Posted by: lrrp | August 11, 2011

අවට බලන බලන කපොල්ල

කොළඹින් හිමිදිරියේ පිටත් වූ වාහනය උඩරට රාජධානියට පිවිසෙන කඩුගන්නාව කන්ද තරණය කිරීමට පටන් ගත්තේ ය. අද කොළඹ සිට මහනුවරට යන ප්‍රධාන මාර්ගය මෙය වුවත් රාජධානි සමයේ දී එම මඟ වැටී තිබුණේ බලන කපොල්ල හරහා ය.

1824 දී ඉංගී‍්‍රසින් කොළඹ නුවර පාර ඉදි කිරීමෙන් පසු එම දුෂ්කර මඟ භාවිතය අත් හැරුණි. එයට පෙර මහනුවර මාර්ගය වැටී තිබුණේ හංවැල්ල, අවිස්සාවේල්ල, බුලත්කොහුපිටිය, අලුත්නුවර, ගනේතැන්න, බලන හරහා ය. මෙම දුෂ්කර මාර්ගය සතුරු සේනාවන්ට පහසු නොවීය. එය උඩරට රාජධානියේ ස්වාධීනත්වය ආරක්ෂා වීමේ ප්‍රධාන සාධකයක් විය.

කඩුගන්නාව දුම්රිය පළ අසලින් ඇරැඹෙන පොත්තපිටිය පාරේ කිලෝ මීටර 5 ක් ගමන් කර, බලන දෙසට ඇති අතුරු මාර්ගයේ ගමන් කළ විට පුරාණ බලන කපොල්ල පිහිටි පෙදෙසට පිවිසිය හැකිය. එදා වන දුර්ග, තහංචි කැලෑවලින් පිරි මෙහි පැවතියේ කුඩා අඩි පාරක් පමණි.

ඉංගී‍්‍රසි පාලන සමයේ දී මේ අවට කඳු හිස් වසා ගෙන පැතිරුණු තේ වගාව අදටත් දැකගත හැකි ය. රාජධානි සමයේ දී කාර්යබහුල, මුර කපොල්ලක් වූ බලන රජුගේ අවධානය නිතර යොමු වූ ස්ථානයක් විය. අද මේ පෙදෙසට එවැනි වැදගත්කමක් හිමි නොවේ. එය අද උඩරට පිටිසර පෙදෙසක් පමණි.

බලන කොටුව පිහිටා තිබෙන්නේ කඳු මුදුනක බෑවුමකට මුහුණලා ය. එයට පිවිසීමට මහා මාර්ගයේ සිට මීටර 500 ක් පමණ තේ වත්තක් හරහා කඳු නැගිය යුතු ය. ගස්වැල් පිස හමන සුළඟ අපගේ වෙහෙස පලවා හරී. අවට රුක් ගොම්මන්වල සිට ඇදී එන්නේ කුරුලු කිචිබිචියයි. උඩරට රාජධානි යුගයේ දී අපේ වීර සෙබළුන් යුරෝපීය ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව මේ අවට දී දිවි නොතකා සටන් කරන්නට ඇත.

පහතරට උඩරට යා කරන කඩවත පිහිටියේ ද බලන ය. පහතරට සිට එන වෙළෙන්දන් සහ මගීන් ද මෙම කඩවතින් උඩරටට ඇතුළුවිය යුතු විය. එය මාර්ගයේ පිහිටි ආරක්ෂක මුර කපොලු සහිත ස්ථානයකි. මෙම කඩවත බලකොටුවේ සිට කිලෝ මීටරයක් පමණ ඔබ්බෙන් පිහිටා තිබිණ.

‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා ඇත. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවකි. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් අපට දිස් වේ.

අපි පියගැට නැඟ කොටු බිමට පැමිණියෙමු. එය අක්කර දෙකක පමණ තැනිතලා බිමකි. කඳු මුදුනක පිහිටි එහි එක් පසෙකින් හතර කෝරලේ දෙසට සෘජු බෑවුමකි. මේ නිසා පහතරට පෙදෙස ඉතා අපූරුවට මෙහි සිට දිස් වේ.

උඩරට රාජධානි සමයේ දී හතර කෝරලේ ගල්බඩ කෝරලේ මායිම වැටී තිබුණේ බලන හරහා ය. අද මෙම පෙදෙස අයත් වන්නේ යටිනුවර කඳු පළාතට ය. මුහුදු මට්ටමේ සිට අඩි 2000 ක් පමණ උසින් පිහිටි බලනට දිස්වන හතර කෝරලේ කඳු අතර උසින් නැගී සිටින්නේ බතලේගල ය. ඊට මෙපිටින් ඌරාකන්ද සහ දෙවනගල පර්වතය කැපී පෙනෙනවා. මාවනැල්ල නගරයේ ගොඩනැගිලි කුඩා ගිනිපෙට්ටි පරිදි අපට දැක ගත හැකි වෙයි.

සම චතුරස්‍රාකාර ආකාරයක් ගන්නා බලන කොටුව දිගින් අඩි 102 ක් ද පළලින් අඩි 116 ක් ද වේ’ දැනට දැක ගත හැක්කේ කළුගලින් ඉදි කළ පදනම් ප්‍රාකාරය පමණි. එය අඩි 4 ක ඝනකමෙන් යුක්තය. මෙය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බව පෙනේ. කොටුවේ සිවු පසින් වක්‍රාකාර මුර අට්ටාල පිහිටා තිබුණු බව අත්තිවාරමෙන් පැහැදිලි වේ.

මේ අසල පිහිටා ඇත්තේ අමුණුපුර ගම්මානයයි. අම්බලම්තැන්න, ඉහළ කෝට්ටේ, මාවෙල, දෙකිඳ, මොටන, ගොඩිගමුව, කැටකුඹුර, ගල්ලංග, මාලිගාතැන්න යන ගම්මාන අවට පිහිටා තිබේ.

උඩරට රාජධානි යුගයේ දී රජු පැමිණි විට නවාතැන් ගැනීමට ගිමන් මාලිගාවක් ද පිහිටා තිබුණු බව පැවසේ. බ්‍රිතාන්‍ය යුගයේ දී මෙම වටිනා බිම්කඩ කුඩා දුරයා නමැත්තකුට අලෙවි කර ඇත. ඔහු එහි නිවසක් තනා අවට බිම් වගා කිරීමට යොදා ගෙන තිබේ. එහිදී පැරණි නෂ්ටාවශේෂ රැසක් විනාශ වන්නට ඇතැයි සිතිය හැකි ය.

බලන පිළිබඳව ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී ය. පේරෝ ලොර්පස් ද ස්වුසා යටතේ පෘතුගීසි බලඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියේය. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට පත් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද ලබා ගත්තේ ය.

මේ පරාජය පිළිබඳව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරයි.

“වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැළඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)

ඊට පසු 1603 දුරුත්තේ දී යළිත් වරක් පෘතුගීසිහු උඩරට ආක්‍රමණය කළහ.

“සීමන් සිංඤෝ, සමරකෝන් මුදලි හා අසවේදු යටතේ ඒකාබද්ධ හමුදාවක් බලනට පහර දුන්නේ ය. මුලදී ඔවුන්ගේ ප්‍රහාරවලින් ප්‍රතිඵලයක් නොලැබිණි. කඳු හෙල් නිසා ලොකු කාලතුවක්කු යොදා කොටුවට වෙඩි තැබීම ද නොකළ හැකි විය.

බලන අල්ලා ගැනීම පිළිබඳව විමසිල්ලෙන් සිටින විට, සිංහලයකු ඒ කොටුවට හොර පාරක් පෙන්වා දීමට ඉදිරිපත් වූයෙන් පෘතුගීසි බලඇණියක් නොඉවසිල්ලෙන් කොටුවට ඇතුළු විය. එය උඩරැටියන්ගෙන් හිස්ව තිබිණ. බලන පෘතුගීසින් යටතට පත්වූයේ 1603 පෙබරවාරි 2 දා ය.” (පරංගි කෝට්ටේ, ටිකිරි අබේසිංහ)

එහෙත් විමලධර්මසූර්ය රජු කොටුව හැර යාමට අණ දී ඇත්තේ යුද උපක්‍රමයක් වශයෙනි. කොටුව අල්ලා ගෙන දින 5 කදී පෘතුගීසින් සමඟ සිටි සිංහල භටයෝ සියලු දෙනාම උඩරට රජුගේ පැත්තට එක්වූහ. අසවේදු වහාම කොළඹට පසු බැසීමට අණ දුන්නේ කළ හැකි වෙනත් කිසිවක් නැති හෙයිනි.

මෙහි දී ද සිංහලයන්ගේ සැඟ වී සිට පහර දීමේ යුද උපක්‍රම හමුවේ පෘතුගීසි ලෙයින් බලන අවට පෙදෙස තෙත් විය. රිබෙයිරෝ පවසන්නේ පෘතුගීසි හේවායන් 300 ක් සහ ලස්කිරිඤ්ඤ හේවායන් රැසක් ද මෙම සටනේ දී මරු වැලඳ ගත් බව යි.

අපි කොටුවේ එක් අන්තයකට පැමිණ ඈත දර්ශනය බලා සිටින්නට වූයෙමු. අප සිත අතීතයට දුව යයි; තුරු පත්වල හරිත පැහැය අවට සිසාරා යන නෙතට ලක් වෙයි; මද නල වැදී මේ තුරුපත් නලියන්නේ සිහින් නාදයක් නිකුත් කරමිනි. මේ අපූරු සුසංයෝගය සිත ශාන්තියට පත් කරවයි.

උඩරට ආක්‍රමණය කිරීමේ දී ඉංගී‍්‍රසිහු ද බලන කපොල්ලේ දී විශාල දුෂ්කරතාවලට ලක් වූහ. 1818 දී උඩරටට ගිය ගමනක දී මේජර් තෝමස් ස්කිනර් නම් ඉංගී‍්‍රසි ජාතිකයා ඒ බව මෙසේ ස්මරණය කරයි.

“දෙවැනි දින ගමන බලන කඩවත පහළට විය. මෙයට අවුරුදු හතරකට පෙර මපියාණන් මහනුවර අල්ලා ගැනීම සඳහා ඔහුගේ කාලතුවක්කු සමූහය ගෙන ආයේ මේ දුර්ගය ඉහළට ය. මෙයින් එක් කාලතුවක්කුවක් රාත්තල් 42 ක් තරම් බර විය. මේ කටයුත්ත මගේ මවිතයට හේතු විය. තුවක්කු, ගසකින් තවත් ගසකට ඇද බැඳීමෙන් මෙසේ කෙරිණැයි මම පසුව දැන ගතිමි.

මේ දුර්ග මාර්ගය බෙහෙවින් පටු, අබලන්, ප්‍රපාතාකාර ගල් සහිත එකක් හෙයින් කිසි අයෙකුට හෝ අසරුවකුට මෙය පසුකර යා නොහැකිය.” (ලංකාවේ පනස් වසක් – මේජර් තෝමස් ස්කිනර්)

බලන කොටුව අවසන් වරට යටත් කර ගන්නා ලද්දේ 1815 පෙබරවාරියේ දී ලුතිනන් කර්නල් ඔ කොනොල් විසිනි. ඒ ඉංගී‍්‍රසින් උඩරට යටත් කර ගැනීමේ දී ය. ඊට පසු බලන වැදගත්කම අහෝසි වී ගියේ ය. එහෙත් ඉංගී‍්‍රසින් ද ටික කලක් ගත වන තුරු මෙහි මුළු සෙබළු නවත්වා සිටි බව පෙනේ.

මෙම බළකොටුව ශක්තිමත් අයුරින් තැනීමට සිංහලයන් උනන්දු වී ඇති බව එහි කළුගලින් ඉදිකළ ප්‍රාකාරවලින් පෙනේ. කොටු බැම්ම එක් පාර්ශ්වයකින් ස්වභාවික පර්වතයක් මතින් ඉදිකර ඇති අතර, ජලය බැස යාම සඳහා එම පර්වතයේ කාණු හාරා තිබේ.

උඩරට මැණිකේ දුම්රිය බලන දුම්රිය පොළ පසු කරන හඬ අපට ඇසේ. දුම්රිය පොළ පිහිටා ඇත්තේ මෙම ස්ථානයට පහළින් කඳු බෑවුමේ ය. ඉංගී‍්‍රසින් උඩරට දුම්රිය මාර්ගය සහ නව මහනුවර මාර්ගය ඉදි කිරීමේ එක් අරමුණක් වූයේ ද උඩරටට පැමිණිමට තිබු බාධක ඉවත් කර තම පාලනයට වන තර්ජන මකා දැමීම යි.

මෙහි සිට රජ වාසලට පණිවුඩ යවා ඇත්තේ ද අපූරු ක්‍රමයකට ය. ඊතලයකට පණිවුඩය සඳහන් තල්පත අමුණා එය මුලින්ම කන්දක තනා ඇති රත්මීවල කොටුව ද එතැනින් දන්තුරේට ද ඉන් පසු ගන්නෝරුවට සහ රජ වාසලට ද විද යවා ඇත.

(හොඳ ඔක්කොම)

බලන කොටුවෙන් ලේ කැට ඇළක්

රඹුක්කන – කඩුගන්නාව උඩරට පිවිසුම් දුම්රිය මාර්ගයේ ඉහළම කොටස වැටී ඇත්තේ බලන දුර්ගය හරහා ය. සියවස් දෙකකටත් වැඩි කාලයක් කන්ද උඩරට රාජධානිය සතුරන් ගෙන් රැක ගැනීම සම්බන්ධයෙන් බලන ආරක්ෂක බලකොටුවෙන් සිදු වූ මෙහෙය සුළු පටු නැත. කොළඹ – නුවර මහා මාර්ගයට සාපේක්ෂව බලන විට දුම්රිය මාර්ගය වැටී ඇත්තේ බලන කොටුව සමීපයෙනි. එහෙත් බලන දුම්රිය ස්ථානයේ සිට බලනකොටුවට පිවිසීමට නම් කිලෝ මීටර් දෙකකටත් මඳක් වැඩි දුරක් පසු කළ යුතුය. මුහුදු මට්ටමින් මීටර් 428.24 හෙවත් අඩි එක්දහස් තුන්සිය අනූහයක් උසින් පිහිටි බලන දුම්රිය ස්ථානයට වඩා බලන කොටුව ප්‍රදේශය අඩි පන්සියයක් පමණ උසින් ද වැඩිය.

කොළඹ මහනුවර දුම්රිය මග තැනූ ඉංග්‍රීසීන් බලන යන්න සටහන්කොට ඇත්තේ Ballany යනුවෙනි. ඒ බව වර්තමානයේ ද තහවුරු කර ගත හැකි කදිම සාක්ෂි දෙකක් අප වෙත ඉදිරිපත් කළේ මෙම චාරිකාවේ දී අපට සුවිශේෂ සහයෝගයක් පළ කළ බලන දුම්රිය ස්ථානාධිපති ජී.එස්. වික්‍රමතිලක මහතා ය. බලනට දෙපසින් ඇති ඉහල කෝට්ටේ සහ කඩුගන්නාව දුම්රිය ස්ථානවල ටැබ්ලට් උපකරණවල ටැබ්ලටය රඳවන ස්ථානයන්හි ඇති පිත්තල පුවරුවල අදත් දැකිය හැක්කේ එදා ඉංග්‍රීසීන් බලන හැඳින්වීමට Ballany යනුවෙන් කොටා තිබූ අකුරුම ය.

බලන දුම්රිය පළේ සිට මීටර් දෙසීයක් පමණ දුම්රිය මාර්ගයේ මහනුවර දෙසට යන විට ‘අඟුරු වංග’ නම් ස්ථානයක් හමුවෙයි. එහි දුම්රිය මගට යටින් අඩි තිහක් පමණ දිග බෝක්කුවක් දක්නට ලැබේ. ගම්මුන් එය හඳුන්වනුයේ ‘වවුල් බෝක්කුව’ යනුවෙනි.

උඩරට දුම්රිය මග තැනීමේ දී බෑවුම් ස්ථානවල පස් පිරවුම්වලට උඩින් ඉංග්‍රීසීන් පසුකාලීනව දුම්රිය ධාවනයෙන් ඉවත ලන දැවුණු ගල් අඟුරු ටොන් ගණන් යොදා තිබේ. එසේ හෙළන ගල් අඟුරු අළු මුසු අඟුරු වැසි වළාවන් කිහිපයකට හසු වූ විට බදාම තට්ටුවක් මෙන් පස මත සවිමත්ව පිහිටන බව ගම්මු කියති. ඉන් එම ස්ථාන සෝදා පාළුවීම මුළුමනින්ම වැළකෙන බව ද දැන ගන්නට ඇත. අඟුරු වංග නමින් හැඳින්වෙනුයේ එසේ ගල් අඟුරු හෙළන ලද වංගු සහිත ස්ථානයකි.

වවුල් බෝක්කුව යටින් ගලා බසින ඇළ මාර්ගය ගැමියන් හඳුන්වනුයේ අපූරු නමකිනි. ඒ කැටලේ ඇළ යනුවෙනි. බලන කොටුවේ සටන් පැවැති කාලවලදී ඒ ඇළේ මිනිස් ලේ කැට වශයෙන් පාවූ නිසා ඊට ලේ කැට යන නම ලැබී පසුව එය කැට ලේ ඇළ යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව ද අප හා කීයේ වික්‍රමතිලක මහතා ය. එම කැටලේ ඇළේ මුල්ම දිය උල්පත බලන කොටුවෙන් පැනනැගීම ද විශේෂත්වයකි.

බලන සිට කඩුගන්නාවට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 4.4 කි. උඩරට දුම්රිය එම දුර පසු කරනුයේ තවත් අඩි දෙසීය අනූඑකක උසක් ඉහළ නගිමිනි.

කඩුගන්නාව දුර්ගයේ බලන සිට වැටී ගත් කොටස දෙපස ඇත්තේ ද ඉංග්‍රීසීන් මෙරට ව්‍යාප්ත කළ වතු අධිරාජ්‍යයේ නෂ්ටාවශේෂ මත අලුතින් ඉදි වූ ජනාවාසයන් ය. ‘මෙල්’ නමින් හැඳින්වුණු සුප්‍රකට වැවිලි සමාගමක් විසින් ඉංග්‍රීසීන් විසින් මිලට ගෙන රබර් සහ කොකෝවා වැවීමට යොදාගත් විශාල භූමි ප්‍රදේශය 1970 සමගි පෙරමුණු රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවකියේ දී කුඩා බිම් කොටස් ලෙස ජනතාව අතට පත්කොට තිබේ. අද මැල්වත්ත නමින් හැඳින්වෙන එහි අතීතයේ තිබූ මහා සහ මධ්‍යම පරිමාණයේ වැවිලි සියල්ල මේ වන විට වැනසී ගොසිනි.

මොරගොල්ල සහ වෙරළුගොල්ල යන කඳු අතරින් වැටී ගත් දුර්ග මාර්ගය ඔස්සේ කඳුරටට පිවිසෙන දුම්රියට ගම්මුන් ‘මහ බිංගෙය’ නමින් හඳුන්වන අංක 09 බිංගෙය හමුවන්නේ මොරගොල්ල කන්දේ පාදමේ දීය. මෙම බිංගෙය දිගින් අඩි එක් දහස් තිස් හයකි.

මෙම චාරිකාව ඇරඹීමට පෙර මෙම ප්‍රදේශ සම්බන්ධ භූමි විස්තරය අධ්‍යයනය කරමින් සිටි අපට 1:50,000 ශ්‍රී ලංකා භූමි සිතියමේ තිබූ Wyrlee Grove (වර්ලී ග්‍රෝව්) නමින් හැඳින්වෙන ස්ථානයක් දැකිය හැකි විය. සිතියමේ සඳහන් පරිදි එය ඇත්තේ අංක 09 බිංගෙය අද්දරම ය. වර්ලී ග්‍රෝව් යනු නිසැක ලෙසම උඩරට ඉංග්‍රීසි වතු අධිරාජ්‍යයේ ප්‍රබල බලකොටුවක් බඳු වත්තක් විය යුතු යැයි එම සිතියම පිරික්සූ අපට සිතිණි.

“වර්ලී ග්‍රෝව් වත්ත තියෙන්නෙ කොහෙද?”

කණපිට හැර වූ ඉංග්‍රීසි එස් අකුරක හැඩයේ ගමන් මඟකින් යුතු හා පියසේ වැහිලිහිණි කූඩු බහුල ලෙස ඇති අංක 9 බිංගෙයින් පිටතට පැමිණි පසු අපි අවට ගැමියන් ගෙන් ඇසීමු.

“වර්ලී ග්‍රෝව් කියලා වත්තක් මෙහේ නැහැනේ. අඩුම තරමින් අපි එහෙම නමක් අහලා වත් නැහැ” අපට පිළිතුරු දුන් ගැමියෝ එසේ කීහ.

“ඒ උණාට මෙට්‍රික් සිතියමේ එහෙම නමක් තියනවනේ. මේ සිතියම නම් කොහෙත්ම වරදින්න බැහැ.” අප හා මේ ගමනට එක් වූ වෛද්‍ය සුගත් විජේවර්ධන එක් ගැමියකු හමුවේ ප්‍රබල තර්කයක් මතු කරමින් කීය.

“සිතියමේ තියන විදිහට අපි මේ ඉන්නෙත් වර්ලී ග්‍රෝව් කියන හරියේ තමයි. එහෙම නම් මොකක්ද මේ පැත්තට කියන නම” කොහොමත් වැඩිපුර කතා බහක් නොමැති සහන් එම ගැමියාගෙන් ඇසීය.

“මේ පැත්තට කියන්නෙ වෙරළුගොල්ල.”

ඔහු එසේ කී සැණින් සුද්දන්ට වෙරළුගොල්ල යන්න කියැවී තිබූ අපූරුව අපි මනාව වටහා ගතිමු.

(රඹුක්කන – කඩුගන්නාව දුම්රිය පාරේ පා ගමන)

කන්ද උඩරට ආරක්ෂා කළ බලන කොටුව නිදන් හොරු අරක්ගෙන

පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි යන බටහිර ආක්‍රමණිකයන්ගෙන් කන්ද උඩරට රාජධානිය ආරක්ෂාකරගත් ප්‍රධාන යුදමය මර්මස්ථානයක් ලෙස සැලැකෙන ඓතිහාසික බලන කොටුව නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී විනාශයට පත් වෙමින් පවතී.

අතීතයේ දී පහතරට ප්‍රදේශවල සිට හත් කෝරළය හරහා මහනුවර රාජධානියට ඇතුළුවීමේ පහසුම මාර්ගය වැටී තිබූ කඩුගන්නාව බලන ප්‍රදේශයේ මේ ශක්තිමත් බලකොටුව ඉදි කරනු ලැබ ඇත්තේ පළමු වන විමලධර්මසූරිය රජු විසිනි.

යටි නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අමුණුපුර ග්‍රාම නිලධාරි වසමේ මේ ඓතිහාසික සංස්කෘතික උරුමය පිහිටා තිබේ.

බලන කොටුවේ බටහිර බෑවුමේ පිහිටි අභ්‍යන්තර බැම්මත් පිට බැම්මත් අතර භූ®මි භාගයේ නිදන් හොරුන් විසින් අඩි 10ක් පමණ ගැඹුරු වළවල් 8ක් හාරා තිබේ.

කඩුගන්නාව බලන මාර්ගයේ වෙරළුගොල්ල හන්දියේ සිට තේවත්තක් මැදින් මීටර් 500ක් පමණ ගමන් කොට බළකොටුවට පිවිසිය හැකි අතර එම මාර්ගය මේ වන විට දෙපස තේවතු අයිතිකරුවන් විසින් අල්ලාගැනීම නිසා මාර්ගයක් නොව අඩි 2ක් පමණ කාණුවක් බවට පත් වී ඇත.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානය සිය දෙපාර්තමේන්තුවට අයත් බව දක්වමින් ඉදිකර තිබූ පුවරුවද අතුරුදන්වී තිබේ. බළකොටුව කැලෑවක් බවට පත් වී ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ නිදන් හොරුන් විසින් සිදු කොට ඇති විනාශය පිළිබඳ පරීක්ෂා කොට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කඩුගන්නාව පොලිසියට උපදෙස් දුන්නේ ය.

පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතා සමඟ එක් වී කඩිනමින් බලන කොටුව සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව ද පැවැසීය.

1603 දී කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණි දොන් ජෙරනිමෝද අසවේදු මෙහෙය වූ දැවැන්ත සටන සිංහල සේනාවෝ බලන කොටුවේ දී පරාජයට පත් කරනු ලැබී ය.

ඓතිහාසික රණභූමියක් මෙසේ නිදන් හොරුන් සහ ඉඩම් මංකොල්ල කරුවන් අතින් විනාශයට පත්වීමට ඉඩනොතබන ලෙස වගකිව යුත්තන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලති.

ඓතිහාසික බලන කොටුව තණ කොළවලින් වැසී ගිය
කැළෑවක් බවට පත් වී ඇති අයුරු.
 මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා බලන කොටුව පරීක්ෂා කිරීමට පැමිණි අයුරු.

 නිදන් හොරු වළවල් හාරා ඇති අයුරු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: