Posted by: lrrp | September 11, 2011

කොළඹ “රා” සප්පායම් වුණු බම්බලපිටියේ සියඹලාගස් සෙවණ

කොළඹ යනු පොල් රුප්පාවලින් බහුල සශ්‍රීක පොල් වගාවකට උරුමකම් කී පෙදෙසකි. නොමැකෙන පියසටහන් මේ සොයා යන්නේ කොළඹ පොල් වගාව ගැනය.

 

කොළඹ පොල් හැටට හැටේ ගණන් ගියේ මෙකලය. එකල නම් කොළඹ, බලන බලන අත පැතිර තිබුණේ පොල් රුප්පා ය. මෙකල පොල් හිඟයත්, ඉහළ මිලත් නිසා ඉන්දියාවෙන් හෝ පොල් ගෙනෙන තරමට කටයුතු යෙදෙන්නට ගියේය. එකල නම් පොල් ප්‍රධාන අපනයන බෝගයක් වූයේ නමට පමණක් නොවේය. කොළඹ ඉතිහාසය සොයා යන විට ඒ බව සනාථ කරන අපූරු “පොල් කතන්දර” එමටය.

ලොරෙන්සෝ ද අල්මේදා කොළොම්තොටට ගොඩ බැස අවට නිරීක්ෂණය කළේය. ඒ නිරීක්ෂණයේ දී ඔහුට දක්නට ලැබුණ එක් රූප පෙළක් වූයේ බංගසාල වීදියේ ගබඩා පෙළය. ඒ ගබඩා ඉදිවී තිබුණේ පොල් අතුවලිනි. කොළඹ පොල් ගැන එක් සාක්ෂියක් වන්නේ එයය.

මේ නිරීක්ෂණයෙන් පසුව කොළඹ ග්‍රහණයට ගත් පෘතුගීසිහු සිය විවේක කාලය ගත කළේ කොහේ ද? කොටුවෙන් පිටත එනම් පිටකොටුවෙහි තිබු තාල ගස් යට සෙවණේ දී ය. ඒ බව ක්විරෝස් පවසන්නේ මෙවැන්නකිනි.

“කිසි කලෙක සම්පූර්ණයෙන් නිමාවට පත් නොවූ ප්‍රාකාරයෙන් පිටත යුද බියෙන් තොර කල්හි පෘතුගීසින් කෙළි දෙළියෙන් කාලය ගෙවූ සිසිල් සෙවණ ගෙන දුන් තාල වනෝද්‍යානයන් විය.”

“කොළඹ ශත සංවත්සර පුස්තකය” – පරිවර්තනය – ව. ආ. සමරතුංග හා අමරසේන බ. ගුරුගේ විසිනි.

 

මේ තාල උද්‍යාන පැහැදිලි ලෙසම පොල් විය යුතුය. එකල තල් තිබීමට ඉඩ ඇතත් සෙවණ යහමින් ලැබෙන්නේ පොල්වලින් මිස තල්වලින් නොවේ.

ලන්දේසි යුගයේදී ද කොටුවේ පවා පොල් මෙන්ම තල් ද සෙසු වෘක්ෂ ප්‍රමාණයටම වවා තිබූ බවක් කියැවේ.

ආචාර්ය එම්. ද එස්. ලියනගේ මහතා විසින් රචිත “විද්‍යාත්මක පොල් වගාව සහ පාලනය” යන ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙරට පොල්වල ඉතිහාසය වසර දෙදහසකට පෙර අතීතයකට දිවයන්නක් බවය. එහෙත් සම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ක්‍රමානුකූලව මෙරට පොල් වගාව ඇරැඹෙන්නේ 19 වන සියවසේදී බවත් ඔහු පවසයි.

ඔහු එසේ කීවද ලංකා ඉතිහාසය ගැන බොහෝ තොරතුරු ලබා දෙන රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතිය (පරිවර්තනය – ඩේවිඩ් කරුණාරත්න) හදාරන විට කියැවෙන කරුණක් වන්නේ එකල ද පොල් වගාව සශ්‍රීකව තිබු බවය. නොක්ස් මෙරට සිරකරුවකු බවට පත් වූයේ 1660 දීය. 1679 වන තෙක් මෙහි රැඳී සිටි ඔහු පොල් වගාව ගැන තබන සටහන ඔහු මෙහි පැමිණි අලුත ලැබු අත්දැකීමක් ඇසුරෙන් තැබුවකි.

ඡායාරූපය – ලංකාපුර වෙබ් අඩවිය

“මා වාසය කළ නගරයට ඉතා ආසන්නයෙහි කන්ද උඩරට මහ රජතුමාට අයත් වූ ඉතා සශ්‍රීක ලෙස වැවුණු සිත්කලු පොල් උයනක් විය. මෙහි ගෙයක් තනාගෙන වාසය කරන්නට කලක සිටම මා තුළ ඇති වූ ආශාව අති මහත්… එහි ගස්වලින් ලැබෙන පොල් මටම දෙන ලදී…”

19 ශතවර්ෂයේ සිට ආර්ථිකමය බෝගයක් ලෙස පොල් වගාව පටන් ගන්නට ඇත. එහෙත් සැබෑ තත්ත්වය නම් දාහත්වන සියවස වන විට ද සශ්‍රීක පොල් වගා කොළඹ ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තිබුණ බවය.

කෙසේ වෙතත් ඉංගී‍්‍රසින් සිය මුල් කාලයේම පොල් වගා කරන්නට පටන් ගත් බවට සාක්ෂි තිබේ. ඕලන්ද ජාතිකයකුට අයත්ව තිබු ඉඩමක ඉංගී‍්‍රසින් පොල් වගා කළ බවක් කියවෙන කතන්දරයක් පවසන්නේ බ්‍රෝහියර් ය.

වැන්ඩර් මෙයිඩන් නමැත්තකුට අයිති වූ ඒ ඉඩම හැඳින්වූයේ ද වැන්ඩර් මෙයිඩන් ගේ පොල්ඩරය යන නමිනි. පොල්ඩරය යනු මුඩු බිමෙන් බේරා ගත් තණනිලි සහිත ප්‍රදේශ යන්න බ්‍රෝහියර් විසින් දී ඇති අරුතය. ඔහු මේ ඉඩමෙහි පොල් වගාව ගැන තැබු සටහනකි මේ.

“…අද කොළොම්පුරය සතු එකම ක්‍රීඩා මණ්ඩපය පිහිටා ඇත්තේ වැන්ඩර් මෙයිඩන් ගේ පොල්ඩරය තිබු තැනය. මේ පොල්ඩරයෙහි පරිවර්තන රාශියක් සිදුවිය. මුල් බිරිතනි යුගයේ තණ බිමේ හා මුඩු බිමේ ඒකාකාරි ස්වභාවය නැති කිරීමටදෝ “පොල් රුප්පාවක් ද” වෙනත් පලතුරු වතු ද මෙහි බිහි විය… අද මෙහි නව පන්නයේ කර්මාන්ත සංකීර්ණ ද නගරයේ විදුලි බලාගාරය ද ස්ථාපනය කර ඇත.”

(කොළොම්පුර පුරා වෘත්ත – පරිවර්තනය පද්මා එදිරිසිංහ)

ඉහත කී ඉඩමෙහි විශාලත්වය ගැන බ්‍රෝහියර් තබන සටහන මෙබඳුය.

“කැළණි ගඟබඩ ගොඩබිම් කුහරවල ද එහි වම් ඉවුරෙන් ඔබ්බෙහි ද කුරුඳු වගාවලට උතුරෙන් තණපිටි හා මුඩුබිම් රාශි වශයෙන් විසිරී තිබිණි. බ්ලූමැන්ඩෝල් තෙක්ම දකුණු දිගට ඒවා පැතිරිණ.

එකල කොටුව පිටකොටුව පමණක් නොව කොල්ලුපිටිය බම්බලපිටිය ද පොල් රුප්පාවෙන් සෙවණ ලැබු ප්‍රදේශ විය. ඒ බව කියැවෙන්නේ බ්‍රෝහියර් එකල ඉංගි‍්‍රසින්ගෙන් විලාසිතාකාරි දිවි පැවැත්ම ගැන කරනු ලැබු විග්‍රහයකදීය.

“ශක්තිය හෝ සෞඛ්‍ය හෝ ප්‍රදර්ශනය කිරීමේ විලාසිතාව අනුව හිමිදිරියේ හා සවස් යාමයේ සක්මන් කරන්නෝ ද අශ්වාරෝහකයෝ ද බිහි වූහ. ඒ ව්‍යායාම සඳහාය…

එදා කොළොම්පුර සිට ගාල්ල දක්වා දිව ගිය පාර බොරළු සහිත පාරක් විය. එහි තුන්වැනි සැතපුම් කණුව අසල දී ය, මේ ව්‍යායාම්වල යෙදෙන්නන් එකිනෙකා හමු වූයේ. මෙහි අතු පතර විහිදී ගිය සියඹලා ගසක් යට අශ්වයන් මුදා හැර විවේක ලබා දෙමින් උන් අරා සිටියෝ බිමට බැස ගත්හ. අවට “පොල් රුප්පාවෙන් මදින ලද රා” ඔවුන්ගේ ගත ද සිත ද පිනවීය.”

බ්‍රෝහියර් මේ ජනප්‍රවාද අසා තිබුණේ ඔහුගේ ළමා වියේදීය. මේ සියඹලා ගස පිහිටියේ බම්බලපිටියේය. ලංකාවේ මුල්ම සමාජ ශාලාව The Cocoa nut නම් විය. ඊට පසු කාලයේ බිහිවූ ‘ක්වයිට්’ සමාජ ශාලාව පිහිටියේ කොළඹ ගාලු පාරේ ඇල්ෆ්‍රඩ් පෙදෙසට සමීපව පිහිටි ගොඩනැඟිල්ලක බව කියැවේ. මේ සමාජ ශාලාව ගැන බ්‍රෝහියර් තබා ඇති සටහනෙන් ද පැහැදිලි වන්නේ කොළඹ සශ්‍රීක පොල් වගාවකට උරුමකම් කී බවය.

“මින් පසු ඇතැමුන් රාජකාරි හා ව්‍යාපාරික කටයුතු සඳහා ගිය අතර ඇතැම්හු මේ ගම්බද පෙදෙසෙහි (එකල බම්බලපිටිය වූයේ එසේය) මුළු දවසම නැවැතී ක්වේයිට් ක්‍රීඩා කරමින් නවමු මුහුදු සුළං පහස විදියහ. පොල් රුප්පාව දිනයේ ඕනෑම කාලයක සෙවණ ගෙන දිණි.”

කොටුවේ පිටත බෑවුමට වැව හා වහල් දූපත දිස්වෙන ආකාරය ජෝන් ඩෙෂාම්ප්ස් නමැති චිත්‍ර ශිල්පියා විසින් සිතුවමට නඟා ඇත. මෙකල කොම්පඤ්ඤ වීදිය එකල වහල් දූපතය. 1828 – 1837 අතර කාලය චිත්‍රයෙන් නිරූපිත කාලය වේ. ඒ චිත්‍රයට අනුව මුලින්ම බේරේ වැවත් ඉන් පසු වහල් දූපත ද දර්ශනය වේ. කුඩා පැල්පත් රාශියකින් යුතු දූපතේ පැල්පත් වලට පිටුපසින් ඇත්තේ එකම පොල් යායකි. ඒවා පැල පොල් නොවූ අතර සාරවත්ව උසට වැවී ඇති උස පොල් ගස්ය. ඒ අනුව පැහැදිලි වන්නේ ඒ වන විට කොළඹ ප්‍රදේශය සරුසාර පොල් වගාවකට උරුමකම් කී බවය.

ඩෙෂාම්ප්ස් සිය චිත්‍රය පිළිබඳ ඔහු විසින්ම කරනු ලැබූ විස්තරයකි. එහි විස්තර බේරේ වැව ගැනය. එහි යාත්‍රා කෙරෙන අපූරු බෝට්ටුවක් ගැන ද තොරතුරු ඊට ඇතුළත්ය. ඔහු එය හඳුන්වන්නේ ස්වදේශිකයන්ගේ බෝට්ටුවක් ලෙසිනි. එය සාදා ඇති ආකාරය දෙස බලන කල නැවතත් පැහැදිලි වන්නේ එකල කොළඹ ජනයා පොල් ගසින් ගෙන ඇති කාර්යයන් කොපමණ ද යන්නය.

“…එහි නිර්මාණය ඉතා සරලය. එහෙත් යාත්‍රාවක උපරීම වේගය සහතික වන අයුරු විද්‍යාත්මක දැනුමෙන් ද නාවික යාත්‍රා දැනුමෙන් පරිපූර්ණ වූවන් එය සාදා ඇත. එහි පහළ කොටස තනා ඇත්තේ පොල් ගසක හිස් කඳක් සැරීමෙනි. එය අඩි 15 ක් පමණ දිගය. එහෙත් ඉතා පටුය. මිනිසකුට ඒ කඳ තුළට තම කකුල් බහාලිය නොහැකි තරම් පටුඩ. කඳ පළල් වන්නේ පහළ කොටසේදීය…” යනාදි වශයෙන් මේ බෝට්ටුව ගැන විස්තරයක් සපයන ඔහු ප්‍රකාශ කර සිටින්නේ මේ යාත්‍රාවලින් ධීවරයෝ මුහුදේ මාළු ඇල්ලීම සඳහා ද යන බවය.

“ධීවරයෝ දිනකට සැතපුම් 10 ක් හෝ 15 ක් හෝ මුහුදට යාත්‍රා කරති. හදිසි අනතුරු වන්නේ කලාතුරෙකිනි. මීට හේතුව මේ යාත්‍රා ජලයෙන් පිරුණ ද කිඳා නොබැසීමය…

(කොළොම්පුර පුරාවෘත්ත)

මේ බෝට්ටුව ගැන ලියා තබන තවත් අයකු වන්නේ ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ය.

“…ඒවා සිංහලයටම ආවේනික සැලසුමකට අනුව තනා ඇති ඔරු විශේෂයකි. තනි සෘජු ගසක කඳකින් සාරන ලද ඔරුව ඉතාම පටුය…. ඔරුව ගමන් ගන්නා විට එහි ඇති රුවලට කොපමණ සුළං හැමුවත් කිසිසේත් ඔරුව නොපෙරලෙන ලෙස මෙය නිර්මාණය කොට තිබීම වැදගත් වන අතර එමඟින් මේ ධීවරයන් සතුව පැවැත එන සියුම් නිර්මාණශීලි බුද්ධිය මොනවට පැහැදිලි වේ…”

(ගයිගර් දුටු ලංකාව – පරිවර්තනය සුදන්තක පී. විජේතුංග)

මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ලංකාවට පැමිණියේ 1895 දීය. එකල නැවේ සිට ගොඩබිම දෙස බලන්නෙකුට මුලින් ම දක්නට ලැබුණ එක් දර්ශනයක් වූයේ ඉමක් කොනක් නොපෙනෙන පොල් රුප්පාවයි. ඔහු පොල් ගැන කරන වර්ණනාව මෙබඳුය.

“…වෙරළෙන් එපිට ගොඩබිම් තීරය පේන තෙක් මානයේ වූයේ ඉමක් කොනක් නොපෙනෙන පොල් රුප්පාවයි…. පොල් ගස් දෙස එකවරම බලන්නකුට රිදී අළු පැහැති යාන්තමට ඇලවුණු කඳත්, අංගෝපාංග රැසකින් පිරිපුන් ඔටුන්නක් සහිත එම ගස විසින් අතිශයින්ම සුන්දර දර්ශනයක් ලබා දෙන බව කිව යුතුය. තාරකාවන් පිරි නිසල රාත්‍රියක සිහින් පත්‍ර සහිත පොල් අතු අතරින් අහස දෙස බලන්නකුට දක්නට ලැබෙන දර්ශනය කෙතරම් මනස්කාන්තදැයි එය නොදකින්නකුට කිසිසේත් සිතා ගැනීමට නොහැකිය.

කෙසේ නමුත් පොල් ගසින් පිරි වනය එයටම ආවේණික වූ චාම් බවකින් යුතුවේ. ……එමෙන්ම දැන් දැන් පොල් යනු ආර්ථිකමය වැදගත්කමක් ඇති වගාවක් ද වන අතර සාමාන්‍ය ස්වාභාවික වනාන්තරයකත්, වගාවකත් අතර පැහැදිලි වෙනස්කම් රැසක් වෙති.”

ගයිගර්ට පොල් ගැන මෙවැනි සිතුවිලි පහළ වන්නේ නැවෙන් බැසීමට ද පෙරය. නැවේ සිට ඔහු දකින දේ අතරින් දීර්ඝතම විස්තරය පොල් ගැනය. එකල කොළඹ වරායෙන් ගොඩ බසින්නට එන්නෙකුට පොල් ඔටුනු සහිත පොල් වනාන්තරය චමත්කාර දර්ශනයක් වූ බව ගයිගර්ගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලිව පෙනෙන්නකි. එහෙත් මෙකල වරායට එන්නකුට ඒ අත්දැකීම අතීත කතන්දරයක මතකයක් පමණි. එකල පොල් ඔටුනු වෙනුවට මෙකල ඇත්තේ කොන්ක්‍රීට් වනාන්තර සෙවිලි කරන්නට යෙදුණු විවිධාකාර වහල සහිත ගොඩනැඟිලිය.

කොළඹ කොටුවේ සිට ගල්කිස්ස බලා දුම්රියෙන් යන ගයිගර් නැවත දකින්නේ ලංකා භූමියේ සාරවත් බවය. විවිධාකාර වූ තුරු ලතාවන්හි හරිත වර්ණයෙන් ආනන්දයට පත්වෙන ගයිගර් පවසන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අතිශයින් ම බහුවිධ සුන්දරත්වයන්ගෙන් පිරුණු තමාටම ආවේණික සොබා සෞන්දර්යයක් හිමිකොට ගත් සාඩම්බර භූමියක් බවය.

ඔහු මේ මඟ ගෙවන විට දක්නට ලැබෙන ලාංකිකයන්ගේ ගෙවල් තනා ඇත්තේ ද වියළි පොල් අතුවලිනි. එමෙන්ම ඔහු නැවතත් දකින්නේ සරුවට වැවුණු පොල් වගාවමය.

“….මුහුදත් අප දුම්රිය මාර්ගයත් වෙන් වූයේ සුදෝ සුදු වැල්ලෙන් පිරි පටු වෙරළ තීරයෙන් පමණි. වම් අත පැත්තේ දිගින් දිගටම දක්නට හැකි වූයේ සරුවට වැවුණු පොල් ගස්ය.”

වරායෙන් ගෙඩ බසින්නටත් පෙර සිය හිත වසඟයට ගත් පොල් රුප්පා කොළඹට පමණක් සීමා නොවන බව ගයිගර් අවබෝධ කරගන්නේ මඳ කලක් යන විටය. ඒ බව ඔහු නැවත වරෙක තබන සටහන ඊට කදිම නිදසුන් සපයයි.

සිංහලයේ වැවෙන කුරුඳු, කරදමුංගු, සාදික්කා, ගම්මිරිස් ආදි කුළුබඩුවලට අමතරව මෙරට ඉතාමත් ප්‍රකට තවත් සුවිශේෂ වගාවක් වෙයි. එනම් රටපුරා පැතිර ඇති තාල වර්ගයට අයත් ගස් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා පොල් වගාවයි. පොල් ගසේ ප්‍රයෝජනයට නොගන්නා කිසිඳු අංශුවක් හෝ නැතැයි කීවොත් මා නිවැරැදියැයි සිතමි.

පොල් කඳ සිංහලයේදී ඉදිකිරීම්වලදී නැතිවම බැරි දෙයකි. වියළි පොල් අතු නිවෙස්හි වහල සෙවිලි කිරීම සඳහා ද බිත්ති වශයෙන් ආවරණය කිරීම සඳහා ද යොදා ගැනේ. නොමේරූ පොල් ගෙඩි තුළ ඇති පානය ඉතා ප්‍රණීත වෙයි. මුලදී මා මේ කුරුම්බා බීමට එතරම් නුපුරුදු වුවත් පසුව එය මට එහිදී නැතුවම බැරි පි‍්‍රයතම පානය බවට පත්විය. පොල් මදය වියලා සාදන කොප්පරා ඉන්දියාවට හා ප්‍රංශයට අපනයනය කරති.

මා අසා දැනගත් තොරතුරුවලට අනුව මුළු දිවයින පුරා ඇති පොල් ගස් ප්‍රමාණය මිලියන තිහකට අධික වෙයි. මෙය වගාවක් වශයෙන් අක්කර පන්ලක්ෂයක් පුරා විහිදී පවතී…”

පොල් ගැන තවදුරටත් කරුණු කියන විල්හෙල්ම් ගයිගර් පවසන්නේ එකල මේ සියලු පොල් වතුවල අයිතිය ස්වදේශිකයන් සතු වූ බවය. වසරකට පොල්තෙල් අපනයනයෙන් මාර්ක් මිලියන දහසක් පමණ ද කොප්පරා අපනයනයෙන් මාර්ක් මිලියන දෙකක් පමණ ද ආදායම් ලැබු බව ඔහු පවසයි. (එකල ජර්මන් මාක් එකක වටිනාකම ලංකා මුදලින් ශත 85 ක් විය.)

වසර සියයකටත් පෙර අප පොල්වලින් ආදායම් ලැබුවේ එලෙසය. “එහෙව් රටේ පොලේට ගිය කලේ” ගැන කතා කරන්නෝ කොළඹ මෙන්ම ගමේ ද ඇත්තෝ වෙති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: