Posted by: lrrp | October 24, 2011

අග්ගලා කන්ඩ ඕනෙ පුතා

අග්ගලකන් ඩෝං පුතා

හෙලේ නගින් ඩෝං පුතා

අපේ බුදුන් අපි වදින්ඩ

පෙරළි පෙරළි අපි වදින්ඩ

අද බැතිමතුන් සිරීපාදේ කරුණා කරන ප්‍රධාන පාරවල් තුනක් ඇත. කුරුවිට එරත්න පාර, රත්නපුර පලාබද්දල පාර සහ හැටන් නල්ලතන්නි පාර වශයෙනි. මම ඉන් මාවත් දෙකක් මුළුමනින්ම කරුණා කොට ඇත්තෙමි. කුරුවිට එරත්න පාරෙන් බටදොඹ ලෙන දක්වා පමණක් සංචාරය කොට ඇති මම, ඒ මාවත ගොස් ආඬියාමල තැන්නේදී පලාබද්දල සිට එන දුෂ්කර මාවතට එකතු වන නිසා එතැන් සිට උඩමලුව දක්වා වූ “කැලෑ පාරෙන්” ද සිරිපා කරුණා කර ඇත්තෙමි.

මගේ පළමු සිරිපා කරුණා කිරීම සිදු වූයේ 1978 වර්ෂයේදී කවුරුත් යනෙනා හැටන් – නල්ලතන්නි පාරෙන් ම ය. මා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙන ගන්නා අවධියේ මාවනැල්ලේ නඩයක් හා එක් වූ අපි පාසල් මිතුරු කල්ලිය හොඳින් පේ වී, පුවක් මලක් ගැසු ලොරි බාගයක හැටන් බලා ගොස් එතැන් සිට උඩ මලුවට ම පයින් කරුණා කෙරුවෙමු. මගේ දෙවැනි සිරිපා කරුණාව දුම්රියේ හැටන් දක්වා ගොස් නල්ලතන්නියට බස් රථයේ යාමෙන් කෙළවර විය.

සෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙක් ම එක් වතාවක් හෝ සිරිපා කරුණා කළ යුතු ම යැයි සංස්කෘතික නියෝගයක් අපේ ජනශ්‍රැතිය තුළ තිබුණි. සිරිපාදය වනාහී ලංකා භූගෝලය තුළ බිහි වී ඇති අති සුවිශේෂී ම ස්වභාවික පිහිටීමයි.

සිරිපා කරුණා කිරීම සඳහා වාරයක් අවාරයක් යෙදී ඇත්තේ ස්වාභාවධර්මයේ විධි නියාම මේ සංචාරය සමඟ යාවජීවව බැඳී පවතින නිසා ය. එහෙත් මා තෙවැනි වර සිරිපා කරුණා කළේ අවාරයේ ය. අවාරයේ සිරිපා කරුණා කරන්නට මා තෝරා ගත්තේ කවුරුත් යනෙනා හැටන් පාර නොව 2003 වර්ෂය වන විටත් බැතිමතුන් තෝරා නොගත් හේතුවෙන් වන වැදී තිබු “කැලෑ පාර” හෙවත් රත්නපුර පලාබද්දල පාරෙන් ය.

එහෙත් ලංකාවේ අතීතය සිරිපා කරුණා කොට තිබුණේ රත්නපුර පලාබද්දල පාරෙන් ය. සිරීපාදයේ පරවේණි භාරකාරත්වය පැවරී ඇත්තේ ද ඛ්ැටන් පළාත අයත් වන කන්ද උඩරටට නොව පලාබද්දල පාර අයත් වූ සබරගමු පළාතට ය. බුදුහාමුදුරුවන් සිරීපාදයට වඩින්නේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් යැයි අපි විශ්වාස කරමු. සුමන සමන් දෙයියන්ගේ අඩවිය වනාහී සබරගමුවයි.

එහෙයින් මම සබරගමුවේ මහා සමන් දේවාලයත් වන්දනා කරගෙන රත්නපුරේ සිට “සිරිපා මාවතේ” රත්නපුරා පාරේ මීහිටිය, මල්වල, ඉලුක්වත්ත, ගිලීමලේ, ඉඳුරුව, ගුරුළුවාන හරහා පලාබද්දලට සංචාරය කෙරුවෙමි. පසුදින අලුයමින් ම කරුණාව ආරම්භ කරන්නට ඇති හෙයින් එදින රාත්‍රිය පලාබද්දල රජමහා විහාරයේ නායක හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් විශ්‍රාම ශාලාවේ ගත කරන්නට මගේ කණ්ඩායමට හැකි විය. ඉර අවදි වන්නට පෙර පසු දිනට අවදි වූ අපි විහාර මලුවේ ඉදි වී තිබු කුඩා සමන් දේවාලයෙන් ද පූජා ආශිර්වාද ලැබ වන ගමනට පිටත් වීමු. ඒ දිනවල කැලෑ පාර අලුත්වැඩියා වී නො තිබුණි. සිරිපා කරුණාවට අවාරය යනු වර්ෂා සෘතුවයි. නිබඳව ඇද හැලෙන මොර සූරන වර්ෂාව හේතුකොටගෙන පඩි නො බැඳ තිබූ ධූර්ග අඩි පාර හොඳට ම අබලන් වී ඇතැයි නායක හාමුදුරුවෝ දැනුම් දුන්හ. එහෙයින් අප අතරමං වී වෙනතක යා හැකි වූ හෙයින් උන්වහන්සේ අපේ පිළිසරණයට පලාබද්දල විහාරයේ කුඩා සමන් දේවාලයට තේවා පවත්වන කපු මහත්තයාව ද අපේ මාර්ගෝපදේශක තානාන්තරයට පත් කළහ.

පලාබද්දල සිට ලිහිණි හෙලේ දක්වා දිග දුර මාවත සිමෙන්ති පඩි බැඳීම සඳහා සූදානම් කර තිබුණි. ඒ සඳහා යොදවා තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ඔවුන් දවසේ වැඩ පටන්ගන්නට ලක ලෑස්ති වන අල්ල පනල්ලේ අපි ලිහිණි හෙලේ අම්බලමට ම කරුණා කෙරුවෙමු. ලිහිණි හෙල යනු අතීතයේ කඳු කඩා වැටීමෙන් සෑදුණු භයානක මොහොරක් සහිත ගල් බෑවුමකි. අප පෙරදා පලාබද්දලට එන්නට පෙර ගිලීමලේ දී මේ හෙල ඈතින් දර්ශනය වූවේය. කඳු නැගීමේ ආශ්වාදය දැනෙන්නේ සංචාරකයා ඈත සිට දකින කන්දේ හඳුනාගත හැකි ඉසව්වකට දෙපයින් ම ඇවිද ගිය කල ය.

ගිලීමලේට පෙර මල්වලදී ම සිරීපාදය පෙනෙන්නට පටන් ගනී. වැසි රහිත කාලවල පමණක් වලාකුළුවලටත් ඉහළින් පෙනෙන සිරිපා මුදුන මල්වල ගමට දර්ශනය වන විට නරඹන්නා විඳගන්නේ සුරංගනා කථාවක ඇති අරුමැසි අසිරියක් ය. ලංකාවේ ජනශ්‍රැතිය තුළ සුරංගනා කථා ඇත්තේ අල්පයකි. ඉන් එකක් මල්වලට පෙනෙන සුන්දර සිරීපාදය මූලාශ්‍ර කොට ගෙන ගොඩනැඟී ඇත.

ලංකාවේ බොහෝ රජවරු සිරීපාදය කරුණාකර තිබුණ ද සෙල්ලිපි සාධකයක් සහිතව ඉතිහාසගත වී ඇත්තේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජ්ජුරුවන් ය. මල්වල යනු නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ මල්වත්තලු. එතුමා එහි වවා තිබු දුර්ලභ මල් වර්ග සිරීපාදයට පූජා කරන්නට වෙන් කොට තිබුණේලු. එහෙත් සමහර කාලවල රජ්ජුරුවන්ගේ මල් උයනේ මල් අතුරුදන් වන්නේලු.

රජු චර පුරුෂයින් යොදවා මේ ගැන සොයා බැලු කල දැනගන්නට ලැබුණේ රාත්‍රියට සුරංගනාවන් අවුත් උයනේ මල් නෙළා රහසින් ම ගොස් සිරීපාදයට පූජා කරන බවයි. මේ කදිම ආරංචියට ලොල් වූ රජු සේනාව ද සමඟ රාත්‍රියේ සැඟ වී සිට සුරංගනාවන් අල්ලා ගන්නට උපක්‍රම යෙදූහ. එහෙත් රාජ පුරුෂයින්ගේ අත්අඩංගුවට පත් සුරංගනාවෝ වහාම තම වෙස් හැර සමනලුන්ගේ වේෂය ගෙන සිරීපාදයට ම ඉගිළ ගියෝ ය. සිරීපාදයට සමනලුන් යන්න පටන්ගත්තේ එදා සිට යැයි මේ අපූරු කථාවේ සඳහන්ව ඇත.

උදේ කෑමට පලාබද්දලින් බැඳ දුන් බත් ගෙඩිය ලිහා ලිහිණිහෙල අම්බලමේදී කා දැමූ අපි “ළිහිණි අක්කාට” කෑ ගසන්නට හෙල මුදුනට ගියෙමු. ළිහිණි අක්කා මේ හෙලෙන් පහළට වැටී මිය ගියේලු. එහෙයින් කැලෑ පාරෙන් සිරීපාදේ යන වන්දනාකරුවන් ලිහිණි අක්කාට කෑ ගසා යාම චාරිත්‍රයක් කර ගත්තේ ය.

“ළිහිණි අක්කේ… අපි යනෝ…!”

හෙල මුදුනේ සිට මහ හඬින් ළිහිණි අක්කාට කෑ ගැසු කල ඒ හඬ කන්දේ හැපී දෝංකාර දී යළිත් අපට ම ඇසෙන්නට වෙයි. ඒ අරුමැසි දෝංකාරය විඳින්නට රුචි වූ වන්දනා නඩ මේ ඉසව්වේ ගිමන් හරින්නේ ළිහිණි අක්කාට කෑ ගැසීමෙන් ය.

වැසි සහිත කාලගුණයක ධූර්ග මාර්ගයක ගමන් කිරීම වනාහී ත්‍රාසජනක සංචාරයකි. ළිහිණි හෙලේ සිට ධර්මරාජ ගලට පඩිපෙළ දක්වා මාර්ගය බොහෝ සෙයින් අබලන් වී තිබුණි. මාර්ගය යැයි කීවාට ඇත්ත වශයෙන් ම මාර්ගයක් නො වී ය. මාර්ගය යනු පහළට ගලා එන කුඩා දොළ පාරවලට ඛාදනය වූ නිම්නයයි. ඒ නිම්න, නෙරු වල ගස් මුල් පෑදී තිබේ. ඒවාට අඩිය තියමින් දිය සෙවෙල සහිත ගල් මතට ගොඩවෙමින් වන්දනාකරුවා ඉතා දුෂ්කර භක්ති අභ්‍යාසයක නිමග්න විය යුතුය.

මේ ඉසව්වේ ගල් ගුහාවක භාවනා යෝගී ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නේ යැයි පලාබද්දල නායක හාමුදුරුවන් මට දැනුම් දී තිබුණෙන් උන්වහන්සේ බැහැදැක යාමේ අභිරුචියක් මට ඇති වී තිබේ. අපට මඟ කියා දෙන ගුරුන්නාන්සේ මේ සුසිල්වත් යථිවරයාණන් වහන්සේ දුෂ්කර භාවනා කරන ගල්ගෙය පිළිබඳ දනිතත් උන්වහන්සේගේ ධ්‍යාන සුවයට හානි වෙතැයි කියා අප ඒ වෙත ගෙන නො යන්නට වග බලා ගත්තේ ය. ගමේ ඇත්තන් උන්වහන්සේට දානය රැගෙන මේ ධූර්ගය තරණය කරන්නට කැමැත්තෙන් සිටියත් උන්වහන්සේගේ නො කැමැත්ත හේතුකොටගෙන එවැන්නක් ද සිදු නොවී පවතින්නේලු. හාමුදුරුවන් කර කොළ වළඳමින් භාවනාවේ නිමග්නව සිටින බව ගුරුන්නාන්සේ අප සමඟ කීවේය.

මේ ඉසව්වේ ඇති දුර්ලභ වෘක්ෂ ලතා අතර “කටු කිතුල් ගස්” බොහොමයක් දැකගත හැකි විය. සාමාන්‍ය කිතුලකට වඩා තරමින් කුඩා වූ මේ කිතුල් ගස්වල කඳ පුරාම ඉකිරි කටු වැනි දිග උල් කටු පිහිටා ඇත. සිංහල රජ කාලේ දඬුවම්වලට කටු ඉඹුලෙ අරින්නෙ කටු කිතුල්වලින් යැයි ගුරුන්නාන්සේ අපට කියා දෙයි.

මම “ධර්මරාජ පඩිපෙළ” අසලට පැමිණ සිටියෙමි. ඉන්දියාවේ සිට ආ ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු මේ ගල් පඩි කොට සිරීපාදයට පූජා කොට ඇතැයි ජනශ්‍රැතියේ සඳහන්ව ඇත. ධර්මරාජ පඩිපෙළේ ඇති චාරිත්‍රය නම් එහි ඇති ගල් පඩි ගැනීමයි. “ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගනිමු” කියා පැරණි ගීතයක් ඇත්තේ ද මේ සෙල්ලම පිළිබඳව ය. දුෂ්කර කඳු තරණය කළ ගැමියා එහි තිබු දුෂ්කර බව අමතකව යන්නට තැනින් තැන වෙනත් අරමුණකට හිත ගෙන යන සන්සිද්ධීන් සොයා ගනී. ළිහිණි අක්කාට කෑ ගැසීම සහ ධර්මරාජ ගල් පඩි ගැනීමත් එබඳු චාරිත්‍රයකි. හත්දින්නත් තරු කියන්නේ කවදාවත් පියවි ඇසින් බලා ගණින්නට බැරි තරු හතක පොකුරක් යැයි අපට පොඩි කාලේ කියා දී තිබුණි. එවැනි ම විශ්වාසයක් ධර්මරාජ ගල්පඩිවලට ද ඇත. ධර්මරාජ ගලේ ගල් පඩි කවදාවත්, කිසිවෙකුටවත් ගණින්නට බැරිලු. මම විඩාව යන්නටත් එක්ක ම මේ ගලේ කොටා ඇති ගල් පඩි ගණින්නට පටන් ගත්තෙමි. කාරණාව සැබෑ ය. එය මට වරදින්නේ ය. සමහර ගල් පඩි එකක් ද දෙකක් ද කියා නිශ්චය කර ගැනීමට නො හැක. සමහර තැනක පඩි ඇත ද නැත ද කියා සිතා ගැනීම ද දුෂ්කර ය.

අපේ නඩය දස දෙනෙකුගෙන් පමණ සමන්විත ය. කෝසල මකුලොලුව වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ය. ලලිත් මඩිහේ ගජමන් කැමරා ශිල්පියා ය. මනෝජ් ලක්සිරි මගේ දුකට සැපට සිටින ගමන් සගයා වූ වේෂ නිරූපණ ශිල්පියා ය. මේ ස්වර්ණවාහිනි මාධ්‍ය කණ්ඩායමේ නිෂ්පාදන කළමනාකාර වරයා වූ උපුල් මංජුලට හොඳට රසට ඉවුම් පිහුම් ද කළ හැක. හයිය හත්ති අර්ජුනගේ කරේ ඇති මල්ලේ හාල් තුනපහ ද, එළවළු කරවල ද තිබේ. තව එකෙකු අත කුඩා ගෑස් ළිපක් ද තිබුණෙන් අපි ධර්මරාජ ගල්පඩි මණ්ඩියේදී දිවා භෝජනය උයාගෙන කෑවෙමු.

ඒ වන විට බොහෝ සවස් වී තිබුණෙන් අපට පය ඉස්සර කරන්න සිදුවිය. තවම ගමනින් තුනෙන් එකක්වත් අප පසුකර තිබුණේ නැත. ඉඳිකටුපානේ අම්බලමේ තහඩු ගැලවී තිබුණත් ඒ ඉසව්ව රැය පහන් කිරීමට සුදුසු යැයි ගුරුන්නාන්සේ තීරණය කර තිබුණි. අප හැම කෙනෙකුගේම කරේ තම තමන්ගේ බඩු පොදි තිබු අතර හැම කරකම Sleeping Bag එක ගණනේ ද විය. වහලක් නැති වැස්සක හෝ මේ මෙට්ට බෑගය තුළට රිංගා ගත් කළ හොඳින් නිදාගත හැකි බව දුෂ්කර සංචාරකයෝ අත්දැකීමෙන් දනිති.

“ගජමන් අම්බලම” යනු ගජමන් නෝනා සිරිපා වන්දනාකරුවන්ට තනා දුන් අම්බලම යැයි ජන කථාවක් තිබුණ ද එහි ඇත්තේ වෙනත් නිරුක්තියක් විය යුතු යැයි මම විශ්වාස කරමි. “ගජ මං” යනු “අලි මංකඩ” නැතහොත් “අලි මඟ” හෝ “අලි පාර” විය යුතු ය. මගේ හුරුපුරුදු කැමරා ශිල්පියාගේ නමත් ලලිත් මඩිහේ ගජමන් ය. ඔහු නම් විශ්වාස කරන්නේ තම පරම්පරාවේ ගජමන් නෝනා විසින් තනා දුන් අම්බලම මෙය විය යුතු බවයි. එහෙත් දැන් ගජමන් අම්බලම වල් බිහි වී ඇත. අප ගමන් කරන දුෂ්කර අඩි පාරට එපිටින් ඇති වන බූටෑවේ අතීතයේ තිබු අම්බලමක බිත්ති තවමත් පෙනෙන්නට තිබේ. හොඳට ම ගොම්මන් වී ඇති අල්ල පනල්ලේ ගජමන් අම්බලමේ සුන්බුන් රූපගත කරන්නට තැත් දැරූ අපට මගේ මතය ඔප්පු වන සාධකයක් හමුවිය. මේ වන බූටෑවේ නොසෙල්වී සිටි හස්තිරාජයකු අපට දැක ගත හැකි විය. ඌ හෙමින් සීරුවේ මේ මඟ පියමැන යන්නට ගියේය.

“දැක්කද මම කීවේ බොරු ද? මේක තාමත් ගජ මඟක් ම තමයි. ඒකයි ගජමං කීවේ” මම ලලිත්ට කීවෙමි,

මින් එහාට ගමන් කිරීම ඉතා ම දුෂ්කරය. බලාපොරොත්තු වූ ඉසව්වට කලින් අඳුර ගලා ආවෙන් අප හැමෝගේ ම නළලේ බැඳගත් කුඩා ටෝච් එළිය අපට හව්හරණ සැපයීය. මේ වන විට මහ වැසි බොහොමයකට තෙමී සිටි අපි රුදුරු ශීතලයෙන් වෙව්ලමින් සිටියෙමු.

උපුල් මංජුල නිවැරැදි වෙලාව බලා අග්ගලා මල්ල ලිහුවේය. සිරීපාදේ කරුණා කරන අය අග්ගලා කන්නේ හීතල යන්නය. ඒවා ගම්මිරිස් කොටා තදට අඹරා හදා තිබු නිට්ටඹුවේ අග්ගලා ය. “හීතල යන්ඩ නං අග්ගලා කන්ඩ ඕනෙ පුතා” කියා මම කීවෙමි. මට මේ වචනය කියා දුන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ය. “අග්ගලා කන් ඩෝං පුතා” කියන යෙදුම හැදුනේ “අග්ගල කන්ඩ ඕනෙ පුතා” කියන යෙදුමෙන්. “හෙලේ නගින්ඩ ඕනෙ පුතා” යන කියමන පසු කාලීනව “හෙලේ නගින් ඩෝං පුතා” විය. ගම්මිරිස් සැරට අග්ගලා කා සීත දුරු කරගත් අපේ නඩය තව තවත් වැසිවල තෙමෙමින්, සීතලයේ වෙව්ලමින්, අන්ධකාරයේ අතපත ගාමින්, වැටෙමින්, නැගිටිමින් මධ්‍යම රැයට ආසන්නව හැරමිටිපානට සේන්දු විය. අම්බලමක් ඇත. එහෙත් වහලය කැඩී ඇත. මොර සූරන වැස්සේ මේ රැය පහන් වූ ආකාරය ඉතාම ත්‍රාසජනක ය.

සිරිපා අඩවියේදී බේකන් කා මත්පැන් බිව් සුද්දාගේ නින්දට වනසතුන්ගෙන් බාධා

සිරිපා අඩවියේ හාස්කම් නිසා සමන් දෙවිදුන්ට ඉමහත් භක්තියක් බෞද්ධ ජනතාවගේ අදටත් ඇත. සංකීර්ණ නොවූ අතීත ජන සමාජයේ දී සිරිපා අඩවියට හෙවත් හිමේට කවුරුන් හෝ පා තබන්නේ නම් කට වරද්දා නොගැනීමට වගබලා ගත්හ. ගමේ ගොඬේ කඬේ පිලේ කටමැත දෙඩවූවන් පවා සිරිපා හිමේ කරුණා කරද්දී තම කට පරිස්සම් කරගන්නට කටයුතු කළේ මේ අඩවියේ අනුහස් ගැන හො`දින් දැනගෙනය.මීට වසර එකසිය පනහකට පෙර දී සිරිපා කරුණා කිරීම අතිශයින්ම බැරෑරුම් කටයුත්තක් විය. ආඩියාමළතැන්න තෙක් යන මග තිබූ බාධක ජයගෙන යාහැකි වුවත් එතැන් සිට සිරිපා මලූව දක්වා යන ගමන ජීවිතයත් මරණයත් අතර සටනක් වැනිය. කෙනෙකු තුළ ඇති භක්තිය සහ ශ‍්‍රද්ධාව නිසාම මෙම දුෂ්කර මග ගෙවා මලූවට කරුණා කරතියි විශ්වාසයක් එදා පැවතුනි.මහගිරිදඹය ලෙස හැදින්වෙන මෙම කොටස අදනම් ගල්පඩි බැද අත්වැල් බැද පහසුවෙන් යාහැකි ලෙස තනා තිබේ. නමුත් ඒ යකඩ දම්වැල්වල එල්ලී යකඩ ඉනිමංවල නැගී යා යුතු ගමනක් විය. රත්නපුර පාරේ ඇහැළකනුව අසලින් ඉහළට නගින්නට එදා තිබුනේ ඉතාමත් අවදානමකි. යකඩ ඉනිමග ඔස්සේ නගින්නට බහින්ට තිබූ අතර හො`ද කාලගුණ තත්ත්වයන් තිබුණොත් බාධාවකින් තොරව ගමන් කරන්නට හැකිවිය.

අධික සුළගද ඇතැම් අවස්ථාවල ගමනට බාධා ගෙන දුන්නේය. අවස්ථා කිහිපයකම මෙම ස්ථානයෙන් පහළ මහා ප‍්‍රපාතයට වැටී කිහිපදෙනෙක්ම මියගිය බවට සිරිපා සංචාරය කළ දේශගවේශකයන්ගේ සටහන්වල දැක්වේ. 1817 වර්ෂයේ දී දෙදෙනෙකු එතැනින් පහළට වැටී ජීවතක්‍ෂයට පත්වූ කතා පුවතක් ආචාර්ය ඬේව් විසින් කළ සටහනක දැක්වේ. 1944 දී කිංස්ටන් නමැති යුරෝපීය ජාතිකයා ප‍්‍රමුඛ පිරිසක් සිරිපා කරුණාකරද්දී මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් ගැන පසුකලක විලියම් ස්කින්ස් සටහන්කර තිබුනේ ඔහුගේ ‘‘ඇඩම්ස්පීක්’’ පොතේය.සිරිපා අඩවිය ගැන බෞද්ධයන් දැක්වූ ඇතැම් විශ්වාස බටහිර රටවල ජනතාව විශ්වාස නොකළහ. එකල මේ රට පාලනය කළ ඇතැම් සුදු පාලකයන් සිරිපා කරුණා කරන්නට ඇති ආශාව නිසා එහි පැමිණිය ද ඔවුන් තමන්ගේ සුපුරුදු චාරිත‍්‍ර අත්නොහැරියේය.මේ නිසා මත්පැන්, මාංශමය ආහාර ආදිය සිරිපා අඩවියට රැුගෙන යාමට ඔවුන් අමතක නොකළහ. කිංස්ටන් මේ සිරිපා ගමනේ දී තම ප‍්‍රයෝජනයට බ‍්‍රැන්ඩි සහ බියර් වැනි පිටරට නිෂ්පාදිත මත්පැන් වර්ගද බේකන් ද රැුගෙන ගොස් තිබුණි. මේවා සිරිපා අඩවියට අකැප දේවල් යැයි ඔහුට කියන්නට එදා ඔහුගේ ගමනට එක්ව සිටි අතවැසියෝ බියවූහ.පිරිස පලාබද්දල පාරේ දියබෙත්මේ තිබූ අම්බලමේ එක් දිනක් රාත‍්‍රිය ගත කරන්නට තෝරාගෙන තිබුණේ එතැනට එනවිට සවස් වී තිබූ නිසාය.

මේ අම්බලමේ මැස්සක් කිංස්ටන්ට අලූතින් සාදා තිබුණි. ඔහු බේකන් සමග පාන් කෑල්ලක් කා බ‍්‍රැන්ඩි ටිකක් පානය කර නින්දට යන්නට මැස්සේ වැතිරුන ද රාත‍්‍රිය පුරාම ඔහුට නොයෙක් විකාර ශබ්ද මෙන්ම රූප ද පෙනෙන්නට විය.ඔහු සමග ගමනට එක්ව සිටි අතවැසි සියලූ දෙනා අම්බලමේ ගෙබිම මත තද ශීතලේ ගුලිවී ගොර අදිමින් නිදද්දී කිංස්ටන් මැස්සේ ඒ මේ අත පෙරළෙන්නට විය. නින්ද යාගෙන එද්දී අම්බලමේ බිත්තිය එහා පැත්තේ වල් අලින්ගේ හ`ඩින් තිගැස්සී අවදිවෙයි. අම්බලමක් නිසා දොර ජනෙල් එහි නොවීම  කිංස්ටන්ගේ බිය තවතවත් වැඩි වන්නට විය. කල්පනාවේ සිටියදී යළිත් යන්තම් දෑස් පියවෙන විට ඔහු තිගැස්සි අවදිවූයේ චීටාගේ හඩ ඇසීමෙනි. මේ ආකාරයට කැලෑ බළලූන් වලි කුකුල්ලූ හා වෙනත් සතුන්ගේ කෑ ගැසීම් නිසා කිංස්ටන් එදින රැය පහන් කළේ නිදි වර්ජිතවය. මේ හඩවලට ඔහු කොතරම් බියවීද යත් ඔහුගේ බස්තම අත ආසන්නයේ තබාගෙන මැස්සේ වැතිර සිටියේය. නමුත් ඔහුගේ අතවැසියන් කිසිවෙකුටත් මේ ශබ්ද නොඇසී තිබූ අතර ඔවුන්ට හොදින් නින්දගොස් තිබුණි.ඔහු සමග ගිය සෙසු අතවැසියන් කීවේ සිරිපා අඩවියේ අකැප දේවල් අනුභව කිරීම විකාර පෙනෙන්නට හේතුවක් වන්නට ඇතිබවයි. මේ අතර සිරිපා අඩවියට ආසන්නව යම් වැදගත් පුද්ගලයෙක් ජීවත් වෙද්දී යමෙකුට රාත‍්‍රියේ තුන්වරක් මහා හඩක් ඇසුනොත් එකී වැදගත් පුද්ගලයාගේ මරණය සිදුවන බවට දැනට වසර එකසිය පනහත් දෙසීයත් අතර කාලයක විශ්වාසයක්ව පැවතිනි.

1836දී  ශ‍්‍රීපාදස්ථානාධිපති ගාල්ලේ නාහිමියගේ සහ 1858දී ශ‍්‍රීපාදස්ථානාධිපති හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන්ගේ අපවත්වීම්වලට දින කිහිපයකට පෙර මෙවැනි හඩවල් ඇසුන බවත්  ජනප‍්‍රවාදයේ එයි. සිරිපා අඩවියේ දී සමන් දෙවිදුන් හෝ බුදුදහම නොපිළිගන්නා අයට විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදුවේ. ඒවා ජීවිත හානි නොවුණත් ජීවිතයේ මතක හිටින පාඩම් බව සිරිපා අඩවිය අවට ගැමියන්ගේ විශ්වාසයයි.යටත්විජිත සමයේ පලාබද්දල පාරෙන් සිරිපා කරුණා කරන්නට ගිය රට පාලනය කළ යුරෝපීයයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුට වූ අකරතැබ්බක් ගැන ජනප‍්‍රවාදයේ එයි. මේ කතාපුවතට වසර එකසිය පනහකට වැඩි මිස අඩු නොවන්නට ඇති බව විශ්වාසයයි.දින ගණනාවක් පයින් පැමිණි මේ පිරිස අත තිබූ ආහාරවල මාංශ වර්ග අවසන්වී තිබුණි. මේ ගැන නිතර නිතර ඉංග‍්‍රීසි භාෂාවෙන් කතා කරමින් සීතගගුලට ආ පිරිසට සීතගගුලේ දියේ සිටින විශාල කකුලූවන් දැක උන් අල්ලාගෙන කෑමේ ආශාවක් ඇතිවී තිබේ. කකුලූවන් ඇල්ලීම හොද නැති දෙයක් බවත් ඔවුන්ට දන්න ඉංග‍්‍රීසියෙන් ඔහු සමග ගිය පිරිස ඒත්තු ගැන්වීමට ගත් උත්සාහය ඵලක් නොවීය. සුද්දෝ කකුලූවෝ අල්ලා ඔහු සමග ගිය පිරිස ලවා පිසීය. කකුලූවන් ආහාරයට ගන්නට පෙර සීතගගුලෙන් දිය නාන්නට අවශ්‍ය විය. වන්දනා සමයක් වූ නිසා සීතගගුලේ බැතිමතුන් පිරිස වැඩිවිය. එක් සුද්දෙක් බැතිමතුන් දිය නාන වළටත්, පඩුරු බදින වැල්වලට උඩින් පිහිටි වළට ගියේ දිය නාන්නය. ඔහු සමග සහායකයෙක් ද ගියේය. දියට බැස්ස ඔහුට සිදුවූයේ මහා අකරතැබ්බකි.දනක් වතුර ඇති තැනකට බැස්සද ඔහුගේ පය ටික ටික ලිස්සා ඉන වටක් වතුරට ගිලී ගියේය. සුද්දා ලිස්සන නිසා සහායකයා ඔහුට අතදී උඩට ගන්නට උත්සාහ කළේය. සුද්දාගේ ඇ ගමතට සහායකයා වැටිණි. දෙදෙනාම දියේ ගැඹුරට ගසාගෙන යන්නට වු අතර පසුව සහායකයා ගොඩට ඇවිත් සුද්දා බේරාගත් බව කියැවේ.

හැටන් පාරෙදි හමුවන සීත ගගුල
පලාබද්දල මාර්ගයේ ඇති පාලමක්
මීදුමට අඩක් වැසුන සිරිපා මලූව
(ලංකාදීප)

කටකාර තරුණයා හිමේ අතර මං කළ ”කළු ගුලිය”

සිරිපා අඩවිය මහානුභාව සම්පන්නය. සිල්වත් බවින් මිදුන බොහෝ දෙනකුට මේ භූමිය ගෙන එන්නේ අසුබ ඵල යැයි විශ්වාසයක් පවතී. සිරිපා අඩවියට අරක්ගත් සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් දෙවි කෙනෙක් බවට බෞද්ධ ජනතාව අතර විශ්වාසයක් පවතී.

බුදුන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි සමනොළ කන්ද පිහිටියේ මේ අඩවියේ නිසා ‘‘සිරිපා අඩවිය’’, ‘‘සමනොළ අඩවිය’’, ‘‘හිමේ’’ යන විවිධ නම්වලින් මේ ප‍්‍රදේශය හ`දුන්වයි.

සමනොළ කන්ද මුදුනේ බුදුරදුන්ගේ සිරිපා සටහන ලෙස බෞද්ධයන් වැද පුදන අතර හින්දුන් සලකන්නේ ‘‘ශවනොලි පාදම්’’ ලෙසය. එනම් හින්දුන්ගේ වන්දනාමානයට පත්වූ ‘‘ශිව’’දෙවි`දු පැමිණි ස්ථානයක් ලෙසය. එසේම මුස්ලිම්වරු ‘‘ආදම්ගේ පා’’ සලකුණ මෙහි ඇතැයි සලකා වන්දනාමාන කිරීමට පැමිණෙති.

මේ කවුරු ආවත් සිරිපා අඩවියට පැමිණිය යුත්තේ සියලූ දුසිරිත්වලින් වැළකීමෙන්ය. ඒ නිසා සිරිපා අඩවිය ශුද්ධ භූමියකැයි යන මතය ජනතාවගෙන් ඈත් කළ නොහැක. අශුද්ධවන්තයන්ට හෝ කට වරද්දා ගන්නා පුද්ගලයන්ට මේ අඩවියේ දී විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදුවූ කතා පුවත් සිරිපා අඩවිය අවට විවිධ ප‍්‍රදේශවලින් විවිධ ආකාරයෙන් අසන්නට ලැබේ.

වර්තමානය වන විට මේ කතා අසා ඇති අය අල්පය. එවැනි තොරතුරු රැුස් කර තබා ගැනීමට සිරිපා අඩවිය අවට ගම් රැුසකම කළ චාරිකාවක දී සටහන් කරගත් සිදු වීම් නම් බොහෝය.

සිරිපා වන්දනාවේ යන ප‍්‍රධාන මාර්ගවලට අතිරේකව ඇති මාර්ගයක් වන්නේ බෙළිහුල්ඔය, ගලගම ආදී ප‍්‍රදේශවල ජනතාව සිරිපා වන්දනාවේ යන මාර්ගයයි. බෙලිහුල්ඔයෙන් හෝටන්තැන්න මාර්ගය ලෙස සමහරු මෙම මාර්ගය හදුන්වති.

බෙලිහුල්ඔය, කුඹුරුතැනිවල, ගලපොතුතැන්න, දිඹුල්ගස්තැන්න, නාගරැුක් (නැග්රැක්) වතු යායට වැටී එතැනින් හෝටන්තැන්න හරහා ගලා එන බෙලිහුල්ඔයෙන් එගොඩවී සීතාඑළිය කැලෑව හරහා බගවන්තලාවට ගොස් එතැනින් කොටියාගල මස්කෙළිය හරහා යන පාරක් ද ඇත.

මෙය සම්පූර්ණයෙන්ම පයින් යා යුතු ගමනකි. මේ ගමනේ දී සිරිපා අඩවියට ඇතුළු වුණ සමහරුන්ට අත් විදින්ට වූයේ අමිහිරි අත්දැකීම්වලටය. බෙලිහුල්ඔයෙන් එහා බගවන්තලාව තෙක් හිසට සෙවණක් නැත. ඒ නිසා ගිමන් හරින්නේත් නවාතැන් ගන්නේත් ගස් යටය. විශේෂයෙන් මේ මාර්ගයෙන් වංශවත් මෙන්ම ධනවත් දෙමළ හෙට්ටි ජනතාව ද සිරිපා ගමන් කිරීම සිරිතක් කරගෙන තිබුණි. අතවැසියන් සමග ඔවුන් මේ ගමන යාම පුරුද්දකි. එහෙත් අසූනවයේ ජාතිවාදී ගැටුම්වලින් පසු මෙම මාර්ගයෙන් සිරිපා වන්දනාවේ යෑම නඩයකට දෙකකට සීමා විය.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ.

ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.

මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය.

මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය.  සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බි`දින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ.

ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ.

එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි  සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි.

මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.

සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ.

මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී.

එමෙන්ම රත්නපුර පැරණිි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැ`ද සිරිපා ව`දින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.

නරහින්වලින් එගොඩවූ විට එකල තිබී ඇත්තේ මහ මූකලානයි. මේ මහ මූකලානේ පිහිටි අලහේන්තැන්න ප‍්‍රදේශය නිස්සංකමල්ල රජුගේ මල්වත්ත යැයි විශ්වාසයක් පවතී.

සිරිපා ගමන් මගේ කුරුවිටින් ඇති එරත්න පාරේ සිරිපා අඩවියේ මායිම ලෙස සමහරු හදුන්වන්නේ ජම්බලගස්යට අම්බලමයි. එතැනින් ඉදිරියට යන්නේ පන්සිල් සමාදන් වීමෙන් පසුවය. එසේ ඉදිරියට යන විට වර්ණගල හමු වෙයි. වර්ණගල අම්බලම අසලින් දකුණට ඇති අඩි පාර දිගේ ගිය විට කුරුග`ග දිස්වේ. එම අඩි පාරේ ගිය විට කුරුගෙග් දී අලංකාර දිය ඇල්ලක් හමු වෙයි. එය මන්නකැති ඇල්ල ලෙස ද හදුන්වයි.

මේ මන්නකැති දිය ඇල්ල අලංකාර, දර්ශනීය වගේම බිලිගන්නා තැනක් ලෙස සමහරු විශ්වාස කරති. මීට වසර විස්සකට විසිපහකට ඉහත දී සිරිපා වන්දනාවේ යාමට පැමිණි කොළඹ කෝට්ටේ ප‍්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් මත් වතුර පානය කර එහි දිය නෑමට ගොස් එක් තරුණයකු අතුරුදන් විය. දින ගණනකට පසු නාවික හමුදාවෙන් පැමිණ ඔහුගේ සිරුර ගොඩ ගන්නා විටත් නරක්වී තිබුණි. සමනොළ අඩවියේ අකැප දේවල් කරන බොහෝ දෙනකුට අත්වන්නේ මෙවැනි ඉරණම් බව වැඩි දෙනාගේ අදහසයි.

එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා

(ලංකාදීප)

කළු මිනිසකුගේ වේශයෙන් වාඩියට පැන්න කොටියා

සිරිපා හිමේ හාස්කම් ගැන කතා කරද්දී සිරිපා කරුණා කරන්නට ඇති මාර්ග හතෙන් යන එන අයට සිදුවු අපුරු සිදුවීම්ද ජනප‍්‍රවාදයේ පවතී.

සිරිපා කරුණා කරන මාර්ග හතක් ඇතත් ඉන් ප‍්‍රධානත්වය ගන්නේ තුනකි. නල්ලතන්නිය- හැටන් මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය එම ප‍්‍රධාන මාර්ගයි.

දෙහෙනකන්ද- මූක්කුවත්ත මාර්ගය, දැරණියගල මාලිබොඩ මාර්ගය, ඌව මාර්ගය හෙවත් හපුතලේ විහාරතැන්න මාර්ගය සහ මරේවත්ත හරහා රාජමලේ මාර්ගය සෙසු මාර්ගයි.

1987 වර්ෂයට පෙර, සිරිපා වන්දනා වාරය ආරම්භ කරන බව සංකේතවත් කරන සුමන සමන් දෙවියන්ගේ රූපය වැඩම කළේ රත්නපුර ශ‍්‍රී පලාබද්දල රජමහා විහාරයේ සිටය. අදමෙන් වැඩි කලඑළියක් නොතිබුණද උදුවප් මහේ පුර පොහෝය දිනයට පෙර දිනයේ මළුවට වැඩම කරවන ලද්දේ ද ඊළග අවුරුද්දේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පසුවදා සිරිපා සමය අවසන් කර සමන්දෙව්රුව ආපසු වැඩම කරවන ලද්දේ ද අභිමානවත්වු පෙරහරකිනි.

සිරිපා වන්දනා වාරය ආරම්භ වීමට නියමිත උදුවප් මාසයේ පුර පසළොස්වක පොහොය දිනට පෙර මෙම මාර්ග වන්දනාකරුවන්ගේ පහසුව පිණිස එළිපෙහෙළි කිරීම ඒ මාර්ග පළමුවෙන් හමුවන ගම්මානවල වැසියන් විසින් ස්වේච්ඡුාවෙන් සිදු කිරිම අතීතයේ සිරිතක්ව තිබු බව පැරැණ්නෝ කියති. අද නම් ප‍්‍රධාන මාර්ගතුන එළිපෙහෙළි කරන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙනි.

මේ අකාරයට කලකට ඉහතදී මාලිබොඩ මාර්ගය සිරිපා වන්දනා වාරයට පෙර එළිපෙහෙළි කරන්නට ගමේ වැඩිහිටියන් පිරිසක් පියවර ගත්හ ඔවුන්ට සහායට තරුණයන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ. ගල්ලෙන්වල නැවතී උයා පිහාගෙන කා මේ මාර්ගය එළි පෙහෙළි කිරීම වැසියන්ගේ සිරිතකි.

වලේබඩ මාර්ගය දෙමළමළහීීන්නේදි සිරිපා මලූවට යන එරත්න පාරට එක්වෙයි. එතැන සිට මාලිබොඩට එළිපෙහෙලි කිරීම මාලිබොඩ වැසියන් විසින් සිදුකරනු ලබයි. දෙමළමළහීන්නෙන් පටන්ගෙන පහළට එළිකරගෙන ඒම සාමාන්‍ය සිරිතයි. දින දෙකක් ගතවන මේ වැඩයට රාත‍්‍රී නවාතැන් ගෙන වැඩ අවසන්කර ආපසු ඒම ඒ කණ්ඩායමේ සිරිතයි. එසේ නවතින්නේ මාර්ගයේ ඇති ‘‘විලේලෙන’’ සහ ‘‘ගෙග්ලෙන’’ නමින් හදුන්වන ගල්ලෙන් දෙකේය.

ආහාර පිසීමේදී පිළී වර්ග භාවිත නොකරන අතර අඩුම තරමින් මළ ගෙදරක්වු නිවසක කෙනෙක් එකි මරණය සිදුවී මාස තුනක් ගතවී නැත්නම් මෙම කටයුතුවලට සාභාගි නොවේ.

-එක ගමනක් පාර සුද්ද කරන්න ගමේ අය ගියා. ? වෙනකම් පාර සුද්දකරලා දෙවෙනි දවසේ රාත‍්‍රිය ගතකරන ‘‘ගෙග්ලෙනට’’ එන්න හම්බවුණේ නෑ මහ ධාරානිපාත වැස්සක් වැහැලා ග`ග ගැලූවා. එගොඩ හිටිය කට්ටිය බඩගින්නෙම ‘‘විලේලෙනේ’’ රැය පහන් කළා. හේතුව හොයලා බලද්දී මළගෙදරක් වුණ ගෙදරක කෙනෙක් ගිහිං ඉදිම කියල ඒ අයට අවබෝධ වෙලා තිබුණා”.

ඒ වගේම තමයි ‘‘හිමේ’’ ගරන්න කියලා පිටස්තරින් ආව කට්ටියක් ගමේ කිහිප දෙනෙකුත් එක්ක කැලේට ගියා. වලමිමැටිවිළකෙළවර හිමේ වත්ත කිට්ටුවට තමයි  මේ ආපු අය හරක් මසුත් අරං ගරන්න  ගිහිං තියෙන්නේ.  කොහොමහරි මේ අය වාඩියක් ගහගෙන නතරවෙලා.  අර ගෙනාපු මසුත් උයාගෙන කාලා. මස් ගෙනාපු කෙනා වාඩියෙන් එළියේ ඉන්නැද්දී කළු මිනිහෙක් වාඩියට එනවා දැකලා. වාඩියට ගිහින් බලද්දී වාඩිය ඇතුලේ සේරම විනාශ කරලාලූ. මිනිහා හොදටම බයවෙලා. ගමේන් ගිය අය කිව්වාලූ ඒ කොටියා තමා ඇවිත් තියෙන්නේ කියලා. ඒ ඇහුවම අර මිනිහට උණ ගැනිලා. එවේලේම ආපහු එන්න පිටත්වෙලා. ඒ වුනාට ගමට එන පාර කිහිප සැරයක්ම වරද්දලා. උණ හැදුන මනුස්සයා ගමේදි විකාර කියවන්න පටන් අරං. ආපු මිනිස්සු ඒ කෙනා එක්කං ගියා ගියාමලූ. ඊට පස්සේ මිනිහට වුණ දෙයක් දන්නේ නැතිලූ.

ඒ වගේම කට වරද්දාගැනීම ද සිරිපා අඩවියේදි නොකළ යුත්තක් බව පරැුන්නන්ගේ විශ්වාසයයි. වරක් ගමෙන් ගිය වන්දනා නඩයක හිටිය මැදිවියේ මවක් සිරිපා මළුව පෙනෙද්දී ‘‘අනේ මටනම් බෑ’’ කියලා පාරේ පඩියක වාඩි වුණ බවත් ඇය බෙඞ්ෂීට් එකක දෙපැත්තට ලීයක් දමා එහි හොවා හැරමිටිපානට එනතෙක උස්සන් ආබවත් අතීත මතක සිහිපත් කරමින් ගැමියෙක් පැවසීය.

දශක ගණනාවක් සිරිපා මළුවේ මුරකරුවකු ලෙස සේවය කළ පලාබත්ගල ගමේ කේ.පී.කර්තේලිස් මහතා මීට වසර කිහිපයකට පෙර මට හමුවිය. ඒ වන විටත් ජිවිතයේ සැදෑ සමය ගෙවමින් සිටි ඔහු ඉතා ප‍්‍රිමනාපයෙන් යුතුව මා සමග සිරිපා අඩවියේ අමතක නොවන සිදුවීම් රැසක් පැවසුවේය. මේ වන විට ඔහු ජිවතුන් අතර නැතත් ඔහුගේ කතාවල සටහන් මා සතුව ඇත.

පලාබත්ගලින් සිරිපා මළුවට යන අඩිපාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට වන්දනාකරුවන්ට ගිමන් හරින්නට තැනු මැස්සක් විය. ඒ මැස්සේ හරිබරි ගැහී ඔහු කතා කරන්නට විය.

‘‘මම දැන් වසය හින්දා මට දින වකවානු හරියට නිච්චි නෑ. මතකේ හැටියට හතළිස් දෙකේ විතර වෙන්න ඇති. සිරිපා වන්දනා වාරය ඉවර කරලා පෙරහරින් සමන්දේව රූපය පලාබත්ගල පන්සලට වැඩම කරවනවා. මේ ගමන හරිම වෙහෙසකර එකක්. ඉතින් පෙරහරේ ආපු පිරිසට මහන්සි හින්දා පලාබත්ගල ජේමිස් මුදලාලිගෙ කඬේ ළග ටිකක් ගිමන් හැරලා යමු කියලා කට්ටිය යෝජනා කළා. සමන් දෙවියන්ගේ රූපය සහිත බර කරේ තියගෙන හිටපු කෙනා ඒක කඬේ මැස්සක් උඩ තිබ්බා.’’

‘‘ගිමන් හරින්න ගතවුනේ කෙටි කාලයයි. එකපාරටම අහස අදුරු කළා. මහ හුළගක් ආවා. අනෝරා වැස්සක් පටන් ගත්තා. දැන් වහිනවා වහිනවා පායන්නෙම නෑ. කාටවත් මොකද වුණේ කියලා හිතාගන්න බෑ. වැස්ස එන්න එන්නම වැඩියි. ගස් කරකවලා හුළග හමනවා. අකුණු ගහනවා’’

‘‘කපු මහත්තුරුයි ආපු හැමෝමයි කතාවෙනවා මොකද එහෙම වුණේ කියලා. පස්සේ බලද්දී සමන්දෙවි හාමුදුරුවන්ගේ රූපෙ තියලා තිබුණේ කඬේ කරවල මැස්ස උඩ. ඊට පස්සේ පිරිස අතර හිටිය කෙනෙක්  ස`දුන් කිරිපැන් ටිකක් හදලා සමන්දෙවි පිළිමය ඒ හදුන් කිරිපැන්වලින් නෑව්වා. නාවලා ඒ මනුස්සයා පිළිමය කර තියාගත්තා. ඊට පස්සේ තමයි වැස්ස තුරල් වුණේ.’’

කර්තේලිස් සීයා මේ කතාව කියන අතර තුර ඔහු තමන්ගේ රැළිවැටුණ හම ඇති අත පෙන්වමින් ‘‘ඒ සිද්ධිය මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා මහත්තයෝ’’ යැයි දත්නැති කටින් කී ආකාරයට මට අද ද හොදට මතකය.

ඒ වගේමයි සමහර මිනිස්සු වැරදි කරලා සිරිපා අඩවියේ හැංගිලා ඉන්න පුලූවන් කියලා හිතනවා. එහෙම හිතලා එනවා. ඒවුනාට ඒ අයට මෙහෙ ඉන්නබෑ. කර්තේලිස් සීයා තවත් අපූරු කතාවකට මුලපිරුවේය.

‘‘මේ සිද්ධියෙ දින වකවානු මට මතක නෑ. පල්ලෙහා දිහා මනුස්සෙක් අවාරේ සිරිපා කරුණා කරන්න කියලා ගමට ආවා. අවාරේ සිරිපා කරුණා කරනවා කියන එක හරිම අවදානම්. මොකද මිනිස් පුලූටක් නෑ. සතා සරුපයෝ නිතරම එහා මෙහා යනවා. ඒ කාලේ ඒ ඇත්තන්ගේ වාරෙනේ.’’

‘‘මේ මනුස්සය ගමට ආපු වෙලාවෙ පන්සලේ ලොකු හාමුදුරුවො අහල ඇයි අවාරෙ යන්නේ. වැසක් එහෙම ආවෝත් අතරමං වෙයි. අම්බලම් නෑ. නොයන එක හොදයි කියලා. නමුත් මිනිහා ගණන් අරං නෑ. මිනිහා මළුවට යනවා කියලා ගියා. හැබැයි ආපහු අවේ නෑ. පස්සේ හොරණ දිහා මිනිස්සු වගයක් මාසයකට දෙකකට විතර පස්සේ අර මනුස්සයා හොයාගෙන ආවා. ඇඳගෙන හිටපු ඇඳුම්වල පාටිනුත් කියපු හැඩහුරුකමිනුත් මේ කියන්නේ අර හිමේට ගිය කෙනා ගැන වෙන්න ඇති කියලා අනුමාන කළා.’’

‘‘ගමේ අය විස්තරේ කිව්වා. ඒ වුනාට හොයාගන්න බැරිවුණා. ගමේ අය හිතුවේ හැටන් පාරෙන් බහින්න ඇති කියලා. සිරිපා වන්දනා වාරේ කඩයක් ගත්ත කට්ටිය දර කපන්න කැලේට ගියාම ඇටකටු වගයක් හම්බවෙලා. පොලීසියෙන් ඇවිත් බලද්දී ඇටකටු ළග තිබුණ ඇදුම්කෑලි වලින් හදුනාගත්තා ඒ අර මනුස්සයා කියලා. එයා මොකක්හරි අපරාධයක් කරලා මෙහෙ ආවා කියලා තමයි ආපු මිනිස්සු කිව්වේ. මැරුණේ කොහොමද දන්නේ නෑ. මංමුලා වෙලා කැලේ ගිහිං අතරමං වෙලා කන්න නැතුව මැරුණද දන්නේනෑ.’’ කර්තේලිස් සීයා කීවේය.

සමනළ අඩවියේ අලි ඉන්න නමුත් අලි ඇහැට දැකපු අය ඉන්නව නම් ඒ කිහිප දෙනෙක් පමණි. අලි බෙටි  ඕනැතරම් දැකිය හැකි නමුත් අලියෙකු පණපිටින් සිරිපා අඩවියේදි දැක ගැනීමත් භාග්‍යයකි. සිරිපා අඩවියේදී අලියෙකුගෙන් මනුෂ්‍යයෙකුට කරදරයක් වුවායැයි වාර්තාවක් නම් ලැබී නැත.

එහෙත් සිරිපා අඩවියේ වෙසෙන අලින්ද මිනිස් ක‍්‍රියාකාරකම් නිසා දිවිපිදු අවස්ථා ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. මීට වසර කිහිපයකට පෙර රත්නපුර පොලිසියේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපතිව කටයුතු කළ පොලිස් පරීක්‍ෂක රොහාන්  ඕලූගල මහතා ඇතුලූ කණ්ඩායමක් කළ එවැනි පරීක්‍ෂණයකදී සිරිපා අඩවියේ මහ කැලෑවක තිබී  අලියෙකුගේ ඇට සැකිල්ලක් සොයා ගත්තේය.

සමන් දෙවිදුන්ගේ වාහනය වූ සුදුඇතාගේ ඇටසැල්ල එය බවට කටකතාවක්ද එම වකවානුවේ පැතිර ගියේය. එහෙත් වෛද්‍ය පරීක්‍ෂණ අනුව එම ඇටසැකිල්ල ඇතෙකුගේ නොව අලියෙකුගේ බව තහවුරු විය.

(ලංකාදීප)

සිරිපා හිමේදී මිනිසුන් අතරමං කරන බලවේග

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.

සමන් දෙවි`දුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල ඊට දඩුවම් විදි අවස්ථාද ඇති බව ගම්මුන්ගේ කතා අතර තිබේ.

සිරිපා අඩවියේ ආශ්චර්යයන් ගැන කතා ඇත්තේ පැරැණ්නන් තුළය. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ.

එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් අතරින් වගේම අවට ගම් වලින් කුරුදු, වල් එනසාල්, දුම්මල, හම්බුලූ හතු, අගුරු හතු, ඉදලෝලූ, ලේනපලා, කටුඅල, ගෝනල, කිරිතල, බෙරලිය, තිත්තඇට, හල්, දොරණතෙල් (විහාරවල චිත‍්‍ර කර්මාන්තය ස`දහා අවශ්‍ය වේ) සොයා යන ගම්වැසියන්ද  ඉදහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝ  ද තවමත් ජීවතුන් අතර සිටිති.

සිරිපා කරුණාකරන ප‍්‍රධාන මාවත් හතෙන් එකක් වැටී ඇති දැරණියගල මාලිබොඩ ගමේ එවැනි සිදුවීම් මතක ඇති බොහෝ දෙනෙක් සිටිති.

උඩමාලිබොඩ ගමේ කලකට ඉහත රතු අප්පුහාමි නම් තැනැත්තෙක් වාසයකර තිබේ. ඔහුට සී.ජී.ආර්. රතුඅප්පුහාමි යැයි කියති. ශරිරය කුඩා වුවත් රතු අප්පුහාමි නිරෝගී ශක්තිමත් තැනැත්තෙකි. හොද කාය ශක්තියක් තිබු ඔහුට  සිමෙන්ති මිටි දෙකක්, භූමිතෙල් කෑන් එකක්, හාල් සේරු දහයක් එකවර ගෙනයා හැකි තරම් හැකියාවක් තිබු බව පැරැුන්නෝ කියති. මේ නිසාම ගම්මු ඔහුව යෝධයෙකු ලෙස හැදින්විය.

හිමේ ඇති මුවන්පැන්නගලට ගොස් එහි ඇති වල්එනසාල් නෙළාගෙන එන්නට කුරුදු ටිකක් තලාගෙන එන්නට ඔහු සමතෙකි. හිමේ මේ අඩවියට සැමදෙනාටම යා නොහැකි බවට මතයක් ගම්මුතුළ  පැලපදියම්ව තිබිණි. ඒ නිසා එවැනි තැනකට තනිව යනෙන තැනැත්තා ගම්මුන්ගේ වීරත්වයට පාත‍්‍රවන්නෙකි. රතුඅප්පුහාමිත් මෙවැනි ගමන්වලට හපනෙක් නිසා ගමේ හැමෝටම ඔහු වීරයෙක් ද විය.

හිරු නැග එද්දී හිමේට යන ඔහු අතුරු ආන්තරාවක් නැතිව ගිය කාරණය ඉටුකරගෙන බිම් කරුවල වැටෙද්දි ආපහු ගමට එන්නට සමතෙක් බව කාගේත් පිළිගැනීම විය. දිනක් සුපුරුදු පරිදි වල් එනසාල් ටිකක් හොයාගෙන එන්නට රතු අප්පුහාමි පාන්දරින්ම ‘‘සමනල අඩවියේ මුවාපැන්නගල පැත්තට සේන්දුවිය. වෙනදා බිම් කරුවල වැටෙද්දී ගෙදරට එන රතු අප්පුහාමි එදා ඒ වනවිට පැමිණියේ නැත. ගමේ හැමෝම කලබල වූහ.

‘‘රතු අප්පුහාමි හිමේ නවතිනවානම් කියලා යන්නේ. මොකද අද පරක්කු.’’ හැමදෙනාගෙම හිත්වල සැකයකි. ‘‘සමන්දෙවි අඩවිය රතුඅප්පුට අලූත් තැනක්යැ. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උන්දෑ එයි’’ සුසුම්හෙල ගම්වැසියන් අස්වසන්නට වැඩිහිටියෙක් කියනු ඇසේ. ඒත් ගමේ තරුණයන් අතර ඇතිව තිබුණේ යම් භීතියකි. රතු අප්පුහාමිගේ නොපැමිණීම ආරංචි වූ ගමේ හැම නිවෙසකම එදින කිසිවෙකුත් නිදි නැත.

අද මෙන් විදුලි ආලෝකය නොතිබුණත් කුප්පි ලාම්පුවකින් හෝ අඳුර මැකිනි. ගෙදරකට දෙකකට එකතුවී වැඩිහිටියෝ රතුඅප්පුහාමිගේ නොපැමිණිම ගැන මුලින් කතා වුවත් ටික වෙලාවක් යනවිට ඒ කතාවන් සිරිපා හිමේ අද්භූත කතා මණ්ඩපයක් වන්නට පටන් ගත්තේය.

අත්දැකීම් ඇති තලතුනා වැඩිහිටියන්ගේ මේ අද්භූත කතා ඇසූ ළමෝ ලපටිහූ වැඩිහිටියන්ට වඩවඩාත් ලංවූයේ ඒවායේ බිය ජනක කරුනු වලින් යම් තැතිගැම්මකට පත්වු නිසාවෙනි.

‘‘ඔය හිමේ වෙනිවැල්, වල්දෙහි, පුස්ඇට, නගාමැරු අල, මලසුදු මහ හැඩයා, කුඩා හැඩයා, වනරාජ, ඉරරාජ, උඩවැඩියා, වෙල්ලංගිරිය, කොකුන් වගේ සිංහල වෙදකමට ගන්න ඖෂධ එහෙම බොහෝ සුලබයි’’ වැඩිහිටියෙක් අලූත් කතාවකට මුල පිරීය. කටුමැටි බිත්තියේ එල්ලූ කුප්පි ලාම්පුවේ දැල්ල ගෙනෙන්නේ සිහින් එළියකි. කෙනෙකු යන්තම් අදුනාගත හැකි එළියක් මිස  ඉන් වැඩි දෙයක් ඒ එළියෙන් පැහැදිලිව නොපෙනේ. සිරිපා හිමේ සැගවුණ කතාවක් අහන්නට සැවෝම මේ වැඩිහිටියා වටකොට හි`දගත්තේ පැදුරු කඩමාලූ එලාගෙනය.

මේ කතාවට සවන්දි සිටි ගැටවරයෙකු කතාවට බාධාකරමින් ‘‘මොනවද ඔය න`ගාමැරූ අල ’’ කියන්නේ යැයි පැනයක් යොමු කළේය. එය ඔහුට පමණක් ගැටලූවක්ව තිබූවක් නොවු බව තේරුණේ අනික් අයද ඊට ලැබෙන පිළිතුර සම්බන්ධව දැක්වූ උනන්‍ දුව නිසාය.

‘‘මේක වුණ ඉසව්ව කොහේද කියලා හරියටම මම කියන්න දන්නෙ නෑ. නමුත් අහලා තියන විදියට මේ හිමේට මායිම්වූ ගමක වෙච්ච දෙයක්. එක ගෙදරක හිටපු අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිමේ ගිහිං තියනවා. බේත් අඩුමකුඩුම ටිකක් හොයාගෙන එන්න. ඉතින් පැයගාණක් ඇවිදපු මේ අයට කුසගිනි දැනිලා වාඩිවෙන්න පහසු තැනක වාඩිවෙලා ගෙනිච්ච සැහැල්ලූවෙන් (ගමන් මල්ලට කියන නමකි) තිබුණ දෙයක් කාලා තියනවා. ඊට පස්සේ මේ දෙන්නා බුලත් විටක් කාලා. බුලත් විටට  ඕනෑ හුනුටික කාලා තියෙන්නේ ඒ අය ගෙනිච්ච පිහියෙ තලේ හුණු ටිකේ ගාලා. ඒ පිහිතලේ අග  දිවේ ගාගෙන. ඉස්සරවෙලා නගා තමා එහෙම හුනු කාලා තියෙන්නේ. ඒ එක්කම මේ නගාගෙ රාගය ඇවිස්සිලා අමුතු විදියට හැසිරෙන්න පටන් අරං. අයියා කියන දේ අහන්නෙම නෑලූ. පස්සේ නංගි ගැන කලකිරුණ අයියා අර පිහියෙන්ම ඇනලා නගාව මැරුවලූ.

ඉතිං මේ විදියට නගා රාගාධිකව හැසිරුණේ ඇයි කියන එක ඒ අයියටත් ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. පස්සේ බලද්දි මොකද දන්නවාද වෙලා තියෙන්නේ. මේ දෙන්නා නතරවුණ තැන පොළොවෙ තමයි අර පිහිය ඇනලා තිබුණේ. බුලත්විට කාලා හුනුටික ගන්න පිහිය එතනින් අරගෙන හුණුඑකේ ගාලා ඒක දිවේගාගෙන තිබුණනේ. පිහිය පොළොවේ වැදිලා තිබුණේ පොළොව යට තිබුණ අලයක. ඒ අලේ තිබුණ මොනවා හරි අර නංගිගෙ ශරීර ගත වුණා. ඒක රාගය මතුකරන ඖෂධයක්. එදා ඉදලා ඒ අල ජාතියට කියන්නේ ‘‘නගා මැරූ අල කියලා.’’ වැඩිහිටියා කතාව අවසන් කරන විට අසා සිටියවූවෝ දිග සුසුමක් හෙළා සිත සැහැල්ලූ කරගත්හ.

රැුස්ව සිටියෝ මේ ආකාරයට විවිධ කතාවලට සවන් දෙමින් රැය පහන් කරමින් සිටියහ. නිදිවරන පිරිසට කහට පොල්කට්ටකින් සංග‍්‍රහ කළයුතු නිසා වතුර මුට්ටිය ළිප තබන්නැයි වැඩිහිටි කාන්තාවක් තරුණියකට සන් කළාය. එහෙත් ඇය ‘‘සිරිපා හිමේ’’ අත්භූත කතා අසා යම් බියකට පත්ව සිටි නිසා තනිවම කුස්සියට යන්නට මැලිවූවාය.

මෙසේ ආගිය කතා කියමින් සිටින අතරතුර මැදියම් රැය ඉක්මගොස් ඇති බව අහසේ දිස්වෙමින් තිබූ හද දෙස බලා වැඩිහිටියෙක් කීවේය. ‘‘ඉරපායන්න තව හෝරා හතරක් විතර ඇති. හෙට පාන්දරින්ම අපි කිහිප දෙනෙක් රතු අප්පු ගිය ඉසව්වට ගියොත් හොදා. සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් රතුඅප්පු කරදරයක් නැතුව ඉදී’’ ඔහු විශ්වාසයෙන් යුතුව කා තුළත් බලාපොරොත්තු ඇති කෙළේය.

මේ අතර කන්ද පහළ පාර දෙසින් හුළු අත්තක එළියක් පැතිර තිබු ඝනදුර මැදින් දිස්වනු පෙනිණි. නිදි වර්ජිතව සිටි සැවොගේම උකුසු ඇස් එදෙසටය. ‘‘මෙකක්ද මේ එළිය.’’ මේ මැදියමේ අමුත්තෙක් නම් විය නොහැක. ගමේ කෙනෙක්ද විය නොහැක. මෙවන් මහ මෙවන් මහරක මේ ආකාරයට යන්නෙ එන්නේ කිහිප දෙනෙක් පමණක් නිසාත් වරෙක මතුවෙමින් තවත් වරෙක නොපෙනියමින් ගම මැද්දෙන් එන එළිය කාගේත් අවධානයට හේතුවක් විය.

වැඩිහිටියන් ඉදිරියට අවුත් විපරමෙන් බලද්දි තරුණයෝ ද එය අනුගමනය කළහ. නිදිවර්ජිතව සිටි කොල්ලො කුරුට්ටෝ බියෙන් වැඩිහිටි කාන්තාවන්ගේ ඇග දැවටෙද්දී තරුණියෝද ඔවුන් අනුගමනය කළහ. වැඩිහිටි කතුන් තුරුණුවන් සිහිපත් කරමින් සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්‍ෂාව හිතින් පැතීය.

ඈතීන් පෙනී නොපෙනී මතු වූ එළිය දැන් තමන් ආසන්නයට පැමිණ ඇත. එය හුලූ අත්තක් අතින්ගෙන එන පුද්ගලයෙකු බව කාටත් දැන් පැහැදිලිය.

‘‘කවුද මේ රැ එන්නේ’’ කාටත් ප‍්‍රහෙළිකාවකි. දෙනෙත් නොපියවා සැවෝම ඒදෙස බලා සිටිති.

පැවති දිගු නියැඩිතාව බිදලමින් ‘‘මේ රතු අප්පුහාමි නේද?’’ වැඩිහිටියෙක් හිමින් කීවේය. කවුරුත් ඉතා  ඕනැකමින් ඒ දෙස බලන්නට විය.

කුරුදු ටිකකුත් කරතියාගෙන හුලූ අත්තකුත් අතැතිව එන්නේ හිමේට ගිය රතුඅප්පුහාමිය. ඔහුට කිසිදු මහන්සියක් නැතුව සේය. ගමේ වැඩිදෙනෙක් තමන්ගේ ගැන සෙවිල්ලෙන් සිටි බව රතු අප්පුහාමිට අවබෝධ විය. ඔහුට සියුම් සතුටක් ද දැනිණ.

‘‘ඈ රතු අප්පුහාමි මොකදෑ වුණේ?’’ වැඩිහිටියෙක් විමසීය.

‘‘මම කුරු`දු ටිකක් තලාගන්න කියලා මුවාපැන්්නගලට ගියා. යන පාරේ වල් එනසාල් පිරිලා. ඒවා ටිකක් කඩාගෙන මල්ලෙ දාගෙන මම කුරුදු තැළුවා. වෙලාව යනවා දැනුණේ නෑ. එන්න පිටත්වෙලා ටික වෙලාවකින් අදුර වැටුණා. මතක තියන විදියට මම පාරවල් වලින් බැස්සා. තරු එළිය තමයි එළියකට තිබුණේ. මට පාර වැරදිලා. මම බැස්සේ එරත්නේ පොල්කොටුවෙ කඬේ ළගට. කඬේ දැක්කා විතරයි මගේ සාගින්දර ඉහවහා ගියා. කඬේ තිබුණ විස්කිරිඤ්ඤ බෝතලෙන් බාගයක් විතර කාලා සුදහගින්න නිවාගෙනයි මම මේ ආවේ.’’‘‘බොලන්ලා එකක් මතක තියාගත්තොත් හොදා. මේ සමන් දෙයියන්ගේ අඩවියේ වැඩි තණ්හාවට යන එක එච්චර හොද නෑ. රතුඅප්පුහාමි ගමේ එකා හින්දා ආපහු ගමට එව්වා. නැත්නම් ඉතින් මහවනේ තමයි ඉන්න වෙන්නේ.’’ ‘‘හිමේ අත්භූත’’ බව ගැන වැඩිහිටියෙක් අවවාද දුන්නේය.

(ලංකාදීප)

සිරිපා අඩවියේ නෑසූ කතා

සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති.  අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති.

අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය.

සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර සිරිපා කරුණා කරන්නට මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතාවලට සමනල අඩවියට පිවිසීමට අතීත වැසියෝ පුරුදුව සිටියහ. එදා රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල යන දිස්ති‍්‍රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ. ඒ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය.

සමනල අඩවියට මායිම් වූ මාලිබොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේය. එය දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. අද වන විට තේ ආර්ථිකයත් සමග මාලිබොඩ ගම්මානය නවීකරණයවී ඇතත් අතීතයේ දී සිංහල ගැමිකම හො`දින් විද්‍යමානවූ ගමකි. උඩමාලිබොඩ වූ කලී සමනල අඩවියේ මායිමකි.

මේ නිසාම මේ ගම්මානයේ වැසියන්ගේ උවමනා එපාකම් වැඩිපුර එදා පිරිමැහුනේ සමනල අඩවියෙනි. උපතින්ම බෞද්ධයන්වූ මේ ගම්වල වැසියෝ ආගම දහමට වඩාත් නැඹුරුවූ පිරිසක් වූහ. දෙවියන් මෙන්ම යකුන්ද, පේ‍්‍රතයන්ද, භූතයන්ද කෙරෙහි වූ විශ්වාසය වඩාත් වැඩිවිය.

වර්තමානයේ විදුලි ආලෝකය ලැබීමත් සමග දහවල් වෙනසක් නොදැනුනත් මීට අඩසිය වසරකට පමණ පෙරදී එසේ නොවීය. කදු වලින් වටවූ ගම්මානයට හැන්දෑවේ හතර පහ වනවිට හිරු මුවාවෙයි. යන්තම් අදුර වැටෙත්ම අතෝරක් නැතිව ඇහෙන රැහැයි නාදයෙන් අදුර ඉක්මනින් එන බව කියා පායි. කුරුල්ලොද රැහැයි නදත් සමගම කැදලිකරා පිය නගති. කදු මුදුන්වලට මළහිරු එළිය වැටී තිබුණද කදු පාමුල ඇත්තේ මූසල අඩ අදුරකි.

අඳුර වැටෙද්දීම නිවෙස්වලට එන ගම්මු යළි නිවෙසින් එළියට බහින්නේ පසුදා පහන්වීමෙන් පසුවය. හදිසියකට හෝ ගමේ කොතැනකට හෝ යන්නේ නම් මගතොට එළිය කරන්නට හුලූ අත්තක හෝ ගිනි පෙනෙල්ලක ආලෝකය ප‍්‍රයෝජනයට ගනිති.

ඇතැම් දවසක උලමෙක් නැතිනම් බස්සෙක් උගේ සුපුරුදු හඩින් කෑ ගැසුවොත් ගම්මුන් සලකන්නේ අසුබ ලකුණක් ලෙසය. එහෙත් එවැනි නිශාචර සතෙකුට වෙසෙන්නට සුදුසුම පරිසරයක් තමන් වෙසෙන අවට ඇතිබැවින් උන් නිතර යනෙන බව මේ ගම්වල වැසියෝ විශ්වාස නොකළහ.මේ නිසාම ගම්මුන් අතර භූත, පේ‍්‍රත, අමනුස්ස දෝෂ සම්බන්‍ධව ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ අතරින් සමනල අඩවියේ සීමාවන් ඇතුළත නම් දේව හාස්කම් කෙරෙහි ඇත්තේ නොමද විශ්වාසයකි. එදා මේ ගම්වල ගෙවල් තැනුනේ කටුමැටි බිත්තියෙන් හා බටකොළ වහලෙනි. බිත්ති බදින්නට වැල් ටිකක්, මැටිපා ටිකක්, සෙවිල්ලට බටකොළ ටිකක් කඩාගන්නට සමනල අඩිවියට එසේත් නැත්නම් හිමේට යන්නට ගම්මු පුරුදුව සිටියහ. හේතුව එක ගමනකින් ම තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්නට හැකි බව දන්නා නිසාවෙනි.

ඒ හැරෙන්නට නිතරම සමනල අඩවියේ මායිම් පැන එහා මෙහා ගිය පිරිසක්ද මේ ගම්මානවල සිටියහ. ඒ රස්සාවට කිතුල් මදින්නන්ය. දවසට දෙතුන් වතාවක් සමනල අඩවියට පිවිසෙන මේ අය එහි පිහිටි කිතුල්ගස් මැද තෙලිදිය කදක තියාගෙන නිවසට එන්නට පුරුදුව සිටිති. එදා අදමෙන් ආණ්ඩුවෙන් ඊට තහංචි හෝ බදු අයකිරීමක් හෝ සිදු නොවිනි. එහෙත් ගම්වැසියෝ සමනල අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන්ටත් මුනිසිරිපා පතුලටත් ඒ තෙලිදිය උනුකර හදාගන්නා හකුරුවල අග‍්‍රඵලය පූජාකිරීමට සිරිපා වාරය එනතුරු තැන්පත් කර ආරක්‍ෂා සහිතව තබති.

සිරිපා අඩවියට කිතුල් මදින්නට යන එන ගම්වැසියන් අතරින් වැඩිදෙනෙක් හැන්දෑවට ඇගපත මහන්සිය යන්නට කිතුල් රා පොල්කට්ටක් දෙකක් බොන්නට අමතක නොකරති. නමුත් සමනල අඩවියේ සීමාව වූ මාගල් ගෙගන් එගොඩදී රා පොදක්වත් තොල නොගාන්නේ දෙවියන්ට බුදුන්ට ඇති භක්තිය නිසාමය.

වසරේ වැඩි කාලයක් වැසි සහිත මේ ප‍්‍රදේශවල ඇළදොළ උතුරා දෙගොඩතලා යයි. එහෙත් ගමේ උදවිය කාටවත් හිමේදී අකරතැබ්බක් නොවීය. ගම්මුන් විශ්වාස කරන්නේ සමන් දෙවිහාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම ගමේ අයට තියන නිසා එසේ නොවන බවය. ඒ නිසාම මාගල් ගෙගන් එගොඩට පිළී ජාතියක් හෝ කිල්ලට අසුවන දේවල් හෝ නොගෙනියන්නත්, ඔවුහු වග බලා ගනිති.කට වරද්දා ගැනීමත් මේ අඩවියේ නොකළ යුත්තකි. ඒ නිසා හිමේට ඇතුලූවන අය ‘‘ගිහින් එන්නම් ’’ යැයි කියන්නේ නැත. ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන්  යන්නම් ’’ යැයි කියති.

සමනල අඩවියේ මැණික් බහුලව ඇති බවට පිටස්තර ගම්වල මිනිසුන්ගේ විශ්වාසයක් පවතී. ඒ නිසාම ගම්වල ජිවත්වන ඇතැම් පුද්ගලයන් සමග මැණික් සොයා සමනල අඩවියට යන්නට ආ පිරිස් හිස් අතින් ආපසු ගිය අවස්ථා ඇති බව මේ ගම්වල වැඩිහිටියෝ කියති.

‘‘දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නැති මිනිස්සුන්ට ඔය හිමේ කරක් ගහන්න බෑ. එක්කෝ පාර වරද්දනවා. නැත්නම් තනිකම් දෝෂයක් හැදෙනවා, ඔලූව නරක් වෙනවා, සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු ගියා ගියාමයි අදටත් තොරතුරක් නෑ.’’ මේ අඩවිය ඒ තරමට හාස්කම් වලින් පිරිලා. ඔවුහු එසේ කියති.

මාලිබොඩ දික්ඇලිකන්ද ගමේ එච්.ඒ.වී. යසවර්ධන මහතා ගමේ ජනප‍්‍රිය චරිතයකි. ප‍්‍රාදේශීය සභා නියොජිතයෙකුවූ ඔහු එවන් හාස්කමකින් යුතු කතාවක් වරක් අප සමග කීවේය.

‘‘කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැ`දුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට  ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපුමහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ.’’

‘‘මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉ`දලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ.’’

‘‘ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා’’ සිරිපා හිමේ හාස්කම් එහෙමයි.

මාලිබොඩ ගමට අතිශය අලංකාරයක් ගෙන දෙන ඇලිහත ඇදවැටෙන්නේද සමනල අඩවියේය. සමනල අඩවියෙන් පටන්ගන්නා නාය ගෙ`ග් මේ ඇලිහත පිහිටා ඇත. දැරණියගල දෙසින් ගමට එනවිට පොත්දෙණිකන්ද, නින්දගම පසුකරන විට ඈතට මේ ඇලි හත පෙනේ. ඉන් පළමු ඇල්ල දෝතුලූ ඇල්ලයි. දෙවැන්න රන් දෝතුලූ ඇල්ලයි. ඉන්පසු ඒවා අංක පිළිවෙළටම හදුන්වයි.  වත්තේගග හෙවත් මණ්ඩගල් ඔයෙන් ඇද හැලෙන පුවක්මල් ඇල්ල, හල්වතුර ගෙගන් ඇදහැලෙන ඇල්ලපිට ඇල්ල ගමට අලංකාරයක් ගෙනෙනවා වගේම හාස්කම් තිබුණ තැන් විදියටයි ගම්මු සැලකුවේ.

සමන් දෙවිඳුන්ගේ වාහනේ සුදු ඇත් රජෙක් කියලා ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒනිසා හිමේ අලි,කොටි, වලස්සු, වගේ භයානක සිවුපාවුන් වගේම නයි පොළොන්ගු වගේ සර්පයොත්, දිවිමකුලූවොත් ඉන්න බවට ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒ වුනාට සමනල අඩවියෙදි මේ සත්තු ඇහැට දැක්ක අය හරිම අඩුයි.

වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට ප`දුර බි`දින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

(ලංකාදීප)

සිරිපා නැග්ග රජ්ජුරුවෝ උඩයි උඩයි

”රජ්ජුරුවෝ උඩයි උඩයි

මිටි කොල්ලෝ බිමයි බිමයි”

මේ ජන සෙල්ලම නිර්මාණය වූයේ සිරීපාදේ මුල්කරගෙන යැයි මම ශපථ නොකරමි. එහෙත් අපේ රජ්ජුරුවන් හට “උඩට” යන්න නම් වෙනත් හේතුවක් නො තිබුණේ ය.

රාවණා රජ්ජුරුවන් දඬුමොනරයේ නැඟී “උඩිං” ගියේ යැයි වාල්මිකී නම් භාරත කවියා රාමායණයේ ලියුවේය. ධාතුසේන රජ්ජුරුවන්ගේ අභිෂික්ත නොවූ බිරියකගේ කුසින් උපන් කාශ්‍යප කුමාරයා නම් මූදු මට්ටමේ සිට අඩි 1214ක් උස සීගිරි පව්වට ගොස් ‘මිටි කොල්ලන්’ දෙස බලා සිටින්නට ඇත.

යාපහුවේ මාලිගාව කුඩා කඳු ගැටයක් උඩට පඩි නැඟ ඇතුළු වීමට සකස් කළේ ආර්ය චක්‍රවර්තී රජවරුන්ගේ ආක්‍රමණයන්ට බියේ මිස මිටි කොල්ලන්ගේ උඩුකුරු රූපය බලන්නට නොවේ. ගම්පොළත්, සෙංකඩගලත් කඳුරට රාජධානි වූවාට සේනා සම්මත වික්‍රමබාහුත්ධ්ඍ වැනි පරාක්‍රමබාහුත් මාලිගා තනන්නට ජය භූමි සෙවූයේ කඳු මුදුන්වල නොව කඳු පාමුලයි.

ලංකාවේ අද අපට හමුවන බොහෝ ජන සෙල්ලම්වල සම්භවය ප්‍රාග් අනුරාධපුර යුගයට ම අයත් අවධියේ විය යුතු යැයි අපට සිතෙන්නේ භාෂා විෂය හේතු කොට ගෙනයි. කිරිඇල්ලේ ඥාණවිමල නායක හාමුදුරුවන් රචනා කළ “සපරගමු දර්ශන” නම් අගනා පර්යේෂණ කෘතියේ දක්වා ඇති පරිදි ලංකාවේ රජවරු 13 දෙනෙක් සිරීපාදේ කරුණා කර ඇත. ඔවුන් අතරින් රජවරු පස් දෙනෙකු ම මහනුවර කන්ද උඩරට රාජධානියේ රජවරුන්ය.

සෙංකඩගල වික්‍රමබාහු (වීරවික්‍රම), දෙවැනි විමලධර්මසූරිය, ශ්‍රී විජයරාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ සහ ශ්‍රී රාජාධිරාජසිංහ.

මහනුවර රජ කළ රජවරු නව දෙනාගෙන් පස් දෙනකු ම සිරීපාදේ කරුණා කිරීම වනාහී ඒ යුගයේ ජනශ්‍රැතියට සිරීපාදය හා රජ්ජුරුවන් එකතුවීමට හොඳ නිමිත්තකි. එනිසා “රජ්ජුරුවෝ උඩයි උඩයි – මිටි කොල්ලෝ බිමයි බිමයි” නම් ජන සෙල්ලං සින්දුව මහනුවර රජවරුන්ගේ සිරිපා කරුණා කිරීම අරභයා නිර්මාණය වී ඇතැයි සිරිපා කන්ද මුදුනේ දී මා තුළ ඇති වූ සැකය නිකංම වීසි කර දැමිය නොහැක.

මම අවාරයේදී රත්නපුරා පාරෙන් සිරිපා කරුණා කොට හැටන් පාරෙන් ආපිට කරුණා කරමින් සිටිය “මිටි කොල්ලෙක්මි.”

සමාවෙන්න මගේ උස අඩි 5යි අඟල් 9ක් ය. මම වර්තමාන සාමාන්‍යයේදී ලංකාවේ “උස කොල්ලෙකි”. එහෙත් සිරීපාදයේදී මට මා මිටි කොල්ලෙකු සේ සිතී ගියේ භගවා ලෙනේ දී මා දුටු රාජකීය පුරාවස්තුවක් හේතු කොට ගෙනයි. සිරීපාදය හැටන් පාරෙන් බහින්න පටන් ගත් කළ මහගිරිදඹ හමුවන්නට පෙර භගවා ලෙන හමුවෙයි. බොහෝ වන්දනාකරුවන්ට භගවා ලෙන අතපසු වෙන හේතු කිහිපයකි.

1. භගවා ලෙන පිහිටා ඇත්තේ වන්දනාකරුවන් නඟින පඩි මඟට මඳක් එපිටින්ය.

2. නඟින බැතිමතුන් මහගිරිදඹ පසු කළ සැණින් මළුවට යාමට කඩිනම් වන නිසා භගවා ලෙන අතපසු වෙයි.

3. භගවා ලෙන පිහිටන්නේ පඩිමඟට එපිටින් මූකලාන මැද ය. කැලේ පීරාගෙන භගවා ලෙන සොයා යන්නට පොදු වන්දනාකරුවෝ නො වෙහෙසෙති. එහෙත් භගවා ලෙන වනාහී ගෞතම බුදුන් සිරිපා වැඩ දිවා විහරණය සිදු කළ “දිවා ගුහාව“ යැයි පවතින විශ්වාසය අපේ උපාසක උපාසිකාවන් දනිත් නම් පද්මේ වන්දනා කරන සද්ධාවෙන් ම දිවා ගුහාවත් පැදකුණු කරනු නියතය.

මම වැල් බූටෑවල් මැදින් රිංගා ගොස් භගවා ලෙන දැක ගත්තෙමි. භගවා ලෙන තුළදී මා “මිටි කොල්ලෙකු” සේ පෙනුණේ ලෙන තුළදී මට කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු මුණගැසුණු නිසාය.

නිශ්ශංකමල්ල රජු පොළොන්නරු යුගයේ දී සිරිපා කරුණා කළ රජ දරුවෙකි. සිරිලක රාජාවලියේ හමුවන 182ක් වූ රජවරුන් අතරින් රජවරුන් 13 දෙනෙක් සිරිපා කරුණාකර ඇතැයි අපට දැනගන්නට සාක්ෂි තිබුණ ද ඉන් නිශ්ශංකමල්ල රජු ප්‍රධාන තැනක් ගන්නා බව මට භගවා ලෙනේ දී ඒත්තු ගියේය.

මා අවාරයේදී සිරිපා පැමිණි රත්නපුරා පාර වනාහී සිරීපාදේ යන ඓතිහාසික මාවත යැයි අප පිළිගනු ලබන්නේ නිශ්ශංකමල්ල සහ කීර්ති විජයබාහු වැනි රජවරු ඒ පාරෙන් කරුණා කරන අතර මඟදී සෙල්ලිපි සාක්ෂි ද තබා ගිය නිසා ය. මා සිරිපා කරුණා කළ රත්නපුර පලාබද්දල පාරේ ඇති ගිලීමලේ ප්‍රදේශයේ විජයබා රජ්ජුරුවන් එක් සෙල්ලිපියක් ද, සිරිපා සිට හැටන් පාරෙන් බසිද්දී හමුවන භගවා ලෙනෙහි නිශ්ශංකමල්ල රජ්ජුරුවන් තවත් සෙල්ලිපියක් ද, සිරිපා කරුණා කිරීමෙන් පසු එතුමන්ම හෙට්ටිපොළ පඬුවස්නුවර ප්‍රදේශයේ දී තවත් සෙල්ලිපියක් ද පිහිටුවා තමා සිරිපා කරුණාවේ අසීරුව භුක්ති විඳ පින් රැස් කරගත් බව දන්වා ඇත.

නිශ්ශංකමල්ල රජු භගවා ලෙනේදී මුණගැසුණ බව මා කීවේ එහි ඇති එතුමන් පිහිට වූ සෙල්ලිපි දෙක අතරමැද නිශ්ශංකමල්ල රජුගේ පිළිරුව ද ගලක කොටා ඇති නිසා ය. අපේ රටේ රජ රූප නෙළන සාම්ප්‍රදායික පිළිවෙත ද කඩ නොකොට ඉතා සරළව කොටා ඇති මේ රූපය ශෛලිගත සම්ප්‍රදායට වඩා නිදහස් ස්වභාවික ආකාරයක් දරන බව බැලූ ඕනෑම අයෙකුට වුව ඒත්තු යනු ඇත. එහෙයින් මෙය සාම්ප්‍රදායික හා ශෛලිගත රූපයකට වඩා ස්වභාවික රූපයක් යැයි ගත හැකිය.

මේ ස්වභාව රජ රූපයේ පරිමාණ ලක්ෂණ විශ්ලේෂණය කොට බැලූ කළ නිශ්ශංකමල්ල රජු තරමින් උස් පුද්ගලයකු බව සනාථ වෙයි. එහෙත් මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් වරෙක මා මෙහෙය වූ “මහා සිංහලේ වංශ කථාව“නම් වැඩසටහනේ දී නිශ්ශංකමල්ල රජු පිළිබඳ දැරූ මතය වූයේ එතුමන් අග්නිදිග ආසියාවේ ජාවක හෝ රාමඤ්ඤ හෝ රටකින් පැමිණි අයෙක් විය හැකි බව ය.

නිශ්ශංකමල්ල රජු කාලිංග වංශිකයෙකි. කාලිංග දේශය භාරතයේ අග්නිදිග කලාපයේ පැවතුන බවත් පසුකාලීනව ස්වාධීන රාජ්‍ය වූවාට අතීතයේ මේ ප්‍රදේශ පවා මහා භාරත රාජ්‍යයට ම සම්බන්ධව තිබූ අග්නිදිග කලාපය බවත් එතුමන්ගේ මතයයි.

මහා සිංහලේ වංශ කථාවේදී මා එතුමන්ගෙන් ඇසූ ප්‍රශ්නය නම් මෙයයි.

නිශ්ශංකමල්ල රජු ජාවකයෙක් හෝ රාමඤ්ඤයෙක් හෝ වූවේ නම් එතුමන් තරමින් කොට පුද්ගලයෙකු විය යුතුය. පීකිං මිනිසාගේ චීන ජානවලින් පැවතෙන අග්නිදිග කලාපයේ මානවයින් අද ද තරමින් කොට මිනිසුන් ය. එහෙත් සිරීපාදයේ භගවා ලෙනෙහි කොටා ඇති ස්වභාව රජ රූපය නිශ්ශංකමල්ල රජුගේ නම් එය තරමින් උස දිගු අතපය ඇති ඉන්දීය සම්භවයේ මිනිසෙකුට සමාන වූයේ ඇයි කියා ය.

මහාචාර්ය තුමන් ඊට දුන් පිළිතුර වූයේ “සමහර විට මේ රූපය අර සාම්ප්‍රදායික රජ රූප නෙළන ආරෝහ පරිණාහ දේහ සන්නද්ධ විලාසයෙන් ම නෙලන්ට ඇති” කියා ය. එහෙත් භගවා ලෙනේ දී මා දුටු රජ රූපය සාම්ප්‍රදායික රජ රූප ශෛලියෙන් නොව ඉතා සරල ස්වභාවික ශෛලියෙන් නෙළා තිබීම මට අමතක කළ නොහැක.

කෙසේ වුවත් නිශ්ශංකමල්ල රජ්ජුරුවන් පිළිබඳ පැහැදිලි මතයක් දරන්නට මහාචාර්ය තුමන්ට ශාස්ත්‍රීය අයිතියක් ඇත. නිශ්ශංකමල්ල රජ්ජුරුවන් පිළිබඳ මෙතෙක් ලියැවී ඇති දීර්ඝතම ශාස්ත්‍රීය පර්යේෂණය ලියා පල කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ හිටපු මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ය.

භගවා ලෙනේදී මම මගේ මඩිස්සලය දිග හැර ගත්තෙමි. එහි ඇති පුස්තක අතර පර්යේෂක උගතුන් තිදෙනකු සිරීපාදය පිළිබඳ කළ පර්යේෂණ වාර්තා රැගත් පොත් තුනක් ද තිබේ.

I. කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්ගේ සපරගමු දර්ශන, II.මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ නිශ්ශංකමල්ල , III. මහාචාර්ය ජේ.බී.දිසානායකයන්ගේ රටක මහිම පොත් පෙළ, 10 – සිරිපා වන්දනාව, 11 – සිරිපාදස්ථානේ

මගේ ‘සංචාරේ’ වාර්තාවේ අවාරයේ සිරිපා කරුණා කළ මගේ අත්දැකීම් කියවන පාඨක ජනයා උක්ත පොත ද කියවා බැලුවහොත් සිරිපා සංචාරයේ ඇති ඓතිහාසික වටිනාකම තව තවත් වැඩියෙන් ඔප්පු වී පෙනෙනු ඇත.

භගවා ලෙනේ දී මා මිටි කොල්ලෙකු වූයේ නිශ්ශංකමල්ල රජු උස මිනිසෙකු වූ නිසා ය. මහනුවර යුගයේ ජන කවියා “රජ්ජුරුවෝ උඩයි උඩයි” යැයි කීවේ මහනුවර රජවරු ඉතා ඕනෑකමින් සිරීපාදේ කරුණා කළ නිසා යැයි මට සිතෙන්නේ ඒ නිසාය.

මහනුවර යුගයේ අවසානෙට සිරිපා කරුණා කළ රජු වනාහී මලබාර් ජාතික ශ්‍රී රාජාධිරාජසිංහ රජුය. එතුමන් 1780 සිට 1789 දක්වා අවුරුදු 09ක් කන්ද උඩරට සිට ලංකාව පාලනය කර ඇත.

එතුමන්ගෙන් පසු බලයට පත් වූවේ ලංකාවේ අන්තිමට රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස රජ වූ පේරාදෙණියේ කන්නසාමි නම් මලබාර් කුමාරයාට වියවුල් රැසකට මූණදෙන්නට සිදු වූ නිසා සිරිපා කරුණාවකට අවසර නො ලැබුණි.

ලිබියාවේ කර්නල් ගඩාෆිව ලිබියානුවන් ම අත්අඩංගුවට ගත්තා සේ කන්ද උඩරට සිංහලයන් විසින් ම රාජසිංහ රජුව අල්ලා තලා පෙළා කරදර කොට සුද්දන්ට පැවරූ පසු ඔවුන් රජුව වෙල්ලෝරයට පිටත්කොට මැරෙන්නට හැරියේය.

ඉන්පසු මෙරට පාලනය කළ සුදු ආණ්ඩුකාරවරු රොබට් බ්‍රවුන්රිග් ගේ සිට ගැන්නත් 26 දෙනෙකු ගණනය කළ හැක. 1948 නිදහසින් පසු මෙරට පාලනය කළ අගමැතිවරු සත් දෙනෙකි. 1978 සිට මෙරට පාලනය කළ ජනාධිපතිවරු පස් දෙනෙකි.

එහෙත් රාජාධිරාජසිංහ රජුගෙන් පසු සිරිපා කරුණා කළ රාජ්‍ය නායකයෙක් අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැත.

අපේ රාජ්‍ය නායකයින් ළමා කාලයේදී හෝ ඔවුන් මන්ත්‍රීවරු, අගමැතිවරු ව සිටි කාලයේ දී හෝ සිරිපා කරුණා කර තිබුණා විය හැකි ය. පසුගිය දිනෙක හිටපු කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාරයන් ද සිරිපා කරුණා කොට තිබුණි. එහෙත් රාජාධිරාජසිංහට පසු මෙරට පාලනය කළ ආණ්ඩුකාර, අගමැති සහ ජනාධිපති නමැති තාන්තාර රාජශ්‍රීයෙන් යුක්තව සිරිපා කරුණා කර නැත.

එනිසා කිරිඇල්ලේ ඥාණවිමල නායක හාමුදුරුවන් ‘සපරගමු දර්ශන’ කෘතියේ දක්වා ඇති සිරිපා කරුණා කළ රජවරු 13 දෙනා සිහිකරමින් මම භගවා ලෙනින් පිටතට පැමිණ මහගිරිදඹේ පඩි 13ක් බැස්සෙමි.

1. වලගම්බා රජු, 2. හතරවැනි මහින්ද රජු, 3. මහා විජයබාහු රජු, 4. මහා පරාක්‍රමබාහු රජු, 5. නිශ්ශංකමල්ල රජු, 6. පණ්ඩිත පරාක්‍රමබාහු රජු, 7. බෝසත් විජයබාහු, 8. හයවැනි පරාක්‍රමබාහු, 9. සේනාසම්මත වික්‍රමබාහු, 10. දෙවැනි විමලධර්මසූරිය, 11. ශ්‍රී විජය රාජසිංහ, 12. කීර්ති ශ්‍රී රාජසිංහ, 13. ශ්‍රී රාජාධිරාජසිංහ, 14. වැනි පඩියට කකුල තියන්නේ කවර නම් පුණ්‍යවන්ත රාජ්‍ය නායකයෙක් සිහි කරමින් දැයි එදා මට නිනව්වක් නොතිබුණි.

එහෙත් අවාරයේ සිරිපා කරුණා කොට 2004 වසරේ ජූනි මාසයේ දී භගවා ලෙනෙහි සිට මහගිරිදඹ බසිමින් මා සිතුවිලි දාමයට එදා ඇතුළත් නූනාට 2011 වසරේ නොවැම්බර් මස 03වැනි දින කොළඹ බම්බලපිටියේ සිට සංචාරේ සටහන ලියන මගේ වර්තමාන සිතුවිල්ලට ඒත්තු යන්නේ නම් රාජාධිරාජසිංහ රජුට පසු රාජශ්‍රීයෙන් යුක්තව මගේ රටේ ගෞරවනීය රාජ්‍ය නායකයෙක් සිරිපා කරුණා කරයි නම් ඒ මේ වර්තමානයේ ම සිදුවිය යුතු බවයි. එවිට සිරිපා කරුණා කළ රාජ්‍ය පාලකයින් 13 දෙනාගේ අසුබ සංඛ්‍යාව 14 වැනි සුබ අංකනයට වැටෙනු ඇත. එය වැඩි ඈතකට නො ගොස් ලබන දෙසැම්බරයේ ආරම්භ වන අභිනව සිරිපා කරුණා සමය තුළදීම සිදුවේවායි මම සැදැහැ සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි.

සිරිපාදය “ඇඩම්ස්පීක්” වුණු හැටි

මම සිරීපාදේ භගවා ලෙනින් පිටතට පැමිණියෙමි. භගවා ලෙන වනාහී බුදු හාමුදුරුවන් දිවා විහරණය සඳහා වැඩි “දිවා ගුහාව“ යැයි විශ්වාස කරන මතවාදයට බර පඩි අඩුක් කළ හැකි සජීවී අත්දැකීමක් මම විඳ ගත්තෙමි. ඕනෑම ගල් ගුහාවක් ශීතලයත්, උෂ්ණයත් සමබර කරන අපූරු ස්වාභාවික දායාදයක් බව මට බොහෝ ගල් ගුහා ආශ්‍රය කරගෙන පැහැදිලි කළ හැක.

වරක් මම ජෝර්දානයේ කාන්තාර හරහා ගමන් කරද්දී විවේක ගත් ස්වාභාවික ගල් ගුහාව මට වායු සමනය කරන ලද කුටියක නොමැති ශීතලය ගෙන ආවේය.

ඇල්ප්ස් කඳුකරයේ ශීත හිම අතරින්, උතුරු ඉතාලියේ කෝමෝ දනව්වේ ඇවිද ගිය මට මොන්තොගි‍්‍රල්ලෝ කඳු අතර වූ ස්වාභාවික ගුහාව උෂ්ණ සහිත වායු තත්ත්වයක් ගෙන දුන්නේ ය.

දකුණු අපි‍්‍රකාවේ ඩ්‍රැකන්ස්බර්ග් කඳුකරයේ තිබූ ඝර්ම උණුසුම මා රිංගූ ආදිවාසී මොහොලේ ගුහාවේ නො තිබුණි. සයිප්‍රස් දූපතේදී ද ලෙබනන් හී බෘම්මානා කඳු අතර ද, ඕස්ට්‍රේලියාවේ බ්ලු මවුන්ටන් කේව්ස් තුළ ද, දකුණු නවසීලන්තයේ හිම ගුහා අතර ද, සෞදි කාන්තාරයේ අල්හසා ගල් ගුහාව තුළ ද මම ස්වාභාවික වායු සමනය විඳ ඇත්තෙමි.

මම ලංකාවේ ස්වාභාවික ගල් ගුහා සිය ගණනකට රිංගා ඇත්තෙමි. වියළි කලාපයේත්, තෙත් කලාපයේත්, කඳුකරයේ සහ තැන්නේත් මම ගල් ගුහා සුව විඳ ඇත්තෙමි.

මට මගේ ගල් ගුහා අත්දැකීම් වෙනම “සංචාරේ” සටහනකට ඇතුළු කළ හැක. භගවා ලෙනේදී මට මගේ සමස්ත ගල් ගුහා අත්දැකීම් සිහියට නැගුණේ එක් කාරණාවක් ස්ඵුට කර ගැන්මට ය.

බුදු හාමුදුරුවන් සමනළ කන්දට වැඩ උන්වහන්සේගේ සිරි පතුල් සළකුණ කඳු මුදුනත සටහන් කොට ආපිට වඩිනාතුර දිවා විහරණය ලැබූවේ මේ භගවා ලෙනේදී යැයි බොහෝ දෙනා විශ්වාස කරති. ‘භගවා’ යන වචනය ද බුදුන් සඳහා යෙදෙන ගෞරවාර්ථයකි.

සිරිපා කරුණා කළ නිශ්ශංකමල්ල ආදි රජ දරුවන් පවා මේ ලෙනෙහි ගිමන් හල බවට පුරාවිද්‍යා සාක්ෂි හමුවෙයි. එහෙයින් බුදු හාමුදුරුවන් දිවා විහරණ පැවැත්වූ දිවා ගුහාව මේ යැයි බොහෝ සාධක මත ඔප්පු වන්නේ ය.

එහෙත් හැටන් පාරෙන් ආපිට කරුණාකරන සංචාරකයාට කඳු පල්ලේදී නිශ්ශංක ලෙන හමුවීමට ද නියමිත ය. සමහරුන්ගේ විශ්වාසයේ හැටියට දිවා ගුහාව වන්නේ නිශ්ශංක ලෙන යි.

මම භගවා ලෙනින් නික්මී මහගිරිදඹ බැස ඉඳිකටුපානින් ගෙත්තම්පානට පිවිසියෙමි. මා අවාරේ සිරිපා කරුණා කළ රත්නපුර පලාබද්දල පාරේ ද ඉඳිකටුපාන, ගෙත්තම්පාන, හැරමිටිපාන හමුවෙයි. මා ඒ ඉසව්වේදී ද පැහැදිලි කළ පරිදි සිරිපා ස්ථාන නාමවල ප්‍රභවය සිදු වී ඇත්තේ පැරැණි පාර වූ පලාබද්දල පාරේදී ය. පසුව පහසුකම් ඔස්සේ සකස් කර ගත් හැටන් පාරේ සුදුසු ස්ථානවලට ඒ නම් දෙවනුව පට බඳින ලද බව උගතුන්ගේ මතයයි.

ගඟුල් තැන්නේදී සීත ගඟුල හමු වෙයි. පලාබද්දල පාරේදී හමු වූ සීත ගඟුල වනාහී කළු ගඟට වැටෙන කුරු ගඟේ අතු ගංගාවකි. හැටන් පාරෙන් බසින විට හමුවන ගඟුල් තැන්න යනු ගැරඬි ඇල්ල ද තනමින් හැටන්වලට ගලන හැටන් ගඟේ දිය සීරාවන් ය.

මේ ඉසව්වේදී ආපසු හැරී බලන වැඳල බහින බැතිමතෙකුට සිරිපා මුදුන අපූරුවට පෙනෙයි. වාරයේදී නම් බැතිමතා තුළ සද්ධාව උතුරවමින් දර්ශනය වන කඳු මුදුන දීප්තිමත් හිරු එළියෙන් බැබළෙයි. ඉඳහිට කුඩා වලාකුළක් දෙකක් කන්දට ඉදිරියෙන් ගමන් කරයි.

එහෙත් අවාරයේ බැතිමතෙකුට දැකිය හැකි වන්නේ මීදුමෙන් වැසී ගිය ගන නීල සිරිපා මුදුනක් පමණි. මම මේ දෙ ආකාරය ම දැක ඇත්තෙමි. වාරයේදී නඩේ ගුරාගේ මුවින් “ආං සිරීපාදේ” යැයි කියැවෙන්නෙ සෙස්සනට සාදුකාර දීමට ය. අවාරයේදී නඩ නැත. එහෙත් ගන මීදුම් පටල අතරින් ඉඳහිට පෙනී නො පෙෙනී යන මේ රූස්ස කඳු මුදුන මා තුළ ඇති කරන්නෙ අද්භූත සුන්දරත්වයයි.

මම ජපන් සාම චෛත්‍යය අසල සිට ගිමන් හැරියෙමි. මොහොතකට පෙර සුදු මීදුම් වලා ගහන අහස තිබු තැන හිටි ගමන් සිරීපාදය ප්‍රාදුර්භූත විය. මම සිතින් සාදුකාර දුන්නෙමි. ඒ මේ රටේ සංස්කෘතියයි. සිරීපාදය වනාහී ඇඩම්ස්ගේ, කේ. කුලරත්නම්ගේ, වාඩියාගේ, ලංකාවේ බිහිවීම පිළිබඳ භූගෝල විද්‍යා මති මතාන්තරවලට ඔප්පු සාධකයක් වූ හුදකලා කඳු මුදුනක් වනවා මෙන් ම ලක්දිව ථෙරවාදී බෞද්ධ සංස්කෘතියේ අපූරු සංකේත රූපයක් ද වන්නේ ය.

අතීතයේ මේ රටට ආව ගිය බොහෝ දේශ සංචාරකයින්ගේ වාර්තා අතර සිරීපාදය ප්‍රකට සාධකයක්ව පැවතියේ ය.

ඉතා ඈත අතීතයක ලංකාවට පැමිණි අරාබි ජාතිකයින් පිළිබඳ සබරගමු ජනශ්‍රැතිවල ද තොරතුරු තිබේ. ඈත අතීතයේ සබරගමුවට මැණික් වැස්සක් වැසි බවත් ඒ මැණික් අහුලාගන්නට අරාබි නිසොල්ලාසයේ සින්බෑඩ් ද සේලර්ලා මෙහි ආ බවත් ඒ ජන කථා අතර ප්‍රචලිත කථාවකි.

සබරගමුවේ සවුදම් නමැති ජන ගායනා විශේෂයක් ඇත. ඒවා අතර ඇති “සිරිපා සවුදම්” සඳහන් වන්නේ බුදු හාමුදුරුවන්ගේ, දකුණු සිරිපා සටහන මුලින් පිහිටෙව්වේ සෞදි අරාබියේ මක්කම කියා ය. දයානන්ද ගුණවර්ධනයන්ගේ “මධුර ජවනිකා” නාටකයේ මම සින්බෑඩ් ද සේලර්ට ඇඳ වේදිකාවට විත් නටන සිරිපා සවුදමේ මේ තොරතුරු ඇතුළත් වෙයි. මම ගැරඬි ඇල්ල අබියස සිට සිරීපාදය දෙස බලාගෙන සිරිපා සවුදම නැටුවෙමි.
“මක්කම තැබූ මුනි තුම් සිරිපාදය

ක්ක වැඩිය කළ සිරිලකටා

දැක්වූ සුර රද සමන් විභීෂණ

අණ ලැබ විගසින් ගිරි හිසටා

ලක්කර තැබු මුනි වාම පාද ශ්‍රී

පවතින ලෙස පන් දහසකටා

ලක් වැසියන් හැම පුදා වඳිති මතු

ලබන්ට නිවනය පින් පිහිටා”

මට අඩු සින්බෑඩ් ද සේලර්ගේ ඇඳුම පමණි. නාට්‍යයේදී විචිත්‍ර අරාබි ඇඳුමක හැඳ දවුල් බෙරය ද බඩ බැඳගත් මම කවිය ගයා කටින් පද කියමින් සවුදම ද පාගමි. අද බෙරය නැත. ඒත් ඊළඟ වළාකුලින් සිරීපාදය වැසී යන්නට පෙර මා සවුදමේ පද නටන්නට වූ කළ මගේ මිතුරෝ මා උනන්දු කළහ.
තත් තත් තරිකිට ජෙං

සිරීපාද මුනි සමනලගිරි පිට තෙයි

ජේනු ජේනු තරි සුමන සමන් දෙවි

පූජා නිති කරතෙයි

තෝගු තෝගු තක මැණික් ගලේ මත

මුනි සිරිපා දිලෙතෙයි

නංගි ත්‍රි නං ක්‍රිත

නම නම කර මුනි

සිරීපාද සවුදම්

නටමි මම සිරීපාද සවුදම්

මම ජපන් සාම චෛත්‍යය ද පසුකර ගෙන තවදුරටත් ඉදිරියට ගමන් කළෙමි. මට ඉදිරියේදී මකර තොරණ හමු වන්නට නියමිත ය. පලාබද්දල පාරේ මෑල්ල මළ තැන්නත්, ආඬියා මළ තැන්නත් අතර පෞරාණික මකර තොරණ ඉදි වී තිබුණි.

එහෙත් හැටන් පාරේ මකර තොරණ ඉදිවන්නේ ලක්ෂපාන ජලාශය ඉදි කළ ඉංජිනේරුවන් සමන් දෙවියන්ට වූ භාරයක් වෙනුවෙන් ය. ඒ භාරයේ වගතුග මකර තොරණ යට ඉදන් කියන්නට තබාගෙන මම යළිත් ආපසු හැරී මීදුමෙන් වැසී ගිය සිරීපාද කන්ද දෙස බැලුවෙමි.

මේ කන්ද අපි විවිධ නම් ගම් වලින් හැඳින්වීමු. සිරීපාදේ, සිරිපාදස්ථානෙ, ශ්‍රී පාදය, සමනොළ කන්ද, සමන් කුළ, සමන්ත කූඨය ආදී නම්වලට නිශ්චිත තේරුම් ඇත. උතුම් පා සටහන යන අර්ථයෙන් ශ්‍රී පාදය නම් වී ඇත්තේ ඉතා ඈත අතීතයක ම සිට බුදුන්ගේ පා සටහන සහිත කන්ද යන අර්ථය ප්‍රචලිතව තිබූ නිසා ය.

සින්බෑඩ් ද සේලර්ගේ ජන කථාව පසෙකින් තැබුව ද ඓතිහාසික සාධක මත විදේශීය දේශ සංචාරකයින් බොහෝ දෙනකු සිරීපාදයේ බුදුන්ගේ පා සටහන පිළිබඳ වාර්තා සපයා ඇත. ක්‍රිස්තු වර්ෂයෙන් 4 වැනි සියවසේදී ලංකාවට වැඩම කළ චීන ජාතික පාහියන් (ෆාෂිහෑන්) හාමුදුරුවන්, 5 වැනි ශතවර්ෂයේ හ්‍යුං සාං හාමුදුරුවන්, 13 වැනි සියවසේදී මාර්කෝපෝලෝ නමැති වැනීසියානුවා, 14 වැනි සියවසේදී ඉබන් බතූතා නමැති අරාබි ජාතිකයා ආදී බොහෝ දෙනා ඒ ඒ යුගවල තමන් දුටු සහ ඇසූ සිරීපාදය පිළිබඳව තොරතුරු දක්වා ඇත.

ඉබන් බතූතා නම් අරාබි ජාතිකයා කියන්නෙ “සගමොන්” නම් මුනිවරයෙකුගේ පා සටහනක් එහි සටහන් කොට ඇති බවයි. බතූතාගේ අරාබි උච්චාරණයට “සගමොන්” වී ඇත්තේ “ශාඛ්‍යමුනි” යන වචනය විය යුතුය. ශාඛ්‍ය මුනි කියා කියන්නෙ ගෞතම බුදුන්ට ම ය. නමුත් 14 වැනි සියවසේ ඉබන් බතූතාගෙන් පසු සිරීපාදේ අර්ථ ගැන්වීම වෙනස් වීමකට ලක්වන්න පටන් ගනී.

ඉබන් බතූතාගේ වාර්තාවේ සිරීපාදයට යන පාරවල් දෙකක් ගැන සඳහන් කරයි. ඔහු ඒ පාරවල් හඳුන්වන්නෙ ඔහුගේ ම අර්ථ දැක්වීමක් අනුව ය. මීට පෙර අපට හමු වූ කිසිදු ඓතිහාසික, ජනශ්‍රැතික හෝ පුරා විද්‍යාත්මක සාධකයක හමු නො වන මාර්ග නාම දෙකක් බතූතා තම ලියැවිල්ලේ සටහන් කරයි.

ඔහු දක්වන එක් පාරක නම “බබා පාර” ය. අනෙක “මමා පාර” ය. අරාබි බසින් බබා සහ මමා කියා හඳුන්වන්නේ බයිබලයේ ආදී මව් පියන් ලෙස දක්වන ආදම් සහ ඒවාට යි.

මෙතැන් සිට බටහිර ජාතීන් සිරීපාදයට “Adams Peak”  කියා වැහැරුවේ ය. Adam යනු ආදම් ය. Peak යනු මුදුනයි. සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුන් වාම පාද සටහන තැබූ සිරීපාදය ආදම්ගේ පා සටහන සහිත කඳු මුදුන වුණේ කොහොම ද?

අරාබි බයිබලයේ හේබ්‍රේව් පරණ තෙස්තමේන්තුවේ එන උත්පත්ති කථාවක දෙවියන් වහන්සේගේ තහනම් ගහේ ගෙඩි කෑ පළමු මිනිසා හෙවත් ආදම් දඬුවම් පිණිස “සුගති උද්‍යානයේ” උස් කඳු මුදුනක තනි කකුලෙන් සිටගෙන සිටියේ ය. එහෙත් මේ සුගති උද්‍යානය කොහේ පිහිටියේදැයි අරාබිවරු නො දැන සිටියහ.

සින්බෑඩ් ද සේලර්ලාගේ මිථ්‍යා සංචාරයේ සිට ඉබන් බතූතලාගේ සත්‍ය සංචාරය දක්වා අරාබිවරු ලංකාව තුළ දුටු ස්වාභාවික සුන්දරත්වය ඔවුන්ට මිහිපිට සුන්දරත්වයක් සේ නො පෙනුණි. මේ අදහාගත නො හැකි විශ්මිත ස්වාභාවධර්මය වනාහී බයිබලයේ සඳහන් ව තිබූ “සුගති උද්‍යානය” යැයි ඔවුහු විශ්වාස කළහ.

ලංකාව සුගති උද්‍යානය නම්, ඒ උයනේ උස් කඳු මුදුනක වන්දනීය පා සටහනක් ඇත්නම්, ඒ වනාහී බයිබලයේ සඳහන් ආදම්ගේ දඬුවමේ සටහන යැයි ඔවුහු විශ්වාස කළෝ ය. ඉබන් බතූතා ලංකාවට එන විට සිරීපාදය ලක්වැසියන්ගේ ප්‍රකට බොදු වන්දනා කලාපයක් වී තිබුණ ද ඔහු ඒ වෙත නගින පාරවල් දෙක “බබා පාර” සහ “මමා පාර” ලෙස නම් කිරීම ම ආදම් විශ්වාසය සිරීපාදයට අනුවර්තනය කිරීමකට හේතුවක් වන්නට ද ඇත.

ඉබන් බතූතාට වැරදුණේ ලංකාවේ පැවති, අදහාගත නොහැකි, රමණීය පරිසරය නිසාය. 1730 ගණන්වල Oxford ශබ්දකෝෂයට අලුතින් වචනයක් එක් වූයේත් මේ අදහාගත නො හැකි පරිසරයේ විශ්මය හේතුකොට ගෙන ය. “Serendipity” යන ඉංගී‍්‍රසි වචනයේ තේරුම් වන්නේ “අහම්බෙන්, අනපේක්ෂිත හා තෘප්තජනක සොයා ගැනීම් සඳහා වූ හැකියාව“ යන තේරුම බව මලලසේකර ශබ්දකෝෂය කියයි. Serendipity යන අලුත් වචනය හැදෙන්නේ “සෙරෙන්ඩිබ්” යන වචනය මුල් කරගෙන ය. සෙරන්ඩිබ් යනු ලංකාවට කියූ නමයි. “සිහලදිබ” යන හෙළ වචනය අරාබිවරු ලියූවේ සෙරන්ඩිබ් කියාය. සෙරන්ඩිබ් රටේ සොබාවික පැවැත්ම පිළිබඳ විශ්ම පත් වූ ඔවුන් එය සුගති උද්‍යානය සේ සලකා සිරීපාදයට Adams’ Peak යැයි කීවේ ය.

එහෙත් අද ශබ්දකෝෂ බොහෝමයක සිරීපාදයට ඉංගී‍්‍රසියෙන් කියන්නේ Adams’ Peak යන වචනය යැයි දක්වා තිබේ. ඉබන් බතූතාට වූ වරදට පරිසර විද්‍යාත්මක සමාවක් ලැබෙනු ඇත. එහෙත් වර්තමාන භාෂා භාවිත කරන්නන් තවදුරටත් සිදු කරගෙන යන මේ වරදට කාගෙන් සමා ලබන්න ද? එවරස්ට් නගින බොහෝ ජාතිකයෝ තම තමන්ගේ භාෂා වලින් ම ඒ මුදුන “එවරස්ට්” කියා හඳුන්වයි. මරියානා අගාධයට බසිද්දී එය භාෂාමය පරිවර්තනයකට ලක් නොවෙයි. පිදුරුතලාගල කන්ද නගින ඉංගී‍්‍රසි ජාතිකයන් ද එය හඳුන්වන්නේ Piduruthalagala කියා මිස වෙනත් පරිවර්තිත නමකින් නොවේ.

කොළඹ Colombo වූවාට, මීගමුව Negambo වූවාට, මඩකළපුව Batticaloa වූවාට, සිරීපාදය Adams’ Peak  විය නො හැකිය. සිරීපාදයට ඉංගී‍්‍රසි පරිවර්තනයක් අවශ්‍ය නම් එය Holy Foot වනවා මිස Adams’ Peak නො වන්නේ ය. භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කළ හැකි වන්නෙ සංස්කෘතික සීමාවන්වල සිටගෙන පමණි. සිරීපාදය යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති සංස්කෘතික සංකේතයක් ය.

සංස්කෘතික සංකේත භාෂාවකට වෙනස් කළ නො හැක. ඉර හඳ පවතින තාක් කල් සිරීපාදය සිරීපාදයමැයි සිතා ගනිමින් මම ඉංජිනේරුවන්ගේ භාරය ඔප්පු කළ මකර තොරණ දෙසට පියවර මැන්නෙමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: