Posted by: lrrp | August 16, 2009

සීගිරි ගී ලියූ කිවිඳියෝ

උගත් බව නූගත් බව අතින් ආසියාතික කාන්තාවන් තවම පිරිමින්ට දෙවෙනි බව නොරහසකි. නූගත් බව හා අසරණ බව එකට අත්වැල් බැඳ ගත් සංසිද්ධි ය, කාන්තාවකගේ නූගත් බව ඇගේ අසරණ බවට මුක්කු ගසයි.

ඒ අතර අසරණ බව ආපසු නූගත් බව පෝෂණය කරයි. පිරිමියා ජංගම ජීවියෙකි. ඔහු ගැහැනියට වඩා බොහෝ ඇසූ පිරූ තැන් හි නැතහොත් බහුශ්‍රැත වීමට මේ ජංගම බව එක් ප්‍රධාන හේතුවක් නොවන්නේ ද? ඉපැරණි දේශ සංචාරකයන් අතර එකද කාන්තාවක් වත් නොවූවා ය. අද තත්ත්වයේ ද එතරම් වෙනසක් නැත.

ගැහැනිය බොහෝ විට දරුවන් රැක බලා ගනිමින් ගෙතුළ ය. ඇත්තට ම ඇය කරන්නේ සංචාරයේ යෙදෙන පිරිමියාට වඩා උත්තරීතර කාර්යයකි. එහෙත් ඇය ඇසූ පිරූ තැනැත්තියක් බවට පත් කර ඇගේ පෞරුෂය දැනුම අතින් පෝෂණය කිරීමට මේ පරිසරය හරස් කපයි.

බොහෝ විට පියකු නැතිනම් සැමියා හෝ සහෝදරයෙකු එවැනි කතුන්ගේ මූලාශ්‍රයයි. විශේෂයෙන් ම පොදු සන්නිවේදන ක්‍රම නොතිබුණු ඈත අතීතයේ ලියකගේ දැනුමේ මූලාශ්‍ර යට කී අයට සීමා වේ.

එහෙත් මේ පිරිස් අතර ද ගැහැනුන් සමඟ කතා කර ඔවුන්ට යමක් කමක් කියා දෙන අය අල්ප ය. එවැනි පරිසරයක් අපේ රටට ද අරුම නොවේ. එහෙත් තැන තැන අරුම සිදු විය.

දැනට අවුරුදු 1200 කට පමණ පෙර පිරිමින් සමඟ හරි හරියට විස්මිත සීගිරි පව්ව නැග උල් කටුවකින් කැටපත් පවුරේ රසවත් ගී ආයාසයෙන් කුරුටු ගෑ කාන්තාවෝ ඒ ගණයට වැටෙති.

කාලය රාජ්‍ය වර්ෂ 800 ත් 1000 ත් අතර කාලයයි. ධාතුසේන පුත් කාශ්‍යප සීගිරිය සිය අගනගරය කර ඒ පව්ව මත ආලකමන්දාව මෙන් මහා මාලිගාවක් තනා සුන්දර ලලනාවන් පන්සිය දෙනෙකුගේ චිත්‍ර වලින් පවුර අලංකාර කළේ පස් වැනි සියවසේ ය.

එහෙත් ලලනාවන්ටත් වඩා ප්‍රකටත්වයට පත් වූ ඔවුන් ගැන ගැයුණු සීගිරි කුරුටු ගී ලියැවුණේ ඊට ශතවර්ෂ 300 ක් පමණ ඉකුත් වීමෙන් පසුව ය. අතර කාලයේ කුමක් සිදු වීද?

සීගිරිය වන රොදින් වැසී ගියේ ය. අගනුවර පෙර සේම අනුරාධපුරයට මාරු වූයේ කාශ්‍යප රජුගේ මරණයෙන් පසුව ය. චිත්‍රගත ලලනාවෝ ද වන පොරෝනයෙන් සැඟවී ගියෝ ය. එහෙත් ශත වර්ෂ ගණනාවකට පසු ඔවුහු ද සීගිරිය ද නැවත මතු වූහ. ඒ ස්වයං ක්‍රියාකාරිත්වයකින් නොවේ. සංචාරකයන් නිසා ය. අපේ ම සංචාරකයන් නිසා ය.

වනය පීරා ගොස් ඔවුහු මේ ලලනාවන් හමු වූහ. කාශ්‍යපයන්ගේ අන්තඞපුර ස්ත්‍රීන් වශයෙන් සැලැකෙන ඔවුන්ගේ රූප ශ්‍රීයෙන් වශී වූ විනෝදකාමි සංචාරකයන් පහතට බැස්සේ තම හැඟීම පවුර මත මෝචනය කරමිනි.

ඒ අධි සංකල්පනයෙන් මෙහෙයවුණු ඉතා උසස් කවිත්වයක් ප්‍රකාශ කරමිනි. දිවයිනේ විවිධ දෙසින් මේ සංචාරකයෝ පැමිණියෝ ය. රුහුණින් ද උතුරු දෙසින්ද පෑළ (බස්නාහිර) දෙසින් ද වෙනත් දෙසින්ද ඔවුහු පැමිණියෝ ය. පැවිද්දෝ ඔවුන් අතර වූහ.

ඇතැම් විටක උසස් නිල තල දරන්නෝ ඔවුන් අතර වූහ. ඔවුහු සියල්ල ම ගීයක් හෝ දෙකක් පවුර මත ලියා තබා ආපසු ඒම සිරිතක් කර ගත්හ. අද ප්ලේගියරිස්ට් වශයෙන් හැඳින්වෙන කවි සොරු ද මොවුන් අතර වූහ. වඩාත්ම පුදුමය නම් මේ දුෂ්කර නැඟීමෙන් පසු කාන්තාවන් කීප දෙනෙකු ම මේ හපන්කම කිරීම ය.

කීප දෙනෙක් යන්න අතිශයෝක්ති යෙදුමක් විය හැකිය. එස් පරණවිතාන නම් වූ ඒ ශ්‍රේෂ්ඨ උගතා අතින් ලියැවුණු sigiri graffiti නම් යෝධමය කෘතියේ 1 වැනි කාණ්ඩයේ මේ ගී ලියූ අයගේ නාම ලේඛකයක් දී ඇත. එහෙත් බොහෝ ගී නිර්නාමික ය. ‘බතී’ යන්න ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයට ම පොදු බව පෙනේ. පුරුෂ ව්‍යවහාරයේදී බතා යන්න ස්වර පෙරළියකින් බතී වේ.

ස්වස්ති! බතීම් ලීම් (ස්වස්ති! මේ ලීවේ බතී ය) ආදි වශයෙන් සඳහන් වන්නේ අතරින් පතර ය. නිර්නාමික ව ලියූ ලියන්ද සිටින්නට ඇත. එහෙත් එම ලේඛනයේ පරණවිතාන ශූරින් ජ් අකුර යොදා ස්ත්‍රීන් වශයෙන් ස්ථිරව ම හඳුනා ගෙන ඇත්තේ කාන්තාවන් හය හත් දෙනෙකු පමණ බව කනගාටුවෙන් කිව යුතු ය. ඔවුන්ගේ නම් ඉතා කෙටි ය. සරල ය. මේ ඒ නම් ය.

දේවා: 152 ගීය, දයාල් බතී 122 ගීය. නාල් 543 ගීය. සෙන් බතී 400 ගීය නිදලු මිහිදී අඹු 41 ගීය සෙව් කලි 247 ගීය සෙලු අඹු 681 ගීය

මොවුන්ගෙන් පස් දෙනෙක් ම තමන් අසවල් ගැනැත්තාගේ අඹුවන් බව දක්වති. ඔවුන් පැමිණ ඇත්තේද සිය සැමියන් සමඟ විය යුතු ය. දේවා නමැත්තිය තමා මහමත අඹු වශයෙන් හඳුන්වයි. තවත් කිවිඳියක් නාල් හිමි අඹු වශයෙන් තමා නම් කරයි. මේ අද අප පාවිච්චි කරන මිසිස් යන යෙදුමට අනුරූපි යෙදුමක් විය හැකි ය.

නාල් යන්න මේ කාන්තාවගේ හෝ ඇගේ සැමියාගේ නම විය හැකි ය. නිදලු මිහිදී අඹු ද උතුරු අඹු ද සෙලු අඹු ද මේ ගණයේ ලා සැලැකිය හැකි ය. සෙන් බතී හා සෙව් කලා ස්වාමි පුරුෂයන් ගැන සඳහන් නොකරති. ඔවුන් අස්වාමික විය හැකි ය. එසේ නැති නම් සැමියාගේ නම සඳහන් නොකළා විය හැකි ය.

පිරිමි අතින් ලියැවුණු ගී 600 ඉක්මවයි. මේ අතර කාන්තාවන් ඉතා ටික දෙනෙක් අතින් ලියූ ගී කීපයකි මේ

ගී 152

මහමත අම්බු දෙවාමි

මන මෙසි නැගි බෙයන්ද්හි ලෙණැසි යොවනක් මය්

අති මුතු වැළ ගත බැලුමැ සෙපත අපහය ගත

මේ ගී ලියූ සියලු ම කවීහු චිත්‍රගත ලලනාවන්ව ජීවය ආරෝපණය කරති. මැයද එසේමය. මා මහමතගේ අඹුව යයි හඳුන්වා දීමෙන් පසුව දේවා ගයන්නේ මෙවැනි අදහසකි.

’මුව ඇස් ඇති සීගිරි රූමතියක් තමන් තුළ කෝපය ඇති කරන බවයි. මුතු වැලක් අතින්ගත් ඇය එතරම් රූමත් ය. ඇය අප සමග රූපය අතින් තරගයට වැදී ඇති සෙයකි.

ගී 41

ණිදලු මිහිදඹු සෙවු මෙග්

මහනෙලබර වරල ගෙල හුණ පිහිරල රසන්

ඇදිනි තමා මෙබැලුම වෙනක වී අප නුයුනග තා

”මා නිදලු මිහිදු අඹු වන සෙවු ය. මහනෙල් මලින් ගැවසුණු ඔබේ වරලස ද ඔබේ ඇස් කොන් බැල්මද අප සමග තරග කරන්නා සේ ය”

ගී 247

මම සිව්කාලා වෙම් උතුර්ගේ අඹු වෙම්.

”මේ රන්වන් කතුන් මට පෙනෙන්නේ කෙසේද? සැමියාගේ වියොවින් කම්පනයට පත් වී පහළට බැස සිය දිවි හානි කර ගැනීමට යත්න දරන්නියන් මෙනි”

මා මේ ලිපිය ලියද්දී මගේ මිතුරියක් දුරකථනයෙන් මට කතා කර මා කරන්නේ කුමක්දැයි ඇසුවා ය. සීගිරි ලී ලිවූ කාන්තාවක් ගැන ලිපියක් ලියන බව දැන්වීමි.

ඇය පුදුමයට පත් වී මෙසේ කීවා ය.

”පුදුමයි ඔච්චර ඈත කාලයේ අපේ කාන්තාවන් ලියන්න දැන ගෙන හිටියා ද?

ඒ කාලයේ තිබුණේ පිරිවෙන් පමණක් නොවැ ඒවාට ගැහැනු අය ඇතුල් කර ගත්තේ නෑ. ඉතින් ඒ ගොල්ලො අකුරු ඉගෙන ගත්තේ කොහින් ද? ගුරු ගෙදරින්ද?

ඒ ගැන මා පර්යේෂණයක් කර නැති බව මම දැන්වීමි. පර්යේෂණ කරන්නට අදහස් කරන තරුණ පරපුරේ අයට ඉඟි පමණක් සපයන බවද කීවෙමි. එහෙත් ඉතා උසස් කවිත්වයක් මෙන් ම අහස සිප ගන්නා පර්වතයකට නැඟී ගීයක් නෙළා බැස ඒමට තරම් ඔවුන් තුළ තිබූ ආත්ම ශක්තියක් සමාජශීලී බවත් අගය කළ යුතු නොවේදැයි පෙරළා ඇසීමි.

ඒ කාන්තාවන් ඒ ගී නිසා අමරණීයත්වයට පත් වී ඇති බව ඇගේද අදහස විය. සීගිරි කවීන්ද එවැනි තත්ත්වයකට පත් වෙති. එහෙත් ඒ ගී ලියූ ලියන් වඩා අගය කළ යුත්තේ අද පසුබිම සලකා ය. ඒ පසුබිම මුලින් ම සාකච්ඡා කර ඇත.

පද්මා එදිරිසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: