Posted by: lrrp | June 26, 2011

හෙළ මුදුනේ අභිසවෙර

මම යෝධ ළිග්ගල් තුන දැක ගත්තෙමි. මහ පොළොවේ ළිප් බඳින විට රවුම් ගල් තුනක් ගෙන එය තුන්හිරියාවට තබා ඒ මත මුට්ටිය තබන ක්‍රමයට විශාල රවුම් පරුවත තුනක් එකට පිහිටි තැනක් හමුවෙයි. ගලිවර් බඳු යෝධයකුට බත් තම්බන්නට මේ ගල් තුන තබා ඇතැයි තිබු ජන කථාවකට අනුව මේ ප්‍රදේශය යෝධ ළිග්ගල් තුන ලෙස නම් වී තිබේ. පාද යාත්‍රාවේ හරෝහරා කණ්ඩායම ළිග්ගල් තුන හරහා ගමන් කළ ද මම ගුණසිංහ සමඟ ගල යට හෙවණට ගියෙමි.

“මේං මෙතෙනත් හාරලා”

ගුණසිංහගේ පැහැදිලි කිරීමට මට කේන්ති නො ගෙන බැරි විය. නිධන් හොරු නමැති මුග්ධ කාලකන්නින්ට ඓතිහාසික යැයි සිතෙන කිසිදු ස්ථානයක වග විභාගයක් නැත. බිං ඌරන් සේ ගල කුඩු කොට දුටු දුටු තැන නිධන් හාරති. ලැබෙන නිධානයකුදු නැත. ස්වාභාවධර්මයයි ඉතිහාසයයි වැනසෙනවා පමණි.

“මෙතනින් දකුණට හැරිලා ගියොත් බඹරගස්තලාවට ගියෑකි. නිධන් මංකොල්ලෙ බලන්න එහෙ යන්න ඕනෙ”

මම බඹරගස්තලාව ඓතිහාසික පූජා භූමිය වෙත අවතීර්ණ වූයෙමි. ශ්‍රී ලංකාවේ නිධන් මංකොල්ලය පිළිබඳ මට ඇති සංචාරක සාක්ෂි බොහෝයි. බඹරගස්තලාව පූජා භූමිය රුදුරු වනය විසින් ගිලගෙන ඇත. ගඩොලෙන් නෙළා තිබු අතිවිශාල සැතපෙන පිළිමයක් සහිත වටිනා පුරාවස්තු වනාන්තරය විසින් ජරාපත් කොට තිබුණි. ඒ සියල්ලට ම වඩා බියකරු දර්ශනය දැකගත්තේ සැතපෙන පිළිමය වෙතින් ය. මේ යෝධ බුදු බඳේ සිරස, පපුව සහ සිරි පතුල් සියල්ල හාරා තිබුණු දර්ශනය ලොව කිසිදු මානව ගති ඇත්තෙකුට බලා සිටිය නොහැක්කකි. මගේ සියොලඟ හිවුඩු පිපී තුම්මුනින් දාදිය දමා දෑස් අග කඳුළු මෝදු වූයේ දරාගත නොහැකි වේදනාවට අමතරව මේ මංකොල්ලකරුවන් පිළිබඳ උපන් වෛරය ද හේතුකොට ගෙනය.

පේ‍්‍රමසිරි කේමදාසයන් “පිරිනිවන් මංගල්‍යය” ට පසු නිර්මාණය කළ “නිධන් මංකොල්ලය” නම් කැන්ටාටා සංගීතාංගයයි. කේමදාස පදනමේ ගායනා වෘන්දය රැගෙන අවුත් මේ බියකරු පරිසරයේ තබා මට “නිධන් මංකොල්ලය” ගායනා කරවන්නට සිතුණි.

කොටා දැමු හෙල මුදුනට

සිරස වැනසූ කවන්ධ බුද්ධ ප්‍රතිමාව හමුවේ මා පසඟ පිහිටුවා වැන්දෙමි. වන්දනාව අතරතුර මගේ නැහැයට වලස් කුයිලය දැනුණි. ගුණසිංහ වහා ම මා පසෙකට ඇද වීසි කර දැමුවේය. මංකොල්ලකරුවන් හෑරු බුදු බඳේ ගඩොල් විවරය ඇතුළත අද වලස්සු ලගිති. අප වහාම මෙතැනින් පිට විය යුතු යැයි ගුණසිංහ තීරණය කළේ ය.

මේ ගමන පුරා ම මම අමානුෂීය නිධන් මංකොල්ල විශාල ප්‍රමාණයක් දැක ගත්තෙමි. යාල වනාන්තරය පුරා ම ඇත්තේ ඉපැරැණි වෙල්යායවල ඉතිරි වූ නියර සහිත භූමි භාගය. කැඩී ගිය වැව් විශාල ප්‍රමාණයක බිසෝ කොටු ද වෑ කණ්ඩිය ද පැහැදිලිව හඳුනාගත හැකිය. ගැමි ගෙවල්වල ලකුණු ඉතිරි නොවී වන ගතව තිබුණත් හැම ගමකම තිබූ වෙහෙර විහාරවල ගල් ටැම්, චෛත්‍ය ආදී වටිනා පුරාවස්තු බොහොමයක් ගස්වැල් අතර හිර වී තිබේ. හැම චෛත්‍යයක් ම හාරා තිබුණේ ය. සියලු ම බුදු පිළිමවල සිරස කුඩු පට්ටම් කොට තිබෙනු දැකගත් මගේ දෑස අවාසනාවන්ත ය. බුදු පිළිම රැසක් තිබී යැයි ලකුණු තිබූ පර්වත විහාරයක එක් තැනක කොන්ක්‍රීට් ගල් ගොඩක් සේ ඉතා කුඩාවට කැටූ ගල් කන්දක් දැක මම ඒ වෙත පිය මැන්නෙමි. අහෝ! මේ කවර නම් ශාපයක් ද? තිරුවානා ගලෙන් නෙළා තිබූ විශාල සමාධි පිළිමයක් ඉතා කුඩා කැබලි වන තෙක් ම කුඩු කොට මේ මුග්ධ චෝර ඌරන් නිධන් සොයා තිබුණි.

නිධන් සොයා වනගත විහාරාරාම වනසා තිබු සාක්ෂි මා වෙත ඕනෑතරම් තිබුණ ද මගේ ජීවිතය කාලය තුළ ම නිධානයකින් වස්තු ලබාගත් අයෙකු හෝ ඉන් දියුණු වූ අයෙකු හමු වී නැත. පැරණි රජ දරුවන් පාළු වනාන්තරවල ගස්ගල් අස්සේ වස්තු හංගන්නට තරම් අඥානයින් නො වූ බව වර්තමානික චෝර මුග්ධයින් නො දන්නවා විය හැක. අතීත විහාර දේපළ අතර බුදු පිළිම සිරසේ නිල් මැණික්, රතු මැණික්, දඹ රත්‍රන්, කරඬු ඇතැයි ජන කථා පැතිරුණ ද ඒවායේ සත්‍යයක් නැත. “නිධන් වදුල” නම් රහස් පොතක් ගමේ කපු රාලලා ළඟ ඇතැයි යන මිථ්‍යාව නගරයට දැනෙයි. අපේ රටේ සාහිත්‍ය ඉතිහාසයේ කවර කාලයකවත් එබඳු පුස්කොළ පොතක් ලියැවී නැත. මේ මිථ්‍යාචාරය පස්සේ පන්නන නිධන් මංකොල්ලකරුවන්ට වන්නේ ‘නිධානය’ චිත්‍රපටයේ විලී අබේනායකට වූ සන්තෑසියමයි. ඔහු නිධාන මානසිකත්වයෙන් පෙළනා ලදුව තම සුන්දර බිරියව ද මරා බිලි දී ලැබගත් නිධානයක් නො වූයෙන් අවසානයේ වලව් බාල්කයේ ගෙල වැල ලා මිය ගියේය.

මම යළිත් පාද යාත්‍රාවේ දමිළ වන්දනාකරුවන් සමඟ ගමන් කළෙමි. බාගුරේ හෙළ පෙනෙන තෙක් මානයේ බාගුරේ කලපුව හමුවෙයි. අප යළිත් වෙරළාසන්නයකට පැමිණ ඇතැයි මේ හාත්පස අපට දැනුම් දෙයි. වන්දනාකරුවන් බාගුරේ කලපුව තරණය කළ යුතුය. මේ වන විට මධ්‍යහ්නය පසු වී තිබූ හෙයින් දාහයත් ක්ෂුද්‍ර ගින්නත් උග්‍රව පවතී. බාගුරේ කලපුව අවට තැන්පත් හුදෙකලා වන රුප්පාවල රෑන් ගැසී වාඩි ගත් වන්දනාකරුවෝ උයා පිහා බෙදා හදාගෙන ආහාර ගනිති. අපි රොටී හැදුවෙමු. ඔවුහු වඩේ බැද්දෝ ය. කිසිදු මස් මාංශයක් තබා මාළු පිළිහුඩ්ඩක්, උම්බලකඩ, කරෝල කට ගැස්මක්වත් මේ සූපයන්ට අඩංගු නැත. මේ ශුද්ධ නිර්මාංශ බැතිමතුන් සමඟ අපි හොඳින් බෙදා හදාගෙන කෑවෙමු.

වතුර මැදින් හරෝ හරා

බාගුරේ කලපුව තරණය කිරීම සඳහා එහි ඉණක් දියේ බැස ගමන් කළ යුතුය. ඉණ වස්ත්‍ර කැසපොට ගන්වා බඩු පොදි හිස තබාගත් ඔවුන් බාගුරේ කළු පැහැගත් බොර දිය නොතකා පෝලිමට එගොඩ වන්නේ ද හරෝහරා අඬහැරයෙන් ම ය. මේ බාගුරේ කලපුවේ හුන් යෝධ දළ කිඹුලාගේ ජනප්‍රවාදය මා මීට පෙර බෙරිවිල සංචාර සටහනේ ද ලියා දැක්වූයෙමු. බාගුරේ දළ කිඹුලා වනාන්තරේ යෝධ දළ ඇතෙකු සමඟ දින තුනක් සටන් කොට දෙදෙනා ම මියගිය බවත් බාගුරේ අතීත ගම්මුන් මේ සටන්කරුවන් දෙදෙනාගේ ම දළ යුග්ම කපා ගෙන ගොස් දළදා මාලිගාවට පූජා කළ බවත් ඒ ජනකථා අතර හමුවෙයි.

මම ද සෙසු වන්දනාකාරයින් සමඟ මිශ්‍රව කළු බොර ජලය නො සලකා ඉණක් ජලයේ බැස බාගුරේ තරණය කළෙමි. කලපුවෙන් එතෙර තැන්නේ හොඳින් අවුරැල්ල පතිත වී තිබේ. වන්දනාකරුවෝ අවරගිරි අවුරැල්ලේ වැතිරී තම කඩමලු පිරිවැස්ස වේලා ගනිති. ඒ විවේකී ඉස්පාසුවේදී මගේ දක්ෂ කැමරා ශිල්පී ලලිත් මඩිහේ ගජමන් යුහුසුලු වී රාස්සිගේ අව්වට පඬු පැහැයෙන් ආලෝකමත්ව සිටි වන්දනාකරුවන්ගේ විචිත්‍ර ස්වාභාව රූප විශාල ප්‍රමාණයක් කැමරා ගත කර ගත්තේ ය. ඒ අතර සිටි බොහෝ ස්ත්‍රී රූප චිත්‍රපට නිළියන්ට වඩා කැමරාගෝචර යැයි මම විශ්වාස කරමි. දැන් යළිත් මම වන්දනාකරුවන්ගෙන් මිදී ඈත වනය වෙත පියමැන යා යුතුව ඇත.

මේ ගමන එන්නට මා උනන්දු කරවූ තවත් වැදගත් අරමුණක් මගේ හිතේ නළියයි. ඒ නම් කොටා දැමූ හෙළ තරණය කිරීම සඳහා මා තුළ තිබූ දැඩි සංචාර පිපාසයයි. මා බොහෝ හුදෙකලා කඳු තරණය කොට තිබේ. වියළි කලාපයේ වනාන්තර තැනි බිම්වල හමුවන මොනෑඩ්නොක්ස් හෙවත්, Butts හෙවත්, ශේෂ කඳු හෙවත්, අවසාධිත හුදෙකලා කඳු තුළ අපේ ඉතිහාසයේ අභිරහස් බොහොමයක් ලියැවී ඇත. කොටැදැමූ හෙළ වනාහී අතීත මාගම් රාජධානියේ රහස් විශාල ප්‍රමාණයක් දරා සිටින වනගත උරුම කේන්ද්‍රයකි. 1920 ගණන්වල මුලින් ම එහි තරණය කළ ආර්. එල්. බ්‍රෝහියර්ට පසු 1950 ගණන්වලදී පුරා විද්‍යාඥ සෙනරත් පරණවිතානයන්ගේ සූක්ෂම ඇසට කොටාදැමූ හෙල ලක් වුණි. රුහුණු මහා රාජවංශය පිළිබඳ තොරතුරු රැසක් එතුමන් කොටාදැමූ හෙල සෙල්ලිපියෙන් හෙළිදරව් කළ පසු අපේ වංශකථා ඉතිහාසය දැඩි අර්බුදයකට ලක්විය.

විහාරමහා දේවියගේ උප්පැන්න සහතිකය මහාවංශයේ ලියා තිබුණේ බටහිර පළාතේ, සියනෑ කෝරළයේ, කැලණි මිටියාවතේ, කළ්‍යාණි රාජධානියේ කැලණිතිස් රජුට දාව බිහිවූ නිරිතදිග නාග ගෝත්‍රික කුමාරිකාවක් ලෙසිනි. එහෙත් කොටාදැමූ හෙල සෙල්ලිපිය මේ සියලු කාරණා සැකයට භාජනය කරමින් විහාරමහා දේවියගේ උත්පත්ති පරම්පරා උරුමය මාගම රාජධානියට ම පවරා දෙන ලදි. ඉතිහාසය උඩු යටිකුරු කළ කොටාදැමූ හෙල සෙල්ලිපිය සොයා 1980 ගණන්වල මේ කන්ද තරණය කළ අවසාන නිරීක්ෂකයා ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේට “පුරාවිද්‍යා චක්‍රවර්තී” යන ගෞරව නාමය ප්‍රදානය කරන ලද්දේ පුරාවිද්‍යා ශතසංවත්සරය වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිනි. මම පුරාවිද්‍යා චක්‍රවර්තී, පර්යේෂණ සූරී එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන්ගෙන් මග ලකුණු අසා දැනගෙන පාද යාත්‍රාවේ පැමිණි ආධුනික ඉතිහාස ලෝලියෙකි.

එහෙත් වසර 30 ක් පුරා මේ ප්‍රදේශවල පැවැති ත්‍රස්ත භීතියට හේතුකොට ගෙන කිසිදු පරීක්ෂණයක්, සංරක්ෂණයක්, ගවේෂණයක් සිදු නො වී පැවති නිසා මට මේ ගමන යන්නට සිදු වන්නේ ගුණසිංහගේ වනාන්තර ඥානයෙන් මිස පුරාවිද්‍යාඥයන්ගේ ගවේෂණ ඥානයෙන් නො වන බව මම දනිමි. රූස්ස ඝන වනයෙන් යට වූ කොටාදැමූ හෙල පිහිටි දිශාව සොයා ගන්නට ගුණසේනගේ වනාන්තර ඉවට ඉඩහළ මම ඔහු පස්සේ ගමන් ගත්තෙමි.

ගුණසිංහගේ වනාන්තර ඥානය පිළිබඳ මට පුදුම නොවී ඉන්නට බැරිය. මගේ කර බැඳගත් බඩු පොදියේ සිතියම් මිටියක් ද ඇත. අඟලේ සිතියමේ කොටාදැමූහෙල ත්‍රිකෝණ මිණිත ස්ථානය ද හොඳින් ලකුණු කොට තිබේ.

එහෙත් මහා සමුදුරේ අතරමං වූවෙකුට සිතියමක් පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහුට මාලිමාවක් තිබිය යුතුමය. මම 2010 දී මහා සංචාරයට විල්පත්තු වනය පීරද්දී මා අත මාලිමාවක් තිබුණි. එහෙත් 2005 දී මා පාද යාත්‍රාව තරණය කළේ ඊට වඩා දුප්පත් පිළිවෙතකින් යුතුවයි. එදා මට තිබූ එක ම මාලිමාව ගුණසිංහගේ වනාන්තර ඉව ඥානයයි. වසර 20 කින් මිනිස් පුලුටක් පය නො තැබූ චණ්ඩ වනයේ එක පෙළට ඇවිද ගිය අපට එක්තරා තැනි බිමකදී ඈතින් කොටාදැමූ හෙල පර්වතය දර්ශනය විය.

මේ තැනි බිම වනාහී වැව් තලයකි. සිතියම පිරික්සා බැලූ අපට අතිරිමිතිරි වැව පිළිබඳ හෝඩුවාව ස්ථිර කරගත හැකි විය. ඝණ අරටු සහිතව කළු සහ අළු පැහැ ගැන්වුණු රූස්ස දැව දඬු වනයක් ලෙසින් අතිරිමිතිරි වැවේ වියළි ගස් පෙළ දර්ශනය වෙයි. ඊට ඔබ්බෙන් ඇති ඝන වනයට ද එපිටින් අපට කොටාදැමූ හෙල දර්ශනය වෙන්නට පටන් ගත්තේ ඉතා ඈතිනි.

එහෙත් දැන් සන්ධ්‍යාව උදා වී තිබේ. හෙල තරණය කරන්නට තවත් බොහෝ දුර යා යුතුව ඇත. හෙල මුදුනේ දී රාත්‍රිය උදා වුවහොත් ආ පිට ගමන අසීරුය. ගුණසිංහගේ දැනුවත්කම අනුව හෙල අවට වනයේ වලසුන් සිටිය යුතුය. එහෙයින් අපේ ගමන් සගයා ප්‍රායෝගික යෝජනාවක් ගෙන ආවේ ය.

“ආද රාත්‍රිය අතිරිමිතිරි වැවේ ඉම්මු.

ගිනි මැල ගහපුවහම මේ වැව් පිටියට සත්තු එන්නෙ නෑ”

අපි තීරණය කෙරුවෙමු. ත්‍රාසජනක සංචාරකයකුට (Adventure Tourist) කූඩාරමක් අටවාගන්න ගත වෙන්නේ මිනිත්තු කීපයකි. හතර වටෙන් ගිණිමැල අවුලා වැව් පිටිය ඒකාලෝක කරගෙන මඩිස්සලේ තිබූ දෙයක් තම්බාගෙන කා කූඩාරමට රිංගා ගත් මට අමුතු ම අත්දැකීමකට මූණ දීමට සිදුවිය. අමුතු කෘමි සත්තු විශේෂයක් මගේ කූඩාරම ආක්‍රමණය කරති. දොඹ ඇට තරම් වූ කළු ගුලි කුරුමිණි විශේෂයක් කෝටි ප්‍රකෝටි ගහනයෙන් මගේ කූඩාරම ආක්‍රමණය කළේ ඇයි? ඊට අමතරව තවත් පොදු කූඩාරම් 2 ක් ද සෙසු අයට වෙන් වී තිබුණි. දෙදෙනෙක් මාරුවෙන් මාරුවට නිදිමරති. ගුණසිංහට නම් නින්දක් ඇත්තේ ම නැත. මගේ කූඩාරමට පමණක් කුරුමිණි ගහනය ආකර්ෂණය වූයේ එහි වර්ණය තද නීල වර්ණිත වූ නිසා දැයි මම සැක කෙරුවෙමි. කොළඹ තුම්මුල්ලේ හන්දියේ රීඩ් පාරේ පේව්මන්ට් එකේදී මම මේ කුඩා කූඩාරම මිල දී ගෙන තිබුණෙමි. එය මනා සවිශක්තියෙන් යුක්තව තිබුණ නිසා එක කුරුමිණියෙකුටවත් කූඩාරමට ඇතුළු වී ගත නොහැකි විය. එහෙත් කූඩාරමට පිටින් නීල වැස්මේ උන් නලියනු බලාගෙන මට නිදාගන්න සිදුවිය. සමහර විට කළු ගුලි කුරුමිණියන් නලියන විට ඇති වූ කුරු කුරු නාදය මට නින්ද ගෙනාවා විය හැක.

මහා රාත්‍රියේ ඇසුණු ගොඩ ගෙරවිලිවලට අමතරව විවිධ සතුන්ගේ හඬ මගේ සවනට හුරු වී තිබුණි. ඒ සියලු ශබ්ද අතරින් සමීපයෙන් ම ඇසුණු ජල කැලතෙන ‘ජබොක්’ හඬ කුමක්දැයි අලුයමින් දැනගත් කල අපට දෙලෝ රත් විය. අප නිදාගත් වැව් පිටියට මීටර් 50 ක් පමණ දුරින් ජලය එකතු වූ කුඩා විලක් ඇත. ඒ විලෙහි අතුරු සිදුරු නැතිව හැළ කිඹුලෝ වාසය කරති. ඊයේ රෑ කන ළඟින් ම ඇසුණු ‘ජබොග්’ හඬ උන්ගේ ය.

අලුයමින් ම අවදිව දතකට මැද බෝතල් වතුර අල්ලකින් මුව දොවාගත් අප කිඹුල් වළේ වතුරෙන් ම ශරීරකෘත්‍ය හමාර කොටගෙන යුහුසුලුව ගමනාරම්භ කළේ ළඟ ළඟ ම එන වර්ෂාවක ලකුණු පහළව තිබූ නිසා ය. ඊයේ රෑ ඇසුණු ගොඩ ගෙරවිල්ලට කිඹුල් වළේ මැඩියන් පී‍්‍රති නාද පැවැත්වූයේ වැස්ස අත ළඟය යන සන්නිවේදනයටයි.

එතැන් සිට තවත් පැයක් ගතවන විට අප කුකුළු කටු ගාලක් මැදින් ගමන් කොට හෙල පාමුලට පැමිණ සිටියෙමු. අඟලේ සිතියමේ කොටා දැමු හෙල ත්‍රිකෝණ මිණිත ස්ථානය මූදු මට්ටමේ සිට උස අඩි 449 ක් ලකුණු කොට තිබුණි. හෙලට ගොඩ වෙන්නට පාරක් තොටක් සොයා ගත නොහැක. සියල්ල මූකළාන විසින් වෙනස් කොට තිබේ. එහෙත් අපේ අරමුණ අත්හළ නොහැක. මොහොර බෑවුමේ අරටු බැස්ස වැල් බූටෑවල් වැවී තිබු හේතුව වාසියක් කොට ගත් අප ඒවායේ එල්ලී හෙළ තරණය කරන්නට පටන් ගත්තෙමු.

මේ කොරස වැල් ගෑවුණු තැන් දාදිය වැකුණු කළ වේවැල් කසාය සේ දැවිල්ල අල්ලයි. ඒ සියල්ලට වඩා ඉවසා සිටිය නො හැක්කේ වැල් බූටෑවේ තිබූ දිමිගොටු කැඩී උන් ශරීරය පුරා විසිරෙමින් විස විදින කල ය. කොතරම් දිමි කෑව ද වැල අත හැරිය නොහැක. ඒ වන විට අප මඟක් නැග තිබු නිසා ය.

කොටාදැමු හෙල අද වන වදුලෙන් වැසී ගිය රුදුරු ගිරි දූර්ගයක් වූ නමුදු අතීතයේ ඒ වනාහී මාගම් රාජධානියේ ඉසුරුමත් ලෙන් විහාර සංකීර්ණයකි. මේ දිමි ගොටු, කඩි ගුල්, වලස් ගුහා, පොළොං විමාන ඉවත් කොට කොටාදැමූ හෙල නිවැරදි පුරාවිද්‍යා තහවුරු කිරීමකට ලක් කළහොත් වර්තමානයේ කාමර සංකීර්ණයකින් යුතු තරු පහේ හෝටල් ගොඩනැගිල්ලක් පරිදි මේ පුදුමාකාර ලෙන් විහාර සංකීර්ණය මතු වී පෙනෙනු ඇත. මුළු කන්ද පුරා ම ලෙන් විහාර විශාල ප්‍රමාණයක් ඇත. ඒවා අතීතයේ හුණු පිරියම් කොට තිබූ ලක්ෂණ හමුවේ. ස්වාභාවික රූස්ස ගල් ලෙන් කුහරයට උඩින් කටාරම් කොටා කටාරමට පහළ පර්වත බිත්තිය හුණු පිරියම් කොට තිබී ඇත. එක් එක් ලෙන අතර පරිවහනය සඳහා කුඩා පඩි පෙළවල් ඉදිකර තිබේ. හෙල මැද්දාවට නැග ගත් කළ හමු වූ අති විශාල ලෙනේ බිත්තියෙහි මා සොයා ආ අති දුර්ලභ සෙල්ලිපිය කොටා ඇත.

මේ සෙල්ලිපියේ ඇති එක වචනයක් ලාංකේය ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක මහා වෙනසක් සිද්ධ කළේය. මේ අකුරු අතර ඇති ‘අභිසවෙර’ නමැති වචනයෙන් කවුරුන් හඳුන්වන්නේ දැයි විග්‍රහ කරන පරණවිතානයෝ එය පහත සඳහන් පරිදි වෘද්ධ කොට පෙන්වති.

අභි – උත්තම යන අර්ථය

වෙර > හවෙර > වෙහර > වෙහෙර

අභිසවෙර යනු උත්තම විහාර මහ දේවිය හැඳින්වීමට යොදා ඇත්නම් ඇගේ පිය “තිස” යන්නෙන් හැඳින්වෙන්නේ කැලණිතිස් රජ විය යුතුය. ඇගේ ස්වාමි ‘තිස’ යනු කාකවණ්න තිස්ස හෙවත් කාවන්තිස්ස රජු විය යුතුය. එහි ඇති සෙසු විස්තර අනුව ගැලපූ කළ විහාර දේවියත්, කාවන්තිස්ස රජුත් එකම රජ පරම්පරාවක එක ම රාජධානියක රාජකීය පවුල් දෙකක කුමාර කුමරි දෙදෙනෙකි යැයි ඔප්පු වන්නේ ය. එය එසේ නම් කල ්‍යාණි රාජ්‍යය පිහිටිය යුත්තේ හැඩ ඔය නිම්නයේ නැගෙනහිර පළාතේ, මාගම් රාජධානියේ මණිනාග පබ්බතය ආශි‍්‍රත භූමියක යැයි ඔප්පු වන්නේ ය. එය එසේ නම් බුදුන් වැඩි කැලණියත් කැලණිතිස්සයන්ගේ කැලණියත් ලක්දිව උප රාජ්‍ය දෙකක පිහිටියේ යැයි අපට විශ්වාස කිරීමට සිදුවනු ඇත.

එහෙත් ඉතිහාසය වනාහී නියතියක්, ඒක මතයක්, පරම සත්‍යයක් නොව බහුවිධ මතිමතාන්තර ගොන්නක් යැයි කියැවෙන ප්‍රවාදය හා එකඟ වෙමින් මම කොටාදැමූ හෙල ඉතිරි මොහොර කන්ද ද නැග ගත්තෙමි.

ගල් කුහර සහිත භූමියක් හරහා ඇවිද යද්දී අප වෙතට වලහෙක් කඩා පැන්නේය. ඌ අප දැක හොඳට ම බිය වී මිනීමරු ලීලාවක් පෑ නමුත් අප ගුණසිංහගේ විධාන පිළිපැද්ද නිසා අනතුරක් සිදු නො වුණි. ගල මුදුනට නැගි කළ හාත්පස වනාන්තරයෙන් මහා බියකරු ඝෝෂාවක් ඇහෙන්නට විය. මහසෝනාට වලහගේ මුහුණ යොදා ඇත්තේ ඇයි දැයි මම එදා දැනගතිමි. කන්ද උඩ සිටි අපේ ඉව දැනීමෙන් කෝප වූ හාත්පස වලසුන් විශාල පිරිසක් එක්වර කළ කෑ ගැසීම වනාහී මහසෝනාගේ කෑ ගැසීම බඳු යැයි භිරාන්තව සිටි මම සිතා ගත්තෙමි. එහෙත් අප වනාන්තරේ කුරා කුහුඹුවෙකුටවත් අනතුරක් නො කරයි නම් අපට මහසෝනා වැනි වූ වලහාගෙන් ද අනතුරක් නැත. අප සතුව තිබූ එක ම ආයුධය වන්නේ පරෙස්සම නම් ආරක්ෂිත ආයුධයයි.

ජැක්සන් ඇන්තනී

Advertisements

Responses

  1. “වතුර මැදින් හරෝ හරා” යනුවෙන් ඉතාමත් අප්‍රිය ලෙස කෑගසන මෙම ජන කොට්ටාශය ට බිය වන වන සතුන් ඉතාමත් බියටත්, එක්තරා ආකාරයක හිංසනයටත් පත් වෙයි… අප රටට අයත් නොවූ සංස්කෘති මෙම දේශය ගිල බස ගත කල, රටකට හෙන ගසන්නේ ගෙඩි පිටිනි !


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: