Posted by: lrrp | January 11, 2010

සෝමාවති රක්ෂිතයේ හුදෙකලා වූ අපේ උරුමය

ශ්‍රී ලංකාවේ මහ වනාන්තර අතුරින් සෝමාවතිය රක්ෂිතය කරුණු ගණනාවක් ම හේතුවෙන් අපගේ අවධානය ඒ කරා යොමු කර ගනියි. සෝමාවතිය යන නාමය සඳහන් කෙරෙන සෑම මොහොතක ම මෙරට මහ ජනතාවගේ සිහියට නැගෙනුයේ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින චෛත්‍ය රාජයෙකි.

මේ ලිපිය මඟින් ද පෙන්වා දීමට උත්සාහ කෙරෙනුයේ මෙරට නැඟෙනහිර කලාපයේ ව්‍යාප්ත ව පවතින මහ වන මැද අපගේ යටගියාවේ ශේෂයන් සමඟ බැඳුණු උරුමය පිළිබඳ ව ය. සැබැවින් ම මෙරට පැවැති ජාතිභේද කෝලාහල නිසා මෙකී කලාපයේ වනගත ව පවතින උරුමය අධ්‍යයනය කිරීමට මෙරට ශාස්ත්‍රඥයන්ට අවස්ථාවක් නොලැබුණි.

සමහරු මේ අතිශය දුෂ්කර ක්‍රියාවලියට මැදිහත්වීමට මැලි වෙති. අප වසර 3 කට අධික කාලයක සිට මේ භාරදූර කාර්යය සිදු කරමින් සිටින බව ද, මෙහිදී සඳහන් කිරීම යෝග්‍ය යැයි හැඟේ. වර්තමානයේ සෝමාවතිය රක්ෂිත භූමියේ දකුණු දිග සීමාව වනුයේ සුංගාවිල හා පෙරියාරු අතු ගංගාවයි.

නමුත් 20 වන සියවසේ පටන් සුංගාවිල ඇතුළු ගොවි ජනපද ආරම්භ කිරීමට පෙර මේ රක්ෂිත පෙදෙස වර්තමාන පොළොන්නරුව පැරැණි නටඹුන් නගර සීමාව දක්වා ව්‍යාප්ත ව පැවැති බවට ඓතිහාසික සාධක පවතියි. මහාවංශය සඳහන් කරන පරිදි මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153 – 1186) විසින් ගිරිතලේ වැවේ සිට සෝමාවතිය නමින් ඇළක් මඟින් කදුරුවඩමන් (කදුරුවෙල) ප්‍රදේශයට ඇළක් මඟින් ජලය ගෙන ගොස් ඇත. මේ ඇළ මාර්ගය මෙනමින් හැඳින්වීමට ඒ කාලය වන විටත් ඇළ මාර්ගය වැටුණු ප්‍රදේශය සෝමාවතිය නමින් හඳුන්වා තිබෙන්නට ඇති බවත්, ඒ සඳහා කිසියම් ප්‍රබල ඓතිහාසික සිද්ධියක් බලපා ඇති බවත් සිතීමට පුළුවන.

කරුණු මෙසේ හෙයින් වර්තමාන සෝමාවතිය රක්ෂිතයේ දකුණු දිග සීමා පොළොන්නරුව නගරය දක්වා ම ව්‍යාප්ත ව පැවැතුණායි සිතීම යෝග්‍ය ය. මේ සඳහා පුරාවිද්‍යාත්මක සාධක ද වේ. එනම් සුංගාවිල පල්ලියගොඩැල්ල 316, 400 සංඝබෝධිගම යන ගම්මාන ආශි‍්‍රත ව ද සෝමාවතිය රක්ෂිතය ප්‍රදේශයේ හමුවන නටඹුන්වලට සමාන පුරා ශේෂ ව්‍යාප්ත ව තිබෙනු පෙනේ. කරුණු මෙසේ හෙයින් පැරැණි යුගයේ කලාපයේ ක්‍රියාකාරකම් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමේදී සෝමාවතිය රක්ෂිතය වඩාත් පුළුල් බිම් කඩක් දක්වා ව්‍යාප්ත කර අධ්‍යයනයට බඳුන් කළ යුතු ව පවතියි.

මා විසින් මේ රක්ෂිත ප්‍රදේශයේ වර්ෂ තුනකට අධික කාලයක සිට සිදුකර එනු ලබන පුරාවිද්‍යාත්මක ගවේෂණ මඟින් පහත සඳහන් පුරා මානව කෘති අනාවරණය කර ගැනුණි. ඒවා නම්,

01. පුරාතන ස්තූප ගොඩැලි

02. වාස්තු විද්‍යාත්මක නිර්මාණ අවශේෂ

03. පූජනීය නිර්මාණවලට අයත් ශේෂ

04. පැරැණි මානව වාසස්ථාන ක්ෂේත්‍ර යනු ඒවායි.

මෙය එකී පුරාවස්තුන්ගේ සරල වර්ගිකරණයකි. දැනට භූමිය මතු පිටින් අනාවරණය වී ඇති සියලු ම පුරාකෘතීන්ට අයත් ශේෂ බෞද්ධාගම හා බැඳුණු ඒවා යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවනවා සේම අන්තවාදී හුවා දැක්වීමක් ද නොවනු ඇත.

අපගේ ගවේෂණාත්මක අධ්‍යයනවලට පාත්‍ර වූ සෝමාවති රක්ෂිත ප්‍රදේශය අයත් වනුයේ ශ්‍රී ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟෙහි පහළ පිටාර තැනිතලා භූමි භාගයටයි. මහවැලි ගංගාව සාගරය වෙත ළඟා වීමට පෙරාතු ව පිටාර ගලා ගලන්නේ මෙකී ප්‍රදේශය යටපත් කර ගනිමිනි. එබැවින් වසර ගණනක් තිස්සේ එසේ පිටාර ගැලීමෙන් බොහෝ පුරා සාධක යටවී සැඟැ වී ඇති බව නිසැක ය. කෙසේ වුවද, අද වන විට මේ මහා වනාන්තරය තුළ භූමිය මතුපිට පැරැණි මහවැලි නදී නිම්නීය ප්‍රදේශය ආශ්‍රීත ව දක්නට ලැබෙන ප්‍රධාන පුරා සාධකයක් ලෙස චෛත්‍ය නිර්මාණවල නටඹුන් පෙන්වා දීමට පුළුවන.

මේ සියලු ම ස්තූප මේ වන විට හාරා විනාශ කොට ඇත. ඇතැම් විට භූමියට සමතලා කර දමා තිබේ. ඒවායේ කුමනාකාර චෛත්‍ය සම්ප්‍රදායක් පැවතුණේ ද යන්න පැවැසීමට නම් එහි අභ්‍යන්තරයට යනතුරු විධිමත් පුරා විද්‍යාත්මක කැණීම් සිදු කළ යුතු ව පවතියි. මේවා හෑරීමට ලක්කර ඇත්තේ ගර්භය මුදුනෙහි බොහෝ විට නිදන් සොයන්නන් හෝ ආගම් විරෝධි අන්තවාදීන් මේ විනාශකාරී කටයුතුවලට සම්බන්ධ වන්නට ඇත. මෙසේ විනාශ කර දමා ඇති බෞද්ධ ආගමේ පූජනීය අංගයක් වන ස්තූප නිර්මාණය කිරීම සඳහා බහුල ව යොදා ගෙන ඇත්තේ ගඩොල් ය.

හාරන ලද එක් චෛත්‍යයක (බෝධියගල) පාදම, ගල් අතුරා ඒ මත විවිධ ප්‍රමාණයේ හා රටාවන්ට අයත් ගඩොල් යොදා ගෙන ගර්භය ආදි කොටස් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබුණි. ඒ ගඩොල්වල සංයුතිය ඉතා ම සියුම් ය. බොහෝ විට මේවාට යොදා ගත් මැටි අලි ඇතුන් යොදා ගෙන හොඳින් තලා පදම් කොට ඇඹරු ඒවා විය හැකි ය.

වසර 2000 ටත් වඩා කාලයක් සුරක්ෂිත ව පැවැතීමට එකී තාක්ෂණ විධි බලපා තිබේ. සෑම ස්තූපයක ම දක්නට ඇති ගඩොල් හොඳින් පිළිස්සුණ ඒවා බවට ද සාධක ලැබේ. මෙසේ විනාශයට පත් කරන ලද ස්තූප 20 ක් පමණ මේ වන විට අනාවරණය කර ගෙන තිබේ.

මහා වනාන්තරය තුළ හමුවන විනාශ කරන ලද ස්තූප නටඹුන් ආශි‍්‍රත ව සුවිශේෂි වාස්තු විද්‍යාත්මක නිර්මාණවලට අයත් නටඹුන් ද හමුවිය. මේවා සඳහා භාවිත මෙන් ම දක්නට ලැබෙන ශේෂයන් ද ගල් ය. විශේෂයෙන් ම ග්‍රැනයිට් හා නයිස් යන පාෂාණ මේ සඳහා භාවිතා කර තිබේ.

මේවායේ උපයෝගිතාවය කෙබඳු වී ද යන්න ස්ථිර නිගමන ලෙස ඉදිරිපත් කළ නොහැකි වුවද, ස්තූපයට ඉතා ආසන්න ව එනම් මීටර 15 – 30 අතර දුරින් පිහිටා තිබීම නිසා ඒවායේ ද පූජනීය අගයක් රඳා පවත්වා ගත්තා විය හැකි ය. මේ වාස්තු විද්‍යා නිර්මාණ ආශි‍්‍රත ව ඉතා දුලභ වශයෙන් බුද්ධ ප්‍රතිමා ශේෂයක් ද අනාවරණය වී තිබීම මීට හේතුවයි.

ඒ බුද්ධ ප්‍රතිමා අතරින් හිඳි සමාධි බුද්ධ ප්‍රතිමා දෙකක ශේෂ ද හිටි බුදු පිළිම දෙකක ශේෂ ද මේ වන විට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. යට කී සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් නයිස් හා තිරුවාණා පාෂාණ යොදා ගෙන තිබේ.

මේ හේතුවෙන් යට කී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් ප්‍රතිමා ගෘහයන් හෝ වෙනත් සංකේතාත්මක පූජනීය වස්තු තැන්පත් කොට වන්දනාමාන කිරිම පිණිස ඉදි කෙරෙන්නට ඇතැයි සිතීම වඩාත් යෝග්‍ය ද සාධාරණ ද වන්නේ මෙහෙයිනි.

සමහර විටෙක මෙකී ඉදිකිරීම් ආශි‍්‍රත ව බුද්ධ ප්‍රතිමා ශේෂ අනාවරණය කරගත නොහැකි වූ අතර, ඒ වෙනුවට අපට හමුවූයේ සිරි පතුල් ගල් ය. (මේවා ඉතා සරල රේඛිය ලෙස මතුකොට ඇති කැටයම් රහිත සිරි පතුල් ගල් ය) කැටයම් රහිත සිරි පතුල් ගල් ප්‍රතිමා වන්දනයට පෙර සංකේතාත්මකව බුදුරාජාණන් වහන්සේ නිරූපණය කිරීම පිණිස සුභාවිත පූජනීය වස්තුවකි. ආසන ද මේ උපයෝගීතාවයෙන් ම යුක්ත වුවකි. එය ඉතා සරල ගල් ලැල්ලකි.

ඒ ආසන ආවරණය වන පරිදි වහලක් සහිත කුඩා මන්දිරයක් ඉදිකර එය බුදුන් වෙනුවට වන්දනය කොට තිබේ. මෙකී කරුණු අනුව බුදුන් වහන්සේ වෙනුවට සංකේතාත්මක ව භාවිත කළ චෛත්‍යයක්, බෝධිය, ආසන, සිරි පතුල්, ගල් යනාදී පූජනීය වස්තු මේ මහ වනයෙන් අනාවරණය වීමෙන් පැහැදිලි වනුයේ බුදු දහම මෙරටට හඳුන්වා දුන් මුල්ම අවධියේ පටන් මෙකී ප්‍රදේශය බෞද්ධාගම ඇදහු ජන පිරිස් ව්‍යාප්ත ව සිටි බවකි.

විශේෂයෙන් ම මේ නටඹුන් ක්ෂේත්‍රවල ව්‍යාප්තික රටාවේ ඝනත්වය දෙස අවධානය යොමු කිරීමේදී සෑම මීටර 300 කට වරක් චෛත්‍යක් සහිත කුඩා ආගමික ස්ථානවල ශේෂ අනාවරණය කර ගත හැකි ය. මේ ව්‍යාප්තික රටාව දෙස බලන විට අපට නිතැතින් ම සිහිවන ඓතිහාසික කරුණක් ද වෙයි. එනම් කාවන්තිස්ස රජුගේ පියා වූ ගෝඨාභය විසින් කතරගම දසභාතික රජවරුන් සමූල ඝාතනය කොට ඒ පාපයෙන් හා මහජන අප්‍රසාදයෙන් මිදීම පිණිස මහාවාලූකා (මහවැලි) නදියේ එගොඩ හා මෙගොඩ (උතුරු – දකුණු) ඉවුරු ආශි‍්‍රත ව විහාර 500 බැගින් කරවූ කථා ප්‍රවෘත්තියයි.

අපගේ අධ්‍යයනයට බදුන් වූ පුරාවිද්‍යා ක්ෂේත්‍ර ඉතා පුරාණ ලක්ෂණ, ප්‍රකට කරන බැවිනුත් ඒවායේ ඝනත්වයත් නිසා බොහෝ විට මේ නටඹුන් යට කී ඓතිහාසික ප්‍රවෘත්තිය සමඟ ගැළැපෙන බවක් දක්නට ලැබේ. අතිශයෝක්ති හා වර්ජන නූතන ඇතැම් ඉතිහාසඥයින් වෙතින් බැහැර කෙරුණු යට කී ඓතිහාසික කථා පුවතට අපගේ අධ්‍යයනවලින් අනාවරණය කර ගැණුනු පුරාවිද්‍යාත්මක ස්ථාන නව ආලෝකයක් වනු ඇත. ඒ පිළිබඳ ව ඉතිහාසඥයින් විසින් මෙන් ම අප විසින් ද තව දුරටත් කරුණු අධ්‍යයනය කළ යුතු ව පවතියි.

සෝමාවතිය රක්ෂිත ප්‍රදේශය තුළ දක්නට ලැබෙන වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්වල දක්නට ලැබෙන තවත් සුවිශේෂි ලක්ෂණයක් වේ. එනම් පොළොව මට්ටමේ සිට අඩි දෙක හමාරක් පමණ උස් වූ ගල්කණු 25 ක් හෝ 30 කින් යුක්ත වූ ගොඩනැඟිලි සම්ප්‍රදායයි. ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර සම්ප්‍රදාය පිළිබඳ වූ අධ්‍යයනයන්හි ඉතිහාසය සියවස් 2 ක් හෝ 3 ක් තරම් මෑත අවධිය සිට අධ්‍යයනය කර තිබෙනු දක්නට ලැබේ. නමුත් සම චතුරස්‍රාකාර ව හෝ සෘජුකෝණාස්‍ර ව ඉදි කෙරුණු මේ ගොඩනැගිලි සම්ප්‍රදායේ ඉතිහාසය තවත් වසර 1500 ක් පමණ ඈත යුගයකට ගමන් කරන ආකාරය සෝමාවතිය රක්ෂිතයෙන් අනාවරණය කර ගැනුණු නිර්මාණ අංගවලින් තහවුරු වේ.

සම උසකින් යුත් ගල් ටැඹවල් යාවන පරිදි ශක්තිමත් දැව පරාල දමා ඒ මත මැටි බිත්ති ඉදි කරන්නට ඇති බවත්, සමහර විටෙක එකී බිත්තිය ද යා කොට දැව පරාල දමා තවත් මහලක් නිර්මාණය කරන්නට ඇති බවත් උපකල්පනය කළ හැකි ය. එම බිත්ති මල්කම් ලියකම් වලින් අලංකාර කොට අවශ්‍ය වූ විටෙක මැටිමය ප්‍රතිමා ද තැන්පත් කොට එකල සමාජයේ අවශ්‍යතා සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතීමට පුළුවන.

කෙසේ වුවද අද වන විට අපට දැකගත හැකි වනුයේ සම උසකින් යුක්ත ශිලා ටැඹවල් පමණි. මෙම ගොඩනැඟිලිවල පැත්තක දිග මීටර 15 – 20 ත් අතර පවති. ගල්කණුවාන, පුල්ලෙයාර්පට්ටි, කුම්භනාච්චි හා මැද ශාලාව යනාදි නම් වලින් කිරි පට්ටිකරුවන් විසින් හඳුන්වන මෙකී ප්‍රදේශ ආශි‍්‍රත ව යට දැක්වූ ශෛලියේ ගොඩනැඟිලිවල නටඹුන් හමු විය.

වාස්තු විද්‍යාත්මක නිර්මාණවලට මෙන් ම වෙනත් ආගමික නිර්මාණයන් සඳහා ද අවශ්‍ය වූ අමුද්‍රව්‍ය වූ තිරුවාණ, ග්‍රැනයිට්, නයිස් වැනි පාෂාණ වර්ග ඒ ඒ නටඹුන් භූමි අසල හෝ මඳ දුරකින්වත් දැකගත නොහැකි විය. එනම් ස්වභාවික ගල් පර්වත මේ නිර්මාණ හමුවන පාරිසරික කලාපවල නැත. මෙයින් ගම්‍ය වන ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් යට සාකච්ඡා කරන ලද පුරාවිද්‍යාත්මක ස්මාරක, ගොඩනැගිලි නිර්මාණ කිරීම සඳහා අවශ්‍ය ශිලා කොටස් වශයෙන් වෙනත් ප්‍රදේශවලින් ආයාත (ආනයනය) කර තිබේ.

සෝමාවතිය චෛත්‍ය ආශි‍්‍රතව නිර්මාණකරණය සඳහා ද ඉතා බහුල ව යොදා ගෙන තිබෙනුයේ ගඩොල් ය. ශිලාමය නිර්මාණ සාපේක්ෂ වශයෙන් අඩු ය. කලාපයේ ම දක්නට ලැබෙන්නේ මීන්විල ගල් පර්වතයත්, කන්දකාඩු ගල් පර්වතයත් පමණි. වඩාත් වැඩි වශයෙන් පාෂාණ පර්වත හමු වනුයේ කුම්භනාච්චි, ත්‍රිණෝමඩු, සේරුවාවිල දෙසට වන්නට ය. මෙකී හේතු නිසා අපගේ අවධානයට බඳුන් වන කලාපයේ ගෘහ නිර්මාණ ඉදිකිරීම් වලදි අවශ්‍ය ගල් කුට්ටි කර කිලෝමීටර 10 – 20 ත් අතර දුරකට ප්‍රවාහනය කර තිබේ. මේ කටයුත්තේදී පැරැණි සමාජයේ අත්‍යවශ්‍ය වූත්, ප්‍රබල වූත් කරුණු 2 ක් ඉස්මතු කොට සාකච්ඡා කළ හැකි ව පවතියි.

ඉන් පළමු වැන්න නම් පැරැණි සමාජයේ තාක්ෂණයයි. දෙවැන්න සංස්කෘතික බලපෑමයි. මෙයින් පළමුවැනි කරුණ පිළිබඳ ව තවදුරටත් අවධානය යොමු කිරීමේදී එකළ සමාජයේ මිනිසා සතු ව පැවැති යකඩ තාක්ෂණය පිළිබඳව නිතැතින් ම සිහියට නැෙඟ්. ප්‍රධාන ශිලා පර්වත වලින් ගල් කුට්ටි වෙන්කර ඒ ඒ නිර්මාණයට අදාළ වන පරිදි සකස් කර ගැනීමේදීත්, තම අවශ්‍යතා අනුව මුල් භූමියේ සිට වෙනත් ප්‍රදේශවලට ඒවා රැගෙන යාමේදීත් එකි යකඩ තාක්ෂණය බෙහෙවින් භාවිතා කොට තිබේ.

මෙකී ක්‍රියාවලිය හා සෘජු ව ම සම්බන්ධ වන පුරාවිද්‍යා අවශේෂ ද අපගේ ගවේෂණ වලදී අනාවරණය කර ගැනුණි. එනම් විශාල වශයෙන් ශේෂ වූ යබොර කුට්ටි හමු වීම ය. මේවා ඉතා විශාල යබොර කුට්ටි වන අතර, පැතිරීම ද පුළුල් ය. මෙයින් ගම්‍ය වනුයේ පුළුල් ලෙස යකඩ තාක්ෂණය වසර 2000 ට පමණ පෙර අවධියකදී සෝමාවතිය රක්ෂිතයේ භාවිතාවේ පැවතුණ බවයි.

මේ යබොර ශේෂ ඉතා බහුල ව හා පුළුල් ව අනාවරණය වූයේ සෝමාවතිය ස්තූපයට බටහිර මහා වනාන්තර ප්‍රදේශ වලිනි. ඒ ප්‍රදේශවලින් බොහෝ විට වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශේෂ, චෛත්‍ය නිර්මාණවල කොටස් හා විශාල ප්‍රමාණයේ ගල් කුට්ටි යොදා ඉදිකළ ශාලාවල නටඹුන් ද විය. ඊට අමතර වශයෙන් කළු රතු හෝ රතු බඳුන් ගැටිති, කොටස් සහිත ජනාවාස ගොඩැලි ද අප විසින් හෙළිදරව් කර ගැනුණි.

යටකී කුඩා ප්‍රමාණයේ ගල් ටැම් යොදා ගනිමින් සකස් කළ ඉදිකිරීම් හැරුණු විට මීටර 3 ක් පමණ උඩ ගල් කණු යොදා ඉදිකළ විශාල ප්‍රමාණයේ ශාලා ද විය. ඒවා අසළ සිරි පතුල් ගල්, චෛත්‍ය ගොඩැලි ද වේ. මෙයින් අපට උපකල්පනය කළ හැක්කේ යට කී ආගමික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීන් රැස් වූ ශාලා (සන්නිපාත ශාලා හෝ උපෝසථඝර) විය හැකි බව ය. ඊට අමතර ව වට වේදිකාවක් සහිත මීටර 300 ක් පමණ දිග පිළිම ගෙවල් ද මේ නටඹුන් ගොඩනැඟිලි අතර වේ. එම ගොඩනැඟිලිත්, ප්‍රතිමාත් හඳුනාගත නොහැකි තරමට විනාශ වී ගොසිනි. ඒ සඳහා මානව, සත්ව හා ස්වභාවි ක්‍රියාකාරකම් ද ඉවහල් වන්නට ඇත.

කරුණු මෙසේ හෙයින් සෝමාවතිය රක්ෂිතයේ විවිධ ශෛලීන්ට හා උපයෝගීතාවයන්ට අදාළ වස්තු විද්‍යාත්මක නිර්මාණ රැසක් හඳුනා ගත හැකිව පවතියි. නමුත් මෙම ක්ෂේත්‍ර තවදුරටත් විධිමත් ගවේෂණ හා කැණීම් මඟින් අධ්‍යයනය කොට හඳුනා ගත යුතුව පවතියි. වගකිව යුත්තන්ගේ අවධානයට ද මෙම ලිපිය වැදගත් වෙතැයි සිතමි.

මැදමහනුවර ධම්මසිරි හිමි බී.ඒ. ගෞරව (පුරාවිද්‍යා)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: