Posted by: lrrp | January 25, 2009

සපුමල් කුමරා සොයා අලිමංකඩ මතින් පියාසර කළ කෝකිලයා

කෝකිලයා  මෙන් ම අපේ අගනුවර ද මේ වන විට දිග ගමනක් ගෙවමින් එහෙත් ප‍්‍රතිවිරුද්ධ දිසාවකට යොමු වී උතුරෙන් දකුණට සේන්දු විය. අනුරාධපුරයෙන් ඇරැඹී පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල හා ගම්පොළ හරහා ඇදුණු නිරිත දිග ප‍්‍රවාහය නමින් ඉතිහාසයේ සටහන් වන මේ සංක‍්‍රමණය ඊළඟට නැවතුණේ අලගක්කෝනාරයින් කෝට්ටේ දියවන්නා හොය අසල තැනූ ශී‍්‍ර ජයවර්ධනපුරයේ ය. 1415 දී මෙහි රාජ ධුරයට හය වෙනි පරාක‍්‍රමබාහු නරෝත්තමයා පත් විය. භෙද භින්න ව පැවැති මුළු රට ම තම පාලනයට නතු කර ගැනීම මේ බලසම්පන්න රජුගේ අරමුණ වුවද මේ වන විට උතුරේ ද්‍රවිඩ බලයක් වැඩෙමින් පැවැතිණි. මෙසේ මෙකල එහි අධිපති ව සිටි ආර්යය චක‍්‍රවර්තින්ගේ බලය මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ප‍්‍රබල බාධකයක් විය. කෙසේ වුවත් මේ රජු හදා වඩා ගත් පුතෙකු වන සපුමල් කුමරු ආර්ය ය චක‍්‍රවර්තීන් පරදවා යාපනේ අර්ධ ද්වීපය මුළුමනින් ම නතු කර ගැනීමට සමත් විය.

ඒ 15 නි සියවසේ උදා කාලයයි. දැනට වසර 600 කට පමණ පෙර ය. මේ ජයග‍්‍රහණය උත්කර්ෂවත් අන්දමින් සැමැරීමෙන් පසු ඒ ජය ඝෝෂා හා සව් දිය පිරිම් මධ්‍යයේ ලංකාවේ දකුණු කෙළවරේ දෙවුන්දර ඉරුගල්කුලතිලක පිරිවෙන් හිමි ද නිකම් නොසිටියෝ ය. ඒ හිමි ජය ගැන තම අමන්දානන්දය ප‍්‍රකාශ කළේ තමන්ගේ විද්වත් බවට උචිත අන්දමිනි. ඒ ජයග‍්‍රහණයට මුල් වූ කුමරාට සෙත් පතා ඒ බව දැන්වීමට සපුමල් කුමරු වෙත සන්දේශයක් යවමිනි.

යාපන පටුනේ මෙතෙක් රජ කම් කළ ආර්යය චක‍්‍රවර්ති නම් අධිපතියාගේ බල සිඳ බිඳ කෝට්ටේ රාජධානියට එය ඈඳ්‍ර දුන් සපුමල් කුමරුට ද ඔහුගේ ඇමතිවරුන්ට ද යුද සේනාවට ද උපුල්වන් දෙවියන්ගේ සෙත් ශාන්ති යැද, ඒ බව සපුමල් කුමරාට දන්වා යැවෙන හස්නකි කෝකිලයා උතුරුකරයට පුරා දින 12 ක් තිස්සේ අත් තටු ගසමින් රැගෙන ගියේ ය.

1415 සිට 1470 දක්වා මෙ රට පාලනය කළ මේ නරෝත්තමයාගේ චක‍්‍රවර්ති විරුදාවලිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පූර්ණත්වයට පත් කළේ මේ සපුමල් කුමරුගේ විජයග‍්‍රාහී ආක‍්‍රමණයයි. ඒ ජයග‍්‍රහණයෙන් පසු සපුමල් කුමරු එහි ම රැඳී එහි යුවරජ තනතුර දැරී ය. පරාක‍්‍රමබාහු රජ මිය යන තුරු ම ඒ තනතුර දැරූ ඔහු ඉන් පසු කෝට්ටේ රජු බවට පත් විය. මේ කල්පිත දූතයින් පියාසර කළේ එකල ජනි ජනයා ගමන් කළ ප‍්‍රකට ගමන් මාර්ග ඇසුරෙන්ම ය. ඔවුන්ට ද කෑම බීම අවශ්‍ය ය. මිනිස් ඇසුර ද අවශ්‍ය ය. ප‍්‍රකට මාර්ගවල ගමන් කිරීමෙන් මහජනයා නිතර ගැවසෙන වර්ණනා කළ යුතු විවිධ තැන් ද දැක බලා ගත හැකිය.

මෙන්න මොරටු එලිය දක්වා ගමන් මග

දෙවුන්දර – අලුත් වීදිය – වැල්ලේමඩම – නාග කෝවිල – උග්ගල්බැවුල – මාපා පටුන – නිල්වලා ගඟ – මාතොට – හඟුරන්වෙල්එලිය – මූණමල් රුප්ප – පොල්වත්තේ හෙය – මහවැලගංපටුන – මහවැලියා පොකුණ – අක්බෝ වෙහෙර – පොල්ලව – ලනුමෝදර අරිම – මිහිරිපැන්න – උනවටුන – ගාල්ල – ගිංගග – රත්ගම – උඩගල්පිටිය – හික්කඩුව – තොටගමුව – නාථ දේවාලය – මහදම්පා මෝදර – වැලිතොට – පරතරකය – නිල්ලපොල – බෙම්තොට – කාලවිල – බේරුවල – මග්ගොන – පයාගල – කලමුල්ල – කලුගග – ගනිඳු කෝවිල – පොතුපිටිය – පානදුරෙ – ලක්සපති පොල් උයන – මොරටු එලිය මේ ස්ථාන කීපයක් අද ද ඒ නම් වලින් ම වැජඹෙන්නේ ස්ථාන නාමවල වීර තත්ත්වයට දෙස් දෙමිනි. ස්ථාන නාම වෙනස් වන්නේ කලාතුරකිනි. එහෙත් නම් කීපයක් ම අද වෙනස් වී ඇති බවද පෙනේ.

මොරටුඑලිය අසළින් රට අභ්‍යන්තරයට ඇතුළු වන කෝකිලයා අත්තිඩිය හා පැපිළියානේ හරහා ජයවර්ධන පුරයට ප‍්‍රවේශ වේ. ඒ එය එකල රටේ අගනුවර බැවිනි. කොළඹ පැත්ත පළාතේ ඔහු නොගියේ ය. අද රටේ ම පරසිදු මේ කොලොම්පුරය ගැන සඳහන් කර ඇත්තේ එක ම සන්දේශ කාව්‍යයක පමණි. ඒ තිසර සන්දේශයයි. එය ඒ එහි වැදගත්කමක් සන්දේශ කවීන් නොදුටු නිසා ය. කැලණි වෙහෙර ද වැඳ පුදා ගෙන කෝකිලයා මුදුකරයට මතු වන්නේ වත්තලිනි. මේ මග සපුමල් කුමරු සිය ආක‍්‍රමණය සඳහා උතුර බලා ගිය ප‍්‍රකට මග ම විය යුතු ය. මේ පක්ෂින් ගියේ මිනිසුන් යන එන පාර වල් දිගේ ම ය. ඔවුන් ගියේ ඒ 9 පාර දිගේ ද? නැත. එවැනි පාරක් හෝ ඒ අකුරක් හෝ එකල ලක් අහස් යට නොවී ය.

එහෙත් ඒ 9 පාරේ සමහර තැන් කෝකිලයා පසු කළ බව පහත ස්ථාන හරහා යන සන්දේශ ගමන් මග පිරික්සීමෙන් පෙනී යයි. ගමන් මග මෙසේ ය.

වත්තල – මාබෝවේ – අද මාබෝලේ, ඇතුබුන්වල, රිලමුල්ල, වැලිගම්පිටිය, කිදිගොඩ හොය, බෝනාවලාන, අද බෝලවලාන, මීගමුව, තෝප්පුව, මානව හොය මාරවිල, නිකපිටිය, හලාවත, මුන්නේස්වරම, වෙල්ලවල වනය, තම්මැන්නාව, පුත්තලම, පොන්පරිප්පුව, මුවදොරගම, මුසලියමෝදර, මෝරවල, මන්නාරම, අත්තාලමුක්කම, මාවටු පටුන, අය්යන් කෝවිල, නුගවෙල වනය, මල්විල, නාථ දේවාලය, ජාවක කෝට්ටේ ලුණු හොය ගල්මුන ය.

ගමනාන්තය වූයේ යාපා පටුනයි (ඒ බොහෝ නම් වල සිංහල ඌරුවකි)

මේ ස්ථානවලින් අද ද කිනම් ස්ථාන ඒ නමින් ම පවතී ද නැතහොත් වෙනත් සභ්‍යත්වයකින් වැළලී ඇද්ද යන්න සොයා බැලීම පාඨකයාට භාර කරමි.

එහෙත් මෙහි දැක්වෙන ස්ථාන දෙකක් ගැන මේ කරුණු සඳහන් කරමි. අද චාවාකච්චරිය වශයෙන් හැඳින්වෙන්නේ ජාවක කෝට්ටේ විය හැකිය. එහිදී කන්නඩි සේනාව සපුමල් කුමරු අතින් පරාජයට පත් වූ බව මේ කවෙන් දැක්වේ.

සේවක සමග පැරකුම් නිරිදුගෙ විපුල
ඒ වක පැමිණි සපුමල් කුමරිඳු පබල
නේවක ගුණැති කන්නඩි සෙන් බිඳි තුමුල
ජාවක කෝට්ටය දැක යන් මග අසල

කන්නඩි සේනාව ආර්ය චක‍්‍රවර්තිගේ උදව්වට පැමිණි දකුණු ඉන්දීය සේනාවක් වශයෙන් අනුමාන කෙරේ.

අද Elephant Passහෙවත් අලි මංකඩ වශයෙන් ප‍්‍රකටත්වයට පත් මේ නොබෝදා අපේ රණවිරුවන් ත‍්‍රස්තවාදීන් ගෙන් මුදා ගත් එකල ලුණු හොය වශයෙන් හැඳින්වුණු ස්ථාන විස්තරය කෝකිල සන්දේශය ගෙතු කවි වදන් වලින් ම දැක්වේ.

අසිත ගැඹුරු දිය මත නැගි තුගු රළය
විසිත සුමින් පැන පැන ගැසෙන වෙරළය
එසිත ලොබින් ගනු වෙනු දිවර වෙරළය
තසිත ලෙසට ලුණු හොය බල කෙළ කෙළය

මේ කවේ, නමට මුල් වූ ලුණු ලේවා පක්ෂියා නොදකි.

යාපනේ අර්ධ ද්වීපයට පිවිසි එක ම ගුවන්ගත දූත පක්ෂියා කෝකිලයා ය. එසේ ම මේ සන්දේශය ලියූ දෙවුන්දර ඉරුගල් කුලතිලක පිරුවන් හිමි ද එකළ උගතුන් අතරින් විශේෂ වූයේ ඔහු ද ද්‍රවිඩ බස මැනැවින් දැන සිටි නිසා ය.

තවත් විශේෂයකි, යාපනය අල්ලා ගත් සපුමල් කුමරු ද්‍රවිඩ සම්භවයකින් යුත් එහෙත් පසුව සිංහල ජාතියට ඇතුල් වූ පවුලකට අයත් බවට මතයක් ඇත. ඔහුගේ පියා කෝට්ටේ රජ වාසල සේවය කරද්දී මේ හුරුබුහුටි කුමරා රජුගේ අවධානයට ලක් වූ බවක් පසුව රජු ඔහු තමාගේ ම පුත් කුමරකු ලෙස ආදරයෙන් හදා වඩා ගත් බවත්, ඇතැම් පොතපතක සඳහන් වේ. අද කාටත් අමතක වී ඇති රැපියල් තෙන්නකෝන් ශූරීන්ගේ පැරණි අසුන් කවි යන ග‍්‍රන්ථයේ මේ කුමරාගේ මුල් නම සෙම්බගප්පෙරුමාල් වශයෙන් දැක්වේ.

සෙම්බග යන්න සපුමල් හෙවත් චම්පක යන අර්ථය ගෙන දෙන ද්‍රවිඩ වචනයක් බව ද කියැවේ.

එහෙත් මේ පිය පුතු දෙපළ මේ දිවයින එක ම ඡත‍්‍රයක් යට පාලනය විය යුතු ය යන දැඩි ස්ථාවරයේ පසු වූහ.

පියා මහ රජුගේ ඇමති කෙනකු වූ අතර තමාගේ අනෙක් පියා වෙනුවෙන් පුතා එකළ ප‍්‍රධාන රටෙන් වෙන්ව වෙනත් ආධිපත්‍යයකට යටත් ව තිබු කොටසක් නැවත ලබා දුන්නේ ය.

ඈත අතීතයේ විද්‍යමාන වූ මෙවැනි සිංහල ද්‍රවිඩ සම්මිශ‍්‍රණ වල මතක සේයා ඉදිරි අනාගතයේදී ජාතික සමගි ක්ෂේත‍්‍රයේ දී ඵලදායි සෙවණැල්ලකට දායක වනු ඇත.

තවද ඉතිහාසය නම් අතීතයේ රාව ප‍්‍රතිරාවයක් යැයි යන කියමන ද එක්තරා අන්දමකින් උක්ත සිද්ධි සනාථ නොකරන්නේ ද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: