Posted by: lrrp | September 14, 2009

ගල්ලෙන් හතක් වෙත දුෂ්කර ගමනක්

හේවාගම් කෝරළේ රයිගම් කෝරළේ සහ පස්යොදුන් කෝරළේ ඓතිහාසික වශයෙන් වැදගත් වනුයේ අපේ ධීර වීර නරවිරුවන්ගේ රාජධානි පැවැති ප්‍රදේශ වශයෙනි. පර සතුරන්ට එරෙහිව අපේ මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම උදෙසා ආත්ම පරිත්‍යාගයෙන් සටන් වැදුණු අපේ නරවිරුවෝ සමහර අවස්ථාවන්හිදී උපක්‍රමශීලීව සතුරන් මඟ හැර ගොස් වන ගත ගල් ගුහා ආශි‍්‍රතව සැඟවී සේනා සංවිධානය කර යළිත් සටන් වැදුණු අයුරු ඓතිහාසික පුරා වෘත්ත මඟින් අනාවරණය වේ.

රයිගම් පුරවරයේ හඳපාන්ගොඩ මාළිගාකන්ද එබඳු ඓතිහාසික සටන් බිමක් වශයෙන් සුප්‍රකට ය. දඹදිව මෞර්ය වංශයේ චන්ද්‍රගුප්ත රජතුමන්ගේ චන්ද්‍රවතී බිසව මාළිගාකන්දේ සිටි බවට තොරතුරු රයිගම්පුර ඉතිහාසයෙන් අනාවරණය වෙයි. දැනට වන ගහනයට නතුව ඇති මාළිගාකන්දේ ඉපැරැණි පොකුණක නටබුන් තවමත් දක්නට ඇත.

හඳපාන්ගොඩට සමීප ඇදුරගල මැදිකන්ද ආශි‍්‍රතව ගල්ලෙන් පහක් ඇති බවට ලැබුණු තොරතුරක් මත පසුගිය දිනක අපි ඒ සොයා ගියෙමු.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඇදුරාගල ප්‍රාග් ඓතිහාසික සාධක සහිත මැදිකන්ද ගල්ලෙන පිහිටා ඇත.

මේ ඇත්තේ පස්වැනි ගල් ලෙනයි. මෙහි නිධන් ඇති බවට සාධක දක්වන සතුන්ගේ රූප ගල මත සංකේතවත් කර ඇත. ගල් දොර වශයෙන් භාවිත කළ ගල් පතුරක් දක්නට ඇත.

හඳපාන්ගොඩ කිරිගල පාරේ තරුණ පිරිසක් වන දිමුතු සුරංග ඥානසිරි ඉන්දික අරුණ සුමින්ද ගම්වාසින් ගෙන් ලද තොරතුරු මත 2005 අපේ‍්‍රල් මාසයේ 14 වන දින මෙම ලෙන පිළිබඳ අධ්‍යයනයක් කර තිබිණි.

ඇදුරාගල මැදිකන්දේ ගල්ලෙන් හතක් පිහිටා ඇති අතර එතැනට දුෂ්කර මාර්ග දෙකකින් ගමන් කළ හැකි බව ගමේ තරුණ පිරිසක් අපට පැවසූහ. කොළඹ සිට ඉංගිරිය මාර්ගයේ හඳපාන්ගොඩ ගමේ සිට බටුගම්පොළ හරහා කිලෝ මීටර් 3 ක් දුරින් එක් මාවතකි. පාණදුර රත්නපුර මාර්ගයේ ඇදුරගලවත්ත අසලින් තවත් මාර්ගයකි. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් කිලෝ මීටර් තුනහමාරක පමණ දුරින් තවත් මාර්ගයකි.

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ඇති මාර්ගය දිගේ ගමන් ඇරැඹුවෙමු.

කූඩැල්ලන් බහුල ළඳු කැලෑ සහිත දුෂ්කර මාර්ගය දිගේ අපි සීරුවෙන් ගමන් කරද්දී ඇදුරාගල පැත්තේ සිට ඉංගිරිය වෙත ගමන් කරන මැදිවියේ කෙනකු අතරමගදී හමු විය. ඔහු බටුගම්පොළ එච්.ඩී. ජයවර්ධන මහතා ය. අපේ ඉල්ලීම පිළිගත් ජයවර්ධන මහතා අපත් සමඟ ගමන් ගත්තේ ය. හඳපාන්ගොඩ තරුණ පිරිස මෙම මාර්ගය දැන නොසිටියහ.

ජයවර්ධන මහතාගේ කතාබහට අපි යොමු වෙමු.

“වසර ගණනාවකට පළමු ඒ කියන්නේ අවුරුදු සියයකටත් ඉස්සර ඇදුරංගල නම් සෘෂිවරයෙක් මෙම ලෙන් වල වාසය කර තිබෙනවා. මෙතන ලෙන් හතක් තිබෙනවා. ඒ සෘෂිවරයා මෙහි ගල් ලෙනක භාවනානුයෝගීව වෙදකම් කරල තියෙනවා. ගල් ලෙන මත කැලෑව.

එහි ඖෂධ උයනක් තිබුණු බවට සාක්ෂි තියෙනවා. දුර්ලභ ඖෂධ වර්ග සොයන්නට අවට සිටින මිනිස්සු අදත් මෙහි එනවා. ගල් ලෙන් හත කාමර වශයෙන් භාවිත කරමින් සෘෂිවරයා වාසය කරන්නට ඇතැයි පැරැණි වැඩිහිටියන් විශ්වාස කරනවා.

ඇදුරංගල සෘෂිවරයා නිසා ඇදුරගල වශයෙන් මෙම ප්‍රදේශයට භාවිතා වෙනවා. මේ ලෙන් තුළ නිධන් කර ඇතැයි විශ්වාසයක් තිබෙනවා. නිධන් හොරු මේ ගල් ලෙන්වලට පැමිණ ඇති වගට ලෙන්වලට කර ඇති හානිවලින් දැක ගන්නට පුළුවන්.” ශ්‍රී ලංකාවේ ආර්ථික බෝග පටන් ගැනීමෙන් පසු ආර්ථික වගාවක් වශයෙන් මැදිකන්ද ප්‍රදේශයේ ද රබර් වගා කර ඇත.

ඇදුරගල අදත් රබර් වතු යායකි. රන් පවුම් කලාපයට අයත් වූ ඇදුරගල 1973 න් පසු රාජ්‍ය වැවිලි සමාගමට අයත් ව ඇත. එකල රබර් යායේ සේවයට පැමිණි දෙමළ මිනිසුන් මෙම ගල් ලෙන් සොයා ගෙන දේව පූජාවන් පැවැත්වූ වග සනාථ වන්නේ අදත් ඇදුරගල වත්තේ පදිංචි දෙමළ මිනිසුන්ගේ කෝවිලත් රබර් වත්ත ආසන්නයේ ඇති හෙයිනි. ලෙනට යෑම සඳහා ගල් බැමි සහ යකඩ වැටක් ද ඉදිකළ බවට සලකුණු ඇත.

ගල් ලෙන් හත පිහිටි ස්ථානය වෙත පිවිසිය යුත්තේ අතිමහත් දුෂ්කරතා මධ්‍යයේ ය. ගල් පතුරු අල්ලා ගෙන අපි ඉදිරියට ගමන් කළෙමු. මෙම දුෂ්කර මාර්ගයෙහි දෙපස ඇති කටු සහිත ශාක විශේෂයෙන් ආරක්ෂා වෙමින් යා යුතු බව ජයවර්ධන මහතා අපට කලින් ම පවසා තිබිණි. ගල් පතුරු අල්ලා ගෙන ගමන් කිරීම ඉතාමත් අපහසු ය.

ගමන පිටත්වීමට දින දෙකකට පමණ පෙර හොරණ විද්‍යාරත්නයේ හඳපාන්ගොඩ පදිංචි ශිෂ්‍ය පිරිසක් ගමේ තරුණ පිරිස් ද සමඟ මඟ එළිපෙහෙළි කර තිබීම නොවන්නට ගමන තවත් දුෂ්කර වන්නට ඉඩ තිබිණ. විශාලම ගල් ලෙනෙහි ඉඩකඩ අනුව දහසක් පමණ දෙනාට ගැවසෙන්නට ඉඩකඩ පවතී. අපි මද වේලාවක් විවේක ගනිද්දී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් ජයන්ත ධර්මසේන මහතා අප තවත් දැනුවත් කළේ ය.

“අපට තරුණයන් ගෙන් ලැබුණු තොරතුරු අනුව අධ්‍යයන වාර්තාවක් සකස් කළා. අනාගත පරපුර උදෙසා පුරා විද්‍යාව හදාරන සිසුන් උදෙසා මෙම ලෙන් ආරක්ෂා කිරීම ජාතික වගකීමක්. මෙම වටිනා සම්පත ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශයේ ජනතාවගේ සහාය සහ අවධානය අත්‍යවශ්‍යයි. මම මේ ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වූවා.”

අපි දැවැන්ත ගල් තලාව මත තේ පැන් සප්පායම් වෙද්දී හොරණ ෂද්‍යාරත්න ආචාර්ය මණ්ඩලයේ කේ.ඕ. චන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ ගල් ලෙන් ගැන කෙටි හැඳින්වීමක් ද කළේ ය.

පරිනාමය වූ මිනිසා විවිධ යුගවලදී සිය වාසස්ථාන ලෙස ගල් ගෙවල් නැත්නම් ගල් ගුහා තෝරා ගෙන තිබීම මෑතකදී පුරා විද්‍යාත්මක සාධක අනුව සනාථ වී තිබෙනවා. බුලත්සිංහල වරකාගොඩ පාහියන්ගල ගල් ලෙන, කුරුවිට බටදොඹ ලෙන, ගුරුගල්හින්න ලෙන ඊට ප්‍රබල නිදසුන්. පසුකාලීනව භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ එම ලෙන් සිය භාවනානුයෝගී කටයුතු වෙනුවෙන් භාවිත කළහ.

මෙම ලෙන් අද බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් අද චිරප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. දඹුලු ලෙන මීට හොඳ නිදසුනක්. වලගම්බා රජ තුමන් ශ්‍රී ලංකාවේ ලෙන් ආරක්ෂා කිරීම සම්බන්ධව පුළුල් මෙහෙවරක් ඉටු කළ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.”

අපි පහසුවෙන් සමීප විය හැකි ලෙන් කීපයක තොරතුරු සොයා ගියෙමු. සමහර ලෙනක ඇතුළට යෑම අන්තරායදායක බව අපට මං සලකුණු කියා දුන් ජයවර්ධන මහතා පැවැසීය. හඳපාන්ගොඩ තරුණ පිරිස මෙම ලෙන්වල ටිකක් ඇතුළට ගොස් මිනුම් කටයුතු සිදු කර ඇත්තේ ඉතා අපහසුවෙන් බව අපි වටහා ගතිමු. විදුලි උපකරණ නොමැති වූ හෙයින් ගල් ලෙන් ඇතුළට පිවිසීම ද අන්තරායදායකය.

මෙම ලෙන් හතෙන් විශාලම ලෙන හතරවැනි ලෙනයි. ඉදිරිපසින් නිරන්තරව දිය දහරක් ගලා බසී. තරමක අපැහැදිලි කඨාරමක් ද දක්නට ඇත. ඉදිරිපස ජලය පිරී කුඩා පෙකුණකි. මෙහිදිග අඩි 114 කි. පළල අඩි 33 කි. උස අඩි 18 කි.

පස්වැනි ලෙස දිග අඩි 50 කි. පළල 13 කි. උස අඩි 5 කි. මෙම ලෙන නිධන් හොරුන් ගේ දෑසට ලක් ව ඇති බවට සාක්ෂි ද වෙයි. මෙම ලෙනෙහි මුහුණත නිධන් සංකේත ලෙස හැඳින්වෙන ආඳා, ඉබ්බා, හාවා සහ මොනරා වැනි සතුන්ගේ සංකේත රූප දක්නට ඇත. නිශ්චය කර ගත නොහැකි රූප කීපයක් මෙහි වෙයි.

හයවැනි ලෙස අඩි 40 ක් දිග ය. පළල අඩි හතකි. උස අඩි 8 ක් බව තරුණයින් කළ අධ්‍යයන වාර්තාව අනුව සඳහන් වේ. හත්වැනි ලෙන දිග අඩි 28 ක් සහ පළල අඩි 9 කි. උස අඩි 4.5 කි. පළමුවැනි ලෙන දිග අඩි 25 කි. පළල අඩි 20 ක් සහ උස අඩි 4 කි. දෙවැනි ලෙන දිග අඩි 45 කි. පළල අඩි 12 ක් සහ උස අඩි 6 කි. තුන්වැනි ලෙන දිග 15 ය 09 ය 04 ක් වේ.

වේලාව හතරට පමණ ඇතත් පහළින් පිහිටි ඇදුරාගල වත්තේ රබර් ගස් අතරින් ගලා එන මද ආලෝකයෙන් මැදිකන්ද ගල් ලෙන් අසලට ද අඳුර පතිත වෙමින් පවතී. ගල් ලෙන් ඇතුළ අඳුරින් පිරී ඇත.

රයිගම් බණ්ඩාර රජ තුමන් ඇදුරාගල මැදිකන්ද ගල් ලෙනෙහි වාසය කළ බවට ද තොරතුරු ජනප්‍රවාදයන් මඟින් අනාවරණය වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: