Posted by: lrrp | September 22, 2009

සැඟව සිටි සීගිරි ළඳුන් යළි දැකුමට වරම්

සීගිරි ලලනා චිත්‍ර ලෝ ප්‍රකටය. සීගිරිය ද ලෝක උරුමයකි. අපේ ජාතික වස්තුවකි. සීගිරි ලලනා චිත්‍රත් සීගිරිය පර්වතයත් කොච්චර බැලුවත් ඇති නොවන තැන් ය. සෞන්දර්යත් පුරාවිද්‍යාවත් එක් තැන් කරන සීගිරි ලලනා චිත්‍ර 500 ක් සුන්දර සීගිරිය පුරා ඇතැයි පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. සුන්දර සුකොමල මේ ලලනා චිත්‍ර පිළිබඳ ලෝ ප්‍රකට කවි, ප්‍රබන්ධ, නවකථා, පුරා විද්‍යාත්මක ග්‍රන්ථ පර්යේෂණාත්මක ග්‍රන්ථ ප්‍රමාණය අතිවිශාලය.

එසේ වුවත් මීට වසර 10 කට පමණ පෙර සිට මේ සීගිරියේ ඇති සීගිරි ලලනාවන්ගෙන් සියයට 60 ක පමණ කොටසකට සංචාරක ඇස්වලට නොපෙනී සිටීමට සිදුවී ඇත. ඒ ඔවුන් බැලීමට තිබුණු සීගිරියේ පැරැණි නැරඹුම් වේදිකාව වසර 10 ක් තිස්සේ කැඩී ඇති බැවිනි. අහෝ ලෝ ප්‍රකට සීගිරි ලලනාවන්ට වෙච්ච දේ.

ගීත රචකයන් කවියන් ලේඛකයන් වර්ණනා කරන සුන්දර සීගිරි ලලනාවන්ගෙන් කොටසක් අපට පමණක් නොව පිටරට අයට ද නොපෙනෙන්නට සැඟවී සිටියහ. ඒ අනුව සීගිරියට යන එන දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට හැකි වූයේ ලෝ ප්‍රකට සීගිරි ලලනාවන්ගෙන් කොටසක් පමණි. ඒ ලලනාවන් බැලීමට යන ගමන් මාර්ගය ද මගදී වසා තිබිණි. නරඹන්නට හැකි වූයේ ලලනා චිත්‍ර 10 – 12 ක් පමණක් බව නරඹන්නෝ කීහ.

මේ ගැටලුවට විසඳුමක් ලෙස පරිසර අමාත්‍යාංශයේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මේ ස්ථානයට දැන් නව නැරැඹුම් වේදිකාවක් ඉදි කරමින් සිටිති. මේ වේදිකාව ඉදි කරන්නේ බිම සිට නොවේ.

අඩි 100 උසකින් සීගිරි ගලේ වඳුරන් මෙන් එල්ලී සිටිමිනි. මීට වසර 75 කට පෙර බෙල් මහතාගේ කාලයේ මෙහි තිබූ පැරණි වේදිකාව ඉදිකර තිබුණේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරුන් ය.

සීගිරියේ සිතුවම් බැලීමේ නව නැරැඹුම් වේදිකාව
සුදු යකඩෙන් සකස් කරන අයුරු.

මේ සැරේ නැරැඹුම් වේදිකාව හදන්නේ අපේ ගමේ කොල්ලෝ හය දෙනෙකි. ගමේ නොව කහටගහ පතලේ වැඩකාරයෝ කිව්වොත් වැරැද්දක් නැත.

මේ වැඩේ කරන්නට පහත සිටම කණු සිටවිය යුතු බව මෙරට ප්‍රවීණ ඉංජිනේරුවෝ පැවසූහ. නමුත් එය සීගිරිය ගලේ දර්ශනයට අවහිරයකි. සුන්දර සීගිරිය දසුන ඉන් අසුන්දර වීමට ඉඩ තිබිණි.

පුරාවිද්‍යා මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති මහාචාර්ය එන්.පී. විජයානන්ද මහතාට දැන්වීය. ඒ අනුව විජයානන්ද මහතා මේ වැඩේ පැවරුවේ තම ප්‍රධාන තාක්ෂණ නිලධාරි රංජිත් මංචනායක මහතාටයි.

ඔහු මේ සඳහා ප්‍රවීණ ඉංජිනේරුවන් සෙව්වේ නැත. තම තාක්ෂණ ඥානයත් කහටගහ පතලේ කොල්ලන් හය දෙනෙකුගේ දස්කම් ද එක්කරගෙන වැඩේ පටන් ගත්තේ ය.

කලින් තිබූ අඩි 2 ක් පළල වේදිකාව වෙනුවට තනි සුදු යකඩෙන් තැනූ පළල අඩි 4 ක් හා දිග අඩි 50 ක් වූ වේදිකාවක් දැන් එහි ඉදිවෙමින් පවතී.

රංජිත් මංචනායක මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව මේ සුවිශේෂ ඉදිකිරීම කරගෙන යයි.

“මෙවැනි දෙයක් අපේ අය කරන්නේ ප්‍රථම වතාවට. ඒත් අපිට ඒක අභියෝගයක් නෙමේ. ප්‍රථම වතාවට, අවුරුදු 75 කට පස්සේ මෙවැනි ඉදිකිරීමක් සීගිරියේ කරන්නේ. මේක ලේසි පහසු දෙයක් නොවේ. පොඩ්ඩක් අත ඇරුණොත් ඇඟේ කෑලි තමයි. ඒත් අපේ කොල්ලො ඒවාට ඔට්ටුයි.”

මුලින් ම මේ වේදනාව හදන කොට උඩ ඉදන් දාපු කඹේක සවි කරපු ටයර් එකක ඉදන් තමයි ගල විදලා මුල් ඇණ ටික දැම්මේ. ඊට පස්සෙයි තාවකාලික තට්ටුව හදා ගත්තේ.

අපි ලෝකෙටම අපේ සීගිරි ලලනාවන් වැඩි පිරිසක් පෙන්නන්නයි මේක කරන්නේ. මේ වැඩේ අවසන් වූ විට දෙස් විදෙස් සංචාරකයන් ට සීගිරි ලලනාවන් ගේ සියල්ලගේ ම නියම රුව පැහැය බලා ගන්න පුළුවන් වේවි.

අද සීගිරි ලලනාවන් බලන්න එන අයට නැරඹීමට අවස්ථාව ලැබී ඇත්තේ සීගිරි ලලනා සිතුවම්වලින් සියයට 50 කටත් අඩු ප්‍රමාණයක්. දැන් ඒ සියල්ලම බැලීමට අවස්ථාව ලබාදීමට අපි මේ නව වේදිකාව ඉදිකරනවා. ඉස්සර තිබූ වේදිකාව පළල අඩි 2 යි. එය මීට අවුරුදු 10 කට පෙර දිරා ගොස් තිබුණා” මංචනායක මහතා කීය.

මෙහිදී ගල සිදුරු කිරීම කරන්නේ පුංචි ගල් කටුවක් භාවිතයෙනි. ගල් කටුව අතින් අල්ලාගෙන රාත්තල් 4 ටත් වඩා බර අඬු මිටියකින් කටුවට ගසනු ලැබේ. මේ ක්‍රියාවලියෙන් සීගිරි පර්වතයට කිසිම බලපෑමක් නැත. කිසිම දෙදරීමක් ද නැත.

මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ලක්ෂ 50 කි. ජයිකා ව්‍යාපෘතියේ ආධාරයන් ලෙස මෙය ලැබේ.

සීගිරියේ දී අපට හමුවූ ඉන් එක් ශිල්පියෙකු වන නිහාල් ප්‍රේමතිලක මහතා පැවසුවේ මෙතරම් ඉහළක සිට මේ සීගිරිගල සිදුරු කර වේදිකාවක් ඉදි කිරීම තම ජීවිතයේ ලොකු අභියෝගයක් බවයි.

මීට අමතරව ලෝක උරුම සීගිරිය සුරැකීමට තවත් සංරක්ෂණ වැඩපිළිවෙළ රැසක් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා භූ පතල් කැණීම් කාර්යාංශය ක්‍රියාවට නංවා ඇත.

සීගිරිය ගලේ විවිධ ස්ථාන වලින් පහළට ගලා එන ජලය නරඹන ජනතාවට සිත්තම් ලෙන ට වැටීම වැළැක්වීමට ද කටයුතු කර ඇත. ඒ සඳහා පර්වතයෙන් ඒ ස්ථානවල ටයර් එකක එල්ලී ගල සිදුරු කර පසුව ඒ සිදුරු වලට සුදු යකඩ දමා ඒ මත සුදු යකඩ තහඩුවක් දමා මේ ජල ප්‍රශ්නයට පිළියම් කර ඇත.

සීගිරිය පර්වතය මත තැනින් තැන වැවෙන ගස් වැල් ආදිය ද පර්වතයට තර්ජනයකි. ඒවා ඉවත් කිරීමට දැන් සිදුකෙරේ. සීගිරියේ ඉහළම සිට පහළට ජලය ගලා එන ජල මාර්ගය ද පසුගිය කාලයේ අබලන් වී තිබිණි. ඒ නිසා ජලය පර්වතය මැද ට වැටී විසිරී යනු දක්නට ලැබුණි. ඉහළ සිට පහළටම මේ ජලය කරදරයක් නැතිව ගලා යාමට නව තාක්ෂණික වැඩපිළිවෙළක් ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය දැන් ක්‍රියාත්මක කර ඇත.

සීගිරිය අවට ඇති පුරාවස්තු පිළිබඳව භූ භෞතික විද්‍යාඥයන් නවීන යන්ත්‍ර මඟින් පරීක්ෂණ පවත්වමින්

“සීගිරිය උඩ සංරක්ෂණය කර තිබෙන රජමාලිග පොකුණු ආදිය තිබෙනවා. ඒවා නිරන්තරයෙන් වැස්සට අව්වට ලක්වෙනවා. මේ නිසා ඒ ගඩොල් ඒ අයුරින් ම දිගටම තබා ගැනීම අපහසුයි.

මේ ඉහළ හා මැද ඇති අයුරින් ම මේ පුරාවිද්‍යාත්මක තත්ත්වය ඉදිරියට නඩත්තු කිරීමට වාර්ෂිකව ගඩොල් ලක්ෂ 20 ක් සිමෙන්ති වැලි ආදිය උඩට ගෙන ඒමට අවශ්‍යයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: