Posted by: lrrp | August 7, 2009

පුරාවිද්‍යා ස්‌මාරක මකර කටේ බලධාරීන් මර නින්දේ

ජාතික පුරාවිද්‍යා සතිය ගෙවී යන්නටත් මත්තෙන් පොළොන්නරු පෙදෙසින් අසන්නට ලැබුණේ පුරාවිදු ස්‌මාරක නරුම ලෙස වනසන ෙ€දනීය සිදුවීමක්‌ පිළිබඳවය.
දුටුගැමුණු රජ සමයට අයත් ඉපැරැණි දාගැබක්‌ විනාශ කොට ඒ මත අලුතින් නිවසක්‌ ඉදිකරන අපූරු පුරාවිද්‍යා සංරක්‌ෂණයකි.
මෙහි වඩාත්ම හද සසල කරවන කරුණ වන්නේ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම බෞද්ධ ආගමික ස්‌මාරකය වනසන අපරාධය හමුවේ ප්‍රදේශයේ අදාළ පුරාවිද්‍යා බලධාරීන් නිහඬ නපුංසක පිළිවෙතක්‌ අනුගමනය කිරීමය.

පොළොන්නරුවේ, කදුරුවෙල, මානික්‌කම්පට්‌ටිය ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි දුටුගැමුණු රජ සමයට අයත් යෑයි සැලකෙන මෙම ඉපැරැණි දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇත්තේ බොහෝ කලකට පෙර පටන්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරැණි සිතියම්වල පවා මෙම ස්‌ථානය ඇතුළත් බව කියති. එහි දාගැබක්‌ පමණක්‌ නොව ප්‍රදේශය පුරා විසිරී පැවැති බෞද්ධ ආගමික පරිසරයක්‌ තිබෙන්නට ඇති බවත්, මෙය ඉඳුරාම බෞද්ධ විහාර ආරාම සංකීර්ණයක ලක්‌ෂණ බවත්, පුරාවිද්‍යා දැනුමැත්තන්ගේ මතය වී තිබේ. කෙසේ වුවද දැනට ශේෂ වී ඉතිරිව පවත්නා ඉපැරැණි දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්ම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ඇල්ම බැල්මට ලක්‌වී දශක ගණනාවකි.

මෙම බෞද්ධ ආගමික සිද්ධස්‌ථානය පළාතේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වය හෝ නිරන්තරයෙන් ඇස ගැටෙන ස්‌ථානයක්‌ බවට පත් නොවීමට හේතුව වී ඇත්තේ ඒ අවට දැනට ජීවත් වනුයේ මුස්‌ලිම් ප්‍රජාව වීමය.
එසේ වුවද දුරාතීතයේ මෙම ප්‍රදේශය බෞද්ධ ආගමික පරිසරයකට අයත්ව තිබූ බවට සාක්‌ෂි සාධක එමටය.
මහවැලි ගඟට ආශ්‍රිතව පිහිටි මෙම මහවැලි නිම්නයේ එදා දුටුගැමුණු මහ රජතුමන් යුද සේනා සමග පැමිණ කඳවුරු බැඳගත් බව වංශකථාවන්හි සඳහන් වේ. එකල කන්දවාරපිට්‌ඨ§ නමින් හැඳින්වී පසුව කඳවුරු පෙදෙස, කදුරුවෙල නමින් පසු කාලයේ ව්‍යවහාර වන්නට ඇති බවත් විශ්වාස කෙරේ.

කෙසේ නමුදු ඉතිහාසයෙහි සඳහන් වන අන්දමට එළාර, දුටුගැමුණු යුද්ධයේදී තීරණාත්මක සටන් බිමක්‌ වූ මහවැලි ගඟෙන් මෙගොඩ පිහිටි මෙම බිම දුටුගැමුණු මහ රජතුමන්ට යුද ජයග්‍රහණය සඳහා විශාල වශයෙන් මහෝපකාරී වූ බව කියෑවේ. එම යුද ජයග්‍රහණයන්ගෙන් පසුව රට එක්‌සේසත් කොට අනතුරුව බෞද්ධ ජනයාට වන්දනාමාන කිරීම සඳහා මෙම දාගැබ තැනවූ බවටද ජනප්‍රවාදයක්‌ පවතී.

රජ දවසින් පසුව වල්බිහිවී ජන ශූන්‍යව පැවැති මෙම බිමට කාලයාගේ ඇවෑමෙන් ජනයා නැවත සංක්‍රමණය වීමත් සමග විවිධ ජන කොටස්‌ එහි පදිංචි වූහ. ඒ අනුව දැනට එම ප්‍රදේශයේ වැඩිපුරම ජීවත් වන්නේ මුස්‌ලිම් ජනතාවය. එසේ වුවද දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔවුන් විසින්ද මෙම වටිනා බෞද්ධ ස්‌මාරකය ආරක්‌ෂා කළ බව මෙහිදී සඳහන් කළ යුතු වේ.

කුමන ආගමකට සංස්‌කෘතීන් නියෝජනයකට අයත් වූවද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්‌ථාන, ස්‌මාරක ආරක්‌ෂා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු යුතුකම සහ වගකීමකි.
එසේ වුවද පොළොන්නරුවේ පුරාවිද්‍යා නිලධාරීන් එම රාජකාරි වගකීමක්‌ අමු අමුවේ පැහැරහැර ඇති බවක්‌ මෙම ඉපැරැණි දාගැබ වනසන්නට ඉඩහැර තිබීමෙන් පැහැදිලි වේ.

ගඩොලින් තැනූ මෙම අගනා ස්‌ථූපයෙහි විශාල කොටසක්‌ කඩාබිඳ විනාශ කොට ඒ මත අලුතින් නිවසක්‌ ඉදිකිරීම යනු එක්‌ රැයකින් හෝ දවසකින් දෙකකින් කළ හැකි කාර්යයක්‌ නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අදාළ පුරාවිද්‍යා නිලධාරීන් අඩුම තරමින් මසකට, දෙකකට වරක්‌ වත් මෙම ස්‌ථාන නිරීක්‌ෂණය කිරීමේ සිරිතක්‌ පවත්වාගෙන යන්නේ නම් මෙහි සිදුවන්නට තිබූ විනාශයක්‌ වළක්‌වා ගත හැකි බව අපගේ හැඟීමයි.

එහෙත් ගෙවුණු පුරාවිද්‍යා සතියේ (ජුලි 07 – 13) අසන්නට ලැබුණු දුටුගැමුණු රජ සමයට අයත් දාගැබට හානි සිදුකොට ඒ මත නිවසක්‌ ඉදිකිරීමේ මහා අපරාධය සම්බන්ධයෙන් පොළොන්නරුවේ අදාළ පුරාවිද්‍යා බලධාරීහු එතරම් සංවේදී බවක්‌ පෙනෙන්නට නොතිබිණි. මෙම විනාශය වැළැක්‌වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් දැනුවත් කිරීම තබා මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස්‌ ස්‌ථානයේ පැමිණිල්ලක්‌ කිරීමටවත් ඔවුහු පියවර ගෙන නොතිබුණු බැව් කනගාටුවෙන් වුවද මෙහිලා සඳහන් කළ යුතුය.

මේ පිළිබඳව අප පොළොන්නරුවේ පුරාවිද්‍යා කාර්යාලයේ ගවේෂණ නිලධාරි මහතෙකුගෙන් මෙම අපරාධය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක්‌ කිරීමටවත් පියවර නොගන්නේ මන්දැයි විමසූ විට ඔහු කියා සිටියේ එය තමන්ට අයත් රාජකාරියක්‌ නොවන බවත් එය අසවල් කලාප භාර පුරාවිද්‍යා නිලධාරියාට අයත් කටයුත්තක්‌ බවත්ය. ඔහු විසින් හැඳින්වූ එම කලාප භාර නිලධාරියාගෙන් කළ විමසීමේදී ඔහුගේ පිළිතුර වූයේ එය තමන්ට නොව පෙර සඳහන් කළ නිලධාරියා සතු වගකීමක්‌ බවය. කෙසේ නමුදු ඉකුත් බදාදා (15 දා) දහවල් වන තෙක්‌ එම පුරාවිද්‍යා විනාශය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය දැනුවත්ව සිටියේ නැත.

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ එම හානිය පිළිබඳ කිසිදු තොරතුරක්‌ තමන් වෙත වාර්තා වී නොමැති බවය.

දුටුගැමුණු රජ සමයට අයත් එම දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට බොහෝ කලකට පෙර හඳුනා දෙපාර්තමේන්තුවේ අධීක්‌ෂණය යටතේ පවතින ස්‌ථානයක්‌ බවද ඒ මහතා කීය. එම දාගැබට මෑතකදී සිදුකර ඇති විනාශය පිළිබඳ දැනුම්දීම සම්බන්ධයෙන් සිය ස්‌තුතිය පළකළ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා දැනට එහි සිදුවන විනාශයන් වැළැක්‌වීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට නොපමාව දැනුම් දෙන බවද කීවේය. එහෙත් පොළොන්නරුවේ මෙම ඉපැරැණි දාගැබට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා දැනුවත් වීමෙන් පසුව හෝ ප්‍රදේශයේ පුරාවිද්‍යාව භාර වගකිවයුත්තන් දාගැබට සිදුකළ හානියේ තරම සොයන්නට මැදිහත් වූ බවක්‌ දැනගන්නට නොමැත. ඊට කදිම සාධකය වන්නේ මෙම අපරාධය පිළිබඳව පොලිස්‌ පොතේ පැමිණිල්ලක්‌ තරම්වත් කරන්නට ඔවුහු පියවර නොගැනීමය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාලයක්‌, කාර්ය මණ්‌ඩලයක්‌ පොළොන්නරුවේ පැවැතියද පුරාවිදු ස්‌මාරක, පෙති පිළිම, දාගැබ් විනාශයන් සිදු වන්නේ ඇසිදිසි මානයේ ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුරකරුවන්, රැකවලුන් යොදා රක්‌ෂා කරන ඉපැරැණි පොළොන්නරු පුදබිමේ ඓතිහාසික පබළු වෙහෙරෙහි බුදු පිළිමයේ සිරස්‌පත නිධන් සොරුන් පැහැරගෙන යැම ඊට ආසන්නතම නිදසුනකි.
පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය අභිමුව පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්‌ථාන රැසක්‌ පසුගිය කාලයේ නිධන් හොරුන් අතින් විනාශ වූයේ මහ දවල්ය.

පොළොන්නරු පැරකුම් සමුදුරේ උතුරු දිසාවට වන්නට පිහිටා තිබෙන විහාර ආරාම සංකීර්ණයක ශේෂ වූ ස්‌මාරක මහ පැරකුම්බා රජ දවස ඉදි කරන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කෙරේ.

පසුගිය කාලයේ බැකෝ යන්ත්‍ර ආදිය උපයෝගි කරගෙන කර තිබූ අතිමහත් විනාශයන් හද සසල කරවන සුළුය.
මේ කිසිදු විනාශයක්‌, අපරාධයක්‌ සම්බන්ධයෙන් මෙතෙක්‌ සිදු කෙරුණු විධිමත් පරීක්‌ෂණයක්‌ හෝ අනාවරණයක්‌ නොමැත.
ඉහතින් සඳහන් කළ පරාක්‍රම සමුද්‍රයේ වැව් තෙර උතුරු දිසාවේ වන ඉපැරැණි බෞද්ධ ස්‌මාරකවලට නුදුරු දිනයකද හානි සිදුකර ඇති බැව් පසුගියදා එහි ගිය මොහොතේදී දැකගත හැකි විය. මහල් කිහිපයකින් සැදුම්ලත්ව තිබෙන්නට හැකි බවට අනුමාන කළ හැකි එම විහාර ආරාම සංකීර්ණයේ නැගෙනහිර වාහල්කඩෙහි වූ වටිනා සඳකඩ පහනක්‌ මුලින්ම උගුලුවා කණින ලද විශාල වළකට දමා තිබේ. එම ස්‌ථානයේ මීට පෙරදී දක්‌නා ලද ඉපැරැණි කොරවක්‌ගල් ආදිය වර්තමානයේ එහි නොතිබූයෙන් පැහැදිලි වන්නේ දැනටද එය නිධන් හොරුන්ගේ සහ පුරාවස්‌තු කොල්ලකරුවන්ගේ පාරාදීසයක්‌ බවට පත්ව ඇති බවය.

පොළොන්නරු පුර, පරිසරයේ සෑම තැනකම පාහේ දකින්නට ලැබෙනුයේ නොසලකා හැර ඇති පුරාවස්‌තු ස්‌මාරක පිළිබඳවය.
දැකගත හැකි විය. මහල් කිහිපයකින් සැදුම්ලත්ව තිබෙන්නට හැකි බවට අනුමාන කළ හැකි එම විහාර ආරාම සංකීර්ණයේ නැගෙනහිර වාහල්කඩෙහි වූ වටිනා සඳකඩපහණක්‌ මුලින්ම උගුලවා කණින ලද විශාල වළකට දමා තිබේ. එම ස්‌ථානයේ මීට පෙරද දක්‌නා ලද
ඉපැරැණි කොරවක්‌ගල් ආදිය වර්තමානයේ එහි නොතිබූයෙන් පැහැදිලි වන්නේ දැනටද එය නිධන් හොරුන්ගේ සහ පුරාවස්‌තු කොල්ලකරුවන්ගේ පාරාදීසයක්‌ බවට පත්ව ඇති බවය.
පොළොන්නරුව පුරා පරිසරයේ සෑම තැනකම පාහේ දකින්නට ලැබෙනුයේ නොසලකා හැර ඇති පුරාවස්‌තු ස්‌මාරක පිළිබඳවය.
නිශ්ශංක රාජ සභා මණ්‌ඩපයට නුදුරින්, පොළොන්නරු තානායමේ පිළිකන්නේ අතහැර දමා තිබූ අනුරාධපුර යුගයට අයත් ඉතා දුර්ලභ සඳකඩපහන වැවට දිය නෑම සඳහා පැමිණි පිරිස්‌ මෑතක්‌ වන තුරුම ප්‍රයෝජනයට ගනු ලැබුවේ රෙදි ඇපිල්ලීම සඳහා ය.
අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහන් පොළොන්නරුවේ ඇත්තේ දෙකක්‌ බවද කියති.

වර්තමානයේ පුරාවිද්‍යා බිමට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස මහ පැරකුම්බා රජ දවස පුවත් හෙළිකරන අගනා සෙල් ලිපියක්‌ ඉපැරැණි නගර බැම්ම පාමුල වනගතව තිබෙනු දැකිය හැක.
මහත් අභිමානයකින් සිහිපත් කළ හැකි ප්‍රෙෘඪ ඉතිහාසයක විශිෂ්ට උරුමයන් වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ නොනැසී පැවැතියද වර්තමානයේ මෙසේ දෑස්‌ අභිමුව වනසන්නටත්, වැනසෙන්නටත් ඉඩහැර තිබීම හද සසල කරවන දසුන්ය.
නිර්මල බුදු දහමේ ජීව ගුණය විහිදුවන බෞද්ධාගමික පරිසරයේ බොදු උරුමයන් රුපියල් ශතවලට විකිණෙමින් වෙන්දේසි වෙමින් පැවැතීම ජාතියේම අවාසනාවකි.

ඓතිහාසික ගල් විහාර පූජනීය පරිසරය තුළට පිවිසෙන බැතිමතුන්ගේ දෑස්‌ පළමුව දකින්නේ කලබලකාරී සති පොළක්‌ බඳු වූ වාණිජ පරිශ්‍රයකි. එහිදී වන්දනාකරුවන් මුලින්ම එම වෙළෙඳ කලාපය තරණය කර ගොස්‌ දෙවනුව බුදුන් වැඳීම කළ යුතුය. මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක්‌ බඳු වූ ඓතිහාසික ගල් විහාර භූමියේ නොව කුමන ආගමික ස්‌ථානයක වුවද නිර්මාණය නොවිය යුතු වාණිජ පරිසරය මෙහි බොහෝ කලක සිට මුල් බැසගෙන තිබේ.

මෙහි වෙළෙදාම් කර ජීවනෝපායන් පවත්වාගෙන යන පිරිසටද අවහිරයක්‌ නොවන ලෙස මෙම වෙළෙඳසල් කිසියම් ක්‍රමයකට පිහිටුවා මෙහි දැනට තිබෙන අසුන්දර පරිසරය වෙනුවට සුන්දර පරිසරයක්‌ නිර්මාණය කිරීමට අදාළ බලධරයන් පියවර නොගැනීම බලවත් අඩුපාඩුවකි.
මේ අයුරින්ම ඓතිහාසික තිවංක පිළිම ගෙය බෞද්ධ ස්‌මාරක පරිසරය තුළද වන්දනාකරුවන් මුහුණදෙන ප්‍රශ්නයකි. පිළිමගෙය තුළටම පැමිණ වෙළෙදාම් කිරීම පුරාවිද්‍යා පොත්පත් ප්‍රකාශන අලෙවි කරන වෙළෙඳුන් එම කටයුතු අවට පරිසරය තුළ පමණක්‌ වන්දනාකරුවන්ට හිරිහැර නොවන ලෙසින් කරන්නේ නම් එය පුදබිමටද ගෞරවයක්‌ බව බැතිමත්හු පෙන්වා දෙති.

කෙසේ නමුදු පොළොන්නරු පුදබිම තුළ බෞද්ධ ආගමික පරිසරය සුරැකෙන වටපිටාවකට වඩා මිල මුදලට මුල්තැන දෙමින් කටයුතු කෙරෙන බැව් ඉහතින් දැක්‌වූයෙමු. රාජ්‍ය මූලික ආයතන පවා මෙම පින්බිමට ඇතුළුවීමටද මුදල් අය කෙරෙයි. එසේ වුවද මෙහි පුරාවිද්‍යා ස්‌මාරක සුරැකීමට හෝ එහි පැවැත්ම සඳහා කිසිදු පියවරක්‌ නොගැනීම ඉතාමත්ම කනගාටුවට කරුණකි. සරල උදාහරණයක්‌ ලෙස ගෙනහැර දක්‌වතොත් කිරි වෙහෙර, රංකොත් ආදී අමිල ස්‌ථූපයන් මත පවා දැන් ඇසතු, බෝපැළ ආදී ශාක වර්ග වැඩෙමින් පවතී.

එපමණක්‌ නොව පුරා පරිසරයට පිවිසීම සඳහා සංස්‌කෘතික ත්‍රිකෝණය මගින් දෙස්‌, විදෙස්‌ සංචාරකයන් වන්දනාකරුවන් රැගත් වාහනවලින් මුදල් අය කරනු ලැබූවද එම වාහන දිවෙන මාර්ග බොරළු ටිකක්‌ දමා හෝ වළවල් වසා පිළිසකර කරදීමට පියවර ගෙන නැත.
මෙසේ මුදල් අය කිරීමටත් නිසි පරිදි ප්‍රවේශපත් ලබාගෙන ඇත්දැයි පිරික්‌සීමටත් සතර වාහල්කඩෙහි රැකවලුන් යොදා සිටියද නීති විරෝධී අන්දමින් හොර රහසේ මේ බිමට දිනපතා ඇතුළු වන පිරිස්‌ අනන්තවත් සිටිති. පින්බිම කෙළෙසන නොයෙකුත් අන්දමේ අපචාර ක්‍රියාවන් මෙහි කොතෙකුත් සිදු වුවද ඒවා වැළැක්‌වීමට හෝ අවම කිරීමට පියවර ගන්නට කිසිවකුත් මෙහි නොමැත.

පුරාවිද්‍යා පරිසරයේ සුන්දරත්වය ඔපවත් කරමින් එහි ජීවත් වන අහිංසක මුවපොව්වන් දිනපතාම පාහේ මස්‌ වැද්දන්ට ගොදුරුවීම සුලබව සිදුවන්නකි. මර උගුල් අටවා, මදුගසා එම සතුන් ගොදුරු කර ගැනීම් දිනපතාම සිදු වේ. මින් ඉහතද අප්‍රමාණව සඳහන් කර ඇති බරපතල පරිසර විනාශය දෑසින් දකින්නට මෙහි පැමිණෙන කිසිදු වගකිවයුත්තෙක්‌ නොමැති කල රිසිසේ තම කටයුතුවල සුපුරුදු ලෙසින්ම නිරතවීම එම විනාශකාරීන් වෙත පැවරී තිබේ.

එසේ නමුදු මෙය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙසට පමණක්‌ නොව වනජීවී දෙපාර්තමේන්තුවද වගකියන අභය භූමියක්‌ ලෙසද ප්‍රකටය. එහෙත් පුරාවිදු ස්‌මාරකත් වනපෙතත්, එහි වෙසෙන වන සතුනුත් දිනෙන් දිම උග්‍රවන විනාශය අභිමුව මරළතෝනි නඟමින් සිටිති. එය ඇසෙන උන්ද නෑසූකන් ඇතිව සිටීම මුළුමහත් ජාතියේම අවාසනාවකි.

මෙරට රාජාවලියේ රට එක්‌සේසත් කළ මහා නරපතියන් අතර දුටුගැමුණු මහ රජතුමන්ටද හිමි වනුයේ ඉතිහාසයේ අද්විතීය ස්‌ථානයකි.
වර්තමානයේද දුටුගැමුණු මහ රජතුමන් පිළිබඳ යළි මතකය අලුත් කරනු බොහෝ විට අසන්නට ලැබේ.
එසේ නමුදු දුටුගැමුණු මහ රජුගේ ඓතිහාසික යුද ජයග්‍රහණයන්හි තීරණාත්මක සටන් බිමක්‌ පොළොන්නරු බිමේ මහවැලි නිම්නයෙහි දුටුගැමුණු රජ සමයට අයත් ඉපැරැණි දාගැබ වර්තමානයේ ඇතැමෙකුට නොවටිනා ගඩොළු ගොඩක්‌ වන්නට පිළිවන. ඉපැරැණි ගඩොළු ගලවා විනාශ කරදමා ඒ මත අලුතින් ගොඩනැඟිලි තනන්නට පියවර ගෙන ඇත්තේ එමනිසා වන්නට පිළිවන.

එහෙත් මෙවැනි විනාශයන්, අපරාධ රටේ කොතැනක වුවද සිදුවන විට ඒවා මැඬලන්නට වැළැක්‌වීමට රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් ආයතන අප රටේ කොතෙකුත් තිබේ. ප්‍රස්‌තුත කාරණයේ දී විශේෂයෙන්ම වගකීමක්‌ පැවරී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බව අමුතුවෙන් කිවයුතු නොවේ.
එහෙත් පොළොන්නරුවේ පුරාවිද්‍යා වගකිවයුත්තන් එම විනාශය, අපරාධය පිළිබඳ අනුගමනය කර ඇත්තේ නිද්‍රdශීලී පිළිවෙතක්‌ බව පැහැදිලි වූ කරුණකි.

දුටුගැමුණු රජ සමයට අයත් ඉපැරැණි දාගැබට මෑතකදී සිදුකළ විනාශය පමණක්‌ නොව ගෙවුණු කාලපරිච්ඡේදයේ තවත් බොහෝ පුරාවිදු විනාශයන් හමුවේ මෙහි බොහෝ නිලධාරීන් නිහඬ පිළිවෙත් අනුගමනය කළ බවද නොරහසකි.
එහෙයින් පොළොන්නරුවේ මෙම පුරා වස්‌තූන්වලට ඓතිහාසික පුදබිම් ස්‌මාරකවලට සැබෑ ලෙසම ආදරය කරන නිලධාරීන් පිරිසකගේ අවශ්‍යතාව මීට පෙරද අවධාරණය කර ඇත්තෙමු.

එසේ නොවී දිගින් දිගටම මේ අයුරින් මෙම අගනා ඓතිහාසික ජීවමාන සාධකයන් බඳුවූ උරුමයන්හි ආරක්‌ෂාව තවදුරටත් අයාලේ යන්නට ඉඩහැරීම නූතනයේ යළිත් කෲර මාඝලාට කිරුළු පැළඳවීමකි.
එහෙයින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඇතුළුව අදාළ වගකිවයුත්තන්ගේ සහ ඒ පිළිබඳ දැනුමැත්තන්ගේ වගකීම වනුයේ ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවත්නා මහා විනාශයන් වළක්‌වා ගැනීම සඳහා නිසි පියවර ගැනීමය. එසේ නොකළහොත් මතු පරපුර උදෙසා රැකෙන්නට මේ රටේ පුරාවස්‌තු ඉතිරි නොවනු ඇත.

Advertisements

Responses

  1. මේ ගැන අදාල බලධාරීන් දැනුවත් කරනු ලැබුවෙමි. මේ පිළිඹද විස්තර පළ කිරීම පිළිඹදව කෘතහස්ථ වෙමි. නමුත් මේ සදහා ගන්නා පියවර සම්බන්දව විමසිලිමත් වීම මිස කලහැකි යමක් දැනට නොමැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: