සන්දේශ’ යනු අස්න, හසුන, පණිවුඩය, ආරංචිය, දැන්වීම, වාර්තාව හෝ තොරතුරු හෝ රැගත් විධිමත් ලියමන සේ සැලකේ. සන්දේශ කාව්‍ය නම් දූතයකුගේ මෙහෙවර යටතේ පණිවුඩයක් යවන නියායෙන් ප්‍රබන්ධය කළ කාව්‍ය විශේෂයෙකි.
කිසියම් වැදගත් පණිවුඩයක් දුර ප්‍රදේශයක සිටින අයකුට විධිමත් ලියමනක්, අස්නක්, හසුනක් ලෙස යැවීමට එදා විද්‍යුත් පහසුකම් තිබුණේ නැත. අද මෙන් විද්‍යුත් තැපැල් (ඊ මේල්) මඟින් පණිවුඩ යැවීමේ ක්‍රමයක් ද නොතිබිණි. කෙටි දුරක් නම් ඊතලයෙක අමුණා පණිවුඩය යැවිය හැකිය. නැත්නම් ‘දෙපා සතකු’ යොදාගත හැකිය. එසේත් නැත්නම් සිව්පාවකු හෝ පක්ෂියකු හෝ යොදා ගැනිණි. එම දූතයාට සද් ගුණ තිබීම වැදගත්වේ.
සන්දේශ කාව්‍යය ගෙන යන දූතයාට මඟ සලකුණු සහ සන්දේශය ලබන්නාගේ ප්‍රභූ වර්ණනා ද දැනගැනීමට සැලැස්වේ.
ලෝකයේ මුල් ම සන්දේශ කාව්‍යය ලෙස පුරාණ චීන කවියකු වූ චූ- යුවාං ප¼ඩිවරයා විසින් පෙම්වතියකට යවන ලද කාව්‍යයක් පිළිගැනේ. ඔහු අභාවප්‍රාප්ත වූයේ ක්‍රිස්තුª පූර්ව 274 දී ය. එම මතය මතභේදයට තුඩු දී ඇති අතර පුරාණ භාරතයේ සිටි මහා කවි කාලිදාසයන්ගේ ‘මේඝ දූතය’ ලෝකයේ ප්‍රථම සන්දේශ කාව්‍යය ලෙස ද මතයක් සහ පිළිගැනීමක් ඇත.
අපි ‘මේඝ දූතයේ’ කතා පවත මෙසේ කෙටියෙන් සඳහන් කරමු.
’කුවේර නම් යක්ෂ නායකයාට ‘මානස විල’ නම් පියුම් විලක් තිබිණි. යක්ෂ නායකයා මේ විලෙහි පිපුණු නෙලුම් මල් රැක බලාගැනීමට ළඟදී විවාපත් කඩවසම් තරුණයකු යොදවයි. මේ තරුණයා තම යොවුන් බිරිය කෙරෙහි බැඳුණු සෙනෙහසින් පසු වේ. එම නිසා ම තනිව සිටින තරුණ බිරිය දැකීමට නිතර නිතර ගෙදර දිවීමට ඔහු පුරුදුව සිටියේ ය. තරුණයාගේ රාජකාරිය අවංකව ව සිදු නොවිණි. මෙවැනි අවස්ථාවක අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අලි ඇතුන් රැළක් විලට බැස සිත් සේ මල් කඩා කමින්, දිය නාමින් සිට විලම විනාස කොට ගියහ. මෙය දුටු යක්ෂ නායකයාගේ හිසට ‘යකා නැග්ගේ ය.’ විලේ ආරක්ෂක සේවයේ යෙදුණු තරුණ යක්ෂයා කැඳවා යක්ෂ නායකයා ඔහුට සාප කළේ ය. වසරක් පුරා ඔහුට තම තරුණ බිරිය දකින්නට නොලැබ විරහ වේදනාවෙන් පසු වේවා!යි යක්ෂ නායකයා ඔහුට සාප කළේ ය. වියෝ දුකින් රාමගිරි පව්වේ වෙසෙන යක් භටයාට තම බිරියට පණිවුඩයක් යැවීමට විදියක් නැති ව දුකින් සිටින විට හිසට උඩින් යන ගන වලාකුළක් දකින්නට ලැබේ. ඔහු එය අමතා තුරුණු බිරියට ශෝකී පණිවුඩයක් යවයි.
එහි ද කාලිදාසයෝ මඟ සලකුණු සටහන් කරමින් සින්ධු නදිය, ඉවුරෙහි තුරු පෙළ වර්ණනා කළහ.
මේඝ දූතයෙත්, සම්භාව්‍ය සිංහල සන්දේශවලත් මඟ සලකුණු වර්ණනා කිරීමේ දී පරිසර වර්ණනා දැකගත හැකි ය. කවියෝ, පරිසරයට ආදරය කළහ. ඔවුහු උස් කඳු වැටි, නිල් වන රොද, ගලා බසින ගංගා, කඩා හැලෙන දිය ඇළි, දිය නාන ගැමි ලියන් ආදී සුන්දර වස්තූන් ඔවුන්ගේ පන්හිඳට අසු විය. කාලිදාසයන්ගේ ‘කුමාර සම්භවය ද රඝු වංසය ද එම ගුණාංගවලින් සමන්විත ය.
සිංහලෙන් ලියන ලද මුල් ම සන්දේශය ලෙස පිළිගැනෙන්නේ ’මයුර සන්දේශය’ යි.
කෝට්ටේ සය වැනි පරාක්‍රමබාහු රජ දවස ලියැවුණු ‘ගිරා සන්දේශය’ සිංහල සම්භාව්‍ය කාව්‍යයක් සේ සුවිශේෂී ස්ථානයක් දිනාගෙන ඇත. එය යැවෙනුයේ කෝට්ටේ පිරුවනක සිට තොටගමුවේ විජයබා පිරුවන වෙත ය. එකල එහි වැඩ වාසය කළේ සිරි රහල් මාහිමියන් ය. ඒ සන්දේශයෙන් කියැවෙන්නේ සවැනි පැරැකුම්බා රජුත්, ලක්දිවත්, බුදු සසුනත් රැක දෙන සේ නාථ දෙවියන් අයැදින්නැයි මාහිමියන්ගෙන් කැරෙන කාරුණික ඉල්ලීමෙකි.
කෝට්ටේ, ගම්පොළ සහ දැදිගම රජ සමයන්හි රචිත අපේ සන්දේශාවලිය සොබා දහම පිළිබඳ වර්ණනාවලින් පිරී ඇති අතර අපේ සන්දේශ කවියෝ අප අවට පරිසරයට කොපමණ ආදරය කළෝ ද? යම්කිසි පක්ෂියකු දූත මෙහෙවරෙහි යෙදූ කවියා ඇළ දොළ ගංගා දිය ඇළි, මල් පිපි දිය පොකුණු, විල්, ආධ්‍යාත්මික වටිනාකමින් යුතු වෙහෙර විහාර, මෙන්ම දිය නාන කතුන්, රඟන මරඟනන් ආදී සුන්දරත්වය පෙන්වන වස්තූන් ද වර්ණනා කළේ ය.
ගම්පොළ, සීතාවක, කෝට්ටේ රජ සමයන්හි රචනා කරන ලද පරෙවි, ගිරා, තිසර, මයුර, කෝකිල, සැලළිහිණි, හංස සහ සැවුල් යන සන්දේශ සම්භාව්‍ය කාව්‍ය ගණයට වැටෙන අතර අපේ සාහිත්‍ය පෝෂණයට ඉමහත් පිටුවහලක් වූ බව සටහන් කළ යුතුය.
එසේම අපේ කවියෝ අහිංසක, සුන්දර පක්ෂීන් වන ගිරවා, මොනරා, පරෙවියා, හංසයා, කෝකිලයා, සැලළිහිණියා, සැවුලා දූත මෙහෙවරෙහි යොදාගෙන අපේ අගනා පරිසරය වර්ණනා කළහ.
පරෙවි සන්දේශයේ එන මෙම කවි කිහිපය අපි රස විඳිමු.
සුපිපි මලී බමර දැලී තමලු වැලී තලා වැලී
තුටු කෙවිලී සකොලහලී සුපිපි සලී වෙනෙහි පිලී
ළපලු හැලී සෙවණවලී පැහැ සුනිලී ගනවැ දිලී
බල මෙවෙලී තුරු සියලී වල විදුලී සිරි ළකලී
ඉතා හොඳින් පිපුණු වනමල් වසා ගත් බමර දැල් ය. වැලි තලා වසා ගත් තමලු (කොල්ලම්) වැල් ය. සතුටු වූ කොවුලෝ කෝලාහල කරති. වනයෙහි සල් ගස්වල මනාව මල් පිපේ. ළාදලු සැලෙමින්, සුනිල් පැහැයෙන් ගන ව දිලෙන තුරු ලිය සෙවණ දෙයි. වලාකුළු අතරෙහි විදුලිය රමණීය එළිය දෙයි. මේ තුරු සියල්ල බලව.
කවියා ගන වනයේ සොබා සිරිය සිත් ගන්නා ලෙස සටහන් කරයි. මේ වනය ළා දලුවලින්, සුපිපි මලින් ඊට වැසුණු බමරුන්ගෙන් අලංකාර වී ඇත.
කවියේ සිවු පාදයෙහි මාත්‍රා හයෙන් හය ’ලී’ යන එළිවැට තබා ඇත. එය කවියට ගෙන දෙන්නේ සුන්දර ප්රබෝධයෙකි. ගීතවත් අනුප්රාස රසයෙකි. මල් ආදියෙන් ගැවැසුණු මුළු වන පෙත ම පෙනෙන්නේ විදුලි කොටන විට නිල් අහසේ දකින විදුලියෙක සිරිය යි. මෙය දැකුම්කලු දර්ශනයෙකි. ‘ලී’ යන අනුප්රාස රසයෙන් ජල ක්රීඩාවෙක තරගකාරී බව චමත්කාර ලෙස මතු කරයි.
සිරි රහල් හිමියන්ගේ පරෙවි සන්දේශයේ එන තවත් කවක් ගෙන රස විඳිමු.
මෙනිඳු නිලී පැහැ ඉසිලී එවන විලී පියුමුපුලී
වතළ සැලී වගළ වලී රොනින වලී එන ගඟුලී
සතුරු කැලී බම විසලී යුතු සිහිලී පිරි සිලිලී
නුබ කයෙලී සකි එකලී දොළසෙ ගිලී යව ඉපිලී
පියුම්, උපුල් පිපි විල ඉඳුනිල් පැහැය ගනී. එයට එන තුරුලිය මාරුතයෙන් වැගිරුණු මල් රොනින් ආකුලය. සිහිල් ජලයෙන් පිරි විල විසල් අහස පළ කරයි. මිතුර, සිත් සේ සිසිල් දිය නා ගිලී මතු වී යව.
මේ කවිය කියූ විට අපට මැවී පෙනෙන්නේ වන විලක් නොව නිල් අහසෙකි.
අපි මෙවැනි ම තවත් කවියක් ‘පරෙවි සන්දේශයෙන්’ ගෙන රස විඳිමු.
තුරු පතරා අතර කරා රඳන ගිරා කැළ නිතොරා
කුසම සරා රිය සොඳුරා අඳින වරා බැරිව හැරා
සැඟවි සොරා පැමිණි යුරා මෙසිරි සරා දැක නොහැරා
තමනු තුරා තොස සපුරා යව මිතුරා එ වන’ තුරා
තුරු පතර නිතර නතරව සිටින්නා වූ ගිරා කැළ කෙසේ ද යත් අනංගයාගේ සොඳුරු රිය අදින විට අසමත් ව, එය හැර දමා සැඟැවී සොරා පැමිණි වැනි ය. මේ සිරි සර දැක සම්පූර්ණ සතුටක් විඳ සිත උතුරන සම්පූර්ණ සතුටින් වනය අතුරෙහි යව.
’රා’ යන අනුප්රාසය ගීතවත් ය. කවියා පරෙවි මිතුරා ඉදිරියට යවන අයුරු ශබ්දයෙන් අර්ථයෙන් රසභාව මතු කිරීමට සිරි රහල් හිමියෝ සමත් වූහ.
බිඟු බට කලට තඹරට සුවඳට රොනට
මුතු පට ලෙසට සැදි වැලි පිට දෙන දවට
ලිය දුට නොසිට සහතුට නෙතට සැපයට
එම විට මඟට බැස යව මහතොට ගමට
බමරුන් සුවඳට රොනට බිමට බට කල්හි මුතුපටක් මෙන් සැදුණු වැලි පිට පෙරලෙන්නා වූ කාන්තාවන් දුටු විට ඇස පිනවමින් සතුටින් නොසිට මහතොට ගමට යව!
මාතර මාගම්පුර කාන්තාවන් මනා රූ සපුවෙන් යුතු ලියන් බව කවියා කියයි. මේ කතුන්ගේ සිරුරින් පියුම් සුවඳ වහනය වෙයි. බමරු සුවඳට ඇදෙති. එය සොබාවික ය. රැවැටුණු බමරු බිමට බසිති. බමරුන් බිමට බට හඬට කවියා ‘ට’කාරය එකතු කරමින් ඇති කළ අනුප්රාස රසය බමර හඬට නෑකම් කියයි.
එදා මාගම්පුර තරුණියන්ගේ රූ සපුව දකින කවියා පරෙවි දූතයාට උපදෙස් දෙමින් කියන්නේ ඒ සුරූපියන් දැක දැක නෙත් පිනවමින් නොසිට මාගම්පුරයට යන ලෙස යි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් පරෙවි සන්දේශය රචනා කිරීමෙන් අනතුරුව කළ ප්‍රබන්ධය ‘සැලළිහිණි සන්දේශය’ බව පිළිගැනේ. එහි දී කවියා පරිසර වර්ණනාව ඉතා ඉහළින් කළ බව පෙනේ.
Leave a Reply