Posted by: lrrp | June 12, 2011

පොසොන් සදේ රබන් හොරා

 

පොසොන් සදේ රබන් හොරා

 

මගේ පළමු පොසොන් සංචාරය යෙදී තිබුණේ 1978 වර්ෂයේ පොසොන් පෝය දවසේ ය.

ඒ දිනවල මා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුවකුව සිටි හෙයින් මගේ ගලහිටි මිත්‍ර පිරිසක් සහ පොඩි වීකුඹුර ගමේ යාළුවන් කණ්ඩායමක් සමඟ පොසොන් එකට මිහින්තලේ යන්නට අපි රාගම දුම්රියපළට පැමිණ සිටියෙමු.

ඒ දිනවල අපි විවිධ තේමා යටතේ විවිධ සංචාර පවත්වන්නට සැදී පැහැදී සිටියෙමු. වැඩිහිටියන් මේවා “රස්තියාදු ගමන්” ලෙස නම් කළ ද මම එදා සිට අද දක්වා ම මගේ සංචාර ප්‍රිය අධ්‍යාපන චාරිකාවට රස්තියාදුවෙන් ද පාඩම් ඉගෙන ගත්තෙමි.

මම මිනිසුන් අතර “රස්තියාදු” ගැසුවෙමි. ජීවිත රස්තියාදුවේ සංචාරය කරන මා බඳු ම පුහුදුන් මිනිස් ජීවිත බොහොමයක් ඇසුරු කරන්නට මට මගේ රස්තියාදුව ඉවහල් වී තිබේ. කලක් යන තුරු “ඔළුව හැරුණු අත” ඇවිද්ද මට ක්‍රමයෙන් තේමාවක් ඇතිව ඇවිදින සංචාරයේ රස තේරුණි. “දැන ගියොත් කතරගම නො දැන ගියොත් අතරමඟ” යැයි මම එදා සිට විශ්වාස කරන්නට පටන් ගතිමි.

එහෙත් 1978 වසරේ පොසොන් සංචාරයට යාළු කෙළියෙන් පේ වන විට මට බරපතළ තේමාවක් නොතිබුණි. මට වගකීමක් තිබුණේ රබානක් පිළිබඳව පමණයි. ඒ දිනවල අපේ රස්තියාදුවේ මූලික ගාමකය වූයේ ගී ගැයීමයි. ගමන පුරා ම බස් රථයේ, දුම්රියේ, කඩපළේ, දුම්රියපළේ හා බස් නැතුමේ අපි ගී ගැයුවෙමු. ඒවා ඔහේ කියන රස්තියාදු ගී නොවී ය. හොඳින් පුරුදු පුහුණු වී කණ්ඩායම් ලෙස ගැයූ සුභාවිත ගීත ය.

අපට තිබූ එක ම වාද්‍ය භාණ්ඩය රබානයි. සෙසු සියලු සුසර වාදනයන් ද අප විසින් ම ගායනා කෙරේ. රබන් වාදකයා මා වූ හේතුවෙන් රබාන ගෙන ඒම, වාදනය කිරීම, පරෙස්සම් කිරීම පමණක් නොව රබාන සමඟ ගිය හැම සංචාරයක් ම රබානේ යටි මූණේ ලියා තැබීම ද මගේ වගකීමයි.

අපේ රබානේ යටි මූණත කුරුටු අකුරුවලින් පිරී තිබුණි. එහෙත් පොසොන් සංචාරයේ දී මට මගේ වගකීම අමතක වූවා පමණක් නොව ඊට විකල්පව මා ගත් පියවර ද මගේ සංචාරක මතකය අඳුරු කරවයි.

වටෙන් ගොඩෙන් එළිය වැටෙන්නටත් කලියෙන් අපි රාගම දුම්රියපළට පැමිණ සිටියෙමු. “රබාන හරි ද?” කියා මගේ සහෝදරයා මා විමසන විට මට හෝස් ගා ගියේ ඒ වන විට මා එය අමතක කොට තිබූ නිසා ය. මම මුළු කණ්ඩායමෙන් ම බැණුම් ඇසුවෙමි. යළිත් රේල් පාර දිගේ පොඩි වී කුඹුරට දිව යෑම දැන් කීයටවත් කළ නො හැක. ඊට පෙර අනුරාධපුරේ යන රජරට ශීඝ්‍රගාමී දුම්රිය රාගමට පැමිණෙන්නේ ය.

මේ ගමන පුරා ම මට නිවනක් නැත. අපේ ප්‍රසාංගික ගීතයට බෙර තලන්න වන්නේ අතට අහුවෙන ශබ්ද තලයකටයි. රබාන නැති දිනවල බස් බොඩියට, රේල් පෙට්ටියට, ලෑලි බෝඩ් එකට හෝ මේසයට, බංකුවට තාල අල්ලා මගේ දෑත් ගෙඩි වී ඉදිමෙන්නේ ය.

ගෙදර දී නම් කොට්ටයක් බිම දමා ඒ මත බේසම මුණින් නමා ගත් විට මා අල්ලාරක්ඛා බඳු තාල වාද්‍ය ශිල්පියෙක් බවට පත් වෙයි. එහෙත් මෙවර පොසොන් සංචාරයේ ජංගම ගායනාවන්ට රබන් සුරල් නැත.

මගේ මූණ කජු ලෙල්ලක් වී තිබේ. එකෙණෙහි මිතුරෙකු මට දැක්වූයේ මල් පූදින දර්ශනයකි. රාගම දුම්රියපළ කොරිඩෝව දිගේ පත්තර එළාගත් බැතිමත්හු දුම්රිය එනතුරු නින්දට වැටී සිටිති.

එක්තරා කෙළවරකදී පිරුණු රබානක් මා හා සිනාසුණේ ය. මමත්, ලෙස්ලිත්, අයිවනුත් රබාන හොරකම් කරගැනීම සඳහා කල් යල් බැලීමු. එහෙත් හිමිකරුවා තම හිස අසලින් ම රබාන තබා නින්දට ගොස් සිටී. සූක්ෂ්ම පරිශ්‍රමයකින් පසු රබන් හිමියාට නො දැනෙන්නට අපි පුරා හඳ හොරකම් කෙරුවෙමු.

ඊළඟ ඇසිල්ලේ අනුරාධපුර දුම්රිය විත් රාගම දුම්රියපළේ තුන්වැනි වේදිකාවේ දී තිරිංග තද කරන ලදී. දුම්රිය එන්ට පෙර කළ නිවේදනයේ යකඩ කටට ඇහැ ඇරුණු බැතිමතුන් අතර සිටි බඩේ පාර වැදුණු අසරණයකු හඬමින් තම රබාන සොයනු දැනී මගේ බොක්ක රත් විය.

මා රබාන හොරකම් කොට තිබුණේ පොසොන් එකට විරිඳු කියන්න මිහින්තලේ යන කවිකාර යාචකයෙකුගෙන් බව දැනගන්නා විට දුම්රිය අද්දා පිටත්වී තිබුණි. අසරණයා දුම්රියපළ පුරා විලාප තියමින් රබාන සොයයි. රබන් හොරා “සිරිපාදේ සමනොළ කන්ද පෙනේ” ගීතය ගයමින් අනුරාධපුරේ පිටත් විය.

සෑම පොසොන් සඳකට ම මම පශ්චත්තාපය භුක්ති වින්දෙමි. ශ්‍රී ලංකාව තම පුනර්ජීවනය වන්දනා කරන පොසොන් කලාපයේ මගේ සංචාරක සිත මා රිදවයි. මට එයින් අත්මිදීමක් නැත. මෑත එක් දිනයක රබානක් ගන්නට වත්කමක් නැතිකමට එක්ස් රේ බෝඩ් එකකට ලී රාමුවක් ගසා ඒ මත තාල තලමින් විරිඳු කී අසරණයකු දැක මම ඔහුට රබානක් අරන් දුන්නේ මගේ අතීත පොසොන් පව මකා ගැනීමටය. අනාගතයේ දී තව තවත් රබන් දන්සැල් පවත්වා පින් එකතු කර ගැනීමට මම කැමැත්තෙන් සිටිමි.

එතැන් සිට අද දක්වා බොහෝ වාර ගණනක් මම පොසොන් වඳින්නට මිහින්තලේ ගොස් ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ස්මාරකය වනාහී මිහින්තලේ ආරාධනාගල යැයි පළමුවරට සඳහන් කළ නරවිරුවා උත්තිය මහ රජාණන් යැයි මහාවංශය කියවා දැන ගන්නා විට බොහෝ කල් ඉකුත්වී තිබිණ.

දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ ලංකාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටේ වැඩ සිට අපවත් වන්නේ තිස්ස රජුගේ සහෝදර උත්තිය රජුගේ කාලයේ ය. උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට රජගල තැන චෛත්‍යය අසල උත්තිය රජු පිහිට වූ සෙල්ලිපියේ “ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ” කියා සඳහනක් ඇති සෙල්ලිපියක් හමුවී ඇත.

එහි ඇති “ඉදිය අගතන” යන වැකිය “මහාසිංහලේ වංශකතාවේ” දී පැහැදිලි කළ මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් සඳහන් කරන්නේ ”ඉදිය” යනු සෘද්ධියෙන්, “අගතන” යනු පැමිණි, “ඉඩික තෙර මහිද තෙරහ” යනු ඉට්ඨිය ස්ථවිර සහ මහින්ද ස්ථවිර යන තේරුම් බවයි. එසේ නම් මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල ආදී රහතුන් වහන්සේ ලංකාවට වැඩියේ “ගොඩිනුත් නොව දියෙනුත් නොවේ” යැයි මහාවංශයේ සඳහන් ප්‍රවෘත්තියට පුරාවිද්‍යාත්මක සාධකයක් රජගල සෙල්ලිපියේ ඇත.

රජගල යනු අනුරාධපුරයෙන් ගිනිකොනට අම්පාර දිසාවේ ඇති ප්‍රදේශයකි. මිහිඳු මහරහතන් වහන්සේ අපවත් වන විට උන්වහන්සේ අනුරාධපුරයේ හෝ මිහින්තලේ නො වැඩ අම්පාර ප්‍රදේශයේ වැඩ සිට ඇතැයි මහචාර්යතුමෝ සැක කරති.

උන්වහන්සේ අපවත් වනවිට මහින්දාගමනය දෑසින් දුටු වැසියෝ මෙරට විසූහ. මහින්දාගමනය සෘද්ධියෙන් සිදු වූවක් යැයි යන මහාවංශ විශ්වාසය ගෞරවය පෙරදැරි කොට ගෙන පසුකාලීනව ඇති වූවක් යැයි අදහන වර්තමාන විශ්වාසයට පිළිතුරක් මේ සෙල්ලිපියේ ඇතැයි අපට සිතේ. මන්දයත් “ඉඩිය” යන වචනයේ “සෘද්ධියෙන් ආ” යන තේරුම ඇත්නම් එය පිහිටුවා ඇත්තේ මහින්දාගමනය දෑසින් දුටු මිනිසුන් ජීවත්වූ කාලයේ වීම ය.

සෘද්ධිය වර්ණනාවක් පමණක් නම් එය සමකාලීනව සිදු විය නො හැක්කකි. එහෙයින් ආසියාතික ඉතිහාසය විශ්වාස කරන සෘද්ධි සංකල්පය පිළිබඳ යථාර්ථ සාක්ෂියක් ලංකාවේ පොසොන් කලාපයේ ඇතැයි අපට සතුටු විය හැක.

කලක් මා ‘සවන’ නමැති ජ්ර් ගුවන්විදුලි සේවයක වැඩසටහන් අධ්‍යක්ෂව විසුවෙමි. ඒ දිනවල මිහින්තලේ පොසොන් පෙරහර පිළිබඳ මාධ්‍ය අනුග්‍රහය මගේ ආයතනයට බාර ගත් මම ඒ වනවිට අභාවයට යමින් තිබූ මිහිඳු පෙරහර සක්‍රීය කෙරෙව්වෙමි. අපේ සංස්කෘතිය මිහිඳු මහ රහතන් වහන්සේ හඳුන්වන්නේ “අනුබුදු මිහිඳු හිමි” ලෙස යි.

බුදුහිමියන්ට දෙවනුව අපි මිහිඳු හිමි නමදිමු. අශෝක අධිරාජයාගේ කාලයේ තුන්වැනි ධර්ම සංගායනාව පවත්වා දේශ නවයකට ධර්මදූත ස්වාමීන් වහන්සේ පිටත් කර හළ බව මහාවංශය සඳහන් කළ ද ශ්‍රී ලංකාවේ හැර සෙසු අට දිශාගත රාජ්‍යයන් හී ම අනුබුදු සංකල්පයක් පහළ නො වුණේ ඇයි?

අතීතයේ සිට ම අපේ සංස්කෘතිය අනුබුදු මිහිඳු වන්දනාවට පේවී සිටියේය. මම මගේ කුඩා කාලයේ පොසොන් උත්සවයට අපේ නිවස අද්දර තිබූ මාර ගස යට මිහින්තලේ නිර්මාණය කෙළෙමි. කළු කරදාසිවලින් තැනූ ආරාධනා ගලෙහි කුහරයක් තිබේ.

මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිවර ආරාධනා ගල මත්තේ පිහිට වූවේ කඩදාසියක සිත්තම් කළ රූප කාඩ් බෝඩ් එකක අලවා කපා ගැනීමෙනි. ආරාධනා ගලේ කුහරය හරහා බයිසිකල් රිම් එකක් කර කැවෙයි.

රිම් එක මත තණකොළ අතුරා එහි දිවයන මුවෙක් සහ ඌ පිටුපස එළවා යන දුනුදිය සහිත තිස්ස රජු නිර්මාණය කළෙමි. ආරාධනා ගල කුඩා බල්බ් වැලකින් අලංකාර වී ඇත. රිම් එක කරකැවෙන්නේ සහ කුඩා විදුලි බුබුලු දැල්වෙන්නේ තාත්තාගේ බයිසිකල් ඩයිනමෝවේ විදුලි බලයෙන් ය. මාරගස ඉදිරිපිට මිහින්තලය ඉදි වී තිබේ. මාරගස පිටුපස තාත්තාගේ බයිසිකලය නවත්වා තිබේ. මමත් අයියාත් මාරුවෙන් මාරුවට ස්ටෑන්ඩ් එකගැසූ බයිසිකලයට නැඟ එය වැර යොදා පාගමු. එවිට ඩයිනමෝ එක පණගැන් වී මිහින්තලය ආලෝකවත්ව ක්‍රියාකරයි.

බණ්ඩාරවෙල බදුලු පාරේ එත්විලාඩ් හන්දිය අසල කුඩා පාලම ළඟ මාරගස පිහිටා තිබුණි.. පොසොන් එකට අප තනන මිහින්තලේ දකින පාරේ යන බැතිමත්හු නැවතී බලා සාදුකාර දෙන කල බයිසිකලේ නැඟී වෙර යොදා එය පාගන මගේත් අයියාගේත් මහන්සිය දුරුවෙයි. පොසොන් සතියේ අපට වෙනත් වැඩක් නැත. පොසොන් අවසන් වූ සැණින් අප මිහින්තලය ගලවා සියලුම රූප සමඟ කළු කඩදාසිය ද නවා ඊළඟ අවුරුද්ද එනතුරු අරන් තැබුව ද ඊළඟ අවුරුද්දේ තනන්නේ වෙනත් මිහින්තලයකි.

මම උසස් පෙළ සඳහා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි කාලයේ ගණේමුල්ල පන්සල් දෙකක පින්කම් සඳහා සම්මාදම් වුණෙමි. අරියකිත්ති හාමුදුරුවන්ගේ සිරි මහින්දාරාමයේත්, දැවමොට්ටාවේ අමරවංශ නායක හාමුදුරුවන්ගේ පෙරේරා විහාරයේත් අපි හොඳ දායකයන් වී සිටියෙමු.

හේම ශ්‍රී අමරසිංහ සහ සුනිල් ජයරත්න යන ඒ කාලයේ අපට සිටි දක්ෂ මිත්‍ර කලාකරුවන් එකතුවී පෙරේරා විහාරයේ මිහින්තලේ බඳින එක අපි වාර්ෂිකව සිදු කෙරුවෙමු. විශාල පුවක් ගස් ගෙනවුත් අඩි 60ක් පමණ උසට බඳීන මිහින්තලය නගින්නට පෙළ ගැසී එන සැදැහැවතුන්ගෙන් විහාරයේ අභිවෘද්ධිය සඳහා හොඳ පුණ්‍යාධාර ලැබේ. ඒ යුගයේ දැඩි දේශපාලන අසාධාරණකම් භුක්ති විඳි දැවමොට්ටාවේ අමරවංශ නායක හාමුදුරුවන් වෙනුවෙන් තම නිවස පරිත්‍යාග කළ පෙරේරා මහතාට පිං පිණිස ගම්මු එය “පෙරේරා විහාරය” යැයි නම් කළහ.

මෙවර මම මිහින්තලේ සංචාරය කළේ මගේ “මහා සංචාරය” වැඩසටහන වෙනුවෙනි. මිහින්තලය වනාහී ශ්‍රී ලාංකේය පමණක් නොව අග්නිදිග ආසියාතික ම ථේරවාදී බෞද්ධයින්ගේ කේන්ද්‍රස්ථානය යැයි සැලකීම වඩාත් යෝග්‍යය. මිහිඳු මහ රහතන් වහන්සේ අශෝක අධිරාජයාගේ යුගයේ ලංකාවට වැඩම වූ ථේරවාදී බුදු දහම පසුකාලීනව සියම් රටට සහ රාමඤ්ඤ රටට සංක්‍රමණය වූ වගට විශ්වාසවන්ත ඓතිහාසික සාක්ෂි තිබේ.

මේ රට මෙන් ම ඒ රටවල් ද අධ්‍යාත්මික පුනර්ජීවනය ලද්දේ ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ අපේ රටට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ මූලික වීමෙනි. එහෙයින් ලංකාවට පමණක් නොව සියමයට ද බුරුමයට ද උන් වහන්සේ අනුබුදු හිමියන් වන්නේම ය.

අප ඉතිහාසය කියවන්නේ කතන්දර ස්වරූපයෙන් වීම අපට අවාසියකි. මහා භාරතය කතන්දරයකි. එහි වාසය කරන්නේ දෙවියන් යක්ෂයින්, සුරයින් සහ අසුරයින් ය. ඔවුන්ගේ නිජභූමි මේ පෘථිවියේ නැත. ඒවා ඇත්තේ වලාකුළු මතය. එහෙත් අපේ වංශකථාවල ඇති “කතන්දරය” මිහිමත ස්ථානගත වී ඇත. මේ කතන්දරවල ඇති ෆැන්ටසි ලක්ෂණ ඉවත් කොට යථාර්ථය ග්‍රහණය කොට ගැන්මට ඉතිහාස විද්‍යාව, පුරාවිද්‍යාව සහ ජනශ්‍රැති විද්‍යාව අපට මඟ කියාදෙයි. එහෙයින් මම මහින්දාගමනයේ ඉෂ්ටාර්ථ සිද්ධිය නිරීක්ෂණය කිරීමට කංකසන්තුරය දක්වා සංචාරය කළෙමි.

කංකසන්තුරයේ උතුරු වෙරළ වනාහී අතීත ජම්බකෝල පට්ඨනය හෙවත් දඹකොල පටුනයි. අධි ආරක්ෂිත කලාපයක් ව තිබූ 2009 අගෝස්තු මාසයේ මා එහි සංචාරය කළ නිසා මානව දූෂණයෙන් තොර නිසොල්මන් දඹකොළපටුන් වෙරළ තීරයේ මට පියවර තබන්නට හැකිවිය. මිහිඳු මහා රහතන් වහන්සේගෙන් අවසරව, දේවානම්පියතිස්ස රජුගේ ආරාධනාවෙන්, අරිට්ඨ අමාත්‍යයාගේ තානාපති මෙහෙයුමෙන් මේ වෙරළ තීරයට ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ පැමිණි අති සුවිශේෂ රුවල් නෞකාව ලංකාවේ එතෙක් පැවැති තාක්ෂණික පැවැත්ම පුනර්ජීවනය කරනු ලැබී යැයි ඉතිහාසයේ ලියැවී ඇත.

මේ නෞකාව වනාහී සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛව මෙරටට වැඩම වූ මහාබෝධි දක්ෂිණ ශාඛාව වෙනුවෙන් සකස් වූ නෞකාවයි. ලක්දිව හා භාරතය යන දෙරට අතර පැවැති මනා ජාත්‍යන්තර රාජ්‍ය සම්බන්ධතාවේ සංකේතයක් ලෙස අපට මහාබෝධි වැඩමවීම සැලකිය හැති වේ. අප මහබෝධි වැඩමවීමේ ආගමානුකූල ආලෝකය විඳිනවා මිස එහි ඇති තාක්ෂණික ස්වරූපය නො සොයයි. මහා බෝධියට උවටැන් පිණිස අටළොස් කුලයක් හෙවත් කුල 18ක මහා පිරිවරක් මෙහි පැමිණීම ගැන ද අප දහම් පාසලේ දී ඉගෙන ගනිමු.

එහෙත් රටකින් රටකට දුමින්දයක් හෙවත් වෘක්ෂ රාජ්‍යයෙක් වැඩම කරවන අතීත තාක්ෂණය අප මහා වංශයෙන් ඉගෙන නො ගැනීම අපරාධයකි. සංඝමිත්තාවන් කුඩා පාත්‍රයක රුවා ගත් පුංචි බෝ පැළයක් ලංකාවට රැගෙන ආවා යැයි මහාවංශයේ සඳහන් ව නැත. අශෝක අධිරාජ්‍යයා පාඨලීපුත්‍රයේ දී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමැවීම සඳහා විශාල දුමිඳු ප්‍රවාහන වැඩ පිළිවෙළක් සකස් කළ බව මහාවංශය විස්තර සහිතව කරුණු ඉදිරිපත් කරයි.

මුලින් ම අශෝක රජතුමා විශ්වකර්මයා බඳු රන් කරුවෙක් ලවා විශාල රන් කටාරමක් සකස් කළේය. එහි පරිධිය රියන් 9කි. විශ්කම්භය රියන් 3කි. උස රියන් 5කි. ඝනකම අඟල් අටකි. රියන් පහක් උස යනු අඩි 14 1/2ක් උස කටාරමට උඩින් නාගයින් සේ පෙනුණු බව මහාවංශය විස්තරාත්මකව ඉදිරිපත් කරයි. එහෙත් වර්තමාන කංකසන්තුරේ උතුරු වෙරළේ තම්බිලිතුරෙයි හී පිහිටුවා ඇති සංඝමිත්තා ප්‍රතිමාවේ ද ඇත්තේ කුඩා පාත්‍රයක පැළ කළ සුහුඹුල් බෝ පැළයකි. අපේ බොහෝ වර්තමාණිකයින් දුමින්දාගමනය ප්‍රතිනිර්මාණය කරන්නේ ද එලෙස කුඩා පාත්‍රයක් හිස තබාගත් දේවානම්පියතිස්ස කෙනෙකුගේ රූපයෙනි.

සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන වර්තමානය දුමින්දාගමනය ඉතිහාස තාක්ෂණය යථාර්ථවාදීව අල්ලා ගත්තා නම් ඉතිහාසය මොනතරම් සතුටු වේ දැයි මම වර්තමාන දඹකොළ පටුනේ වෙරළ තීරයේ සිට කල්පනා කෙරුවෙමි.

ජැක්සන් ඇන්තනී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: