Posted by: lrrp | January 10, 2009

දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල

සම්පාදක – පූජ්‍ය මඩලගම වජිරබුද්ධි නාහිමි
ප‍්‍රකාශනය – සුනිල් ශාන්ත වීරසේකර

දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල’ යන ශාස්තී‍්‍රය පර්යේෂණ ග‍්‍රන්ථය පරිච්ඡේද 20 කින් හා උපග‍්‍රන්ථ 13 කින් සමන්විත ය. එහි ප‍්‍රධාන වශයෙන් සමන් දෙවිඳු හා සමන් දෙවොල පිළිබඳ ආගමික ඉතිහාසය මෙන් ම ආදි කාලයේ දිවයිනේ පැවති දේව ඇදහිලි පිළිබඳ විස්තර ද දැක්වේ.

ශ‍්‍රී ලංකාව, ආදි කාලයේ සිට ම ප‍්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ රටකි. දිවයිනේ ඉතිහාසය දැක්වෙන මහාවංශයෙහි එන විස්තරවලට අමතරව දේවානම්පියතිස්ස කාලයට පෙර අදහන ලද දෙවියන් පිළිබඳ විස්තර දැක්වෙන වෙනත් කෘතීන් විරල ය.

බමුණු දහමේ මුල් තැනක් ගන්නා මහා බ‍්‍රහ්මයා පිළිබඳ ග‍්‍රන්ථ සම්පාදක හිමියන් මෙසේ පවසා ඇත: “තමා හෝ තම පරපුරේ ආදි මුතුන්මිත්තන් හෝ එකී මහා බ‍්‍රහ්මයා දැක තිබේ ද? ඔහුගේ ස්වරූපය මෙබඳු යැයි කිව හැකි කෙනෙක් වෙත් ද” යි බුදුරජුන් බමුණන්ගෙන් විමසූ විට ‘නැත’ යන පිළිතුර ලැබී ඇත.” (පිටුව – 23) එය දේව ඇදහිලි පිළිබඳ පවත්නා මතවල සම්පිණ්ඩනයක් වශයෙන් සැලකිය හැකි ය.

ග‍්‍රන්ථ සම්පාදක හිමියන් දක්වන පරිදි ලක්දිව ආදී ම ඇදහිලි පිළිබඳ ලිඛිත සාක්ෂි ඇත්තේ මහා වංශයෙහි ය. එහි බුදුරජුන් ගේ ලංකා ගමන් පිළිබඳ සඳහන් වෙයි. මහාවංශය රා.ව. 6 වැනි සියවසේ දී සම්පාදිත කෘතියක් වන අතර එය ලියැවී ඇත්තේ බුදුන් පිරිනිවි රා.ව.පූ 6 වැනි සියවසේ සිට වසර 1200 කට පසුව ය.

ග‍්‍රන්ථයේ දැක්වෙන පරිදි මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු සමාජයේ අලුත් රටාවක් ඇති විය. සම්පාදක හිමියන් පවසන්නේ එම වකවානුවේ බ‍්‍රහ්ම, ශක‍්‍ර, සතරවරම්, විශ්වකර්ම, සන්තුසිත, යම, මාර ආදී බෞද්ධ සාහිත්‍යයේ සඳහන් දෙවිවරුන් පිළිබඳ විශ්වාසය මෙරටට පැමිණ ඇති බව පෙනී යන බවයි.

සමන් දෙවියන් ගැන පපංචසුදන (රා.ව. 431) අටුවාවෙහි ද සඳහන් වී ඇත. එහි සුමන දෙවියන්ගේ දියණියක වූ කාලි නම් දේවතාවිය දඹදිව රජගහ නුවර දෙවියකුට විවාහ කැර දුන් බව ප‍්‍රකාශ කරන අප‍්‍රකට පුවතක් එහි එන බව ග‍්‍රන්ථ සම්පාදක හිමියෝ පවසති.

ලාංකික දෙවිවරු පිළිබඳ දැක්වෙන 9 වැනි පරිච්ඡේදයේ, කතරගම, විභීෂණ, උපුල්වන්, මින්නේරි ආදී දෙවිවරුන් පිළිබඳ ව ඉතා අගනා ඓතිහාසික තොරතුරු රැසක් දැක්වේ. එක් එක් දෙවියකු පිළිබඳ ඇත්තේ කෙටි සටහනක් වුව ද, ඒ ඒ දෙවියන් පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගැනීමට එම විස්තර උපකාරී වෙයි.

එවැනි කෙටි විස්තරයකින් දෙවියන් රාශියක් පිළිබඳ දැන ගැනීමට ඇති කෘති සුලබ නැත. මේ අවස්ථාවේ දී මගේ මතකයට එන්නේ ඊජිප්තුවේ පැවති පැරැණි ම ශිෂ්ටාචාරයේ සිට ලෝකයේ සියලු ම ශිෂ්ටාචාරයන් හි එන දෙවියන් පිළිබඳ ව චිත‍්‍ර සහිත විස්තර දැක්වෙන LARROUSSE ENCYCLOPAEDIA OF MYTHOLOGY නම් ප‍්‍රකාශනයයි. එහෙත් ලංකාවේ දෙවිවරුන් පිළිබඳ විස්තර එහි නොදැක්වේ.

සමන් දෙවිඳු ගැන විස්තර දැක්වෙන 11 වැනි පරිච්ඡේදයට ප‍්‍රථමයෙන් සබරගමුව පිළිබඳ කෙටි විස්තරයක් එයි. සමන් දෙවිඳු පිළිබඳ විස්තර වන පරිච්ඡේදයෙහි සම්පාදක හිමියෝ මෙසේ දක්වති: “විජයාගමනයේ සිට මහින්දාගමනය දක්වා වූ වසර 236 ක කාලය තුළ සමන් දෙවිඳු ගැන කිසිම සඳහනක් නැත.

එයට හේතුව වන්නට ඇත්තේ, මේ වකවානුව තුළ ලක්දිව බුදුසසුන පිහිටා නොතිබීම විය හැකි ය. රා.ව.පූ. 236 දී බුදු සසුන පැමිණි පසු ද කාලයක් සමන් දෙවිඳු ගැන තොරතුරු දක්නට නොලැබේ. එයට හේතු වන්නට ඇත්තේ, ආදි බෞද්ධයන් දෙවියන් ඇදහීම ගැන උනන්දු නොවූ බැවින් විය හැකි ය.” (පිටුව – 126) සමන් දෙවියන් පිළිබඳ ව අගනා විස්තරයක් දැක්වෙන එම පරිච්ඡේදය විමර්ශනාත්මක ඇසකින් බලා කරුණු එක් තැන් කොට ලියූවක් බව පෙනී යයි.

එම පරිච්ඡේදයේ දැක්වෙන දේව වංශික සමන් රජු සමන් දෙවි වී ද? සමන් දෙවිඳු නාග ගෝති‍්‍රකයෙක් ද? යම දෙවි – සමන් දෙවි එක් අයෙක් ම ද? මේ ඊට උදාහරණ කීපයක් පමණි.

එම පරිච්ඡේදයෙන් පසු ව, සමන් දේවොල පිළිබඳ විමර්ශනයක් වෙයි. යථාර්ථවාදී බෞද්ධයන්. මුල් වකවානුවල දී, දෙවියන් වෙනුවෙන් දේවාල ඉදි කිරීම අගය කැර නැති බවත් ඒ නිසා ම අනුරාධපුර යුගයේ දී සමන් දෙවියන් පිළිබඳ දේවාලයක් නොවූ බවත් පැවසේ. මුල් කෘතිවල සුමන කූටය ගැන සඳහන් වී ඇතත් එහි සමන් දෙවියන් පිළිබඳ දෙවොලක් වූ බවක් සඳහන් වී නැත.

ග‍්‍රන්ථයේ සඳහන් වන අයුරු එවැන්නක් ප‍්‍රථම වරට සඳහන් වන්නේ 2 වැනි පැරකුම්බා රජුගේ (රා.ව. 1226 – 1271) කාලයෙහි ය. එම කාලයේ සිට සමන් දෙවොලේ අභිවෘද්ධිය ඓතිහාසික වශයෙන් දක්වා ඇත.

වර්තමාන සමන් දෙවොලේ ආරම්භය යන 13 වැනි පරිච්ඡේදයේ සිරිත් පොතේ දැක්වෙන කරුණු කෙටියෙන් දක්වා ඇත. එහි පෘතුගීසීන් විසින් විනාශ කළ සමන් දේවාලය දෙවැනි රාජසිංහ රජු විසින් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පැවත එන බව දක්වා ඇත.

වාස්තු විද්‍යාව අනුව එහි ඇතැම් කොටස්වල ඇති කලාත්මක අගය විස්තර කැර ඇති අතර ඒවා විවිධ උපශීර්ෂ යටතේ එනම්, දළදා ගෙය, පත්තිනි දේවාලය, ළිඳ ආදී වශයෙන් දක්වා ඇති බැවින්, පාඨකයාට එම පරිච්ඡේදයේ ඇති විස්තර මනා ව වටහා ගැනීමට පහසු වනු ඇත.

සපරගමු ඇසල උත්සවය ගැන ඇති විස්තරයේ, එය දඹදෙණි යුගයේ ඇරඹුණ ද, ඒ ගැන ඓතිහාසික වශයෙන් සටහනක් ඇත්තේ 6 වැනි පැරකුම්බා රජුගේ ගල් සන්නසෙහි බව කියැවේ. මෙම පෙරහර දෙවැනි වන්නේ මහනුවර පැවැත්වෙන දළදා පෙරහරට පමණක් බව ද පවසා ඇති අතර, දළදා වහන්සේ සහිත පෙරහර ඇරඹි ඇත්තේ පළමු වැනි රාජසිංහ රජුගෙන් පසුව බව කියැවේ.

තවද සීතාවක රාජ්‍යයෙන් පසු දළදා වහන්සේ මහනුවරට වැඩම වුව ද, පළමු වැනි රාජසිංහ විසින් ඇරඹුණු පෙරහර චාරිත‍්‍ර දළදා වහන්සේ මහනුවරට වැඩම වූ පසු ද ඒ අයුරින් ම සිදුවන බව පෙන්වා දී ඇත.

සපරගමුවේ ඇසල පෙරහර අවබෝධයකින් යුතව නැරඹීමට පිටු 20 න් යුක්ත වන 13 වැනි පරිච්ඡේදය ඉතා ම අගනේ ය. එම පරිච්ඡේදයට අනතුරු ව ‘නිල මඩුල්ල’ වශයෙන් දැක්වෙන 15 වැනි පරිච්ඡේදය, දේවාලයේ බත් වඩන රාළ, පේලි විදානේ, ආදී වශයෙන් නිල දරන්නන්ගේ විස්තර ඇතුළත් වන අතර, බස්නායක නිලමේ පදවිය ඇති වූ ආකාරයත් 1862 දී ඉදිරිපත් කැර ඇති ලේඛනයක් අනුව, 1750 සිට 1888 (?) දක්වා සිටි බස්නායක නිලමේවරුන් පිළිබඳ නාමාවලියක් ඉදිරිපත් කරමින්, එම නාමාවලිය අද දක්වා ම යාවත්කාලීන ද කැර ඇත.

තවත් ඉතා වැදගත් විස්තරයක් සේ පෙනෙන්නේ, 17 වැනි පරිච්ඡේදයේ දැක්වෙන දික්ගෙයි නැටුම ය. එය විමර්ශනාත්මක ව හා ඓතිහාසික ව දක්වා ඇති අතර, නැටුමට පෙළ ගැසීමේ සිට අඩව්ව දක්වා විස්තර දැක්වෙන එහි සොරගුණේ දේවාලයේ දිග්ගෙයි නැටුම ගැන ද විස්තර කැර ඇත.

ග‍්‍රන්ථයේ ප‍්‍රධාන අරමුණ සපරගමුවේ සමන් දේවාලය වුව ද එහි දැරණියගල මහ සමන් දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය හා මහියංගනේ සමන් දේවාලය ගැන ද විස්තර ඇත. සමන් දේවාලය පිළිබඳ විස්තරය “සපරගමු සමන් දේවාලයේ වර්තමාන ප‍්‍රතිසංස්කරණ” යන පරිච්ඡේදයෙන් අවසන් වන අතර, ඉන් අනතුරු ව, පිටු 265 සිට 422 දක්වා, උපග‍්‍රන්ථ 13 ක් ඇතුළත් ය. එම උපග‍්‍රන්ථ  13 න් දැනට ප‍්‍රකාශයට පත් වී ඇත්තේ සැවුල් සන්දේශ කවි (උපග‍්‍රන්ථ  III) හා ටිබැට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ සමනොළ කව (උපග‍්‍රන්ථ XIII) පමණි. අනෙකුත් උපග‍්‍රන්ථ සියල්ල ම අත්පිටපත්වලින් උපුටා ගෙන ප‍්‍රථම වරට මෙහි ප‍්‍රසිද්ධ කැර තිබීම විශේෂයෙන් වැදගත් වන බව සඳහන් කළ යුතු ය.

එයිනුත්, ශත වර්ෂ 1508 සිට 1590 (රා.ව. 1587 සිට 1669) දක්වා තොරතුරු සහ සපරගමු දේවාලය පෘතුගීසීන් විසින් කඩා දැමීමෙන් අනතුරු ව ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ විස්තර දැක්වෙන ඉතා දුර්ලභ සිරිත් පොත මෙහි පළ කැර තිබීම අතිශයින් වැදගත් බව සඳහන් කළ යුතු ය.

අවසාන වශයෙන් කිව යුත්තේ ග‍්‍රන්ථයේ පෙළ සමඟ ඇති කළු සුදු ඡායාරූප 66 යේ ඇතැම් ඡායාරූප එතරම් පැහැදිලි නොවූව ද ඡායාරූප හඳුන්වා ඇති විස්තරවලින් ග‍්‍රන්ථයේ අන්තර්ගතය ගැන වඩාත් පහසු වැටහීමක් ලබා ගත හැකි වනු ඇති බව ය. ග‍්‍රන්ථයේ අග දැක්වෙන වර්ණ ඡායාරූප 60 ම ඉතා ම අලංකාර ලෙස මුද්‍රණය වී ඇත.

මෙම කළු සුදු ඡායාරූපවලත් වර්ණ ඡායාරූපවලත් නාම ලේඛනයක් ග‍්‍රන්ථයේ මුල පළ වූයේ නම් වඩාත් මැනවැ’යි කිව යුතු ය. එම ඡායාරූප අතර දැනට දිරාපත් වෙමින් පවතින පැරැණි කොඩි ගණනාවක ම ඡායාරූප ඇතුළත් කැර තිබීම බෙහෙවින් අගය කළ යුත්තකි.

ඇතැම් විට පසුකලක දී මෙම ධජ ගැන යම් අදහසක් ඇති කැර ගැනීමට හෝ ඒ පිළිබඳ ව පර්යේෂණයක් කිරීමට හෝ හැකි වන්නේ මෙහි ඇතුළත් ඡායාරූප පාදක කොට ගෙන පමණක් ම බව සිතාගත හැකිය.

පොතේ අගට ඉතා සුපරීක්ෂාකාරීව දක්වා ඇති සූචිය, ග‍්‍රන්ථයෙන් කරුණු උපුටා ගැනීමට අවශ්‍ය පාඨකයන්ට මෙන් ම ශාස්තී‍්‍රය පර්යේෂකයන්ට ද මහඟු පිටුවහලක් වනු නො අනුමානය. මෙම ග‍්‍රන්ථය GSM 80 මැදපු කඩදාසිවල අලංකාර අයුරින් මුද්‍රණය කැර තිබීමක් පොතේ අන්තර්ගතය වඩාත් අර්ථවත් වන අයුරින් අලංකාර පිටකවරයකින් නිමා කැර තිබීමත් පාඨකයන්ගේ හා විද්‍යාර්ථින්ගේ පැසසුමට ලක් විය යුත්තකි.

ඓතිහාසික වශයෙන් ද, දේව ඇදහිලි සම්බන්ධයෙන් ආගමික වශයෙන් ද, කලාත්මක වශයෙන් ද වටිනා විස්තර අඩංගු මෙවැනි ග‍්‍රන්ථයක් සම්පාදනය කිරීම ගැන අතිපූජ්‍ය මඩලගම වජිරබුද්ධි නාහිමියන්ට ද එය මනා ව සංස්කරණය කළ සවිමන් උරුගොඩවත්ත මහතාට ද අපගේ ප‍්‍රශංසාව හිමි විය යුතු ය.

අද පළවන පොත්වල මිල ගණන් අනුව මෙවැනි ග‍්‍රන්ථයක් රුපියල් 1,000/= ක් වැනි මුදලකට මිල නියම කැර තිබීම ද සාමාන්‍ය පාඨකයින් සිත්හි තබා ගෙන කරන ලද්දක් විය හැකි ය. මෙය මිල දී ගන්නා පාඨකයින්ට එයට වැය කළ මුදලට වඩා වැඩි ප‍්‍රතිලාභයක් අත්වනු නොඅනුමාන ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: