Posted by: lrrp | December 20, 2008

සුබාහු හෙවත් මහානීල නීල මහා යෝධයා පිළිබඳ ඓතිහාසික නවකථාව

කර්තෘ – මහාචාර්ය බන්දුසේන ගුණසේකර
ප‍්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම

රුණ ජවය මෙබඳු යැයි ද දේශයට සංවර්ධනයත්, ජාතියට ගෞරවයත්, ජනතාවට අභිමානය හා සන්තුෂ්ටියත් ගෙන දෙන ලෙස එම ජවය වැඩට ගත යුතු ආකාරය මෙබඳු යැයි ද තේමාව කොටගත් විද්වතුන්ගේ මෙන්ම පොදු පාඨක ජනතාවගේ ද අවධානයට පාත‍්‍රවන විශේෂයෙන් නව යෞවන හා යෞවන වියේ සිටින දරුවන්ගේ අතට පත් කළ යුතු. ඓතිහාසික නවකථාවක් වූ “සුබාහු හෙවත් මහානීල” කුලහීන දරුවකු ආත්ම විශ්වාසයෙන් හා ආත්ම ධෙර්යයෙන් තමන්ට එල්ලවන සියලු බාධක ජයගනිමින් ඉදිරියට ගොස් තුන් සිංහලයෙහි මෙන් ම භාරත දේශයෙහි ද ගෞරවයට පාත‍්‍ර වෙමින් මහා සේනාධිපති තනතුරට පත්වන ආකාරය මෙයින් කියැවෙයි.

අභිරූප හා ප‍්‍රතිරූප කලාසම්ප‍්‍රදාය ද්වය සංකලනයෙන්, කලාතුරකින් බිහිවන කල්පිත රූප සම්ප‍්‍රදායේ නිර්මාණයක් වන මෙම නවකථාව ජනශ‍්‍රැති වෙතින් පෝෂණය වී ඇති හෙයින් එය හුදු අතිශයෝක්තියක් නොවන බව සහෘදයනට හැඟී යෑම ග‍්‍රන්ථයේ ගෞරවයට හේතුවෙයි.

ජනශ‍්‍රැති ඇසුරෙන් මහාචාර්ය බන්දුසේන ගුණසේකර සූරීන් විසින් ලියනු ලබන වීර චරිතාපදාන පොත් පෙළක සවැන්න මෙයයි.

මහානීල හෙවත් නීල මහා යෝධයා ජාතික වීරයකු ලෙසත්, යුද්ධ වීරයකු ලෙසත් ප‍්‍රසිද්ධය. එහෙත් ඔහු සමාජ වීරයකු ලෙසත්, සංස්කෘතික වීරයකු ලෙසත් ගජබාහු මහ රජතුමා තරම් ම වැදගත් බව ඔහුගේ චරිතාපදානයෙන් ප‍්‍රකට වෙයි.

තුන් හැවිරිදි වියෙහි සිට නීල නම් වූ සිඟිත්තාට මුහුණ පාන්නට වන කරදර හිරිහැර, අභියෝග ඔහු ජය ගන්නා සැටිත්, කුලහීන යැයි සම්මත දරුවන් සමඟ විප්ලවයක යෙදෙමින් එම කුලගම් දියුණු කොට සමාජ ආකල්ප වෙනස් කරන සැටිත් අපේ තරුණයන්ට නායකත්වය හා පෞරුෂය ගොඩනඟාගන්නට ඉතා වැදගත් වේ.

රදාදොර ගම්මානය ඇතුළු කුලගම්මාන රාශියක් වෙනස් කරමින්, සංවර්ධනය කොට ඒවා නියම් ගම් නොහොත් නගර බවට පත් කිරීමේ හා තුන් සිංහලය මුළුල්ලෙහි ගම් සීමා නිවැරැදි කොට ගම් නායකයන් මඟින් එම ගම්වල සම්පත් අනුව විවිධ කර්මාන්ත ආරම්භ කරමින් විප්ලවීය වෙනසකට මං පාදන්නේ මහානීල ය.

තුන් සිංහලය ම සටනකින් තොරව ජයගැනීමේ සැලසුම් කරුවා ද මහානීල ය.

සොළී රාජ්‍යය ආක‍්‍රමණය කිරීමේ හා ජයගැනීමේත්, තුන් සිංහලය එක් සේසත් කොට අනුරාධපුර රාජ්‍යයට සියලුම ප‍්‍රාදේශීය රජවරුන් අවනත කරගැනීමේ උපාය මාර්ගයෙහි නියමුවා ද මහානීල ය.

නීල මහා යෝධයාගේ පීතෘ භූමිය රුහුණෙහි වලවේ ගඟබඩ රිදියගම බව, කඩබිම් පොත් ඇසුරෙන් අනාවරණය කර ගන්නා මහාචාර්ය ගුණසේකර එම ඓතිහාසික සත්‍යය පදනම් කර ගෙන ඉදිරිපත් කරන මහානීල චරිතාපදානය යථාරූපී ද වෙයි.

මහානීල ගජබා කුමාරයා උපන් දින එම නැකතින් ම උපන් දරුවකු වීම ඔහුගේ වාසනා මහිමයට මුල් වූ බව කියාපෑම පාඨක අවධානයට පාත‍්‍ර වෙයි. මහානීල වහල් සේවයට පමණක් සීමා කිරීමට මැති ඇමැතිවරු වෑයම් කළ අතර, ඔහුගේ අධ්‍යාපනයට රජය ද තහංචි පනවයි. එහෙත් මහානීල භාෂා ශාස්ත‍්‍ර පමණක් නොව යුද්ධ ශිල්පයෙහි ද ප‍්‍රවීණයෙක් වෙයි.

ගජබා මහ රජතුමා උපන් දිනයෙහිම උපන් අනුරාධපුරයෙහි දරුවන් හැට දෙනා එක්කොට ගෙන ගැටවර වියෙහි දීම නීල මහා යෝධයාගේ ප‍්‍රමුඛත්වයෙන් සිදු කෙරෙන සංවර්ධන කාර්යය හා සමාජ සංස්කෘතික පෙරළිය මෙයින් වර්ණනය කෙරෙනුයේ පාඨක ප‍්‍රසාදය දිනාගනිමිනි.

තුන් සිංහලයෙහි සේනාධිපති වන ඔහු, ගජබා මහ රජතුමා සමඟ සොළී රාජ්‍යය ආක‍්‍රමණය කොට භාරතයෙහි ද කීර්තිමත් වෙයි. තුන් සිංහලයෙහි රජකමට ද පත්වෙයි. එය මිථ්‍යාවක් හෝ අතිශයෝක්තියක් නොවන්නේ ගජබා පුවත කාව්‍යයෙන් ද එය තහවුරු කරන පුවතක් බැවිනි.

රජුන් පැළඳි ආබරණා
පමණක් නැති සළු බරණා
නීලා ගත පළඳ මිනා
‍රජු සිත් සතුටුව ඉඳිනා

ගජබා නරනිඳු සහතුට
රජ තනතුරු දී නීලට
කරවන ලෙස විහාරයට
වැඩියේ දැඩිගම් නුවරට

පත්තිනි විහාරය (දේවාලය) කරවීමට ගජබා මහරජතුමා දැඩිගම් නුවරට යන්නේ, එන තෙක් තුන් සිංහලයෙහි රජකම මහානීලට පවරා දෙමිනි.

සැඟවී තිබුණු ඓතිහාසික කරුණු රාශියක් අනාවරණය කරගනිමින්, නිරූපණය වන මෙහි එන ප‍්‍රධාන චරිත කිහිපය අතිශය ආදර්ශවත් ය.

තුන් හැවිරිදි නීල ගුරුගෙදර යන ගමන ඔහු භය ගන්වා නවතන්නට, ඇමැතිවරු තමන්ගේ නිලධාරීන් නොයෙක් වෙස් ගන්වා එවති. වරක් නීල ඉදිරියට ආවේ මහා පඹයෙකි. භය වී දුවන්නට සූදානම් වන සිඟිත්තන් නවතාගන්නා නීල, උඩ පැන පහර දී පඹයා පෙරළා දමයි. තවත් වරක් ඔහු ඉදිරියට එවුනේ වල් ඌරෙකි. ඌ වලිගයෙන් අල්ලා ඈතට වීසි කිරීමට නීල සමත් වෙයි.

හත් හැවිරිදි වියේදී ශිල්ප ශාලාවට යන ගමන වළකන්නට ශිල්පාචාර්ය තුමාට තහංචි පැනවෙයි. නීල ඉදිරියට අශ්වාරෝහකයන් දෙදෙනකු එවන්නේ අසුන්ගේ පා පහරින් ඔහු අකර්මණ්‍ය කරන්නටය. අසුන් දෙදෙනාගේ ඉදිරි දෙපා දෑතින් අල්ලා අසරුවන් සමඟ ම පෙරළා දමන නීල ඔවුන් අධිකරණ ඇමැතිගේ සේවකයන් බව හඳුනා ගනී.

තවත් දිනෙක නීල ඉදිරියට එවන්නේ රජ මාලිගයේ මංගල හස්තියාය. රා පොවා මත් කළ ඌ වීදිය දිගේ දුව එන්නේ මාවතේ ඇති සියල්ල පෙරළා දමමිනි. මිනිස්සු ආරක්ෂාව සඳහා උස්බිම්වලට නැඟ ගනිති. මාවත දිගේ එන නීලට අනතුරු අඟවති.

එහෙත් මහානීල නිර්භයව ඉදිරියට එයි. තමන්ට සොඬවැලින් හා දෙදළින් පහර දෙන්නට වෑයම් කරන ඇතා සොඬවැලින් අල්ලා කරකවා පාර මැද පෙරළා දමන නීල කිසිවක් නොසිදු වූවාක් මෙන් පෙරට යයි.

ත‍්‍රාසය, විස්මය, කුතුහලය දනවමින් කෙරෙන චරිත නිරූපණය ආහ්ලාදකර ය. රසවත් ය. භාෂාව විෂයෝචිත ව හැඩගසා ගැනීමෙහි කතුවරයා සමත් වෙයි. චරිත නිර්මාණ මෙන්ම සංවාද කථන ද අවස්ථා නිරූපණ ද නිර්මාණාත්මකව යෙදෙයි.

නීලට මහානීල යැයි අන්වර්ථ නාමය යෙදෙන්නේ ගජබා රජතුමන් ඔසවන සෙබළුන් පනස් දෙනකු ගෙන එන යගදාව ඔසවා කෙළි රිටක් මෙන් ඉහළට පහළට දමමින් හිස වටා කරකැවීමෙහි සමත් වූ බැවිනි. මහානීලට සුබාහු යන නම පටබඳින්නේ ගජබාහු යන නමට ගැළපෙන පරිදිය. දෙදෙනාම එක හා සමාන බාහු බලයෙන් යුක්තය. ඇතුන් දස දෙනෙකුගේ කාය ශක්තියෙන් යුක්තය. ඔවුන් දෙදෙනා පමණක් ගොස් සොළී රාජ්‍යය ජය ගැනීම පුදුමයට කරුණක් නොවේ.

ඓතිහාසික නවකථාවට නව ප‍්‍රවේශයක් හඳුන්වා දෙමින් ජාතික, ආගමික හා යුද්ධ වීරයන් ජාතියට ජනතාවට හඳුන්වාදීමෙහි යෙදෙන මෙම නිර්මාණ පෙළ වැදගත් වන්නේ රටක සද්පාලනයෙහි ක‍්‍රම වේදය හඳුන්වා දෙමින් පාලකයන්ට එහිලා ඉඟි කෙරෙන හෙයිනි.

රටක තරුණ ජවය අපතේ යා නොදී රටේ ආරක්ෂාවටත්, සංවර්ධනයටත්, යහපත් පාලනයටත් යොමු කරගත හැකි ආකාරය මෙහි විස්තර වනුයේ අපේ වත්මන් පාලකයන්ගේ පැවැත්මෙහි ඌනතා ඔවුන්ට අවබෝධ වන්නට සලස්වමිනි.

රටත්, ජාතියත්, ජනතාවත් වෙනුවෙන් ස්වකීය විභව ශක්තීන් මුදාහරින තරුණ පරපුර ආලය ආදරය පිළිබඳව දක්වන ආකල්ප ද මෙහි සියුම් ලෙස අවධාරණය කොට ඇත්තේ ඓතිහාසික චරිත විකෘති කොට කුණුහරුප ලියන පශ්චාත් නූතනවාදීන්ට ආදර්ශ පිණිස යැයි සිතේ.

ඓතිහාසික වෘත්තාන්ත රචනයෙන් මහාචාර්ය ගුණසේනයෝ ප‍්‍රවීණයහ. වංශ කථාකරුවන්ගේ ඌනතා ඔහුගෙන් සපිරෙයි. මෙබඳු තවත් මහඟු නිර්මාණ අප අතට පත් කිරීමෙහි එතුමෝ සමත් වෙත්වායි පතමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: