රජ වාසලේ සිටි නිලමේවරු කීප දෙනෙක් අම්බුළුවාව කන්දට යන්ට රජතුමා එකඟ කරවා ගත්තා. අම්බුළුවා කන්ද මුදුනට ගියා ම වටපිටාව ලස්සනට පෙනෙනවා. කෙහෙල්පන්නල කුඹුරු යාය සාර සුබාවට පැතිරිලා තියන හැටි කඳු මුදුනට හොඳට පෙනෙනවා.
නිලමේවරු මේ ගමන සංවිධානය කළේ නිකම් නෙවෙයි. රජතුමාට කෙහෙල්පන්නල කුඹුරුයාය පෙන්නල ඒ ගම මහ වාසලේ ගබඩා ගමක් බවට පත්කිරීමට.
රාජ සභාවේ හිටපු ධනසේකර මුදියන්සෙට නිලමේවරුන්ගේ කුමන්ත්රණය දැනගන්නට ලැබුණා. උන්නැහේ මේ කතාව කෙහෙල්පන්නල ගම්මුන්ට දැන්නුවා.
ගම්මු එක්රැස් වුණා. ගම ගබඩා ගමක් බවට පත්වීම නවත්වා ගත යුතුයි. රාති්රය පුරා නිදිවරාගෙන ගම්මු වැඩ කළා.
කුඹුරු යායෙ නියරවල් වල මහ ගස් හිටෙව්වා. ලියැදිවල පැල් තැනුවා. දැන් ගම්මුන්ට සහතිකයි කෙහෙල්පන්නල එක යායට පැතිරුණු වෙල්යාය අම්බුළුවාව කන්දට හරිහැටි නොපෙනන බව.
පහුවෙනිදා රජ්ජුරුවො අම්බුළුවාව කන්දට ගියා. අම්බුළුවාවට පෙනෙන සුන්දර දර්ශනය දුටු රජතුමාට සතුටුයි. නිලමේවරු වෑයම් කළා කෙහෙල්පන්නල කුඹුරු යාය පෙන්නන්ට. ඒත් රජතුමාට එක දිගට පැතුරුණු කුඹුරු යායක් දකින්ට ලැබුණෙ නෑ. ගම්මුන් හිටවපු මහ ගස්, තනපු පැල්වලට කුඹුරු යාය මුවාවෙලා.
නිලමේවරුත් උත්සාහය අත්හැරියෙ නෑ. එක දවසක් කෙහෙල්පන්නල ගමේ ගමරාල කෙනෙක්ගේ වත්තේ හටගත් විශාල කෙසෙල් කැනක් දුටු නිලමේවරු මිනිසුන් හත් දෙනෙකු ලවා එය ඔසවාගෙන රජ වාසලට ගෙන ගියා. එසේ ගෙන ගියේ ඒ මඟින් ගමේ සරුසාර බව ඔප්පු කොට ගම ගබඩා ගමක් කරවන්ටයි.
නුවණක්කාර ගැමියෙක් මේ අය පසුපස ම හතිලමින් රජවාසලට දුවගෙන ආවා. කෙළින් ම රජතුමා හමුවීමට ගිය ගැමියා අනවසරයෙන් කඩාවැදීම ගැන රජුගේ දෙපා නමැද සමාව ඉල්ලුවා.
”දිවැස් වදාරන්ට දේවයන් වහන්ස. මහ වාසලට නිලමේවරු කුදලාගෙන ආවේ අපේ ගමේ වැසිකිළි වළක් ළඟ හිටවපු කෙසෙල් ගහක කෙසෙල් කැනක්. මම ආවේ ඔබ වහන්සේව මේ අවමානයෙන් බේරාගන්ටයි. එහෙම වුණොත් අපේ ගම රාජ උදහසට ලක්වේවි.”
නිලමේවරු මේ හැම දෙයක්ම කරන්නේ කෙහෙල්පන්නල ගම ගබඩා ගමක් බවට පත්කරවා ගන්න ම බවත් ගැමියා වැඳ වැටෙමින් රජතුමාට කිව්වා. ගැමියාට සවන්දීපු මහ රජතුමා කෙහෙල්පන්නල ගම ඉර හඳ පවතින තුරු ගබඩා ගමක් බවට පත් නොකරන බවට රාජ ආඥාවක් නිකුත් කළා.
නුවණක්කාර ගැමියා හිනාවෙමින් ගමට ගියා.
Leave a Reply