Posted by: lrrp | January 10, 2009

දම්බරාව ගමට නම ලැබුණු සැටි

හියංගණයෙන් ගෙනා පොර මී ගොනා රාජකීය දඹරා වෙත පිඹගෙන අවුත් පහර පිට පහර දෙයි. රජු ඇතුළු පිරිස ගල් ගැසී බලා සිටිති. අන්තිමේදී මහියංගණයෙන් ගෙනා පොර මී ගොනාට ජය අත්විය. එහෙත් සටන නිමවී තෑගි බෝග ගම්වර දීමට පෙර මහියංගණයෙන් රැගෙන ආ පොර මී ගොනා රාජකීය පශු වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කිරීමට රජු තීන්දු කළේ ය.ඒ කුණ්ඩසාලේ අගනුවර කරගත් උඩරට අවසාන සිංහල රජු වූ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 – 1739) රජ කරන අවදියයි. රජු නැටුම් ගැයුම්, සංගීතය, සුරාව, ස්තී‍්‍රන්, විනෝදය අගය කළ කෙළිලොල් රජෙකි.

ඒ නිසාම පොදු ජනයා අතර රජු හැඳින්වූයේ “සෙල්ලම් නිරිඳු” යනුවෙනි. මේ කෙළිලොල් බව නිසා ම රාජ්‍ය පාලනයට විරුද්ධව කැරලි – කුමන්ත‍්‍රණ බහුලව ඇතිවිය. ඒවායේ මූලිකත්වය ගත්තේ උඩරට පාරම්පරික ඇමතිවරුන් හා භික්ෂූන්ය. එයට හේතුව රජුගේ කෙළිලොල් : විනෝදකාරී දඩබ්බර ජීවිතය හා රජවාසලේ විදේශීය බලය ප‍්‍රබලව පැතිරී යාමයි.

කුණ්ඩසාල රජ මැඳුරේ රජු ප‍්‍රිය කළ සත්තු වත්තක් විය. රට ඇතුළෙන් එකතු කරගත් මෙන්ම ඕලන්දයින් ගෙන් තෑගි ලෙස ලැබුණු සත්තු ද මේ සත්තු වත්තේ වූහ. එහි සිටි ‘දඹරා’ රජු ගේ ආදරය බෙහෙවින් ලැබූ රජු ප‍්‍රිය කළ පොර මී ගොනෙකි.

දඹරා සමඟ තරගයට ආ පොර මී ගොන්නු ඌ අතින් පැරදී පලා ගියහ. දඹරා සමඟ මීගොන් පොරයට පොර මී ගොනකු එවන ලෙස රජු රටේ අණබෙර ගසා දැන්වීය. දඹරා පරදවා ජය ලබන සතකු ඇත්නම් උගේ හිමිකරුට තාන්න මාන්න, වස්තුව ලැබෙන බව රජු නිවේදනය කළේ ය.

අණබෙර උඩරට පුරා නිකුත් විය. මහියංගණයේ විසූ අයකු ළඟ ප‍්‍රකට පොර මී ගොනකු විය. දඹරා පැරැදවීමට තම මී ගොනා ඉදිරිපත් කරන බව ඔහු අණබෙරකරු මඟින් රජවාසලට දැන්වූයේය.

නියමිත දින මීගොන් පොර පවත්වන පිට්ටනිය වෙත රජවාසල ඇති දැඩි කළ දඹරා මීගොනා ගෙන එන ලදී. මහියංගනයේ සිට ගෙනා පොර මී ගොනා උගේ හිමිකරු සමඟ පිටියට ළඟාවිය. නියමිත වෙලාවට මී ගොන් සටන ආරම්භ විය.

රජු ඇමතීන් පිරිවරා ගෙන සටන නැරඹීමට පැමිණියේ ය. සටනට මුදා හරින ලද දඹරා මහියංගණයෙන් ගෙනා පොර මී ගවයා ළඟට ගොස් නතර වෙයි. සටනට නොයයි. එහෙත් මහියංගණයෙන් ගෙනා පොර මී ගොනා රාජකීය දඹරා වෙත පිඹගෙන අවුත් පහර පිට පහර දෙයි. රජු ඇතුළු පිරිස ගල් ගැසී බලා සිටිති. අන්තිමේදී මහියංගණයෙන් ගෙනා පොර මී ගොනාට ජය අත්විය.

එහෙත් සටන නිමවී තෑගි බෝග ගම්වර දීමට පෙර මහියංගණයෙන් රැගෙන ආ පොර මී ගොනා රාජකීය පශු වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කිරීමට රජු තීන්දු කළේ ය. හේතුව දඹරා ඌ වෙත ළං නොවීමට හේතුව සොයා බැලීමටයි.

පශු වෛද්‍යවරුන්ගේ පරීක්ෂාව අනුව හෙළි වූයේ මහියංගනයේ සිට ගෙනා පොර මී ගොනාගේ මුළු ඇඟ පුරා හා අං යුගලේ ඌරු තෙල් ගා ඇති බවයි. දඹරා ඌ වෙත ළං නොවූයේ ඌරු තෙල් ඇඟපත පුරා ගා ඇති නිසා බව ඔවුහු නිගමනය කළහ.

දැඩි ලෙස කිපුණු රජු මහියංගණයෙන් ගෙනා පොර මී ගොනා හා උගේ හිමිකරු අත්අඩංගුවට ගෙන රැකවලුන් මැද ප‍්‍රශ්න කරන විට ඔහු තම වරද හා ජය ගැනීමට යෙදූ උපාය පිළිගත්තේ ය. පොර මී ගොනා මෙන්ම උගේ හිමිකරුට ද දැඩි දඬුවම් රජුගෙන් නියම විය.

වත්තේගම පන්විල නුදුරු අඩි හාරදහකට වඩා උස හුන්නස්ගිරි කඳු මුදුනට මහියංගණයෙන් ගෙනා පොර මී ගොනා හා උගේ හිමිකරු රාජකීය රැකවලුන් සමඟ දක්කාගෙන ගොස් හුන්නස්ගිරි කන්දේ ගැඹුරු ගල්කුලක මුදුනේ සිට දෙදෙනා ම ප‍්‍රපාතයට තල්ලු කර මරණ ලදී.

කුණ්ඩසාලේ නුදුරු ‘දම්බරාව“ ගමට ඒ නම ලැබුණේ උපායෙන් සටන ජයගැනීමට ගොස් අකාළයේ මැරුම් කෑ “දඹරා මී ගොනා” සිහිවීමට බව මේ ජනකතාවේ කියැවෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: