Posted by: lrrp | August 28, 2011

තුන්වැනි විසඳුම

කුඹුක්කන් ඔය ඉවුරේ සුදු වැලි තලාවට දවස පුරාම ගොම්මං හෙවණක් ගෙන එන්නේ නිම්නය පුරා වැඩී ඇති ඓතිහාසික කුඹුක් ගස් ගොල්ලෙන් ය. පානම සිට කුමන හරහා බාගුරේ හෙළ පසු කරමින් කතරගම වන්දනාවේ යන මම කුඹුක්කං ඔය නිම්නයට සපැමිණ සිටියෙමි. මේ වනවිට දින 05ක් පුරා මහා මූකලානේ කරක් ගසා සිටි මගේ නඩය බොහෝ සෙයින් විඩාබර ය. අපි එදින රාත්‍රිය කුඹුක් ගං ඉවුරේ වාඩි ලා ගතිමු.

පාද යාත්‍රාවේ කතරගම යන දමිළ වන්දනාකරුවන් කුඹුක්කන් ඔය තරණය කරන්නේ කැබිලිත්ත කුඩා දේවාලය අසලින් ය. මම ඔවුන් සමඟ අලුයම තේවාවට සහභාගි වී දේවාලය තුළ ඔවුන් පිසූ සාමූහික පැණි කිරිබතින් දානය ලැබ බඩ කට පුරා සප්පායම් වී සිටියෙමි. කැබිලිත්ත කුඩා දේවාලය ඉදි වී ඇත්තේ කුඹුක්කන් ඔය ඉවුරේ පිහිටි තවත් සාර සම්පන්න කුඹුක් ගොල්ලක යි.

මෙය කැබිලිත්ත මහ දේවාලයේ කුඩා ශාඛාවක් බඳු යැයි ඔවුහු විශ්වාස කරති. කැබිලිත්ත මහ දේවාලය වඳින්නට නම් මෙතැන් සිට කුඹුක්කන් ඔයේ උඩුගං බලා ඉහළට කිලෝ මීටර 10ක් පමණ ගොස් යාල මහ වනයේ ගැඹුරට ගමන් කළ යුතුය.

“වැඩහිටි කන්දට කතරගම බෝධිය හොඳට පේනවා”

අපට මේ කිලෝ මීටර් 10 ගෙවා දමන්නට පැය දෙකක්වත් ගත නොවූයේ කුඹුක් හෙවණේ සුදු වැලි තලය හරහා උඩුගං බලා ඇවිදීම වෙහෙස නො දැනෙන සොඳුරු සැරිසරක් වූ නිසා ය.

කැබිලිත්ත මහා දේවාලය හඳුන්වනු ලබන්නේ සියඹලාව දේවාලය කියා ය. කුඹුක්කන් ඉවුරේ තිබූ රූස්ස ගසක “සියඹලාව“ කියා අතින් ලියූ බෝඩ් ලෑල්ලක් තිබුණි. අද වන විට චිර ප්‍රසිද්ධව බැතිමතුන්ගෙන් පිරී පවතින සියඹලාව දේවාලය වෙත මා සංචාරය කළේ 2005 වර්ෂයේ ජූලි දී ය. ඒ වන විට යාල වන උද්‍යානය ත්‍රස්ත ප්‍රහාරයන්ට පවා නතු වී තිබුණි..L.T.T.E. ත්‍රස්තවාදීන් යාල වනාන්තරයේ සිටී යැයි තිබූ ප්‍රත්‍යක්ෂය නිසා කිසිවෙක්වත් මේ ප්‍රදේශවල සංචාරය නොකරති.

මා සියඹලාවට කරුණා කරන විට එහි වන්දනා කරුවකු, කපුරාල කෙනකු තබා ආවතේවකාරයෙක් හෝ වෙනත් කිසි ම මනුස්ස ප්‍රාණියෙක් හෝ එහි නො සිටියහ. පෞරාණික සියඹලා ගස කඩා වැටී අලුතින් ලියලන දලු පැළයක් ළඟ මල් ආසනයක් තිබුණේ ය. මට මඟ කියා දෙන්නට පැමිණි වනජීවී නියාමක ගුණසිංහ සහ මා පළමුවෙන් ම සිදු කළේ බෝධියට හේත්තු කොට තිබූ ඉදල් දෙක ගෙන පුජා භූමිය ඇමදීමයි.

අපි මල් පැලේ පහන් දල්වා පන්දලමට ඉපල් ගසා සියඹලාවේ කතරගම දෙවියන් යැද්දෙමු. දේවාලයක් නැත. පහන් පැල පමණි. දේව රූපයක්, ;ද්වාභරණයක්, සඳුන් කූඩමක් ආදී වන්දනා නිමිත්තක් නැත.

එහෙත් සියඹලාව හාස්කම් සහ අනුහස් සහිත දේව සංහිඳයකි. දේව සංහිඳයක ඇති ගුප්ත සාංකාව මා මීට පෙර කියවා තිබුණේ විමලරත්න කුමාරගම කවියාගේ පද්‍ය රචනාවකින් ය. ගඟ දිගේ යන අතරවාරයේත් කැලෑගත වූ බොහෝ අවස්ථාවලදීත් සැදැහැවතුන් බාරහාර බැඳ අතු රිකිලි එල්ලා තිබූ රූස්ස ගස් සහ මහා පර්වත කුහර ඕනෑ තරම් දැක තිබේ. එහෙත් ඒ හැම සංහිඳයකටම වඩා සියඹලාව සංහිඳේ මට බර සාරව පෙනුණේ ඇයිදැයි මම මෙනෙහි කළෙමි.

ජන ශූන්‍ය වනාන්තරයක දේව සංහිඳයක් පිහිටි මේ ස්වභාවධර්මය ජනාධිගෘහිත නාගරික දේවාලයක පැවැත්මට වඩා භාව පූර්ණය. දෙවියන් යනු මේ මහා ස්වභාවධර්මයේ ම පිළිබිඹුවකැයි මම අදහමි. “දෙවියන් විසින් මිනිසා මවන ලදී” යැයි කියන දේව වාක්‍යයට වඩා =මිනිසා විසින් දෙවියන් තනන ලදැ”යි කියවෙන මනුස්ස විශ්වාසය මගේ ඇදහිල්ලයි. දෙවියන් පිළිබඳ ඇති ආසියාතික විශ්වාසය ඒ.එල්.බෂාම් නම් ප්‍රකට ඉන්දීය ඉතිහාසඥයා තම “අසිරිමත් ඉන්දියාව“ (THE WONDER THAT WAS INDIA) කෘතියේ ගෙන හැර දක්වයි.

බෂාම් මහතාගේ අදහසට අනුව බටහිරයා විශ්වාස කරන්නේ දෙවියන් විසින් මිනිසා මවන ලද බව නම්, ආසියාතිකයා අදහන්නේ එහි අනෙක් අන්තයයි. ඉර, හඳ, තාරකා පමණක් නොව උදෑසන හිරු, මන්ද මාරුතය, ගින්න, සුළඟ, ගස්, වැල්, කඳු ආදිය දේවත්වයට පත් කරමින් ආසියාතික වූ අපි දෙවියන් නිර්මාණය කර ගත්තෙමු.

සියඹලාව සංහිඳේ වැඩ වාසය කරන්නේ කතරගම දෙවියන් ය. කතරගම මහා දේවාලයට අනුබද්ධිත කැලෑ දේවාලය වන්නේ සියඹලාවයි. කතරගම දෙවියන් වැඩ වාසය කරන්නේ මහා දේවාලයේ නොව සියඹලාව දේව සංහිඳේය යැයි ප්‍රචාරය වූ කට කථාවක් හේතුකොට ගෙන මෑතකදී මහා දේවාලයට අර්බුද පවා මතුවිය.

කිරි වෙහෙරේ අලුත්වැව සෝරත නායක හාමුදුරුවෝ මේ දේව ඕපාදූපයට විරුද්ධව උන්වහන්සේගේ ධර්ම ඥානය යොදා විපිරියාසයක් වන්නට නොදී කතරගම දෙවියන් ආරක්ෂාකර ගත්තෝ ය.

මා සියඹලාව සොයා වනගත වූ 2005 වර්ෂයේ මේ සංහිඳේ වඳින්නට බැතිමතුන් නො ආවේ හරි හමන් පාරක් තොටක්වත් ඒ වන විට යෙදී නො තිබුණු නිසා ය. කුඹුක්කන් ඔය වම් ඉවුර දිගේ උඩුගං බලා ආ අපට මුලින් ම හමු වන්නේ විශාල බෝධියකි. මුලින් ම බෝධිය වැඳ ඉන් පසු ඔය තරණය කොට දකුණු ඉවුරට ගොඩ විය යුතුය. දකුණු ඉවුරේ සියඹලාවට කලින්ද තවත් බෝධියක් හමුවෙයි. මේ බෝධීන් වහන්සේ ඉතා පෞරාණික ය.

දේවානම්පියතිස්ස යුගයේ මහාබෝධි මංගල්‍යයට ආරාධනා ලද කජරගාමයේ ක්‍ෂත්‍රීයයින්ට ලැබුණු අෂ්ඨඵලරුහ බෝධිය වනාහී මෙය විය හැකියැයි ද සමහරක්හු තර්ක කරති. එහෙත් ගැමුණු පුරාවෘත්තයට අනුව ගත්ත ද වැඩහිටි කන්දට පෙනෙන ප්‍රමාණයේ දුරකින් අෂ්ඨඵලරුහ බෝධිය වඩා හිඳවිය යුතුවේ. එහෙයින් මේ බෝධීන් වහන්සේ කතරගම දෙවොල ඉදි කිරීමට විෂයය වූ අෂ්ඨඵලරුහ බෝධිය නොව මාගම් රාජධානියේ වෙනත් පෞරාණික බෝධියක් විය හැකිය යන්න පොදු පිළිගැනීමයි.

වන්දනාමාන කටයුතු අවසන් කළ අප යළිත් දකුණු ඉවුර දිගේ ම ගඟ පහළට පැමිණ එදින රාත්‍රිය කුඹුක්කන් ඔය ඉවුරේ වාඩිලා ගැනීමට තීරණය කළෙමු. පාද යාත්‍රාවේ නිමග්නව සිටින දෙමළ වන්දනාකරුවන්ගේ හරෝහරාව ඇසෙන ඉවුරක අපි රාත්‍රිය ගත කළෙමු.

එදා රාත්‍රියේ අරුමයක් සිදුවිය. ගුණසිංහ මහතා කල් ඇතුව මේ අනතුර අපට දැනුම් දී තිබුණි. කුඹුක්කන් ඔය වනාහී හිටි අඩියේ ජල මට්ටම වෙනස් වන සුලු දිය දහරාවකි. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ දකුණු මොහොර බෑවුම්වලින් ආරම්භ වන නිසා කඳුකරයේ සිදුවන හදිසි වර්ෂාපතනයෙන් ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහල් කරන්නේ ය.

පාද යාත්‍රාවේ භක්ති අභ්‍යාසය

එය එසේ ම ය. අපි ගං ඉවුරේ කූඩාරම් බැඳ නින්දට ගොස් සිටියෙමු. වතුරෙන් නෑවී හදිසියේ මා අවදි වූවේ ක්ෂණිකව ගඟ පිරී ඉවුරු පිටාර ගිය හේතුවෙන් ය. ඇට කළුවර රැයක, කුඹුක් ගොල්ලක, පිටාර වැලි තලයක අපේ බඩුමුට්ටු සැඬ පහරින් බේරා ගැනීමට අපි ඔබ මොබ දිව්වෙමු. ගුණසිංහගේ අනතුරු ඇඟවීමට අනුව කැමරා උපකරණ උස් ගොඩැල්ලක රඳවා තැබූ හේතුවෙන් අපට වැඩි පාඩුවක් සිදු නොවුණි. අපි එළිවෙන පාන්දරින් ගමනට පිටත්වීමු.

ඒ අලුයම් කාලයේ වන්දනා පිරිසකට තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවී තිබුණි. පාන්දර ජාමයේ කාන්තාවක එළිබසින්නට බැද්දට රිංගා ඇත. ඇය පිටුපසින් පැමිණ තිබූ පත වල් ඌරු නාම්බෙක් ඇගේ ගාතයට බරපතල තුවාල සිදුවෙන සේ පහර දී තිබුණි.

කුඹුක්කන් ඔයේ කැබිලිත්තේ සිට කටගමුවට එන අතරවාරයේ පවා අපි විශාල ලෙස දුටුවේ අතීත මාගම් රාජධානියේ සරුසාර කෘෂි ගම්මානය. හාල්පාං ඔය ගලන්නේ ඇස පෙනෙන මානයේ ඇති විශාල තැනි බිමක් හරහායි. මේ තැනි බිම පුරා ම අතීත කුඹුරුවල නියරවල් පෙනේ. අද යාල කැලයට යට වී ඇති අතීත මාගම් රාජධානියේ විශාල කුඹුරු යාය නැවත වගාබිම් බවට පත් වුවහොත් රට සහලෙන් පුරවන්නට වෙනත් මඟක් නුවුවමනා බව බැලූ බැලූ අතින් ඔප්පු වී පෙනෙන්නේ ය.

කටගමුවට කිට්ටු වෙද්දී යළිත් වන්දනාකරුවන් තැන තැන ගිමන් හරිනු පෙනෙන්නට පටන් ගනී. ඒ මැණික් ගං ඉවුරයි. ගඟ පෙනෙන තෙක් මානයේ අපි තවත් ඛේදවාචකයක් දැක ගත්තෙමු. වන්දනාකරුවන් පෙළ සැදී ඈතින් ගමන් කරද්දී මාර්ගයෙන් එපිට ගොඩැල්ලක් හෙලි පෙහෙළි කොට එහි මහලු කාන්තාවක් වාඩි ලා සිටියා ය. ඇය ඉදිරිපිට සුදු රෙද්දකින් වසා \බූ මෘත ශරීරය ඇගේ ස්වාමිපුරුෂයාගේ ය. හේ ස්වාභාවික මරණයට පත්ව සිටී. අක්කරේයිපත්තුව පළාතේ ද්‍රවිඩ ගම්මානයක සිට පැමිණ ඇති මේ මැදිවිය දෙන්නා දෙමාල්ලන්ගෙන් ස්වාමියා හෘද රෝගයක් සහිතව ම මේ වන්දනාගමනට පැමිණ ඇත.

රෝගය කරණකොට ඇති වූ බාරයක් සඳහා කතරගම් පැමිණි ඔහු දෙවියන් විසින් සිය දේව අඩවියේ දී ම තමා වෙත කැඳවාගත්තේ යැයි ඇය විශ්වාස කරයි. මැදිවිය ඉක්මවූ ඇය දරා සිටීමේ ශක්තිය සහ දෙදරා නොයන දේව විශ්වාසය පිළිබඳ මම පුදුමයට පත්වීමි.

මේ මරණයේ ඇති ඊළඟ දෛවෝපගත සිදුවීම නම් වන්දනාකරුවන් කිසිවෙකුත් තම සගයාගේ අවමංගල්‍යයට ගෞරව කිරිම සඳහා මෘත ශරීරය අසලට නො යෑමයි. මේ වන විට වනාන්තරයේ දින 05ක් ගෙවා පැමිණ සිටි ඔවුහු එදින සවස් භාගයේ කතරගම මහ දේවාලයට ඇතුළු වීමට අරමුණු කරගෙන සිටිති. මරණයකට සහභාගිවී කිලි සහිතව දෙවියන් දැකීම අකැප කාරණාවකි. එහෙයින් තම වන්දනා සගයාගේ මෘත ශරීරය සුදු වස්ත්‍රයකින් වසා බුහුමන් කළ ඔවුහු භාර්යාව තනියට තබා දෙවියන් සොයා යති.

පාදයාත්‍රා වන්දනාවේ ඇති නිශ්චිත භක්ති අභ්‍යාසය පිළිබඳ මා මීට පෙර ද මගේ සංචාරක සටහනට කරුණු ඇතුළත් කලෙමි. පාද යාත්‍රාවේ ආරම්භක දෙවැනි දිනයේදී පොළඟකු සපා කනු ලැබූ තරුණයා මා දෙස බලාගත් වන ම මිය ගියේය.

කාලෙකින් කවුරුවත් නො පැමිණි – සියඹලාව

කුඹුක්කන් ඔය ඉවුරේ දී කාන්තාවකට වල් ඌරෙක් පහර දී තුවාල සිදු කළේ ය. ඇතෙකු විසින් පන්නා එනු ලැබ ගසක් අසල දී දළ දෙකින් ඇන්න ද ශරීරය දෙපසින් දළ දෙක ගොස් සීරීම් කැළලකුදු නැතිව බේරුණු තරුණ කාන්තාවක දැඩි කම්පනයට පත්ව සිටිනු මට දැක ගත හැකි විය. සතර වෙනුව කටගමුව ආසන්නයේ මැණික් ගං ඉවුරෙහි ස්වාමියා මළ බැවින් අසරණ වූ කාන්තාවක මෘත ශරීරය අසල භාවනානුයෝගීව සිටිනු මම දැක ගත්තෙමි.

අප කටගමුව පොලිස් ආරක්ෂක මුරපොල වෙත එන විටත් මරණ පරීක්ෂණය සඳහා නිලධාරීන් පිටත්ව ගොස් සිටියේ නැත. කරුණු විමසා බැලූ මට ඔවුන් දැනුම් දුන්නේ නිලධාරීන්ට අදාළ ස්ථානය වෙත යෑම සඳහා අවශ්‍ය වාහනයක් තවමත් ලැබී නැති බවයි. අවසානයේ අක්කරේපත්තුවට ආරංචිය ගොස් එහි සිට මරණකරුගේ ඥාතීන් පොතුවිල්, ලාහුගල, සියඹලාන්ඩුව, බුත්තල හරහා ගල්ගේ පාරෙන් කතරගම ආ වෑන් රියේ ම රිංගාගත් කටකමුවේ නිලධාරීහු අදාළ ස්ථානය කරා වාර්තා කළෝ ය.

2005 වසරේ ජූලි මාසයේ දී මා අත් දුටු මෙම අත්දැකීම් අරබයා එදින මැණික් ගං ඉවුරේ සිට කැමරාව වෙත කරුණු දැක්වූ මම මෙසේ මගේ කථාව අවසන් කෙරුවෙමි.

”යුද්ධයෙන් තොර රටක ජාතික සමඟිය අරබයා අප විසින් යොදා ගන්නා වූ පිළියම් දෙවර්ගයක් තියෙනවා. එක – දේශපාලන විසඳුම. දෙක – යුදමය ෂසඳුම. මට හිතෙනවා තුන් වැනි විසඳුමක් යෝජනා කරන්න. ඒ තමයි සංස්කෘතික විසඳුම. මෙන්න ජාතික සමඟියේ සංස්කෘතික විසඳුම ආරම්භ කරන්න තියෙන හොඳ ම තැන. උතුරු නැඟෙනහිර සිට පානමට පැමිණ පානම සිට දින 05ක් පුරා කිලෝ මීටර් 86ක් දුර ගෙවා පයින් වන්දනාවේ එන මේ දමිළ සහෝදරවරුන් මැණික් ගං ඉවුරේ කටගමුවේ දී දකුණේ අපි සාදරයෙන් පිළිගනිමු. ඔවුන් ආපසු තම ගම්බිම්වලට යද්දී හොඳ පණිවුඩයක් අරං යාවි.”සිංහල මිනිස්සු හරි හොඳයි අප්පා” කියලා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: