Posted by: lrrp | September 23, 2009

ගැමුණු කුමරුගේ මිතුරකු වූ මිහින්තලේ පූජා බඩු කඩේ දෙමළ මුදලාලි

එළාර රජ අනුරාධපුරයෙන් නෙරපා දැමීමේ උපක්‍රමශීලී සැලැස්‌ම ක්‍රියාත්මක කරනු වස්‌ ගැමුණු කුමරු යුද්ධයට පෙරාතුව කාර්ය කටයුතු කිහිපයක්‌ ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙහි නිරත විය. එළාර රජුගේ යුද්ධ ශක්‌තිය, අනුරාධපුර ප්‍රදේශයේ මර්මස්‌ථාන නිරීක්‍ෂණ කිරීම තම බුද්ධි අංශයට පමණක්‌ නොපවරා තමන් විසින්ම නිරීක්‍ෂණ කොට තීරණාත්මකව සිටීම එළාර රජුගේ යුද ශක්‌තිය ඉදිරියේ අත්‍යාවශයෙන්ම විය යුත්තක්‌ ලෙස ඔහු සළකා තිබේ. එහිදී තම පියරජ කාවන්තිස්‌ස දෙන ලද අවවාද හා අනුශාසනා ඉවත දැමීමට තරම් ඔහු දැඩි සේ එඩිතර වී ඇත.

මහාවංසය අනුව ගැමුණු කුමරු තම පියා වූ කාවන්තිස්‌ස සමඟ ඇති වූ මත ගැටුමකින් පසු මලය දේශය බලා පිටත්ව ගිය බව සඳහන් වේ. මහා වංශයෙහි
“පලායිත්වා මලයං තුර්Cධිත්වා පිතුනො අගා
දුට්‌ඨත්තායෙව පිතරී ආහුතං දුට්‌ඨගාමිනිං”

“ගැමුණු කුමරු තෙමේ හැකි වූ කාලයෙහි ශක්‌තිය හෝ බලයෙන් දක්‌නේ “දෙමළුන් හා යුද කරන්නෙමි” යි පිය රජ හට කථා කරවීය. රජ තෙමේ ඔහු රක්‌නේ “ගඟින් මෙතෙර පමණය” යි වැලකූයේය. ගැමුණු කුමරු තුන්වැනි වරතෙක්‌ එසේම කතාකරවීය. පියරජ හට කිපී පලාගොස්‌ කඳුරටට ගියේය. ඉහත කී මහාවංස විස්‌තරය තවදුරටත් විශද කරන මහාවංස ටීකාකාරයෝ පියා කෙරෙහි කිපී මාගමින් පලාගොස්‌ කොට්‌ඨ නම් කඳුකරයට (කොත්මලයට) ගියේ යයි පවසති.

පියරජ හා ඇතිවූ මතභේදය කුමක්‌ වුවත්, ගැමුණු කුමරුගේ මෙම ක්‍රියාවෙන් පෙනෙන්නේ ඔහු තමන්ගේ පූර්ව යුද්ධ නිරීක්‍ෂණ කටයුතු සඳහාම රහසිගත වැඩපිළිවෙළක නිරත වූ බවයි. චර පුරුෂ චරිතයක නියෑළුණු ගැමුණු කුමරු පිළිබඳ තොරතුරු මෙකල අනාවරණ නොවන්නේ දැඩි රහසිගත වැඩපිළිවෙළක නිරතව සිටි බැවිනැයි සිතිය හැකිය.
කොත්මලේ ප්‍රදේශයේ පවතින එක්‌තරා ජනප්‍රවාදයක්‌ මෙසේය.

කොත්මලේ සැඟවී සිටි ගැමුණු කුමරු එක්‌ අවස්‌ථාවකදී වෙස්‌වලාගෙන මහනුවර, මාතලේ හරහා විජිතපුරයට ගොස්‌ එහි දෙමළ බලකොටුවේ තොරතුරු සොයා මැනගෙන පසුව බෞද්ධයකු සේ අනුරාධපුරයට ගොස්‌ මල්වතුඔය ආසන්නයේ ගසක්‌ යට වාඩිවීමෙන් වෙහෙස නිවාගන්නට විවේක ගෙන ඇත. ස්‌වල්ප වේලාවකදී රජකුමරුට නින්ද ගිය අතර ඇතිවූ ශබ්දය නිසා අවදිවී වටපිට බලන විට දුටුවේ මුව දඩයමේ යෙදී සිටින, මුවකුට විදින්නට සූදානම් වන ආකාරයයි. නමුත් ගැමුණු කුමරුන් එළාර රජ නොහඳුනන නිසා එම දඩයම්කරුවාට මෙසේ ආමන්ත්‍රණය කර ඇත.

“එම්බල ජඩයෘ ආහාර අනුභව කරන සතකුට විද මැරීම මොනතරම් අධම ක්‍රියාවක්‌ද? වහා ඔය අපරාධය නවතනුෘ යනුවෙනි.

මෙම කතාව ඇසූ එළාර රජ වික්‌ෂිප්තියට හා පුදුමයට පත්වූයේ මට මෙලෙස අපහාස වන විදියට මා අමතා වටිනා පණිවිඩයක්‌, උපදේශයක්‌ දුන් භියෙන්, ත්‍රාසයෙන් තොර මේ මිනිසා කවුරුන්ද යන වගයි.

කුමරු ළඟට ගිය රජ ඔහු සමඟ කතාකරන්නට විය. තමා වන්දනාකරුවකු බව පවසා රජුට අර්ථයෙන්, ධර්මයෙන් වටිනා දහම් කරුණු රාශියක්‌ කියාදුන් හෙයින් වඩාත් පැහැදුණු එළාර රජ මේ ආගන්තුක වන්දනාකරුවාට තමා හඳුන්වා දී තමා එළාර රජ බවත් තිළිණයක්‌ ලෙස තමා පැළඳගෙන සිටින බලසම්පන්න පේරැස්‌ මුද්ද දී ඇත. ඊට පසුව රාජ වරප්‍රසාද ලබන්නට හෙට දින උදේ රජවාසලට එන ලෙස දන්වා එතෙක්‌ හඳුනා ගන්නට පේරැස්‌ මුදුව තබා ගන්නා ලෙස දන්වා රජ වාසලට එන අතරමගදී සොළී හමුදාවන්ගෙන් යම් ප්‍රශ්නයක්‌ වන්නේ නම් මෙම මුදුව පෙන්වා ඔවුන්ගේ රැකවරණය ලබා ගන්නා ලෙසටද උපදෙස්‌ දී ඇත.

ගැමුණු කුමරු එයින් පසු අනුරාධපුරයට ගොස්‌ බෞද්ධ සිද්ධස්‌ථාන වැඳපුදාගෙන රාත්‍රියේ සිංහල බෞද්ධ නිවසක්‌ සොයාගෙන එහි නවාතැන් ගැනීමෙන් අනතුරුව අනුරාධපුරයේ තොරතුරු සියල්ල ඔවුන්ගෙන් දැනගෙන පාන්දරම අවදිවී රජ හමුවීමට නොගොස්‌ ආපසු කොත්මලේ බලා පිටත්ව ඇත. ඊයේ තමාට හමුවූ තරුණ වන්දනාකරුවා විශේෂ රාජ්‍ය වරප්‍රසාද ලබාගන්නට රජ හමුවීමට එනතුරු බලාගෙන සිටියද තමාගේ බලසම්පන්න පේරැස්‌ මුද්ද අහිමිවීගෙන එන බව දැන සියලු හැඩහුරුකම් කියා මෙම තරුණයා අල්ලාගෙන එන ලෙස හමුදා භටයන් යවා අනුරාධපුර නගරය තුළ සෝදිසි මෙහෙයුම් දැඩි ලෙස සිදු කළ ද එවන් අයකු නැති බව දැනගෙන ආරක්‌ෂකයෝ රජුට තොරතුරු දක්‌වන්නට වූහ.

ඔහු නොමැති බව කනවැකුණු එළාර රජ ඉතා ශෝකයට පත්ව පේරැස්‌ මුදුවේ අසීමිත බලයෙන් තමා සියලු යුද කෝලාහල ජයගත් බවත්, මෙය නැති වුවහොත් තමාට එවන් යුද බලයක්‌ ලබන්නට තියා සිතන්නටවත් බැරි බව කියූවිට ඇමැතියන් කියා ඇත්තේ සමහර විට රජුට හමුවූයේ වෙස්‌වළාගත් ගැමුණු කුමරුද යන්න ප්‍රශ්නයක්‌ බවයි. මෙයින් අධික ලෙස කුපිත වූ එක්‌ ඇමැතියකු මොහු කෙසේ හෝ අල්ලා ගතයුතු බව දන්වා මල්වතුඔය ඔස්‌සේ යන විටදී ඔහුට පලායමින් සිටි ගැමුණු කුමරු හමුවිය. ඔහු ගැමුණු කුමරු යන මග හරස්‌කොට තමා කවුද? කොහි යන්නෙහිද? යනුවෙන් ප්‍රශ්න කළ විට, සඟවාගෙන සිටි කඩුව ඇදගත් කුමරුවා “මම නම් ගැමුණු කුමරා” යයි පවසා ඔහු සමඟ සටනට පිවිස ඇමැතියා දෙපළුකර මරා දමා යළි රහසිගත ලෙස විවිධ වනගත මංමාවත් ඔස්‌සේ කොත්මලයට පැමිණ ඇත.

(කොත්මලේ පුරාවෘත්ත. ජී. බී. කෙහෙල්ගමුව 1935) චර පුරුෂ කාර්යයේ යෙදී සිටි ගැමුණු කුමරුගේ රහසිගත ජීවිතය පිළිබඳ වූ මෙම ජනප්‍රවාදය පැවැසූ ආකාරයෙන්ම සත්‍යයයි පිළිගත හැකි නුවූවත් මෙම ජනප්‍රවාදයේ ඓතිහාසික හරය වන්නේ ගැමුණු කුමරු යුද්ධයට පෙර චරපුරුෂයකු ලෙස තමන්ම අනුරාධපුර ප්‍රදේශය නිරීක්‍ෂණය කොට ඇති බවය. ඊට බලවත් සාක්‌ෂියක්‌ ලෙස ඔහුගේ මිතුරකු ලෙස සැලකූ මිහින්තලේ සුවඳ පූජා ද්‍රව්‍ය විකුණන කඩේ බ්‍රාහ්මණ මුදලාලි පිළිබඳ විස්‌තර ඉදිරිපත් කළ හැකිය.
මාගම විසූ ගැමුණු කුමරුට මිහින්තලේ ප්‍රදේශයේ අන්‍ය ජාතික මිතුරකු සිටීමට කෙසේවත් පිළිවන්කමක්‌ නොතිබිණ. එසේ මිත්‍රත්වයක්‌ ගොඩනැගී තිබුණේ නම් නිසැක ලෙස ගැමුණු කුමරු අනුරාධපුර එළාර රජුගේ පාලනය පැවැති විජිතයේ සෑහෙන කලක්‌ රහසිගතව ගත කළ යුතු අතර එසේ මිත්‍රත්වයක්‌ ගොඩනගා ගැනීමට වුවද ඉතා රහසිගත විශ්වාසවන්ත සම්බන්ධයක්‌ වීම අනිවාර්යය.

ඉදිරියේදී නිසැකයෙන්ම තමන් විසින් කරනු ලබන එළාර විරෝධී ආක්‍රමණය සාර්ථක කරගනු පිණිස තමා විසින්ම අනුරාධපුර රාජධානි පෙදෙස යුද මෙහෙවරක්‌ සඳහා අධ්‍යයන කිරීම පිණිස ගැමුණු කුමරු රහසිගතව අනුරාධපුර පෙදෙස නිරීක්‍ෂණ කටයුතුවල යෙදී සිටිය බව මේ කරුණුවලින් අනාවරණය වෙයි.

එහිදී ඔහු බෞද්ධ වන්දනාකරුවකු ලෙසින් අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවල සැරිසරනු ලැබූ බව නිසැකය. මෙසේ වන්දනාමානවල යෙදීමේදී ආගමික ස්‌ථාන පිදීම සඳහා අවශ්‍ය සුවඳ පූජා භාණ්‌ඩ ලබාගනු පිණිස නිතර නිතර මිහින්තලේ බ්‍රාහ්මණ මුදලාලිගේ සුවඳ ද්‍රව්‍ය සල්පිලට යැමේ පුරුද්ද ගැමුණු කුමරු වෙත පැවැති බව ද මෙරට සුවඳ ද්‍රව්‍යවලට වඩා දකුණු ඉන්දියාවේ සුවඳ ද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉහළ නිසා මෙම සල්පිලටම සුවඳ ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස පැමිණීමට අභිමත වූ බව ද, මෙසේ නිතර නිතර පැමිණෙන මෙම ආගන්තුක වන්දනාකරුවා සමඟ කඩේ මුදලාලි ක්‍රම ක්‍රමයෙන් මිතු දමක්‌ ගොඩනඟාගෙන තුබූ බව පෙනෙයි.

තමා මාඝම කාවන්තිස්‌ස රජුගේ පුත්‍ර ගැමුණු කුමරු බව මෙම මුදලාලිට හෙළිකර තිබුණෙන් මෙසේ සැකහැර විශ්වාසවන්ත මිත්‍රත්වයකට පත්වූ බව නිසැකය. එසේ නොමැති නම් තමා නැවත මාගමට පැමිණි පසු ඔහුගේ දසමහ යෝධයන්ගෙන් එකකු වූ සුරනිමල මෙම මුදලාලි කරා යවන්නේද නැත.

ගැමුණු කුමරුට නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථෙරපුත්ථාභය, භරන, වේළුසුමන, ඛංචදේව, පුස්‌සදේව සහ ලභිවය වසභ නමින් මහ බල ඇති දශමහ යෝධයෝ ඇති වූහයි මහාවංසයේ සඳහන් වේ. ඔවුනතුරින් සුරනිමල පිළිබඳ කථාව මෙසේය.

කාවන්තිස්‌ස රජුගේ අන් බිසවක පුත් දීඝාභය කුමාරයා මහවැලි ගඟේ කසාතොට රැකවල් පිණිස ස්‌ථානගතකොට සිටියේ ඒ තෙමේ ආරක්‌ෂාව පිණිස හාත්පස දෙයොදුනක්‌ම මනකුලයකින් එක්‌ එක්‌ පුතකු බැගින් කඳවුරට ගෙන්වීමට කටයුතු කළේය.

කොට්‌ටා දනව්වෙහි තඹවිට නම් ගම පුතුන් සත් දෙනෙකු ඇති සංඝ නම් වූ ප්‍රධාන කුලපතියෙක්‌ විය. රජ කුමරු පුතකු ගෙන්වා ගනු කැමැත්තේ ඔහු වෙත දූතයන් යෑවීය. ඔහුගේ සත්වෙනි පුත්‍රයා “නිර්මල” නම් විය. ඔහුට ඇතුන් දස දෙනකුගේ බල ඇත්තේය. ඒ අනුව නිර්මල පැමිණ රජකුමරු දිටී.

රජකුමරු තෙමේ නිර්මලයාගේ බලශක්‌තිය පිරික්‌සනු පිණිස ඔහු විමසනු සඳහා දුර කටයුත්තක යෙදුයේය.

“සෑගිරිපව්ව අසල දොරමඩලාවේ මා යහළු බමුණෙක්‌ වෙසෙයි. ඔහු වෙත මුහුදින් එතෙර සිට ගෙනෙන ලද බඩු, එනම්, කපුරු, සඳුන් ආදී පූජා ද්‍රව්‍ය ඇත. තෝ ගොස්‌ ඔහු විසින් දෙන ලද්දාවූ බඩු මෙහි ගෙන එව” යි මෙසේ කියා බත්කවට ලියුමක්‌ද යෑවීය.

අනුරාධපුර ඒ කසාතොටින් නව යොදුන්මත්තෙහි පිහිටියේය. ඒ තෙමේ පෙරවරුම ගොස්‌ බමුණා දිටී. බමුණු තෙමේ “දරුව වැව නහා එව” යි කීහ. මෙහි පෙර නා බැවින් තිසා වැව නහා මහා බෝධියද, ථූපාරාමයේa චෛත්‍යයද පුදා සියලු පුරයදක්‌නට නුවරටත් වැද සල්පිලින් සුගන්ද ද්‍රව්‍ය ගෙන එහි උතුරු දොරින් නික්‌ම උපුල් කෙතින් උපුල් මල්ද, ගෙන බමුණා වෙත එළඹියේය.

බමුණා විසින් විචාරණ ලද්දාවූ ඒ තෙමේ තමන්ගේ ගමන් කීය. ඒ බමුණු තෙමේ ඔහුගේ පළමු ඊමත්, නැවත ගොස්‌ මෙහි ඊමත් අසා විස්‌මිත වූයේ “මේ තෙමේ පුරුෂ ජානියෙක මහ බල ජවන ඇති පුරුෂයෙක. ඉදින් එළාර රජ දතහොත් මොහු අත්පත්කොට ගන්නේය.

එහෙයින් මේ තෙමේ දෙමළුන් සමීපයෙහි වස්‌වන්නට නුසුදුස්‌සේය. රාජ පුත්‍රයාගේ පිය රජු සමීපයෙහි වාසය සුදුසු යෑයි සිතුවේය.

මෙසේම තමා විසින් සිතන ලද සියල්ල ලියා ලියුම ඔහුට දුන්නේය. පුණ්‍යවර්ධන නම් මහාර්ඝ වස්‌ත්‍ර යුගල ද බොහෝ පඬුරුද දී මිතුරු ගැමුණු කුමරු වෙත යෑවීය.

ඒ තෙමේ සවස්‌ මානයෙහි රජකුමරු වෙත ගොස්‌ ලියුමද පඬුරුද දුන්නේය. ගැමුණු කුමරු මහත් සේ ප්‍රසාදයට පත්ව තුටු පඬුරින් ඔහු සංග්‍රහ කළේය.

මෙම සියලු පුවත්වලින් පෙනෙන්නේ ගැමුණු කුමරු යුද්ධයට පෙරාතුව අනුරාධපුර ප්‍රදේශය මැනවින් ගවේෂණය කොට පැහැදිළි දැනුමකින් සිටි බවය. මේ කාර්ය කටයුතු සඳහා අනුරාධපුර යාමේ ගැමුණු කුමරුගේ අදහසට පිය රජ කාවන්තිස්‌ස විරුද්ධවන්නට ඇත. ඒ බව මහාවංසයෙහි

“රාජා තං අනුරක්‌ඛන්තො “ඔරගඟං අලං” ඉති
වාරෙසි යාවත්තීයං සො තථෙව කථාපයි”
“රජ තෙමේ ඔහු රක්‌නේ ” ගඟින් මෙතෙර පමණයි” වැළකුවේය. ගැමුණු කුමරු තුන්වන වරතෙක්‌ එසේම කථාකරපීය.

තම ආදරණීය ගැටවර වියේ මෙම පුතු මේ අන්දමින් හිතුවක්‌කාර ගමනෙක යෙදී එළාර රජ අභිමුවට පත්වුවහොත් සිදුවිය හැකි විනාශය පිළිබඳ කාවන්තිස්‌ස පියකු ලෙස පරීක්‍ෂාකාරීව කල්පනාකොට තම විරුද්ධත්වය පළකොට ඇත. එහෙත් තමා අභිමුවෙහි ඇති මහත් වූ කාර්යභාරය ඉටුකර ගනු පිණිස දුටුගැමුණු පැකිලීමකින් තොරව ඉදිරිපත්වී දැඩි අධිෂ්ඨානයෙන් එඩිතර වී ඇති බව මේ සියලු කරුණුවලින් එළඹිය හැකි නිගමන වන්නේය.

කාවන්තිස්‌ස පියරජ සිතූ පරිදිම අනුරාධපුර ගැමුණු කුමරු චරපුරුෂයකු ලෙස සිටින බව එළාර රජුට දැනගැනීමට ලැබුණේ වුවද ඔහුට අසු නොවී නැවත පලා ඒමට ගැමුණු කුමරු සමත් වී ඇත.

ගාමිණී මෛත්‍රීවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: