Posted by: lrrp | August 6, 2011

ගෙරි හමකින් වටකළ පෘතුගීසි කොටුව බල

කොළඹ ‘කොටුවක්’ මුලින්ම තැනුවෝ පෘතුගීසීහුය. නොමැකෙන පියසටහන් මේ සොයා යන්නේ පෘතුගීසීන්ගේ ‘කොටුව‘ පිළිබඳ වූ තොරතුරු බිඳකි.

 

පෘතුගීසින් ලංකාවේ විශේෂ වූ ස්ථානයකට ඇල්මක් දැක්වූයේ නම් එලෙස දැක්වූයේ කොළඹටය. කුණාටුවකට හසුව ගාල්ලේ වරායට සේන්දු වන ලොරෙන්සෝ ද අල්මේදා කොළඹ වරාය සොයා එන්නේ එබැවිනි.

අල්මේදා ගාල්ලට ආවේ කුණාටුවක් නිසා වුවද, 1518 දී ඉන්දියාවේ පෘතුගීසි ආණ්ඩුකාරයා වූ ලොපෝ සොරස් ද අල්බගේරා ලංකාවේ කොටුවක් තැනීම පිණිස එන්නේ කොළඹටය. අල්මේදාට මෙන්ම ලෝපෝට ද මුලින්ම ගාල්ලට ගොඩ බසින්න සිදුවන්නේ කුණාටුවක් නිසාය.

සති කීපයක් ගාලු වරායේ සිටින ලෝපෝට හැඟී ගියේ කොටුවක් තැනීමට වඩා සුදුසු වන්නේ කොළඹ නොව ගාල්ල බවයි. බොහෝ පැතිවලින් විවෘතව ඇති කොළඹට වඩා කොටුවක් තැනීමට ගාල්ල සුදුසු යැයි ඔහු සිතූ නමුත් ඔහුගේ දෙවන කල්පනාව, ඒ සිතුවිල්ල ප්‍රායෝගික කිරීමට ඉඩ තැබුවේ නැත.

ඒ වනවිට කොළඹ වෙළෙඳ බලය අත්පත් කරගෙන සිටියේ අරාබි ජාතිකයෝය. පෘතුගීසින් කොළඹ කොටුවක් ඉදිනොකර ගාල්ලෙහි ඉදිකළේ නම් අරාබි ජාතිකයන් එය දකිනුයේ පෘතුගීසින්ගේ බියසුලුකමක් ලෙසිනි. අරාබි ජාතිකයන් තම ජාතිය ගැන එවැනි නිගමනයකට ඒම පෘතුගීසින් රිස්සුවේ නැත. කොටුවක් තැනීමට වඩාත් සුදුසු ගාල්ල අතහැර ඔවුන් කොළඹටම සැපැත් වුණේ එබැවිනි.

හරක් සමක් කුඩා තීරුවලට ඉරා ඉන් වටකරගත් ප්‍රමාණය කොළඹ බළකොටුව හෙවත් කොටුව බවට පත්වූයේ ඒ මාන්නක්කාර සිතුවිලි සමඟය. එලෙස ගොඩ නැඟුණ කොටුව ඇතුළේ පරිසරය සම්පූර්ණයෙන් ම නිර්මාණය වූයේ පෘතුගීසින්ට ඕනෑ හැටියටය. පෘතුගීසිකාරයකු විසින් ම කොටුව ගැන කර ඇති විස්තරයකින් කොටුවේ ස්වභාවය ගැන පැවැසීම ආරම්භ කිරීම වටී.

“කුඩා ඉනි වැටකින් වටව තිබූ කොළොම්පුරය අට්ටාල දොළසකින් ශක්තිමත් වූ මහා නගරයක් බවට පත් විය. පැරණි තාලයට අනුව සෑදූ ඒවා ප්‍රමාණයෙන් කුඩා, පැති හයකින් යුතු වුවද වැඩි අමාරුවක් නැතිව ගොඩ නඟන ලද ඒවා බව පෙනේ.

ප්‍රාකාරය වරිච්චියෙන් (උණගසින් හා මැටියෙන්) බැඳී, තනි පේළියේ තාප්පයක් වුවද ස්වදේශිකයන් ගේ ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන තරමේ ශක්තිමත් එකක් විය. එය වටා දෙපසින්ම දිග අගල් කපා තිබිණි. මේ දිය අගල් කොටු තාප්පයේ එක් කෙළවරක පිහිටි වැවකින් කෙළවර වන අතර ගොඩබිම දෙසින් එන තවත් දිය අගලක් ද වැවට සම්බන්ධ වී ඇත. මෙහි තුන් මාදිලියකි.

රාත්තල් 10 සිට 38 දක්වා බරැති ගණනින් දෙසිය තිස් හතක් වූ කාලතුවක්කු සමූහයක් විය. කොටු තාප්පය පිහිටියේ කුඩා නැව් විශාල සංඛ්‍යාවක් නතර කර තැබිය හැකි මූදු බොක්කක් වටේ වුවද එහි උතුරු පැත්ත විවෘතව තිබිණි. මෙහි මුළු දිග ප්‍රමාණය පියවර එක්දහස් තුන්සියය ද ඉක්මවූ බව කියනු ලැබේ.”

පෘතුගීසි ඉතිහාසඥයකු වූ රුබෙයිරෝ තැබූ ඉහත සටහන් එච්. ඒ. ජේ. හුළුගල්ල මහතා සිය කොළඹ – ශත සංවත්සර පුස්තකය (පරිවර්තනය – ව. ආ. සමරතුංග හා අමරසේන බ. ගුරුගේ) නැමැති ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ එලෙසිනි.

මුර අට්ටාල, දිය අගල්, කොටු තාප්ප යනාදී සියල්ලෙන් ආරක්ෂිත බව තහවුරු කරගත් පෘතුගීසින් ඒ තුළ සිය විමානය ගොඩනැඟුවේ ඔවුන්ටම ආවේණික පරිදිය. හුළුගල්ල මහතා විසින් රචිත ඉහත කී ග්‍රන්ථයේ උපුටා දක්වා ඇති ක්විරෝස් නැමැත්තෙකු කර ඇති සටහනකින් කොටුව නගරයක් ලෙස ව්‍යාප්ත වූ ආකාරය මැනැවින් නිරූපණය වේ.

”කැලණි ගඟ මඟින් රට අභ්‍යන්තරයේ සිට මේ නගරයට ආහාර පාන සුලභව ලැබේ. කල් යත් යත්ම වෙනත් ස්වදේශික ජනයා හැර පෘතුගීසි පවුල් 500කගේ වාසය ඇතිවන තෙක් විශාල වී ගෙන ආ මේ නගරය රමණීය ගෙවල් පෙළකින් ද මනා ලෙස සැදි වීදිවලින් ද සමන්විත විය. කිසි කලෙක සම්පූර්ණයෙන් නිමාවට පත් නොවූ ප්‍රාකාරයෙන් පිටත යුද බියෙන් තොර කල්හි පෘතුගීසින් කෙළි දෙළියෙන් කාලය ගෙවූ සිසිල් සෙවන ගෙන දුන් තාල වනෝද්‍යානයන් විය.”

පෘතුගීසින්ගේ මේ සුන්දර නිවෙස් ගැන රචනා කරන කල්හි සිහිවන්නේ ඔවුන්ගේ “විලා” නමැති මන්දිර පිළිබඳවය. සෑම පෘතුගීසිකාරයකුටම ‘විලා’ වල විසීමට අයිතියක් නොතිබිණි. ‘විලා’ ඉදිවූයේ පෘතුගීසි උසස් නිලධරයන්ට හා විනිසුරුවරයන්ට පමණකි. ඒ බවට සටහනක් ආර්. එල්. බ්‍රෝහියර් සිය Changing Face of Colombo  (කොළොම්පුර පුරාවෘත්ත – පරිවර්තනය – පද්මා එදිරිසිංහ) නමැති කෘතියේ ද සඳහන් කර ඇත. කොටුව ඇතුළත තිබූ ‘විලා’ හි ස්වභාවය හා සෙසු නිවෙස් ගැන බ්‍රෝහියර් තබා ඇති සටහන මෙබඳුය.

”මහල් නිවාස වූ මේවායේ උඩු මහලට නැඟීමට ශෛලමය පඩි පෙළ කීපයක් ද තනන ලදී. වෙළෙඳුන් හා වඩා සුළු නිලධාරීන් සඳහා මීට අඩු මට්ටමේ නිවාස තැනිණි.”

පෘතුගීසි සමයේ ‘විලා’ වල විසූයේ පෘතුගීසින්ගේ උසස් නිලධරයන්ට හා විනිසුරුවරයන්ට පමණි. එහෙත් මෑතක් වන තුරුම විශේෂයෙන් ස්වදේශීය මධ්‍යම පාංතිකයෝ කුමක් හෝ තවත් නමක් ඉදිරියට දමා ගත් ‘විලා’වල ජීවත් වූහ. ඒවා බොහෝ විට තනි තට්ටුවේ නිවාස විය. එහෙත් ඒවා ‘විලා’ විය. රෝස් විලා, කුසුම් විලා, යනාදියෙන් පමණක් නොව නිවසේ දියණියගේ නම මුලට යෙදූ විලාවල ද ඔව්හු ජීවත්වූහ.

1656 වර්ෂයට අයිති සිතියමක් මඟින් තවදුරටත් කරුණු ගෙනහැර පාන බ්‍රෝහියර් පවසන්නේ කොටුව නැමැති සිමිත ඉඩෙහි පල්ලි හා වෙනත් ආගමික ගොඩනැඟිලි බොහෝ ප්‍රමාණයක් තිබූ බවයි. සිය යටත් විජිතයන් වැඩිකර ගැනීම හා සමගාමීව ම කතෝලික දහම ව්‍යාප්ත කිරීමේ පෘතුගීසි ප්‍රතිපත්තිය මේ ගොඩනැඟිලි සමුදායෙන් පැහැදිලි වන බව ද බ්‍රෝහියර් පවසයි.

පෘතුගීසින්ගේ කොටුවෙහි කෙළින් වීදිය මෙකල කොටුවෙහි කෙළින් වීදියට ද දැමූ පදනම විය. ඒ ගැන හුළුගල්ල මහතා තබන සටහන මෙබඳුය.

”…එම නගරයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා වූ මහමාවතක් විය. එය කෙළින් වීදිය යැයි ව්‍යවහාර කරන ලදී. කෙලින් වීදිය නගරයේ ප්‍රධාන දොරටුව වූ රැජින දොරටුවෙන් කෙළවර විය. …නගරයේ දීර්ඝතම වූද, වැදගත්ම වූ මාර්ගය වූයේ එයයි. මේ මහ මඟ අඩක් පමණ දුර යනවිට කොන්සිස්ටරි ගොඩනැඟිලි තිබෙන ස්ථානයෙහි (මල්වත්ත පාර සහ 1 වැනි හරස් වීදිය අතර නගර ශාලාව නොහොත් කොළඹ මණ්ඩලය විය.

කොළඹ නගරය සඳහා නියෝජිත මණ්ඩලයක් ද ඇල්ඩමන්වරු සහ ලිපිකරුවන් ද සිටි අතර ඒ සඳහා කාර්යාලයක් ද තිබිණි. මේ මණ්ඩලය ඉදිරියෙන් චතුරශ්‍රයක් තිබිණි. ජෙසුයිට් කොලීජිය හා දේවස්ථානය (වර්තමාන ඛාන් ඔරලෝසු කණුව ළඟ) චතුරශ්‍රයටත් මුහුදටත් අතර වූයේය. මේ දේවස්ථානය ඉන්දියාවේ තිබුණ ඉතාම උසස් දේවස්ථානවලින් එකක් වූ අලංකාර ගොඩනැඟිල්ලක් විය.

මේ විස්තරයට සමාන විස්තරයක් බ්‍රෝහියර් ද සිය කෘතියේ සටහන් කර ඇත. කෙළින් වීදිය හා දේවස්ථානය ගැන ඔහු තබා ඇති සටහන මෙබඳුය.

”මේ අඩවියේ ප්‍රධාන වීදිය වූයේ “රියෝ ඩිරෙක්ඩෝ” විදිය හෙවත් කෙළින් වීදියයි. කොටුවේ සිට පිටකාටුව තෙක් දිවෙන කෙළින් වීදියේ සම්භවය මේ වීදියයි. මේ වීදිය දිගේ අඩක් දුර ගිය විට …… පාවුළු දේවස්ථානය තේජාන්විත ස්වරූපයකින් නැඟී සිටිනු පෙනේ. මෙය 16 වැනි කොරින්තීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩ නඟන ලද්දකි. පෘතුගීසි ඉන්දියාව තුළ තනන ලද ඉතා විශිෂ්ට දේවස්ථානය වශයෙන් ඉතිහාසඥයන් හඳුන්වා ඇත්තේ මේ පල්ලියයි. මේ ශාලාව ඉදිරියෙන් නගර සභා ශාලාව පිහිටියේය.”

මේ කොටුබැම්ම ඇතුළත පෘතුගීසින් විසින් ඉදි කළා වූ තවත් වැදගත් ආයතනයක් වී ඇත්තේ ඔවුන්ගේ රෝහලයි. මේ රෝහල පිහිටා තිබී ඇත්තේ මෙකල ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට ඉතා සමීපවය. ආරෝග්‍යශාලාව පිහිටි තැනද මෙකල අයිතිව ඇත්තේ වරායටයි. ආරෝග්‍යශාලාවට යාබදව බන්ධනාගාරයක් ද අනාථ නිවාසයක් ද පිහිටි බව බ්‍රෝහියර් පවසන්නේ පෘතුගීසි යුගයේ කොළඹ සිතියම ද ආශ්‍රයට ගනිමිනි.

පෘතුගීසින් විසින් ගොඩනඟනු ලැබූ කොළඹ කොටුව ලන්දේසි සමයේදී ද, ඉංග්‍රීසි සමයේ දී ද ඉන්පසුව මෙරට පාලනය නැවත ලබා ගත් ස්වදේශික පාලකයන්ගේ සමයේ ද විවිධාකාර වූ වෙනස්කම්වලට ලක්විය.

Advertisements

Responses

  1. පරංගි මෙහෙම ආරක්ෂා ඇතිව හදපු කොටුවට තමා ටිකිරි කුමාරයා අවු 16දි සිංහල එවුන් එක්ක ගිහින් වට කලේ. කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගනන් වෙන්ට ගැහුවෙ පරංගින්ට ඇප නැති වෙන්ට. ඒ වා ගැන කවුරුත් කියන්නෙ නැති එකයි අවුල.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: