Posted by: lrrp | December 14, 2008

සුළු පිරිසක ගේ වරප‍්‍රසාද රැකීමට ගොස් ජාතියට ම වූ විනාශය ඌව කැරැල්ල

ඌව ට පැමිණි කැප්පෙටිපොළ ඉංගී‍්‍රසින් ගේ අවි ආපසු භාර දී තෙමේ ද සිංහලයන් සමඟ කැරැල්ල ට එක්විය.
ඒ සමඟම දුම්බර, දෙනුවර, හේවාහැට, කොත්මලේ, වලපනේ ආදි කන්ද උඩපස් රටේ ජනතාව ද කැරැල්ල ට එක් විය.
සිංහලේ රාජ්‍යය ට උරුමකමක් ඇතැයි කියා කැරැල්ල ට එක්වූ කලෙක පැවිදිව සිටි විල්බාවේ සමඟ මඬුගල්ලේ සලුවඩන නිලමේ ද එක්වී කැරැල්ලට නව ජීවනයක් ලබා දුන්නේ ය.
සටන් බිමෙහි කැප්පෙටිපොළට වඩා අභීත සටන්කාමීන් වූයේ මඬුගල්ලේ පරපුරේ අයකු වූ මඬුගල්ලේ සලුවඩන නිලමේ ය.
මොහු මීට පෙරත් ඉංගී‍්‍රසින් ට විරුද්ධ ව සටන් වැද යාපනේ හිරගෙයි දඬුවම් විඳිමින් සිට 1817 අගෝස්තු 12 දිනට යෙදී තිබු ජෝර්ජ් රජු ගේ උපන් දිනයේ දී නිදහස ලබා ඇත.

ව කැරැල්ල නොහොත් සිංහලේ මහ කැරැල්ල නමින් ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලබන බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධ ව උඩරට නිලමේවරුන් ඇරැඹි ගරිල්ලා සටනට පසුගිය නොවැම්බර් 26 වැනි දිනට වසර එකසිය අනූඑකක් සපිරුණි.

නිලමේවරුන් නායකත්වය දුන් මේ සටන සැබැවින් ම රටේ ස්වෙරීභාවය හා නිදහස පිණිස ඇරැඹි සටනක් ද නැතහොත් අදටත් දේශපාලන කරළියේ රඟදැක්වෙන තම තමන් ගේ වරප‍්‍රසාද හා නායකකම් රැකගැනීම අරභයා යොමුවන කි‍්‍රයාකාරකම් රැසක ඒකාබද්ධ ප‍්‍රතිඵලයක් දැයි යන්න ඓතිහාසික කරුණු අනුව අපක්ෂපාත විග‍්‍රහයක යෙදීම මේ ලිපියෙහි අරමුණ යි.

දහසය වන සියවසේ මැදභාගය පමණ වන විටත් මෙරට පැවතියේ කෝට්ටේ, සෙංකඩගල හා යාපනය නමින් රාජධානි තුනකි. වර්ෂ 1505 දී මෙහි පැමිණි පෘතුගීසීහු කෝට්ටේ හා යාපනය ප‍්‍රදේශ පසු කලෙක ඔවුන්ගේ යටතට ගැනීමට සමත් වූහ.

ඩියෝගෝ ද මැලෝ කැස්ටෙ‍්‍ර¤, දොන් ජෝර්ගෝ ද අල්මේදා වැනි පෘතුගීසි නායකයෝ කෝට්ටේ, යාපනය ආදී ප‍්‍රදේශවල පාලනය ඔවුන් යටතට ගැනීමට සමත් වූහ.

ඉන්පසුව මෙහි පැමිණි ලන්දේසීහු මඩකලපුව, කොළඹ, ති‍්‍රකුණාමලය, මීගමුව, කළුතර, ගාල්ල ආදී මුහුදුබඩ ප‍්‍රදේශයන් හි සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සමත් වූහ.

ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදිය තරණය කරමින් උඩරට රාජධානියට ඇතුළුවීම දුෂ්කර වූ නිසා උඩරට රාජධානිය සතුරු ආක‍්‍රමණයන්ගෙන් බේරුණේ ස්වභාවධර්මයේ ම ආශිර්වාදය නිසා ය. ඉහත සඳහන් කළ පෙදෙස් පෘතුගීසි, ලන්දේසින් හා පසුකාලීනව ඉංග‍්‍රීසින් ගේ ආක‍්‍රමණයන්ට ද යටත් විය.

වර්ෂ 1782 ජනවාරි 05 වන දින ශ‍්‍රීමත් එඩ්වඩ් හියුස් ඇතුළු සේනාංකයක් ති‍්‍රකුණාමලයට ගොඩබැසීමෙන් පසුව මෙරට ඉංග‍්‍රීසීන්ට යටත් කරගැනීම ආරම්භ වී ඇත. වර්ෂ 1795 අගෝස්තු 26 වන දින මේජර් ෆොන්බ‍්‍රවුන් ලන්දේසීන් වෙනුවෙන් ද මේජර් පීටර් රේනර් සහ ජේ.ස්ටුවට් ඉංග‍්‍රීසින් වෙනුවෙන් ද අස්සන් කළ ගිවිසුමෙන් උඩරට රාජධානිය හැර දිවයිනේ සෙසු ප‍්‍රදේශ ඉංග‍්‍රීසීන් ගේ පාලනයට අයත් විය.

පසුව උඩරට ප‍්‍රදේශය ද ඉංග‍්‍රීසීන් ගේ පාලනය යටතට ගැනුණේ 1815 මාර්තු 02 වන දින මහනුවර මඟුල් මඩුවේ දී මෙහි සඳහන් වන උඩරට ප‍්‍රධානීන් හා ඉංග‍්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් ජේම්ස් සදර්ලන්ඩ් අස්සන් කළ උඩරට ගිවිසුම නමින් ඉතිහාසය හඳුන්වන අවබෝධතා ගිවිසුමක් මඟිනි.

එයින් සිදුවූයේ මෙතෙක් පාලන ක‍්‍රම දෙකකට යටත්ව තිබූ මෙරට පුරාම එකම පාලන ක‍්‍රමයක් ආරම්භ වීම ය. ආරම්භයක් වශයෙන් උඩරට පාලනය මණ්ඩලයක් යටතට පත්විය. එම මණ්ඩලය සමන්විත වූයේ දොන් ඩොයිල් අධිකරණ කොමසාරිස්, ආදායම් කොමසාරිස්, සයිමන් සෝවර්ස්, හමුදා අණදෙන ප‍්‍රධානි කර්නල් කෙලී, උඩරට ප‍්‍රදේශයේ ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් සහ අධිකාරම්වරුන් හා සෙසු ප‍්‍රධානීන් ගෙනි. නීතිය පසිඳලීම මහනඩුව මඟිනි.

ඌව සබරගමුව තුන් කෝරලය හා හතර කෝරලය සඳහා ආදායම් පාලකවරු වූහ. සිවිල් බලතල පළමුවන අධිකාරම් මෙන්ම හත් කෝරලේ දිසාව වූ මොල්ලිගොඩ යටතෙහි විය. දෙවන අධිකාරම් මෙන්ම සබරගමුවේ දිසාව වූයේ කපුවත්තේ ය.

හතර කෝරලේ දිසාව පිළිමතලාව ය. ඌව දිසාව මොනරවිල කැප්පෙටිපොළ ය. රත්වත්තේ මාතලේ දිසාවේ ය. තුන්කෝරලේ මොල්ලිගොඩ (කනිෂ්ඨ) යටතේ විය. නුවර කලාවිය ගලගොඩ භාරයේ තිබුණි.

දූල්ලෑව භාරයේ වලපනේ ප‍්‍රදේශය වූ අතර තමන්කඩුව ගලගම භාරයට පත්ව තිබුණි. උඩුනුවර මාම්පිටිය භාරයේ වූ අතර යටිනුවර පිළිමතලාවේ (කනිෂ්ඨ) ද, උලපනේ කොබ්බෑකඩුව සහ වෙල්ලස්ස බින්තැන්න මිල්ලවට භාරවිය. මේ සියලුම නායකයෝ වැඩිදෙනකු ලේ උරුමයෙන් හෝ වෙවාහික සම්බන්ධතාවයෙන් මාමා බෑණා මස්සිනා සහෝදරයා ආදී එකම පවුල්වල ඥාතීහුය.

උඩරට රාජධානියට ඇතුළුවීම සඳහා කඩවත් දහහතරක් පිහිටුවා තිබුණි. මෙම කඩවත්වලින් ඇතුළුවන වෙළෙඳුන්ට බද්දක් ගෙවීමට සිදුවූයේ ප‍්‍රදේශය භාරව සිටි රදල ප‍්‍රධානීන්ට ය.

ඉංග‍්‍රීසින් පාලනය භාරගත් පසු මෙම කඩවත් ඉවත් කිරීම නිසා ප‍්‍රධානීන්ට තිබූ ධනය ඉපදවීමේ උල්පත් සිඳී ගියේ ය. මී ඉටි, ගම්මිරිස්, එනසාල්, කෝපි ආදී එවකට පැවැති මූලික වෙළෙඳ ද්‍රව්‍ය නිදහසේ හුවමාරුවීම ආරම්භ විය.

ඒ සමඟම වෙනස් වූ සමාජ- ආර්ථික රටාව නිසා රදල ප‍්‍රධානීන් සතුව එතෙක් පැවැති බලපරාක‍්‍රමයට ද තර්ජනයක් එල්ල විය. පුවක් වෙළෙඳ්‍රමේ යෙදී සිටි වඩුගේ මිනිසුන්ට එම වෙළෙඳ්‍රම සඳහා තිබූ අයිතිය අහෝසි කර වෙළෙඳ්‍රම විවෘත විය. එයින් සිදුවූයේ ඔවුන් උඩරට ප‍්‍රධානීන්ට තිබූ බැඳීම අහෝසි වී ඉංග‍්‍රීසි නිලධාරීන්ට සමීපවීම ය.

එපමණක් නොව එතෙක් රටෙහි පැවැති සමාජ ක‍්‍රමය ක‍්‍රමයෙන් වෙනස්වීමට ඉඩ ඇරුණි. එතෙක් උඩරට රදල ප‍්‍රධානීන්ට පමණක් දෝලාවෙන් ගමන් කිරීමට තිබූ අයිතිය වෙනත් අයවලුන්ට ද ලබාදීමට ඉංග‍්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේ ය. මෙම තීරණයට බලවත් විරෝධය පා ප‍්‍රධානීහු ඒ පිළිබඳව ඩොයිලි වෙතට ද පැමිණිලි කළෝය. තමන් ගේ ගාම්භීරත්වය පිළිබිඹු කරවන කඩු බයිනේත්තු තුවක්කු ආදී යුද උපකරණ ළඟ තබාගැනීම ද ඉංග‍්‍රීසි රජය තහනම් කළේ ය. ඒවා සියල්ල ළඟම ඇති කච්චේරියට හෝ නම් කළ බලය ලත් නිලධාරියකු වෙත භාරදීමට නියෝග කෙරිණි. එම අවි දැරීමට අවසර පත‍්‍ර නිකුත් කිරීමේ බලය ද ‘මහනුවර ඔපීසිය’ වෙත පැවැරුණි. ඉංග‍්‍රීසි රජයට විරුද්ධ වීමට හේතුවූ ප‍්‍රධාන කරුණු මෙසේ විය.

මේ අතර ඉංග‍්‍රීසින් සමඟ උඩරට නිලමේවරුන් අස්සන් කළ ගිවිසුමේ හතරවන කොන්දේසිය වූ “පුරාණ සිරිත් චාරිත‍්‍ර නඩු ප‍්‍රකාර ආරක්ෂා ඇතිව සිංහලේ රටවල්වල ආණ්ඩුව ඉංග‍්‍රීසි රාජෝත්තමයාණන් වහන්සේට යටත් වෙන්ට යෙදුණා..” යනාදී වගන්තියෙන් කියවූ පුරාණ සිරිත් චාරිත‍්‍ර ආරක්ෂා කිරීම ඉංග‍්‍රීසින් විසින් පැහැර හරින ලද්දේ එකල රෙදිපිළි හා ලුණු වෙළෙඳ්‍රමෙ හි යෙදී සිටි මුස්ලිම්වරුන් ගේ සහාය ඉංග‍්‍රීසින් ගේ යුද්ධ කටයුතුවලට ලබාදීම නිසා ඔවුන් වෙනුවෙන් වෙල්ලස්සට හජ්ජි මරික්කාර් නම් මුලාදෑනියෙක් පත්කර දීමෙනි.

මෙම පත්කිරීමත් සමඟම එතෙක් පැවැති සම්ප‍්‍රදාය වෙනස් වූවා පමණක් නොව පළාත භාරව සිටි දිසාවේ ලැබූ බදු මුදල් සහ වෙනත් ලාභ ප‍්‍රයෝජන ඔහුට අහිමි විය. මෙවන් පසුබිමක දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සුහදතාව පලුදු වී තිබූ අවස්ථාවක රටේ පැතිර ගිය කට කතාවක් මෙම තත්ත්වය තවදුරටත් උග‍්‍රවීමට හේතුවිය.

පැතිර ගිය ආරංචිය වූයේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ ඥාතිවරයකු යැයි කියන අයෙකු තමාට රජකමට උරුමයක් ඇතැයි ප‍්‍රකාශ කරමින් ඒ සඳහා වෙල්ලස්සේ ජනතාව ගේ සහයෝගය ලබාගැනීමට කටයුතුª කරන බව ය.

මෙම පුවත 1817 ඔක්තෝබර් මාසයේ බදුල්ල රෙසිඩන්ට් ව සිටි සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් ට සැළවීමෙන් පසු ඔහු කළේ එය විභාග කිරීම සඳහා ළඟදී ඉංග‍්‍රීසින් විසින් පත් කරනු ලැබූ හජ්ජි මරික්කාර් වෙල්ලස්ස ට පිටත්කර යැවීම ය.

එහිදී දුනු ඊතල අතදරා සිටි පිරිසක් විසින් මරික්කාර් අල්ලා ගන්නා ලදී. පසුව විල්සන් තමන් ම මෙම සිද්ධිය විභාගය සඳහා භට පිරිසක් සමඟ වෙල්ලස්ස ප‍්‍රදේශයට පිටත් විය. මෙම ගමනෙහි දී සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් සහ ඔහුගේ භට පිරිස් පමණක් නොව මාතලේ මැක්ඩෝවල් බල කොටුවෙන් පණිවුඩයක් රැගෙන ගොස් සිටි කෝප‍්‍රල්වරයකු හා සාමාන්‍ය සෙබළු දෙදෙනකු ද සිංහලයන් විසින් මරා දමන ලදී.

මෙම සිද්ධිය සැළවීමෙන් පසු ඩොයිලි විසින් සයිමන් සෝවර්ස් බදුල්ලට පිටත් කරනු ලැබ ඇහැලේපොළ මඟින් ජනතාව ගේ නොසන්සුන්තාවයට හේතු සොයා බලන ලෙස දැන්වී ය. ඇහැලේපොළ මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ති‍්‍රකුණාමලයේ සිට පැමිණෙමින් සිටි ආණ්ඩුකාර බ‍්‍රවුන්රිග් හා ආර්යාව නාලන්දේ දී මුණගැසී එවකට වියපත්ව සිටි ඌව වෙල්ලස්සේ දිසාව වූ මිල්ලව පදවියෙන් ඉවත්කර තම මස්සිනා වූ කැප්පෙටිපොළ එම පදවියට පත් කරවා ගැනීමට සමත් විය.

එසේ පත්කර ගනු ලැබූ කැප්පෙටිපොළ ඌව වෙල්ලස්ස නව දිසාව වශයෙන් කැරැල්ල මැඩ පැවැත්වීමට අවශ්‍ය සේනා හා තුවක්කු ආදිය සහිතව ඌව ට පිටත්කර යැවීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව පියවර ගත්තේ ය. එහෙත් ඌවට පැමිණි කැප්පෙටිපොළ ඉංගී‍්‍රසින් ගේ අවි ආපසු භාර දී තෙමේ ද සිංහලයින් සමඟ කැරැල්ලට එක්විය.

ඒ සමඟම දුම්බර, දෙනුවර, හේවාහැට, කොත්මලේ, වලපනේ ආදි කන්ද උඩපස් රටේ ජනතාව ද කැරැල්ලට එක් විය. සිංහලේ රාජ්‍යයට උරුමකමක් ඇතැයි කියා කැරැල්ලට එක්වූ කලෙක පැවිදිව සිටි විල්බාවේ සමඟ මඬුගල්ලේ සලුවඩන නිලමේ ද එක්වී කැරැල්ලට නව ජීවනයක් ලබා දුන්නේ ය.

සටන් බිමෙහි කැප්පෙටිපොළට වඩා අභීත සටන්කාමීන් වූයේ මඬුගල්ලේ පරපුරේ අයකු වූ මඬුගල්ලේ සලුවඩන නිලමේ ය. මොහු මීට පෙරත් ඉංගී‍්‍රසින්ට විරුද්ධව සටන් වැද යාපනේ හිරගෙයි දඬුවම් විඳිමින් සිට 1817 අගෝස්තු 12 දිනට යෙදී තිබු ජෝර්ජ් රජු ගේ උපන් දිනයේ දී නිදහස ලබා ඇත.

මඬුගල්ලේ ගජනායක නිලමේ ද කැරැල්ලට එක්ව කොළඹ, ගාල්ල හා යාපනය හිරගෙවල්වල හිරකර තබා සිටියේ ය. මඬුගල්ලේ මුහන්දිරම් නිලමේ ගේ බෑණා වූ තලගුනේ වන්නකු නිලමේ රටින් පිටුවහල් කරන ලදී. මඬුගල්ලේ වන්නකු නිලමේ ද කැරැල්ලට එක්විය.

මොල්ලිගොඩ අධිකාරම් ගේ ඉංගී‍්‍රසින්ට තිබු පක්ෂපාතීත්වය නිසා තුන්කෝරලේ හා හතර කෝරලේ වැසියන් කැරැල්ලට එක්වූයේ නැත. මඬුගල්ලේ භික්ෂුන් දෙනමක ගේ සහායෙන් සෙංකඩගල නුවර තිබු දළදා කරඬුව ඔහු අතට ලබාගැනීමට සමත්විය.

එහෙත් කර්නල් කෙලී නමැති ඉංගී‍්‍රසි නිලධාරියකු දළදා කරඬුව ඔහු අතට ගැනීමට සමත්වූයෙන් දළදා කරඬුව ආපසු සෙංකඩගල දළදා මාලිගාවට ගෙන ඒමට හැකිවිය. පසුව දළදාව කරඬුවකට බහා එහි යතුරු ඉංගී‍්‍රසි දිසාපති වෙත තබා ගැනුණි. එම සිද්ධියෙන් පසුව ඉංගී‍්‍රසින් ට දළදාවට භාරකාරත්වයක් ද ඇතිවීමට මඟපෑදිණි.

මේ වන විට කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ලංකාව පුරාම යුද්ධ නීතිය ප‍්‍රකාශයට පත් කෙරිණි. හමුදා කඳවුරු දහ අටක් පිහිටුවා කැරැල්ලට මුහුණ දීමට ඉංගී‍්‍රසි රජය පියවර ගත්තේ ය.

එමෙන්ම මදුරාසියෙන් හා බෙංගාලයෙන් අතිරේක හමුදා බලඇණි ගෙන්වා ගැනීමට ද පියවර ගත්තේ ය. එහෙත් පැවැති අධික වර්ෂාව සහිත දේශගුණය හේතුවෙන් හමුදාවන්ට කැලණි මහවැලි ගං තරණය කර උඩරට රාජ්‍යයට ඇතුළුවීම පහසු නොවී ය.

රට තුළ පැවැති මෙම කලහකාරී තත්ත්වය මැද ඉංගී‍්‍රසින්ට උඩරට රාජ්‍ය අයිතිකර දීමට ප‍්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ ඇහැලේපොළ නිලමේ පිළිබඳව සැකයක් පහළ විය. එසේ සැකයක් මතු වූයේ ඔහු බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ගේ ආරක්ෂක සොල්දාදුවන් ගෙන් ඉංගී‍්‍රසින් ගේ රහස් ඔත්තු සේවා පිළිබඳ තොරතුරු ලබාගන්නා බවට ය.

ඉංගී‍්‍රසින් කළේ ඇහැලේපොළ නිලමේ අල්ලා මුරුසි දිවයිනට පිටුවහල් කිරීමයි. කැරැල්ල මැඩ පැවැත්වීමට ඉතා කෘර වූ කි‍්‍රයාමාර්ග අනුගමනය කළෝය. ඌවේ වෙල්ලස්සේ ගම්බිම්, හරකබාන, අස්වැන්න, අටුකොටු ආදිය ගිනිතබා විනාශ කළෝය.

කැරලි නායකයින් විටින් විට අල්ලා වෙඩි තබා මරා දැමූහ. කැරැල්ලේ නායකයන් වූ කිවුලේගෙදර මොහොට්ටාල, බූටාවේ රටේ රාළ, අඹගස්පිටියේ නිලමේ, අරම්පොළ මොහොට්ටාල, කලුගල්පිටියේ විදානේ, පලියා මහදුයෝ, මඬුගල්ලේ පුංචි රාළ, අරුමා ඩිංගා ආදීහු වෙඩි තබා මරා දමන ලද්දාහ. දස දහසක් පමණ සිංහලයෝ ද දස දහසක් පමණ ඉංගී‍්‍රසිහු ද කැරැල්ලෙන් මරණයට පත් වූහ.

කැප්පෙටිපොළ හා මඬුගල්ලේ හලුවඩන නිලමේ ද ඉංගී‍්‍රසින්ට අසුවීමෙන් පසු 1818 නොවැම්බර් 26 දින බෝගම්බර දී හිස ගසා මරා දමන ලදී. කැප්පෙටිපොළ නිලමේ මරණය අභියස දැක්වූ එඩිතරභාවය නිසා ඔහුගේ හිස එඩින්බරෝහි පිහිටි කපාල ලක්ෂණ සංගමය (Phrenological Society of Edinburgh) වෙතට භාර දෙන ලදී.

පසු කලෙක එම හිස්කබල ලංකාවට ගෙනැවිත් මහනුවර මහමළුවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරන ලදී. මෙම කැරැල්ලෙ හි දී වෙල් ලක්ෂයක් අස්වැද්දූ වෙල්ලස්සේ ජනතාව දස දහසක් පමණ මරා දමා එම භූමියට සිදුකළ විනාශයෙන් අදත් ඌව වෙල්ලස්ස ජනතාව දුක් විඳිති.

සටනින් මියගිය අය සහ මහනුවර දී හිස ගසා මරා දමන ලද අයවලුන්ට අතිරේකව 1819 පෙබරවාරි මාසයේ 08 දින කොළඹ දී මරණයට නියම වූ හතළිස් හත්දෙනකු අතරින් විසිඅට දෙනකු මරා දමන ලද අතර හය දෙනකු රටින් පිටුවහල් කරන ලදී. ඌවේ කැරැල්ල අපට උගන්වන්නේ සුළු පිරිසක ගේ වරප‍්‍රසාද රැකීමට ගොස් මුළුමහත් ජාතියට ම වූ විනාශයයි. එම පාඩම අදටත් ගැළපේ.

Advertisements

Responses

  1. “ඌවේ කැරැල්ල අපට උගන්වන්නේ සුළු පිරිසක ගේ වරප‍්‍රසාද රැකීමට ගොස් මුළුමහත් ජාතියට ම වූ විනාශයයි. එම පාඩම අදටත් ගැළපේ. ” 1818 සටන සම්බන්ධයෙන් මෙවැනි නිගමනයක් ගැනීමට තරම් ඉදිරිපත් කර ඇති දත්ත හා තොරතුරු ප්‍රමාණවත් ද යනු තවදුරටත් කල්පනා කර බැලීම වටී. මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් ශූරීන්ගේ “උඩරට මහ කැරැල්ල” තුළින් ඉදිරිපත් වන දත්ත හා තොරතුරු අධ්‍යයනය කරන්නකුට මෙවැනි නිගමනයක් ගත හැකි නොවේ. 1818 සිදුවූයේ තම උරුමය රැකගැනීම උදෙසා සිය දිවි පරදුවට තබා පොදු ජනතාව එක්ව කළ සටනක් බවට බොහෝ තෙරතුරු හා දත්ත සිය අගනා කෘතිය මගින් තෙන්නකෝන් විමලානන්ද ශූරීහු පෙන්වා දෙති. .

  2. එක්තරා මහා ඓතිහාසික සිදුවීමක් කුඩා සිදුවීමකට ලඝුකර දැක්වීම යුතු නැත. සැබැවින්ම එදා ඉංග්‍රිසින් විසින් උඩරට රජු එලවා මුලින් ඇහැළේපොල වෙත බලාපොරොත්තු ලබා දී තිබූ පරිදි උඩරට රජ කමේ ඇහැළේපොල හිඳවූයේ නම් පසුකලෙක මෙවන් විපතක් ඇතිවන්නේ නැත. අවසානයේ පොත් පත් පරිශීලනය කරන විට පෙනී යන්නේ ඩොයිලිගේ සහ බ්‍රවුන්රිග්ගේ බලයට තිබූ කෑදර කම නිසා මීලඟ රජු වහයෙන් එවකට ජනයා පිළිගත් ඇහැළේපොලට කිසිදු තනතුරක් ලබා නොදී ඔහු සාමාන්‍ය රදලයෙකු මට්ටමට පත් කර තිබූ බවය. එක්කෝ රජකම බැරිනම් උඩරට පරිපාලකවරයා ලෙස හෝ ඇහැළේපොල පත්කලේ වී නම් ඉංග්‍රීසින්ටද අප ජනතාවටද වන්නට ගිය මහත් හිරිහැරය නවත්වාගන්නට තිබුනි.

    පෘතුගීසි කාලයේ දොන් ජුවන් ධර්මපාල රජකමට පත්කරගත්තත් පෘතුගිසින් ඔහු භාවිත කොට සිය කටයුතු කරගැන්මට තරම් සටකපට වූහ. නමුත් හුදෙක් සිවිල් නිළදාරියෙකු ලෙස පැමිණි ඩොයිලිට නුවර අධිපති තැන ගන්නට තිබුන උවමනාව නිසා සහ බ්‍රවුන්රිග්ට සිය ජාතිය පිලිබද තිබූ මාන්නය නිසා අවසානයේ මහත් ව්‍යසනයක් ඇති විය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: