාය කියන්නේ කෙසේද? එබඳු සුළු පිරිසකගේ ආගමනය රටක සමස්ත ජනතාවකගේ ජාන සමුච්චය වෙනස්කර ලීමට සමත් වේ යැයි මා හිතන්නේ නැහැ. උතුරු ඉන්දීය ජනයා ලංකාවට සංක‍්‍රමණය වීම දිගු කාලයක සිට සිදුවන්නක්. ආර්ය යන අදහස මහත් සේ ශාස්තී‍්‍රය විවාදයට ලක් වූ සංකල්පයක්. කිසිසේත්ම එය ජනවාර්ගික අනන්‍යතාවක් නොවේ. රොමිලා කාපර් වැනි කීර්තිමත් ඉතිහාස විද්‍යාඥයන් මෙය පෙන්වා දී තිබෙනවා.

ඉතා අතීතයේ සිටම ශී‍්‍ර ලංකාව විවිධ ආක‍්‍රමණයන්ට ගොදුරු වුණා. විදේශයන් ගෙන් එල්ල වන ආක‍්‍රමණයක දී දේශීය ජන කොටස් මුහුණ දෙන ක‍්‍රම කිහිපයක් තිබෙනවා. ඒ අතර ප‍්‍රහාරාත්මක වීම, ප‍්‍රතිකි‍්‍රයා නොදැක්වීම හා ඔවුන් හා මුසුවීම ප‍්‍රධානයි.

ඈත අතීතයේ සිටම ලංකාවේ මේ ක‍්‍රම කි‍්‍රයාත්මක වුණා. 1815 දීත් කොටසක් ආක‍්‍රමණිකයන්ට එරෙහි වෙද්දී, කොටසක් ඔවුන් හා මුසුව ආවාහ විවාහ සබඳතා පවා පැවැත්වූවා. එහි ප‍්‍රතිඵල අදත් දකින්න පුළුවන්. එහෙමයි කියලා ලක්වැසි ජනයා ඉංගී‍්‍රසීන් හෝ පෘතුගී‍්‍රසීන් හෝ ලන්දේසින් බවට පත් වුණේ නැහැ.

ඈත අතීතයේ සිදුවූ ආක‍්‍රමණවලදීත්, එවැන්නක් සිදුවීම ස්වාභාවිකයි. බොහෝ විට ආක‍්‍රමණිකයන්ට නතු වන්නේ නාගරික ජනයා. ඒ අතීත සිදුවීම් අනුව ආර්යයන් ගේ පැමිණීම නිසා හෝ ඉන්දීය ආක‍්‍රමණ නිසා ශී‍්‍ර ලංකාව ජනාවාස වූවා යැයි පැවැසීම සාධාරණ නැහැ. මා සිතන ආකාරයට මේ රටේ බහුතර ජනතාව සම්බන්ධ වන්නේ ආර්යාගමනයට පෙර ඈත වකවානුවක සිට මෙරට වාසය කළ ජන කණ්ඩායමකටයි. එහෙත් එය සනාථ කිරීමට පවා විද්‍යාත්මක සාක්ෂ්‍ය අවශ්‍යයි.

ඔබේ අදහසට අනුව ලංකාව ජනාවාස වූයේ කුමන කාලයේද? ඒ පිළිබඳ මෙතෙක් ලැබී ඇති ලිඛිත ස්ථිර සාක්ෂ්‍ය තිබේද?

මෙරට ජනාවාස වන්නට ඇත්තේ අවම වශයෙන් මීට වසර ලක්‍ෂයකටත් පෙර ඈත කාලයකයි. සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණ මඟින් තහවුරු වන ආකාරයට බෙලිගල ලෙනට වසර 74200 කට එපිට ඉතිහාසයක් තිබෙනවා.

බුලත්සිංහල පාහියන්ගල ලෙනට ඇති ඉතිහාසය වසර 34000 කටත් එපිටට දිවයන්නක්. බටදොඹ ලෙන වසර 28900 ක මානව ඉතිහාසයක් කියද්දී කිතුල්ගල බෙලිලෙනෙන් කියැවෙන මානව ඉතිහාසය වසර 27200 පමණ ඈතට දිව යනවා. මේ ස්ථානවලින් ඒ ඒ යුගයට අයත් ගල් මෙවලම් ආදිය හමුවී ඇති බැවින් ඔවුනට ද්‍රව්‍යමය සංස්කෘතියක් පැවැති බව පැහැදිලියි. එවකට ඔවුන් අනුභව කළ ආහාර ද්‍රව්‍යයන්ගේ සුන්බුන් මඟින් ඔවුන්ගේ ජීවන පැවැත්මද තහවුරු කර ගත හැකි වී තිබෙනවා.

පරිණාම අවධියේ අවසාන භාගයේ ගත කළ පිරිසක් ලෙස හොමෝසේපියන් මානවයා ලංකාවට සංක‍්‍රමණය වන්නට ඇති. ඔවුන් ඉන්දියාව හරහා හෝ සාගරයේ යාත‍්‍රා කර මෙහි පැමිණෙන්නට ඇති. මීට වසර 150000කට පෙර හොමෝසේපියන් මානවයා විසූ බවට සාක්‍ෂ්‍ය හා ලක්‍ෂණ සොයා ගත හැකියි. එහෙත් ඔවුන් වසර 170000 කට පෙරත් සිටියාද යන්න විමසා බැලිය යුතුයි. එසේ සොයා බැලීම අපගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉතා වැදගත්.

ඔය කියන දුරාතීතයේ ලංකාවේ කෘෂිකාර්මික දිවි පෙවතක් ගත් කළ ජන කොටසක් සිටියාද?

අතීත ශී‍්‍ර ලංකාවේ කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත් කළ ජන කොටසක් සිටියා. දඩයමින් ජීවත් වූ පිරිසකුත් සිටියා. ඔවුන් අතර සබඳතාවක් පැවතුණායයි අනුමාන කිරීමේ හැකියාවක් තිබෙනවා. ලංකාව ජනාවාස වූයේ කෙසේද යන්න පිළිබඳ සිදුවන පර්යේෂණවලදී ගල් යුගයේ මිනිසා හා කෘෂිකාර්මික මිනිසා අතර ප‍්‍රතිකි‍්‍රයාවක් පැවැති බවට සාධක ලැබී තිබෙනවා.

ලංකාවේ දකුණු ප‍්‍රදේශය සහ අග්නිදිග වියළි කලාපය, පහතරට තෙත් කලාපයෙන් වෙන්කරන උඩවලවේ තිඹොල්කැටිය ආසන්න ප‍්‍රදේශයෙන් මීට අවශ්‍ය සාධක හමු වී තිබෙනවා. දේශගුණික කලාප බෙදා වෙන්කරන මේ සංක‍්‍රාන්තික දේශගුණික කලාපය තාක්ෂණික හා සංස්කෘතික අනුවර්තනයකට ඉතා සුදුසු ප‍්‍රදේශයක් වීම විශේෂයි. ඒ ප‍්‍රදේශයේ මෑතකදී කරන කැණීම්වලදී මෙසේ සංස්කෘතීන් දෙකක් සංගතවීමේ මූලික ලක්ෂණ දැකගන්න ලැබුණා.

උඩවලවේ රංචමඩම නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ කළ කැණීම්වල දී සොයාගත් සුසාන ඔරුවක මැටිවලින් නිමවා ඇති මැටි මුට්ටිවල භෂ්මාවශේෂ සමඟ ගල් ආයුධ තැන්පත් කර තිබුණා. එය ඒ ප‍්‍රදේශයේ දී එකිනෙකට වෙනස් වූ සංස්කෘති දෙකෙහි සංගතවීම කියා පාන්නක්.

මැටි මුට්ටිය කෘෂිකාර්මික ජනයා විසූ බවට ඇති හොඳම සාක්ෂ්‍ය. දඩයම් යුගයේ ජනයාගේ මුසුවීම හා ඔවුන්ගේ සංකේත ලෙස ගල් මෙවලම් දැක්විය හැකියි. ඒ ප‍්‍රදේශයේ ම ගලපාත ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික පරිණාමය හැදෑරීමට වැදගත් සාධක ලබා දෙන ස්ථානයක්. ගවේෂණයට ලක්වන භූමි ප‍්‍රදේශය හපුතලේ සහ බුළුතොට කඳු අතර පිහිටි ද්‍රෝනියක්.

ලංකාවේ අනෙක් ප‍්‍රදේශවලින් හමුවන ප‍්‍රාග් ඓතිහාසික සහ කෘෂිකාර්මික යුගයට අයත් එනම් කි‍්‍ර.පූ. 9 වන සියවසට පෙර පුරාවස්තු හා සසඳ්‍ර බලද්දී මේ ප‍්‍රදේශයෙන් හමුවන පුරාවස්තුන්ගේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා.

එනම් එකම ස්ථානයකදී වෙනත් තාක්ෂණික ක‍්‍රම දෙකක් මුසුවීමයි. ඒ ද්‍රව්‍යමය සාක්ෂ්‍ය අයත් සුවිශේෂි පැවැත්ම, අවශ්‍ය නම් අපට උඩවලවේ සංස්කෘතිය ලෙස හඳුන්වාදීමේ හැකියාවක් තිබෙනවා. එසේ හඳුන්වා දිය හැක්කේ එහි ඊටම ආවේණික ලක්ෂණ පවත්නා බැවින්. ප‍්‍රාග් ඓතිහාසික ගල් මෙවලම් සහ ධාන්‍ය ඇඹරීමට භාවිත කළ පුරාතන ඇඹරුම් ගල් හා වළං මේ ස්වාභාවික පරිසර සන්දර්භයෙන් ලැබී තිබෙනවා.

මෙසේ සංස්කෘතීන් දෙකක් එක්වීමට බලපෑම් කළ විශේෂ සාධක ලෙස අපට අවධානය යොමු කළ හැකි හේතු තිබෙනවාද?

පුරා පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි හොලෝසීන යුගයේ නැතිනම් මෑත යුගයේ සිදුවූ බව ප‍්‍රකාශ වන කාලගුණික හා දේශගුණික විපර්යාසයන් අතීත මිනිසාගේ කි‍්‍රයාකාරකම් වෙනස් කිරීමට හේතු වූවාය යන්න විශ්වාස කළ හැකියි. දඩයමින් දිවි ගෙවූ කඳුකර මානවයා, එනම් පුරාණ ප‍්‍රාග් ඓතිහාසික ජන කණ්ඩායම් මේ දේශගුණික වෙනස්කම් සමඟ පහත රට තැනිතලා බිම් වෙත සංක‍්‍රමණ වීමට පටන්ගත් බවට දැනට සිදුවන පුරාවිද්‍යා පර්යේෂණ හා ගවේෂණ මඟින් පෙනී යනවා.

ඒ වන විටත් පහළ තැනිතලා බිම්වල කෘෂිකර්මයේ යෙදී සිටි පිරිස් සමඟ මෙසේ පැමිණි ජන කණ්ඩායම් කිසියම් සංස්කෘතික ප‍්‍රතිකි‍්‍රයාවක් ඇති කර ගනිමින් සම්මිශ‍්‍රණය වීමක් සිදුවූ බව විශ්වාස කළ හැකියි. එසේ මිශ‍්‍රවීමෙන් දේශීය වශයෙන් අනන්‍යතාවක් ඇති ජන කොටසක් බිහිවීම පිළිබඳව කල්පිතයක් ඉදිරිපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා.

එය තහවුරු කිරීම සඳහා මේ වන විටද සාක්ෂ්‍ය ලැබී තිබෙන බව කිය යුතුයි. එහෙත් එය තහවුරු කර ස්ථිරසාර නිගමනයක් ලබාදීම සඳහා සැලකිය යුතු ප‍්‍රමාණයේ බහු විෂයීය ස්වරූපයෙන් යුතු පර්යේෂණ මාලාවක් අවශ්‍ය වනවා.

ප‍්‍රාග් ඓතිහාසික දඩයම් සංස්කෘතිය සහ යකඩ භාවිත කළ කෘෂිකාර්මික සංස්කෘතිය අතර සංක‍්‍රාන්තිය පිළිබඳ ඔබ කරන පර්යේෂණවලදී ලැබී ඇති තොරතුරු එකී ජනකණ්ඩායම් සම්මිශ‍්‍රණය සාධාරණීකරණයට ප‍්‍රමාණවත් ද? ඒ හමුව සිදුවී ඇත්තේ ඉතිහාසයේ කුමන වකවානුවකද?

සිදු කළ සුළු ගවේෂණ හා කැණීම් ප‍්‍රමාණයකින් මේ වනවිට සැලැකිය යුතු තොරතුරු ප‍්‍රමාණයක් ලැබී තියෙනවා. ඉදිරි වර්ෂ දෙක තුන ඇතුළත අපගේ උපන්‍යාසය (කල්පිතය) විද්‍යාත්මකව තහවුරු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට කර ඇති පර්යේෂණයන්ගේ දත්ත ඉතිහාසයේ කුමන කාලයට අයත් ද යන්න තවම තහවුරු වී නැහැ. ඒවා අයත් කාලවකවානුව තහවුරු කරගැනීම සඳහා ඒ සාධක විදේශීය විද්‍යාගාර වෙත යවා තිබෙනවා.

ඒවායේ ප‍්‍රතිඵල ලැබුණු පසු නිශ්චිත කාලවකවානු තහවුරු කරගත හැකි වේවි. ඉදිරි පර්යේෂණ කටයුතු මඟින්ද කාලවකවානු තහවුරු කර ශක්තිමත් පදනමක් මත මේ කල්පිතය සැබෑවක් බවට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ අතීත ලේඛකයා, සාහිත්‍යකරුවා දැන හෝ නොදැන තම නිර්මාණ කෘතීන්හි මේ සම්මිශ‍්‍රණය දක්වා තිබෙනවා.

දඩ වැද්දා වල් වැද්දා බලු වැද්දා ගම් වැද්දා යන වැදි කොට්ඨාස කිහිපයක් පුරාණ සාහිත්‍යයේ දැකගත හැකි වන අතර, කැලෑ ආශ‍්‍රිතව විසූ ජන කොටස ගම කරා සංක‍්‍රමණය වෙමින් ආවාහ විවාහ ආදිය සමඟ සංස්කෘතික බැඳීම් ඇතිකර ගනිමින් දඩ යුගයෙන් කෘෂි යුගයට යොමු වූ බවත් සාහිත්‍යයේ කියැවෙනවා. එසේ මුසුවෙමින් කෘෂි දිවියට යොමු වූ ජන කොට්ඨාසය ශ‍්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් වීමට පුළුවන්.

ඔවුන් මේ බිමේ සැබෑ හිමිකරුවන් බව තහවුරු කිරීමේ හැකියාව තිබෙනවාද?

බහුතර ජනතාවට වඩා මානවරූපී වශයෙන් යම් සුවිශේෂි භාවයක් පෙන්නුම් කරනු ලබන සුළු පිරිසක් තවමත් දකුණේ කැණීම් සිදු කරන ප‍්‍රදේශ ආශි‍්‍රතව වෙසෙනවා. ඔවුන් හා බහුතර ජනතාව අතර ජෛව හා මානව විද්‍යාත්මකව යම් වෙනස්කම් පවතී ද යන්න අවශ්‍ය නම් විද්‍යාත්මකව පර්යේෂණ කිරීමෙන් අපට අනාවරණය කර ගන්න පුළුවන්.

ඒ සුළු පිරිස හා අතීත මානවයා අතර යම් සබඳතාවක් තිබේද යන්න පිළිබඳවද එසේම පර්යේෂණ කිරීමේ හැකියාවක් වර්තමානයේ තිබෙනවා. ඩී එන් ඒ පර්යේෂණ මඟින් මෙය අනාවරණය කර ගත හැකියි. එවන් පර්යේෂණ සඳහා පසුබිම සැකැසීම හා සියුම් සැලැසුම් සැකැසීම අවශ්‍යයි. එසේ සැලැසුම් සහගතව කරන පර්යේෂණ මඟින් ලංකාව ජනාවාස වීම පිළිබඳව පවත්නා ගැටලුව විසඳ්‍ර ගැනීමට අවශ්‍ය සාධක පරිපූර්ණත්වයට පත් කර ගත හැකියි.

රටක උරුමය සොයා යෑම වැනි මෙබඳු ගවේෂණයකින් ඇති ප‍්‍රයෝජනය කුමක් ද? මෙය අනවශ්‍ය නිෂ්ඵල වෑයමක් යයි ඔබට කවරදාක හෝ සිතෙන්ට බැරි ද?

කිසිවකු එසේ සිතිය යුතු නැහැ. පුරාවිද්‍යාව පලකට නැති විෂයයක් ලෙස පෙනී යන්න පුළුවන්. වර්තමානයේ පවතින ඇතැම් විෂයයන් වගේ නොවේ. පුරාවිද්‍යාව රටකට අතිශයින් ප‍්‍රයෝජනයි. වර්තමාන ව්‍යවහාරයේ පවත්නා විෂයයන් සියල්ල රටට ප‍්‍රයෝජනවත්. ඒ ප‍්‍රයෝජනවත් භාවය රටට ප‍්‍රායෝගිකව වටින්නේ රට පිළිබඳ හැඟීමක් ඇති ජනතාවක් රට තුළ සිටිනවා නම් පමණයි.

රටක් දියුණු කිරීමට නම් සෙසු සියලු කි‍්‍රයාවලීන්ට අමතරව තම රට තමන්ගේ වටපිටාව සතා සීපාවා හා තමන් ජීවත් වන සමාජය පිළිබඳ හැඟීමක් ආදරයක් සහ යහ ආකල්ප ඇති ජනතාවක් රට තුළ සිටිය යුතුයි. අප අපගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතුයි. අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පුද්ගලයා තුළ තම රට පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. එය රට සංවර්ධනය කරා ගෙන යෑමට මාර්ගය සකසාවි. අපගේ අනන්‍යතාව තහවුරු වීමෙන් මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීමට ජනතාවට ආත්ම විශ්වාසයක් සහ ශක්තියක් ගොඩ නැඟෙනවා.

කුමන ජන කණ්ඩායමක් මේ භූමියට පළමුව වාසයට පැමිණියාද යන්න විමසීමේ තරගකාරී අදහසක් ඔබේ වෑයම ඇසුරේ තිබෙනවද?

කිසිසේත්ම නැහැ. මේ ගවේෂණයේ අරමුණ වන්නේ භාෂා ආගම් අනන්‍යතාවයෙන් පරිබාහිරව මානව කණ්ඩායමක් ලෙස කුමන ජන කණ්ඩායමක් මේ භූමිය ජනාවාස කළාද. ඔවුන් පසුගිය වසර ලක්ෂයක පමණ කාලය තුළ වර්තමානය දක්වා වර්ධනය වූයේ කෙසේද යන්න පිළිබඳව පරිකතාවත් දැක්විම පමණයි. මානවයා භාෂා හා ආගම් වශයෙන් බෙදීම දේශපාලන උවමනා එපාකම් අනුව සිදුවූවක්.

යටත් විජිතකරණය, ජනපදකරණය, සංක‍්‍රමණය ආදි දේශපාලන කි‍්‍රයාවලියේ මානවයා විවිධාකාරයෙන් බෙදීමට ලක් වුණා. මේ ගවේෂණය මේ භූමිය මගේය, මෙය මගේ මාතෘ භූමියයි’ යනුවෙන් අගය කිරීමට කැමැති ඕනෑම ජාතියකට ආගමකට හෝ ජන කණ්ඩායමකට තම මාතෘභූමියේ අනන්‍යතාව තහවුරු කරදීමක්. මේ වෑයම දේශපාලන භාවයෙන් තොරයි. නමුත් ඕනෑම කෙනෙකුට එය දේශපාලනකරණය කිරීමේ හැකියාව තිබෙනවා.

Advertisements

Responses

  1. ස්තුතියි….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: