Posted by: lrrp | December 28, 2009

මිදෙල්ලව කෝරාළ

මෙරට පැරණි රාජ්‍ය පාලන ක්‍රමය අනුව කෝරළයක්‌ පාලනය කළ නායකයා “කෝරාළ” යනුවෙන් හැඳින්විණි. ඔහුට අසීsමිත බලතල පැවරී තිබුණි. තම කෝරළයේ ආදායම් රැස්‌ කිරීම, සාමය පවත්වාගෙන යැම, ජන ජීවිතයේ එදිනෙදා පැනනගින ගැටළු නිරාකරණය කිරීම, පහසුකම් සැලසීම හා තම කෝරළයේ පරිපාලනය පිළිබඳව ඉහළ නිළධාරීන්ට වගකීමද කෝරාළගේ රාජකාරි අතර ප්‍රධාන කාරණා විය. අතීත පාලන ක්‍රමය අනුව කෝරාළ යනු ඉතා වැදගත් තනතුරක්‌ විය.

එදා සත් කෝරළයේ ගිරාතලාන කෝරළය පාලනය කළේ මිදෙල්ලව කෝරාළ විසිනි. ඔහු බලවතෙක්‌ වූවා සේම ජෝතිෂ්‍ය පිළිබඳ නමගිය කෙනක්‌ද විය. ගුප්ත විද්‍යා කටයුතු වලින් එකල මෙහි සිටි ඉන්දියානු ශිල්පීන්ද මවිතයට පත්කොට ඇත. සියල්ලටම වඩා මිදෙල්ලව කෝරාළ උපන් කවියෙකි. කවියට ඉතා දක්‌ෂයෙකි.

එක්‌ දිනක්‌ කෝරාළගේ මස්‌සිනා වලව්වේ මාවී බිහි මඩුවෙ තෙලක්‌ සිඳිමින් සිටියා. හදිසියේම මාවී බිහි මඩුවට ගිනි ඇවිලුනා. අර මනුස්‌සය ගින්න නිවාගන්න කොච්චරවත් ඔට්‌ටු උනාට කරගන්න බැරි උනා. කෝරාළ වහා එතැනට දිවගෙන අවුත් මෙන්න මේ කවිය කීවේලු.

නිති හිඳි ඉඳි ගිනි දිසි දිසි දීටී හිරී
හිකිරිනි මිදි ඉදි පිටි සීනි මී කිරී
වේලේ වෙලේ විලි දී හිරි දිටී හිරී
මේ ලේ ගිලී විසිරී වී වී පි පිරී

ගින්දර වහාම නිවිල ගියා. මිදෙල්ලව කෝරාළ රජවාසල සමග සමීප සබඳතා ඇතිව සිටි කෙනෙක්‌. රජවාසලට ගියාම දේවීන්වහන්සේ බොහෝම සන්තෝසයි. මොකද මුන්නැහැගෙ කවි අහන්ඩ. එක දවසක්‌ කවි කියන්ට කියනකොට රජ දේවිය අතේ පොඩි දරුවෙක්‌ හිටියා. මුන්නැහැ කවි කියනවා. එතකොට අර දරුවා මහ හඬින් අඬනවා. කෝරාළට තරහ ඉවසුම් නෑ. කිව්ව කවියක්‌ අර ළමයට නින්ද යන්ඩ. දේවිය ඇඳල හිටිය සාරියට පැළඳගෙන හිටි මල් වඩමට ඔක්‌කොමට එක්‌කයි. මේ කවිය ගොතල තිබුණෙ.

මිදෙල්ලව එක දවසක්‌ කිසියම් අවශ්‍යතාවයකට සත් කෝරළයේ හිරියාල හත්පත්තුවෙ වැල්ලව කෝරළේ පාලනය කළ වැල්ලව කෝරාළගෙ වලව්වට ගියා. ඔවුන් දෙන්න ගජ මිතුරො. රෑ බෝවූ නිසා එදින ආපසු ගමන් නොයෙදුනෙන් රෑ කෑමෙන් පස්‌සේ වලව්වෙ සුවිසල් සාලයේ සියල්ලන්ම සතුටු සාමිචියේ යෙදිල ඉන්නවා. කෝරාළ ආපු ආරංචියට තවත් අහළ පහළ වැදගත් අයත් මෙතෙන්ට ඇවිල්ල හිටිය. එදා එතැන කිතුල් රා අඩුවක්‌ නැතුව තිබුණා. වැල්ලව කෝරාළට කිතුල් රා සපයන්න කොරොස ගමේ මල් හොඳ… ගේ යන වාසගම ඇති අයයි. කිතුල් රා කිසිම කලවමකින් තොරව සැපයීම නිසා මේ පරපුරට ඒ නම ප්‍රදානය කර තිබුණයි කියනව. කාබී ප්‍රීති ප්‍රමෝදයට පත් මේ මිතුරු සංසදය මහ රෑ වන විට එකම රස ගුලාවක්‌ බවට පත් උනා. වැල්ලව කෝරාළද උගතෙක්‌ හා රසවතෙක්‌.

තම ගජ මිතුරාවූ මිදෙල්ලව කෝරාළට විහිළුවක්‌ කිරීමට සිතූ වැල්ලව කෝරාළ එවේලේ මිදෙල්ලව අමතා මේ කවිය කිව්වා.
චතුර කතාවක්‌ ඇති බැව් හැඟුනි මට
වතුර ගලන සේ අදහස්‌ ඇත ඔබට
මිතුර ඔබේ නම කලකට පව තින්ට
අකුරු දෙකේ සිව්පදයක්‌ කියන් මට

හදිසියේම තමා වෙත එල්ල වූ මේ අභියෝගය මිදෙල්ලව කෝරාළ පිළිගත්තා. ඔහු මේ ආකාරයටයි උත්තර දුන්නෙ. ඒ අකුරු දෙකේ කවියට අඩංගු උනේ “ව” සහ “ල” යන අකු=රු දෙක පමණයි.

වැල්ලව වෙලේ වේ වැල්වල වවුල්ලූ
විල්වල වේලිවල වැව්වල ලූල්ලු
වලව්වෙ වී වේලුවාලු වාල්ලු
වැල්ලව වලව්වේ ලී ලෝලු ලෑලිලු

විවිධ හපන්කම් පෑ උගතෙක්‌ වූ මිදෙල්ලව කෝරාළට එකල කටුගම්පොල හත්පත්තුවේ මැද්දෙකැටිය කෝරළේ බදව ගම් 29 ක ගම්වරක්‌ තෑගි ලැබී ඇත.

(සැ. යු.- මිදෙල්ලව කෝරාළගේ පස්‌වෙනි පරපුරට අයත් පූජ්‍ය විහිනාවේ අංගීරස ස්‌ථවිරයන් වහන්සේ ඉහත ඇතැම් විස්‌තර සපයා දුන් බව ස්‌තූති පූර්වකව සඳහන් කරමි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: