Posted by: lrrp | August 9, 2011

රාජසිංහ පෙම්වතිය දියවන්නා ඔයට පනී!

මේ ක්‍රි.ව. 1581 යි. කෝට්ටේ රජ මාළිගය අසල විහාරයෙහි පින්කම් දිනයකි. මහ පෙරහරක් ද සහිත ඒ උත්කර්ෂවත් පින්කමට සහභාගිවීම පිණිස විශාල ජනකායක් විහාර භූමිය කරා ඇදෙන්නට වූහ.

නව යොවුන් වියෙහි සිටි සුරූපියක වූ ලීලාවතී කුමරිය ද සිය මිත්තණිය සමඟ එහි ළඟා වූවා ය. දෙවඟනක බඳු රූ සපුවෙන් හෙබි ඇගේ මී මුත්තා වූයේ කලක් රයිගම පාලකයා වූ වීර අලකේශ්වරගේ සේනාධිනායකයෙකි.

ධනවත්, වංශවත් පරපුරකින් පැවතෙන්නියක වුව ද මා පියන් අහිමි ඇය දැන් ගෙවනුයේ දිළිඳු ජීවිතයකි. ඇගේ ආරක්ෂාවට වූයේ මිත්තණියයි. ලීලාවතියගේ වැඩිමහල් සොහොයුරා ද ඔවුන් සමඟ විසී ය.

ආරෝහ පරිණාහ දේශයෙන් හා සිත් ගන්නා සුළු හැඩ රුවින් යුත් තරුණ භික්ෂුවක වරින් වර ඉතා උනන්දුවෙන් තමා දෙස බලන බව විහාර මළුවේ සිටි ලීලාවතී දුටුවා ය.

ඔහු කරනුයේ භික්ෂුවකට නොසරිලන ක්‍රියාවක් බව නිගමනය කළ ලීලාවතී ඒ ගැන සැලැකිල්ලක් දැක්වූයේ නැත. එහෙත් ඔහු කවර තරුණියකගේ වුවද අවධානයට පාත්‍ර වන පෙනුමකින් යුත් තැනැත්තකු බව ඇයට හැඟුණි.

තරුණ භික්ෂුව

පසු දින උදෑසන සිදු වූයේ ලීලාවතී කිසිසේත් බලාපොරොත්තු නො වූ දෙයකි.

පෙර දින සවස විහාර මළුවේ දී තමා කෙරෙහි විශේෂ උනන්දුවක් දැක් වූ තරුණ භික්ෂුව තම නිවෙස සොයා පැමිණීම ඇයට අදහාගත නොහැකි පුදුමයක් විය. එහෙත් ඔහු පැමිණියේ භික්ෂු වේශයෙන් නො ව ගිහි වේශයෙනි.

මුඩු හිස වෙනුවට අලංකාර කෙස් කලඹකින් හිස වැසී තිබුණි. එසේ වුව ද මුහුණුවරින් ඔහු හැඳිනගන්නට ලීලාවතීට අසීරු නො වී ය. ඇගේ මිත්තණිය හමු වූ ඔහු තමා හඳුන්වා දුන්නේ ධර්මපාල රජුගේ යුද බළ ඇණියේ නිලධරයකු ලෙසට ය. තමා වංසවත් රදල ධනවතකු බව ද ඔහු කීය.

ඇඳුම් පැළැඳුම්, කතා විලාසය හා ඉරියව් අනුව ඔහු උසස් පෙළපතකට අයත් තැනැත්තකු බව මිත්තණිය ද වටහාගත්තා ය. ආගන්තුක තරුණයා කීවේ තමාගේ නම ටිකිරිබණ්ඩා බව ය.

ලීලාවතී සමඟ ද සල්ලාපයේ යෙදීමට අවස්ථාව සලසාගත් ටිකිරි බණ්ඩා තමා ඇය විවාහ කැරගැනීමට කැමැති බව මිත්තණියට ප්‍රකාශ කොට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

වැඩිමහල් සොහොයුරා වූ ලොකු බණ්ඩාගේ ද කැමැත්ත ඇතිව එය අනුමත විය. ඒ අවස්ථාවේ ම ටිකිරි බණ්ඩා කියා සිටියේ විවාහය ඉක්මන් කළ යුතු වුව ද සීතාවක රාජසිංහ ගෙන් කෝට්ටේ රාජ්‍යයට එල්ල වන තර්ජන නිසා ඔහුට එරෙහිව ධර්මපාල රජු මෙහෙයවන සටන්හි යෙදෙන්නට සිදුවීම හේතු කොටගෙන ඇය කැන්දන් යාම කල් දමන්නට සිදු වී ඇති බව ය. ඒ අනුව ඔහු කළේ ලීලාවතී විවාහ කැරගෙන ඉක්බිති දෙතුන් මසක් ඇගේ නිවෙසෙහි ම රැඳෙමින් යුද කටයුතුවල යෙදෙන්නට තීරණය කිරීමය. ඔවුන් කිසිවකු ඊට විරුද්ධ වූයේ නැත.

දිළිඳු කමේ පතුලට ම වැටී සිටි මේ අසරණ පවුලට ලීලාවතී හා ටිකිරිබණ්ඩා අතර විවාහය නිසා උදා වූයේ වාසනාවන්ත කාල පරිච්ඡේදයකි.

ටිකිරි බණ්ඩා පවුලේ සියලු අවශ්‍යතා සැපැයීම නිසා එතැන් පටන් ඔවුන්ට කෑම බීම, ඇඳුම් පැළැඳුම් සහ වෙනත් අවශ්‍ය සැප පහසුකම්වලින් කිසිදු අඩුවක් නො වී ය.

ටිකිරි බණ්ඩා හා විවාහය

තමා වාසනාවන්තියකැයි සිතූ ලීලාවතිය කණස්සල්ලට පත් කළේ වරින් වර එක දිගට දින ගණනක් සිය දයාබර සැමියා යුද කටයුතු නිසා ඇගෙන් බැහැර ව සිටීම පමණි.

ඇය නිරතුරුව ම ප්‍රාර්ථනය කළේ පෘතුගීසීන්ගේ ද සහාය ඇති ව ධර්මපාල රජු විසින් රාජසිංහ රජුට එරෙහි ව මෙහෙයවනු ලබන කෝට්ටේ හමුදාවේ ජයග්‍රහණය යි.

ඊට හේතු වූයේ ඇගේ ස්වාමියා ධර්මපාල රජුගේ හමුදා නිලධරයකු වීම පමණක් නො ව ධර්මපාල රජු වෙත ඇය තුළ වූ අසීමිත රාජපාක්ෂික බව යි. ධර්මපාල රජු හා කෝට්ටේ රාජ්‍යය කෙරෙහි වූ ඉමහත් භක්තිය ඇය තුළ රාජසිංහ රජු කෙරෙහි ඇති කළේ අත්‍යන්ත ද්වේෂයකි.

මෙවර යුද කටයුතු සඳහා පිටත් ව ගිය සිය ස්වාමියා දින ගණනක් නො ව සති ගණනක් පමාවීම ලීලාවතියගේ සිත අසහනයට පත් කළේ ය. ඒ අතර ඒ අසහනය තවත් වැඩි කරන තොරතුරකින් ඇය පත් වූයේ බලවත් කැලැඹිල්ලකට ය.

ඒ වූකලී රාජසිංහ රජු කෝට්ටේ රාජ්‍යයට පහරදීම අරඹා ඇති පුවත ය.

ධර්මපාල රජුුගේ සහ කෝට්ටේ රාජ්‍යයේ අවිනිශ්චිත ඉරණම ගැන ඕ දුක් වූවා ය.

රජ වාසල ආරක්ෂක භටයකු ලෙස සේවය කළ සිය සොහොයුරු ලොකුබණ්ඩා ගෙන ආ තවත් පුවතකින් ලීලාවතියගේ සිත තුළ ඇති වූයේ මහත් විපර්යාසයකි. කෝට්ටේට පහර දීමට සීතාවක යුද සේනා මෙහෙයවමින් ඉදිරියට එන රාජසිංහ රජු අන් කිසිවකු නො ව ලීලාවතියගේ ස්වාමියා ය.. ඔහු ටිකිරිබණ්ඩා බව සියැසින් දුටු ලොකු බණ්ඩාට නිසැක ව ප්‍රත්‍යක්ෂ විය. දවසේ සේවා මුරය නිමවා පෙරළා නිවෙසට පැමිණි ඔහු ඒ බව සිය සොහොයුරියට හා මිත්තණියට දැනුම් දුන්නේ ය.

ඒ පමණක් නො ව, පෘතුගීසීන්ගේ අත නැටවෙන රූකඩයක් බවට පත් ව රට, ජාතිය, ආගම පාවා දෙන ධර්මපාල රජුගේ සේවය අතහැර තමා රාජසිංහ රජුට එක් වීමට තීරණය කර ඇති බව ද ඔහු හෙළි කළේ ය.

දේශ ද්‍රෝහී රජකුට තව දුරටත් පක්ෂපාතීකම් නොදක්වා රාජසිංහ රජුගේ ජනතාවට එක් වන ලෙස ලොකු බණ්ඩා සිය මිත්තණියගෙන් හා සොහොයුරියගෙන් ඉල්ලා සිටියේ ය. මිත්තණිය ඊට එකඟ වූ නමුත් තමා දිවි හිමියෙන් ම ධර්මපාල රජුට හා කෝට්ටේ රාජ්‍යයට ද්‍රෝහී නොවන බවට ලීලාවතී සපථ කළා ය. ඔත්තුකරුවකු ලෙස කෝට්ටේට පැමිණ තමා බොරුවෙන් මුළා කොට විවාහ කරගත් කපටියෙකැයි රාජසිංහ රජු කෙරෙහි ලීලාවතී තුළ ඇති වූයේ දැඩි කෝපයක් හා කලකිරීමකි.

කෝට්ටේ ධර්මපාල රජුට එරෙහි ව සටන් වදින රාජසිංහ ජාති ද්‍රෝහියෙකැයි ඕ සිතුවා ය. තව දුරටත් එවැනි ජාති ද්‍රොහියකුගේ බිරිය වශයෙන් සිටීම ඇයට අභිමත නොවීය.

සිය සොහොයුරා සහ මිත්තණිය රාජසිංහ රජුට පක්ෂවීම ද ඇයට පෙනුණේ ගුණමකු ක්‍රියාවක් ලෙසට ය. සොහොයුරා රාාජසිංහ රජුට එක්වීම වළක්වන්නට ලීලාවතී උත්සාහ කළා ය.

සිය කඳවුරට පැමිණි ලොකු බණ්ඩා හැඳිනගෙන සතුටින් පිළිගත් රාජසිංහ පළමුවෙන් ම කළේ ඔවුන්ට තමා ගැන නියම තොරතුරු හෙළිදරව් නොකර ලීලාවතී විවාහ කරගැනීමට සිදුවීම පිළිබඳ කනගාටුව පළ කිරීම ය.

ලීලාවතී හා මිත්තණිය පිළිබඳ සියලු තොරතුරු විමැසූ රජු ඔවුන් ද තමා වෙත කැඳවාගෙන එන ලෙස දන්වා තෑගි බෝග සහ වස්තුව දී ලොකු බණ්ඩා ආපසු කෝට්ටේ වෙත පිටත් කළේ ය.

පෙරදා නිවෙසට පැමිණි ලොකුබණ්ඩා රජුගේ අභිලාෂය නැඟණියට හා මිත්තණියට දැන්වී ය.

රාජසිංහ රජු ගැන හා එහි යුධ ශක්තිය ගැන අයියණ්ඩියගෙන් තොරතුරු දැනගත් ලීලාවතී අවසානයේ දී කියා සිටියේ රාජසිංහ රජු තමා කෙරෙහි නියම සෙනෙහසක් ඇතහොත් ඔහුම පැමිණ තමා කැඳවාගෙන යා යුතු බව ය.

ඒ ගැන රජුට දන්වන ලෙස ඇය සිය සොහොයුරාට කීවේ බොරුවෙන් තමා රැවැටූ රජු නැවත පැමිණ තමා කැඳවාගෙන නොයන බවට වූ විශ්වාසය නිසා ය. බොරුකාර රාජසිංහට පාඩමක් උගැන්වීමට ලීලාවතී සිතා ගත්තාය.

දියවන්නා ඔය

ලොකු බණ්ඩා පෙරැළා රාජසිංහ රජුගේ කඳවුර බලා පිටත් වූ පසු ධර්මපාල රජු බැහැදුටු ලීලාවතී රාජසිංහ රජු සහ සතුරන් පිළිබඳ තමා සොයාගත් සියලු තොරතුරු ඔහුට සැළ කළා ය.

ඇය සිය සොහොයුරා අත යැවූ පණිවිඩය පිළිගෙන රාජසිංහ රජු ලීලාවතී කැඳවාගෙන යාම සඳහා පැමිණියේ ඉන් පසුව ය. එය ලීලාවතී කිසි සේත් බලාපොරොත්තු නොවූවකි.

ආපසු තමා සොයා පිරිවර කැටුව එන රාජසිංහ රජු දුටු ලීලාවතීට ඔහු සැබැවින් ම තමාට ආදරය කරන බව අවබෝධ විය.

එහෙත් ඒ වන විට තමන් සිය ස්වාමියාට ද්‍රෝහියක වී අවසන් බවට ඇගේ සිත ඇයට සාප කරන්නට පටන් ගනී. එවැනි ද්‍රෝහිකමකින් පසු තවදුරටත් ඔහුට මුහුණ දිය නොහැකි බව තීරණය කළ ඈ වහ වහා දිවගොස් සිය නිවෙස අසලින් නිසල ව ගලා යන දියවන්නා ඔයට පැන්නා ය.

සිය පෙම්වතිය බේරාගැනීම සඳහා ඇය ලුහුබැඳ ගොස් ඔයට පැන්න රාජසිංහ රජුට හමු වූය් සුරූපී ලීලාවතියගේ මළ සිරුර ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: