Posted by: lrrp | January 24, 2009

අප පැවැතෙන්නේ විජයගෙන් නොවේ – මහාචාර්ය මැන්දිස් රෝහණධීර

මහාචාර්ය මැන්දිස් රෝහණධීර අපේ කාලයේ ඉතිහාස වීරයෙකි. සාහිත්‍ය, ඉතිහාසය යන විෂයයන්හි දස්කම් දක්වන මහාචාර්ය රෝහණධීර ඉකුත් දා රජරට විශ්වවිද්‍යාලයයෙන් ‘සාහිත්‍යසූරි’ උපාධිය ද ලද්දේ ය.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ඉතිහාස අංශයේ හිටපු මහාචාර්යවරයා වන ඔහු සාහිත්‍යය හා ඉතිහාසය විෂයයෙහි ග‍්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෙනෙකි. අපේ ඉතිහාසයට අයිතිකාරයෙක් නැත. එනිසා ම විවිධ විද්වත්හු ඉතිහාස ප‍්‍රශ්නවලදි විවිධ මතිමතාන්තර දරති.

සම්මත සිංහලයක් මෙන් ම සම්මත ඉතිහාසයක් ද ලියැවී නැති මොහොතක අපේ ඉතිහාසයේ ජනපි‍්‍රය ප‍්‍රශ්න සමූහයකට එතුමා නොබියව පිළිතුරු දෙයි. මේ ගැටලු අරබයා ඕනෑ ම විද්වතකු සමඟ සංවාදයට විවෘත වන බව ද ඔහු කියයි.

දුටුගැමුණු මහරජුගේ මාගම්පුර සිට විජිතපුර ගිය ජය මඟ පිළිබඳ ඉතිහාස ගැටලුවක් තියෙනවා. ඔබතුමන් ඇතුළු පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ රජු මාගම්පුරයේ සිට තිස්සට පැමිණ ගල්ගේ කටුගහගල්ගේ මේවා පසුකැර මහියංගණයට පැමිණ එතැන් පටන් මහවැලි ගංතීරේ ඊසාන දෙසට කිට්ටුව දෙමළ බළකොටු සුනුවිසුනු කරමින් අනුරාධපුරයට පැමිණි බවයි. එහෙත් මහාචාර්ය සිරිමල් රණවැල්ල කියන්නේ කලාඔය ආශි‍්‍රත ප‍්‍රදේශයෙන් අවුකන හරහා අනුරාධපුර ගිය බවයි. කොත්මලේ කුමරා ජීවත්වූ බවත් පුරාණ රෝහණය රාජධානියට එපෙදෙස අයත්ව තිබු බවත් ඔහු තමන්ගේ මතය සාක්ෂාත් කරන්නට යොදා ගන්නවා. මේ මත දෙකෙන් වඩා නිවැරැදි කුමක් ද?

මහාචාර්ය සිරිමල් රණවැල්ලගේ මතය වැරැදියි. පුරාණ රෝහණ රාජධානියට එපෙදෙස යටත් නෑ. කුමරා ප‍්‍රතිඥා දුන්නේ තිස්සමහාරාමය ඉදිරිපිටයි. එතුමා ජනප‍්‍රවාදගත කරුණු ආශ‍්‍රයෙන් කොත්මලේ ජීවත්වූ කාලය ගැන සිතා ඒ පෙදෙසින් අනුරාධපුරයට ගිය බව සිතනවා ඇති.

එහෙත් අපේ මුලාශ‍්‍ර ග‍්‍රන්ථවල ඒ බව සඳහන් වී නෑ. ‘දීපවංසය’, ‘මහාවංසය’, ‘පූජාවලිය’ මේ කොයි තැනෙකවත් ඒ මතය තහවුරු වන්නේ නෑ. තහවුරු කැර ඇත්තේ මාගම්පුර සිට ගිය බවයි.

වළගම්බා මහරජුගේ බිරිය සෝමා දේවිය නමින් හැඳින්වෙනවා. එසේ ම කාවන්තිස්ස රජුගේ සොයුරියත් සෝමා දේවියයි. එතුමිය සෝමාවතී චෛත්‍යය නිර්මාණය කළා යැයි කියැවෙනවා. මේ දෙදෙනාම එක්කෙනෙක් ද?

දුටුගැමුණු කුමාර කාලයේ ‘ගිරි රට’ (මුල්ගිරිගල පෙදෙස) තම නැන්දා වූ සෝමා දේවියගේ මාලිගයේ සිටිද්දී එතුමියගේ සැමියා (අභය) සමඟ සංවාදයකට පැටලුණා. ඒ වාදයේදී රුහුණේ වඩාත් වැදගත් රජ පරපුර කවුරුන්දැයි මේ දෙදෙනාම තර්ක කළා.

ගැමුණු කියා සිටියේ වඩා වැදගත් මාගම් රජ පරපුර බවයි. එයින් සිත් බිඳුණු අභය ගිරිවාය හෙවත් ගිරිරට අත්හැර සේරුවිල සේරු නුවරට ගියා. සෝමා දේවිය නමින් ඒ පුරය පසුව සෝමපුර වුණා. අද ‘සාම්පූර්’ නමින් හඳුන්වන්නේ ඒ නුවරයි.

ඒ සෝමා දේවිය තමයි පසුව සෝමා දේවි චෛත්‍යය හදන්නේ. එහෙත් වළගම්බා රජුගේ දේවිය එයා නොවේ. එතුමිය චෝලයන් රජු මරන්නට ලුහුබැඳ එතැයි එතුමා නැඟ ගත් කරත්තයේ බර අඩුකරන්නට කරත්තයෙන් බැස ගත් වීර කාන්තාවයි. එතුමිය එසේ බිමට බැස්සා වූ ස්ථානය අභයගිරියට මෙහා ‘ලංකාරාමය’ නමින් අද හඳුන්වනවා.

එයට සෝමාරාමය කියලත් කියනවා. මේ දෙදෙනා පැහැදිලිවම දෙන්නෙක්. ඉතිහාස කාල පරාසයන් අනුව ඒක පෙනෙනවා.

මහාවංසය පරිපූර්ණ වාර්තාවක් ද? එහි කියැවෙන අන්දමට විජය මෙහි පැමිණෙන්නේ බුදුන් ගේ පරිනිර්වාණය දවසේදීමයි. මේක ඇත්තක් ද?

මේක ලියන මහානාම හාමුදුරුවෝ මහාවිහාරික හාමුදුරු නමක්. ඒ පරම්පරාව ඇතිවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන්. බුදුන්ගේ සද්ධර්මය කිසිදු ඇදක්, කැතක් කුණක් නැතිව පිළිගත් පරම්පරාවක්. අරිට්ඨ අගරතිස්ස කියන්නේ මිහිඳු හිමියන්ගේ ගෝළයා.

දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ බෑනා. එයා මහණ කරලා එයාට උගැන්නුවා බුදු හාමුදුරුවන් ජීවමානව ඉන්නා කාලෙ ඉඳන් පුරාණෙ හිටපු රජවරු නායකයො අශෝක රජතුමා ඉඳන් සියලු දෙනා ද සද්ධර්මය විෂයයෙහි කළ වැඩ හා ඉතිහාසය. එතැන ඉඳන් සද්ධර්මය හා පුරාණ කතිකාව දේවානම්පියතිස්ස ගේ පියා කවුද එයාගෙ පුතා කවුද කියලා කටපාඩමින් ගෙනියන්න අණ කළා. ඒත් හාමුදුරුවන්ගේ මතක ශක්තිය නැතිවුණා.

සමහර හාමුදුරුවරු අපවත් වුණා. සමහර හාමුදුරුවරු පිටරට ගියා. වළගම්බා රජ වුණාට පස්සේ සියලු හාමුදුරුවරු එක්කාසු කරලා සංගායනාවක් කළා. එක් එක් සඟ පරපුරට අයිති කොටස් මෙහිදී සංගායනා වුණා. උදාහරණ වශයෙන් මඤ්ජිම නිකායේ අහවල් කොටස අහවල් පරපුරට, සුත‍්‍ර පිටකය අහවල් කොටස අහවල් සඟ පරපුරට ආදි වශයෙන් ඉතිරිව තිබු ධර්මය හා පුරාණ කතාවන් මෙතැනදී එක්තැන් කළා. ඒක පදනම් කරගෙන තමයි මහානාම හාමුදුරුවො මහාවංසය ලීවේ.

මහාවංස අටුවාව හෙළ බසින් ලියැවුණේ. මේ අටුවාවෙන් අඩු තැන් වැඩි තැන් පුනරුක්ති තියෙනවා. එවැනි දෝෂ නැති කරගෙන කටවචනයෙන් ආ දෙයක් එකතු කරගෙන තමයි උන්වහන්සේ ඒක ලීවේ.

මේ ලියැවිල්ල ලියැවුණේ ධාතුසේන රජ සමයේ. ධාතුසේන කුමරා දුටුගැමුණු කුමරකු කරන අධිෂ්ඨානයෙන් ලියැවූ බව කියනවා. එහි පරිච්ඡේද ගණනාවක් දුටුගැමුණු මහරජුට වෙන්වූයේ එනිසා යැයි කියනවා.

නෑ. එහෙම නොවේ. ඒ කාලෙ සෝළින් පස් දෙනෙක් දාඨිය, පීඨිය, පිලයමාර ආදි වශයෙන් වසර 27 ක් අනුරාධපුරයේ රජකම් කළා. ථුපාරාමය ආදි පූජ්‍ය ස්ථානවලට අලාභහානි කළා. මහා විහාරික භික්ෂුන් වහන්සේ කම්පා වුණා.

එනිසා තමයි මහානාම හාමුදුරුවෝ ධාතුසේන රජ කරන්නට උත්සාහ කරන්නේ. ධාතුසේනට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි ගැමුණු රජතුමා. එතුමාගේ ශ්‍රේෂ්ඨාත්වයත් සලකලා එසේ ලියැවුණේ.

අද ‘අබා’ චිත‍්‍රපටයෙන් ජැක්සන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ‘කඩේ යනවා’ කියනවා. එහෙම නම් මහානාම හාමුදුරුවොත් ධාතුසේනට කඩේ ගිහින් තියෙනවා. මේ අනුව තමයි ධාතුසේන රුහුණට ගිහින් සේනා රැස් කරගෙන ඇවිත් අභිනව ආක‍්‍රමණිකයා දක්වා ගහලා එළෙව්වෙ.

සිංහල වංසය ඇරැඹෙන්නේ විජය ගෙන් ද?

කි‍්‍රස්තු වර්ෂයෙන් 7 වැනි අවුරුද්දේ මේ රටේ හිටපු භාතිය රජ්ජුරුවන්ගෙ දූත පිරිසක් ගිහින් තියෙනවා රෝමයට. ගී‍්‍රක ලේඛනවල ඒක තියෙනවා. එතකොට අහලා තියෙනවා නුඹලාගේ රටට කියන නම කුමක් ද කියලා. ඒ අය කියා තිබෙන්නේ අපේ රටට කියන්නෙ ‘සිහලදිව‘ කියා කියලයි. මේ විජයගෙ පැමිණීමට පෙර කි‍්‍රස්තුන් වහන්සේගේ උප්පත්තියෙන් 7 වැනි වසරේ.

සිහළ කියන එක තමයි ‘හෙළ’ වෙන්නෙ. විජය මේ රටේ දේශපාලන බලය අල්ලන්නෙ කුවෙණිගෙ උදව්වෙන්. එයත් එක්ක ආපු ඇමැතිවරු මල්වතුඔය ආශි‍්‍රතවත් වයඹ දිග ලංකාවෙන් තැනින් තැන කුඩා රාජ්‍ය පිහිටුවා ගත්තා.

විජය ගෙන් නොවේ අප පවතින්නෙ. ඊළඟට ශාක්‍ය වංශයට අයත් භද්දකච්චායනාගෙ සහෝදරයන් එක්ව ආපු කණ්ඩායමක් ලංකාවට ආවා. විජයට පෙර මේ රටේ සිහළ පිරිස හිටියා.

දිසාලා හා ජීවහත්ත යන කුවේණියගෙ දරුවන්ගෙන් ලංකාවේ වැදි පරපුර ඇතිවෙනවා කියන මතයට ඔබ එකඟ ද?

මහාවංසය කියන්නෙ එහෙමයි. ‘පුලින්දයො’ කියලයි හඳුන්වා තිබෙන්නෙ. මිනිස්සු ඒක අරගෙන තිබෙන්නෙ වැද්දො කියලා.

‘මහාවංසය’ දක්වන ආකාරයට අබා ගෙ පියා දීඝගාමිණි. එතකොට චිත්තරාජ කවුරුන් ද? පේ‍්‍රම කුමාර එපිටවල, කුමාරතුංග මුනිදාස ආදීන් දීපවංස තොරතුරු අරන් චිත්තරාජ අබාගෙ පියා කියනවා.

ඕක දීර්ඝ වශයෙන් කතිකා කළ යුත්තක්. කෙටියෙන් තේරුම් කළොත් දීඝගාමිණි කියන්නෙ පඬුවස්දෙවිගෙ හා භද්දකච්චායනාගේ බෑණා කෙනෙක්. චිත‍්‍ර හා කාලවේල දීඝගාමිණිගේ සේවක හෙළයො දෙන්නෙක්. චිත‍්‍රා හිටි එක්ටැම්ගෙයට දීඝගාමිණි කර්කටක යන්ත‍්‍රයෙන් ඒ කියන්නෙ මකුළු ගමනින් හරහට ගියා කියල තියෙන්නෙ.

මහාවංසයේ තොරතුරු එනවා. ඒත් පඬුවස්දෙවිගෙ යහන්ගැබ ළඟින් තමයි චිත‍්‍රාගෙ එක්ටැම්ගෙට ඇතුළු වන්ට තිබුණේ. ඉතිහාසගත තොරතුරු අනුව උන්මාද චිත‍්‍රා ගැබ් ගත්තා. ඒත් ගැබ් ගත්තේ චිත්තරාජගෙන් ද දීඝගාමිණිගෙන් ද කියලා පැහැදිලි නෑ. ඒත් පසුකාලීන කි‍්‍රයාදාමය විමසා බලනකොට දීඝගාමිණි පියා නොවන බව පැහැදිලි වෙනවා.

ඒකට සාධාරණ හේතු තිබෙනව ද?

දීඝගාමිණි සම්පූර්ණයෙන් පඹයෙක්. ඔහු තම මස්සිනාවරු තම දරුවා මරන්න ගම් පීරනකොට මුකුත් ම කරන්නෙ නෑ. මහාවංසයේ ඊට පස්සෙ දීඝගාමිණිට මොකද වුණේ කියලාවත් නෑ. චිත්තරාජ හා කාලවේල නම් රාජ උදහසින් මරා දැම්මා. චිත්තරාජ තම පරුමුක නම් යාළුවා ලවා දරුවා යක්ෂ ගම්මානයකට පිටමං කළා.

ගුම්බුකභූතා කියන්නෙ පඳුරී කියන එකයි. පඳුරු අතර ගැහැනිය ගුම්බුකභූතායි. ඇයත් යක්ෂ නායිකාවක්. ඇය ලවා තමයි චිත්තරාජ කුමරා යක්ෂ නායක පරුමුකයා වෙත එවන්නේ. අන්තිමේදී පණ්ඩුකාභය රජ වුණාට පස්සෙ දේවාල පවා හදලා සලකන්නෙ චිත්තරාජට හා කාලවේලටයි. ඒ තම යක්ෂ සම්භවය නිසයි. දීඝගාමිණිට සැලකු බවක් නෑ.

කාවන්තිස්ස, ගෝඨාභය, චුල්ලන්ථන වගෙ නම් කිසියම් හාස්‍යයක් මවා දෙන නාම වශයෙන් සැලැකෙන්නේ. ඒ රජවරු ජීවත් වු කාලයේදි මෙනමින් ඔවුන් හැඳින්වීද?

නැහැ. එම රජවරුනට සාමාන්‍ය ජනතාව එදිනෙදා ව්‍යවහාරයේදි තමයි මෙසේ කීවෙ. එම නිසාම ඔවුනගේ සැබෑ නම් ඉතිහාසයෙන් මැකී ගිහින්. කාවන්තිස්ස කියන්නේ කාකවර්ණයෙන් යුතු තිස්ස කියන එකයි. ගෝඨාභය කියන්නෙ මිටි අභය කියන එකයි.

චුල්ලන්ථන කියන්නෙ මහත තන (පයෝධර) ඇති එකා කියන එකයි. වංකනාසිකතිස්ස කියන්නෙ එක් නැහැයක් ඇති තිස්ස කියලයි.

මහාවංසයේ වීරයා වෙන්නෙ දුටුගැමුණු. චූලවංසයේ වීරයා කියන්නෙ මහා පරාක‍්‍රමබාහු. ඒත් මහා විජයබාහු රජතුමා ගැන එතරම් වංශ කතාවේ වර්ණනා කැර නෑ. එතුමා නැත්නම් සිංහලය ඉතිරි වෙන්නෙ නැතැයි නීල කණ්ඨ ශාස්තී‍්‍ර කියනවා. සමහර විට එක් එක් කාව්‍යයේ එක ම වීරයෙක් සිටී කියන ඉන්දියානු විචාරක මතය අනුව විජයබාහු රජුට විශාල තැනක් හිමි නොවීද?

ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් මහාවංශයේ දෙවැනි කොටස ආරම්භයේ විජයබාහු මහ රජු ගැන කියැවෙනවා. ඒත් දුටුගැමුණු රජුට වගේ පරිච්ඡේද ගණනාවක් නොවේ. ඉතාම ස්වල්ප වශයෙන්.

පරාක‍්‍රම බාහු ගේ සීයා වන මහා විජයබාහුගේ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ පනාකඩුව තඹ සන්නසෙන් හා අඹගමු ශිලා ලිපියෙන්. 11 වැනි සියවසේ 1017 විතර ලංකාවේ වෙළෙඳ්‍රම හා එහි ආධිපත්‍යය හා රටේ සම්පත් සියල්ල ඉන්දියාවේ රාජරාජ හා 1 වැනි රාජේන්ද්‍ර යන චෝල අධිපතීන්ට යටත්වයි තිබුණෙ.

බුරුමය, සිංගප්පූරුව, සුමාත‍්‍රා, ජාවා හා ශී‍්‍ර ලංකාවත් මේකට බිලිවෙලා තිබුණා. ලංකාවේ රජ පවුල විතරක් නොවේ මේ සිංහල රටේ ස්වාධීනත්වය එදා බේරා ගත්තේ මහා විජයබාහු රජ්ජුරුවො. එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය කිසිම රජකුට ලඝු කරන්න බෑ. එතුමා හඳුන්වන්නේ ශි‍්‍ර ලාංකේය රාජාවලියේ තරළමිණ ලෙසයි.

එතුමා නැත්නම් එදා සිංහලය වඳවී යනවාද?

සිංහල පරම්පරාව කෙසේ වෙතත් සිංහල රජ පවුල නම් විනාශ වෙලාම යනවා. ඒත් සිංහල පරම්පරාව විනාශ වී යනවාය කියන්නේ නීල කණ්ඨ ශාස්තී‍්‍ර.

Advertisements

Responses

  1. ඉතිහාසය හොදින් විමසන්න ඕන. විජයගේ පැමිණීම ප්‍රබල කඩඉමක් උනාට සිංහලයන් ඊට ප්‍රථම හිටියා.
    භාද්ධකච්චානගේ පැමිණීම අස්වාභාවිකයි. හේතුව ඇය බුදුහිමිගේ බාප්පාගේ (අමිතෝදනගේ)මිනිබිරියයි. විදුදබගේ ශාක්‍ය සංහාරයේදී ඉතුරු වෙන්නේ අමිතෝදනගේ පුත් පන්දුශාක්යගේ පවුල විතරයි. මෙම සංහාරය සිදුවන්නේ බුදුහිමිගේ අන්තිම කාලයේ. ඊලගට විජය ඇවිල්ලත් අවුරුදු 39 කට පස්සෙයි මෙම කුමරිය එන්නේ. දේ.දු.සොයිසා මහතාට අනුව එවිට කුමරියට අවුරුදු අනුවක් විය යුතුලු.
    කාකවන්න යනු තිස්ස රජුට ලැබුණු ගවුරව පදයකි. එතුමා කාක් යන පදයෙන් සංඥා පණිවිඩ යැවීමේ ක්‍රමයක් සොයා ගත් නිසා ඒ නම ලැබුණි.
    මගේ අභිමානි හෙලන්කා ග්‍රන්ථයට අනුව ඝෝඨාභය නම ලැබුනේ රාජ්‍ය සුක්කානම අතට ගත් අභය යන අරුතෙනි. බොහෝ විට එසේ කියන්නට ඇත්තේ කතරගම ශක්ත්රියන්ගෙන් රජය ගත් නිසා විය යුතුය. සිරිසේන මාඉටිපෙගේ ශබ්ද කෝෂයට අනුව ගෝටවිය කියන්නේ සුක්කානමටයි. ඇත්තටම එතුමාගේ සෙල්ලිපිවල රාජ්‍ය සලකුණ වසයෙන් යොදා ගෙන තිබුනේ සුක්කානමයි. ආචාර්ය සුරිය ගුණසේකරට අනුව ඝෝඨාභය දකුණු ආසියාවේ වෙළඳ නැව් සමාගමේ අධිපතියාය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: