Posted by: lrrp | August 12, 2009

ගැමුණු කුමරු සැඟවී සිටියේ කොත්මලේ කොහිද?

දුටුගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේ සැඟවී සිටි බැව් බොහෝ දෙනකු දන්නා කරුණකි. එයිනුත් බොහෝ දෙනකු දන්නේ එම කුමරු කොටගෙපිටිය ගමේ ගොවිකුල නිවසක සැඟවී සිටි බවය. මෙය වැඩියෙන් පතල වීමට හේතුවී ඇත්තේ ඒ ගැන ලියු කියූ වැඩි දෙනකු ගොවි කුලයට අයත්වීම හෝ ඔවුන් අවශ්‍ය තොරතුරු ගොවිකුල ජනතාවගෙන්ම ලබා ගැනීමය. එම තොරතුරුවලට අනුව කොටගෙපිටිය ගමේ නිවසේ සිටි දෙසොහොයුරියන් කළුමැණිකා සහ රන් මැණිකාය.

තවත් ජනප්‍රවාදයක දැක්‌වෙන පරිදි ගැමුණු කුමරු සැඟවී සිට ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේම වූද ගොවි කුලයේ ජනයා නොවසන්නා වූද මාස්‌වෙල ගමේ සිංහල පේළිගෙදර පෙළපතේ නිවසකය. කුමරු මෙම නිවසේ ගව පට්‌ටිය බලා ගනිමින් වගා වැඩවලටද උදව් කළේය. අලුත් වාරි මාර්ගයක්‌ද ඉදිකරමින් දැනට රජතලාවෙල නමින් හැඳින්වෙන සිංහල පේළි ගෙදර පෙළපතේ වෙල් (කුඹුරු) යාය අස්‌වද්දන ලද්දේ මෙම කුමරුන් විසිනි. ගැමුණු කුමරු, මෙම නිවසේ සිටි සිරිවලී සහ කළී (කළු) යන තරුණියන් දෙදෙනාටම පෙම් කළේය. රාජපුරුෂයන් තමන් සොයා මාස්‌වෙල ගමට පැමිණි බව දැනගත් කුමරා, සමීපයේ වූ උස්‌ කන්දක්‌ සමීපයේ පිහිටි ගල් ලෙනක රාත්‍රි කාලය ගත කරන්නට පුරුදු විය.

ගැමුණු කුමරු අස්‌සැද්දූ රජතලාවෙල වෙල් යාය අන්තිමට අයත්ව සිටි සිංහල පේළිගෙදර පෙළපතේ උක්‌කුවා, සරණ සහ කුඩාදරයා යන අය විසින් පෙළපතෙන් බැහැර වෙනත් අයට මෑතදී එකී වෙල (කුඹුර) විකුණනු ලැබ ඇති බැව් දැනගන්නට ඇත.

සමහරවිට මේ ජනප්‍රවාද දෙකේම සත්‍යයන් ගැබ්වී තිබෙනවා විය හැකිය. එසේ නොමැතිව සත්‍යය ගැබ්වී ඇත්තේ එක ජනප්‍රවාදයක පමණක්‌ නම් එය දෙවැනිව දක්‌වා ඇති මාස්‌වෙල ගම හා බැඳි ජනප්‍රවාදය වන්නටද බැරි නැත.

අතීතයේ ආර්ය රජකුමරුවන් බොහෝවිට සැඟවී සිටියේ, ආර්යයන් විසින් පහත් යෑයි සලකන ලද කුලවලට අයත් ගම්වලය. එයින්ද ඉතා පහත් යයි සලකන ලද කුලවලට අයත් ගම් රජකුමරුවන්ට සැඟවී සිටීම සඳහා ඉතා ආරක්‍ෂා සහිත ස්‌ථාන විය. මන්ද, රාජපුරුෂයන් බොහෝ දෙනා උසස්‌ යයි සම්මත ආර්යයන් වූ හෙයින් ඔවුන් පහත් යයි සම්මත කුලවලට අයත් ගම් ඇසුරු කිරීමක්‌ වැඩිපුර සිදුනොවූ හෙයිනි. තවද උසස්‌ යයි සම්මත කුලයක කෙනකු විශේෂයෙන් රාජකුමාරයකු පහත් යයි සම්මත කුලයකට අයත් ගමක සැඟවී සිටී යයි කිසිවකුත් නොසිතන හෙයිනි. මේ අනුව මාස්‌වෙල ගම සැඟවෙනු කැමැති රජ කුමරකු විසින් තෝරා ගැනීමේ ප්‍රවණතාව වැඩිය.

මෙරට සිංහල ජාතිය ඇරැඹුණේ විජය ප්‍රමුඛ ආර්යයන්ගෙන් යයි වංශ කතාකරු කීවද, විජය උපදින්නටත් පෙර සිට මේ රට සඳහා “සිංහලද්වීප” යන නම යෙදී තිබුණු බව දැන් බොහෝ දෙනකු දන්නා කරුණකි. සිංහයා සිය ලකුණ කොට ගැනීම නිසා හෝ වෙනත් කරුණක්‌ නිසා හෝ සිංහල ජාතියට ඒ නම ලැබුණා විය හැකිය. විජය ප්‍රමුඛ ආර්යයන් එද්දී මේ රටේ බලයේ සිටියා වූද, අනාර්ය යක්‍ෂගෝත්‍රයට අයත් වීමේ හේතුව නිසාම එකී ආර්යයන් විසින් කුලයක්‌ වශයෙන් පහත හෙළන ලද්දා වූද පිරිසකට ඇතුළත් වන පේළිගෙදර පෙළපත “සිංහල” නමින් හැඳින්වීමෙන් පෙනී යන්නේද සිංහල ජාතිය විජයට පෙර සිට මෙහි පවතින බවය.

ආර්යයන්ට විරුද්ධව ක්‍රියා කළ යක්‍ෂයන්ගේ ගෝත්‍රය ආර්ය පිරිසේ පහත්ම කුලයටත් වඩා පහත් කුලයක්‌ සේ සලකන්නට පටන් ගත් හෙයින් එකී කුලයේ ගමක්‌ ගැමුණු කුමරුට ආරක්‍ෂා සහිතව සැඟවී සිටින්නට, වඩා සුදුසු වූ බැව් පෙනේ. රජ කුමරකු සිය නිවසේ නවත්වා ගැනීම නම්බුකාර ක්‍රියාවක්‌ සේ එදාද සැලකිණි. පීඩිතයන් සතුව තිබුණු මේ නම්බුව, ඔවුන් සතුව තිබුණු රජතලාවෙල වෙල්යාය සේම, පසු කලකදී බලවතුන් සතුවී ඇති බැව් සිතිය හැකිය. ඉහත ප්‍රථමයෙන් දක්‌වන ලද ජනප්‍රවාදයේ සඳහන් රජතලාවෙලත්, පසුව දක්‌වන ලද ජනප්‍රවාදයේ සඳහන් රජතලාවෙලත් වෙල් (කුඹුරු) යායවල් දෙකක්‌ නොව එකක්‌ වන හෙයින්, මේ ජනප්‍රවාද දෙකේම මූලය එකක්‌ විය යුතුය. එසේ වූ විට වෙල්යාය මුලින් හිමිව තිබූ සිංහල පේළිගෙදර හා බැඳී ඇති ජනප්‍රවාදය සත්‍ය සේ පිළිගන්නට සිදුවේ.

කුමක්‌ සත්‍ය වුවත් මේ ජනප්‍රවාද දෙකෙන් අපට සිතාගත හැක්‌කේ ගැමුණු බිසව රජකුලයෙන් බැහැර කාන්තාවක්‌ වූ බවයි. රජකුලයෙන් බැහැර සාමාන්‍ය පවුල්වලින් උදව් උපකාර ලබමින් දීර්ඝ කාලයක්‌ සිටි ගැමුණු කුමරු, කෘතගුණ සැලකීමක්‌ද වශයෙන් මෙවැනි ආවාහයක්‌ කර ගත්තා විය හැකිය. තම පුත් සාලිය කුමරු අසෝක මාලාවන් ආවාහ කර ගැනීම ගැන විරුද්ධවන්නට ගැමුණු රජුට නොහැකි වූයේද තම ආවාහය නිසාම විය හැකිය. තවද සාලිය කුමරුගේ ක්‍රියාව “ආරේ ගුණ නෑරේ” යන්න පසක්‌ කරන්නක්‌ද විය හැකිය. කෙසේ හෝ ගැමුණු රජුගේ ක්‍රියාවෙන් රජකුල සම්ප්‍රදායක්‌ කැඩුණත් එම රජුගෙන් රටට, ජාතියට, ආගමට සිදුවූ මහා මෙහෙය සලකා රජකුල සම්ප්‍රදාය කැඩීම ජනතාව ගණන් නොගත් සේ පෙනේ. එහෙත් ඉතා අන්තවාදී සහ පක්‍ෂග්‍රාහී ගතියක්‌ ප්‍රදර්ශනය කර ඇති වංශකතාකරු, රජුගේ ආවාහය මහා අවනම්බුවක්‌ සේ සැලකූ හෙයින් හිතාමතාම ඒ ගැන සඳහන් කර නැත. ගැමුණු රජුගේ දසමහ යෝධයන් ගැන පවා දීර්ඝ විස්‌තර ලියූ වංශකතාකරු, ගැමුණු බිසව රජකුල කාන්තාවක්‌ වූයේ නම් ඇය ගැන නොලියා සිටීද? ඕනෑම හොඳ පුද්ගලයකු තුළ දුර්වල අංශයක්‌ද තිබිය හැක. දුටු දුටු කතට පෙම් කිරීම ගැමුණු කුමරුගේ දුර්වල අංගයක්‌ වූ බැව් පෙනේ. එහෙත් අනින ගොනා වැඩට හොඳ බැව් ගැමුණු කුමරු ඔප්පුකර ඇත.

අයි. ගුණරත්න

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: