Posted by: lrrp | July 3, 2010

පරංගි හටන

මහනුවර රාජ්‍ය සමයේ ප්‍රශස්ති කාව්‍ය සහ හටන් කාව්‍ය ස්වරූපය දැරූ රචනා කීපයක් ම ලියැවී තිබෙනු දකින්නට ලැබෙද්දී ඒ අතුරෙහි ප්‍රමාණයෙන් වඩාත් දීර්ඝ වූ නිර්මාණය නම් පරංගි හටන යි. කෝට්ටේ සමයේ ලියැවුණු පැරකුම්බා සිරිත නම් වූ ප්‍රශස්ති කාව්‍යයන් සීතාවක සමයේ ලියැවුණු කුස්තන්තීනු හටන නම් වූ හටන් කාව්‍යයත් පරංගි හටන නිර්මාණය වන්නට බලපා ඇති බැව් නිසැක ය. එහෙත් පරංගි හටනෙන් පළ වන්නේ හටන් කාව්‍ය ස්වභාවයකටත් වඩා ප්‍රශස්ති කාව්‍ය ලීලාවකි.

මේ යුගයේ ප්‍රශස්ති හෙවත් විරුදාවලී කාව්‍ය ගණනාවක් ම ලියැවී ඇත්තේ දෙවැනි රාජසිංහ (1634-1684) රජතුමා අරබයා ය. මහනුවර සමයේ සිහසුන හෙබැවූ වඩාත් රණකාමී වූ ද ප්‍රතාපවත් වූ ද අඩසියවසක් රට පාලනය කළා වූ ද රජු වශයෙන් දෙවැනි රාජසිංහ නරපතීහු විශේෂිත වෙති. පෘතුගීසි හමුදා අන්ත පරාජයට පත් කෙරුණු මහ සටන් දෙකෙන් පළවැන්න වූ රන්දෙණිගල සටන (ක්‍රි. ව. 1630) කුමාර අවධියේ දී ද දෙවැන්න වූ ගන්නොරුවේ සටන (ක්‍රි. ව. 1638) රජ වූ පසු ව ද මෙහෙයවූ වීරයාණන් සේ මෙතුමා මහත් ජනප්‍රසාදයට පත් ව සිටියේ ය.

කුස්තන්තීනු හටන නම් වී තිබුණේ සටන ජය ගත් කුස්තන්තීනු ද සා නමින් වුව ද පරංගි හටන නම් වී ඇත්තේ පරාජිත පරංගි පක්ෂය නමිනි. මෙහි රන්දෙණිගල සටන මෙන් ම ගන්නොරුවේ සටන ගැන ද සඳහන් වන හෙයින් රචිත කාලය ක්‍රි. ව. 1638 න් පසු බව නිශ්චය කළ හැකි වුව ද වර්ෂයක් නිගමනය කළ හැකි නොහේ. කුස්තන්තීනු හටන ලියැවී ඇත්තේ යුද්ධයේ පසුබිම, යුද්ධය සිදු වූ ආකාරය ඇතුළු පුරාවෘත්තයක් ලෙසින් වුව ද පරංගි හටන මුල් තැන දී ඇත්තේ යුද්ධ ජයගත් රජතුමා විවිධාකාරයෙන් වර්ණනා කිරිමට ය.

පරංගි හටන කව් 214 කින් සමන්විත ය. කවි බහුතරයක් ම විවිධ වෘත්තවලින් බැඳුණු සිව්පද කවි වේ. අග මුල නිරන්තරයෙන් එළිවැට බැඳුණා පමණක් නො ව බොහෝ විට මැද එළිවැට එකක් හෝ කීපයක් හෝ බැඳී තිබෙනු දැකිය හැකි ය. ඉඳහිට තැනක සිව්පද නො වන ගීතමය වෘත්ත ද උපයෝගී කොට ගෙන තිබේ. මේ කෘතියේ කර්තෘවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වේ. මෙහි මුල් භාගය එක් රචකයකු විසින් ද අග භාගය වෙනත් කවියකු විසින් ද රචනා කර ඇති බව ඇතැම් වියතුන්ගේ අදහස යි. එහෙත් දෙදෙනකු නො ව කීප දෙනෙකු විසින් කරන ලද කව් රැසක් ඒකරාශී කොට මෙය කෘතියක් වශයෙන් නිම වෙන්නට ඇතැයි සිතීමට ද බොහෝ ඉඩකඩ තිබේ.

කෙසේ වෙතත් මෙහි එන කව් රචනා සියල්ල රාජ සභාවේ සිටි වන්දිභට්ට කිවියකුගේ හෝ බහුතරයකගේ හෝ නිර්මාණ බව නිසැක ය. රාජ සභාවේ දී හෝ වෙනත් තැන්වල දී හෝ ගායනා කිරීමට උචිත සේ ශ්‍රැතිගෝචර විවිධ තාල රාගවලට අනුකූල ව ලියැවී ඇති මේ කව් රජතුමාගේ චිත්ත ධෛර්යය වඩා ලීමට පමණක් නො ව රාජ ප්‍රසාදය දිනා ගැනීම අපේක්ෂා කරමින් ද ලිය වුණා විය යුතු ය. රජතුමාගේ තේජස් වී භාවයත් සතුරන් මර්දනය කිරීමේ ශක්තියත් හුවා දක්වා ඇත්තේ මෙලෙසිනි:

‘පවර රජසිහ නිරිඳු සඳ දැක නො වැඳ සිටි රුදු නිරිදෙකුත් නැත’
‘මන රජ සහ රජු නම් ලක හිමි තෙවිකුම් විකුමැති රජෙකි බලා’
‘දෙරණ පත් බුදුකුරු උතුමෙකි රජසිහ මහිපාලා’
‘කෙළින කෙළියක් ලෙසට සතුරන් කපා දමමින් එලව එලවා’
‘වඩිනවා දැක රාජසිහ රජු දුවති රුපු වල් ඉරව ඉරවා’

රජු වර්ණනා කිරීමේ දී බොහෝ විට යෙදී ඇත්තේ ගාම්භීර භාෂා විලාසයකි. ඒ සඳහා මහප්‍රාණ බහුල කඨෝර ශබ්ද පවා බහුල ව භාවිත කොට ගෙන තිබේ. යුද්ධ වර්ණනාවල දී ප්‍රවේගකාරී වදන් බෙහෙවින් උපයෝගී කොට ගනු දැකිය හැකි ය. යුද්ධයේ ස්වභාවය පළට කරමින් ‘පැන එති, ඇන එලති, බඳිති, වටලති, වෙවුලති…’ ආදි වශයෙන් අවස්ථා චිත්‍රණය කිරීමට ද කතුවරයා වැර දරා තිබේ. එහෙත් එක් එක් යුද්ධ පිළිබඳ තොරතුරු සවිස්තර පහදා දීමක් මෙහි දකින්නට නොමැත.

පෘතුගීසීන්ට පමණක් නො ව චෝල ද්‍රවිඩ සතුරන්ට පවා එරෙහි ව යුද්ධ කිරීමට රජුට සිදු වී තිබුණු වග ‘සකල බුවිතල පතළ බල සැඩි දෙමළ ඩලමොල සයුර කොලහල, අයෙත් වලතඩිවලින් සිට පොඩි කරති දැඩි සැඬි දෙමළ ඔළුගෙඩි… රුපු හැඩි දෙමළ එකසර පැහැර වෙරළ ගසා, යුද නම් සෙන්කඩගල පුරේ සැඩි දෙමළුන් වනසන යමපුරේ…’ වැනි කවි පදවලින් අනාවරණය වේ.

රාජ වර්ණනාත් යුද වර්ණනාත් හැරුණු විට මෙහි අන්තර්ගත අනික් කව් විශේෂය නම් විරහ වර්ණනා ය. රජු හා සම්භෝග සුවය පතා කාමී ළඳුන්ගෙන් කෙරෙන යාතිකා පරිද්දෙන් වූ මෙකී විප්‍රලම්භ ශෘංගාරී කව් මේ වන විට ප්‍රශස්ති කාව්‍යවල එක් අංගයක් ව පැවතුණි. කාම ශාස්ත්‍ර විෂයයෙහි ද රජුගේ හසළ බව හුවා දක්වන නියායෙන් රචනා වී ඇති මේ කව් කතුන්ගේ රාගෝන්මාද වාග් ධාරා ලෙසින් ගලා යනු දකින්නට පිළිවන. මේ කව් ඇත්තේ කෘතියේ එක ම තැනක නො ව තැනින් තැන විසිර ගිය කැඩුණු මල්දමක් පරිද්දෙනි.

‘සුහුඹුල් මගෙ රණහස තුල් පියයුරු වියවුල් ගිනිසෙ තැවී’
‘නිදිනේ අද තනි යහනේ තුන්යම තදිනේ විය තාපා’
‘පියයුරු හස පැටටියන් මම නළවම්දෝ කෙලෙසේ’
‘මෙලෙස සිතේ කම් කෙළිය මතේ සැරදී දිමුතේ ඉඳ යහන මතේ’

පරංගි හටනේ කව් රචනා වී ඇත්තේ අර්ථ රසයට වඩා ශබ්ද රසයට මුල් තැන දෙමිනි. ගායනයටත් වාදනයටත් රංගනයටත් ගෝචර ශ්‍රැති මාධූර්යයෙන් යුක්ත අනුප්‍රාස ගුණය මේ කව්වල බෙහෙවින් දකින්නට ලැබේ. වරින් වර විරිත් මාරු වීම් ද බහුල ය. මහනුවර යුගයේ වන්නම් විලාසවලට නෑකම් කියන විරිත් පවා මෙහි දැක්වේ. මෙහි එන ඇතැම් විරිත් කෙටි ය. ඇතැම් විරිත් ඉතා දීර්ඝ ය.

මෙහි භාවිත භාෂා ශෛලිය ද ඒකාකාරී නො වේ. සමහර විටක ලිහිල් සිංහල භාෂා විධි ක්‍රමයක් අනුගමනය වුව ද රළු කඨෝර ශබ්ද සහිත ප්‍රබන්ධ ද නො මඳ ව දැකිය හැකි ය. එහි දී සංස්කෘත දෙමළ ආදි පමණක් නො ව තවත් විවිධ වදන් යෙදුම් රිසි ලෙසින් උපයෝගී කොට ගෙන තිබේ. එවැනි අමුතු වචන අතුරෙහි අප්‍රකට සහ කෘත්‍රිම වචන පමණක් නො ව අව්‍යක්ත සහ දුර්බෝධ ශබ්ද ද දකින්නට ලැබේ.

නරාදිප, නෘපතේ, බුනාපති වැනි අප්‍රකට වූ ද මකුටෝ පාදා, පුරුතුකානු, අමරාල් වැනි කෘත්‍රිම වූ ද මන් ගෝරා, කෙළපුවේ, වජ්‍ර පහුරක්, මෝඩනි වැනි අව්‍යක්ත වූ ද තිකුලන්, ලංකාවේ, පතංක වැනි දුර්බෝධ වූ ද වදන් ඒ අතර වේ. පද්‍ය භාෂා භාවිතයේ පෙරැළිකාරී භාවයට වඩා භාෂා ව්‍යවහාරයේ පරිහානී ලක්ෂණ මින් පිළිබිඹු වනු පෙනේ.

පරංගි හටන ආරම්භ වනුයේ එවක ප්‍රචලිත ව පිදුම් ලැබූ දෙවියන් සිහි කිරීමෙනි. මෙහි බෞද්ධ ස්වරූපයක් කොතැනක හෝ දැකිය නො හැකි ය. ‘පොතත් නීලගෙලෙ නැබ සිරි සරණත’ යනුවෙන් කෘතිය අරඹන කතුවරයා ‘දිමුත් රාජසිහ නරනිඳු රැක දෙත’ යනුවෙන් ඒ කවිය අවසන් කරන්නේ රාජසිංහ රජු ඒ සියලු දෙවියන්ට භාර කරමිනි. කෘතිය අවසාන කරමින් රාජසිංහ රජුට ආශිර්වාද කරන්නේ ‘නිරතුරු පවකු ඇති තෙක් සොමි දිනින්ද්‍ර’ යනුවෙන් පමණි.

පරංගි හටන ක්‍රමවත් පිළිවෙතක් පරිදි කරුණු පෙළ ගස්වා රචිත කෘතියක් නො වේ. එහෙත් අරමුණු කර ගත් කාර්යය උදෙසා බොහෝ කාරණා ඒකරාශී කොට වර්ණනා කෙරෙන රචනයකි. ඒ සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ සාම්ප්‍රදායයික උපමා, භාෂා ප්‍රයෝග ආදිය යි. කව්වල එන අතිශයෝක්තිය පමණ ඉක්මවා යන තරම් ය. විරහ කවිවල ද ශෘංගාරයට වඩා කාමුක බව ඉස්මතු වේ. රස පූර්ණ නිර්මාණයක් කිරීමට වඩා අභිලාෂය වූයේ උච්චතර ඇගයීමක් කිරීම බව පැහැදිලි ය.

මේ කෘතියේ එන භාෂා විවිධත්වය, නිතර විරිත් වෙනස් වීම, පුනරුත්දෝෂ, ව්‍යක්ත මෙන්ම අව්‍යක්ත යෙදුම්, අපිළිවෙළ පෙළ ගැස්ම ආදි වූ කරුණු දෙස බලද්දී මෙය එක් රචකයකුගේ නිර්මාණයක් නො ව කීප දෙනකුගේ ප්‍රබන්ධ එක්තැන් කිරීමකැයි සිතීමේ ඉඩකඩ වැඩි ය. මෙහි මුල් කොටස වේවැල්දෙණියේ මොහොට්ටාල කවියා විසින් රචිත බව ඇතැම් පිටපත්වල සඳහන් කරුණුවලින් කියැවේ. දෙවැනි රාජසිංහ රජුගේ රාජ සභාවේ වන්දිභට්ට කවියන් නව දෙනකු පමණ සිටි බවට කරුණු හෙළි වේ.

විවිධ වෘත්ත ගණනාවකින් කව් රචනා වී තිබීම පරංගි හටනේ දැකිය හැකි නව්‍ය ලක්ෂණයකි. මෙහි එන ඇතැම් කවි අද පවා ගායන, රංගන, නර්තන ආදියෙහි දී භාවිත වීම මෙහි ප්‍රචලිත භාවයට සාක්ෂ්‍ය දරයි. මෙය යුද සමයක රජුගේ පමණක් නො ව ජනතාවගේ ද චිත්ත ශක්තිය වර්ධනය කළ සහ කිසියම් ආශ්වාදයක් ද ලබා දුන්, සාහිත්‍ය පරිහානිය වළකා ලමින් මඳ හෝ ආලෝකයක් ද ගෙන දුන් කෘතියකි.

ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: