ළඟදී මා ඇමෙරිකාව ගැන අමුතු ම ප්‍රවෘත්තියක් ඇසිමි. එහි සත්‍යාසත්‍යතාව ය ගැන මට සහතික වීමට නොහැකි වුවද පුවත මෙසේ ය. ලෝකයේ විවිධ ජාතීන් නියෝජනය වන මානව සාම්පල එහි පදිංචි කරවීමට ඒ රට මහත් වැයමක් ගන්නා බවයි. මෙවන් දෙයක් සුළු වශයෙන් හෝ අපේ රටේ අත් හදා බැලු අයෙක් ද විය. ඒ දෙවෙනි රාජසිංහයින් ය. රත්‍රං පැහැති කෙස්, සුදෝ සුදු ජව වර්ණ නිල් හා කොළ පාට ඇස් මෙයින් ඔහු කෙතරම් වශී වූවාද යත් ඔවුන් ගෙන් කීප දෙනෙක් අල්ලා කන්ද උඩරට සිර කර තැබී ය.
එහෙත් ඇමෙරිකාවේ මෙන් ඔවුන් සියල්ල ම නව රට නිත්‍ය පදිංචියට තෝරා නොගත්තේ මේ රජු වෙස් පෙරළෙන්නකු බැවිනි. මෙසේ වෙස් පෙරලුණු විට මරණය පවා නියත ය. ඒ නිසා එසේ අල්ලා ගත් බොහෝ අය කෙසේ හෝ ආපසු පලා ගියහ. සුප්‍රකට රොබට් නොක්ස් මේ ගණයට අයත් ය. ඔහුගේ ග්‍රන්ථයේ එක් තැනක ඔහු මෙවන් දෙයක් සඳහන් කරයි. ලන්දේසි බස ඉගෙන ගැනීමට රජු ලන්දේසි තරුණයකුගේ ආධාර ලබා ගත් බව ද එසේ ඉගෙන ගැනීමෙන් පසු ඔහුට ගිබරිෂ් නැතහොත් විගඩම් බසක් ඉගැන්වීමේ වරදට ඔහුගේ හිස ගසා දැමීමට අණ කළ බවත් ය.
මේ ආරංචියෙන් පසු තමාට ද රජුට ඉංගී්රසි ඉගැන්වීමට ඇරැයුමෙන් පසු ඒ ඉරණම විගඩම් බසක් ඉගැන්වීමේ චෝදනාව මත තමන්ට ද අත් වේ යයි යන සැකය මත නොක්ස් මාලිගාව පැත්තේ කිසි දිනෙක නොගිය බව ද ඔහු ලියයි. නොක්ස් තම මොළය පාවිච්චි කළ බැවින් පණ නල රැක ගෙන ආපසු සිය රටට පැන ගත්තා පමණක් නොව ලෝක ප්‍රකට පොතක් ද අපේ රට ගැන ලිවීමට එම පණ නල උපයෝගී කර ගත්තේය.
එසේ පලා නොගියෝ ඇතැමෙක් මරු දුටුහ. වඩා වාසනාවන්තයෝ රජුගේ අනුග්‍රහය ලබමින් මෙහි ම පැළපදියන් වූවා පමණක් නොව ජාති වාදය බොරු කරමින් සිංහල ජාතියට ඇතුල් වූහ. ලැනරෝල්ලා දස්කොන් නැතහොත් ගැස්කන් ලා මේ ගණයට අයත් ය. රජ බිසවක් සමග පටලැවිල්ලක් නිසා දස්කොන් පරපුර තරමක් පසු බෑව ද ලැනරෝල් පරපුර සිංහල සාහිත්‍ය හා භාෂා ප්රබෝධයට ප්‍රබල දායකයින් බවට පත් වූහ.
කෙසේ වුවද රාජසිංහයින්ගේ මේ චාපල්‍ය ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් හැඳින්විය නොහැකි ය. එහෙත් අප දිවයිනේ භූගෝලීය පිහිටීම නිසා සාගරය හරහා සතර වටින් විවිධ ජාතින් මෙහි එකී එක් කාල වකවානු වල සුළු වශයෙන් හෝ පදිංචි වීම නිසා ඇමෙරිකාව ආයාසයෙන් ගොඩ නගා ගැනීමට උත්සාහ කරන දේ අප රටේ ඉබේ ම වාගේ ගොඩ නැගී ඇති බව පෙනේ. මට එය පැහැදිලි ව පෙනුණේ මඩකළපු නගරයේ ය. ඒ නගරය හා අවට ප්‍රදේශය විවිධ ජාතීන්ට නිවැසි ය. ඔවුන් සියල්ල ම ගැන ලිවීමට අදහස් නොකරමි. එහෙත් එක් ජන කොටසක් ගැන පමණක් ලිවීමට අදහස් කරමි. ඒ එහි නිවැසි ලන්දේසි පවුල් විශේෂයක් ගැන ය. බැටික්ලෝ බර්ගර්ස් යන ගණයෙන් මොවුන් වෙනස් යැයි ද මට සිතේ.
උතුර නැගෙනහිර යුද ගිනි ඇවිලෙන සමයේ මා මඩකළපු යෑම ද එක්තරා අරුමයකි. එහි පසු බිම මෙසේ ය. විද්‍යා පීඨ අධ්යක්ෂ තනතුරින් මා විශ්‍රාම යාමෙන් පසු අවලංගු කාසියක තත්ත්වයට මම පත් වුනෙමි. ඒ අපේ රටේ ගති ස්වභාවයයි. එය ප්‍රසන්න තත්ත්වයක් නොවන බව පමණක් කියා නවතිමි. මේ අවලංගු කාලයේ මට අධ්‍යාපන වැඩ සටහනකට ඇරැයුම් කළ එක ම විද්‍යා පීඨය ද්‍රවිඩ මාධ්‍ය විද්‍යා පීඨයකි.
ඒ මඩකළපු විද්‍යා පීඨයයි. තරමක අමුතු පළාතක් බැවින් මම ඒ නගරයේ ඇවිද්දෙමි. කැඩුණු සිංහලෙන් හෝ ඉංගි්රසියෙන් කඩ සාප්පුවල වෙළෙන්දෝ මා සමඟ රටේ තත්ත්වය ගැන කතා කළහ. කථිකාචාර්යවරයෙක් මා ඩච් බේ වෙත කැඳවා ගෙන ගියේය. ඒ එහි සිටින ලන්දේසීන් දැක බලා ගැනීමට ය. එහෙත් සුනාමියෙන් ඩච් බේ නැතහොත් ලන්දේසි බොක්ක විනාශ වී ඇති බව ඔහු පවා නොදැන සිටියේ ය. එයින් දුරමුඛ නොවූ ඔහු ඔවුන් ගෙන් කොටසක් පදිංචි ව සිටින වෙනත් විදියකට මා කැටුව ගියේ ය. බර්ගර් ජාතිකයන් අපට අමුතු ජාතියක් නොවේ. එහෙත් මොවුන් හමු වූ විට ඔවුන්ගේ විශේෂත්වයක් දුටිමි.
මම 17 වැනි ශත වර්ෂයේ මුල් දශකයට මගේ සංකල්පනය මත නැගි පලා ගියෙමි. ඒ කන්ද උඩරට පළවැනි විමලධර්ම පාලන සමයයි. ඔහුගේ වත ගොත කවුරුත් දන්නා බැවින් මෙහි නොලියමි. සිංහල ජාතියේ හා බෞද්ධාගමේ පුනර්ජීවනයට මුල් වූයේ මොහු ය.
එකල අරුම පුදුම දේ සිදු වූ කාලයකි. පරංගීන්ගේ සෙවනෙහි සිය යෞවනත්වය ගත කරමින් යුද ශිල්පය ප්‍රගුණ කළ ඔහු ඔවුන්ගේ කාලතුවක්කු ඔවුන්ට ම පසු කලක එල්ල කළේ ය. ඔවුන් නෙරපා දැමීමට ඉන් පසු ලන්දේසීන් සමග මිත්‍ර සම්බන්ධයක් ඇරැඹී ය. ස්පිල්බර්ජන්ගේ ලංකා සම්ප්‍රාප්තිය ඇති වූයේ මේ නිසා ය. යට කී විදියේ පදිංචි පවුල කොට්ටියාරමේ සිට මේ දූතයා යන අතරේදී දමා ගිය අය ගෙන් පැවැතෙන්නන් ද යන පැනය මට මොහොතකට ඇති විය.
![]() |
ලන්දේසි පවුලක්… |
එතරම් ඔවුන් ඒ ජාතියේ මූලික ලක්ෂණ පෙන්නුම් කරති. ඔවුන් එකිනෙකා සමග කතා කරන්නේ ලන්දේසි බසින් බව ඔව්හු කීහ. අද අපේ බර්ගර් වරු කතා කරන්නේ ඉංගී්රසියෙනි. නැතහොත් සිංහලෙනි. ලන්දේසි බසින් නොවේ. මේ අයගේ ආගම පවා රෝමානු කතෝලික ආගම නොවේ. රෙපරමාදු ආගම් විශේෂයකි. ඔවුන්ට ම ආවේණික සංස්කෘතියක් ඔවුන් ආරක්ෂා කරති. ඔවුන් මඩකළපුවට පාත් වූයේ කොහින් ද? ඔවුහු පවා එය නොදනිති.
මඩකළපුව ලස්සන නමක් නොවේ. මඩින් පිරුණු කලපුව එහි අදහසයි. පුරාණයේදී මේ පළාතට ලස්සන සිංහල නමක් භාවිතා විය. ඒ දිගා මඩුල්ල නොවන්නේ ද? මඩකළපුවේ ද ගවේෂකයෝ වෙති. එක් අයෙක් නම් බැටික්ලෝ බිබිලියෝ ග්රපි යන ග්‍රන්ථය සංස්කරණය කළ එස්. සෙල්වරාජා ය.
ඔහු මඩකළපු පුස්තකාලයේ අධිපති බව මට යාංතං මතක ය. මට ඔහු තෑගි දුන් ඒ කෘතිය අනුව අද මඩකළපුවේ දෙවෙනි ජන කොටස බවට පත් වී ඇති ද්‍රවිඩයන් මෙහි පැමිණ ඇත්තේ මලබාර වෙරළිනි. ඒ ශත වර්ෂ ගණනාවකට ඉහත දීය. සුන්දර කලපුව ඈතින් දිස් වෙත් ම මඩ්ඩකළප්පාඩ කියා ඔවුන් කෑ ගැසුවේලු. එසේ කෑගැසු පමණින් නම ස්ථිර විය. මඩ ගොඩක් දුටු විට ද හැඟීම් ඉලිප්පේ. එහෙත් එය මඩ ගොඩක් නොවේ. අතිරමණීය කලපුවකි.
අද ප්‍රධාන වශයෙන් මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාවගේ වාස භූමිය වී ඇති මේ ප්‍රදේශය අතීතයේ ප්‍රබල රුහුණු රාජ්‍යයේ ඉතා වැදගත් කොටසකි. දුටුගැමුණු රජ සිය සහෝදරයාට බාර දුන්නේ වී අස්වැන්නෙන් සශී‍්‍රක මේ ඉසව්වයි. එහි අගනුවර දීඝවාපිය වශයෙන් සැලැකේ. මහාවංශයේ ඒ දිගාමඩුල්ල ය. විවිධ සිදුවීම් නිසා මේ ප්‍රදේශය නොයෙක් ජන කොටස් වලට කල් යාමේදී නිවැසි විය. අද මේ පළාතේ ප්‍රධාන ජන කොටස බවට පත් වී ඇති මුස්ලිම් වරුන්ගේ ආදි මුත්තන් එහි පදිංචි කරන ලද්දේ විමල ධර්ම සූර්යයන් ගෙන් පසු කන්ද උඩ රට රජ පැමිණි සෙනරත් රජු විසිනි.
ඒ යට කී ඇමෙරිකන් ප්‍රතිපත්තියෙන් මෙහෙයවී නොවේ. ඔවුන් පෘතුගීසින් ගෙන් බේරා ගැනීමට ය. පරංගී හා මුවර් වරු ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්රයේ උග්‍ර වෛරක්කාරයෝ ය. මේ නිසා නිරිත දිග වෙරළේ පදිංචි ව සිටි මුවර් නැතිනම් මුස්ලිම් වරු නොයෙක් පීඩා වලට භාජන විය. ඔවුන්ට අනුකම්පා කළ මේ රජු මුස්ලිම් පවුල් 4000 ක් මේ වෙරළ ආසන්න ව පදිංචි කළේ ය. රට අභ්‍යන්තරයට ද කල් යාමේදී ඔවුන්ගේ ජනාවාස පැතිරිණි. ඒ ඔවුන්ගේ තවලම් ගිය මාර්ග දිගේ ය. තවලමක් කොහි නතර වේ ද එතැන මුස්ලිම් ගම්මානයක් උපත ලැබී ය.
තවලම් යන්න මුස්ලිම් සංස්කෘතිය හා බැඳුණු වදනක් බව මා කියෙව්වේ ෂබිරි නම් ලේඛකයා ලියු ග්‍රන්ථයක ය. එය බේරුවල ඉස්මත් නම් ව්‍යාපාරිකයා මට තෑගි දුන් ග්රන්ථයකි. ඔහු මගේ පාඨකයෙකි. මා දිරි ගන්වමින් දුරකථන පණිවිඩ එවීම සිරිතක් කර ගෙන ඇත. මගේ ‘කර්ස්’ නම් ඉංගී්රසි නව කතාව ඔහු අගය කරයි.
මඩකළපුවට ආපසු යමු. අද මේ ප්‍රදේශයේ සියේට හැටක් පමණ ජනයා මුස්ලිම් හා ද්‍රවිඩ ජන කොටස් වලින් සැදුම් ලද බව පැහැදිලි ය. අපේ රටේ විවිධ ජන සංකීර්ණත්වය විචිත්‍ර පැදුරු මෝස්තරයක් හෝ රටාවක් වශයෙන් සලකන්නේ නම් ඒ රටාව වඩා රමණීය කරන්නට ප්‍රධාන ජන කොටස් පමණක් නොව යට කී කුඩා ජන කොටස් ද සම්මාදම් වී ඇති බව පෙනේ. ඒ විවිධත්වය ආශිර්වාදයක් වශයෙන් සැලකීමට පුරුදු වීම කාගේත් හිත සුව පිණිස වේ. එකිනෙකා සමඟ කා කොටා ගැනීමට වඩා එය යහපත්. එසේ ම බෞද්ධ චින්තනයට අදාළ විකල්පයක් නොවන්නේ ද?
Leave a Reply