Posted by: lrrp | August 16, 2009

වවුනියාවේ පුරාවත

‘වැව්නිබාව‘ යනුවෙන් හැඳින්වෙන්නේ වවුනියාවයි. මේ දිස්ත්‍රික්කයේ කුඩා වැව් මහ වැව් ඇතුළු වැව් එකදාස් එක සියයකට මදක් වැඩියෙන් ඇති බව සමීක්ෂණවලින් හෙළිවේ. පුරාවිද්‍යා ගවේශක පී. වීරසිංහ මහතා ඒ ප්‍රමාණය 1440 ක් බව ඔහුගේ නාගයන්ගේ පාසටහන් පොතේ සඳහන් කර ඇත. වැව්නිබාව, වවුනියාව වූවත් අතීතයේ වවුනියාව හැඳින්වූයේ කඩුබලගම යනුවෙනි. ඒ කාලවකවානුව ලංකාවේ දින නියම කළ හැකි ඉපැරැණි ම සෙල්ලිපි වවුනියාවේ පිහිටා ඇත. ක්‍රි.පූර්ව 210 – 200 අතර ගණන්වල ලියැවී ඇති සෙල්ලිපිවලින් එය සනාථ වේ. ඒ සෙල්ලිපිය වවුනියාවේ ‘නීරාපය’ යන ප්‍රදේශයේ පිහිටා ඇත.

කඩුබලගම යනුවෙන් හැඳින් වුවත් පසුකලෙකට අයත් වන කඩඉම් පොත්වල ‘බලතඩි’ රට වෙනුවෙන් හැඳින්වූයේ ද මේ ප්‍රදේශයයි. වවුනියාවේ මල්මඩුව, රුවන්මඩුව , බණකිව්වැව, වෙහෙර බැන්ද වැව, වැනි විසිතුරු ග්‍ර‍්‍රාම නාම කීපයක් ද අද පවා දක්නට ලැබේ. තවද අතීතයේ සිංහල ගම්වල නම් අමු අමුවේ දෙමළ වී ඇත. නමුත් අදටත් මේ ගම්වල ජීවත්වන්නේ සිංහලයන් යැ. ‘නෙඩුන්කුලම’ මෙහි සිංහල තේරුම දික්වැව, කාටුමාන්කුලම, කැලෑමුවවැව, ඔයිල්කුලම, මොණරවැව ආදී වශයෙන් ගත්තත් එම ග්‍රාම වල අදටත් ජීවත්වන්නේ සිංහලයන්යැ. නමුත් වරින් වර ඇතිවූ දමිළ ආක්‍රමණික නිසා ඒ නම් එසේ වෙනස් වන්නට ඇත.

වවුනියාව නගරයේ සිට හැතැප්ම 10 ක් පමණ ඊසාන දෙසින් පිහිටි කටාරම් කෙටූ හා නොකෙටූ ගුහා සියයකට අධික ඉපැරණි ලෙන්, කුඩා ථූප, සිරිපතුල්ගල්, හිටි බුදු පිළිම සහ ආසන ඝරයක් සහිත ආරණ්‍ය පෙදෙසක් වේ. ඒ ප්‍රදේශය මහ කවිචකොඩිය, එරූපතාන, පෙරියපුලියන්කුලම්, බලය හා නිරාවිය යන කුඩා කඳු ගැට සහ ගල් පර්වත සහිත ආරාම පෙදෙස වර්ග සැතැප්මක පමණ ප්‍රදේශය පුරා පැතිරි පවති. මේ විශාල ආරම පෙදෙසෙහි ක්‍රි.පූ. බ්‍රාහ්මි අක්ෂර කටාරම් සෙල්ලිපි පනස් පහක් සොයාගෙන තිබේ.

නීරාවියේ ලෙන් හතරක් උත්තිය රජු ඔහුගේ බිරිඳ වූ අනුරාධි කුමරියත් කරවන ලද බව ඒවායේ ඇති එක්වන් කටාරම් ලිපිවලින් හෙළිවේ. එම ලිපිය මෙසේ ය.

“රජ නග ඣිත රජ උති ඣය අබි
අනුරාය ච රජ උතිච කර ජිත සෙ ඉම
ලෙණ වතු දිස සගය අගත් අගතන
පසුපරයෙ අපරචිත ලොක දතුය සතන
සිත සුකයෙ”

නා රජුගේ දියණිය වූද, උත්තිය රජුගේ භාය්‍ය¡ාව වූද, අනුරාධි කුමරිය හා උත්තිය රජ සතර දිග් භාගයේ සංඝයා ගේ පහසු විහාරය සඳහා ද අනන්ත අපරිමාන ලෝක සත්වයාගේ හිත සුව පිණිස ද මේ ගුහාව කරවනු ලැබී ය. පරණවිතාන මහතා වකවානුවක් නියම කළ හැකි පැරණි ම සෙල්ලිපි ලෙස සලකන්නේ මේ සෙල්ලිපි වේ.

දේවානම්පියතිස්ස රජු කරවූ ලෙණක් ද නිරාවියෙහි තිබේ. එහි ඔහු හඳුන්වා ඇත්තේ ‘බෑර මහතිස’ යනුවෙනි. ඒ ලිපිය අවසානයේ සංකේත හතරක් කොට තිබේ. එමගින් ප්‍රකාශ වනුයේ මහා තිස්ස රජුගේ සම්පූර්ණ රාජකීය නාමය වන පමණි. අබය තිස මහරජ දෙවනපිය යන්නයි.

මහ කච්චකොඩියේ එක් ගුහාවක් කරවා ඇත්තේ “සෙනපති පුත පරුමක නදික පුත විමතිස… සහ තවත් අයයි. මෙහි සෙනපති යනුවෙන් සඳහන් වන්නේ නන්ද මිත්‍ර සෙනවියා බව පරණවිතාන මහතාගේ අදහසයි. මෙම ක්‍රි.පූ. කටාරම් ලිපියෙන් නන්දිමිත්‍ර සෙනවියාගේ පරම්පරා තුනක් ගැන කියැවේ.

මහා කච්චකොඩියට යාබදව පිහිටියේ ඒරූපතානයි. මෙහි නන්දමිත්‍රගේ බිරිඳ වූ පුෂා කරවු ලෙනක් ද වේ. පුෂා කරවු ලෙණෙහි කොටා ඇති ලිපිය අවසානයේ ඇගේ අත්සන හෝ නිල ලාංඡනය කොටා ඇත. මෙම කටාරම් ලිපිය අනුව පුෂා නන්දි මිත්‍ර මෙන් ම ප්‍රධාන පංතියේ කාන්තාවක් විය. පැරැණි බසෙහි ප්‍රමුඛ කාන්තාවත් හැඳින්වූයේ පරමකලු යනුවෙනි. පුෂාගේ පියා සතනසත (සතෘකාශක) නැමැති ප්‍රධානියෙක් බව එහි සඳහන් වේ.

සරුපොතානට යාබඳ ව පිහිටි පෙරියපුලියන්කුලම් මලයෙහි කටාරම් ලිපි අතර එක් ලිපියක එම ලෙණ වේලූසුමන ගේ බිරිඳ වූ තිස්සා කරවූ බව සඳහන් වේ. එය එහි අක්ෂරවලින් මෙසේ කියැවේ.

“පරුමක අස ඇදෙක වේලුස ඣය තිසහ ලෙණෙ”

අශ්ව අධ්‍යක්ෂක වේලූ ප්‍රධානියාගේ බිරිඳ වන තිස්සාගේ ලෙණ.

මේ අරම් පෙදෙසෙහි ලෙන් කරවුවන් අතර මජ්ඣිම භාණක තිස්ස වැනි තෙරවරුන් ද රෝහිණී සමණිය වැනි භික්ෂුණීන් ද ධම්මසේන වැනි ප්‍රමුඛයන් ද අනුදිය වැනි උපාසකයන් හා නාගා වැනි උපාසිකාවන් ද වේ.

මේ ආරණ්‍ය පෙදෙස නන්දි මිත්‍ර සෙනෙවියා උපන් ගම් පෙදෙස ආසන්නයෙහි පිහිටි පාචීනකණ්ඩරාජියයි. පාචීන කණ්ඩ රාජ්‍ය පිළිබඳව අන්ගුත්තර අටුවාව විශිද්ධිවග්ගය, සුමංගල විලාසනි මනෝරථ පූරණි අටුවා යන ග්‍රන්ථවල සඳහන් වේ. ඒ ග්‍රන්ථවලට අනුව එහි රහතන් විසූ ආරණ්‍යයකි.

වවුනියාවේ බෞද්ධ පුරාවස්තු සහිත ස්ථාන දෙසියයකට අධික ය. මඩුකන්දේ ශ්‍රී දළදා විහාරය, රුවන්මඩුව, ඕමන්ද වැනි ස්ථානවල දළදා හිමියන් වැඩ සිටි ස්ථාන ලෙස අදහස් කෙරේ. තෝනිගල සෙල්ලිපියෙහි සඳහන් වන සහි්‍ය පවත නව වෙහෙර මඩුකන්දේ ශ්‍රී දළදා විහාරයයි. ඊරට්ටපෙරියකුලම, අරටඹගස්කඩ, වෙහෙරබැන්දවැව, කලුකුන්දන් මඩුව, තාන්ඩිකුලම, සෙට්ටිකුලම, නෙඩුන්කර්ණි යන ස්ථාන දෙසියකට අධික බෞද්ධ පුරාවස්තු සහිත ස්ථානයන්ගෙන් කීපයක් පමණි.

මේ පුරා වස්තු අතර බෞද්ධයින්ට ඉතා ම වැදගත්වන ස්ථාන කීපයක් පිළිබඳ ව කෙටි විස්තර මෙසේ ඉදිරිපත් කරමි.

වඩුන්නාගල: – චූලෝදර – මහෝදර නා රජුන් අතර මිණි පළිහ සඳහා සටන් වැදුණු පර්වත වාසි නාගයන් ගේ රාජධානියකි. මේ විස්තරය සද්ධර්මාලංකාරයේ සඳහන් වන වඩුන්නාගල ය. එය පිහිටියේ වන්නියේ ය. එහෙත් අද එය වෙඩිකිනාරිමලය යනුවෙන් හැඳින්වෙන බෞද්ධ නටබුන් ගහණ ප්‍රදේශයයි. එය මහාවංශයේ සඳහන් වන්නේ වර්ධමාන පර්වතය යනුවෙනි. පදවියේ ඇති සෙල්ලිපිවල වදැරා පිරිවෙනක් හා නාගයින්ගේ නාගවද්ධන් විහාරයත් යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම වෙඩිකිනාරිමලය ආශ්‍රිත ප්‍රදේශයයි.

කුරුන්දාවශෝක විහාරය… මහා වංශය, මනෝරථ පූරණීය, සමන්ථාරසාදිකා විනය අටුවාවේ සඳහන් වන කුරන්දට්ඨකතාව නමැති සිංහල අට්ඨකතාව හිමිව තිබූ කුරුන්දාවශෝක විහාරය වූයේ දැන් කුරුන්දන් මලේ නමින් හඳුන්වන ස්ථානයයි.

තන්නිමුරුප්පු වැව අසල පර්වතයෙහි එම විහාරයේ නටබුන් වේ. මත්තිකලෙණ හා කුම්භසේල විහාරය.

රුහුණෙහි රජ කළ ගෝඨාභය රජු කතරගම දස බෑ රජුන් මරා ඒ පව් ගෙවීමට මහවැලි ගඟෙන් එගොඩ හර්තෝට්ටි ජනපදයෙහි කරවු මත්තික ලෙණ විහාරයක්, කුම්භ සේල විහාරයක් වූ ස්ථාන අතීතයේ පිහිටා තිබුණේ වර්තමාන මුලතිව් දිස්ත්‍රික්කයේ යි. ඒ ස්ථාන වර්තමානයේ තඩ්ඩමලේ සහ කුමිපකම් මලය නමින් හැඳින්වේ.

11 වන අග්බෝ රජු (කි.ව. 608 – 618) අවධියේ කාලිංග රජු බිසව හා ඇමති ලක්දිවට පැමිණ පැවිදිව සිටි බව මහාවංශයේ සඳහන් වේ. අග්බෝ රජු මෙම රාජකීය භික්ෂුව සඳහා මත්ත විහාරයේ පදනඝරයක් කරවා දුන්නේ ය. එය මේ දක්වා ආරක්ෂා වී තිබේ. පැවිදි වූ කාලිංග බිසව සඳහා අග්බෝ රජුගේ බිසව රුවන්මඩුවෙහි ‘රතන’ නම් විහාරයක් කරවා ඇත. රුවන්මඩුවෙහි 1 වන අග්බෝ රජු උණවල්ලි නමින් විහාරයක් කරවූ බව මහාවංශයේ සඳහන් වේ. එහි අග්බෝ රජු කරවු සල බුදු පිළිමය තවම තිබේ.

ඇටඹගස්කඩ ශ්‍රී සුදර්මාරාම විහාරයේ බෝමළුව අසල තබා ඇති පුවරු සෙල්ලිපියක මෙහෙණවරක් ගැන සඳහන් වේ. එය ආදිපාද මහින්ද (1 වන මහින්ද) කරවු ලෙස මහාවංසයේ සඳහන් වන මෙහෙණවර වීමට ඉඩ තිබේ.

වවුනියාව දිස්ත්‍රික්කයේ මෙතෙක් නොකියවන ලද සෙල්ලිපි විස්සකට අධික සංඛ්‍යාවක් තිබේ. ඒවා මාමඩුව, මුදලියාකුලම චිත්ත පුවරසන්කුලම, මතියර්කුලම, ඊරට්පෙරියකුලම, ඔළුමඩුවැව, කුරුන්දන්කුලම්, රුවන්මඩුව, ;පරියකුලම, ඔතල්තේණි, බෝගස්වැව, කාසික්කුලම, නෙඩුන්කර්ණි, ඇටඹගස්කඩ, තෝනිගල යන ස්ථානවල වේ.

මේ සෙල්ලිපි වලින් මාමඩුව, මනිසර්කුලම, ඊරට්පෙරියකුලම, ඔළුමඩුවැව, බෝගස්වැව, ඇටඹගස්කඩ, තෝනිගල යන ස්ථානවල තිබෙන සෙල්ලිපි තවමත් ආරක්ෂා වී ඇතැයි මා විශ්වාස කරමි. මන්ද මෙම ස්ථානවල තවමත් සිංහල බෞද්ධ ජනතාව වෙසෙන බැවිනි. නමුත් පෙරකී ඉතිරි ස්ථානවල සෙල්ලිපි පවතී දැයි සැක සහිතය. එහෙත් දැනට පවතින සෙල්ලිපි කියවා ඒවා තහවුරු කර බොදු උරුමය ස්ථාපිත කිරීම සංස්කෘතික කටයුතු ඇමැති තුමාගේත් ඒ හා සම්බන්ධ සියලු දෙනාගේම යුතුකමකි.

මීට අමතරව දැනට වන්නියේ ඇති ඉතිරි නටඹුන් රැක ගැනීම වැදගත්වේ. වන්නියේ මානුෂික මෙහෙයුම පවතින අවස්ථාවේදී සරණාගතයන්ගේ සුබසාධනය සඳහා වවුනියාව පුදුකුලමට ගිය අවස්ථාවේදී පුදුකුලමේ සරණාගත කඳවුරේ එවකට කටයුතු කළ හමුදා ප්‍රධානියාට එම ප්‍රදේශයේ තිබෙන ඉපැරණි ස්ථානයක් ගැන මතක් කළෙමි.

එවිට එම හමුදා ප්‍රධානියා කියා සිටියේ තවමත් එම ප්‍රදේශයේ කොරවක්ගල් සහිත පුරාවිදු ස්ථානයක් පවතින බව ය. එය දෙමළ මනුස්සයකු ආරක්ෂා කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා. එය මගේ සතුටට හේතුවනවා. එවැනි ස්ථාන තවමත් එම ප්‍රදේශවල පවතී නම් රට ත්‍රස්තවාදයෙන් මුදාගත් මේ අවස්ථාවේදී එම ස්ථාන හඳුනාගෙන ඒවා තහවුරු කර වන්නියේ අපට බොදු උරුමයක් තිබුණා. අතීතයේ එම ප්‍රදේශවල විසුවේ බෞද්ධයන්ය යන කරුණ මෙම අවස්ථාවේදී ස්ථාපිත කළ යුතු ය යන කරුණත් මෙහිදී සිහිපත් කරමි.

පළමුවෙනි විජේබාහු රාජතුමා ත්‍රිසිංහලය එක්සේසත් කළේ කෙබඳු ආකාරයෙන් ද එම ආකාරයෙන් ම නැවතත් 2009 මැයි මස 18 දින අපගේ ශ්‍රේෂ්ඨ නරපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් නැවතත් මෙරට එක්සේසත් කරමින් එම බොදු ස්ථාන බොදුවන්ට උරුමකර දුන්නේ ය.

ඇතැම් අන්තවාදී කොටස්වල නිජබිම් සංකල්පය පුස්සක් බවට පත් කළේ ය. එම අන්තවාදී කොටස්වල නිජබිම් සංකල්පය අනුව පාරම්පරිකව එම ප්‍රදේශවල දෙමළ මිනිසුන් වාසය කර තිබිය යුතු ය. එසේ වාසය කළේ නම් එහි ඇති බෞද්ධ සිද්ධස්ථානවල බෞද්ධ භික්ෂුන් වාසය කර තිබිය යුතු ය. අදටත් එහි දෙමළ බෞද්ධ භික්ෂුන් නොමැත. එහි වාසය කර ඇත්තේ සිංහල බොදු භික්ෂුන් ය. එසේ නම් ඒ ගම් සියල්ලේම සිංහල බොදුවන් වාසය කර ඇති බව මනාව පැහැදිලිවේ. අදටත් ඉතිරිවී ඇති බොදු නටබුන් සිංහල බොදුවන්ට උරුමකරදී ඒවා ආරක්ෂා කරගැනීම ජාතියේ වගකීමකි.

මඩුළුගිරියේ විජේරත්න

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: