Posted by: lrrp | January 10, 2009

පැරණි සිංහල සමාජයේ අක්ෂර ඥානය සහ ශිල්ප ශාස්ත‍්‍ර අධ්‍යයනය

බුද්ධ භාෂිතයෙහි දැක්වෙන පරිදි දෙමාපියෝ යනු දරුවන් ගේ පූර්වාචාර්යයෝ වූහ. ඒ අනුව දෙමාපියයන් හට අතීතයේ සිට ම ‘දෙගුරු’ යන්න ද භාවිතයෙහි යෙදෙනු දකින්නට හැකි ය. ‘කව්සිළුමිණ’ මහා කාව්‍යයේ ‘ගුරුවරන්, ගුරු දෙදෙන’ යනුවෙන් දෙමාපියන් හැඳින්වීමට යෙදේ.

සම්භාව්‍ය පැරණි සාහිත්‍ය ග‍්‍රන්ථවල තත්කාලීන සමාජයේ දෙමාපියන් විසින් සිය දරුවන් අධ්‍යාපනයෙහි ලා කෙසේ වෙහෙස වී ද යන්න පිළිබඳ ඇතැම් කරුණු දැක්වීම් සඳහන් කරනු ලැබ ඇත. ‘ධර්මප‍්‍රදීපිකාවෙ‘හි දැක්වෙන පරිදි දරුවන් උපන් තැන් පටන් මාපියන් විසින් අධ්‍යාපනය ලබා දෙනු ලැබිය යුතු අවධි තුනක් විණි. ඒ නම්,

1. ප‍්‍රථම ශික්ෂණය

2. ආචාර්ය කෙනෙකුන් වෙතින් ශිල්පා දින්ගෙන් ලබා දෙන ශික්ෂණය

3. සරණ ශීලා දී ගුණධර්මයෙහි පිහිටුවීමේ ශික්ෂණය

යනුවෙන් වූ තෙ වැදෑරුම් ශික්ෂණය යි.

වයස අවුරුදු දහය පමණ වන තෙක් කාලය ළමා විය වශයෙන් සැලකුණි. ඒ බැව් ‘කර්ම විභාගයෙහි’ විස්තර වනුයේ ‘…දශ වර්ෂ දක්වා නිත්‍ය සම්බුඪ ව එයින් මත්තේ කර්තව්‍යාකර්තව්‍ය බෙදා ගැන්මට නිසි වෙයි’ යනුවෙනි. එකී ළමා වියේ දී දෙමාපියන් විසින් ගෙදොර දී ම ප‍්‍රථම ශික්ෂණය ලබා දෙන ලදී.

ප‍්‍රථම ශික්ෂණයත් සමඟ ගුරුවරුන් යටතේ වූ විධිමත් අධ්‍යාපනයකට යොමුකෙරුණේ ද මෙකී ළමා අවධියේ ම බව පැහැදිලි ය. අක්ෂර ඥානය සහිත අධ්‍යාපනය සඳහා එවක ද දරුවන් යොමු කෙරුණේ වයස අවුරුදු පහේ දී පමණ බැව් පෙනෙන්නට ඇත. රසවාහිනියෙහි දැක්වෙන එක් පුවතකට අනුව ලංකාවේ ‘උත්තරොලිය’ නම් ගමේ දරුවකුට පස් වැනි වියේ දී අකුරු කියැ වූ මංගල්‍යයක් ගැන (පංච වස්සික කුමාරං සික්ඛාගහණ මංගල…) කරුණු අනාවරණය වේ.

මේ අනුව සාමාන්‍යයෙන් හැම දරුවෙකුට ම වාගේ මේ වයසේ දී අක්ෂර ඥානය ලබාදීම ඇතුළු අධ්‍යාපන කටයුතු අරඹන්නට ඇති බවත් බහුතර ජනතාව සාක්ෂරතා ඥානයෙන් යුක්ත වන්නට ඇති බවත් සිතිය හැකි ය.

මෙරට කි‍්‍ර.පූ.තුන්වැනි සියවසේ සිට සෙල්ලිපි ලියැවුණු බවටත් පුස්කොළ පොත් ලියැවුණු බවටත් ඓතිහාසික සාධක ඇත. සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරු ලිපි ආදිය රට පුරා බහුල ව ලියැවුණේ ඒවා කියවා තේරුම් ගැනීමට හැකි බහුතර ජනතාවක් ද රටේ සිටි නිසා විය යුතු ය. රසවාහිනියේ කිංචි සංඝා වස්තුවෙහි දැක්වෙන පුවතකට අනුව කාවන්තිස්ස රජු සමයේ මුල්ලසංඝ නම් නිලධාරියෙකු මාගම සිටි සිය සොහොයුරාට ලිපියක් යැවූ බැව් කියැවේ.

එහි ම නාගාය වස්තුවෙහි දැක්වෙන තවත් පුවතකට අනුව නාගා නමැත්තියක පත‍්‍රයක ලියා කහවනු හැටක් ණයට ගත් පුවතක් (පණ්ණේ ලිඛිත්වා කහා පූරණ අදාසි) සඳහන් වේ. සීහළ වස්ථුවේ එක් පුවතක කියැවෙන පරිදි රුහුණේ දීඝා වු චෛත්‍යයෙහි තිබී සුළඟට ගසාගෙන විත් කුඹුරක වැටී තිබූ කොඩියේ අකුරු කුඹුරු ගොවියා කියෙව්වේ ය. පූජාවලියෙහි ‘සොරපත්’ යනුවෙන් ලියූ ලිපි ගැන කියැවේ.

‘කව්සිළුමිණෙ’හි ගීවල ‘එ ඇඟිලි පහස් ලියු මෙ පත්’ යනුවෙන් ද ‘ලියනකර පත් (ලියකගේ අකුරු සහිත පතක්)’ යනුවෙන් ද ලියුම් ලියූ කාන්තාවන් ගැන කරුණු පළ වේ. තම සැමියාට හසුනක් ලියා යැවූ කාන්තාවක ගැන ජාතක පොතේ ‘තක්ක ජාතකයෙහි’ ද සඳහන් ය. සීගිරි ගී අතුරෙහි එක් ගීයක ‘එකෙල්ලට සුදුසු දිය හැකි පතක් රුස්නා’ යනුවෙන් ද තවත් ගීයක ‘ත ලී පත’ යනුවෙන් ද අකුරු ලියූ පත‍්‍ර ගැන කරුණු හෙළි කෙරේ.

ඉහත දැක්වෙන කරුණුවලින් අනාවරණය වන්නේ එවක මෙරට ජන සමාජයේ බොහෝ දෙනකු ලිවීමට, කියවීමට හැකියාව තිබූ අය බව පමණක් නො වේ. ඉහළ ස්ථරවල සිටි ප‍්‍රභූන් වැන්නවුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව ද සාක්ෂරතා ඥානයෙන් යුක්ත වූවන් බව ය.

එපමණක් නො ව පුරුෂයන් මෙන්ම ස්තී‍්‍රන් ද සාක්ෂරතා ඥානයෙන් යුක්ත ව සිටි බවකි. සීගිරි කැටපත් පවුරේ කි‍්‍ර.ව. 8, 9, 10, 11 යන ශත වර්ෂවල දී ලියැවුණු කුරුටු ගී දෙස බැලීමේ දී තත්කාලීන සමාජයේ විසූ විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසක ගේ අත් අකුරු හා සමඟ ඔවුන් ගේ භාෂා ඥානයත් සාහිත්‍යාවබෝධයත් අපට ප‍්‍රත්‍යක්ෂ කර ගත හැකිවේ.

එහි දැක්වෙන ඇතැම් කුරුටු ගී ‘සියබස්ලකර’ ලියැවීමටත් පෙරාතුව සටහන් කෙරුණු ඒවා වුව ද එවක පවා කාව්‍ය විරිත් ඇතුළු සාහිත්‍යමය කරුණු පිළිබඳ ජනතාවගේ තිබූ අපූරු දැනුම ඉන් ප‍්‍රකට වේ. සීගිරි ගී ලියූවන් අතර කාන්තාවෝ ද වෙති.

දරුවන්ට අකුරු කරැවූ ශිල්පස්ථාන දෙකක් වූ බව අනාවරණය වේ. එනම්, පන්සල සහ ගුරුගෙදර ය. පන්සලේ ආචාර්යවරයෝ භික්ෂූන් වහන්සේ වූහ. ගුරුගෙදර උගත් ගිහියකු විසින් ශිල්ප දානය කරන ලදී. ඇතැම් විට ඔහු උපැවිදි අයෙක් විය.

පන්සලේ දී බොහෝ විට අධ්‍යාපනය ලැබූයේ සාමණේර භික්ෂූන්වහන්සේලා සහ මහණ වන්නට නියමිත ව සිටි දරුවන් වුව ද තවත් බොහෝ දරුවන් පන්සල් අධ්‍යාපනය ලැබූ බැව් නිසැක ය. එහෙත් දඹදෙණි කතිකාවතෙහි භික්ෂූන් වහන්සේලාට පනවා ඇති එක් ව්‍යවස්ථාවක් වනුයේ ‘මහණ කොට ගැන්මට කැමැති ව අකුරු කරවනු මිස උපාසකවරුන් ගේ දරුවන්ට අකුරු කරවා පරිහරණය කොට ඔවුන් දෙන පසය නො වැළඳිය යුතු’ බව යි.

ගුරුගෙදර දී ඉගැන්වූ ආචාර්යවරයාණන්ට ශිෂ්‍යයන් විසින් ගුරු පඬුරු පුදන ලදී. පියුම්මලෙහි ගුරු, ඇදුරු, ඇජර යන නම්වලින් ආචාර්යවරුන් හඳුන්වා ඇත. ජාතක පොතේ ‘ජාතක කතා පුවත්වල බෙහෙවින් සඳහන් වන පරිදි භාරතයේ ඉපැරණි විද්‍යස්ථානය වූයේ තක්සලාව යි.

එහි වූවෝ දිසාපාමොක් ඇදුරුතුමෝ ය. ‘මහාවංශයේ’ කියැවෙන තොරතුරු අනුව කි‍්‍ර.පූ. 3 වැනි සියවස සමයේ පණ්ඩුකාභය කුමරු ළමා කළ සිය අධ්‍යාපනය ලැබූයේ පණ්ඩුලගම පණ්ඩුල බ‍්‍රාහ්මණ ඇදුරුතුමන් සෙවණේ ය.

එතුමා උගත්කමින් ද ඓශ්චර්යයෙන් ද ආඪ්‍යව හුන් බව මහාවංශ තොරතුරු අනුව පැහැදිලි වේ. මහාචාර්ය හේම එල්ලාවල මහතා සිය ‘පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය’ ග‍්‍රන්ථයේ සඳහන් කරන්නේ පණ්ඩුල බ‍්‍රාහ්මණයා යනු එවක සිංහලද්වීපයේ පැවැති අධ්‍යාපන සංස්ථාවේ නායකයා වන්නට ඇති බව ය.

’සසදාවතෙ’හි ගීයක එන ‘දෙනෙ කල් පටනට – විදුහල දෙවොල පුදයට’ යන ගී පාදය පරිදි එවක ද ගුරුගෙදර ‘විදුහල’ නමින් හැඳින්වුණු අයුරු පැහැදිලි වන්නේ ය. තවද ගුරුගෙදර දෙවොලක් සදිසි උතුම් ස්ථානයක් සේ සැලැකුණු අයුරු ඉන් ප‍්‍රකට වේ.

‘සද්ධර්මාලංකාරයේ’ ‘පල්ලිය’ නමින් ගුරුගෙදර හැඳින්වේ. ගුරු පඬුරු දෙනු ලැබූයේ කහවණු මසුරන්වලින් බැව් සාහිත්‍ය ග‍්‍රන්ථයන් හි සඳහන් ය. ධනවත් ශිෂ්‍යයන් ගුරතුමන් වෙත පිළිගැන්නුවේ ‘දහසින් බැඳි පියලි’ ය.

පූජාවලියෙහි එක් තැනක ‘ආචාරිභාගය ගෙනාවු දැ’යි ගුරුවරයා විසින් ශිෂ්‍යයන් විමසන ලද අවස්ථාවක් දැකිය හැකි ය. එහි දී ශිෂ්‍යයන් විසින් ‘ආචාරිභාගය නො ගෙනා වෙයි නුඹ වහන්සේට මෙහෙ කොට ධර්මාන්තේවාසික ව ශිල්ප හදාරමි’ යි පිළිතුරු දෙන ලදී.

මේ අනුව වත්පොහොසත්කම් නොමැති තරුණ ශිෂ්‍යයන් හුදු අතවැසි තත්ත්වයෙහි හිඳිමින් ගුරුවරයාට බැළමෙහෙ කරමින් උගෙනගැන්මේ පිළිවෙතක් ද තිබූ බැව් අනාවරණය වේ. ‘සද්ධර්ම රත්නාවලියේ’ චුල්ල පන්ථක වස්තුවෙහි ගුරුවරයාට දහවල් දවසේ මෙහෙ කරමින් ලද අවසරයෙන් ශිල්ප උගත් දරුවකු ගැන සඳහන් වේ. එහි ම සට්ඨිකූට පෙ‍්‍ර්ත වස්තුවෙහි ගුරුවරයාට සුවච ව කී දෙයක් කරමින් ශිල්ප ශාස්ත‍්‍ර උගත් දරුවකු ගැන කියැවේ.

දරුවන්ට අකුරු උගන්වා රන්, රිදී, මසු, කහවණු ආදී වස්තු පිළිනොගෙන උඳු, මුං, තලතෙල්, සහල් ආදී කප්පිය භාණ්ඩ පමණක් පිළිගන්නා වූ ‘උවරික තාපසයන්’ නම් ආචාර්ය කොට්ඨාසයක් ගැන පූජාවලියේ සඳහන් වේ. රට පාලනය කළ රජවරු ද ශිල්ප ශාස්ත‍්‍ර උන්නතිය උදෙසා විද්‍යාස්ථාන ඇති කළහ. ඊට මනා නිදසුනක් සේ මහාවංශයේ දැක්වෙන ජෙට්ඨතිස්ස රජු බොහෝ ජනයාට ඉගැන්වීම සඳහා විසිතුරු වූ ශිල්පායතන කළ පුවත දැකිය හැකි ය.

අක්ෂර ශාස්ත‍්‍රයන් සමඟ උගත් විවිධ විෂයයන් ගැන සඳහන් වෙද්දී අෂ්ටාදශ ශිල්පයක් ගැන සඳහන් වනු පෙනේ. පූජාවලියෙහි අෂ්ටාදශ ශිල්පය වනාහි, ‘ශ‍්‍රැතිය, වේදය, ව්‍යාකරණය, ඡන්දෝලක්ෂණය, ශබ්දාර්ථය, නක්ෂත‍්‍රය, ශික්ෂාය, චෝක්ෂ ඥානය, සිරිත, ධනු ශිල්පය, හස්ති ශිල්පය, කාමතන්ත‍්‍රය, සාමුද්‍රිකා, පරකථා, නිඝණ්ඩු, නීතිය, තර්කය, වෛද්‍යය බැව් පැහැදිලි කෙරේ. දඹදෙණි අස්නෙහි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු උගත් ශිල්ප ගැන සඳහන් කරමින් ශිල්ප ශාස්ත‍්‍ර ගැන විස්තර කරනුයේ ඒවා නම්; ග‍්‍රන්ථ, නාගර, දෙමළ, සිංහල, නිඝණ්ඩු, කසයින් ව්‍යාකරණය, මුගලන් ව්‍යාකරණය, මහධ, සංස්කෘතික, නිස බණ, තෙර බණ, විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය, අංගෝත‍්‍ර සඟිය, සුළුවග, මැදුම් සඟිය, ධාකුපාඨ, ඡන්දෝලක්ෂණ, ති‍්‍රවේදය, නක්ෂත‍්‍රය, ශික්ෂ, මෝක්ෂය, සිරිත, කඩුසරඹ, පළඹ සරඹ, නෙත්කම්, රාජ්විල්, දොළොස්භාෂ, ධනු ශිල්පය, සාමුද්‍රිකා, පරකථා, නීති ශාස්ත‍්‍රය, තර්තය යනුවෙන් ය. තුන්වැනි විජයබාහු රජු සිය දෙ දරුවන් ධර්ම නීති, ලෝක නීති, රාජ නීති, අක්ෂර ලිඛිතාදී නොයෙක් කලාශිල්පාදියෙහි දක්ෂ කළ අයුරු පූජාවලියේ කියැවේ. උදාන පාලියේ ශිල්ප සූත‍්‍රයේ හස්ති, අශ්ව, රථ, ධනු, ථරුසි (ආයුධ), බුද්‍රා, ගණන, සංඛ්‍යාන, ලේඛන, කාව්‍ය, ලෝකායන, ක්ෂත‍්‍ර විද්‍යා ආදී වූ ශිල්ප ගැන සඳහන් කරනු අසන්නට ලැබේ. පංචතන්ත‍්‍රය පළ කරන පරිදි ව්‍යාකරණාදී ශබ්ද ශාස්ත‍්‍රය, ධර්ම ප‍්‍රතිපාදන ස්මෘති ශාස්ත‍්‍රය, අර්ථවේදීන්ගේ නීති ශාස්ත‍්‍රය, කාම ශාස්ත‍්‍රය උගත මනා ශිල්ප වූයේ ය.

අක්ෂර ශාස්ත‍්‍රය යනු මතුපිටින් පෙනෙන දැනුමට වඩා ගැඹුරින් හදාළ යුතු ශාස්ත‍්‍රයන් ව පැවැති බැව් අනාවරණය වේ. සද්ධර්ම රත්නාවලිය එකී ගැඹුරු අධ්‍යයනය ලැබීම ගැන විග‍්‍රහ කොට ඇත්තේ මෙලෙසිනි: “…අවයව අක්ෂරත් දනිති. අක්ෂරාත්මක වූ ශබ්ද වින්‍යාසය ද දනිති. ඒ සුතිශ්චිත කොට දන්නා හෙයින් ආදිය පෙනුණු කලට මධ්‍යාවසාන දෙක නො පෙනුණත් මේ අකුරු මුල් ව සිටි කලට මේ මධ්‍යය ය, මේ කෙළවර යයි කියාත් දනිති.

කෙළවර අකුරු පෙනී ආදි, මධ්‍යය නො නෙපෙනුණු කලට මේ අකුරට මේ මධ්‍යය වේ ආදිය කියාත් දනිති. මධ්‍යයේ අකුරු පෙනුණු කලට මේ අකුරට මේ අකුරු ආදිය ය, මේ අකුරු කෙළවර ය කියාත් දනිති.’ අක්ෂර ඥානයේ දිග පළල කෙතෙක් වේ දැයි මේ කෙටි හැඳීන්වීමෙන් ම වටහා ගත හැකිය.

මෙපමණ සුවිසල් ලෙස නො වුණ ද සාමාන්‍ය ජනතාව යම් පමණකට හෝ භාෂා ඥානය ලබා තිබුණු බව නො අනුමාන ය. එහෙත් පූජාවලියෙහි ස වැනි පරිච්ඡේදයෙහි සඳහන් වන පරිදි ඇතැම් ගුරුවරුන් අකුරු කරවූයේ රජ, බමුණු, වෙළෙඳ, සිටු දරුවන්ට ය.

කි‍්‍ර.ව. 1348 දී ශ‍්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයකු වූ මරිඤ්ඤොල්ලි මෙරට දරුවන් වැලිපිල්ලේ අකුරු ලියා උගෙන ගත් අයුරුත් උගතුන් පුස්කොළවල පන්හිඳෙන් ලියූ සැටිත් සිය සටහන්වල ලියා ඇත්තේ ය. අකුරු ලිවීමට පුහුණු වූයේ වැලිපිල්ලේ ලිවීමෙනි.

ගණදෙවි හෑල්ලේ ඒ ගැන සඳහන් වනුයේ ‘සෝඩිය ද ගෙන’තිනේ – වැල්ලේ ද ලියමිනේ’ යනුවෙනි. වදන්කවි පොතේ ද ‘ලියා අකුරු වැල්ලේ ගෙඩි නො කා දැනා’ යනුවෙන් වැලිපිල්ල ගැන සඳහනක් එයි. වැලිපිල්ල හෙවත් ‘වැලිපිල’ මෑත කාලයක් වන තුරුම අකුරු උගැන්මට භාවිත වූ බව පෙනෙන්නට ඇත. හිත්තටියේ ශ‍්‍රී උදිත නා හිමියන් සිය ‘භාරතීය ධර්මශාස්ත‍්‍ර සහ සිංහල සිරිත් විරිත් කෘතියේ ඒ ගැන සඳහන් කරනුයේ මෙලෙසිනි. : “..අතපොත් තැබීමෙන් පසු ව වැලිපිලේ අකුරු ලියවීම හෙළදිව පැරණි සිරිතකි.

රියන් දෙකක් පමණ දිග රියනක් පමණ පළල, වැටේ ලෑලි පටි ගසා ආවරණය කොට, ඉතා සිහින් වැලි ඉස සකස් කළ ‘වැලිපිල’ මෑතක් වනතුරු ඇතැම් පැරණි පන්සල්වල විය… එදා සිරිතට අනුව වැලිපිලේ ලිවීමෙන් හා මේ ශතක පොත් කීමෙන් ලිවීමට හා කියවීමටත් මනා ව පුහුණුවක් ලත් සමහරු වෛද්‍ය, ගණිත, නක්ෂත‍්‍ර පිළිබඳ දැනුමක් පන්සල් අධ්‍යාපනයෙන් ම ලැබූහ.’

මාර්ටින් වික‍්‍රමසිංහ මහත්මා අදට ශත වර්ෂයකට පමණ ඉහත කාලයේ ඔහුගේ ළමා වියේ දී වැලිපිල්ලේ අකුරු ලියා උගත් සිය අත්දැකීම ‘අපේ ගම’ පොතෙහි සටහන් කොට තබා ඇත්තේ මෙපරිද්දෙනි : ‘…මැදැගිල්ල මත දබරඟිල්ල තබාගෙන මැදැඟිල්ලෙන් වැලිපිල්ලේ ලොකු අකුරු ලියූ සැටි සිහි කරන විට මා තුළ ප‍්‍රීතියක් පමණක් නො ව අතීතය දෙසට එබී බලන්නට තුඩු දෙන කුතුහලත්වයක් ද හට ගනියි… ඇඟිල්ලෙන් ලිවීම සඳහා මුහුදු වැලි අතුරන ලද කළුපාට ඵලකයට එකල වැලිපිල්ල යයි කියන ලදී.

මුහුදු වැලි උඩ ඇඟිල්ලෙන් අකුරු ලියත් ම වැලි දෙපැත්තට වීමෙන් හෑරෙන අගලෙන් කළුපාට ලෑල්ල මතුªවී පෙනෙයි. එවිට වැලිපිල්ලේ ලියන ලද අකුරු දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ සුදු සායම් ගෑ ලෑල්ලක දැලි අඟුරෙන් ලියන ලද අකුරු ලෙසිනි’.

ශිෂ්‍යයන් විසින් සිය ගුරුවරුන්ට මහත් භක්තියෙන් හා ගරුසරු ව සැලකීම පැරණි සිංහල සිරිත විණි. ගුරුවරුන් වැඳීම ශිෂ්‍යයන් කළ යුතු මනා බව සද්ධර්ම රත්නාවලියේ වාසුල දත්තාවන්ගේ කථාවෙහි දී අවධාරණ කෙරේ.

ඒ, ‘වැඳීම නම් ගුරුන්ට කළ මනා උපචාර ය. එපරිද්දෙන් ගුරුන්ට උපචාර කොට උගත්තා වූ ශාස්ත‍්‍ර සඵල වෙයි.’ යනුවෙනි. නො වඳිනා කෙනකුට ශිල්ප නො උගන්වන බැව් කියැවෙන අවස්ථා ‘සද්ධර්ම රත්නාවලියෙහි’ මෙන් ම ‘දහම් සරණෙ’හි ද අසන්නට ලැබේ.

ශිෂ්‍යයන් ගුරුවරුන් අරබයා ඉටු කළ යුතු උපස්ථාන පහක් ඇති බැව් ‘කර්ම විභාගය’ පෙන්වා දේ. එනම්; ගුරුවරුන් දැක හුනස්නෙන් නැඟිටීම, දවසට තෙ වරක් උවටැන් පිණිස එළැඹීම, නො මැළි ව හදාරනු පිණිස ශ‍්‍රවණය කිරීම, නො සැඟ ව ආචාරීන් කරා එළඹ මෙහෙ කිරීම, සකස් කොට ශිල්ප ග‍්‍රහණය කිරීම යනු ඒ අවස්ථා වන්නේ ය. මෙහිදී පැහැදිලි ව පෙනෙන කරුණක් නම් මනා ලෙස ශිල්ප උගැන්ම ද ගුරුවරුන් අරබයා කරන උසස් උපචාරයක් වූ බව යි.

දෙමාපියන් සිය දරුවන්ට කාලානුරූපී වූ මනා අධ්‍යාපනයක් ලබා දීමට පැරණි සිංහල සමාජයේ දී ද උත්සුක විණි. ‘සිදත් සඟාවේ’ උගතුන් ගැන කියැවෙනුයේ ‘පඬුවෝ’ දැනුම් වඩත්. පඩිහු අරුත් පළ කළෝ, එනියවත්හු උගත්හු ආදී වශයෙනි.

දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වටිනාකම ‘ලෝකෝපකාරය’ ලියූ රණස්ගල්ලේ හිමිපාණන් විසින් දක්වා ඇත්තේ ‘දෙගුරුන් විසින් තම – දරුවනට දෙන නො මඳ දන නම් – වියතුන් සබා මැද – ඉන්ට ඉදිරි ව ශිල්ප දෙනුමැයි’ යනුවෙනි.

Advertisements

Responses

  1. ඉතා වැදගත් ලිපියකි. මේ ගැන මගේ අවධානය යොමු කරවූ හිතවතාටද පින් දෙමි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: