Posted by: lrrp | October 17, 2011

ජනතා මතකයෙන් ඈත් වී යන දඹදෙණි විරුවන්

කාලිංග මාඝ නමැති කෲර ආක්‍රමණිකයා පිළිබඳවත්, ඔහු විසින් සිංහල ජාතියට සහ සම්බුද්ධ ශාසනයට සිදු කරන ලද සතුරුකම් පිළිබඳවත් අසා නොමැති සිංහල-බෞද්ධයකු සොයා ගැනීම අපහසු වුවත්, මෙම ආක්‍රමණිකයා පරාජයට පත් කළ රජවරුන් පිළිබඳව නම් සිංහල බෞද්ධයන් තුළ එතරම් මතකයක්‌ නොමැතිවීම පුදුමයට කරුණකි. එළාර පරාජයට පත් කළ දුටුගැමුණු රජු පිළිබඳවත්, පුළහස්‌ථ, බාහිය, පනයමාර, පිළියමාර සහ දාඨිය යන පස්‌ දෙමළ ආක්‍රමණය පරාජය කළ වළගම්බා රජු පිළිබඳවත්, චෝල ආක්‍රමණිකයන් පරාජයට පත් කළ විජයබාහු රජු පිළිබඳවත් දැනුවත් ජනතාව කාලිංග මාඝ නම් වූ ආක්‍රමණිකයා පරාජයට පත් කළ II වන විජයබාහු සහ II වන පරාක්‍රමබාහු යන රජවරුන් පිළිබඳ නොදැනුවත් ඇයි ද යන්න සොයා බැලිය යුතු කාරණයකි. මෙය විශේෂයෙන්ම සොයා බැලිය යුතු කාරණයක්‌ වන්නේ, මහාවංශයේ දෙවන කොටස ධර්මකීර්ති නම් හිමි නමක්‌ විසින්, II වන පැරකුම්බා රජුගේ පාලන කාලය තුළදීම රචනා කර තිබීමයි.

 


අදත් දැකගත හැකි
නැගෙනහිර පවුරෙහි
වාහල්කඩ

ධර්මකීර්ති හිමියන් විසින් සිය කාර්යභාරය මැනවින් ඉටුකර ඇතත් ජනතාව තුළ බොහෝදුරට ඉතිරිව ඇත්තේ කාලිංග මාඝගේ කුරිරුකම් පිළිබඳ වූ මතකය පමණි. ඒ සඳහා ධර්මකීර්ති හිමියන්ගේ ඉතිහාසය රචනය මෙන්ම පරපුරෙන් පරපුරය රැගෙන ආ ජනතාවගේ මතකය ද හේතු වන්න ඇත.

එය කෙසේ වුවත්, ඉතිහාසයේ සඳහන් වී ඇති ආකාරයට කාලිංග මාඝ විසින් මිනිසුන්ගේ වස්‌තුව පැහැර ගැනීම, පිළිම ගෙවල් සහ චෛත්‍යයන් වැනසීම, සතර කුලයකට අයත් වූ සිංහල ජනතාව මිශ්‍ර කිරීම, සිංහල ජනතාවට අයත්ව තිබූ දේපළ තමා සමග පැමිණි දෙමළ ජනතාව අතර බෙදාදීම වැනි අකටයුතුවල යෙදී ඇත. මාඝගේ පාලන සමය භීෂණ සමයක්‌ ලෙස හඳුන්වාදීමේ කිසිදු වරදක්‌ නැත. මාඝ සිය භීෂණ සමය ආරම්භ කර ඇත්තේ ඔහු සිංහල රට ආක්‍රමණය කරන අවස්‌ථාවේදී එහි පාලකයා ලෙස කටයුතු කළ තවත් ආක්‍රමණිකයකුම වූ පරාක්‍රම පණ්‌ඩුගේ ඇස්‌ දෙක පවා ගලවා දමමිනි. මෙම භීෂණයට මුහුණදී ගත නොහැකි වූ සිංහල කුමාරවරු වන දුර්ගවල සැඟවී ගොස්‌ ඇත.

මෙම භීෂණයට මුහුණදී යළිත් සිංහල රටට නිදහස උදාකර දීම සඳහා එම අවස්‌ථාවේදී ඉදිරිපත් වී ඇත්තේ, වන්නියාර්වරුන් අතර ප්‍රධානත්වයට පත්ව සිටි කුමාරයෙකි. මෙම කුමාරයා සංඝබෝධි වංශයට අයත් බව ඉතිහාසයේ සඳහන් වී ඇති අතර රාජ්‍යයත්වයට පත්වී ඇත්තේ III වන විජයබාහු යන නමිනි. මෙම රජතුමා වන්නියාර්වරයකු ලෙස ද ඉතිහාසයේ සඳහන් වී තිබීමෙන් වන්නියාර්වරු යනු දෙමළ පාලකයන් පිරිසක්‌ය යන අදහස ද බිඳ වැටේ.

පොළොන්නරුව සිය රාජධානිය කරගනිමින් සිංහල රට පෙළමින් සිටි කාලිංග මාඝට එරෙහි සටන් කිරීම සඳහා III වන විජයබාහු රජු විසින් සිය මධ්‍යස්‌ථානය ලෙස තෝරාගෙන ඇත්තේ දඹදෙණියයි. ඒ අනුව වසර 60 කට අධික කාලයක්‌ මෙරට අගනුවර ලෙස පැවැති දඹදෙණිය රාජධානියේ ආරම්භකයා වන්නේ ද III වන විජයබාහු රජතුමාය. සිංහල රජවරුන් අතර III වන විජයබාහු රජුට සුවිශේෂී තත්ත්වයක්‌ හිමිවීමට එය ද එක්‌ හේතුවක්‌ විය යුතුය. III වැනි විජයබාහු රජු දඹදෙණිය සිය රාජධානිය ලෙස තෝරා ගනිද්දී සිය මාලිගය ඉදිකර ඇත්තේ දඹදෙණිය පර්වතය මස්‌තකයෙහිය. දඹදෙණිය සිය සටන් මධ්‍යස්‌ථානය ලෙස තබා ගනිමින් මාඝට එරෙහිව සටන් මෙහෙය වූවත් ඔහුගේ පාලන කාලය තුළදී තුන් සිංහලයම යළිත් එක්‌සේසත් කිරීමට නොහැකිවී ඇත.

එසේ වුවත් ආරක්‍ෂාව සඳහා එතෙක්‌ කොත්මලේ සඟවා තිබූ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව දඹදෙණියට වඩම්මවා, බෙලිගල පර්වත මුදුනේ දළදා මාලිගයක්‌ ඉදිකර එහි තැම්පත් කර ඇත. එමෙන්ම අදත් දඹදෙණියේ ප්‍රධාන විහාරස්‌ථානය ලෙස පවතින විජයසුන්දරාරාම විහාරය ආරම්භ කර, භාරත දේශයෙන් පවා මහා වියත් තෙරුන් වහන්සේ ගෙන්වා ශාසනයේ දියුණුවට කටයුතු කළ අතර භාෂාව සහ සාහිත්‍යය ඉගැන්වීමේ කටයුතුවල ද නිරත වී ඇත. දඹදෙණියේ, ශ්‍රී විජය සුන්දරාරාම රාජමහා විහාරස්‌ථානය විසින් ප්‍රකාශයට පත් කර ඇති, ඓතිහාසික දඹදෙණිය නම් කෘතියේ සඳහන් කර තිබෙන ආකාරයට ක්‍රි.ව. 1220 සිටම III වන විජයබාහු රජු ද මායාරට ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කර ඇති අතර, එම රජතුමාගේ පාලන කාලය අවසන් වී ඇත්තේ ක්‍රි.ව. 1236 දීය.

III වැනි විජයබාහු රජුගේ පාලන කාලයෙන් අනතුරුව එම රජතුමාගේ පුත්‍රයා II පරාක්‍රමබාහු නමින් රාජ්‍යත්වයට පැමිණ ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්‌වා රාජ්‍ය පාලනය ගෙන ගොස්‌ ඇත. කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් අනතුරුව තැන තැන කඳවුරු බැඳගෙන රට කෲර කමින් පාලනය කරමින් සිටි ආක්‍රමණිකයන් සියලු දෙනා පලවා හැර යළිත් සිංහල රටට සාමය උදාකර ඇත්තේ II වැනි පරාක්‍රමබාහු රජු විසිනි. නමුත් මෙලෙස පලවා හරින ලද කාලිංග මාඝගේ පිරිස්‌ යාපනය අර්ධද්වීපයේ රැඳී සිට, ආර්යචක්‍රවර්තී නම් පාලනය ආරම්භ කිරීම සඳහා මූලික පදනම සකසා ඇත.

එය කෙසේ වුවත්, දශක දෙකක පමණ වූ කාලිංග මාඝගේ කුරිරු පාලනය අවසන් කිරීමට II වන පරාක්‍රමබාහු රජතුමා සමත්වී ඇති අතර, එම රජතුමාගේ පාලන කාලය තුළදී සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ද විශාල ප්‍රබෝධයක්‌ ඇති වී ඇති අතර, යුද ශිල්පයට මෙන්ම ත්‍රිපිටක ධර්මය, භාෂා සාහිත්‍යය, කවියකු, ග්‍රන්ථ රචකයකු ලෙස ද කටයුතු කර ඇති මෙතුමා ඒ නිසාම නම්බඹර කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත යන ගෞරව නාමයෙන්ම හඳුන්වා ඇත.

දඹදෙණියේ, ශ්‍රී විජය සුන්දරාරාම රාජමහා විහාරස්‌ථානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ඓතිහාසික දඹදෙණිය කෘතියේ සඳහන් කර ඇති ආකාරයට සිංහල රජවරුන් අතර දෛනික කටයුතු පිළිබඳ කාලසටහනක්‌ දක්‌නට ලැබෙන්නේ මෙම රජතුමාගේ පමණි. අද පවා දැකගත හැකි දඹදෙණිය ශ්‍රී දළදා මැඳුර තෙමහල් මන්දිරයක්‌ ලෙස ඉදිකර ඇත්තේ II වන පැරකුම්බා රජු විසිනි. II වන පැරකුම්බා රජු දවස මෙම දළදා මාලිගය හා එම මාලිගය ඉදිරිපිට සපු බෝධිය අතර රන් ඒදණ්‌ඩක්‌ මැවී, ජීවමාන බුද්ධ ලීලාවෙන් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑ බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. එමෙන්ම එදවස දළදා වහන්සේ වැඩ සිටි රන් කරඬුව තැන්පත් කර තිබූ කැටයම් සහිත කළුගල් ආසනය අදත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය වැඳ පුදා ගැනීමට යන ඕනෑම කෙනකුට දැකගත හැක.

දඹදෙණිය රාජධානියේ ප්‍රධාන විහාරස්‌ථානය ලෙස ශ්‍රී විජයසුන්දරාරාමය ඉදිකර ඇති අතර, එම විහාරස්‌ථානයේ සංඝරාජ හිමිවරුන් දෙදෙනකු වැඩ වාසය කර ඇත. මහා සංඝයා රැස්‌ කරවා දළදා වහන්සේ පැරකුම්බා කුමරුන්ට ද, පැරකුම්බා කුමරු සංඝයාට ද බාර දී ඇත්තේ ද මෙම විහාරස්‌ථානයේදීය. මෙම විහාරස්‌ථානයේ සිට සිරිවර්ධන පුරය දක්‌වා ඉතා දර්ශනීය ලෙස දළදා පෙරහැර පවත්වා ඇත.


එරික්‌ ගාමිණී ජිනප්‍රිය


(මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා වත්මන් විහාරාධිපති ගරු නාරංගොඩ සිරිනිවාස හිමියන් දැක්‌වූ සහයෝගයට අපගේ විශේෂ ස්‌තුතිය)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: