Posted by: lrrp | October 18, 2011

දීඝවාපිය පුදබිමේ ඉතිහාසයෙන් බිඳක්

නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගමන් කළ විට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කිලෝමීටර් 12 ක් ගමන් කිරීමෙන් ළඟා විය හැකිය.

අතීතයේ දී රුහුණු ජනපදයට අයත්ව තිබූ දීඝවාපිය “දිග් වූ වැව“, “දිගා වැව“, “දීඝවාපිය” ලෙස ජන ව්‍යවහාරයේ පවතී. ලිඛිත සාධක අනුව දිගාවැව (මහාවංශය 24: 15, 32:2) දීඝවාපි මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඩුළු, දිගාවෑ (මහාවංශය 24:58) දිගැවැ මඩල (මහාවංශය 75:11) දිගාමඩුල්ල (සද්ධර්මරත්නාවලිය 939) ලෙස ද මෙම ප්‍රදේශය ව්‍යවහාර වේ.

දීඝවාපිය පිළිබඳව ප්‍රථමයෙන්ම ඓතිහාසික තොරතුරු අනාවරණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ තොරතුරු වලිනි. බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණිය, සමන්කූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී දිගාවැවට වැඩම කළ බව සඳහන් වේ. (දීප වංශය : 128) මහාවංශයට අනුව “සර්වඥ තෙම එතන්හි ධර්මදේශනා කොට අහසට නැගී වැඩ සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැපයේ දිවා විවරණය කොට දිගාවැවට වැඩිසේක. ලෝකස්වාමි තෙම සංඝයා සමඟ වූ සේක් එහි චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සමවන්සේක (මහාවංශය 1:78 – 79) සද්ධර්මාලංකාරයට අනුව “සර්වඥයන් වහන්සේ භගවා ලෙන සිට… රුහුණු ජනපදයට වැඩ දීඝනඛ චෛත්‍යය පිහිට වන්නා වූ ස්ථානයේ සපිරිවරින් සමාපත්තියට සමවැද මොහොතක් කල් වැඩහුන් සේක”

(සද්ධර්මලංකාරය 13 :312)

පණ්ඩුවාසුදේව රජුගේ බිසව වූ භද්දකච්චායනාගේ සොයුරන් අට දෙනෙක් ඉන්දියාවෙන් මෙහි පැමිණි බව ද, ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය නම් වලින් ජනාවාස පිහිටුවා ගන්නා ලද බව ද මහාවංශයේ සඳහන් වේ. මෙම සොයුරන් අතරින් දීඝායු නම් කුමරා ඇති කළ ජනාවාසය “දීඝායුගාම” නම් වු අතර, මෙය දීඝවාපිය බැව් විශ්වාස කරනු ලැබේ.

1953 දී අම්පාර කොණ්ඩවට්ටවන වැවට නුදුරින් හමු වූ ටැම් ලිපියට අනුව “දිගාමඩුල්ල” නම් පැරණි භූමිය නිශ්චිතව හඳුනාගත හැකිය. (ඒඉඛ්ඒඅ 1953: 21, ඡ්. ඛ 5:124) කාකවණ්නතිස්ස රජු විසින් තම පුත්‍රයා වූ සද්ධාතිස්ස දිවයිනේ කෘෂි සංවර්ධනය සඳහා යවන ලද්දේත්, පිය රජුගේ මරණින් පසු සද්ධාතිස්ස කුමරා තම මව (විහාරමහා දේවිය) රැගෙන පැමිණියේත් දිගාවැවට (දිගාමඩුල්ල) බව ලිඛිත මූලාශ්‍ර සාධක දරයි. (මහාවංශය 24: 15), (රාජවලිය 24) එසේම දුටුගැමුණු රජු රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව තම සහෝදර සද්ධාතිස්ස කුමරු කෘෂි සංවර්ධනය සඳහා දිගාවැවට යවන ලද බව සඳහන් වේ. (මහාවංශය 24:58)

දීඝවාපී චෛත්‍ය නිශ්චිතව කුමන කාලයක ඉදිකරන ලද්දක් ද යන්නට නිශ්චිත සාධක නැත. මහාවංශයට අනුව සද්ධාතිස්ස රජු කල (ක්‍රි.පූ 137- 119) “දිගා වෑ වෙහෙරද සෑයක් සහිත කොට කරවීය. ඒ සෑය වසා එලන සත් රුවන් ඇමුණූ සැට්ටයක් කරවන ලදී.

(මහාවංශය 33:10 – 11)

මහාපරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි. ව. 1153 – 1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවැති බව මහාවංශයේ සඳහන් වේ. දීඝවාපියෙහි ඇති වු කැරලි මර්දනයට “එකල් හි මහ බලැති සියලු ඇමැතියෝද ප්‍රධානීහු ද දිගා වෑ මඩුලු රට ගන්නට නික්මුණේ…. “(මහාවංශය 75:1 – 2) මෙකල දිඝාමඩුල්ල ප්‍රබල රාජ්‍යයක්ව පැවතීමෙන් පෙනී යන්නේ දීඝවාපී විහාරය ද දියුණු මට්ටමක තිබෙන්නට ඇති බවය. මහා පරාක්‍රමබාහු රජුගේ බලඇණි මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ද වංශකතාවල සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 – 1780) 18 වන සියවසේ “නඛ” චේතිය නම් ස්ථානයට පැමිණි බව (මහාවංශය 99:39) දැක්වෙන අතර, එය දීඝවාපිය ලෙස තහවුරු වී ඇත. ඒ අවස්ථාවේ චෛත්‍යය රියන් 185 ක් උස්කර බඳවන ලද බව වාර්තා වේ.

දීගවාපී දාගැබේ වාහල්කඩ තිබූ කරඬුවක් තුළ තිබී ලැබුණු කණිට්ඨතිස්ස රාජ්‍ය සමයට අයත් රන්සන්නසට අනුව මෙම දාගැබේ ඉතිහාසය ක්‍රි. ව: දෙවන සියවසේ කණිට්ඨතිස්ස රාජ්‍ය සමය සමඟ ද බැෙඳයි. දීඝවාපී දාගැබ අවම තරමින් තුන්වරක දී වැඩි දියුණු කිරීම්වලට හෝ පිළිසකර කිරීම්වලට ලක් වූ බව දාගැබ පිළිබඳ පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වී තිබේ.

1964 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද කැණීමේ දී චෛත්‍යයේ ඊසාන දෙස පිළිමගෙයක තිබී ඍර්‍ණඛ් කාසි කිහිපයක් ලැබී ඇත. (ඒඉඛ්ඡ්අ 1964: 6; 14)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දීඝවාපිය හා තදාසන්න ප්‍රදේශ ගවේෂණය කර ඇත. දීඝවාපිය පැරණි ජනාවාසය වර්ග කිලෝමීටර් 64 ක භුªමියක් පුරා විසිරී ඇත. මේ භූමි ප්‍රදේශය තුළ ප්‍රධාන ආරක්ෂිත ස්මාරක තිස්පහක් ව්‍යාප්තව ඇත. මේ ප්‍රදෙශයේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන දීඝවාපී දාගැබ හා ආශි‍්‍රත නෂ්ඨාවශේෂ වන අතර, දීඝවාපී ජනාවාසයේ න්‍යෂ්ටිය ලෙස මෙය හැඳින්විය හැකිය. මීට අමතරව ප්‍රතිමා ගෘහ, වාහල්කඩ, මල් ආසන, කවන්ධ බුද්ධ ප්‍රතිමා, නටබුන් ගොඩනැඟිලි, සිරිපතුල් ගල්, සඳකඩ පහණ, කොරවක්ගල්, පාදෝවන, ඡත්‍රගල්, පියගැටපෙළ, පැරණි පොකුණු, රෝහල් සංකීර්ණය, දාගැබ් ගොඩැලි, ප්‍රාකාර බැමි, කටාරම් ලෙන්, රාශියක් ද දැකගත හැකි වේ.

දීඝවාපී චෛත්‍යයේ උපරිභාගය අද දක්නට නැත. එහි උස මීටර් 112 යැයි උපකල්පනය කළ හැකිය. දැනට මෙම චෛත්‍යයේ උස මීටර් 22.41 ක් වේ. චෛත්‍ය කැණීමේ දී ප්‍රමාණ දෙකක ගඩොල් හමු වී ඇති අතර, ගඩොල් සමහරක බ්‍රාහ්මීය අක්ෂර වේ. ඒ අනුව මේ චෛත්‍යයේ ඉතිහාසය අනුරාධපුර මුල් යුගය දක්වා දිව යයි.

දීඝවාපියට පැමිණෙන වන්දනාකරුවන් හා සංචාරකයන් හට මෙම ස්ථානයේ සිට පියන්ගල, රජගල, ඔවාගිරිය, සමනබැද්ද, ලාහුගල, මගුල් මහා විහාරය, මුහුදු මහා විහාරය, කුඩුම්බිගල, වෙහෙරගල, වැද්දාගල, ගෝනගොල්ල, රජගම, විහාරය, හිඟුරාන මහා පිරිවෙන, බුද්ධංගල, නුවරගල තැන්න, මංගලගම, අරන්තලාව, ටැම්පිටිය, සමන්ගල ආදී පුරාවිද්‍යා ස්ථාන වෙත ළඟා වීමට හැකියාව ඇත.

නිමාලි උමයංගා දහනායක
පුරාවිද්‍යා පර්යේෂණ සහකාර.


දීඝවාපිය, සේරුවාවිල පුදබිම් සංරක්‍ෂණයට ලංකා බැංකුවෙන් අතහිත

දීඝවාපිය, සේරුවාවිල පුදබිම් සංරක්‍ෂණයට ලංකා බැංකුවෙන් අතහිත

දීඝවාපිය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹු අවස්ථාව. නන්පුරාවේ බුද්ධරක්ඛිත නාහිමි සහ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර, අමාත්‍ය පී. දයාරත්න, ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ යන මහත්වරු මෙහි වෙති.

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි දෙවැනි ගමනේදී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස දීඝවාපිය පූජා භූමිය සිංහල බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වී ඇත. දීඝවාපිය සොළොස්මස්ථානයටද අයත් වේ. දිගු ඉතිහාසයකට නෑකම් කියන මේ පූජා භූමියට අතීතයේදී අක්කර දහසය දහසක භූමි ප්‍රමාණයක් අයත්ව තිබිණි. නමුත් අද මේ භූමියට අයත් වන්නේ අක්කර 400 ක් පමණි.

දුටුගැමුණු මහනිරිඳුන්ගේ බාල සොයුරු රුවන්වැලි සෑයේ ඉතිරි වැඩ සම්පූර්ණ කර දක්‍ෂිණගිරි හා දීඝවාපි විහාර කරවූ බව වංශකතාවේ සඳහන්ය. ක්‍රි. පූ. 137 – 119 අතර රජ කළ සද්ධාතිස්ස රජු කරවූ දීඝවාපී චෛත්‍ය වැඳ පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් වෙසෙන බෞද්ධයෝ මහත් කැමැත්තක් දක්වති.

ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා පසුගිය තිස් වසර තුළ දීඝවාපී පූජා භූමිය අයත් ප්‍රදේශයට උදා වී තිබුණේ අපල කාලයකි. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේය යන බිය නිසා දීඝවාපිය වැඳ පුදා ගැනීමට යාමට බොහෝ දෙනෙකු අකමැති විය. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇත. දිනපතා සිය ගණන් බෞද්ධයෝ දීඝවාපිය වන්දනාව සඳහා යති.

දීඝවාපී පූජා භූමිය සංවර්ධනය කිරීමටත්, එහි පුරාවිද්‍යා කැනීම්වලට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දීමටත් ලංකාවේ ප්‍රමුඛතම බැංකුව එනම් ලංකා බැංකුව ඉදිරිපත් වීම සැබැවින්ම සතුටට කරුණකි. ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ පූර්ණ මැදිහත්වීම මත දීඝවාපී සංවර්ධන කටයුතු මෙන්ම පුරාවිද්‍යා කැනීම් කටයුතු සඳහා රුපියල් මිලියන 37ක් බැංකුව මගින් ලබා දී ඇත. දාගැබ් මළුවේ කැනීම්, කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම, යටිතල පහසුකම් සැපයීම, දකුණු දීඝවාපී ආරාමය සංරක්‍ෂණය කිරීම ඇතුළු කටයුතු රාශියක් සඳහා මෙම මුදල් වැය කෙරේ. මෙම කටයුත්ත සඳහා අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මූලික වී කටයුතු කරන අතර පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු සඳහා සිවිල් ආරක්‍ෂක සේවයේ භටයන් ද යොදා ගැනේ.

 සේරුවාවිල සරණකිත්ති හිමියන් විසින් ලංකා බැංකුව කරනු ලබන සේවයට උපහාර පිදූ අයුරු…

මෙරට බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් ලංකා බැංකුවෙන් සිදුකරන මෙහෙය සැබැවින්ම අගය කළ යුතුය. විශේෂයෙන්ම අන්‍යාගමික ආක්‍රමණයෙන් දීඝවාපී පුදබිම ආරක්‍ෂා කරගෙන පැරැණි ශ්‍රී විභූතිය යළි ඇතිකිරීම වෙනුවෙන් කටයුතු කිරීම ගැන ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුය. මේ සඳහා ලංකා බැංකුවේ වර්තමාන සභාපතිතුමාගෙන් ලැබෙන දායකත්වය මේ කටයුතු සාර්ථක කර ගැනීමට විශාල පිටුබලයක් වී ඇත.

දීඝවාපිය මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සේරුවිල පුදබිම නඟාසිටුවීම සඳහා ද ලංකා බැංකුව සුවිශේෂී මෙහෙවරක් සිදුකරයි. සේරුවාවිල මංගල මහා චෛත්‍යය ඉදිකරනු ලැබුවේ කාවන්තිස්ස රජු විසින් බව ඉතිහාසයේ සඳහන් වේ. මෙහි තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුවයි. ඒ නිසා සේරුවාවිල බෞද්ධයන්ට ඉතා වැදගත් පුදබිමකි. සේරුවාවිල රජමහා විහාරාධිපති සේරුවාවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සේරුවාවිල සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ උපදෙස් මත සේරුවාවිල පුදබිම වන්දනාමානය සඳහා එන බැතිමතුන් වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට ලංකා බැංකුව කටයුතු යොදා ඇත.

වසර තුනක සිට නිකිණි පොහොයට සේරුවාවිල රජමහා විහාරයේ ආලෝක පූජාව පවත්වනු ලබන්නේ ද ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙනි. මෙය ආරම්භ කෙරුණේ ලංකා බැංකුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි. සේරුවාවිල රජමහා විහාරය සංවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුව කරන සේවය ඒ ප්‍රදේශයේ ජනතාවගේ ද නොමඳ පැසසුමට ලක් වී ඇත.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: