Posted by: lrrp | August 11, 2011

අවසන් සිංහල රජුගේ රාජ මාලිගය කැලයෙන් යටවෙලා

උඩින් සදාලා උඩ නෙත්ති මාලේ
බිමින් සදාලා බිම නෙත්ති මාලේ
සඳා පොල් පුවක් ගඟ දෙපස දැලේ
සෙල්ලම් නිරිඳු වඬින කුන්ඩ සාලේ

 

ඉහත කවියෙන් හඳුන්වන්නේ දෙවැනි විමලධර්මසූරිය රජුගේ පුතකු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ගැනයි.

ක්‍රි. ව. 1705 රජ වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සැබවින්ම විනෝදකාමියෙකි. ස්ත්‍රීන් කෙරේ ලොල් බවක් දැක්වූ මේ රජතුමා එකල රාජ සභාවේ අයත් උඩරට ජනතාවක් සෙල්ලම් නිරිඳු යැයි හැඳින්වූයේ එතුමා සතු මේ විනෝදකාමී බව හේතුවෙනි.

නරේන්ද්‍රසිංහ රජ මාලිගය, කැලයෙන් යට වී බෝඩ් ලෑල්ලට පමණක් සීමා වී ඇති අන්දම.

රජුගේ අවසාන කාල පරිච්ඡේදයේ ඉන්දියාවේ මදුරාපුරෙන් ගෙන්වූ රජ කුමරියක විවාහ කරගන්නා තුරු රජුගේ තරුණ අවධියේ විවාහයක් සිදුකරගත් බව ඉතිහාසයේ මොනම ලේඛනයකවත් සඳහන් නැත.

උඩරට රාජධානියේ හුරිකඩුව, සිරිමල්වත්ත , ගුන්නැපාන මැණික්හින්න පිටියේගෙදර යන ප්‍රදේශවල රජු අනියමින් ඇසුරු කළ කුල කාන්තාවන් මෙන්ම සාමාන්‍ය ගැමි කාන්තාවන් විශාල පිරිසක් සිටි බව කුණ්ඩසාලය ප්‍රදේශයේ ජනවහරින් හා ඓතිහාසික පුස්කොළ පොත් ආශි‍්‍රතව ඇති බව රජුගෙන් ගම්වර ලබා සිටින වෙද පරපුරක අද සිටින පුරුකක් වන විදුරවත්තේ වෙද ගෙදර කේ. බී. දිසානායක මහතා පවසයි.

රජු විසින් කරවන ලද අවු. 310 ක් පැරැණි දැනට කුණ්ඩසාලය වරාපිටිය හංදියෙන් හැරී ගිය තැන ඇති ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමහ විහාරය පිහිටා ඇති ප්‍රදේශයේ රජුගේ සිත බෙහෙවින් ඇදි ගිය කාන්තාවක් වූවාය.

මෙම ස්ථානයේ ඇති පැණි වරකා ගහක පැණි වරකා ආහාරයට ගැනීමට පුරුදුව සිටි රජතුමාට එහි යන එන ගමනකදී මෙම කාන්තාව මුණගැසී ඇත.

මේ කාල පරිච්ඡේදයේ 1708 දී පමණ ඇතිවූ කැරැල්ලක් හේතුවෙන් මහනුවරින් පිටවී සිටීමට සිතු නරේන්ද්‍රසිංහ රජතුමා තම රස නහර පිනවූ පැණි වරකා ගසත් තමාගේ සිත් ගත් කාන්තාවන් සිටි ප්‍රදේශයේ රජ මාලිගාවක් කරවීමටත් එම ප්‍රදේශය උප නගරයක් කොට වාසය කිරීමටත් තෝරා ගත්තේය.

බිසෝ මාලිගය තිබු ස්ථානය හා රජු බිසවුන් හා ස්නානය කළ පොකුණ

මෙකල ප්‍රදේශය බාරව සිටි රඹුක්වැල්ලේ දිසාව කැඳවූ රජතුමා රජ මාලිගය තැනීම රඹුක්වැල්ල දිසාවට බාර කළේය.

දැව කර්මාන්තයට දක්ෂතා ඇති පරපුරක පුද්ගලයකු වූ රඹුක්වැල්ලේ දිසාව සිය අධිකරණය යටතේ දේවෙන්ද්‍ර මූලාචාර්වරයා කැඳවා ඉදිකිරීම් කටයුතු ඔහුට පැවරූ බව මේ තොරතුරු සැපයූ විදුරවත්ත වෙද පරපුරේ කේ. බී. දිසානායක මහතාත් එම ප්‍රදේශයේම පරම්පරාගත පවුලක තරුණයකු වන අංක 57/3, වරාපිටිය, කුණ්ඩසාලේ පදිංචි ආර්. වී. එල්. ඩී. ගාමිණී මහතාත් විස්තර කළහ.

මේ කාලයේ උඩරට රාජධානිය ලාක්ෂා කර්මාන්තයට ප්‍රසිද්ධව තිබිණි. මෙම ලාක්ෂා කර්මාන්තය ද අපූරු කලාවකි. රාජ සමයේ පවා මෙම කර්මාන්තය ප්‍රසිද්ධව තිබුණේ මහනුවරට අමතරව, මාතර හා හපුවිදේ යන ගම් වන අතර මහනුවර හූරිකඩුව ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයේ මේ කර්මාන්තය අද ද තරමක් දුරට පවත්වාගෙන යයි.

ලාක්ෂා කර්මාන්තය යනු දැව යකඩ හා වෙනත් ලෝහ වරිගයකට විවිධ වර්ණ රටා කැටයම් යොදා කළ හැකි ආලේප ක්‍රමයකි.

කෙසේ හෝ රඹුක්වැල්ල දිසාවත්, දේවෙන්ද්‍ර මූලාචාර්යවරයාත්, මූලාචාර්යවරයාගේ හිතවතකු වන ලාක්ෂා බන්ඩා නමැත්තෙක් මුල්කරගෙන කුණ්ඩසාලය ප්‍රදේශයේ පිහිටි ‘නාරිකෙල්’ නමින් හඳුන්වන රජුගේ උද්‍යානයේ මහානර්ඝ රජ මාලිගයක් තනා ඇත.

තරමක් උස් කඳුගැටයක සම්පූර්ණයෙන්ම දැවයෙන් නිර්මාණය කළ රාජ මාලිගය එකල දිව්‍ය විමානයක සිරිගැන්වූ බව ඓතිහාසික පොත්පත්වල හා පුස්කොළ පොත්වල සඳහන් බව දිසානායක මහතා පමණක් නොව නරේන්ද්‍රසිංහ රජමහ විහාරයේ භාරකාර හිමියන් වන රඹුක්වැල්ලේ සුදස්සි හිමියෝ ද තහවුරු කළහ.

විවිධ කලා ශිල්ප උපයෝගී කොටගෙන නිර්මාණය කළ මේ රජ මාලිගය, රාජ මාලිගයකට වඩා කලා නිකේතනයක සිරිගත් බවත් රාත්‍රි කාලයට තැනුන තෙල් දුම්මල ආදි කැලයෙන් සොයාගත් ගාල් වර්ග සුවඳ දුම් ආදියෙන් මාලිගය ඒකාලෝක කළ විට දිව්‍ය විමානයක සිරිගෙන තිබු බවත් පැරැණි පුස්කොළ පොත්වල සඳහන්ය.

ඓතිහාසික තොරතුරු සැපයූ කේ. බී. දිසානායක සහ ආර්. වී. එල්. ඩී. ගාමිණී (පාලි අයියා)

ඉංගි‍්‍රසින් විසින් විනාශ කිරීමෙන් අනතුරුව ඉතිරිවූ කැටයම් සහිත දැව කනු රඹුක්වැල්ලේ පරපුරේ අය ගලවාගෙන වුත් වත්මන් රජමහා විහාරස්ථානයේ තෙවා මණ්ඩපයක් ඉදිකොට ඇති අතර එම කැටයම් සහිත දැව කඳු අද ද දක්නට ලැබේ.

මෙයිනුත් ඉතිරිය, රඹුක්වැල්ලේ පන්සල්වලට එක දෙක යනාදි වශයෙන් ;බදා එම කලාව ආරක්ෂා කිරීම පිණිස රඹුක්වැල්ලේ පරපුර විශාල මහන්සියක් ගත් බව රඹුක්වැල්ලේ සුදස්සි හිමියෝ පැවසූහ.

1800 පමණ වන විට ඉංගි‍්‍රසින් උඩරට අල්ලා ගැනීමට මාන බලමින් සිටි සමයෙකි. ඒ අනුව 1804 දී ඉංගි‍්‍රසි ජාතික කපිතාන්වරයකු වන කපිතාන් ජොන්සන් සිය භටයන් සමඟ මෙම ස්ථානය වටලා වටිනා දේ සොරාගෙන ගොඩනැගිල්ල ගිනිබත් කොට ඇති බව එම හමුදාවේම මේජර් පොබ්ස් විසින් වාර්තා කොට ඇත. (එම ලේඛන අදත් ඇත.)

එවකට ඉංගී‍්‍රසින් පහතරට ප්‍රදේශ අල්ලා ගෙන සිටි අතර නරේන්ද්‍රසිංහ රජ මාලිගය ප්‍රදේශය එම වැවිලිකරුවන් විසින් අත්පත් කරගන්නා ලදි.

1805 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් නැවතත් මෙම ප්‍රදේශය සිංහල වැසියන් පදිංචිකොට ඇති බව 1816 මැයි 08 දින ඉංගි‍්‍රසින් විසින් පිළියෙල කළ දිසා අධිකරණ කොමිෂන් වාර්තාවේ සඳහන් කොට ඇත. පසුකාලීනව මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භාරයට ගෙන තහනම් ප්‍රදේශයක් බවට පත්කොට ඇතත් මේ දක්වා කැණීම් කටයුත්තකට අත ගසා නැත.

එදා මෙදා තුර සිංහලයේ අවසන් සිංහල නිරිඳුගේ අවසන් රාජධානියව තිබු උප නගරය, කෙරේ කිසිදු පාලකයකුගේ ඇස ගැටී ද නැත.

පුරා විද්‍යා බෝඩ් ලෑලි දෙකකට පමණක් සීමා වී ගන කැලයෙන් යට වී ඇති මනස්කාන්ත දසුනෙන් පිරි මේ සිංහල රාජධානිය කැණීම්වලට ලක්කොට දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

රාහු අසුර ග්‍රහ යුද්ධයෙන් පැරදුණු රාහුගේ කුණ්ඩලාභරණය වැටුණු ප්‍රදේශය හේතුවෙන් කුණ්ඩසාලය නම් වූ මේ ප්‍රදේශයේ නරේන්ද්‍රසිංහ රජ මාලිගයට බටහිරින් ආභරණ වැටුණු ස්ථානය අද ද දක්නට ඇත.

ආභරණය ගැනීමට ඉන්දියාවේ සිට පැමිණ ගුරු නම් බමුණානන් කුණ්ඩලාභරණය නිසැකව වැටෙන ස්ථානය කලින් දැනගත් බරණ ගණිතයා නම් වූ ශ්‍රී ලාංකිකයා කුණ්ඩලාභරණය ගැනීමට සිටි ස්ථානයත් අද ද දක්නට ඇත.

මේ කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජලයට යට වී ඇති මුත් මහවැලි ගඟේ ජල මට්ටම අඩු වන විට එම ස්ථානය මතු වේ. ගුරු තවුසා වාඩිලාගත් ස්ථානය අද ගුරුදෙණිය රජමහ විහාරය බවට පත්ව ඇත.

සංචාරක වටිනාකමක් ඇති මෙම ස්ථාන ශුද්ධ පවිත්‍ර කොට සංචාරකයන්ට ප්‍රදර්ශනය කිරීමට සුදුසු කාලය පැමිණ ඇත. බලධාරීන්ගේ අවධානය ඊට යොමු වේවා.

Advertisements

Responses

  1. Hi,

    what a beautiful country which I.have ever seen.History makes lot of things to a future of a country.well done.

    Ruvan


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: