Posted by: lrrp | August 31, 2009

මුතුකුඩේ බිසව මරා දමන්නට අන්ත:පුර බිසෝවරුන් කළ කුමන්ත්‍රණය

ඒ සෙන්කඩගල දෙවැනි විමලධර්මසූරිය රජු රජ කරන අවධියයි. රජුගෙන් පසු රජකම සඳහා පිරිමි දරුවකු ලබා ගැනීම රජුගේ දැඩි බලාපොරොත්තුව විය. රජ අන්ත(පුරයේ උඩරට ප්‍රභූ පවුල්වල මෙන්ම දකුණු ඉන්දියාවේ නායක්‌කාර් වංශික බිසෝවරුන් ගණනාවක්‌ සිටියද ඒ කිසිවකුටත් රජුට දාව, දරුවකු ලැබුණේ නැත. මේ ගැන රජු පසුවූයේ දැඩි කණස්‌සල්ලෙනි. අලුතින් රජුගේ අග බිසව පදවියට හෙවත් රන්දෝලි තනතුරට පත්වූයේ වත්තේගම ප්‍රභූ පෙළපතකට අයිති මුතුකුඩේ නම් රූබර නව යොවුන් තරුණියකි. ඇය දුටුවන් සිත් වසඟ කරවන ඉතා රූමත් රූපකායක්‌ ඇති තරුණියක වූවාය. කලක්‌ යන විට මුතුකුඩේ කුමරිය රජුගේ ආදරය බෙහෙවින් දිනාගත් අතර ගැබ් ලකුණු පහළ කළාය. ඇයට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්‌ ලෙස පරිවාර ස්‌ත්‍රීන් කීප දෙනකු සමග ඉඳහිට තම දෙමාපියන් බැලීමට යැමට රජුගෙන් අවසර ලැබුණේය. සෙන්කඩගල සිට මහවැලි ගඟේ ප්‍රකට තොටුපළක්‌ වූ ලේවැල්ල හරහා පරිවාර ස්‌ත්‍රීන් සමග ගොස්‌ ලේවැල්ල තොටුපළේ ඇති ඔරුවෙන් එගොඩවී දෝළාවේ නැඟී වත්තේගම තම නිවසට ගොස්‌ දින දෙක තුනක්‌ නැවතී ආපසු ඒමට ඇය හුරුවිය.

මුතුකුඩේ කුමරිය කාලයක්‌ ගතවූ විට දරුගැබ මෝරා පිරිමි දරුවකු ප්‍රසූත කළාය. ඇයට රජුගෙන් ලැබුණු විශේෂ ආදරය සැලකිල්ල බෙහෙවින් වැඩිවිය. රජකම හිමිවන ළදරු කුමරු සමග මතුකුඩේ කුමරිය, රජුගෙන් බිඳවීමට අන්ත(පුර බිසෝවරු තමන්ට හිතවත් නෑදැ වන ඇමැතීන්ගේ උදව් ඇතිව විවිධ කුමන්ත්‍රණ, උපක්‍රම යෙදූහ. එහෙත් ඒ කටකතා කුමන්ත්‍රණ සියල්ල අසාර්ථක විය. දිනෙන් දින රජුගේ ආදරය සැලකිල්ල අග බිසවට වැඩියෙන් ලැබීමට හේතු විය. ළදරු කුමරු තරුණ කලට පත්වන කල රජකම ලැබී මෙම බිසව හා ඇගේ නෑදැයින්ට ලැබිය හැකි වැඩි සැලකිලි, තනතුරු ගැන නිතර දෙවේලේ අන් බිසෝවරු එකතුවී කතාබහ කළහ. කුමරු තරුණ වියට පත්වීමට පෙර ළදරු කලම රජුට නොදන්වා වත්තේගම යන අතරමග මරා දැමීමට ඔවුහු කුමන්ත්‍රණයක්‌ සැලසුම් කළහ. මේ කුමන්ත්‍රණයේ සුලමුල ඉතා රහසිගතව සැලසුම් කළ අතර එය අන්ත(පුර ළඳුන් කීප දෙනෙකු හා අමැතිවරුන්ට සීමා වූ අතිශය රහසක්‌ විය. මේ කිසිවක්‌ නොදන්නා මුතුකුඩේ කුමරිය වෙනදා මෙන්ම රජුගේ අවසරය ඇතිව ළදරු කුමරු වඩාගෙන සෙන්කඩගල රජ වාසල සිට ලේවැල්ල තොටුපළ හරහා වත්තේගම තම නිවහන කරා යැමට සූදානම් වූවාය. කුමරු කැටුව යන බැවින් ඇගේ ආරක්‍ෂාවට රාජපුරුෂයන් කීප දෙනෙකුද මේ වන විට යොදවා තිබිණි. උඩවත්තකැලේ පසුකොට ඒ නුදුරු ලේවැල්ල තොටුපළට පැමිණෙන විට උදැසන මීදුම හා පින්න උරාගෙන මුළු වනපෙත ගහකොළ තවරාගෙන හිරුරැස්‌ පැතිර තිබිණි. පාළු අඩවියේ වනපෙත අතරින් කන් බිහිරි කරවන රැහැයි නාදය පැතිරෙන්නට විය.

ලේවැල්ල තොටුපළට පැමිණි රාජදූත පිරිස තොටියා වහා හඳුනා ගත්තේය. තොටුපළ හරහා එගොඩ මෙගොඩ ගියේ එක ඔරුවක්‌ බැවින් රජ බිසව ළදරු කුමරු හා පරිවාර ස්‌ත්‍රීන් දෙදෙනකු පළමු වරට එගොඩ කිරීමට තොටියා එකඟ විය.

“පළමුව අග බිසවුන්නාන්සේ එතෙර කරන්නම්. දෙවැනි සැරේ පරිවාර රාජ ළඳුන් ගෙන යන්නම්. ඒ අය එගොඩ ඉවුරට ගියාම තුන්වැනි සැරේට ඇවිත් රාජපුරුෂයන් ගෙන යැමට කටයුතු කරන්නම්. එහෙම හොඳද?”

අග බිසව රාජපුරුෂයන් හා පරිවාර කාන්තාවන් සමග මොහොතක්‌ කතා බහ කර තොටියාගේ යෝජනාවට එකඟත්වය පළ කළාය. වර්ෂා කාලය නිමාවූ විගස බැවින් ගඟ කටගහ පුරා බොරදිය පිරී තිබුණේය. පළමුව මුතුකුඩේ කුමරිය ළදරු පුත් කුමරු හා පරිවාර ස්‌ත්‍රීන් තුන් දෙනෙකු ඔරුවට නැඟ ඉඳ ගත්හ. බොරදිය කපාගෙන ඔරුව ගඟදිය හරහා එගොඩට යැමට විය. ගඟ මැදට පැමිණි ඔරුව දරුණු දිය සුළියක්‌ මැදින් යාත්‍රා කරද්දී ඔරුව කැරකී ඔරුවේ ගමන් කළ මුළු පිරිසම ගඟට බිලි විය. රජ බිසව ළදරු කුමරු තුරුළු කරගෙන ආධාර ඉල්ලා කෑ ගැසීමට වූවාහ. පෙරළුණු ඔරුව ගඟ පතුලට ගිය අතර තොටියා පේනතෙක්‌ මානයක නොමැත. රාජ ආරක්‍ෂකයෝ තොලකට වේලී ඇඟ ගැහෙමින් ඉවුරේ සිටිති. දියේ පාවෙන රජ බිසව බේරා ගැනීමට ගඟට පැන පිහිනීමට ඔවුනට වේලාවක්‌ ලැබුණේ නැත. ජීවිතය ඉල්ලා කෑගසන බිසවගේ අඳෝනාව ගං ඉවුරට පැමිණ ඔරුව එනතුරු බලා සිටි තරුණයෙකුට වහා දැන ගන්නට ලැබිණි. දියේ ගසාගෙන යන්නේ කවුරුදැයි ඔහු දැන සිටියේ නැත. ඇසිපිය හෙලන සැනින් ගඟට පැන ගත් තරුණයා දියේ පාවී යන බිසව හා ළදරු කුමරා තම පිට මත තබාගෙන වහා ගං ඉවුරට රැගෙන ආවේය. පරිවාර ස්‌ත්‍රීහු වහා වටවී ආරක්‍ෂකයන්ගේ උදව් ඇතිව රජ බිසව හා ළදරු කුමරුට අවශ්‍ය සාත්තු සප්පායම් කිරීමට වූහ. තරුණයා නැවත ගඟ මැදට පීනාගොස්‌ ගඟේ ගිලී උඩට මතුවූ ඔරුව හා දියේ පාවෙමින් සිටි පරිවාර ස්‌ත්‍රීන් බේරා ගෙන ගං ඉවුරට සේන්දු විය. රාජදූත පිරිස මෙම තරුණයා වටකොටගෙන ඔහුට ප්‍රශංසා කිරීමට විය.

“ඔබ කවුද?” රාජ බිසව තරුණයාගෙන් ප්‍රශ්න කළාය.

“අප උඩදුම්බර මඩුගල්ලේ පදිංචි අයෙක්‌. නෑදැ ගෙදරක යන අතරතුරයි මේ ආවේ.”

ඔරුව පෙරළුණු පසු තොටියා අතුරුදන්වීම කාගෙත් කතාබහට ලක්‌විය. ඔහු අන්ත(පුර ළඳුන්ගෙන් අල්ලස්‌ ලබාගෙන කුමන්ත්‍රණයට හවුල් වී අග බිසව හා ළදරු කුමරු මරා දැමීමට කුමන්ත්‍රණ කළ බව කාගෙත් අදහස විය. මේ සිද්ධිය මොහොතකින් රජවාසලට සැලවිය. රාජපුරුෂයෝ තොටුපළ වෙත වහා ළඟා වූහ.

පලා යමින් සිටි තොටියා රාජකීය අසරු හමුදාවට කොටුවිය. අන්ත(පුර ළඳුන්ගේ තද බල කිරීම උඩ ලේවැල්ල ගඟ මැදදී ඔරුව ගිල්වා අග බිසව හා ළදරු කුමරු මරා දැමීමට තමා එකඟ වූ බව තොටියා පාපොච්චාරණය කළේය. අග බිසව හා ළදරු කුමරුගේ ජීවිතය බේරාදුන් මඩුගල්ලේට රජු බෙහෙවින් ප්‍රශංසා කළේය. කුමන්ත්‍රණයට මුල්වූ අන්ත(පුර බිසෝවරුන් කීප දෙනෙකුව කස පහර දී හිස මුඩුකොට අන්ත(පුරයෙන් නෙරපන ලදී. අන්ත(පුර ළඳුන්ගේ කුමන්ත්‍රණයට මැදිහත්වූ ඇමැතිවරයෙකු තනතුරෙන් පහකොට දේපළ රාජසන්තක කොට හිස ගසා දමන ලදී. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ තොටියා මහනුවර නගරයේ වීදි ඔස්‌සේ අත් බැඳ වද බෙර ගසමින් රැඟෙන ගොස්‌ ගෙළ සිඳ මරා දැම්මේය. අගබිසව හා ළදරු කුමරු බේරාගත් මඩුගල්ලේ තරුණයා රජවාසල මහ ගබඩා නිළමේ තනතුරට පත් කොට උඩදුම්බරින් ඔහුට නින්දගම් රාශියක්‌ පවරා දුන්නේය. පසුකල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් කුණ්‌ඩසාලේ රජ වූයේ ගඟේ ගිලී ජීවිතය බේරාගත් ළදරු කුමරුය.

එස්‌. කේ. ජයවර්ධන
හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: