Posted by: lrrp | January 10, 2009

පැරණි සිංහල විවාහ සංස්කෘතිය

කර්තෘ – ආචාර්ය පෙ‍්‍ර්මදාස ශ‍්‍රී අලවත්තගේ
ප‍්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

වීණ ලේඛකයකු, කවියකු හා ගීත රචකයකු ලෙස ප‍්‍රකට ආචාර්ය පෙ‍්‍ර්මදාස ශ‍්‍රී අලවත්තගේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ශාස්ත‍්‍රපති සහ දර්ශන සූරී ආචාර්ය හා පශ්චාද් උපාධි ලැබූ විද්වතෙකි. ඔහුගේ ‘පැරණි සිංහල විවාහ සංස්කෘතිය’ ග‍්‍රන්ථය මෙවර හොඳ ම ශාස්තී‍්‍රය පර්යේෂණ කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ ග‍්‍රන්ථය යි.

ශාස්තී‍්‍රය පර්යේෂණ ග‍්‍රන්ථයක් හැටියට මෙහි මහත් වැදගත්කමක් මම දකිමි. මන්ද පර්යේෂණයක තිබිය යුතු මූලික අංග ලක්ෂණ සහිතව පර්යේෂකයකු වශයෙන් තමන්ගේ පරිපූර්ණත්වය පිළිබිඹු කරන ලෙසින් මේ කෘතිය ලියැවී තිබේ. මේ සඳහා ඔහු තෝරා ගෙන ඇත්තේ විවාදාත්මක විෂයකි. එය අතීතයේ සිට දඹදෙණි සමයේ අවසානය දක්වා කාල නිර්ණයට ද සීමා කොට ඇත්තේ ය. ප‍්‍රාථමික මූලාශ‍්‍රය වශයෙන් ගෙන ඇත්තේ අපේ පැරණි සිංහල සාහිත්‍ය කෘතීන් ය.

අපගේ ලේඛන කලාවේ ඉතිහාසය වසර දෙදහසකටත් වඩා වැඩිය. ඉන්දියානු ශිෂ්ටාචාරයේ ශාඛාවක් ලෙස මෙරට ශිෂ්ටාචාරය ආරම්භ වූ සමයේ සිට ම ග‍්‍රන්ථකරණය සිදු වූවත් ඈත අතීතයෙන් අපට ඉතිරිව ඇත්තේ අනුරාධපුර යුගයේ අග භාගයේ සහ පොළොන්නරු යුගයේ ලියැවුණු පොත් අතළොස්සක් පමණි. දඹදෙණි යුගයේ පොත් සැලකිව යුතු ප‍්‍රමාණයක් ඉතිරි ව ඇත. ඒ හැරුණු විට අනුරාධපුර යුගයේ දී හය වැනි ශත වර්ෂයේ සිට ලියැවුණු සීගිරි ගී පද්ධතිය ද වටිනා රචනා සමූහයකි. අපේ පැරණි සිංහල විවාහ සංස්කෘතිය කෙසේ වී ද යන්න මේ කෘතිවලින් නියෝජනය වන ආකාරය අධ්‍යයනය කිරීමට මේ පර්යේෂණයෙන් උත්සාහ දරා ඇත.

පවුල යනු සමාජ විද්‍යාවේ දී ප‍්‍රධාන සමාජ සංස්ථාවකි. එය කුඩා ම සමාජ ඒකකය යි. සමාජය සකස් වනුයේ මේ මත ය. අප සාහිත්‍ය කෘති දකින්නේ ආස්වාදය ලබාදෙන නිර්මාණ හැටියට වුවත් ඊට අමතර ව එකී කෘතිය බිහි වූ කාලයේ සමාජය, මනුෂ්‍ය සිතුම් පැතුම්, සංස්කෘතිය වැනි අංග ද එයින් උකහා ගත හැකි ය. නිර්මාණාත්මක ගුණයට හා අගයට යටින් ඊට පදනම් වූ කාලය එය බිහිවූ යුගයේ සමාජ යථාර්ථය නිරූපණය කරයි. එබැවින් මෙහි මූලාශ‍්‍රය සේ ගෙන ඇති අපගේ සම්භාව්‍ය කෘති අපේ පැරණි සමාජ සංස්කෘතිය හා එහි යථාර්ථය පිළිබඳ කැටපත් සේ හැඳින්විය හැකි ය.

මේ පර්යේෂණයේ දී එවැනි විශ්වාසදායක ප‍්‍රාථමික මූලාශ‍්‍රයයන් තෝරා ගැනීම, තත්කාලීන පාලි සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම සහ ශ‍්‍රී ලාංකේය ශිෂ්ටාචාරය සකස්වීමට බල පෑ ඉන්දියානු සමාජ ස්වරූපය පෙන්නුම් කරන මනුස්මෘතිය වැනි සංස්කෘත ග‍්‍රන්ථ ආශ‍්‍රය කර ගැනීම යන කරුණු සිදුවී ඇත. මෙකී ති‍්‍රවිධ මූලාශ‍්‍රයයන් සංසන්දනයෙන් හා ඊට අදාළ ඉංග‍්‍රීසි සිංහල පර්යේෂණ කෘති ආදිය ද දායක කර ගැනීමෙන් මේ පර්යේෂණය ඉදිරිපත් කොට ඇත. එබැවින් මෑත කාලයේ සිංහල ග‍්‍රන්ථ අතරට එක්වූ විශිෂ්ට පර්යේෂණ ග‍්‍රන්ථයක් සේ ආචාර්ය පෙ‍්‍ර්මදාස ශ‍්‍රී අලවත්තගේ ලියූ ‘පැරණි සිංහල විවාහ සංස්කෘතිය’ හැඳින්විය හැකි ය.

අතීත මූලාශ‍්‍ර පදනම් කොට ගෙන එවක විවාහ ජීවිතය ගත වුණු ආකාරය කතුවරයා මේ කෘතියෙන් රසවත් ව ඉදිරිපත් කොට ඇත. ස්තී‍්‍ර ලක්ෂණ සහ පුරුෂ ලක්ෂණ වැනි පරිච්ඡේදවලින් ආරම්භ වී තාරුණ්‍යය හා විවාහ වන කල වයස, තාරුණ්‍යයේ කි‍්‍රයාකාරකම් හා විලාසිතා, අනංග සංකල්පය හා පෙ‍්‍ර්මවන්තයෝ වැනි පරිච්ඡේද ඇතුළත් ස්තී‍්‍ර පුරුෂයන් සහ විවාහාපේක්ෂිත සමය නම් වූ කොටස පොදුවේ එවක සමාජය දෙස සමාජ විද්‍යාත්මකව බැලීම උදෙසා වැදගත් ය. එහි විවාහ වන කලවයස ගැන විග‍්‍රහ කරද්දී අඛණ්ඩ ව පැවති ලක්ෂණ මෑත භාගය දක්වා ම පැතිරුණු ආකාරය මෑත කාලීන වාර්තා ආශ‍්‍රයෙන් ද කතුවරයා පැහැදිලි කර ඇත. දැරියන්, තරුණියන් සහ කාන්තාවන් වයස් සීමා අනුව ගෞරී හෙවත් දාරිකාව, කන්‍යාව, කුමරිය, යෞවනිය ආදී වශයෙන් විවිධාකාරයෙන් හඳුන්වා තිබේ.

පුරාණ කාලයේ අප ජන සමාජයේ කාන්තාවන්ට තිබූ රක්ෂාවරණය කෙසේ වී ද යන්න පිළිබඳ ව ද මෙයින් කරුණු නිරාවරණය වේ. පන්සිය පනස් ජාතක පොත මේ කෘතියට මූලාශ‍්‍රයයක් නො වුණත් ඊට පෙර ලියැවුණු ජාතක අටුවා ගැටපදය, ජාතක ගාථා සන්නස, අටදා සන්නස වැනි පොත්වල දැක්වෙන කරුණු මේ කෘතියට පාදක වී ඇත. පැරණි ජන සමාජයේ ස්ති‍්‍රයට තිබූ නිසි තැන හේතුවෙන් ඇය කුඩා කාලයේදීත්, තරුණ වියේ දීත්, මහලු සමයේ දීත් එක සේ රක්ෂාවරණය සහිත ව විසූ අයුරු මෙයින් විග‍්‍රහ වේ. එසේ වූ කාන්තාවට හිමි සමාජ පිළිගැනීම බටහිර සමාජයේ අද පවා දකින්නට ලැබේ යැයි කිව නො හැකි ය. පුරාණයේ බොහෝ ලෙන් සංඝයා වහන්සේට පූජා කරන ලද්දේ කාන්තාවන් විසිනි. ලෙන් ලිපි සෙල්ලිපි මෙන් ම සීගිරි කුරුටු ගී ද මේ පර්යේෂණය උදෙසා අපූරුවට උපයෝගී කොට ගෙන තිබේ.

අතීතයේ අපේ කාන්තාවෝ රැකියාවන් කළ අය නො වූ හ. මේ කෘතියෙන් ද හෙළිදරව් කෙරෙන පරිදි විවාහ වන අවස්ථාවේ දායාදය දුන්නේ විවාහ වන යුවතියට යි; පුරුෂයාට නො වේ, ඒ ඔවුන්ගේ පැවැත්ම උදෙසා යි. සද්ධර්ම රත්නාවලිය රසවාහිනිය ආදී කෘති ඇසුරින් මීට අදාළ කරුණු විග‍්‍රහ වී ඇත. කෘෂිකාර්මික සමාජයේ කෘෂි උපකරණ ආදිය බොහෝ විට දායාදයට දී තිබේ. එහෙත් වෙනත් විශේෂ හැකියාවත් ආදිය ද දායාද ගණයේ ලා සැලකී ද යන්න මෙහි අවධානයට යොමු කර තිබේ. එය තවත් ආකාරයක කරුණු විමර්ශනයකට මං පෑදීමකි. හරවත් පර්යේෂණවල දී එය පදනම් කොට ගෙන තවත් පර්යේෂණ ගණනාවකට මං පැදේ ය යන්න මෙහිදී සනාථ වේ. මේ අනුව වූ තවත් වැදගත් කරුණක් ලිංගිකත්වය සහ යති සමාජය යන පරිච්ඡේදයෙහි දී ද දකින්නට පිළිවන.

මහලු වැන්දඹු ස්තී‍්‍රන් වුව ද අපේ පැරණි සමාජයේ සැලකිල්ලට භාජනය වූ ආකාරය පැරණි සිංහල සාහිත්‍යයෙන් පැහැදිලි වන්නකි. භික්ෂුන්ට පවා තම වැන්දඹු සොහොයුරියන් වෙනුවෙන් පිඬු සිඟා යෑමට වුව ඉඩ සැලසුණු වග අපේ සායන කතිකාවත්වලින් ද අනාවරණය වේ. එකී කරුණු පවා මේ කෘතිය වෙතින් ඉස්මතු කොට දක්වා තිබේ.

සිංහලෙන් ලියැවී ඇති ශාස්තී‍්‍රය පර්යේෂණ ග‍්‍රන්ථ අල්ප ය. ඒ අතුරෙහි එන අගනා කෘති වන මහාචාර්ය ඇම්.බී. ආරියපාලයන්ගේ ‘මධ්‍යකාලීන ලංකා සමාජය’ මහාචාර්ය හේම එල්ලාවලයන්ගේ ‘පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය’ සහ ආචාර්ය ලෙස්ලි ගුණවර්ධනයන්ගේ ‘සිවුර සහ නඟුල’ වැනි අපේ පැරණි සමාජය පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්ගේ අතළොස්සක් වන පර්යේෂණ ග‍්‍රන්ථ මාලාවට එක් වන අගනා පර්යේෂණ කෘතියක් ලෙස ආචාර්ය පෙ‍්‍ර්මදාස ශ‍්‍රී අලවත්තගේ ලියූ ‘පැරණි සිංහල විවාහ සංස්කෘතිය’ හැඳින්විය හැකි ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: