Posted by: lrrp | August 11, 2011

බලන කන්ද හා බැඳුන රසවත් සිද්ධි

පුරාතන ලංකාවේ ගිරිදුර්ගයක්‌ වූ බලන කපොල්ල බොහෝ පුරාවෘත්තවලට මුල්වී ඇත. එදා කන්දඋඩරට රාජධානියට යමෙක්‌ ඇතුළු වනවා නම් ඇතුළු විය යුත්තේ මේ බලන කපොල්ල හරහාය. නමුත් බලන දොරටුවේ මුර සෙබළුන් ඕනෑම අයෙක්‌ ඉතාමත් හොඳින් පරීක්‍ෂා කරන නිසා බලනින් පැන යැමට නොහැකිය. මේ පුරාණ ජන කවියෙන් බලන ගැන සඳහන් කළ ආකාරයයි.

“මීයන්-ඇල්ල ‘බලනේ’ කඩවත ඇතුළේ

කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ

මාවෙල උඩුපිටින් ලගමුවද පසු කළේ

මෙලකුණුවලට මැදිරට සතර කෝර ළේ”

සතරකෝරළය බොහෝ ප්‍රසිද්ධ මිනිසුන් වාසය කළ පෙදෙසකි. ලංකාවේ මුල්ම කාන්තා දිසාපති (දිසාව) සිටියේ ඒදඬුවාවේය. ඒ පිළිබඳ වැදගත් පුරාවෘත්ත ලියෑවී ඇත. බලන උඩරට දුම්රිය මාර්ගයේ නැවතුම්පළක්‌ ලෙසින්ද, අද භාවිත වන අතර අදින් අවුරුදු දහසකට පමණ පෙර මෙය දිවා රාත්‍රි බැලුම් මධ්‍යස්‌ථානයක්‌ විය. එයට හේතුව උඩරට රාජධානියේ මර්මස්‌ථානය මෙය වූ බැවිනි. හතරකෝරළයට ඇතුළුවීම සඳහා එදා තිබූ දුෂ්කර මාර්ගයේ ගිරිදුර්ගය වශයෙන් ගැනුණේ මේ බලනයි. බලන නිල වශයෙන් විශාල සිංහල හමුදාවක්‌ රඳවා තිබුණේ ඒ සඳහාය. ඒ හමුදාව ර¹ සිටි ස්‌ථානය ඉහළ කෝට්‌ටේ නමින් හැඳින්වේ. මේ කෝට්‌ටේ යන වචනය පැරැණි කාලයේ ව්‍යවහාර වුණේ කොටුව යන්නට පර්යායක්‌වශයෙන් විය හැකිය. ඒ නිසා බලන මුර කිරීමේ කාර්ය භාරගත් සිංහල හමුදා නවතා තැබූ ස්‌ථානය ඉහළ කෝට්‌ටයයි. මේ පිළිබඳ පුරාවෘත්ත අපට දැකගත හැකිවන්නේ විදේශීන් විසින් යම් යම් අවස්‌ථාවන්හි කරන ලද ගවේෂණයන් මගින්ය.

ලන්දේසීන්, පෘතුගීසීන් හා ඉංගී්‍රසින් ලංකාවේ හදවත වූ උඩරට රාජධානිය අත්පත් කරගැනීම සඳහා ගමන් කළ යුතු වූයේ බලන හරහා බව අපි කීවෙමු. ඒ නිසා මුර සෙබළුන් දැඩි විමසිල්ලකින් මෙහි සිටියෝය. විමලධර්මසූරිය රජු හා දෙවන රාජසිංහ රජු තම පණ මෙන් උඩරට රාජධානිය ආරක්‍ෂා කරගනු ලැබුවේ බලන උපයෝගි කරගනිමින් බව ඉතිහාස රචකයන් පවසන්නේ ඒ නිසාවෙන්ය. සතරකෝරළය සඳහා පත් කළ හැම මහ දිසාවක්‌ම තම පණ මෙන් කළ යුතු රාජකාරිය වූයේ බලන ආරක්‍ෂා කිරීමත් බලන මුර කිරීමත්ය. මුලදී බලන කපොල්ල අයිතිව තිබුණේ හතර කෝරළයේ ගල්බොඩ කෝරළයට බව පුරාවෘත්තයන්හි සඳහන් වෙතත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පාලන සමයේදී එය යටිනුවරට අයත්වූ බව කියෑවේ. බලන දුර්ගයේ එක්‌ ස්‌ථානයකට බොහෝ ඈත පෙදෙස්‌ ඉතා මනාව පෙනෙන බව පැවසෙන අතර සැතපුම් ගණනාවක්‌ එසේ පෙනීම තුළින් සතුරන් දැන හැඳින ගැනීම ද පහසුවේ. මේ නිසා සතුරන්ට කන්ද උඩරටට කිට්‌ටුවීම ඉතා අපහසු කාර්යයක්‌ විය.

බලන දුර්ගය පිළිබඳ රසවත් කතා බොහොමයක්‌ ගෙතී ඇත. ඉංගී්‍රසින් උඩරට තේ වගාවේ නිෂ්පාදනය කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය මාර්ගය ඉදි කරන අවධියේදී මේ බලන ප්‍රදේශයේ ඉදිකිරීම්වලදී විශාල හානි සිදුව ඇත. එක්‌ ඉංගී්‍රසි ඉංජිනේරුවකු ඇදවැටී මියගිය බවත් තවත් කම්කරු පිරිස්‌ එසේ අනතුරට ලක්‌වූ බවත් පැවසේ. එසේම එහි වෙසෙන පැරැණි අයගේ තොරතුරුවලට අනුව බලනේදී එම කම්කරු පිරිස්‌වලට කොටියකුගෙන් ද කරදර සිදුවූ බව කියෑවේ. ඊට හේතු ලෙස දැක්‌වෙන්නේ පිටරැටියන්ට ඒ සඳහා ගුප්තමය බලවේග මගින් අනතුරු සිදු කරනු ලැබූ බවයි. මෙසේ උඩරටට ඇතුළුවීම සඳහා වූ ප්‍රධාන කපොලු දෙක වන බලනත් කඩුගන්නාවත් යන දෙකම එක ළඟ පිහිටීම තවත් පුදුම එළවන සිදුවීමකි.

එදා රජදරුවන් රාජධානියේ උපරිම ආරක්‍ෂාව පිණිස මාර්ග යොදා ගැනීමේදී සිදු කළේ ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග යන තෙවැදෑරුම් දුර්ගයන් හරහා මාර්ග ඉදිකිරීමයි. එවිට බියවීමට කරුණක්‌ නැත. ජලදුර්ග ආශ්‍රිතව මිනීකන කිඹුල් විශේෂ පවා ඇතිදැඩි කළ බව ඉතිහාස රචකයන් පවසා ඇත්තේ ද ඒ නිසාය.

බලන හා සම්බන්ධ තවත් රසබර කතාවක්‌ අරනායක ප්‍රදේශයේදී අසන්නට හැකිවිය. එය හැටහත් කට්‌ටුවක්‌ බිසෝ හා බණ්‌ඩාර කතාවට සමාන නිර්මාණාත්මක කතාවකි. එම පුරාවෘත්තයේ යම්කිසි සත්‍යතාවක්‌ ගැබ්වී ඇති සැටි ද බැලූ බැල්මට පෙනේ. නමුත් සත්‍යම සිද්ධියක්‌ යෑයි කීමට සැක සහිතය. එහෙත් රචකයා මනා ලෙස කරුණු ගොනුකොට දක්‌වා ඇත.

අපේ රටේ ප්‍රධාන ජල ප්‍රවාහයක්‌ වන මහඔය පටන් ගන්නේ අරණායකට සැතපුම් දාහතක්‌ පමණ ඔබ්බෙන් වූ රාස්‌සහෙලින්ය. එහි අසුපිනි ඇල්ල හෙවත් අහුපිනිඇල්ල ගලන්නේ බෙරවිල හරහා බව කියෑවේ.

එය පුරාණ කවියක මෙසේ දැක්‌වේ.

වයිකුංටය සදිසි ඇල්පිටි කන්ද ගල

බලන්ගමු කන්ද කරගල රහල ගල

රන් ආ¹ ලගින මිනිකඳ කියන වල

අහු-පිනි ඇල්ල වැටුනා ගමින් බෙර විල

මේ ඉහස ඇති ස්‌ථාන මාඔය පසුකර බැස යන ස්‌ථාන ලෙසින් හැඳින්වේ. අප බලන ගැන කතා කරන විට අරණායක ප්‍රදේශය ගැන ද තොරතුරු විමසිය යුතුය. මේ ප්‍රදේශයේ මාඔය ආශ්‍රිතව පිහිටා ඇති රහලගල ගැන ඔබ අසා ඇත. මෙයට රහලගලවීමට කලින් භාවිත කරන ලද්දේ රහස්‌ගල යනුවෙනි. එයට රහස්‌ගල යනුවෙන් නම් වූයේ පෙර රජදවස මෙය රහස්‌ ශාලාවක්‌ වූ නිසාය. එසේම මෙහි පිහිටි සැලව රජමහ විහාරය පුරාණයේදී කුමාරවරුන්ට ආරක්‍ෂාව සැපයූ ස්‌ථානයකි. මේ සැලව යන නම භාවිත වූයේ රහස්‌ සැලකිරීමේ ස්‌ථානයක්‌ වූ නිසාය. එම ගල්ගුහාවේ වටපිටාව බැලීම සඳහා රහස්‌ කවුළු ද සකසා ඇත. එම නිසා රහලගල හා සැලව පුරාණයේ යුද්ධ මෙහෙයුම් සඳහා භාවිත කළ බවට පුරාවෘත්ත ඇත. මෙම සැලව හා රහලගල අතර කොටසේ “තිස්‌කුමාරිගල” යනුවෙන් තැනක්‌ ඇත. මේ ස්‌ථානයට වටපිටාව හොඳින් පෙනේ. මේ හැමෙකක්‌ම ගිරි මුදුන්ය. ඉතා ඈත අතීතයේ බලන ප්‍රදේශයේ යුද්ධයක්‌ සිදුවී ඇත. මේ යුද්ධය සඳහා මුලින් සඳහන් කළ කුමාරවරුන් තිස්‌දෙනා සහභාගි වී ඇත. කුමාරිකාවන් සැලව නතරවී සිටි අතර යම්හෙයකින් යුද්ධය පැරදුනහොත් ඒ බව දැන්වීමට කලු කොඩියක්‌ රිටක ගසා ඔසවන බව දන්වා ඇත. යුද්ධය ජයගතහොත් සුදු කොඩියක්‌ රිටක ගසා කාටත් පෙනෙන සේ ඔසවන බවද දැන්වූහ. මෙසේ කතිකා කරගත් කුමාරවරු යුද්ධයට ගොස්‌ එයින් උසස්‌ ලෙස ජයග්‍රහණය කළ අතර එහි සිටි විහිළුවට කැමති කුමාරයෙක්‌ කුමාරිකාවන් බිය වැද්දීම සඳහා කලු කොඩියක්‌ රිටක ගසා ඔසවා ඇත. බියපත් කුමාරිකාවන් තිස්‌දෙනා තිස්‌කුමාරි ගල මතින් මහඔයේ වක්‌කලමකට පැන ජීවිතක්‍ෂයට පත්වූහ. එම වළට අදත් භාවිත කරන්නේ මිනීකඳන්වල කියායි. පසුව එම කුමාරිකාවන්ගේ මිනී ගොඩගෙන වළලා දැමූ ස්‌ථාන ද අද දකින්නට පුළුවන. මෙවැනි පුරාවෘත්තවලට මුල්වූ වටිනා තැන් බොහොමයක්‌ අතීත මතකයෙන් ඈත්වී අපෙන් වසංව ගොස්‌ ඇත.

මෙම ෙ€දවාචකයේදී දරු ගැබක්‌ පිහිටි එක්‌ කුමාරිකාවක්‌ මාඔයේ පහළට ගසාගෙන ගොස්‌ ඇත. පසුව පිරිස එක්‌වී මියගිය කුමාරිය ගොඩගෙන සෑයක්‌ ගසා ආදාහනය කර ඇත. පසුදා උදෑසන එහි ගොස්‌ බැලූ පිරිසට දැකගත හැකිවූයේ සොහොන් අළු ගොඩෙහි නටන පුංචි දරුවෙකි. හුරුබුහුටි මේ ළදරුවා සිනාසෙමින් අර අළු ගොඩේ දඟලනවිට එය බැලීමට බොහෝ පිරිස්‌ එකතුවී ඇත. පසුව එම කුඩා දරුවා එහි වූ ප්‍රභූවරයෙක්‌ හදාවඩා ලොකු මහත් කර ඇත. පසුව කල්යැමේදී මේ වාසනාවන්ත දරුවාට රටේ රජකම ද හිමිව ඇත. දාපුලුසෙන් යනුවෙන් හැඳින්වෙන්නේ එම රජු බවත් රාජගිරිමල්පහ විහාරය ඒ රජු විසින් ඉදිකරන ලද බවත් පැවසේ. එම කතාවට සම්බන්ධ සියලුම ස්‌ථාන අදත් දැකගැනීමට හැකිය. මෙහි තවත් අපූරු සිද්ධියක්‌ සඳහන් කර ලිපිය අවසන් කිරීමට අදහස්‌ කරමි. බොහෝ ඉස්‌සර එක්‌තරා බලියාග ඇදුරෙක්‌ බලනේ සිට අරණායකට ගොස්‌ ඇත. මේ යන ගමනේදී මාඔයේ අතු ඔයක්‌ අසබඩ ටිකක්‌ නැවතී විඩා හැරියේ බෙරය පසෙක තබාය. බෙරකරුවාට හොඳටම නින්ද ගියේය. පසුව ඒ අසලින් යන බැල්ලක අර බෙරයේ හංගඳට එය ළඟට ඇවිත් වරපට හපා ඇත. පසුව බෙරය වරපටින් ගැලවී ඔයේ වළට වැටී ඇත. එම ස්‌ථානය “බෙරවිල” වශයෙන් අදත් හැඳින්වේ. බෙරයේ වරපටහා පටි තිබූ තැන “පටිතලාව” යනුවෙන් නම් කර ඇත. අදත් මේ ස්‌ථාන මෙසේම හඳුන්වනු ලැබේ. මේ පුරාවෘත්ත බලන හා බැඳී ඇති අපූරු රස කතාය. කඩයිම්පොතේ බෙරවිල ගැන කවියෙන් සඳහන් වන්නේ මෙසේය.

රන් ආ¹ ලගින “මිනිකඳ කියන වළ”

අහුපිනි ඇල්ල වැටුනා ගමින් “බෙර විල”

අප ඉහතින් දැක්‌වූ ගම් සියල්ල මේ කවිවලින් ද පෙන්වා දී ඇත. එදා “බලන” යනුවෙන් හැඳින් වුණ මුරකපොල්ල හා සම්බන්ධව අප නොදන්නා බොහෝ පුරාවෘත්ත ඇත. ඒවා ඉතා රසවත්ය. මේ සිද්ධි ප්‍රලාප ලෙසින් අපට බැහැර කළ නොහැකි බව මගේ විශ්වාසයයි. ඔබ නොදුටු නොගිය, ඓතිහාසික ස්‌ථාන අපේ රටේ කොපමණ ඇද්ද? යන්න විමසා බලන්න. දිසාවනි දොළොසට අයත් සතර කෝරළය අපේ රටේ චිර ප්‍රසිද්ධිය ඉසිලූ වටිනා භූමි ප්‍රදේශයකි.

විස්‌තර සපයා ගැනීමේදී දූල්දෙනියේ විල්බට්‌ මහතාත්, අරණායක පාඨශාලාචාර්ය ලයනල් ජයසිංහ මහතාත් කළ උදව් විශේෂයෙන් සිහිපත් කරමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: