Posted by: lrrp | December 14, 2008

කෝට්ටේ රජමහ විහාරය සහ ඓතිහාසික සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය

කෝට්ටේ රජමහ විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ ස්වාමින් වහන්සේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි

අලගක්කෝනාර ප‍්‍රභූ රාජයා විසින් ගොඩනගන ලද, හයවන පරාක‍්‍රමබාහු මහ රජතුමා විසින් ස්වකීය අග‍්‍රරාජධානිය ලෙස පත් කරගත් කෝට්ටේ, ශී‍්‍ර ලංකා ඉතිහාසයෙහි ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගත් රාජධානියක් වශයෙන් හැඳින්විය හැකිය.

හයවන පරාක‍්‍රමබාහු රජතුමා බලය පදනම් කරගෙන බලයෙන් උන්මත්තකභාවයට පත් වූවකු නො වී ය. බුදු දහමෙන් ලැබූ ශික්‍ෂණයෙන් ඔප්නංවන ලද සුවිශේෂ වූ මානසිකත්වය ඔහු නිහතමානී රාජ්‍ය පාලකයෙකු බවට පත් කළේ ය.

එතුමා ශී‍්‍ර ජයවර්ධනපුරවරෙහි වීදි, මංමාවත් මනාව සකස් කර රජමාලිගා ඉදි කරවා, සීමා පවුරු බඳවා, දළදා මාලිගාවක් සහ භික්‍ෂූන් වහන්සේලාට වැඩ සිටීමට ආරාමයක් ද ඉදි කරවා රාජධානියට අවශ්‍ය සියලු අංගෝපාංගයන්ගෙන් සමලංකෘත ව විධිමත් අග නගරයක් ලෙස කෝට්ටේ රාජධානිය ගොඩනැගුවේ ය.

උදාර ජනතා මෙහෙවරක් කළ හයවන පරාක‍්‍රමබාහු රජතුමා කි‍්‍ර.ව. 1467 දී ස්වර්ගස්ථ වීමෙන් පසු, එතුමා විසින් සමෘද්ධිමත් කරන ලද කෝට්ටේ රාජධානිය සහ එතුමා විසින් එක්සේසත් කළ සිංහල රාජ්‍යය විවිධ කාල වකවානුවල දී ක‍්‍රමයෙන් පරිහානිය කරා ගමන් කළ බව පෙනේ.

එයට හේතු වූයේ හයවන පරාක‍්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානියේ ඝාතන දේශපාලන සංස්කෘතියක් බිහිවීමත්, රාජධානිය දෙකඩ – තුන්ඩක වීමත්, නොයෙක් සතුරු ආක‍්‍රමණ ඉදිරියේ පශ්චාත්කාලීන පාලකයින්ගේ රාජ්‍ය පාලනය දුර්වල වීමත් ය.

මේ පැරණි රාජධානිය වර්තමානයේ ජනාකීර්ණ ප‍්‍රදේශයක් බවට පත්වීමත් සමඟ ම එහි ඓතිහාසිකත්වය යටපත් ව ගොස් ඇත. කෙසේ වුවත් කෝට්ටේ රජමහ විහාර පූජා භූමියෙහි පිහිටි, කෝට්ටේ රාජධානිය සතු ව පැවති පැරණි දළදා මාලිගාව, ඓතිහාසික සපුමල් බණ්ඩාර – දැඩිමුන්ඩ මහ දේවාලය, ඓතිහාසික නා ගස, සතර මහ දේවාල, උපසම්පදා ගෘහය ඇතුළු අවශේෂ නටබුන් කෝට්ටේ රාජධානියේ යටගියාව කිසියම් ප‍්‍රමාණයකට ඉස්මතු කිරීමට සමත් ව ඇත.

මේ අතරින් ඓතිහාසික සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. පෙර රජ දවස සිට මේ තාක් ඉතා සුරක්‍ෂිත ව පවතින මේ දේවාලයට දැඩි භක්තියෙන්, ගෞරවයෙන් වැඳුම් පිදුම් කිරීමට සහ භාරහාර වීමට බැතිමතුන් පෙළඹී ඇත්තේ එහි ඓතිහාසික වටිනාකම ඔවුන්ගේ සිත්වලින් තුරන් නොවූ නිසා ය.

සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය හා බැඳුණු පුරාවෘත්තය

කෝට්ටේ රජමහ විහාර භූමියේ ප‍්‍රබල ව පවතින දේවාල සංකල්පය, පෙර රජ දවස සිට පැවත එන්නකි. පූජා භූමියේ ස්ථාන කිහිපයක කේන්ද්‍රගතව ඇති මහ දේවාල අතර සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලයට ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ, කෝට්ටේ යුගයේ සිදු වූ ඓතිහාසික සිද්ධියක් මුල්කොට ගෙනය.

කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු මහ රජතුමා, තම මෙහෙය වූ යාපනය යුද්ධයට එතුමාගේ පුත් තනතුරෙහි වැඩුණු සපුමල් කුමාරයා ‘බල සේනානායක’ තනතුරට පත් කොට යාපා පටුන ජය ගැනීම සඳහා යැව්වේ ය. දක්‍ෂ සෙන්පතියෙකු වූ සපුමල් කුමාරයාට මුහුණ දීමට සිදු වූයේ සේනා බලයෙන් සහ අර්ථ බලයෙන් උසස් වූ ආර්ය චක‍්‍රවර්තී නම් බලසම්පන්න ප‍්‍රදේශාධිපතියෙකුට ය.

කෙසේ වුවත් සපුමල් කුමරු ගමන ආරම්භ කිරීමට පෙර, යුද්ධයෙන් ජය ලබා ගැනීමේ අධිෂ්ඨානය ඇති ව දැඩිමුණ්ඩ මහ දේවාලයේ (වර්තමාන සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය) ප‍්‍රධාන දොරටුවෙහි පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. කුමාරයාගේ ඒකායන ප‍්‍රාර්ථනය වූයේ නියත වශයෙන් ම යුද්ධය ජය ගැනීමයි.

එය එසේ ම ඉෂ්ට වෙමින්, යාපනය පාලනය කළ කනගසූරිය සිංගෙයි ආර්යචක‍්‍රවර්තී රජු පරාජය කොට සපුමල් කුමරු නියත වශයෙන් ම යාපා පටුන ජය ගත්තේ ය. හෙතෙම එහි වූ ද්‍රවිඩ බලය සම්පූර්ණයෙන් ම අහෝසි කළේ ය. ජයග‍්‍රහණයෙන් පසු කුමාරයා කළ ප‍්‍රථම කාර්යය වූයේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමා වූ භාරය ඉෂ්ට කිරීම ය. ඒ සඳහා සපුමල් කුමාරයා නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමා යුද්ධය සඳහා භාවිතා කළ රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළේ ය.

එක් අතකින් මෙය දැඩිමුණ්ඩ දෙවියන්ගේ බල මහිමය, ආනුභාවය සංකේතවත් කරන සිද්ධියක් ලෙස ද හැඳින්විය හැකි ය. මේ සිද්ධිය මුල් කොට ගෙන අතීතයේ සිට දැඩිමුණ්ඩ දෙවියන් කෙරෙහි, ජනතාව තුළ කිසියම් විශ්වාසයක් ගොඩනැගුණු බව පෙනේ.

එබැවින් කිසියම් ප‍්‍රාර්ථනයක් ඉෂ්ට කර ගැනීම හෝ ජයග‍්‍රහණයක් ලබා ගැනීම සිතෙහි ඇති ව, දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට පතා භාරහාර වීමට මෙම පූජා භූමියට වර්තමානයේ වුව ද පැමිණෙන බැතිමතුන් එමට ය.

මේ ඓතිහාසික සිද්ධිය සහ යාපා පටුනට පත්වූ පළමු සිංහල පාලකයා ;ලස සපුමල් කුමරුට සිංහල ඉතිහාසයේ හිමි උසස් තැන නිමිති කොට ගෙන, කෝට්ටේ රජමහ විහාරයේ දැඩිමුණ්ඩ මහ දේවාලය වර්තමානයේ හඳුන්වන්නේ සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය යනුවෙනි.

හයවන පරාක‍්‍රමබාහු රජ දවස ඉතා සමෘද්ධිමත් ව පැවති කෝට්ටේ රාජධානිය, පශ්චාත්කාලීන ව ඇති වූ නොයෙක් සතුරු ආක‍්‍රමණ සහ දුර්වල පාලනය නිසා ක‍්‍රමයෙන් පරිහානියට පත් විය. එනමුත් දැඩිමුණ්ඩ දෙවියන් වැඩසිටින මෙම දේවාල මණ්ඩපය, කෝට්ටේ රජමහ විහාර භූමියේ ශාන්ත පරිසරය තුළ අදටත් සුරක්‍ෂිත ව පවතී.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: