Posted by: lrrp | July 4, 2009

රට අත්තා

සල්ගල මහ මූකළාන මායිමේ පුහුල්වල කියන ගමේ හිතුවක්කාර කොලු ගැටයෙක් හිටියා. කොලුවා දඟකාරයි. ඒ වගේ ම මුරණ්ඩුයි. දවසක් කොලුවා ගේ ළඟ තිබුණු විශාල කොස් ගහකට නැග්ගා. වැඩිහිටි පිරිමිත් නගින්ට අදිමදි කරන සද්දන්ත කොස් ගහේ මුදුනට ම නැගපු කොලුවා තමන්ගෙ හපන්කම අනිත් අයට පේන්නත් එක්ක කෑ කෝ ගාන්න ගත්තා. මහ කොස් ගහේ ඉඳන් හපන්කම් පෙන්නන කොලුව දැකපු අම්මා කේන්තියෙන් කුල්ලකුත් අරගෙන ගහ යටට ගියා. උන්දැ කොහොමටත් කේන්ති කාරියක්. කොලුව හිතුවෙ අම්මා ආවෙ තමන් බිම දමන කොස් අවුලන්ට කියලයි. ඒත් ගහ යට ඉඳන් අම්මා කේන්තියෙන් මෙහෙම කිව්වා. “මං ආවෙ ගහෙං වැටෙන උඹේ ඇට කෝටු ඇහිදින්ට” කොලුවාගේ හිත හොඳටම රිදුණා. අම්ම කෑ කෝ ගහල යනකං ගහ මුදුනට වෙලා හිටපු කොලුව හෙමිහිට ගහෙං බැහැල හොරෙන්ම ගමෙන් පිටවෙලා යන්ට ගියා.

රෑ වෙනතුරු කොලුව ගෙදර නාපු නිසා අම්මා හොඳට ම බයවුණා. කොලුවගෙ අප්පච්චි අහළ පහළ ගම්වලටත් ගිහිං හෙව්වා. පණිවිඩ යැව්වා. ඒත් කොලුව හොයාගන්ට බැරිවුණා. කාලයක් ගතවුණා. ගමේ අයටත් කොලුව අමතක වුණා.

දවසක් පුහුල්වල ගමේ ගොයම් කැපිල්ලක් තිබුණා. මිනිස්සු කවි කියමින් විනෝදෙන් ගොයම් කැපුවා. කව්දෝ ඈතින් එන අමුත්තෙක් පෙන්නුවා. හැබෑමයි. කලිසන් කෝට් ඇඳගෙන තොප්පියකුත් දාගෙන. බස්තමකුත් අතින් ගෙන ආගන්තුකයෙක් ගමට එනවා. සුද්දෙක් වෙන්ටැති. බයවුණු මිනිස්සු දුවන්ට සැරසුණා. (ඒ කාලෙ අහිංසක ගැමියො සුද්දන්ට බයයි.)

’දුවන්ට එපා නැවතියල්ලා’ සුද්දා සිංහලෙන් කෑගෑවා. මිනිස්සු බය බිරාන්ත වෙලා ඉන්නැද්දි සිංහල සුද්දා තමන්ගෙ වංහුං කීවා.

කාලෙකට ඉස්සර ගමෙං ගිය කොලුගැටයා කොළඹ රටට ගිහිං දියුණු වෙලා සුද්දන්ගෙ ඇඳුම් ආයිත්තම් ඇඳලා සුද්දන්ගෙ රටටත් නැවෙන් ගිහිං ආවලු. ගමේ අයට හිතන්ටවත් බැරි දුරක් ගිය මේ නෑදෑයට ගමේ කොලු කුරුට්ටො කීවෙ ‘රට අත්තා’ කියලයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: