හිටිහාමි හත්කෝරළයේ ‘කිතගම’ කියන ගමේ හිටපු හොඳට හයි හත්තිය තියන පුරුෂයෙක්. ඒ කාලෙ රාජධානිය තිබුණෙ ‘සීතාවක’. සීතාවක රාජසිංහ රජ්ජුරුවො තමයි රජකම් කළේ. අපේ රටට ඇවිත් හිටපු පරංගි විටින් විට රට වැස්සන්ට කරදර හිරිහැර කළා. සූරවීර පුරුෂයකු වූ හිටිහාමි මංකොල්ල කාරයන්ගෙන් කිතගම ගමේ අය විතරක් නොවෙයි අහල පහල ගම්වල අයත් බේරාගත්තා.
හත් කෝරළේ පාළු කරන්ට ආපු පරංගින්ට විරුද්ධ ව හටන් කළා. ඔයින් මෙයින් හිටිහාමිගෙ වග විත්තිය සීතාවක මහ වාසලටත් ආරංචි වුණා. රාජසිංහ මහ රජ්ජුරුවො හිටිහාමි මහ වාසලට කැඳවලා ‘අරමුදලේ ලේකම්’ තානාන්තරේ භාර දුන්නා. එදා පටන් හිටිහාමි ‘හිටි බණ්ඩාර’ වුණා.
සීතාවක මහ වාසලේ රාජකාරි කරන අතරේ හිටි බණ්ඩාර අසනීප වුණා.
උන්නැහැට වැලැඳිලා තිබුණෙ බලගතු අතීසාර රෝගයක්. බලගතු වෙදනාවරු වෙදකම් කළත් සුව අතට හැරුණේ නෑ. අන්තිමේ හිටි බණ්ඩාර ගමට ගියා. ගමේදී තමයි මියගියේ.
හිටි බණ්ඩාර ආදාහනය කරන දර සෑයට උන්නැහෙගෙ හිතවත්ම සේවකයා ‘තෙලිසිං ආරච්චිත්’ පැන්නා. පැනලා ස්වාමියා වෙනුවෙන් ජීවිතේ පූජා කළා.
මරණින් මතු හිටි බණ්ඩාර ‘හිටි බණ්ඩාර දෙවියන් බවට පත්වුණා. දර සෑයට පැනපු තෙලිසිං ආරච්චි ‘ගිනි කුරුම්බර දේවතාවා’ වෙලා හිටි බණ්ඩාර දෙවියන්ගෙ පණිවුඩ කරන්නා බවට පත්වුණා.
කිතගම පළාතට ම කරදරයක් වුණු වල් ඇතෙක් හිටියා. හිටි බණ්ඩාර දෙවියෝ මේ ඇතා බිම්තඹුරු වැලකින් බැඳගෙන ඇවිත් සීතාවක මහ වාසලට ඔප්පු කළා.
මේ දස්කම්වලින් පැහැදීමට පත්වුණු සීතාවක රාජසිංහ මහ රජ්ජුරුවො හිටි බණ්ඩාර දේවාලෙට රන් කොතක් පූජා කළා කියලයි ගම්මු කියන්නෙ.
ඇතා ඇල්ලුවෙ දෙවියොද..හිටි බන්ඩාරද???
By: indika kumara on January 21, 2011
at 5:54 am